80වෙනි පාඩම
යේසුස් නියෝජිතයන් දොළොස්දෙනාව තෝරගත්තා
දේශනා කරන්න පටන් අරන් අවුරුදු එකහමාරකට විතර පස්සේ යේසුස්ට හුඟක් වැදගත් තීරණයක් ගන්න වුණා. ඒ තමයි තමන් එක්ක කිට්ටුවෙන් වැඩ කරන්නත් ක්රිස්තියානි සභාවේ පෙරමුණ අරන් වැඩ කරන්නත් පුහුණු කරන්නේ කාවද කියන එක. ඒ තීරණය ගන්න කලින් ඒකට යෙහෝවාගේ මඟ පෙන්වීම ඕන වුණු නිසා යේසුස් කන්දකට ගිහින් මුළු රැයක්ම යාච්ඤා කළා. පහුවෙනිදා උදේ යේසුස් ගෝලයන්ට කතා කරලා එයාලා අතරින් 12දෙනෙක්ව නියෝජිතයන් හැටියට තෝරගත්තා. එයාලාගේ නම් ඔයාට මතකද? පේතෘස්, අන්දෘ, යාකොබ්, යොහන්, ෆිලිප්, බාතොලමෙව්, තෝමස්, මතෙව්, අල්ෆෙවුස්ගේ පුතා යාකොබ්, තදියස්, සීමොන්, යූදස් ඉස්කාරියොත්.
අන්දෘ, පේතෘස්, ෆිලිප්, යාකොබ්
ඒ 12දෙනාත් යේසුස් එක්කම ගියා. යේසුස් එයාලව පුහුණු කළාට පස්සේ තනිවම දේශනා කරන්න යැව්වා. භූතයන් වැහුණු අයව, අසනීප අයව සුව කරන්න යෙහෝවා එයාලට බලය දුන්නා.
යොහන්, මතෙව්, බාතොලමෙව්, තෝමස්
යේසුස් එයාලව යාළුවන් විදිහට සැලකුවා. එයාලව විශ්වාස කළා. පරිසිවරු හිතුවේ එයාලා හරියට ඉගෙනගත්තේ නැති අය කියලයි. හැබැයි භාර දීපු වැඩේ දක්ෂ විදිහට කරන්න යේසුස් එයාලට හොඳ පුහුණුවක් දුන්නා. යේසුස්ගේ මරණය ළං වෙලා තිබුණු කාලයේදීත් ඔහුව නැවත නැඟිටෙව්වාට පස්සෙත් එයාලා යේසුස් එක්කම හිටියා. එයාලා අතරේ හිටිය වැඩිදෙනෙක් ගලීලයෙන් ආපු අය. සමහරු ඒ වෙද්දීත් විවාහ වෙලයි හිටියේ.
අල්ෆෙවුස්ගේ පුතා යාකොබ්, යූදස් ඉස්කාරියොත්, තදියස්, සීමොන්
නියෝජිතයන් අතිනුත් වැරදි වුණා. එයාලා හිතන්නේ නැතුව කතා කළා, වැරදි තීරණ ගත්තා, ඉක්මන් වෙලා දේවල් කළා. ඒ වගේම තමන් අතරින් උසස් කවුද කියලත් එයාලා වාද කළා. හැබැයි ඒ හැමෝම යෙහෝවාට ආදරේ කරපු යහපත් අය. යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ එයාලාගෙන් තමයි ක්රිස්තියානි සභාව හැදුණේ.
“මම ඔයාලව සලකන්නේ මගේ යාළුවන් විදිහටයි. මගේ තාත්තා මට කියපු හැම දෙයක්ම මම ඔයාලට කියලා දුන්නේ ඒ නිසයි.”—යොහන් 15:15