9වෙනි පරිච්ඡේදය
ශුභාරංචිය දේශනා කරන ක්‍රම
උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වුණු කෙනෙක් විදිහට යේසුස් තම අනුගාමිකයන්ට කදිම ආදර්ශයක් තිබ්බා. මිනිසුන්ව හොයාගෙන ගිය ඔහු නිවෙස්වලදීත් පොදු තැන්වලදීත් ඔවුන්ට දෙවියන් ගැන ඉගැන්නුවා. (මතෙ. 9:35; 13:36; ලූක් 8:1) යේසුස් එක් එක් පුද්ගලයන්ටත්, ගෝලයන්ට පෞද්ගලිකවත්, දහස් ගණන් සෙනඟකට කණ්ඩායමක් විදිහටත් ඉගැන්නුවා. (මාක් 4:10-13; 6:35-44; යොහ. 3:2-21) ලැබෙන හැම අවස්ථාවකදීම ඔහු ශුද්ධ ලියවිල්ලේ සඳහන් බලාපොරොත්තුව ගැන කියලා දිරිගැන්නුවා. (ලූක් 4:16-19) විවේකයක් ඕන කරපු අවස්ථාවලදී වුණත් සාක්ෂි දරන්න ලැබුණු අවස්ථාවන් ඔහු අතපසු කළේ නැහැ. (මාක් 6:30-34; යොහ. 4:4-34) යේසුස් සේවය කරපු විදිහ ගැන බයිබලයෙන් කියවද්දී ඔහුව අනුකරණය කරන්න නියෝජිතයන් වගේ අපිත් පෙලඹෙන්නේ නැද්ද?—මතෙ. 4:19, 20; ලූක් 5:27, 28; යොහ. 1:43-45.
2 මීට අවුරුදු 2,000කට විතර කලින් යේසුස් පටන්ගත්ත දේශනා සේවයේ හවුල් වෙන්න අපිට පුළුවන් ක්‍රම කිහිපයක් ගැන දැන් බලමු.
ගෙයින් ගෙට සේවය
3 යම් සැලැස්මකට අනුව ගෙයින් ගෙට ගිහින් ශුභාරංචිය ගැන කියන එක කොයි තරම් වටිනවාද කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි හොඳින්ම දන්නවා. අපි ඒ සේවයේ කොච්චර හවුල් වෙනවාද කියනවා නම් මිනිසුන් අපිව හඳුන්වන්නෙත් ගෙයින් ගෙට යන සෙනඟක් විදිහටයි. ඒ ක්‍රමය යොදාගෙන කෙටි කාලයක් ඇතුළතදී මිනිසුන් මිලියන ගණනකට දේශනා කරලා ලැබිලා තියෙන ප්‍රතිඵල දිහා බලද්දී ඒ ක්‍රමය මොන තරම් සාර්ථකද කියලා පැහැදිලියි. (මතෙ. 11:19; 24:14) අපි ගෙයින් ගෙට සේවයේ හවුල් වෙනවා නම් ඇත්තටම යෙහෝවා දෙවියන්ටත් අසල්වැසියන්ටත් ප්‍රේම කරනවා කියලා පෙන්වන්න පුළුවන්.—මතෙ. 22:34-40.
4 ගෙයින් ගෙට සේවය සාක්ෂිකරුවන් මෑත කාලයේදී පටන්ගත්ත එකක් නෙවෙයි. නියෝජිත පාවුල් පවා ඒ සේවයේ හවුල් වෙලා තියෙනවා. එෆීසයේ වැඩිමහල්ලන්ට ඔහු කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. ‘ආසියා පළාතට පය තැබූ මුල් දවස පටන් ඔබට ප්‍රයෝජනවත් වන හැම දෙයක්ම මම නොසඟවා කියා දුන්නා. මම ගෙයින් ගෙට ගොස් ඔබට දිගටම ඉගැන්නුවා.’ ඒ ක්‍රමය සහ තවත් ක්‍රම යොදාගෙන පාවුල් ‘යුදෙව්වරුන්ට හා ග්‍රීකවරුන්ට සම්පූර්ණ සාක්ෂියක් දැරුවා. පසුතැවිලි වී දෙවි වෙතට හැරෙන්නත් අපේ ස්වාමීන් වන යේසුස් කෙරෙහි විශ්වාසය ඇති කරගන්නත් අවශ්‍ය බව’ ඔහු ඔවුන්ට කිව්වා. (ක්‍රියා 20:18, 20, 21) ඒ කාලයේදී රෝම පාලකයන් රූප නමස්කාරය ප්‍රචලිත කරලා තිබුණා. ඒ වගේම හුඟක් මිනිසුන් තුළ ‘දෙවි දේවතාවන් ගැන මහත් භක්තියක්’ තිබුණා. හැබැයි ඒ හැමෝම කල් දාන්නේ නැතුව ‘ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ මුළු මිනිස් වර්ගයාටම පසුතැවිලි වන්න කියා’ ආරාධනා කරන දෙවියන් ගැන ඉගෙනගන්න එක වැදගත් වුණා.—ක්‍රියා 17:22-31.
5 වෙන කවරදාටත් වඩා වැඩියෙන් අද මිනිසුන්ට ශුභාරංචිය ගැන කියන්න ඕනේ. මොකද අවසානය දැන් ළඟටම ඇවිත්. ඒ නිසා අපි පුළුවන් උපරිමයෙන් සේවයේ හවුල් වෙන්න උත්සාහ කරන්න ඕනේ. සත්‍යය ගැන දැනගන්න ලොකු ආශාවකින් ඉන්න අයට ඒ ගැන කියලා දෙන්න තියෙන හොඳම ක්‍රමය ගෙයින් ගෙට සේවයයි. යේසුස් සහ නියෝජිතයන් හිටිය කාලෙදී වගේම අදටත් ඒ ක්‍රමය හුඟක් සාර්ථකයි.—මාක් 13:10.
6 ඔයා පුළුවන් උපරිමයෙන් ගෙයින් ගෙට සේවයේ හවුල් වෙනවා නම් යෙහෝවා දෙවියන් ඔයා ගැන හුඟක් සතුටු වෙනවා කියලා නිසැක වෙන්න පුළුවන්. (එස. 9:11; ක්‍රියා 20:35) සමහර අයට ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන්න යම් දේවල් බාධාවන් වෙලා තියෙනවා. අසනීප, මහලු වයස, ප්‍රදේශයේ අය පණිවිඩයට සවන් නොදීම ඒ අතරට අයිතියි. ඒ වගේම සමහර ආණ්ඩුවලින් අපේ සේවයට තහංචි පනවලත් තියෙනවා. සමහර අය ලැජ්ජාශීලී නිසා හඳුනන්නේ නැති අය එක්ක සංවාදයක් පටන්ගන්න එක ඒ අයට අමාරුයි. ඔයාත් ඒ දේවලින් එකක් හරි අද්දකිනවා නම් සේවයේ යන එක ඔයාට ලොකු පීඩනයක් වගේ දැනෙනවා ඇති. හැබැයි අධෛර්යය වෙන්න එපා. (නික්. 4:10-12) තවත් සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ඒ වගේ තත්වයන්ට මුහුණ දෙනවා.
7 “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා” කියලා යේසුස් ගෝලයන්ට පොරොන්දු වුණා. (මතෙ. 28:20) මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන වැඩය තවත් හොඳින් කරන්න ඒ පොරොන්දුව අපිට හයියක්. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ” කියලා පාවුල් කිව්වා. (ෆිලි. 4:13) අපිටත් හැඟෙන්නේ ඒ විදිහටමයි. ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන්න සභාවෙන් ඇති කරලා තියෙන සැලැස්මට උපරිමයෙන් සහාය දෙන්න. අනිත් අයත් එක්ක සේවයේ හවුල් වෙද්දී දිරිගැන්වීමක් ලබන්නත් දියුණු වෙන්න ඕන පැති හදාගන්නත් ඔයාට පුළුවන් වෙනවා. ඔයා මොන අභියෝගයකට මුහුණ දුන්නත් ඒකෙන් ජය ගන්න උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්න. ශුභාරංචිය දේශනා කරන්න දැඩි උත්සාහයක් දරන්න.—1 යොහ. 5:14.
8 ඔයා අනිත් අයට ශුභාරංචිය කියද්දී ඔයාගේ “බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු” දෙන්න අවස්ථාවන් උදා වෙනවා. (1 පේතෘ. 3:15) දෙවියන්ගේ රාජ්‍යය ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අය සහ ඒ බලාපොරොත්තුව නැති අය අතර මොන තරම් ලොකු වෙනසක් තියෙනවාද කියලා ඔයාට පැහැදිලිව දැකගන්නත් ලැබෙයි. (යෙසා. 65:13, 14) “ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න” කියලා යේසුස් කියපු දේට කීකරු වෙන්න ලැබෙන නිසා ඔයාට ඒ ගැනත් සතුටු වෙන්න පුළුවන්. (මතෙ. 5:16) ඒ වගේම යෙහෝවා දෙවියන් ගැනත් සදාකාල ජීවනය ලබාගන්න මඟ පාදන සත්‍ය තොරතුරු ගැනත් මිනිසුන්ට දැනගන්න උදව් කිරීමේ වරප්‍රසාදයත් ඔයාට ලැබෙයි.—යොහ. 17:3; 1 තිමෝ. 4:16.
9 සතියේ දවස්වලත් සති අන්තයේත් ගෙයින් ගෙට සේවයේ යන්න සභාවලින් සැලසුම් යොදලයි තියෙන්නේ. උදේ වරුවේදී මිනිසුන්ව මුණගැහෙන්න අමාරු ප්‍රදේශවල හවස් වරුවේ සේවයේ යන්න සැලසුම් යොදනවා. උදේ වරුවට වඩා හවස් වරුවේදී අමුත්තන් එක්ක කතා කරන්න මිනිසුන් කැමති වෙයි.
සුදුස්සන්ව සෙවීම
10 “සුදුස්සන්ව සොයන්න” කියලා යේසුස් ගෝලයන්ට කිව්වා. (මතෙ. 10:11) සුදුස්සන්ව හොයන්න යේසුස් යොදාගත්තේ ගෙයින් ගෙට සේවය විතරක් නෙවෙයි. මිනිසුන්ව මුණගැහුණු ඕනෙම අවස්ථාවකදී ඔහු ශුභාරංචිය කිව්වා. (ලූක් 8:1; යොහ. 4:7-15) නියෝජිතයනුත් ඒ දේ කළා.—ක්‍රියා 17:17; 28:16, 23, 30, 31.
අපිත් උත්සාහ කරන්නේ පුළුවන් උපරිමයෙන් හැමෝටම ශුභාරංචිය කියන්නයි
11 ඒ හා සමානව අද අපිත් උත්සාහ කරන්නේ පුළුවන් උපරිමයෙන් හැමෝටම ශුභාරංචිය කියන්නයි. ඒ දේ කරන්න අපි යේසුස්වත් ඔහුගේ නියෝජිතයන්වත් අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම සමාජයේ සිද්ධ වෙන වෙනස්කම් ගැනත් මිනිසුන් මුහුණ දෙන විවිධ තත්වයන් ගැනත් අපි අවබෝධ කරගෙන ඉන්න ඕනේ. (1 කොරි. 7:31) සමහර ප්‍රචාරකයන්ට ව්‍යාපාර ස්ථාන, රථ ගාල් සහ උද්‍යානවල සාක්ෂි දැරීමෙන් වගේම වීදි සේවයේ හවුල් වීමෙන් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. තවත් සභාවන් ජංගම පුවරු සහ මේසවල අපේ ප්‍රකාශන ප්‍රදර්ශනය කරලා සාක්ෂි දරනවා. ඊට අමතරව ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන විශාල නගරවල සාක්ෂි දරන්න සභා කිහිපයක ප්‍රචාරකයන්ට අවස්ථාව ලැබෙනවා. ප්‍රතිඵලයක් විදිහට නිවෙස්වලදී හමු වෙන්නේ නැති අයටත් ශුභාරංචිය ගැන දැනගන්න ලැබෙනවා.
12 පොදු තැන්වල බයිබලයේ සඳහන් පණිවිඩයට උනන්දුවක් දක්වන අයව මුණගැහුණාම ඒ අයට ගැළපෙන ප්‍රකාශනයක් දෙන්න අපිට පුළුවන්. ඒ අයගේ උනන්දුව තවත් වැඩි කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ දුරකථන අංකය හරි ලිපිනය හරි ඒ අයට දෙන්න. ඒ අයව නැවත හමු වෙන්න යන්න සැලසුම් කරන්නත් පුළුවන්. jw.org වෙබ් අඩවිය ගැන දැනුවත් කරන්නත් පුළුවන්. ඒ අය ජීවත් වෙන ප්‍රදේශයට ළඟින්ම තියෙන නමස්කාර මධ්‍යස්ථානයේ ලිපිනය දෙන්නත් පුළුවන්. පොදු ස්ථානවල සාක්ෂි දරන එක ඔයාගේ සේවය තවත් පුළුල් කරන්න කදිම ක්‍රමයක් කියලා ඔයාට තේරෙයි.
13 ශුභාරංචිය ගැන කියනවාට අමතරව අපේ පැවරුමට තවත් දෙයක් ඇතුළත් වෙනවා. ජීවනයට මඟ පාදන සත්‍යය ගැන දැනගෙන අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න නම් ඒ අයව හමු වෙන්න අපි නැවත නැවත යන්න ඕනේ.
නැවත බැලීම්
14 යේසුස් තම අනුගාමිකයන්ට කිව්වා ඔබ “පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි” කියලා. (ක්‍රියා 1:8) ඔහු කියලා තියෙන මේ දේත් අපි අමතක කරන්නේ නැහැ. ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.’ (මතෙ. 28:19, 20) උනන්දුවක් පෙන්වන අයව නැවත බලන්න යන එකෙන් ලොකු සතුටක් අද්දකින්න පුළුවන්. ශුභාරංචියට උනන්දුවක් පෙන්වපු කෙනෙක් ඔයා ආයෙත් එනවාට කැමති වෙයි. බයිබලයේ තියෙන තොරතුරු ඒ අයට කියලා දීමෙන් දෙවියන් ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්නත් දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්නත් ඒ අයට උදව් කරන්න ඔයාට පුළුවන්. (මතෙ. 5:3) ඔයා නැවත බැලීමකට හොඳින් සූදානම් වෙලා ඒ අයට පහසු වෙලාවක යනවා නම් ඒ අයත් එක්ක බයිබල් පාඩමක් පටන්ගන්න පුළුවන් වෙයි. අපි නැවත බැලීම් කරන්න ඕනෙ බයිබල් පාඩමක් පටන්ගැනීමේ අරමුණ ඇතුවයි. ඔව්, අපි සත්‍යය කියන බීජ පැළ කරනවා විතරක් නෙවෙයි ඒවාට වතුරත් දානවා.—1 කොරි. 3:6.
15 සමහර අයට නැවත බැලීම් කරන එක අභියෝගයක් වෙන්න පුළුවන්. සමහරවිට ඔයා දක්ෂ විදිහට හරිම කෙටියෙන් මිනිසුන්ට සාක්ෂි දරනවා ඇති. ඔයා ඒ දේ කරන්නේ ලොකු ආසාවකින් වෙන්නත් පුළුවන්. ඒත් උනන්දුවක් පෙන්වපු කෙනෙක්ව ආයෙත් බලන්න ගිහින් ඒ කෙනාත් එක්ක බයිබලයේ තියෙන දෙයක් ගැන සාකච්ඡාවක් පටන්ගන්න එක නම් ලොකු අභියෝගයක් කියලා ඔයාට හිතෙනවා ඇති. හැබැයි ඔයා හොඳින් සූදානම් වුණොත් ඔයාට ඒක ලොකු අභියෝගයක් කියලා හිතෙන එකක් නැහැ. සති මැද රැස්වීමෙන් ඉගෙනගන්න ප්‍රායෝගික යෝජනා අදාළ කරගන්නත් අමතක කරන්න එපා. ඔයා කැමති නම් අද්දැකීම් ලත් ප්‍රචාරකයෙක්ව එක්කන් යන්නත් ඔයාට පුළුවන්.
බයිබල් පාඩම්
16 යුදෙව් ආගමට හැරුණු කෙනෙක් ශුද්ධ ලියවිල්ල කියවමින් ඉද්දී “ඔබ කියවන දේ ඔබට ඇත්තටම වැටහෙනවාද” කියලා ෆිලිප් ඇහුවා. ඔහු පිළිතුරු දුන්නේ “කාගෙවත් මඟ පෙන්වීමක් නැතුව මේ දේවල් මම කොහොමද තේරුම්ගන්නේ” කියලයි. ශුද්ධ ලියවිල්ලෙන් ඔහු කියවමින් හිටිය කොටසින් පටන් අරන් ෆිලිප් “ඔහුට යේසුස් පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කළා.” (ක්‍රියා 8:26-36) ෆිලිප් ඒ කෙනා එක්ක කොච්චර වෙලාවක් කතා කළාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ෆිලිප් ශුභාරංචිය කොයි තරම් දක්ෂ විදිහට පැහැදිලි කළාද කියනවා නම් ඒ කෙනා තමන්ව බව්තීස්ම කරන්න කියලා කිව්වා. අන්තිමේදී ඔහු යේසුස්ගේ අනුගාමිකයෙක් වුණා.
17 අද ඉන්න හුඟදෙනෙක්ට බයිබලය ගැන ඒ තරම් දැනුමක් නැහැ. ඒ නිසා උනන්දුවක් පෙන්වපු කෙනෙක්ව කිහිප වතාවක්ම නැවත බලන්න යන්න වෙයි. ඒ කෙනාට දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගෙන බව්තීස්ම වෙන්න උදව් කරන්න සමහරවිට සති ගාණක්, මාස ගාණක් නැත්නම් අවුරුද්දක් හරි ඊට වැඩි කාලයක් හරි බයිබල් පාඩමක් කරන්න වෙයි. හැබැයි අවංක හදවත් තියෙන අයට යේසුස්ගේ ගෝලයෙක් වෙන්න අපි ඉවසීමෙන්, ආදරෙන් අවශ්‍ය කරන උපකාරය දෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා යේසුස් කියලා තියෙන දෙයින් ඒක පැහැදිලියි.—ක්‍රියා 20:35.
18 බයිබල් පාඩම් පැවැත්වීමේ අරමුණින් සකස් කරලා තියෙන ප්‍රකාශනයක් පාවිච්චි කරලා බයිබල් පාඩමක් පවත්වන්න ඔයා කැමති ඇති. සති මැද රැස්වීමෙන් ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නත් බයිබල් පාඩම් පවත්වන එක සම්බන්ධයෙන් අද්දැකීම් ලත් කෙනෙක් එක්ක වැඩ කරන්නත් උත්සාහ කරන්න. දක්ෂ විදිහට බයිබල් පාඩම් පවත්වමින් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න ඒ දේවල් ඔයාට උදව් වෙයි.
19 බයිබල් පාඩමක් පටන්ගන්නත් ඒක දිගටම කරගෙන යන්නත් ඔයාට යම් උපකාරයක් අවශ්‍ය නම් වැඩිමහල්ලෙක්ගෙන් හරි දක්ෂ විදිහට බයිබල් පාඩම් පවත්වන කෙනෙක්ගෙන් හරි ඒ ගැන අහන්න. ‘ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ තියෙන යෝජනාත් ඒ රැස්වීමේදී ඉදිරිපත් කරන නිරූපණත් ඔයාට උදව් වෙයි. දෙවියන්ව විශ්වාස කරලා ඔයාගේ හිතේ තියෙන ආශාව ගැන ඔහුට කියන්න. (1 යොහ. 3:22) පවුලේ අයත් එක්ක පවත්වන පාඩමට අමතරව තවත් බයිබල් පාඩමක් පවත්වන්න ඉලක්කයක් තියාගන්න. බයිබල් පාඩමක් පවත්වද්දී සේවයෙන් වැඩි සතුටක් ලබන්න ඔයාට පුළුවන් වෙනවා.
උනන්දුවක් පෙන්වන අයට සංවිධානයට එන්න උදව් කරන්න
20 යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගෙන යේසුස්ගේ ගෝලයෙක් වෙන්න අපි යම් කෙනෙක්ට උදව් කළාම ඒ කෙනාට සභාවේ කෙනෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා. බයිබල් ශිෂ්‍යයෙක්ට දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගෙන අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ ඒ කෙනා යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ගැන හරියටම අවබෝධ කරගෙන ඊට සම්පූර්ණ සහයෝගය දෙනවා නම් විතරයි. ඒ දේ කරන්න අපි ඒ අයට උදව් කරන්න ඕනේ. සමහර වීඩියෝ සහ ‘දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!’ කියන සඟරාව ඒකට උදව් වෙයි. මේ පොතේ 4වෙනි පාඩමේ තියෙන සමහර තොරතුරුත් ප්‍රයෝජනවත් වෙයි.
21 ශුභාරංචිය දේශනා කරන කාර්යයට මඟ පෙන්වන්න යෙහෝවා දෙවියන්ට යම් සංවිධානයක් තියෙනවා කියලා තේරුම්ගන්න බයිබල් ශිෂ්‍යයාට මුල ඉඳලාම උදව් කරන්න. අපේ ප්‍රකාශනවල වැදගත්කම ගැනත් දෙවියන්ගේ සෙනඟ අතරේ ඉන්න ස්වේච්ඡා සේවකයන් ඒවා ප්‍රකාශයට පත් කරලා බෙදාහරින්නේ කොහොමද කියලත් පැහැදිලි කරන්න. නමස්කාර මධ්‍යස්ථානයේ පැවැත්වෙන රැස්වීමකට ඔයාත් එක්ක එන්න කියලා ඔහුට ආරාධනා කරන්න. රැස්වීම් පවත්වන්නේ කොහොමද කියලා ඔහුට පැහැදිලි කරලා සභාවේ අයව ඔහුට හඳුන්වලා දෙන්න. සමුළුවලදී තවත් අයව ඔහුට හඳුන්වලා දෙන්න ඔයාට පුළුවන්. ඒ අවස්ථාවලට සහභාගි වෙලා එකිනෙකාව ආශ්‍රය කරද්දී යේසුස් කියපු විදිහට සැබෑ ප්‍රේමය අපි අතරේ තියෙනවා කියලා ඔහු තේරුම්ගනියි. (යොහ. 13:35) යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ගැන හිතේ තියෙන අගය වැඩි වුණාම යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙන්න ඔහුට පුළුවන් වෙයි.
බයිබල් ප්‍රකාශන
22 මුල් ක්‍රිස්තියානීන් දෙවියන්ගේ වචනය හරිම උද්‍යෝගයෙන් ප්‍රකාශ කළා. ඔවුන් තමන්ගේ පෞද්ගලික අධ්‍යයනයටත් සභාවේදී පාවිච්චි කරන්නත් ශුද්ධ ලියවිල්ලේ පිටපත් හැදුවා. දෙවියන්ගේ වචනය කියවන්න කියලා ඔවුන් අනිත් අයටත් උනන්දු කළා. ඔවුන් හදපු අත්පිටපත් තිබුණේ සීමිත සංඛ්‍යාවක් විතරයි. ඒවා හුඟක් වටිනා විදිහට සැලකුවා. (කොලො. 4:16; 2 තිමෝ. 2:15; 3:14-17; 4:13; 1 පේතෘ. 1:1) අද වෙද්දී සාක්ෂිකරුවන් නවීන මුද්‍රණ තාක්ෂණය යොදාගෙන බයිබලය සහ බයිබලය මත පදනම් ප්‍රකාශන මිලියන සිය ගණනක් ප්‍රකාශයට පත් කරනවා. භාෂා සිය ගණනකින් ප්‍රකාශයට පත් කරන පත්‍රිකා, සඟරා, පොත් සහ මාසික සඟරා ඒ අතරට අයිතියි.
23 ඔයා ශුභාරංචිය ගැන අනිත් අයට කියලා දෙද්දී බයිබලයේ තියෙන දේවල් ගැන උගන්වන්න යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන ප්‍රකාශනවලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඔයා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන හොඳින් අධ්‍යයනය කරලා ඒවායින් ප්‍රයෝජන ලබාගෙන තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම අනිත් අයටත් ඒ ප්‍රකාශන උනන්දුවෙන් දෙන්න පෙලඹෙයි.—හෙබ්‍රෙ. 13:15, 16.
24 දැන් වැඩිදෙනෙක් තොරතුරු ලබාගන්නේ අන්තර්ජාලය හරහායි. ඒ නිසා බයිබලය මත පදනම් අපේ ප්‍රකාශනවලට අමතරව jw.org කියන අපේ වෙබ් අඩවියත් ශුභාරංචිය ව්‍යාප්ත වෙන්න දායක වෙලා තියෙනවා. ලෝකෙ පුරාම ඉන්න අයට අපේ වෙබ් අඩවිය හරහා භාෂා සිය ගණනකින් බයිබලය සහ ඒ මත පදනම් ප්‍රකාශන කියවන්නත් ඒවාට සවන් දෙන්නත් පුළුවන්. අපිත් එක්ක කතා කරන්න ඒ තරම් කැමති නැති අයටත් සාක්ෂිකරුවන්ව කලාතුරකින් මුණගැහෙන පළාත්වල ඉන්න අයටත් නිවෙස්වල ඉඳන්ම අපේ විශ්වාසයන් ගැන දැනගන්න jw.org වෙබ් අඩවිය උදව් වෙලා තියෙනවා.
25 ඒ නිසා අපිට ලැබෙන හැම අවස්ථාවකදීම අපි jw.org කියන අපේ වෙබ් අඩවිය ගැන හැමෝටම කියනවා. කෙනෙක් අපේ විශ්වාසයන් ගැන ඇහුවොත් අපිට පුළුවන් ජංගම දුරකථනයක් හරි පරිගණකයක් හරි මාර්ගයෙන් ඒ වෙලාවෙම ඒකට උත්තර දෙන්න. සංඥා භාෂාව ඇතුළු වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ව අපිට මුණගැහුණොත් අපිට පුළුවන් ඔහුගේ භාෂාවෙන් බයිබලයත් ඒ මත පදනම් ප්‍රකාශනත් බලන්න පුළුවන් විදිහ ගැන කියලා දෙන්න. හුඟක් ප්‍රචාරකයන් අපේ වෙබ් අඩවියේ තියෙන වීඩියෝ පාවිච්චි කරලා සාකච්ඡාවන් පටන් අරන් තියෙනවා.
අවිධිමත්ව සාක්ෂි දැරීම
26 යේසුස් ඔහුට ඇහුම්කන් දෙමින් හිටිය අයට මෙහෙම කිව්වා. ‘ලෝකයේ ආලෝකය ඔබයි. ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.’ (මතෙ. 5:14-16) “ලෝකයේ ආලෝකය මමයි” කියලා කියපු යේසුස්ව ඔවුන් ආදර්ශයට ගත්ත නිසා යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙමින් ඔහු සතු ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් වුණා. සත්‍යය ගැන දැනගන්න කැමති අයගේ ප්‍රයෝජනය වෙනුවෙන් “ජීවනයට මඟ පෙන්වන ආලෝකය” බබළවන්න පුළුවන් විදිහ ගැන යේසුස් අපිට කදිම ආදර්ශයක් තියලා තියෙනවා.—යොහ. 8:12.
27 ඒ හා සමානව නියෝජිත පාවුල්ගේ ආදර්ශයත් අපිට අනුගමනය කරන්න පුළුවන්. (1 කොරි. 4:16; 11:1) ඇතන්ස්වල ඉද්දී ඔහු දිනපතාම වෙළඳපොළේදී මුණගැහුණු අයට දේශනා කළා. (ක්‍රියා 17:17) ෆිලිප්පියේ හිටිය ක්‍රිස්තියානීන් ඔහුගේ ආදර්ශය අනුගමනය කළා. ‘වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක් අතරේ ඔබ සිටියත් ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවයි’ කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (ෆිලි. 2:15) අපිටත් පුළුවන් ශුභාරංචිය ගැන කියන්න ලැබෙන හැම අවස්ථාවකම අපේ කතාවෙන් සහ හැසිරීමෙන් සත්‍යය නමැති ආලෝකය බැබළෙන්න සලස්වන්න. අපි අවංක සහ නිර්දෝෂ ජීවිතයක් ගත කරද්දී අපි හුඟක් වෙනස් කියලා අනිත් අය තේරුම්ගන්නවා. හැබැයි අපි ශුභාරංචිය ගැන ඒ අයත් එක්ක කතා කළොත් විතරයි ඒ වෙනසට හේතුව ඔවුන් දැනගන්නේ.
28 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැකියා ස්ථානයේදී, පාසැලේදී, පොදු ප්‍රවාහණ මාධ්‍යයකින් ගමන්බිමන් යද්දී සහ වෙනත් අවස්ථාවලදී ඔවුන්ට මුණගැහෙන අයට ශුභාරංචිය ගැන කියනවා. අපි ගමන්බිමන් යද්දී වෙනත් මඟීන් එක්ක කතා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. අපිට පුළුවන් ඒ මාර්ගයෙන් සාක්ෂි දරන්න අවස්ථාවන් උදා කරගන්න. මිනිසුන්ව මුණගැහෙන ඕනෙම අවස්ථාවක සාක්ෂි දරන්න සූදානමින් ඉන්න අපි උත්සාහ කරමු.
29 එහෙම කරන එකෙන් අපි අපේ නිර්මාතෘව ප්‍රශංසාවට පත් කරනවා කියලත් ඔහුගේ නාමය ගෞරවයට පත් කරනවා කියලත් මතක තියාගත්තොත් ඒ දේ කරන්න අපි පෙලඹෙනවා. ඒ විතරක් නෙවෙයි අවංක හදවත් තියෙන අයට යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුට සේවය කරන්නත් යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියලා ජීවනය ලබාගන්නත් පුළුවන් වෙනවා. අපි ඒ දේවල් කරද්දී යෙහෝවා දෙවියන් ඒ ගැන හුඟක් සතුටු වෙනවා. ඔහු ඒක සලකන්නේ පරිශුද්ධ සේවයක් විදිහටයි.—හෙබ්‍රෙ. 12:28; එළි. 7:9, 10.
දේශනා කරන්න පවරලා තියෙන ප්‍රදේශය
30 නගරවලත් ගම්මානවලත් ඉන්න හැමෝම ශුභාරංචිය ගැන දැනගන්නවාට යෙහෝවා දෙවියන් කැමතියි. ඒක ඉටු කරන්න ශාඛා කාර්යාලය සභාවලටත් දුර ඈත ප්‍රදේශවල සේවය කරන අයටත් යම් ප්‍රදේශ පවරනවා. (1 කොරි. 14:40) ඒ සැලැස්ම පළවෙනි සියවසේදී ශුභාරංචිය දේශනා කරන්න දෙවියන් ඇති කරපු සැලැස්මට එකඟයි. (2 කොරි. 10:13; ගලා. 2:9) මේ අවසාන කාලයේ දේවරාජ්‍යයට සම්බන්ධ වැඩකටයුතු විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා සභාවට පවරලා තියෙන ප්‍රදේශය පුරාම දේශනා කරන එක හොඳින් සංවිධානය කරලා තියෙනවා නම් හුඟක් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
31 ඒ දේවල් සංවිධානය කරන මූලික වගකීම පැවරිලා තියෙන්නේ සේවා සංවිධායකට වුණත් සේවයේ යන්න යම් ප්‍රදේශ පවරන වගකීම සහායක සේවකයෙක්ට භාර දෙන්න පුළුවන්. දේශනා කරන්න පවරන ප්‍රදේශ කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි පෞද්ගලික ප්‍රදේශ සහ සේවා කණ්ඩායම් විදිහට සේවය කරන ප්‍රදේශ. යම් සභාවකට දේශනා කරන්න පැවරිලා තියෙන්නේ පොඩි ප්‍රදේශයක් නම් කණ්ඩායම් විදිහට ඒක ආවරණය කරන්න කණ්ඩායම් භාර වැඩිමහල්ලන්ට යම් ප්‍රදේශ දෙනවා. ඒත් දේශනා කරන්න විශාල ප්‍රදේශයක් ලැබිලා තියෙන සභාවල ඉන්න ප්‍රචාරකයන්ට පෞද්ගලික ප්‍රදේශයක් ඉල්ලගන්න පුළුවන්.
32 ක්ෂේත්‍ර සේවා රැස්වීමක් සැලසුම් කරලා නැති අවස්ථාවලදී හරි සභාවෙන් සේවයේ යන්න සැලසුම් කරලා තියෙන ප්‍රදේශයට යන එක ප්‍රායෝගික නොවන අවස්ථාවලදී හරි තමන්ට පැවරිලා තියෙන පෞද්ගලික ප්‍රදේශයේ සේවය කරන්න ප්‍රචාරකයන්ට පුළුවන්. උදාහරණයකට සමහර ප්‍රචාරකයන්ට ඔවුන්ගේ රැකියා ස්ථානය කිට්ටුවෙන් යම් පෞද්ගලික ප්‍රදේශයක් ලැබිලා තියෙන නිසා ඒ අය දවල් කෑමට වැඩ නතර කරන වෙලාවේදී එහෙමත් නැත්නම් වැඩ වෙලාවෙන් පස්සේ ඒ ප්‍රදේශයේ සේවය කරනවා. සමහර පවුල්වලට ඔවුන්ගේ නිවස අවටින් පෞද්ගලික ප්‍රදේශයක් පැවරිලා තියෙන නිසා ඔවුන් සවස් කාලයේදී ඒ ප්‍රදේශයේ සේවය කරනවා. ප්‍රචාරකයෙක්ට පෞද්ගලික ප්‍රදේශයක් ලැබුණාම ඔහුගේ උපරිමයෙන් සේවයේ හවුල් වෙන්න ඒක උදව් වෙනවා. පෞද්ගලික ප්‍රදේශයක් ලැබිලා තියෙන ප්‍රචාරකයන්ට පුළුවන් අනිත් ප්‍රචාරකයන්වත් ඒ ප්‍රදේශයේ සේවය කරන්න හවුල් කරගන්න. පෞද්ගලික ප්‍රදේශයක් ලබාගන්න ඔයාත් කැමති නම් ක්ෂේත්‍ර සේවා ප්‍රදේශය භාරව ඉන්න සහෝදරයාට ඒ ගැන කියන්න.
33 කණ්ඩායම් භාර වැඩිමහල්ලෙක්ට තමන්ගේ කණ්ඩායම එක්ක සේවය කරන්න යම් ප්‍රදේශයක් පැවරිලා තිබුණත් ප්‍රචාරකයෙක්ට පෞද්ගලික ප්‍රදේශයක් පැවරිලා තිබුණත් ප්‍රදේශයේ ඉන්න හැම කෙනෙක්ටම සාක්ෂි දරන්න උපරිමයෙන් උත්සාහ කරන්න ඕනේ. සේවයේ යන අතරතුරේදී නිවැසියන් හෝ නිවෙස් පිළිබඳ තොරතුරු සටහන් කරගද්දී ඒකට අදාළව රටේ පවතින දත්ත රැකීම පිළිබඳ නීති ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කණ්ඩායම් භාර වැඩිමහල්ලන් සහ පෞද්ගලික ප්‍රදේශයක් ඉල්ලගත්ත ප්‍රචාරකයන් තමන්ට පැවරිලා තියෙන ප්‍රදේශය මාස හතරක් ඇතුළත ආවරණය කරන්න උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන් ආවරණය කළාට පස්සේ ක්ෂේත්‍ර සේවා ප්‍රදේශය භාරව ඉන්න සහෝදරයාට ඒ ගැන දැනුම් දෙන්න ඕනේ. වැඩ කරපු ප්‍රදේශයේ දිගටම වැඩ කරන්න කණ්ඩායම් භාර වැඩිමහල්ලන් සහ පෞද්ගලික ප්‍රදේශයක් ඉල්ලගත්ත ප්‍රචාරකයන් කැමති නම් ඒ ගැන ක්ෂේත්‍ර සේවා ප්‍රදේශය භාරව ඉන්න සහෝදරයාට කියන්න පුළුවන්. තත්වයන් සලකලා බලලා ඔවුන්ට ඒ ප්‍රදේශය නැවත භාර දෙන්න හරි භාර නොදෙන්න හරි ක්ෂේත්‍ර සේවා ප්‍රදේශය භාරව ඉන්න සහෝදරයාට තීරණය කරන්න පුළුවන්.
34 සභාවේ හැමෝම ඒ සැලසුම්වලට සහයෝගය දෙනවා නම් සභාවට පවරලා තියෙන ප්‍රදේශය සම්පූර්ණයෙන් ආවරණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම එකම ප්‍රදේශයක විවිධ කණ්ඩායම් එකම වෙලාවකදී සේවයේ යන එක වළක්වන්නත් පුළුවන් වෙනවා. එතකොට ගෙවල්වල ඉන්න අය අපහසුතාවට පත් වෙන්නෙත් නැහැ. අපි අපේ සහෝදරයන් ගැන වගේම දේශනා කරන්න අපිට පැවරිලා තියෙන ප්‍රදේශයේ ඉන්න අය ගැනත් සැලකිලිමත් වෙනවා කියලා ඒකෙන් පෙන්වන්න පුළුවන්.
සියලු භාෂාවලින් සාක්ෂි දරන්න සහයෝගය දීම
35 යෙහෝවා දෙවියන් ගැනත් යේසුස් ගැනත් දෙවියන්ගේ රාජ්‍යය ගැනත් හැමෝම දැනගන්න ඕනේ. (එළි. 14:6, 7) අපිත් උත්සාහ කරන්නේ සියලුම භාෂාවලට අයත් අයට යෙහෝවා දෙවියන්ගේ නාමය කියා අයැදීමෙන් ගැලවීම ලබාගන්නත් අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නත් උදව් කරන්නයි. (රෝම 10:12, 13; කොලො. 3:10, 11) භාෂා කිහිපයක් කතා කරන මිනිසුන් ඉන්න ප්‍රදේශවල දේශනා සේවය කරද්දී මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝගවලටද? හැමෝටම තමන්ගේම භාෂාවෙන් ශුභාරංචිය දැනගන්න ලැබෙන විදිහට ඒ අභියෝග ජය ගන්න පුළුවන් කොහොමද?—රෝම 10:14.
36 දේශනා කරන්න සභාවලට ප්‍රදේශයන් පවරන්නේ භාෂාවලට අනුවයි. ඒ නිසා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඉන්න ප්‍රදේශයක, සභා කිහිපයකම ප්‍රචාරකයන් සේවයේ හවුල් වෙනවා. ඒ වගේ අවස්ථාවලදී ප්‍රචාරකයන් තමන්ට අදාළ භාෂාව කතා කරන අයට විතරක් දේශනා කරන එක වඩාත් සුදුසුයි. ඒක වාර්ෂිකව ආරාධනා පත්‍රිකා බෙදන එකටත් අදාළයි. හැබැයි මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරද්දී සහ අවිධිමත්ව සාක්ෂි දරද්දී ඕනෙම භාෂාවක් කතා කරන අයට දේශනා කරන්නත් ඒ අයගේ භාෂාවෙන් තියෙන ප්‍රකාශන දෙන්නත් ප්‍රචාරකයන්ට පුළුවන්.
37 සමහර අවස්ථාවලදී වෙනත් භාෂාවක් කතා කරන සභාවකට පැවරිලා තියෙන යම් ප්‍රදේශ ඈතින් පිහිටලා තියෙන නිසා නිතිපතා ආවරණය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඒ ප්‍රදේශයේ සේවය කරන වෙනත් සභාවල සේවා සංවිධායක හැටියට සේවය කරන සහෝදරයන් එකතු වෙලා අදාළ ප්‍රදේශය හොඳින් ආවරණය කරන්න අවශ්‍ය සැලසුම් යොදන්න ඕනේ. හැම කෙනෙක්ටම ශුභාරංචිය ගැන කියන්නත් එකම අවස්ථාවකදී සභා කිහිපයකම අය එකම ප්‍රදේශයේ සේවයේ හවුල් වෙන එකෙන් වළකින්නත් ඒක උදව් වෙනවා.—හිතෝ. 15:22.
38 ගෙයින් ගෙට සේවයේ යද්දී වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ව මුණගැහුණොත් මොකද කරන්නේ? ඔහුගේ භාෂාව කතා කරන කෙනෙක් ඇවිත් ඔහු එක්ක කතා කරයි කියලා හිතාගෙන එතනින් යනවා වෙනුවට කෙටියෙන් ඔහුට සාක්ෂි දරන්න උත්සාහ කරන්න. සමහර ප්‍රචාරකයන් ඔවුන්ට සේවයේදී නිතර මුණගැහෙන අය කතා කරන වෙනත් භාෂාවකින් කෙටියෙන් සාක්ෂි දරන්න පුරුදු වෙලා ඉන්නවා. වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ව අපිට මුණගැහුණාම jw.org කියන අපේ වෙබ් අඩවිය හරහා ඔහුගේම භාෂාවෙන් අපේ ප්‍රකාශන කියවන්න හරි සවන් දෙන්න හරි පුළුවන් විදිහ ඔහුට පෙන්වන්න. එහෙමත් නැත්නම් ඔහුගේ භාෂාවෙන් ප්‍රකාශන ගෙනත් දෙන්නද කියලා ඔහුගෙන් අහන්න.
39 උනන්දුවක් පෙන්වන කෙනෙක්ව මුණගැහුණොත් ඔහුගේ භාෂාවෙන් කතා කරන කෙනෙක් මාර්ගයෙන් ඔහුට උදව් කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ඔහුගේ භාෂාවෙන් රැස්වීම් පවත්වන තැන ගැනත් ඔහුට කියන්න පුළුවන්. තමන්ගේම භාෂාවෙන් කතා කරන කෙනෙක්ව මුණගැහෙන්න ඔහු කැමති නම් jw.org කියන අපේ වෙබ් අඩවිය හරහා ඔහුව හමු වෙන්න පුළුවන් විදිහ ගැන තොරතුරු ඇතුළත් කරන්නේ කොහොමද කියලා පෙන්වන්න. ශාඛා කාර්යාලයට ඒ තොරතුරු ලැබුණාම ඔහුට උපකාර කරන්න පුළුවන් ප්‍රචාරකයෙක්ට, කණ්ඩායමකට නැත්නම් සභාවකට ඔහු ගැන දැනුම් දෙයි.
40 උනන්දුවක් පෙන්වපු කෙනා තමන්ගේම භාෂාවෙන් කතා කරන කෙනෙක් ඔහුව හමු වෙන්න ආවා කියලා කියන කල් අපි විටින් විට ගිහින් ඔහුව බලන්න ඕනේ. උනන්දුවක් පෙන්වපු කෙනා කතා කරන භාෂාව කතා කරන කෙනෙක්ව හොයාගන්න බැහැ කියලා සමහර අවස්ථාවලදී ශාඛා කාර්යාලයෙන් අදාළ සභාවේ වැඩිමහල්ලන්ට දැනුම් දෙයි. එහෙම වුණොත් අපිට පුළුවන් අපේ උපරිමයෙන් ඒ පුද්ගලයාගේ උනන්දුව වැඩි කරන්න වෑයම් කරන්න. ඔහුත් එක්ක බයිබල් පාඩමක් කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. බයිබල් පාඩමක් කරන්න සකස් කරලා තියෙන ප්‍රකාශනයක් ඔහුගේ භාෂාවෙන් ලබා දෙන්න. ඒකේ පින්තූර හොඳින් පාවිච්චි කරන්න. අදාළ බයිබල් පද ඔහුගේ බයිබලයෙන්ම කියවන්න කියලා කියන්න. බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් ගැන යම් අවබෝධයක් ලබාගන්න ඒක ඔහුට උදව් වෙයි. ඒ කෙනා කතා කරන භාෂාවත් ඔයා කතා කරන භාෂාවත් යම් ප්‍රමාණයකට දන්න කෙනෙක් ඒ නිවසේ ඉන්නවා නම් පරිවර්තකයෙක් විදිහට ඔය දෙන්නාට උදව් කරන්න ඔහු කැමති වෙයි.
41 උනන්දුවක් පෙන්වපු කෙනාට දෙවියන්ගේ සංවිධානයට එන්න උදව් කරන්න නම් අපි අනිවාර්යයෙන්ම ඔහුට අපේ රැස්වීම්වලට ආරාධනා කරන්න ඕනේ. රැස්වීම්වලදී උගන්වන හුඟක් දේවල් ඔහුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් රැස්වීමේදී සඳහන් කරන බයිබල් පද ඔහුගේ බයිබලයෙන් පෙරළලා බලන්න උදව් කරන්න. ඒ වගේම සභාවේ අයව ඇසුරු කරන එකෙනුත් ඔහු දිරිගැන්වීමක් ලබයි. දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නත් ඒක ඔහුට උදව් වෙයි.
42 ප්‍රාථමික කණ්ඩායම්: සභාවකට පැවරිලා තියෙන ප්‍රදේශයක වෙනත් භාෂාවක් කතා කරන අය ඉන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ප්‍රාථමික කණ්ඩායමක් ඒ කියන්නේ ඒ භාෂාවෙන් දේශනා කරන්න පුළුවන් ප්‍රචාරකයන් කිහිපදෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් පිහිටුවන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. සමහරවිට ඒ කණ්ඩායමට ඒ භාෂාවෙන් රැස්වීම් පවත්වන්න සහායක සේවකයෙක්වත් වැඩිමහල්ලෙක්වත් නැති වෙන්න පුළුවන්. ප්‍රාථමික කණ්ඩායමක් පිහිටුවන්න අවසර දෙන්න කලින් ශාඛා කාර්යාලය මේ කාරණා ගැන සැලකිලිමත් වෙනවා.
(1) ඒ ප්‍රදේශයේ අදාළ භාෂාව කතා කරන සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්න ඕනේ.
(2) ඒ භාෂාව දන්න එහෙමත් නැත්නම් ඉගෙනගන්න ප්‍රචාරකයන් කිහිපදෙනෙක්වත් ඉන්න ඕනේ.
(3) සභාවක වැඩිමහල් මණ්ඩලයක් ඒ කණ්ඩායමේ සේවය සැලසුම් කරන වගකීම භාරගන්න කැමති වෙන්න ඕනේ.
සභාවක වැඩිමහල් මණ්ඩලය ප්‍රාථමික කණ්ඩයමක් පිහිටුවන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඒ ගැන චාරිකා සේවක එක්ක කතා කරන්න ඕනේ. ඒ භාෂාවෙන් කතා කරන අයට දේශනා කරන්න දැනටමත් උත්සාහ කරන ප්‍රචාරකයන් ඉන්නේ මොන සභාවලද කියලත් ප්‍රාථමික කණ්ඩායමක් පිහිටුවන්න වඩාත්ම සුදුසු සභාව මොකක්ද කියලත් තේරුම්ගන්න උදව් වෙන තොරතුරු ලබා දෙන්න චාරිකා සේවකට පුළුවන්. ප්‍රාථමික කණ්ඩායමක් පිහිටුවන්න වඩාත්ම සුදුසු මොන සභාවෙද කියලා තීරණය වුණාට පස්සේ අදාළ සභාවේ වැඩිමහල්ලන් ප්‍රාථමික කණ්ඩායමක් පිහිටුවන්න අවසර ඉල්ලලා ශාඛා කාර්යාලයට ලිපියක් යවනවා.
43 කණ්ඩායම්: කණ්ඩායමක් පිහිටුවන්න අවසර දෙන්න කලින් ශාඛා කාර්යාලය මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා.
(1) අදාළ භාෂාව කතා කරන සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්න ඕනෙ වගේම වැඩිදෙනෙක් උනන්දුවක් පෙන්වන අය වෙන්නත් ඕනේ.
(2) ඒ භාෂාව දන්න එහෙමත් නැත්නම් ඉගෙනගන්න ප්‍රචාරකයන් කිහිපදෙනෙක්වත් ඉන්න ඕනේ.
(3) සතිපතා එක රැස්වීමක්වත් අඩුම තරමින් රැස්වීමක කොටසක්වත් ඒ කියන්නේ බයිබල් දේශනය එහෙමත් නැත්නම් ‘මුරටැඹ’ පාඩම පවත්වන්න සුදුසුකම් තියෙන සහායක සේවකයෙක් හරි වැඩිමහල්ලෙක් හරි ඉන්න ඕනේ.
ඒ අවශ්‍යතා සැලකිය යුතු ප්‍රමාණයකින් තියෙනවා නම් වැඩිමහල් මණ්ඩලය අදාළ සම්පූර්ණ තොරතුරු ඇතුළත් කරලා කණ්ඩායමක් බලාගන්නා සභාවක් හැටියට කටයුතු කරන්න අවසර ඉල්ලලා ශාඛා කාර්යාලයට ලිපියක් යවයි. ඒ කණ්ඩායමේ මූලිකත්වය අරන් වැඩ කරන වැඩිමහල්ලා හරි සහායක සේවකයා හරි තමයි “කණ්ඩායම භාර වැඩිමහල්ලා” හරි “කණ්ඩායම් සේවක” විදිහට හරි කටයුතු කරන්නේ.
44 කණ්ඩායමක් පිහිටෙව්වාට පස්සේ ඒ කණ්ඩායම භාරව ඉන්න සභාවේ වැඩිමහල් මණ්ඩලයට පුළුවන් අනිත් රැස්වීමුත් පටන්ගන්න පුළුවන්ද සහ මාසෙකට කොපමණ වතාවක් රැස්වීම් පවත්වනවාද කියලා තීරණය කරන්න. කණ්ඩායමක් විදිහට ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන්නත් සැලසුම් කරන්න පුළුවන්. කණ්ඩායමේ හැමෝම වැඩ කරන්නේ කණ්ඩායම භාරව ඉන්න සභාවේ වැඩිමහල් මණ්ඩලය යටතෙයි. ඒ වැඩිමහල්ලන් කණ්ඩායමේ අයගේ අවශ්‍යතාවන් බලාගනිමින් ඔවුන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම් ලබා දෙයි. කණ්ඩායම භාරව ඉන්න සභාවට චාරිකා සේවක ආවාම ඔහු ඒ කණ්ඩායමේ අය එක්කත් සේවය කරනවා. ඊටපස්සේ කණ්ඩායමේ වර්ධනය ගැනත් වෙනත් නිශ්චිත දේවල් ගැනත් දැනුම් දෙමින් ශාඛා කාර්යාලයට ලියුමක් යවනවා. සමහරවිට කාලයත් එක්කම ඒ කණ්ඩායමට සභාවක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබෙයි. කණ්ඩායමේ සේවය කරන හැමෝම සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙයි කියලා නිසැක වෙන්න පුළුවන්.—1 කොරි. 1:10; 3:5, 6.
කණ්ඩායමක් විදිහට සේවය කිරීම
45 කැප වෙලා ඉන්න හැම ක්‍රිස්තියානියෙක්ටම වගකීමක් තියෙනවා අනිත් අයට ශුභාරංචිය ගැන කියන්න. ඒ දේ කරන්න පුළුවන් ක්‍රම හුඟක් තියෙනවා. හැබැයි අපි අතරේ ඉන්න හුඟක් අය කැමති අනිත් අයත් එක්ක එකතු වෙලා සේවයේ හවුල් වෙන්නයි. (ලූක් 10:1) ඒ නිසා සති අන්තවලදී වගේම සතියේ දවස්වලත් සභාවක් විදිහට සේවයේ යන්න සැලසුම් කරලා තියෙනවා. රැකියාවලට යන හුඟක් අයට නිවාඩු දවස්වල සේවයේ හවුල් වෙන්න පුළුවන් නිසා කණ්ඩායමක් විදිහට සේවයේ යන්න ඒ දවස්වලත් සැලසුම් කරන්න පුළුවන්. දවස පුරාම සුදුසු ස්ථාන සහ සුදුසු වෙලාවන්වල ක්ෂේත්‍ර සේවා රැස්වීම් සැලසුම් කරන වගකීම මූලිකවම තියෙන්නේ සභාවේ සේවා කමිටුවට.
46 කණ්ඩායමක් විදිහට සේවයේ යද්දී “එකිනෙකාව දිරිගැන්වීමටත්” ප්‍රචාරකයන්ට අවස්ථාව ලැබෙනවා. (රෝම 1:12) අලුතින් ප්‍රචාරකයන් වුණු අයට පුළුවන් දක්ෂ, අද්දැකීම් තියෙන ප්‍රචාරකයන් එක්ක සේවයේ හවුල් වෙලා පුහුණුවක් ලබන්න. ආරක්ෂිත හේතු මත සමහර ප්‍රදේශවල ප්‍රචාරකයන් දෙන්නෙක්ට හරි ඊට වැඩිදෙනෙක්ට හරි එකට සේවයේ යන්න කියලා උපදෙස් ලැබෙයි. ඔයා තනිවම සේවයේ යන්න සැලසුම් කළත් ක්ෂේත්‍ර සේවා රැස්වීමට හවුල් වෙනවා නම් ඒකෙන් හැමෝටම දිරිගැන්වීමක් ලැබෙනවා. තවත් අය ළඟපාත සේවයේ හවුල් වෙනවා කියලා දැනගෙන ඉන්න එක ඔයාට හයියක් වෙයි. සමහර අවස්ථාවලදී සභාවක් සතිය පුරාම ක්ෂේත්‍ර සේවා රැස්වීම් සංවිධානය කරන්න පුළුවන්. ඒ හැම රැස්වීමකටම පුරෝගාමීන් ඇතුළු අනිත් ප්‍රචාරකයන් එන්න ඕනෙ කියලා නීතියක් නැහැ. හැබැයි හැම සතියකම දවස් කිහිපයක්වත් ක්ෂේත්‍ර සේවා රැස්වීමට සහභාගි වෙන්න ඔවුන්ට පුළුවන්.
47 යේසුස්ගේ සහ ඔහුගේ නියෝජිතයන්ගේ ආදර්ශය අනුගමනය කරන්න අපි හැමෝම වෑයම් කරමු. දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අනිත් අයට කියන්න අපේ උපරිමය කරනවා නම් යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය අපිට ලැබෙයි කියලා නිසැක වෙන්න පුළුවන්.—ලූක් 9:57-62.