1 ප්‍රශ්න දුර දිග යන එක වළක්වගන්න
බයිබලයේ තියෙන තොරතුරු “ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්” කියලා බයිබලයේම සඳහන් වෙනවා. (2 තිමෝති 3:16) ඒක ඇත්තක්ද? ප්‍රශ්න දුර දිග යන්න කලින් ඒවා විසඳගන්න බයිබලයේ තියෙන තොරතුරු හුඟක් අයට උදව් වෙලා තියෙනවා. ඒ කොහොමද කියලා දැන් බලමු.
බේබදුකම
කලින් ලිපියේ සඳහන් වුණු ඩෙල්ෆින්, මුහුණ දීපු දේවල් නිසා සීමාව ඉක්මවලා මත්පැන් බොන්න පටන්ගත්තා. මත්පැන් බොන එක බයිබලයේ හෙළාදැකලා නැහැ. හැබැයි ඒකේ කියනවා ‘වයින්වලට ලොල් වූ අය සමඟ එකතු නොවන්න’ කියලා. (හිතෝපදේශ 23:20) බේබදුකම බරපතළ රෝගවලටත් පවුල් බැඳීම් සහ මිතුදම් බිඳෙන්නත් හුඟදෙනෙක්ගේ ජීවිත අහිමි වෙන්නත් හේතු වෙලා තියෙනවා. බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගන්නවා නම් ඒ වගේ දේවලින් බේරෙන්න පුළුවන්.
ඩෙල්ෆින් කියපු දේ බලන්න. “මත්පැන් බොන එකෙන් මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා මට තේරුණා. ෆිලිප්පි 4:6, 7 කියනවා කිසි දෙයක් ගැන කනස්සලු වෙන්නේ නැතුව හැම දේම දෙවියන්ට කියන්න කියලා. ඒ නිසා හිතට දැනෙන දුක, වේදනාව, තනිකම දරාගන්නම බැහැ කියලා හිතෙද්දී ඒ හැම දේම අමතක කරන්න උදව් කරන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලුවා. ඊළඟ දවසේ නැඟිටිද්දී ඒ හැම දේම අමතක කරන්න මං වෑයම් කළා. පුරුද්දක් විදිහට එහෙම කරපු නිසා මට පුළුවන් වුණා නැති වුණු දේවල් ගැන ළත වෙන එක නතර කරලා, තියෙන දේවල් ගැන සතුටු වෙන්න. දෙවියන්ගෙන් ලැබෙන සමාදානය කොයි තරම් වටිනවාද! ඒක නැති කරගන්න මට ඕන වුණේ නැහැ. ඒ නිසා ආයේ කවදාවත් මත්පැන් කටේවත් තියන්නේ නැහැ කියලා මං හිතුවා.”
අනාචාරය
ආදරය කරන කෙනෙක් අනාචාරයේ යෙදෙන එක ලොකු වේදනාවක්. කෙනෙක් එක්ක විවාහ වෙන අදහසක් නැතුව එයාගේ හිතේ ආදර හැඟීම් ඇති වෙන විදිහට හැසිරෙන එක, කාමුක දර්ශන බලන එක වගේ දේවල් අනාචාරයට මඟ පාදනවා. බයිබලයේ මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් ඒවාට අහු නොවී ඉන්න පුළුවන්. තරුණ සැමුවෙල් කියන දේ බලන්න. “ගැහැණු ළමයෙක්ට මං ගැන කැමැත්තක් තියෙනවා කියලා තේරුණාම මං ඒක විහිළුවකට ගත්තා. එයාට මගේ හිත ගියේ නැතත් මං එහෙම කළා. ඒක වුණේ ඉබේමයි.” එයා ප්‍රසිද්ධ වෙලා හිටියේ ගැහැණු ළමයින්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන කෙනෙක් විදිහට. එයා ඇත්තටම එහෙම කරපු නැති වෙලාවලදීත් අනිත් අය එයාට චෝදනා කළා. ඒ නිසා එයා මුරණ්ඩු වෙලා තවත් වැඩියෙන් ඒ දේ කළා. පස්සේ එයා මෙහෙම කිව්වා. “මං කරපු දේ කොච්චර වැරදිද! අනිත් අයගේ හිත රිද්දලා සතුටු වෙන එක හරිම කැත පුරුද්දක්.”
jw.org වෙබ් අඩවියේ යෞවනයන්ට තියෙන ලිපියක් එයා කියෙව්වා. “දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය” කියලා හිතෝපදේශ 20:11 තිබුණු දේ ගැන එයා කල්පනා කළා. එයාට තේරුණා එයා නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙක් නෙමෙයි කියලා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “තරුණයෙක් ඒ විදිහට හැසිරෙද්දී කවදා හරි එයාගේ විවාහ ජීවිතයටත් ඒක බලපාන්න පුළුවන්. විවාහ වුණාට පස්සේ මං ඒ විදිහට හැසිරෙනවා බිරිඳ දැක්කොත් ඒක එයාට කොයි තරම් වේදනාවක් වෙයිද කියලා මං හිතුවා. ඒ විදිහට හැසිරෙද්දී සිද්ධ වෙන හානිය තේරුම්ගන්න මට ඒක උදව් වුණා. දෙයක් විහිළුවට කළත් වැරදි දේ කොහොමත් වැරදියි.” සැමුවෙල් ඒ නරක පුරුද්ද අත්හැරිය නිසා අනාචාරයට වැටෙන්නේ නැතුව ඉන්න එයාට පුළුවන් වුණා.
කාමුක දර්ශන බලන්න ඇබ්බැහි වෙලා හිටිය ආන්ටොන්යොගේ අද්දැකීම බලමු. එයාගේ බිරිඳට එයා හුඟක් ආදරේ කළත් ඒ නරක පුරුද්ද අත්හරින්න එයාට බැරි වුණා. 1 පේතෘස් 5:8 කියන මේ දේ එයාට ලොකු උදව්වක් වෙලා තියෙනවා. “සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.” එයා මෙහෙම කිව්වා. “ඒ පදය කියවද්දී මං තේරුම්ගත්තා කාමුක දර්ශන බලන්න අපිව පොලඹවන්නේ කවුද කියලා. අද හරිම ලේසියෙන් කාමුක දර්ශන බලන්න පුළුවන්. ඒවා බැලුවොත් ඒවා අමතක කරන එක ලේසි නැහැ. ඒවා බලන්න පෙලඹීමක් එද්දීම ඒ පිටිපස්සේ ඉන්නේ යක්ෂයා කියලා මතක් කරගන්න ඕනෙ කියලා මං හිතුවා. සිහිකල්පනාවෙනුත් සෝදිසියෙනුත් හිටියොත් මගේ මනස, හදවත, විවාහ ජීවිතය රැකගන්න මට පුළුවන්. ඒ දේ කරන්න මට උදව් කරන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරයි.” ඒ නරක පුරුද්ද අත්හරින්න යෙහෝවා දෙවියන් ආන්ටොන්යොට උදව් කළා. ඒ නිසා ඊටත් වඩා බරපතළ ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්න එයාට පුළුවන් වුණා.
බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ජීවිතේට අදාළ කරගත්තොත් බරපතළ ප්‍රශ්නවලින් වැළකිලා ඉන්න පුළුවන් කියලා ඒ අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා. ඒත් දැනටමත් ඔයා ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙනවා නම් කරන්න පුළුවන් මොනවාද? බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගෙන ප්‍රශ්න විසඳගන්න පුළුවන් විදිහ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.
සමහර ප්‍රශ්න දුර දිග යන එක වළක්වගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවා