ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 41 පාඩම 226 පි.-229 පි. 1 ¶
  • අන් අයට තේරුම්ගත හැකිවීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අන් අයට තේරුම්ගත හැකිවීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • තොරතුරු බරිත කරුණු පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • තේරුම්ගන්න පුළුවන් විදිහට කතා කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • ඔබේ සබය දැනුවත් කරවන තොරතුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ක්ෂේත්‍ර සේවය සඳහා කරුණු සකස් කර ගැනීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 41 පාඩම 226 පි.-229 පි. 1 ¶

පාඩම 41

අන් අයට තේරුම්ගත හැකිවීම

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබ පවසන දේ පහසුවෙන්ම ග්‍රහණය කරගත හැකි අන්දමකින් ඔබේ අදහස් පළ කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

ඔබ ඉදිරිපත් කරන තොරතුරු තේරුම්ගැනීමට පහසු වන තරමට, ඉන් වැඩියෙන් ප්‍රයෝජන ගැනීමට සබයට හැකිය.

කතා කරද්දී, නිකම්ම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සෑහීමට පත් නොවන්න. ඊටත් වැඩි යමක් කරන්න. සවන් දෙන අයට ඔබ පවසන දේ තේරුම්ගත හැකි අන්දමකින් ඉදිරිපත් කිරීමට උත්සාහ දරන්න. සභාවට කතා කරන විට හෝ සාක්ෂිකරුවන් නොවන අයට කතා කරන විට හෝ බලපෑමෙන් යුතුව අදහස් හුවමාරු කරගැනීමට මෙය රුකුලක් විය හැක.

තේරුම්ගත හැකි ආකාරයකින් කතා කිරීම ගත් කල, ඊට විවිධාකාර පැති අයත් වේ. “තොරතුරු තර්කානුකූලව ගොඩනැංවීම” යන මැයින් යුත් 26වන පාඩමෙහි ඉන් කිහිපයක් පියවා ඇත. තවත් පැති සමහරක් 30වන පාඩමෙහි දක්වා ඇත. එහි මාතෘකාව “අනික් පුද්ගලයා කෙරෙහි දක්වන උනන්දුව” වේ. මෙම පාඩමේදී තවත් අමතර කරුණු කිහිපයක් සලකා බලමු.

සරල වචන, සරල ශෛලියක්. අදහස් ඉදිරිපත් කිරීමට බලගතු ලෙස උපකාරවත් වන්නේ සරල වචන සහ කෙටි වාක්‍ය භාවිත කිරීමය. කොතැනක ජීවත් වුවත්, කවුරු වුවත්, ඕනෑම ජන පිරිසකට තේරුම්ගත හැකි කතාවකට ඉතා සුවිශේෂ උදාහරණයක් වන්නේ යේසුස්ගේ කන්ද උඩ දේශනාවයි. එහිදී ඉදිරිපත් කරන සංකල්ප අලුත් ඒවා විය හැකියි. එනමුත් යේසුස් පැවසූ දේ තේරුම්ගැනීම පහසුය. මන්ද, ඔහු ඉදිරිපත් කළ කරුණු අප සියලුදෙනාගේ සැලකිල්ලට භාජන වන ඒවා බැවිනි. සන්තෝෂයෙන් සිටිය හැකි අන්දම, අන් අය සමඟ සබඳතා දියුණු කරගත හැකි ආකාරය, සිත්තැවුල සමඟ කටයුතු කරන අයුරු සහ ජීවිතයට අර්ථයක් සොයාගන්නේ කෙසේද යන්න මින් සමහරකි. මීට අමතරව, ඔහු තම අදහස් ඉතා සරල, පැහැදිලි භාෂාවකින් පළ කළේය. (මතෙ., 5-7 පරි.) ඇත්තෙන්ම, වාක්‍යවල දිග ප්‍රමාණය සහ සැකැස්ම පිළිබඳ උදාහරණවලින් බයිබලය පිරී පවතී. ඔබේ පරමාර්ථය විය යුත්තේ අදහස් පැහැදිලිව හා තේරුම්ගත හැකි අන්දමකින් ඉදිරිපත් කිරීමය.

ඉතා ගැඹුරු තොරතුරු සාකච්ඡා කිරීමට සිදු වන විටදී පවා, සරල ශෛලියක් භාවිත කිරීමෙන් එම තොරතුරු වඩාත් පහසුවෙන් තේරුම්ගත හැකි වේ. කතා කිරීමට සරල විලාසයක් අනුගමනය කළ හැක්කේ කෙසේද? අනවශ්‍ය තොරතුරු ඔබේ සබය මතට පටවන්න එපා. ඔබේ මූලික කරුණුවලට රුකුල් දෙන අයුරින් ඔබේ තොරතුරු පෙළගස්වන්න. භාවිත කරන ප්‍රධාන ශුද්ධ ලියවිලි පද පරෙස්සමින් තෝරාගන්න. එක පදයකින් තවෙකකට වේගයෙන් මාරු වනවා වෙනුවට, එම බයිබල් පද කියවා සාකච්ඡා කිරීමට කාලය ගන්න. වචන බහුලව භාවිත කිරීමෙන් හොඳ අදහසක් යටපත් නොකරන්න.

නිවාස බයිබල් පාඩමක් පවත්වන විටදී මෙම ප්‍රතිපත්ති අදාළ කරගන්න. සෑම තොරතුරක්ම විස්තරාත්මකව පැහැදිලි කිරීමට උත්සාහ දරන්න එපා. මූලික අදහස් පැහැදිලිව තේරුම්ගැනීමට ශිෂ්‍යයාට උපකාර කරන්න. අමතර තොරතුරු පෞද්ගලික පාඩමේදී සහ සභා රැස්වීම්වලදී ඔහුට ඉගෙනගත හැකියි.

තොරතුරු සරල අන්දමකින් ඉදිරිපත් කිරීමට නම්, හොඳ සූදානමක් අවශ්‍යය. අන් අයට තේරුම්ගත හැකි ලෙස ඉදිරිපත් කිරීම සඳහා, සාකච්ඡා කරන විෂය මුලින්ම ඔබ තේරුම්ගත යුතුය. ඔබ යම්කිසි දෙයක් හොඳින් තේරුම්ගෙන සිටින විට, ඊට හේතු පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි වේ. එය ඔබේම වචනවලින් පැහැදිලි කර දීමටද පුළුවන.

නුහුරු යෙදුම් පැහැදිලි කරන්න. සමහර අවස්ථාවලදී යමක් තේරුම්ගත හැකි ආකාරයකින් ඉදිරිපත් කිරීම සඳහා, ඔබේ සබයට නුහුරු යෙදුම්වල තේරුම පැහැදිලි කිරීම අවශ්‍යය. ඔබේ සබය සතු දැනුම පිළිබඳව අධි තක්සේරුවක් නොකරන්න. එමෙන්ම ඔවුන්ගේ බුද්ධිය අවතක්සේරු නොකිරීමටද වගබලා ගන්න. එනමුත් බයිබලය අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අන් අයට අමුත්තක් දැනෙන යෙදුම් කිහිපයක් ඔබ භාවිත කරනවා විය හැක. “ඉතිරි වූ කොටස,” “විශ්වාස වූ නුවණ ඇති දාසයා,” “වෙනත් බැටළුවෝ,” සහ “මහත් සමූහය” වැනි යෙදුම් යම් සුවිශේෂ වූ කණ්ඩායම්වලට යොමු දක්වන බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු නොකරන පුද්ගලයන්ට යම් අමතර පැහැදිලි කිරීමක් නොකළොත්, ඔවුන් එම වචන තේරුම්ගන්නේ නැත. (රෝම 11:5; මතෙ. 24:45; යොහ. 10:16; එළි. 7:9) ඒ හා සමානව, අමතන පුද්ගලයාට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ සැකැස්ම ගැන අවබෝධයක් නැත්නම්, “ප්‍රචාරකයා,” “පුරෝගාමියා,” “චාරිකා අවේක්ෂකයා” සහ “සිහි කිරීම” වැනි යෙදුම් ඔහුට ප්‍රහේලිකාවක් විය හැක.

සාක්ෂිකරුවන් නොවන අය පවා නිතරම භාවිත කරන බයිබල් යෙදුම් පැහැදිලි කිරීමටද සිදු විය හැක. බොහෝදෙනෙකුට “අර්මගෙදොන්” යන්නෙන් අදහස් වන්නේ න්‍යෂ්ටික සමූල ඝාතනයකි. ඔවුන් “දේවරාජ්‍යය” සලකන්නේ ආණ්ඩුවක් ලෙස නොව නමුත්, යමෙකුගේ සිතේ තිබෙන යමක් නැතහොත් ස්වර්ගය හා සම්බන්ධ දෙයක් ලෙසටයි. තවද “ආත්මය” පුද්ගලයෙකුගේ මරණයෙන් පසු නොනැසී ජීවත් වන අමරණීය දෙයක් ලෙස ඔවුහු සලකති. පුද්ගලයන් මිලියන ගණනකට උගන්වා ඇත්තේ “ශුද්ධාත්මය” ත්‍රිත්වයකට අයත් පුද්ගලයෙකු බවය. බොහෝදෙනෙකු බයිබලයෙහි සඳහන් සදාචාර ප්‍රමිති අත්හැර දමා ඇති නිසා, “වේශ්‍යාකමින් පලා යන්න” කියා බයිබලය පවසන විට ඉන් අදහස් කරන්නේ කුමක්ද යන්නෙන් තේරුම්ගැනීම සඳහා සමහරුන්ට උපකාර අවශ්‍ය විය හැක.—1 කොරි. 6:18, NW.

පුද්ගලයන් බයිබලය කියවීමට පුරුදුව සිටින අය නොවේ නම්, “ආබ්‍රහම්,” “පාවුල්” හෝ “ලූක්” වැනි අය කවුරුන්ද කියා ඔවුන් නොදැන සිටිනවා ඇති. ඒ පුද්ගලයා පුරාණ ඉශ්‍රායෙලිතයන්ගේ කුලදෙටුවෙකු බව, ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතවරයෙකු බව හෝ බයිබල් ලේඛකයෙකු බව පැහැදිලි කර දීමට සිදු විය හැක.

පුරාණ කාලවල භාවිත කළ මිනුම් හා අනුගමනය කළ සිරිත් විරිත් පිළිබඳ විස්තර ඇතුළත් ශුද්ධ ලියවිලි පද තේරුම්ගැනීමට අද කාලයේ සබයන්වලට නිතරම පාහේ යම් උපකාරයක් අවශ්‍ය වේ. නිදසුනකට, නෝවාගේ නැවේ දිග රියන් 300ක්ද, පළල රියන් 50ක්ද, උස රියන් 30ක්ද යන්න ඔවුන්ට අපැහැදිලි විය හැක. (උත්. 6:15) එනමුත් එහි ප්‍රමාණය ප්‍රාදේශීය වශයෙන් හුරු පුරුදු යම් ඉදි කිරීමක් සමඟ සසඳා විස්තර කළහොත්, නැවේ විශාලත්වය ඔබේ සබයේ පුද්ගලයන්ගේ මනස්වල වහාම මැවී පෙනෙනු ඇත.

අවශ්‍ය වූ පැහැදිලි කිරීම ලබා දෙන්න. යම්කිසි කාරණයක් ඔබේ සබයට පැහැදිලි කර දීම සඳහා එක්තරා යෙදුමක් නිවැරදිව නිර්වචනය කිරීමට වඩා වැඩි යමක් අවශ්‍ය විය හැකියි. එස්රාගේ කාලයේදී යෙරුසලමෙහි ව්‍යවස්ථාව කියවීමෙන් අනතුරුව, එය පහදා දෙන ලදි. ජනතාවට එහි තේරුම පැහැදිලිව ග්‍රහණය කරගැනීමට උපකාරයක් ලෙස ලෙවීවරු එහි අර්ථය තෝරා දුන්නා පමණක් නොව, එදා ජනයා මුහුණ දෙමින් සිටි තත්වයන්වලට ව්‍යවස්ථාව අදාළ වූ අන්දමද පැහැදිලි කර දුන්නෝය. (නෙහෙ. 8:8, 12) ඒ හා සමාන අන්දමකින්, ඔබ කියවන ශුද්ධ ලියවිලි පද පැහැදිලි කර අදාළ කිරීමට වේලාව ගන්න.

යේසුස් තම මරණයෙන් සහ නැවත-නැඟිටීමෙන් අනතුරුව, සිදු වී තිබූ දේවල් ශුද්ධ ලියවිල්ලෙහි ඉටුවීමක් ලෙස සිදු වූ දේවල් බව තම ගෝලයන්ට පැහැදිලි කර දුන්නේය. එම දේවල් ඇසින් දුටු සාක්ෂිකරුවන් හැටියට ඔවුන් සතු වගකීමද අවධාරණය කළේය. (ලූක් 24:44-48) උගන්වා ඇති දෙය ඔවුන්ගේ ජීවිතවලට බලපෑ යුතු බව දැකගැනීමට පුද්ගලයන්ට උපකාර කරන විට, පවසන දේවල සැබෑ අරුත වඩාත් පහසුවෙන් අවබෝධ කරගැනීමට ඔවුන්ට හැකි වේ.

සිත සම්බන්ධ වී ඇති අන්දම. කෙසේවෙතත්, ඔබ යමක් ඉතා පැහැදිලිව තෝරා දුන්නද සවන් දෙන පුද්ගලයා එය තේරුම්ගන්නවාද නැද්ද යන්නට වෙනත් සාධක බලපාන්නට පුළුවන. පුද්ගලයෙකුට දැඩි සිතක් ඇත්නම්, පවසනු ලබන දෙයෙහි හරය වටහාගැනීමට එය බාධකයක් වේ. (මතෙ. 13:13-15, NW) මාංසික දෘෂ්ටිකෝණයකින් පමණක් දේවල් දෙස බැලීමට සිත දැඩි කරගෙන තිබෙන අයට ආත්මික කාරණා මෝඩකමක් මෙන් දිස් වේ. (1 කොරි. 2:14) පුද්ගලයෙකු තුළ මෙවැනි දැඩි ආකල්පයක් තිබෙන බව පැහැදිලි වන විට, අඩුම තරමින් ඒ මොහොතට සාකච්ඡාව නතර කර දැමීම ඥානවන්තම ක්‍රියාමාර්ගය විය හැක.

කෙසේ නමුත්, සමහරුන්ගේ සිත් දැඩි වී ඇත්තේ ජීවිතයේ කටුක අද්දැකීම්වලට මුහුණ දී ඇති නිසාය. යම් කාලපරිච්ඡේදයක් පුරා බයිබල් සත්‍යයන්වලට සවන් දීමට අවස්ථාවක් දීමෙන්, එවන් පුද්ගලයෙකුගේ සිත විවෘත විය හැක. තමාට කසයෙන් තළා මරණයට පත් කරන බව යේසුස් තම ප්‍රේරිතයන්ට පැවසූ විට ඔවුහු එය තේරුම් නොගත්හ. ඒ මන්ද? ඔවුන් එවන් දෙයක් අපේක්ෂා නොකළ නිසාත්, එවන් දෙයක් හීනෙකින්වත් නොපැතූ නිසාත්ය. (ලූක් 18:31-34) කෙසේවෙතත්, කල් ගතවීමත් සමඟම මෙම ප්‍රේරිතයන්ගෙන් 11දෙනෙකුට සැබෑ තත්වය අවබෝධ වූ අතර, යේසුස් ඔවුන්ට ඉගැන්වූ දෙයට එකඟව ක්‍රියා කිරීමෙන් ඒ බවට සාක්ෂි සැපයූහ.

කදිම ආදර්ශයක ප්‍රතිඵල. පුද්ගලයන්ට යමක් තේරුම්ගැනීමට අප උපකාර කරන්නේ අපගේ වචනවලින් පමණක් නොවේ. අපගේ ක්‍රියාවලින්ද අපි එසේ කරමු. රාජ්‍ය ශාලාවට පැමිණි මුල්ම වතාව යළි සිහියට නඟන බොහෝදෙනෙකු කියා සිටින්නේ ඔවුන්ගේ මතකයේ රැඳුණේ පැවසූ දේවල් නොව, නමුත් පැහැදිලිව පෙන්නූ ප්‍රේමය බවයි. සමානාකාරයෙන් අප තුළින් ප්‍රකාශ වන සන්තෝෂය හේතුවෙන් නිවැසියන් බොහෝදෙනෙකු තම සිත් බයිබල් සත්‍යයට විවර කර ඇත. යෙහෝවාගේ ජනයා එකිනෙකාට පෙන්නුම් කරන ප්‍රේමනීය කරුණාවද, යම් විපත්වලට මුහුණ දෙන වෙනත් අයට ඔවුන් දක්වන මානව දයාවද දකින බොහෝදෙනා නිගමනය කරන්නේ සාක්ෂිකරුවන් සැබෑ ආගම අදහන බවය. එමනිසා බයිබල් සත්‍යතා තේරුම්ගැනීමට ජනයාට උපකාර කිරීම සඳහා ඔබ දරන උත්සාහයේදී එම සත්‍යයන් පැහැදිලි කරන ආකාරය ගැනත්, ඔබේ ආදර්ශය ගැනත් සැලකිලිමත් වන්න.

එය කරන ආකාරය

  • පැහැදිලි භාෂා ශෛලියක් භාවිත කරන්න. ප්‍රධාන අදහස් දැක්වීමට කෙටි වාක්‍ය තෝරාගන්න.

  • මූලික කරුණු කිහිපයක් පමණක් අවධාරණය කරන්න.

  • ඔබේ සබයට නුහුරු යෙදුම් පැහැදිලිව තෝරා දෙන්න.

  • ශුද්ධ ලියවිලි පද පැහැදිලි කිරීමටත්, අදාළ කිරීමටත් කාලය ගන්න.

  • ඔබ අමතන පුද්ගලයන්ට ඔබේ ආදර්ශය බලපෑ හැකි අන්දම ගැන සිතා බලන්න.

අභ්‍යාසය: මෙම සතියේදී පැවැත්වූ සභා රැස්වීමකින් ඔබ යම් ප්‍රයෝජනයක් ලැබූ දෙයක් සාක්ෂිකරුවෙකු නොවන නෑදෑයෙකුට, අසල්වැසියෙකුට, රැකියා ස්ථානයෙහි කෙනෙකුට හෝ පාසැලේ ශිෂ්‍යයෙකුට කීමට උත්සාහ දරන්න. ඔහුට තේරුම්ගැනීමට අපහසු විය හැකි යෙදුම් පැහැදිලි කර දීමට වගබලා ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න