මිෂනාරිවරු ආකෘතිය තැබිය යුත්තේ කවරෙක්ද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය අනුගාමිකයන්ට ගෝලයන් සාදන්න යයි අණ කිරීමට පෙර, ඒ වන විටත් වෙනත් ආගම් යම් ආකාරයක මිෂනාරි සේවයක් කරමින් සිටියහ. සමහරු වෙනත් අයට වඩා වැඩියෙන් මෙය කළහ, මන්දයත් සියලු ආගම්වලට සමස්ත ලෝක එළඹීමක් නැති බැවිනි, එනම් සියලුම ආගම් සියලු මිනිසුන්ට එක සමානව අදාළ කරගත හැකි පණිවුඩයක් උගන්වන්නේ නැත යන කාරණය බැවිනි.
උදාහරණයක් වශයෙන්, දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් නමැති විශ්වකෝෂයට අනුව, එවැනි සමස්ත ලෝක දර්ශනයක් “ගෝත්‍රික ආගම් සහ ෂින්ටෝ විශ්වාසයන්වල අඩුවෙන් ප්‍රකාශ වී තිබෙන අතර කොන්ෆියුෂියානුවාදය, යුදෙව් සහ ශරතුස්ත්‍රවාදය යන ධර්මවල බොහෝ ක්‍රම තුළ අඩුවෙන් ප්‍රසිද්ධ වී තිබේ.” මෙම ආගම් “වැඩියෙන්ම” පැතිරෙන්නේ “සංවිධානාත්මක මිෂනාරි සේවාවන්ට වඩා මිනිසුන්ගේ සංක්‍රමණය වීම මගින් හෝ අවට අසල්වාසීන් ඊට ක්‍රමානුකූලව ඇතුළත් කිරීම මගින්ය.”
“හින්දු ධර්මය විශේෂ සහ අතිශයින්ම සංකීර්ණ ආදර්ශයක් නියෝජනය කරයි,” යයි එන්සයික්ලොපීඩියා තවදුරටත් පවසයි. “හින්දු නොවන අයගේ ක්රමානුකූල වැළඳගැනීම නිසා පැතිර ඇති එය “මිෂනාරි සේවය ඇතුළත් නොවන සම්ප්‍රදායන්ට බොහෝ ආකාරවලින් සමාන වෙතත්,” අනික් අතට, “බලවත් මිෂනාරි සේවයේ කාලපරිච්ඡේද” එයට තිබී ඇත. හින්දු භක්තිකයන් නොවන අය ක්‍රමානුකූලව එය වැළඳගැනීම හේතුවෙන් පැතිර තිබෙන එයට, අනික් අතට, “බලවත් මිෂනාරි සේවයේ කාලපරිච්ඡේද,” ඇතුළත් වී තිබුණි.
ඇන්ඩොවර් නිව්ටන් දේවධර්ම ශාස්ත්‍ර පාසැලේ, මැක්ස් එල්. ස්ටැක්හවුස් පවසන පරිදි, “වඩාත්ම සර්ව ලෝකවාදී දර්ශන තිබෙන බවට කියා සිටින්නාවූද, බිහි වූ ස්ථානයෙන් ඔබ්බට වඩාත් පුළුල් මිෂනාරි ජ්වලිතයක් ඇති බවට සාක්ෂි දරන්නාවූද පවතින ආගම්වලට,” ඉස්ලාම් ධර්මය සහ බෞද්ධ ධර්මය ඇතුළත් වේ. කෙසේවුවත්, ගෝලයන් සාදන්න යයි ක්‍රිස්තුස්වහන්සේ අණ දී වසර 590ක් පමණ වන තෙක් ඉස්ලාම් යුගය ඇරඹුණේ නැති බැවින්, ඉස්ලාම් ධර්මයේ මිෂනාරිවරුන් ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ට ආකෘති වශයෙන් පැවතීමට ඉඩකඩක් නොතිබුණි. අනික් අතට, ක්‍රිස්තු ධර්මයට පසු ඉස්ලාම් ධර්මය පිහිටුවීමට ගත වූ කාලය යම් සේද, බෞද්ධ ධර්මය පිහිටුවනු ලැබුවේ ඒ හා සමාන කාලයකට පෙරය.
ලිහිල්භාවයේ ආකෘතියක්
සම්ප්‍රදායට අනුව සිය ශ්‍රාවකයන්ට මෙසේ පැවසීමෙන් බුදුන්වහන්සේ විසින් ධර්මදූත මෙහෙයක් දියත් කරන ලදහ: “භික්ෂූණි, යන්න, ශ්‍රේෂ්ඨ ධර්මය දේශනා කරන්න, . . . ඔබ දෙදෙනෙක් එකම දිශාවකට නොයන්න!” බෞද්ධ ධර්මදූතයන් පො.යු.පෙ. හතරවන ශතවර්ෂයේ තරම් මුල් කාලයේදී යුරෝපයේ සිටියත්, විශාල-පරිමාණයේ ධර්මදූත මෙහෙයන් තිබුණේ ස්වල්ප වශයෙනි. බොහෝ අවස්ථාවලදී ආගම පැතිර ගියේ සංචාරක වෙළඳුන්, වන්දනා ගමන් යන්නන් හා ශිෂ්‍යයන් මගින් පෞද්ගලික මට්ටමකින්ය. උදාහරණයක් වශයෙන්, එය චීනයට සහ ගිනිකොනදිග ආසියාවේ විවිධ කොටස්වලට පැමිණියේ මුහුදෙන් හා ගොඩබිමෙන් වෙළඳ මාර්ග මගින්ය.
නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයේ එරික් සූර්හියර් බෞද්ධ ධර්මයේ පැතිරවීම ප්‍රධාන සාධක තුනක් නිසා සිදුවූ බව දක්වයි. එකක් නම් “සියලු ආගම් කෙරෙහි” බෞද්ධ ධර්මය දරන “ලිහිල් ආකල්පය” වේ. මින් “බෞද්ධ-නොවන ඇදහිලි සත්‍යයේ මූලික හා පාර්ශ්වික එළිදරව් වීම් ලෙස,” පිළිගැනීමට මෙන්ම “බෞද්ධ-නොවන දෙවියන් එහි මුළු දෙවි දේවතා සමූහයට” ඇතුළත් කරගැනීමට පවා පහසුවෙන් ඉඩ සලසන ලදි.
දෙවන සාධකයක් නම් බෞද්ධ ධර්මදූතයන් එවන් “සෙවණක් නැති තත්ත්වයකට,” ඇතුල්වීමය, එයින් අදහස් කරන්නේ ඔවුන් සියලුම ලෞකික තාන්න මාන්න ප්‍රතික්ෂේප කරන බවයි. බුදුන්වහන්සේ විසින් කුල භේදයේ වැදගත්කම ප්‍රතික්ෂේප කරන ලද අතර, ඔවුන් එහි සීමා තහංචිවලින් නිදහස් වීම හේතුවෙන්, පිළිවෙතට අනුව දූෂණය වීමේ බිය නැතිව ඔවුන්ට විදේශිකයන් සමඟ එකට හැසිරීමට පුළුවන් විය.
තුන්වන සාධකය වනාහි බෞද්ධ ධර්මයේ ශුද්ධ ලියවිලි කිසිදු විශේෂ ශුද්ධ භාෂාවකට පමණක් සීමා වී නොතිබීමයි. ඒවා පහසුවෙන්ම ඕනෑම භාෂාවකට පරිවර්තනය කිරීමට හැකිව තිබුණි. “විශේෂයෙන්ම චීනයේ ඉතාමත්ම ප්රමුඛ පෙළේ විදේශ ධර්මදූතයෝ පරිවර්තකයෝ වශයෙන් හොඳින් ක්‍රියාශීලීව සිටියෝ,” යයි සූර්හියර් සඳහන් කරයි. ඇත්තෙන්ම, ඔවුන් කෙතරම් විශාල ප්‍රමාණයකට පරිවර්තනය කළාද කිවහොත් චීන භාෂාව, පාලි සහ සංස්කෘත භාෂා සමඟ බෞද්ධ පොත්පත් සඳහා ප්‍රධාන තුන්වන භාෂාවක් බවට පත්විය.
පොදු යුගයට පෙර තුන්වන ශතවර්ෂයේ මැද භාගයේදී, ඉන්දියානු අධිරාජ්‍යයේ පාලකයා වූ අශෝක රජු, බෞද්ධ ධර්මය ජනප්‍රිය කිරීමට මහත් දෙයක් ඉටු කළේය, තවද එහි ධර්මදූත අංගද ශක්තිමත් කරන ලදි. එහෙත්, මෙම ප්රාග්-ක්‍රිස්තියානි යුගය තුළදී, බෞද්ධ ධර්මය ප්‍රධාන වශයෙන් ඉන්දියාවේද අදදින හඳුන්වන ශ්‍රී ලංකාවේද පැතිර තිබුණි. ඇත්තෙන්ම වාගේ චීනයට, ඉන්දුනීසියාවට, ඉරානයට, ජපානයට, කොරියාවට, මලයාසියාවට, මියන්මාර්වලට, වියට්නාමයට සහ වෙනත් තැන්වලට බෞද්ධ ධර්මය පැතිර ගියේ ක්‍රිස්තියානි යුගයේ පටන්ගැනීමෙන් පසුව පමණි.
චීනයට ගිය බෞද්ධ ධර්මදූතයෝ ආගම වඩා පිළිගත හැකි වන පරිදි එය මඳක් වෙනස් කිරීම වරදක් නොවන බව පැහැදිලිවම දුටුවෝය. දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් සඳහන් කරන පරිදි, “ප්‍රධාන බෞද්ධ පාඨයන්ට අලුත් අර්ථ දැක්වීම් දෙන ලදි; භක්ති සංරක්ෂක පොත්පත්, අලුත් කාව්‍යයන් සහ අලුත් නීති රීති පතුරුවනු ලැබූ අතර එමගින් බෞද්ධ පණිවුඩයේ පැති සංශෝධනය කරන ලදි, ඇත්තෙන්ම එම දේශයේ ස්වදේශීය ජන ආගම්වල කොන්ෆියුෂියානුවාදයේ හා තවෝ දහමේ කොටසක් බවට පත්වීමට සහ සමහර ආකාරවලින් ඒවායේ අංග ප්‍රකෘතිමත් කිරීමට හැකි වන පරිදි, ඉන් බෞද්ධ පණිවුඩයේ අංග මුළුමනින්ම වෙනස් කරන ලදි,” යයි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් සඳහන් කරයි.
මතු කලාපවල මෙම ලිපි මාලාවේ පෙන්වන පරිදි, ඇතැම් අවස්ථාවලදී, ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් ඔවුන්ට පෙර සිටි බෞද්ධ ධර්මදූතයන්ගේ ආකෘතිය අනුගමනය කර ඇත. ඔවුන් තම ශුද්ධ ලියවිලි වෙනත් භාෂාවලට පරිවර්තනය කර තිබෙතත්, ඉතිහාසඥ විල් ඩියූරැන්ට් ප්‍රකාශ කරන පරිදි, තම ආගමික වත් පිළිවෙත්වලට “මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි හා පිළිවෙත් ඇතුළු වීමට” ඔවුන් බොහෝ විට ඉඩහැර ඇත, නැතහොත් එසේ සිදුවීමට අනුබල පවා දී ඇත.
“ප්‍රධාන මිෂනාරිවරයා” අනුගමනය කිරීම
ජුඩෙයිසම් ඇන්ඩ් ක්‍රිස්ටියන් බිගිනිංස් පැහැදිලි කරන්නේ ක්‍රිස්තියානි ධර්මය වාගේම යුදෙව් ධර්මය මිෂනාරි සේවය වැඩි දියුණු නොකළ නමුත් “සාපේක්ෂ වශයෙන් ගත් කල ආගමට හරවාගැනීම කළේ වෙනත් ආගම්වලට වඩා අඩුවෙනි,” කියාය. එහෙත්, පොතේ කර්තෘ වන සැම්යවල් සැන්ඩ්මෙල් සඳහන් කරන්නේ “එසේ කිරීමට යටත් පිරිසෙයින් වරින් වර ඇතිවුණු, අඩුම තරමින් ඉඳහිට ඉස්මතු වූ නැඹුරුවාවක් තිබූ බවය.
“යුදෙව් ආචාර්යවරුන්ගේ පොත්පත්වල බොහෝ විට පිය වූ ආබ්‍රහම්ව විස්තර කෙරෙන්නේ ප්‍රධාන මිෂනාරිවරයා” හැටියට යයි සැන්ඩ්මෙල් පැහැදිලි කරයි. “ක්‍රියාශීලීව අලුත් ලබ්ධිකයන් සෙවීම දෙස හෝ අඩුම වශයෙන් තම කැමැත්තෙන් ආගම වෙනස් කිරීමට සෙවූ අය ධර්මය තුළට පිළිගැනීම දෙස හෝ හිතකර ආකාරයකින් බැලීමට දායක වූ යම් ආකාරයක ස්වභාවයක් යුදෙව් ප්‍රජාවේ අඩුම තරමින් සමහර අංග තුළ නොතිබුණි නම්, ආබ්‍රහම් මිෂනාරිවරයෙකු සේ දැක්වීමේ [මෙම] දෘෂ්ටිය පැන නගින්නේ නැති බවට සහතික” යයි ඔහු තර්ක කරයි.a
තිබෙන සාක්ෂි අනුව, පොදු යුගය පටන්ගැනීමට පෙර ශතවර්ෂ දෙක තුළදී, විශේෂයෙන්ම මිථ්‍යා ආගම්වල චිත්තාකර්ෂණීයභාවය අඩු වූ විට, විශේෂයෙන් ග්‍රීක්-භාෂාව කථා කරන රටවල යුදෙව් මිෂනාරි ක්‍රියාකාරකම් ශීඝ්‍රයෙන් වැඩි කරන ලදි. මෙම සේවය පොදු යුගයේ සෑහෙන කලක් ගතවන තුරුම හොඳින් පැවති නමුත්, රෝමානු අධිරාජ්‍යය එහි නිල ආගම වශයෙන් බාල ස්වරූපයක් දැරූ ක්‍රිස්තියානි ධර්මයක් පිළිගත් විට, පො.යු. හතරවෙනි ශතවර්ෂයේදී තහනම් කරනු ලැබීය.
ආකෘතිය තැබීම
කෙසේවුවද, ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ට පවසා තිබුණේ යුදෙව් මිෂනාරිවරුන් විසින් තබන ලද ආකෘතිය අනුගමනය කිරීමට නොවේ. ඇත්තවශයෙන්ම යේසුස්වහන්සේගේ කාලයේ සිටි යුදෙව් ඵරිසිවරුන් ගැන උන්වහන්සේ මෙසේ පැවසූසේක: “එක්කෙනෙකු හරවාගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැම තැනම ගමන් කරන්නහුය. එසේ හරවාගත් පසු, ඔහු ඔබ මෙන් තව දෙගුණයක් විනාශයට සුදුස්සෙකු කරන්නහුය.” (මතෙව් 23:15, ෆිලිප්ස්) එබැවින් ඔවුන් ආබ්‍රහම් “ප්‍රධාන මිෂනාරිවරයා” වශයෙන් සැලකුවත්, යුදෙව් මිෂනාරිවරුන් ආගමට හැරෙන්නන් තුළ ආබ්‍රහම්ට යෙහෝවඃ දෙවියන්වහන්සේ කෙරෙහි තිබුණු ලෙසම ඇදහිල්ලක් ඇති කළේ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ට අනුගමනය කිරීමට තිබෙන්නේ අතිශ්‍රේෂ්ඨ වූ ප්‍රධාන මිෂනාරිවරයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් දෙනු ලැබූ පරිපූර්ණ ආදර්ශයේ ආකෘතියයි. උන්වහන්සේ ගෝලයන් සෑදීමේ අණ දීමට පෙර, මෙයට ඇතුළත්ව තිබෙන ජාත්‍යාන්තර මිෂනාරි සේවය සිදු කිරීමට උන්වහන්සේ සිය මුල් ගෝලයන්ව පුහුණු කිරීමට පටන්ගත්සේක. එය ශතවර්ෂ ගණනක් පුරා පවතින ව්‍යාපෘතියක් වීමට තිබූ බැවින්, මෙම ප්රශ්නය ඇසීම යෝග්‍ය විය, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෝ, උන්වහන්සේ දී තිබුණු ආකෘතිය පිළිපදිමින් සිටිනු ලබත්ද?
පොදු යුගයේ පළමු ශතවර්ෂය අවසානයකට ළංවූවාත් සමඟම, තවමත් පිළිතුර පැහැදිලිව නොතිබුණි. එහෙත් විසිවන ශතවර්ෂය අවසානයකට පැමිණෙද්දී, අදදින පිළිතුර පැහැදිලියි. ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරනවා යයි කියන්නාවූ අනුගාමිකයන්ගේ වසර 1,900ක පමණ අතීත මිෂනාරි සේවය අප ඉදිරියේ විවෘත පොතක් මෙන් තිබේ.
ක්‍රිස්තියානි ධර්මයේ නිජ බිම වන පලස්තීනයේ සිට එය මුළු ලෝකය පුරා පැතිර ගොස් ඇත. බටහිරට, එනම් මකිදෝනියට පැමිණීම එක පියවරක් විය. මේ ගැන අපගේ ඊළඟ කලාපයෙන් කියවන්න.
ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් කර තිබෙන දේ ගැන උදාහරණයක් වශයෙන්, මෙක්සිකෝවේ ශතවර්ෂ කීපයකට සිදුවූ දෙය සැලකිල්ලට ගන්න. මතු වාර්තාව කියවන විට, ඔබගෙන්ම මෙසේ අසන්න, ‘ඔවුහු ආලෝකයේ දූතයෝ වී තිබේද නැතහොත් අන්ධකාරයේ දූතයෝ වී තිබේද?’ g94 10/8
[පාදසටහන්වල]
a ඒ ගයිඩ් ටු ජුවිෂ් රිලිජස් ප්‍රැක්ටිස් මෙසේ පවසයි: “ආබ්‍රහම් වනාහි ආගමට හැරෙන සියල්ලන්ගේ පියා බවට සැලකේ . . . ආගමට හැරෙන්නන්ව අපගේ පියාණන් වූ ආබ්‍රහම්ගේ පුතා හෝ දුව ලෙස හැඳන්වීම ව්‍යවහාරයේ පවතින්නකි.”
[7වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ව පුහුණු කරමින් හා ඔවුන්ට අනුගමනය කිරීම සඳහා ආකෘතිය තැබීමෙන්, ක්‍රිස්තියානි මිෂනාරි වැඩය දියත් කළසේක