සාක්ෂියක් දෙන වීඩියෝ පට සතු බලය
1 “අපේ පුතා ඇවිදින්නත් කලින් ඉඳලම මේ වීඩියෝ එක බලන්න හරිම ආසයි. එයා කිහිප වතාවක්ම ඒක බලලා තියෙනවා. අපේ දරුවන්ගේ හදවත්වල යෙහෝවා කෙරෙහි ප්‍රේමයක් පැලපදියම් කරන්න උපකාරවත් වෙන මේ මෙවලම් අපිට තිබීම ගැන මම හුඟාක් සතුටු වෙනවා.” මේ ක්‍රිස්තියානි මව කතා කරන්නේ මොන වීඩියෝ පටය ගැනද? ඇය කතා කරන්නේ නෝවා දෙවි සමඟ ගමන් කළේය නමැති වීඩියෝ පටය ගැනයි. වෙනත් කෙනෙකුගේ නිවසේදී නෝවා නමැති වීඩියෝ පටය නැරඹූ පුතෙකුගේ මවක් (සාක්ෂිකාරියක් නෙවෙයි) ලොකු පරිත්‍යාගයක් සමිතියට එවමින් දරුවන්ට පෙන්වන්න පුළුවන් තව වීඩියෝ පට තිබෙනවාද කියා ඇසුවා. යෙහෝවාගේ සංවිධානය මගින් නිෂ්පාදනය කරන වීඩියෝ පටවලින් බාල මහලු සෑම කෙනෙක් කෙරෙහිම ඇති කරන්නේ ප්‍රබල බලපෑමක්.
2 පවුල තුළ: සාක්ෂිකාර පවුලක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සි හිංසා හමුවෙහි ස්ථිරව නමැති වීඩියෝ පටය නැරඹීමෙන් පසු, එම පවුලේ මව මෙසේ පැවසුවා. “මේ වීඩියෝ පටයේ දැකපු පුදුම හිතෙන දේවල් විඳදරාගන්න යෙහෝවා සාමාන්‍ය මිනිසුන්ට ශක්තිය ලබා දෙන ආකාරය ගැන මම දවස පුරාම කල්පනා කෙරුවා. ඒ ගැන හිතන කොට මම මුහුණ දෙන ගැටලු මොනතරම් සුළු ඒවාද කියලා මට හිතුණා. අපි යෙහෝවා මත මොනතරම් රඳා සිටින්න ඕනෙද කියලා අපිත් එක්ක මේ වීඩියෝ එක බලපු අපේ දරුවන්ට තේරුම්ගන්න පුළුවන් වුණා. මේ වීඩියෝ එක බැලුවට පස්සේ දරුවොත් එක්ක අපි ඒ ගැන සාකච්ඡා කළා. අපේ දුවලාට මුහුණ දෙන්න සිදු වන පීඩන හා හිංසා පීඩාවලදී කටයුතු කරන්න ඕනෙ ආකාරය ගැන ඔවුන්ව හොඳින් දැනුවත් කරන්න අපිට පුළුවන් වුණා.”
3 පාසැලේදී: වාර්තාවක් ඉදිරිපත් කරන්න කියා පැවසූ අවස්ථාවේදී නහඹර වියේ පසු වන සාක්ෂිකරුවෙක් ස්ථිරව සිටීම (Stand Firm) නමැති වීඩියෝ පටයෙන් කොටසක් පන්තියේදී පෙන්නුවා. කලින් මේ පන්තියේ ගුරුතුමා සාක්ෂිකරුවන්ට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒත් මේ වීඩියෝ පටය නැරඹුවාට පස්සේ ඇය මෙසේ පැවසුවා. “මෙතෙක් කල් මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන හිතාගෙන හිටිය විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කළේ මේ වීඩියෝ පටයයි. ඊළඟ වතාවේදී ඒ අය මගේ ගෙදරට ආවහම ඔවුන්ට සවන් දීලා බයිබල් පාඩමක් පටන්ගන්න මම පොරොන්දු වෙනවා.” අප ගැන ඇය සිතාගෙන සිටිය විදිහ වෙනස් කිරීමට හේතු වුණේ කුමක්ද? අප අතර තිබෙන “සැබෑ ප්‍රේමය හා පක්ෂපාතකමයි” කියා ඇය පැවසුවා.
4 දේවසේවයේදී: අපේ පොත් පත් ලබාගන්න අදිමදි කළ ස්ත්‍රියක්ව සහෝදරියකට හමු වුණා. අපි ගැනත් අපේ විශ්වාසයන් ගැනත් ප්‍රශ්න කිහිපයක් ඒ ස්ත්‍රියට තිබුණා. මේ සහෝදරිය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු (Jehovah’s Witnesses−The Organization Behind the Name) නමැති වීඩියෝ පටය රැගෙන ආපසු ගොස්, ඒ ස්ත්‍රියට හා ඇගේ ස්වාමිපුරුෂයාට ඒක පෙන්නුවා. මේ වීඩියෝ පටයෙන් දුටු දේවල් කෙරෙහි මේ දෙදෙනාගේම සිත ඇදී ගිය අතර බයිබලය පාඩම් කරන්න ඔවුන් එකඟ වුණා. දෙවිගේ කැමැත්තට එකඟව තමන්ගේ ජීවිත හැඩගස්වාගන්න ඔවුන් පටන්ගත්තේ ඔවුන්ට ලැබුණු කදිම සාක්ෂිය නිසයි.
5 ප්‍රබල බලපෑමක් කිරීමට වීඩියෝ පට සතු හැකියාව උපරිම ලෙස යොදාගැනීමට ඔබ වෑයම් කරනවාද?