විශ්වාස කළ හැකි පොතක්—5වන කොටස
ග්‍රීසිය ගැන බයිබල් වාර්තාව
බයිබල් ඉතිහාසයේ තිබූ විවිධ ලෝක අධිරාජ්‍යයන් හතෙන්, මෙහි කතා කරන්නේ පස්වෙනි අධිරාජ්‍යය ගැනයි. මෙම එක් එක් අධිරාජ්‍යය ගැන සාකච්ඡා කරන ලිපි මාලාවේ අරමුණ වන්නේ, බයිබලය දෙවිගෙන් ලැබුණු විශ්වසනීය පොතක් බව පෙන්වීම හා මිනිසුන්ගේ අනිසි පාලනය නිසා ඇති වී තිබෙන දුක් වේදනා අවසන් වන බවට බලාපොරොත්තුවක් අප තුළ ඇති කිරීමයි.
ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේදී ග්‍රීසිය ලෝක අධිරාජ්‍යයක් බවට පත් කරමින් ඇලෙක්සැන්ඩර් නමැති තරුණයා ඉදිරියට පැමිණියා. පසු කාලයේදී මහා ඇලෙක්සැන්ඩර් ලෙස හැඳින්වූයේ මේ තරුණයායි. බයිබල් ඉතිහාසයේ පස්වෙනි ලෝක අධිරාජ්‍යය ලෙස සඳහන් වන්නේ ග්‍රීසියයි.a ඊට කලින් පැවති රාජ්‍යයන් නම් ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනිය සහ මේද පර්සියාවයි.
ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසුව ක්‍රමක්‍රමයෙන් ග්‍රීසිය බිඳ වැටෙන්න පටන්ගත්තා. නමුත් ග්‍රීක භාෂාව, ආගම්, සංස්කෘතිය සහ විවිධ දර්ශනවාදීන්ගේ අදහස් නම් එතැනින් නතර වුණේ නැහැ.
විශ්වාස කළ හැකි තොරතුරු
ග්‍රීසිය අධිරාජ්‍යයක්ව පැවති කාලයේදී බයිබල් පොත් කිසිවක් ලියා නැහැ. ඒ වගේම ඒ කාලය තුළ දෙවිගේ අනාගතවක්තෲන් අනාවැකි පැවසුවා කියාවත් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් බයිබලයේ පරණ ගිවිසුම ලෙස හඳුන්වන කොටසේ ඇති අනාවැකිවල ග්‍රීසිය ගැන සඳහන් වෙනවා. එමෙන්ම අලුත් ගිවිසුමේද ග්‍රීක බලපෑම් ගැන වාර්තා වෙනවා. උදාහරණයකට ඊශ්‍රායෙල් ප්‍රදේශයේ දෙකපොලිසය නමැති ස්ථානයක් තිබූ බව බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 4:25; මාක් 5:20; 7:31) එය ග්‍රීක භාෂාවෙන් පැමිණි වචනයක්. එහි අර්ථය “නගර දහය” යන්නයි. එම ප්‍රදේශය ග්‍රීක බලපෑමට හසු වී තිබූ බව ඉතිහාස පොත්, සොයාගෙන තිබෙන ආගමික ස්ථාන, ක්‍රීඩාංගණ, රංග ශාලා සහ නාන තටාක සාක්ෂි සපයනවා.
අලුත් ගිවිසුමට අයත් එක් පොතක් වන ක්‍රියා පොත ලියනු ලැබුවේ වෛද්‍යවරයෙකු වූ ලූක් විසිනුයි. ග්‍රීක සංස්කෘතිය සහ ආගම් ගැන එහි බොහෝ තොරතුරු වාර්තාවෙනවා. එවැනි තොරතුරු කිහිපයක් අපි සලකා බලමු.
දෙවිගේ සේවකයෙකු වූ පාවුල් ක්‍රිස්තු වර්ෂ 50දී ඇතන්ස් නගරයට ගියා. “ඒ නුවර දේවතා රූපවලින් පිරී” තිබෙනවා ඔහු දුටු බව ලූක් වාර්තා කරනවා. (ක්‍රියා 17:16) එය සත්‍යය බව ඉතිහාස වාර්තාවලින් ඔප්පු වෙනවා.
“ඇතන්ස්හි වැසියන් හා එහි තාවකාලිකව නැවතී සිටි විදේශිකයන් පුරුදු වී සිටියේ තමන්ට ලැබෙන විවේක කාලයේදී නිතරම යම් අලුත් දෙයක් ගැන කතාබහ කිරීමට හෝ එවැනි දෙයකට සවන් දීමටය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 17:21) ඇතන්ස් නගරයේ වැසියන්ගේ එම පුරුද්ද ගැන ඉතිහාසඥයන් වන තූසිඩඩීස් සහ ඩෙමොස්තෙනස් වාර්තා කරනවා.
‘එපිකියුරිය සහ ස්ටොයික දර්ශන අනුගමනය කළ කිහිපදෙනෙක් ඔහු [පාවුල්] සමඟ වාද කළ’ බවත් තවත් දේවල් සාකච්ඡා කිරීමට ඔහුව “ඇරියොපගස් කන්දට” ගෙන ගිය බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 17:18, 19) ඇතන්ස් නගරය එපිකියුරියන් සහ ස්ටොයික වැනි දර්ශනවාදීන් බොහෝදෙනෙක් සිටි ප්‍රදේශයක් ලෙසට ප්‍රසිද්ධයි.
පාවුල් ඇතන්ස් නගරයට ගිය අවස්ථාවේ එහි වැසියන් “නාඳුනන දෙවි කෙනෙකු” වෙනුවෙන් ඉදි කර තිබූ පූජාසනයක් දුටු අතර එවැනි පූජාසන කිහිපයක්ම එහි තිබුණා. (ක්‍රියා 17:23) සමහරවිට ඒවා ක්‍රීට් ජාතික කවියෙකු වූ එපිමෙනිදීස් විසින් ඉදි කළා විය හැකියි.
මිනිසා දෙවිගේ නිර්මාණයක් කියා පැහැදිලි කරමින් පාවුල් ඇතන්ස්හි වැසියන්ට මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම ඔබේ ඇතැම් කවිකාරයන් ඒ ගැන පවසා තිබෙන්නේ ‘අපි ඔහුගේ දරුවෝ’ වන බවයි.” (ක්‍රියා 17:27, 28) පාවුල් සඳහන් කරන ‘කවිකාරයන්’ ඇරේටස් සහ ක්ලියැන්තීස් විය හැකියි.
පාවුල් පවසන තොරතුරුවල විශ්වාසවන්තභාවය ගැන එක් විශාරදයෙක් මෙසේ පවසනවා. “ඇතන්ස් නගරය ගැන පාවුල් කියන දේවලින් පැහැදිලි වෙන්නේ ඔහු ඇත්තටම ඇතන්ස්වලට ගිහින් තියෙන බවයි.” පාවුල් එෆීසයට ගිය ගමන ගැනත් පැවසිය හැක්කේ එයමයි.
එෆීසයේ සිටි බොහෝදෙනෙක් නමස්කාර කළේ ආටෙමිස් නම් ග්‍රීක දේවතාවියටයි. එම නගරයේ ඇය වෙනුවෙන් ඉදි කළ ඉතා ජනප්‍රිය දේවාලයක්ද තිබුණා. ඒ දේවාලය ගැන ක්‍රියා පොතේ කිහිප වතාවක්ම සඳහන් වෙනවා. උදාහරණයකට දෙමේත්‍රියස් නම් රිදීකරුවෙකු, “ආටෙමිස්ගේ දේවාලය හා සමාන කුඩා රිදී රූප සෑදූ” බව බයිබලයේ සඳහන් වෙනවා. වරක් දෙමේත්‍රියස්, පාවුල් ගැන මෙසේ පැවසුවා. ‘දැන් පාවුල් කියන මනුෂ්‍යයෙක් එෆීසයට ඇවිල්ලා. ඔහු විශාල සමූහයක්ව වෙනත් දෙයක් පස්සේ යන්න පොලඹවා තිබෙනවා. ඔහු කියන්නේ මිනිසුන් සාදන දෙවිවරුන් ඇත්තටම දෙවිවරුන් නොවන බවයි.” පසුව ඔහු මැර පිරිසක් සමඟ එකතු වී මෙසේ කෑගැසුවා. “එෆීසයේ වැසියන්ගේ ආටෙමිස් දේවතාවිය සදා වැජඹේවා!”—ක්‍රියා 19:23-28.
අදටත් ඉපැරණි එෆීස නගරයේ නටබුන් අතර ආටෙමිස් දේවතාවියගේ දේවාලයද දැකගත හැකියි. ඒ වගේම ආටෙමිස් දේවතාවියගේ සහ ඇගේ දේවාලය හා සමාන රූප සාදා තිබෙන බවත් රිදීකරුවන්ගේ සංගමයක් තිබූ බවත් ශිලා ලේඛනවල සඳහන් වෙනවා.
විශ්වාස කළ හැකි අනාවැකි
මහා ඇලෙක්සැන්ඩර්ගේ කාලයට වසර 200කට පමණ පෙර අනාගතවක්තෘවරයෙක් වූ දානියෙල් මාර්ගයෙන් යෙහෝවා දෙවි ලෝක අධිරාජ්‍යයන් ගැන මෙසේ පැවසුවා. ‘බස්නාහිර දෙසින් එළුවෙකු එනවා දුටුවෙමි. උගේ ඇස් දෙක අතරේ විශාල අඟක් තිබිණ. ඌ අඩිය බිම නොගෑවෙන තරම් මහත් වේගයකින් දුවගෙන ආවේය. ඌ මුළු පොළොව පුරාම දිව්වේය. අං දෙකක් ඇති බැටළුවා වෙතටද ඌ දුව ගොස් මහත් කෝපයෙන් ඌට ඇන උගේ අං දෙකම බිඳ දැමුවේය. ඌට විරුද්ධව සටන් කිරීමට බැටළුවාට කිසි ශක්තියක් තිබුණේ නැත. එබැවින් ඌ බැටළුවාව බිම දමා පාගා දැමුවේය. එළුවා උද්ධච්ච ලෙස ක්‍රියා කරමින් ඉතා බලවත් විය. එහෙත් ඌ බලවත් වූ විගසම උගේ විශාල අඟ කඩා දමන ලදි. ඉන්පසු ඒ අඟ වෙනුවට තව විශාල අං හතරක් හටගත්තේය. ඒ අං පොළොවේ සතර දිශාවටම විහිදී ගියේය.’—දානියෙල් 8:5-8.
එම අනාවැකියෙන් කතා කරන්නේ කා ගැනද? ඊට පිළිතුරු දානියෙල්ම සපයනවා. “අං දෙකක් ඇති බැටළුවාගෙන් නියෝජනය වන්නේ මේදිය සහ පර්සියානු රජවරුන්ය. එළුවා නම් ග්‍රීසියේ රජය. උගේ ඇස් අතරේ තිබූ විශාල අඟ නම් එම රාජ්‍යයේ පළමුවන රජය.”—දානියෙල් 8:20-22.
බැබිලෝනිය ලෝක අධිරාජ්‍යයක්ව පැවති කාලයේදීම ඊළඟට ලෝක බලවතුන් බවට පත් වන්නේ මේද පර්සියාව හා ග්‍රීසිය බව බයිබලයේ සඳහන් කර තිබුණා. ඊට අමතරව බයිබලයේ පැහැදිලිවම පවසා තිබුණේ ‘එළුවාගේ විශාල අඟ බලවත් වූ කාලයේදීම එය කඩා වැටෙන’ බවයි. ඉන්පසුව එම අඟ වෙනුවට අං හතරක් ඇති වුණත් ඒ කිසිවක් විශාල අඟට සම නොවන බවත් සඳහන් වුණා.—දානියෙල් 11:4.
ඒ අනාවැකිය අකුරටම ඉටු වුණා. ක්‍රි.පූ. 336දී ඇලෙක්සැන්ඩර් ග්‍රීසියේ රජ බවට පත් වූ අතර අවුරුදු හතක් ඇතුළත ඔහු බලවත් මේද පර්සියාව පරාජය කළා. මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් මහා ඇලෙක්සැන්ඩර් ඔහුගේ අධිරාජ්‍යය පුළුල් කළා. නමුත් වයස අවුරුදු 32දී එනම් ක්‍රි.පූ. 323දී ඔහු අකල් මරණයකට ගොදුරු වුණා. ඔහුගේ පෙළපතින් පැමිණි කිසි කෙනෙකුට එම රාජ්‍ය හිමි වුණේ නැහැ. ඒ වෙනුවට ලිසිමැකස්, කැසැන්ඩර්, සෙල්යුකස් සහ ටොලමි යන ඔහුගේ සෙන්පතීන් හතරදෙනෙක් එය හිමි කරගත්තා.
අනාගතවක්තෲන් වූ එසකියෙල් සහ සෙකරියා ජීවත් වුණේ ක්‍රි.පූ. හත්වන හා හයවන සියවස අතරතුරේයි. ඔවුන් දෙදෙනා තීර් නම් නගරයේ විනාශය ගැන අනාවැකියක් පැවසුවා. (එසකියෙල් 26:3-5; 27:32-36; සෙකරියා 9:3, 4) එහිදී එසකියෙල් පැවසුවේ එම නගරයේ ඉතුරු වන ගල්ද ලීද දූවිලිද මුහුදට ඇද දමන බවයි. (එසකියෙල් 26:12) එම අනාවැකිය ඉටු වුණේ කෙසේද?
තීර් නගරයට කුඩා දූපතක්ද අයිති වුණා. ක්‍රි.පූ. 332දී මහා ඇලෙක්සැන්ඩර් ගොඩබිමේ තිබූ නගරය විනාශ කර එහි සුන්බුන්වලින් කුඩා දූපතට යෑමට මාර්ගයක් තැනුවා. ඒ ආකාරයට මහා ඇලෙක්සැන්ඩර් සහමුලින්ම තීර් නගරය විනාශ කළා. එක් දේශගවේෂකයෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “තීර්හි විනාශය ගැන සඳහන් අනාවැකි, තිතටම ඉටු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්.”b
විශ්වාස කළ හැකි බලාපොරොත්තුවක්
මහා ඇලෙක්සැන්ඩර් මොන තරම් ජයග්‍රහණ ලබාගත්තත් සාමකාමී සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට ඔහුට හැකි වුණේ නැහැ. ග්‍රීක අධිරාජ්‍යය සහ එහි පාලනය ගැන එක් විශාරදයෙක් මෙසේ පැවසුවා. “කොහොමවුණත් පොදු ජනයාට යහපතක් වුණා කියලා නම් කියන්න බැහැ.” ඉතිහාසය පුරාම දැකගන්න තිබෙන්නේ එයයි. එයින් අපට පැහැදිලි වන්නේ “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” කියා බයිබලයේ සඳහන් වදන්වල ඇති සත්‍යයතාවයි.—දේශනාකාරයා 8:9.
නමුත් අසාර්ථක මිනිස් පාලන සදහටම පවතින්නේ නැහැ. ඊට හේතුව දැනටමත් දෙවි ස්වර්ගයේ රාජ්‍යයක් පිහිටුවා තිබීමයි. ඉතාමත් ළඟදී එම රාජ්‍යය සියලුම මිනිස් ආණ්ඩු නැති කර දමා සියලුදෙනාටම සාමකාමී සුරක්ෂිත අනාගතයක් ලබා දෙනවා.—යෙසායා 25:6; 65:21, 22; දානියෙල් 2:35, 44; එළිදරව් 11:15.
දෙවිගේ රාජ්‍යයේ රජ ලෙස දෙවි පත් කර තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වයි. බලයට කෑදර ආත්මාර්ථකාමී පාලකයන් මෙන් නොව යේසුස් සෑම දෙයක්ම කරන්නේ මිනිසුන්ගේ යහපත උදෙසායි. ඔහුගේ පාලනය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය.”—ගීතාවලිය 72:12-14.
ඔබත් කැමති වන්නේ එවැනි පාලකයෙකුට නොවේද! එම පාලකයා වන යේසුස් මේ පොළොවේ උපත ලැබුවේ රෝමය අධිරාජ්‍යයක්ව පැවති කාලයේදීයි. මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නේ රෝමය ගැනයි. එය කියවන්න කියා අපි ඔබට දිරිගන්වන්න කැමතියි.
a මෙම ලිපියේ සාකච්ඡා කරන්නේ පළමුවන සියවසට පෙර තිබූ ග්‍රීසිය ගැන මිස නවීන දින ග්‍රීසිය ගැන නොවෙයි.
b එසකියෙල් පවසා තිබූ ආකාරයට මුලින්ම තීර් නගරය විනාශ කළේ බැබිලෝනියේ නෙබුකද්රෙෂර් රජයි. (එසකියෙල් 26:7) නමුත් එය නැවත ගොඩනැඟුවා. මහා ඇලෙක්සැන්ඩර් රජ විනාශ කළේ එම නගරයයි. අනාගතවක්තෲන් පැවසූ දේවල් ඒ ආකාරයෙන්ම ඉටු වුණා.