ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 49 පාඩම 255 පි.-257 පි. 3 ¶
  • හොඳ පදනමක් ඇති තර්ක ඉදිරිපත් කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳ පදනමක් ඇති තර්ක ඉදිරිපත් කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • ඔබේ සබයට ඒත්තු ගන්වන්න, ඔවුන්ට තර්ක මගින් පහදා දෙන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ශුද්ධ ලියවිලි පද බලපෑමෙන් යුතුව හඳුන්වා දීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ශුද්ධ ලියවිලි පද නිවැරදිව අදාළ කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ඔබේ සබය දැනුවත් කරවන තොරතුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 49 පාඩම 255 පි.-257 පි. 3 ¶

පාඩම 49

හොඳ පදනමක් ඇති තර්ක ඉදිරිපත් කිරීම

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබ පවසන දේට අනුබල දෙන ස්ථිර සාක්ෂි සපයන්න.

එය වැදගත් වන්නේ මන්ද?

සවන් දෙන අයට ඔබ පවසන දේ සැබෑ බව සම්පූර්ණයෙන්ම ඒත්තුගොස් නැත්නම්, එය විශ්වාස කිරීමට හෝ ඒ අනුව ක්‍රියා කිරීමට හෝ ඔවුන් පෙලඹෙන්නේ නැත.

යමක් පැවසූ විට, “එය සැබෑවක් වන්නේ මන්ද” කියා ඇසීමට ඔබේ සවන්දෙන්නන්ට පූර්ණ අයිතියක් ඇත. “කථිකයා පවසන දේ පිළිගත යුතු බවට තිබෙන සාක්ෂි මොනවාද?” ගුරුවරයෙකු ලෙස එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම හෝ එම පිළිතුරු සෙවීමට ඔබේ සවන්දෙන්නන්ට මඟ පෙන්වීම ඔබේ වගකීම වේ. ඔබ ඉදිරිපත් කරන තර්කය පැහැදිලි කිරීමට යම්කිසි කාරණයක් සඳහන් කිරීම අත්‍යවශ්‍ය නම්, එය පිළිගැනීමට ප්‍රබල හේතු ඔබේ සවන්දෙන්නන්ට සැපයීමට වගබලා ගන්න. ඔබ පවසන දේ ඒත්තුගැන්වීමට මෙය බෙහෙවින් දායක වනු ඇත.

ප්‍රේරිත පාවුල් ඒත්තුගැන්වීමේ කලාව යොදාගත් අයෙකි. හොඳ පදනමක් ඇති තර්ක ඉදිරිපත් කිරීමෙන්, තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමෙන් සහ හැඟීමකින් යුතුව ඔවුන්ගේ හදවත්වලට තට්ටු කිරීමෙන් ඔවුන් කලින් සිතා සිටි ආකාරය තුළ වෙනසක් කිරීමට ඔහු උත්සාහ දැරීය. මෙසේ ඔහු අප සඳහා තබා ඇත්තේ කදිම ආදර්ශයකි. (ක්‍රියා 18:4; 19:8) කෙසේවෙතත්, ඇතැම් දේශකයන් ඒත්තුගැන්වීමේ කලාව යොදාගන්නේ ජනයාව නොමඟ යැවීමටයි. (මතෙ. 27:20; ක්‍රියා 14:19; කොලො. 2:4) ඔවුන් සිය තර්කය වැරදිසහගත උපකල්පනයක් මත පදනම් කරගන්නවා විය හැක. එසේ නැතහොත් ඔවුන් භාවිත කරන්නේ තමාගේ වාසියට කරුණු ඉදිරිපත් කරන තොරතුරු මූලාශ්‍ර පමණි. සමහරවිට ඔවුන්ගේ තර්ක ඉතා බොළඳය. එමෙන්ම දරන මතයට එකඟ නොවන කරුණු ඔවුන් අතින් නොසලකා හරිනු ලැබේ. තවද ඔවුන් උත්සාහ දරන්නේ කෙනෙකුව තර්කානුකූලව සිතා බැලීමට පෙලඹවීමට නොව, හැඟීම් ඇවිස්සීමටය. මෙවැනි ක්‍රමවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට අප වගබලා ගත යුතුය.

දෙවිගේ වචනය මත ස්ථිරව පදනම් කරගැනීම. අප උගන්වන දේ අප උපදවාගත් අදහස් මත පදනම් නොවිය යුතුය. අප අන් අය සමඟ බෙදාගැනීමට උත්සාහ දරන්නේ අප බයිබලයෙන් ඉගෙනගෙන ඇති දේ පමණි. මේ සඳහා විශ්වාස වූ නුවණ ඇති දාස පංතියේ ප්‍රකාශන අපට මහෝපකාරි වී තිබේ. එම ප්‍රකාශනවලින් අපට දිරිගන්වන්නේ ශුද්ධ ලියවිල්ල පරෙස්සමින් පරීක්ෂා කර බැලීමටය. එබැවින් අපිද අන් අයගේ අවධානය බයිබලයට යොමු කරන්නෙමු. අප එසේ කරන්නේ අප නිවැරදි බව ඔප්පු කිරීමට නොව, නමුත් එහි සඳහන්ව ඇති දේ ඔවුන්ටම කියවා බැලීමට ප්‍රස්තාවක් දීමේ නිහතමානී ආශාව හේතුකොටගෙනය. තම පියාට කළ යාච්ඤාවකදී “ඔබගේ වචනය සත්‍යතාවය” යනුවෙන් පැවසූ යේසුස් ක්‍රිස්තුස් සමඟ අපිද එකඟ වන්නෙමු. (යොහ. 17:17, 18) අහස සහ පොළොවෙහි මැවුම්කරු වන යෙහෝවා දෙවි තරම් ඉහළ අධිකාරයක් තවත් නොමැත. එමනිසා අපගේ තර්කවලට හොඳ පදනමක් ලැබෙන්නේ ඒවා ඔහුගේ වචනය මත ස්ථිරව පදනම් වුවහොත් පමණි.

ඇතැම් අවස්ථාවලදී බයිබලය ගැන එතරම් දැනුමක් නැති අයට හෝ දේවවචනය ලෙස එය පිළි නොගන්නා අයට කතා කරන්නට ඔබට අවස්ථාවන් එළඹෙනවා විය හැකියි. මෙහිදී බයිබල් පද හඳුන්වා දිය යුතු අවස්ථාව සහ ක්‍රමය සම්බන්ධයෙන් හොඳ විනිශ්චයක් භාවිත කිරීම උපකාරවත් වේ. එනමුත්, ඔබේ ඉලක්කය විය යුත්තේ විශ්වාසය තැබිය හැකි එම තොරතුරු මූලාශ්‍රයට හැකි ඉක්මනින් ඔවුන්ගේ අවධානය යොමු කිරීමය.

නිකම්ම අදාළ ශුද්ධ ලියවිලි පදයක් උපුටා දැක්වූ පළියට බිඳ හෙළිය නොහැකි තර්කයක් ඉදිරිපත් වන බව ඔබ නිගමනය කළ යුතුද? එවැන්නක් සිදුවන බව අනිවාර්යයෙන්ම පැවසිය නොහැක. ඔබ පවසන දෙයට එම ශුද්ධ ලියවිලි පදය අනුබල දෙන අන්දම පෙන්නුම් කිරීමට එහි අවට පාඨ සම්බන්ධයට යොමු දැක්වීමට සිදු විය හැක. එනමුත්, ඔබ ශුද්ධ ලියවිලි පදයක් භාවිත කරන්නේ යම් ප්‍රතිපත්තියක් හුවා දැක්වීමට යයි සිතමු. සමහරවිට එම පදයේ අවට පාඨ සම්බන්ධය ඔබ සාකච්ඡා කරන විෂයට අදාළ වන්නේ නැත. මෙවැනි අවස්ථාවකදී අමතර සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදු විය හැක. ඔබ පවසන දෙය සැබවින්ම ශුද්ධ ලියවිල්ල මත ස්ථිර ලෙස පදනම් වූ කාරණයක් බවට ඔබේ සබයට ස්ථිර ලෙස ඒත්තුගැන්වීම සඳහා අදාළ වන වෙනත් ශුද්ධ ලියවිලි පද භාවිත කිරීමේ අවශ්‍යතාව මෙහිදී පැනනඟින්නට පුළුවන.

ශුද්ධ ලියවිලි පදයකින් ඔප්පු වන දේ ඉක්මවා යෑමෙන් වළකින්න. එය පරෙස්සමින් කියවන්න. ඔබ සාකච්ඡා කරමින් සිටින විෂය ගැන සාමාන්‍ය අදහසක් එම පදයෙහි තිබෙනවා විය හැක. එනමුත් ඔබේ තර්කය ඒත්තුගන්වනසුලු එකක් වීමට නම්, ඔබ පවසන දෙයට සාක්ෂි එතුළින්ම පැහැදිලිව දැකගැනීමට ඔබේ සවන් දෙන්නාට හැකියාව තිබිය යුතුය.

අමතර සාක්ෂිවලින් තහවුරු කිරීම. ශුද්ධ ලියවිල්ලෙහි ඉදිරිපත් කර ඇති දේ සාධාරණ බව තේරුම්ගැනීමට ජනයාට උපකාර කිරීම සඳහා බයිබලයෙන් පිට විශ්වාසවන්ත තොරතුරු මූලාශ්‍රයක සාක්ෂි භාවිත කිරීම ඇතැම් අවස්ථාවලදී ප්‍රයෝජනවත් විය හැක.

නිදසුනකට, මැවුම්කරු සිටින බවට සාක්ෂියක් ලෙස විශ්වයේ දෘශ්‍යමාන සාක්ෂිවලට යොමු දක්වන්නට පුළුවන. ගුරුත්වය වැනි ස්වාභාවික නීතිවලට අවධානය යොමු කරමින්, එවැනි නීති පවතින බවට වූ කාරණය නීති සම්පාදකයෙකු සිටිය යුතු බවට සාක්ෂියක් ලෙස තර්කානුකූලව ගෙනහැර දැක්විය හැක. ඔබ භාවිත කරන තර්ක දේවවචනයෙහි සඳහන්ව ඇති දෙයට එකඟ නම්, ඊට හොඳ පදනමක් තිබෙනු ඇත. (යෝබ් 38:31-33; ගීතා. 19:1; 104:24; රෝම 1:20) මෙවැනි සාක්ෂි ඉදිරිපත් කිරීම ඇත්තෙන්ම ප්‍රයෝජනදායකය. මන්ද බයිබලයෙහි සඳහන් දේ නිරීක්ෂණය කළ හැකි සාක්ෂිවලට එකඟ වන බව ඉන් නිරූපණය වන නිසාය.

බයිබලය සැබවින්ම දෙවිගේ වචනය බව තේරුම්ගැනීමට ඔබ කෙනෙකුට උපකාර කරන්නට උත්සාහ දරමින් සිටිනවාද? එවැන්නක් පවසන විශාරදයන්ගේ අදහස් උපුටා දක්වන්නට ඔබට පුළුවන. එනමුත් එය දේවවචනය වන බව ඔප්පු කිරීමට එම සාක්ෂි පමණක් ප්‍රමාණවත් වේද? එම විශාරදයන්ව ගරුත්වයෙන් සලකන අයට එවැනි උපුටනවලින් යම් ප්‍රයෝජනයක් තිබිය හැකිය. එනමුත් බයිබලය සත්‍ය බව ඔප්පු කිරීමට විද්‍යාව මාධ්‍යයක් කරගත හැකිද? විද්‍යාඥයන්ගේ වරදිනසුලු මතයන් ඔබේ තර්කවල පදනම ලෙස භාවිත කළහොත්, ඔවුන්ගේ විශ්වාසය ඔබ ගොඩනඟනු ඇත්තේ ඉතා අස්ථිර පදනමක් මතය. අනික් අතට, ඔබ දේව වචනයෙන්ම පටන්ගෙන, බයිබලයෙහි නිරවද්‍යතාව උලුප්පා දක්වන විද්‍යාත්මක සොයාගැනීම්වලට යොමු දක්වනවා නම්, ඔබේ තර්ක ඉතා ස්ථිරසාර පදනමක් මත පිහිටුවනු ලැබේ.

ඔබ කවර කාරණයක් ඔප්පු කිරීමට උත්සාහ කළත්, ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට උත්සාහ දරන්න. කොතරම් සාක්ෂි ප්‍රමාණයක් අවශ්‍යද යන්න තීරණය වන්නේ ඔබ අමතන සබය අනුවය. නිදසුනකට, 2 තිමෝති 3:1-5හි විස්තර කර ඇති අන්තිම දවස් ගැන ඔබ සාකච්ඡා කරමින් සිටිනවා නම්, මිනිසුන්ට ‘ජන්ම ස්නේහයක්’ නැති බව පෙන්නුම් කරන මෑතකදී ප්‍රසිද්ධ වූ ප්‍රවෘත්තියකට ඔබේ සබයේ අවධානය යොමු කළ හැකිය. අන්තිම දවස් පිළිබඳ ලකුණේ මෙම අංගය මේ දැන් ඉටු වෙමින් පවතින බව ඔප්පු කිරීමට එම උදාහරණය පමණක් සෑහෙන්නට පුළුවන.

සාදෘශ්‍යයක් යනු සමානකම් කිහිපයක් ඇති දේවල් දෙකක් අතර කරන ලද සැසඳීමකි. මෙවන් ක්‍රමයක් උපයෝගි කරගැනීමද ප්‍රයෝජනවත්ය. කීමට අදහස් කරන කාරණය සාදෘශ්‍යයෙන්ම ඔප්පු වන්නේ නැත. එහි වලංගුතාව ස්ථිර වන්නේ බයිබලයෙහිම පවසා ඇති දේ හා සසඳා බැලීමෙනි. කෙසේවෙතත් සාදෘශ්‍යයෙන් ඉටු වන කාර්යය නම් එවන් අදහස් පිළිගැනීම කොතරම් දුරට සාධාරණද යන්න පෙන්නුම් කිරීමයි. දේවරාජ්‍යය යනු ආණ්ඩුවක් යන කාරණය පැහැදිලි කරන විට, එවන් සාදෘශ්‍යයක් භාවිත කරන්නට පුළුවන. මිනිස් ආණ්ඩු මෙන්, දේවරාජ්‍යයට පාලකයන්, යටත්වැසියන්, නීති, අධිකරණ පද්ධතියක් සහ අධ්‍යාපන ක්‍රමයක් ඇති බව ඔබට පෙන්නුම් කළ හැකිය.

බයිබලයේ උපදෙස් අදාළ කරගැනීමේ ඥානවන්තකම පෙන්නුම් කිරීමට සැබෑ ජීවිත අද්දැකීම්ද භාවිත කරන්නට පුළුවන. තමන් විසින් පවසන ලද යමකට පිටුවහලක් ලෙස භාවිතයට ගත හැකි තවත් දෙයක් වන්නේ පෞද්ගලික අද්දැකීම්ය. නිදසුනකට, බයිබලය කියවීම සහ අධ්‍යයනය කිරීමේ වැදගත්කම පුද්ගලයෙකුට පැහැදිලි කරන විට, එසේ කිරීම ඔබට ප්‍රයෝජනවත් වූ ආකාරය පැහැදිලි කළ හැකිය. ප්‍රේරිත පේතෘස් සහෝදරයන්ට දිරිගැන්වීමේ අදහසින්, තම ඇස්වලින් දුටු යේසුස්ගේ අන් වෙසක් වීමට යොමු දැක්වීය.(2 පේතෘ. 1:16-18) තම පෞද්ගලික අද්දැකීම් සඳහන් කළ තවත් අයෙකි, පාවුල්. (2 කොරි. 1:8-10; 12:7-9) කෙසේවෙතත්, අනවශ්‍ය අවධානයක් ඔබ වෙත ඇද නොගන්නා පරිද්දෙන්, මෙවැනි පෞද්ගලික අද්දැකීම් භාවිත කළ යුත්තේ අල්ප වශයෙනි.

සෑම කෙනෙකුගේම පසුබිම වෙනස් නිසා, එක් පුද්ගලයෙකුට ඒත්තුගත හැකි සාක්ෂිවලින් වෙනත් කෙනෙකු සෑහීමට පත් නොවිය හැක. එමනිසා, භාවිත කරන තර්ක මොනවාද සහ ඒවා ඉදිරිපත් කරන අන්දම තීරණය කරද්දී ඔබේ සවන්දෙන්නන්ගේ අදහස් සලකා බලන්න. හිතෝපදේශ 16:23 පවසන පරිදි, “ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතු කරයි.”

එය කරන අන්දම

  • යමක් තරයේ කියා සිටිනවා වෙනුවට, වැදගත් කරුණුවලට ආධාරකයක් ලෙස කෙනෙකුව සෑහීමට පත් කරවන සාක්ෂි සපයන්න.

  • ඔබේ තර්ක ශුද්ධ ලියවිල්ල මත ස්ථිරව පදනම් කරගන්න.

  • ඔබේ පරමාර්ථවලට සහ ඔබේ සබයේ අවශ්‍යතාවලට ගැළපෙන අමතර සාක්ෂි භාවිත කරන්න.

අභ්‍යාස: (1) ඔබට කියවිය හැකි භාෂාවකින් ඇත්නම්, ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම යන පොතෙහි “යේසුස් ක්‍රිස්තුස්” (“Jesus Christ”) යන මාතෘකාවට පෙරළන්න. බයිබලයට මුල් තැන දෙමින් ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙන අන්දම සලකා බලන්න. (2) මුරටැඹ හෝ පිබිදෙව්! කලාපයක ප්‍රාරම්භක ලිපි මාලාවක් පරීක්ෂා කර බලන්න. එහි ගොඩනඟනු ලබන මූලික කරුණු කිහිපයක්ම තෝරාගන්න. ප්‍රධාන ශුද්ධ ලියවිලි පද යටින් ඉරි ගසන්න. අමතර සාක්ෂි සලකුණු කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න