හවසටත් සේවයේ යමුද?
1. එක පොතක සඳහන් වුණ විදිහට පාවුල් ගෙයින් ගෙට සේවයේ ගියේ මොන වෙලාවටද?
1 පාවුල් සාමාන්‍යයෙන් “සවස හතරේ සිට රෑ වන තුරු” ගෙයින් ගෙට සේවයේ ගියා කියලා එක පොතක සඳහන් වෙනවා. (Daily Life in Bible Times) එයා ගෙයින් ගෙට සේවයේ ගියේ හරියටම ඒ වෙලාවේමයි කියලා කියන්න අපිට බැහැ. ඒත් තමන්ට හැකි ‘සියල්ල ශුභාරංචිය වෙනුවෙන්’ කරන්න පාවුල් කැමති වුණා කියලා නම් අපි දන්නවා. (1 කොරි. 9:19-23) ඒ නිසා මිනිස්සු වැඩිපුර ගෙදර ඉන්න වෙලාවක් බලලා සේවයේ යන්න එයා සැලසුම් කරන්න ඇති.
2. හවස් වරුවේ සේවයේ යන එක ප්‍රයෝජනවත් ඇයි?
2 අපි හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නේ උදේ වරුවේ ගෙයින් ගෙට සේවයේ යන්නයි. ඒත් අපේ ප්‍රදේශයේ හුඟක් අය ගෙදර ඉන්නේ ඒ වෙලාවටද? එක පුරෝගාමියෙක් එයා සේවය කරන ප්‍රදේශය ගැන මෙහෙම කිව්වා. “උදේ වරුවේ ගොඩක් දුරට මිනිස්සු ගෙවල්වල නැහැ. ඒත් හවසට නම් ඉන්නවා.” හුඟක් වෙලාවට පිරිමි අය හවස් වරුවේ ගෙවල්වල ඉන්න නිසා අපි ඒ වෙලාවට සේවයේ ගියොත් එයාලටත් ශුභාරංචිය ගැන කියන්න අවස්ථාව ලැබෙනවා. ඒ වෙලාවට හුඟක් අය විවේකීව ඉන්න නිසා අපිත් එක්ක කතා කරන්නත් එයාලා කැමති වෙයි. ප්‍රායෝගික නම් හවස් වරුවේ ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් සැලසුම් කරන්නත් වැඩිමහල්ලන්ට පුළුවන්.
3. හවස සේවයේ යද්දී ඥානවන්ත වෙන්න පුළුවන් කොහොමද?
3 ඥානවන්ත වෙන්න: හවස් වරුවේ සේවයේ යද්දී අපි හුඟක් ඥානවන්ත වෙන්න ඕනේ. ටිකක් අඳුර වැටිලා නම් නිවැසියාට පේන තැනක හිටගෙන ඉක්මනින්ම ඔයාලා කවුද, ආපු කාරණය මොකක්ද කියලා කියන්න. නිවැසියා යම් වැඩක් කරමින් ඉන්නවා නම් වෙන වෙලාවක එන්නද කියලා අහන එක සුදුසුයි. (2 කොරි. 6:3) අඩුම තරමින් දෙන්නෙක් එකට සේවයේ යන එකත් පාළු පැතිවල ඒ වෙලාවට සේවය නොකරන එකත් නුවණට හුරුයි. සමහර පැතිවල අඳුර වැටීගෙන එනකොට සේවය කරන එක අනතුරුදායක නම් කලින් සේවය නවත්තන්න. (හිතෝ. 22:3) ඊටපස්සෙත් සේවය කරන්න කැමති නම් නැවත බැලීම්වලට යන්න පුළුවන්.
4. හවස් වරුවේ සේවය කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?
4 ආශීර්වාද: හවස් වරුවේ සේවය කිරීමෙන් මිනිසුන් හුඟදෙනෙක්ට සාක්ෂි දරන්න පුළුවන් වෙන නිසා ඒක අපිට ලොකු සතුටක්! ඒ විතරක් නෙමෙයි අනිත් අයට ‘ගැලවීම ලබා දෙන්නත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබා දෙන්නත්’ අපිට වැඩියෙන් අවස්ථා ලැබෙනවා. (1 තිමෝ. 2:3, 4) හවස් වරුවේ සේවයේ යන්න කාලය හොයාගන්න ඔයාලට පුළුවන්ද?