ගෙවැසියා පවසන දේට අනුව කතා කරන්න
1 පාවුල් තමාට සවන් දුන් අයගේ පසුබිම හා ඔවුන් කල්පනා කරන විදිහ ගැන හොඳින් තේරුම්ගෙන ඒ අනුව ඔහු කියන දේ වෙනස් කළා. ඒ අතින් ඔහු අපට හොඳ ආදර්ශයක් තබා තිබෙනවා. (1 කොරි. 9:19-23) අපත් කළ යුත්තේ එයමයි. කලින් හිතා බලා, අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් යෝජනා ජනයාට ගැළපෙන පරිදි සකස් කරගනිමු. ගෙදරකට යද්දී අප දකින දේවලින් ගෙවැසියා උනන්දු වන දේවල් ගැන යම් ඉඟියක් ලබාගන්න පුළුවන්. එවිට ඊට ගැළපෙන ලෙස කතා කරන්නට අපට හැකියි. කෙසේවෙතත්, අප කියන දේ සකස් කරගත හැකි තවත් ක්‍රමයක් තිබෙනවා.
2 ගෙවැසියා පවසන දේට අනුව කතා කරන්න: සාමාන්‍යයෙන් අප කරන්නේ ගෙවැසියාගෙන් යම් ප්‍රශ්නයක් අසා පිළිතුරක් බලාපොරොත්තු වීමයි. ඔහු පිළිතුරක් දුන්නාම ඔබ මොකද කරන්නේ? “ඒක තමයි” නැත්නම් “අන්න හරි” යයි නිකම්ම කියා ඉන් පසුව කතා කරන්නට සිතාගෙන ආ දේවල් කියාගෙන යනවාද? නැත්නම්, ඔහු කී දේට අනුව ගැළපෙන විදිහට ඊළඟට කියන දේ සකස් කරගන්නවාද? ඔබ ඔහු කියන දේ ගැන අවංකවම උනන්දු වෙනවා නම් තවත් ප්‍රශ්න අසා ඔහු ඇත්තටම සිතන දේ ගැන දැනගන්න ඔබට හැකි වේවි. (හිතෝ. 20:5) මේ අනුව, ඒ තැනැත්තාගේ උනන්දුවට ලක් වන කාරණයක් ඔස්සේ දේවරාජ්‍යයේ පණිවුඩය ගැන කතා කරන්නට ඔබට පුළුවන්.
3 මේ නිසා, අප කියන්නට සිතාගෙන ගිය දේවලට අමතරව වෙනත් දේවල් ගැන කතා කරන්නටත් අපි සූදානමින් සිටීම අවශ්‍යයි. පුවත්පතක සඳහන් වූ යම් විපතක් ගැන හෝ වෙනත් පොදු කාරණයක් ගැන අප කතා කරනවා කියා සිතමු. නමුත් ගෙවැසියා තමාට වැදගත් වූ පෞද්ගලික දෙයක් ගැන හෝ වෙනත් කාරණයක් ගැන කතා කරන්නේ නම්, ඊට සරිලන ලෙසට අප කියන දේ සකස් කරගෙන කතා කිරීම හරිම වැදගත්.—ෆිලි. 2:4.
4 අප කතා කරන විදිහ සකස් කරගැනීම: ගෙවැසියා යම් ප්‍රශ්නයක් අසන්නේ නම්, ඔහු සමඟ ඒ ගැන මදක් කතා කරමින් ඔබේ සැලකිල්ල ඔහුට පෙන්වන්න. ඔබ ඒ ගැන තොරතුරු සෝදිසි කර බලා, වෙනත් වේලාවක ඒ ගැන කතා කිරීමට එනවායයි ඔහුට කියන්න. එම කාරණය ගැන පළ වී ඇති ලිපි අඩංගු යම් ප්‍රකාශනද ඔබට ඉදිරිපත් කළ හැකියි. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ යෙහෝවා ගැන දැනගැනීමට අනුන්ට උපකාර කිරීමට අප තුළ ඇති අවංක ආශාවයි.—2 කොරි. 2:17.