ළඟ තබාගන්න
ඔබ මේවා හොඳින් භාවිත කරනවාද?
බයිබලය—එහි පණිවිඩය කුමක්ද?
මෙය සකස් කර තිබෙන්නේ බයිබලය ගැන දැනුමක් නැති ක්‍රිස්තියානි නොවන ආගම්වල සිටින ජනයා වෙනුවෙනුයි.
ඉදිරිපත් කිරීමට යෝජනා: “ශුද්ධ බයිබලයේ සඳහන් මේ අදහස ගැන ඔබ දරන අදහස මොකක්ද? [ගීතාවලිය 37:11 කියවන්න. මේ වගන්තිය මෙම සඟරාවේ 11වන කොටසෙහි සාකච්ඡා කරනවා.] බයිබලයේ සඳහන් මේ අනාවැකිය ඉටු වෙද්දී මේ පොළොවේ තත්වය කොයි වගේ වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] කෙනෙක් මොන ආගමකට, ජාතියකට සහ සංස්කෘතියකට අයත් වුණත් සහනය සහ බලාපොරොත්තුව ලබාගන්න පුළුවන් මේ වගේ පොරොන්දු රාශියක් බයිබලයේ සඳහන් වෙලා තියෙනවා.” පසුව මෙම සඟරාවේ 3වන පිටුවේ ප්‍රධාන මාතෘකාව යටතේ තිබෙන ඡේදය කියවන්න.
මෙයද අත්හදා බලන්න: ඔබ, ක්‍රිස්තියානි නොවන ආගමකට අයත් කෙනෙකු සමඟ බයිබලයේ ඉගැන්වීම් නමැති පොතෙන් පාඩමක් පවත්වනවා නම් පාඩමට පෙර හෝ පසු විනාඩි කිහිපයක් ගෙන මෙම සඟරාවේ එක් කොටස බැගින් ඔහු සමඟ සාකච්ඡා කරන්න. එවිට බයිබලය ගැන පැහැදිලි අදහසක් ඔහුට ලබාගැනීමට හැකි වෙයි.
සියලුම ජනයා සඳහා පොතක්
මෙය සකස් කර තිබෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලබා ඇති, බයිබලය ගැන දැනුමක් නැති අය සඳහායි.
ඉදිරිපත් කිරීමට යෝජනා: මුලින් 2 තිමෝති 3:16, 17 කියවා මෙසේ අසන්න. “මුළු බයිබලයම දෙවිගේ මඟ පෙන්වීම තුළින් ලියැවුණා කියලා ඔබ පිළිගන්නවාද? නැත්නම් ඔබ සිතන්නේ බයිබලය කියන්නේ හොඳ තොරතුරු තියෙන අනික් පොත් වගේ පොතක් කියලද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] විවිධ අය මේ සම්බන්ධයෙන් විවිධ මත දරනවා. නමුත් ඇත්තටම බයිබලය කියවලා ඒ ගැන තමන්ගේ අදහස් පළ කළ අයත් ඉන්නවා. [තුන්වන පිටුවේ තිබෙන මාතෘකාවට යටින් ඇති අද්දැකීම කියවන්න.] කෙනෙක් මොන ජාතියකට මොන ආගමකට අයත් වුණත් බයිබලයේ තියෙන්නේ මොන වගේ තොරතුරුද කියා සොයා බැලීම ඉතා වැදගත්. එසේ කිරීම වැදගත් ඇයි කියා මෙම සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”
මෙයද අත්හදා බලන්න: නිවැසියා සඟරාව ලබාගැනීමට කැමති නම් මෙසේ පවසන්න. “බයිබලයේ තියෙන තොරතුරු අපිට ප්‍රයෝජනවත් නැහැ කියලා අද හුඟදෙනෙක් කියන එක හේතුවක් තමයි බයිබලය භාවිත කරන බොහෝ ආගම් බයිබලය ගැනත් එහි ඇති තොරතුරු ගැනත් අන් අයට දී තිබෙන්නේ වැරදි අදහසක්. බොහෝදෙනෙක් බයිබලය එතරම් පිළි නොගන්නේ ඒ නිසයි. ඊළඟ වතාවේ මම එන කොට ඒකට එක උදාහරණයක් පෙන්වන්නම්.” නැවත යන විට 4-5 දක්වා ඇති පිටුවල තිබෙන තොරතුරු සාකච්ඡා කරන්න.
සතුටින් පිරි ජීවිතයකට මඟ
මෙය සකස් කර තිබෙන්නේ ආගම ගැන උනන්දුවක් නැති අය වෙනුවෙනුයි.
මෙය ඉදිරිපත් කිරීමට යෝජනා: “සතුටින් ජීවත් වෙන්න විදිහක් නැද්ද කියලා අද හුඟදෙනෙක් කල්පනා කරනවා. ඒකට හේතුව අද හුඟදෙනෙක් ඉන්නේ හරිම දුකින්. එහෙම ඉන්න වෙලාවට අපි කරන්නේ අපේ යාළුවෙකුට හරි අපිට කිට්ටු කෙනෙකුට හරි කියලා යම් මඟ පෙන්වීමක් ලබාගන්න එකයි. ඔබටත් කාගෙන් හරි හොඳ මඟ පෙන්වීම් ලැබිලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ තියෙන ඉතා වටිනා උපදෙස් ගැන හුඟදෙනෙක් පුදුම වෙනවා. ඒකට එක උදාහරණයක් මම ඔබට පෙන්වන්නම්. [දෙවන පරිච්ඡේදය පෙන්වා එහි සඳහන් කර ඇති බයිබල් පදයක් කියවන්න.] මේ සඟරාවේ සඳහන් වෙනවා ඇත්තටම සතුටින් පිරි ජීවිතයක් ගත කරන්න අපි මොනවාද කරන්න ඕනේ කියලා.”
මෙයද අත්හදා බලන්න: නිවැසියා සඟරාව ලබාගන්න කැමති නම් මෙසේ පවසන්න. “බයිබලයේ තියෙන තොරතුරු පිළිගන්න බැහැ කියලා සමහර අය කියනවා ඔබටත් ඇහිලා ඇති. නමුත් බයිබලයේ තියෙන තොරතුරු, විද්‍යාවට මොන තරම් එකඟද කියලා ඊළඟ වතාවේදී මම ඔබට පෙන්වන්නම්.” ඊළඟ වතාවේ යන විට 12වන පිටුවේ ඇති හතරවන ඡේදය සාකච්ඡා කරන්න.
සතුට හා සැනසුම සොයා
මෙය සකස් කර තිබෙන්නේ බෞද්ධ ජනයා වෙනුවෙනුයි.
වැඩිහිටි බෞද්ධ පුද්ගලයෙකුට මෙය ඉදිරපත් කළ හැකි ආකාරය: “අද සමාජයේ ඉතාමත් පහත් ගතිගුණ සහ ආකල්ප පුදුමාකාර වේගයකින් වැඩි වෙමින් තියෙනවා. යෞවනයන්ට ඒවායින් ඇති කරන නරක බලපෑම ගැන මං වගේම ඔබත් ගොඩක් හිතනවා ඇති. විශේෂයෙන්ම යෞවනයන්ගේ සදාචාරය මේ තරම් වේගයෙන් පිරිහෙන්න හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ? [ප්රතිචාරටය ඉඩහරින්න.] අපි ජීවත් වෙන මේ කාලයේදී මේ වගේ තත්වයක් ඇති වෙනවා කියලා පුරාණ පොතක අනාවැකියක් සඳහන් කරලා තියෙනවා. ඒ පොත ලියන්න පටන්ගත්තේ ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් වැනි ආගම් ඇති වෙන්නත් කලිනුයි. ඒ පොතේ තියෙන අදහස මං ඔබට පෙන්වන්නම්. [2 තිමෝති 3:1-3 කියවන්න.] අද මිනිසුන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා වුණත් සදාචාරය පහත වැටීම දිගටම සිද්ධ වෙනවා. [හත්වන ඡේදය කියවන්න.] නමුත් හුඟක් අයට ඉගෙනගන්න බැරි වෙලා තියෙන සත්‍යයන් ගැන මම මේ සඟරාවෙන් ඉගෙනගත්තා. ඔබත් කැමතිද මේක කියවලා බලන්න?”
මෙයද අත්හදා බලන්න: ඔබ නැවතත් ඔහුව හමු වීමට යන අවස්ථාවේදී බයිබලය ඉගෙනගැනීමට ඔහු තුළ ආශාවක් ඇති කිරීමෙන් පසුව, එම සඟරාවේ අවසන් පිටුවේ ඇති ප්‍රශ්න සහ බයිබලයේ ඉගැන්වීම් පොත ලබාගැනීමට තිබෙන කූපනය පෙන්වන්න. ඔහුට අවශ්‍ය නම් ඒ පොත ඔබ ළඟ තිබෙන බව පවසා එය පෙන්වන්න. එහි පටුන පෙන්වා ඔහු කැමති පරිච්ඡේදයකින්, ඡේදයක් හෝ දෙකක් සාකච්ඡා කරන්න.
ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු
මෙය සකස් කර තිබෙන්නේ පාසැලේදී පරිණාමය ගැන ඉගෙනගන්නා සාක්ෂිකාර දරුවන්ටයි. එමෙන්ම පරිණාමවාදීන්, දෙවි කෙනෙකුගේ පැවැත්ම ගැන සැක කරන අය සහ අදේවවාදීන් සමඟ සාකච්ඡා කරන විටද මෙය ඉතා ප්‍රයෝජනවත්. (මෙය ගෙයින් ගෙට දේවසේවයේදී බෙදාහරින්නේ නැහැ.)
පරිණාමවාදියෙකු හෝ අදේවවාදියෙකු සමඟ කරන සාකච්ඡාවකදී මෙය භාවිත කළ හැකි ආකාරය: “අද තිබෙන හැම විද්‍යා පොතකම වාගේ උගන්වන්නේ ජීවීන් පරිණාමය වුණා කියලයි. ඔබ සිතන්නේ පරිණාමවාදය කියන්නේ මතයක්ද නැත්නම් එය පිළිගත් සත්‍යයක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යම් දෙයක් පිළිබඳව නිවැරදි තීරණයක් ගන්න නම් ඊට අදාළ සෑම තොරතුරක්ම හොඳින් සොයා බලන්න අවශ්‍යයි නේද? ඒක ඔබත් පිළිගන්නවා නේද? ජීවය, යම් කෙනෙකු විසින් නිර්මාණය කළා කියා අද බොහෝදෙනෙක් පිළිගන්නවා. ඒ සඳහා තිබෙන සාක්ෂි මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”
මෙයද අත්හදා බලන්න: ඔබ පාසැල් ශිෂ්‍යයෙක් නම් මේ සඟරාවේ පිටපතක් ඔබේ පන්තියේ මේසය මත තබන්න. ඒ ගැන උනන්දුව දක්වන ශිෂ්‍යයෙකුව ඔබට හමු වීමට ඉඩ තිබෙනවා.
Real Faith—Your Key to a Happy Life
මෙය සකස් කර තිබෙන්නේ බයිබලය ගැන ඉගෙනගැනීමට කැමැත්තක් දක්වන මුස්ලිම් ජනයා වෙනුවෙනුයි. [ඉදිරියේදී සිංහල භාෂාවෙන් පැමිණීමට නියමිතයි.]
ඉදිරිපත් කිරීමට යෝජනා: මෙහි ඇති 16 සහ 17වන පිටුවල පින්තූරය පෙන්වා මෙසේ අසන්න. “අද ලෝකයේ අපිට දකින්න තියෙන තත්වයට වඩා මේ චිත්රයේ දකින්න තිබෙන දේවල් ගොඩක් වෙනස් නේද? මේ ලෝකය කවදා හරි මේ පින්තූරයේ තියෙනවා වගේ තත්වයකට පත් වෙයි කියලා ඔබ සිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවියන්, අපිට දීලා තියෙන පොරොන්දුවක් ගැන මම ඔබට පෙන්වන්නම්. [එම පිටුවල සඳහන් කර ඇති බයිබල් පද ඔබේ බයිබලයෙන් කියවන්න.] දෙවියන් දීලා තියෙන ඒ වගේ පොරොන්දු විශ්වාස කරන්න අපිට තියෙන හොඳ හේතු ගැන මේ සඟරාවේ සඳහන් කරලා තියෙනවා.”
මෙයද අත්හදා බලන්න: මුල් සාකච්ඡාවෙන් පසු, මෙම සඟරාවේ අවසන් පිටුවේ ඇති ප්‍රශ්නවලින් කැමති එකක් තෝරාගැනීමට නිවැසියාට ආරාධනා කරන්න. ඊළඟ වතාවේදී එම ප්රශ්නය ගැන සාකච්ඡා කිරීමට සැලසුම් යොදන්න.