ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 ඔක්තෝබර් 8-13 පි.
  • යෙහෝවා ‘දයාවෙන් පිරුණු’ දෙවි කෙනෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා ‘දයාවෙන් පිරුණු’ දෙවි කෙනෙක්
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා දයාව පෙන්නන්නේ ඇයි?
  • කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන එක දයාවන්ත දෙයක්ද?
  • අනිත් අයට දයාව පෙන්නන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
  • ‘ඔබේ පියාණන් දයාවන්තයි’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ දයාව අනුකරණය කරමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දයාවන්ත අය සන්තෝෂවත්ය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 ඔක්තෝබර් 8-13 පි.

පාඩම් ලිපිය 41

යෙහෝවා ‘දයාවෙන් පිරුණු’ දෙවි කෙනෙක්

“යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය. තම හස්තයෙන් නිර්මාණය කළ සියල්ලන්ට ඔහු දයාව පෙන්වන්නේය.”—ගීතා. 145:9.

ගීතිකාව 44 අසරණයෙකුගේ අයැදීම

මේ ලිපියෙන්a

1. දයාන්විත කෙනෙක් කියද්දී අපේ හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක්වද?

දයාන්විත කෙනෙක් කියද්දී අපේ මනසට එන්නේ කරුණාවන්ත, උණු වෙන හිතක් තියෙන, ත්‍යාගශීලී කෙනෙක්ව. සමහරවිට අපිට යේසුස් කියපු උපමාවේ ඉන්න යහපත් සමරිතානුවා මතක් වෙයි. හොරුන්ගෙන් හොඳටම ගුටි කාලා හිටපු යුදෙව්වාව දැක්කාම එයා වෙන ජාතියක කෙනෙක් වුණත් සමරිතානුවා එයාට ‘දයාව පෙන්නුවා.’ එයා ගැන “මහත් අනුකම්පාවක් ඇති වුණ” නිසා සමරිතානුවා එයාගෙ තුවාල හොඳ වෙන කල් ආදරෙන් බලාගත්තා. (ලූක් 10:29-37) යෙහෝවාගේ ලස්සන ගුණාංගයක් වෙන දයාව ගැන ඒ උපමාවෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. දෙවියන් හැම දවසකම අපිට දයාව පෙන්නනවා. ඔහු එහෙම කරන්නේ අපිට ආදරේ නිසයි.

2. දයාව පෙන්නන්න පුළුවන් තවත් විදිහක් මොකක්ද?

2 දයාව පෙන්නන්න පුළුවන් තවත් විදිහක් තියෙනවා. ඒ තමයි කෙනෙක් කරපු වරදකට දඬුවම් කරන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර ඉන්න තීරණය කරන එක. යෙහෝවා ගොඩක් අවස්ථාවලදී අපිට ඒ විදිහට දයාව පෙන්නලා තියෙනවා. “අප කළ පාපවල තරමටම ඔහු අපට දඬුවම් කළේ නැත” කියලා ගීතිකාකරු කිව්වේ ඒ නිසයි. (ගීතා. 103:10) හැබැයි සමහර වෙලාවට ඔහු අපිව තදින් හික්මවනවා.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 දෙවියන් අපිට දයාව පෙන්නන්නේ ඇයි? කෙනෙක්ව තදින් හික්මවද්දී වුණත් දයාව පෙන්නන්න පුළුවන්ද? දයාව පෙන්නන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? ඒ ප්‍රශ්නවලට බයිබලේ තියෙන උත්තර දැන් අපි බලමු.

යෙහෝවා දයාව පෙන්නන්නේ ඇයි?

4. යෙහෝවා දයාව පෙන්නන්නේ ඇයි?

4 යෙහෝවා අනිත් අයට දයාව පෙන්නන්න ආසයි. යෙහෝවා “දයාවෙන් පිරි” දෙවි කෙනෙක් කියලා පාවුල් කිව්වා. එයා එතනදී කතා කළේ පව්කාරකම උරුම කරගෙන හිටියත් ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැනයි. (එෆී. 2:4-7) හැබැයි යෙහෝවා දයාව පෙන්නලා තියෙන්නේ අභිෂේක ලත් අයට විතරක් නෙවෙයි. “යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය. තම හස්තයෙන් නිර්මාණය කළ සියල්ලන්ට ඔහු දයාව පෙන්වන්නේය” කියලා දාවිත් කිව්වා. (ගීතා. 145:9) යෙහෝවා අපිට ගොඩක් ආදරේ නිසා පුළුවන් හැම වෙලාවකම ඔහු අපිට දයාව පෙන්නනවා.

5. යෙහෝවා දෙවියන්ගේ දයාව ගැන යේසුස් ඉගෙනගත්තේ කොහොමද?

5 යෙහෝවා දයාව පෙන්නන්න ආසයි කියලා වෙන කාටවත්ම වඩා යේසුස් හොඳින්ම දන්නවා. මොකද යේසුස් පොළොවට එන්න කලින් අවුරුදු ගාණක් ඔහුගේ ආදරණීය තාත්තාත් එක්ක ස්වර්ගයේ ජීවත් වුණා. (හිතෝ. 8:30, 31) වැරදි කරන මිනිසුන්ට ඔහු කොච්චර සමාව දෙනවාද කියලා යේසුස් දැක්කා. (ගීතා. 78:37-42) ඒ නිසා දෙවියන්ගේ මේ ලස්සන ගුණාංගය ගැන යේසුස් ගොඩක් කතා කළා.

ගෙදර ආපු අකීකරු පුතාව ලැජ්ජා කරන්නේ නැතුව තාත්තා එයාව ආදරෙන් පිළිගන්නවා (6 ඡේදය බලන්න)c

6. යෙහෝවාගේ දයාව ගැන තේරුම්ගන්න යේසුස් අපිට උදව් කළේ කොහොමද?

6 යෙහෝවා දයාව පෙන්නන විදිහ ගැන පැහැදිලි කරන්න යේසුස් කියපු අකීකරු පුතාගේ උපමාව අපි කලින් ලිපියෙන් බැලුවා. ගෙදර අත්හැරලා ගිය ඒ පුතා “අනාචාරයේ යෙදෙමින් ඉතා නරක ජීවිතයක් ගත කර තමා සතු දේ නැති නාස්ති කර දැමුවා.” (ලූක් 15:13) කාලයක් ගියාට පස්සේ ඒ පුතා එයා කරපු වැරදි ගැන පසුතැවිලි වෙලා ආපහු ගෙදර ආවා. පුතා ආපහු ආවාම තාත්තා කරපු දේ ගැන යේසුස් මෙහෙම කිව්වා. “තම පුතාව ඈත තියා දුටු පියා තුළ මහත් අනුකම්පාවක් ඇති වී, ඔහු ළඟට දුව ගොස් ඔහුව මහත් ආදරයකින් සිප වැලඳගත්තා.” තාත්තා ඒ පුතාව ලැජ්ජා කරන්නේ නැතුව එයාට දයාව පෙන්නලා ආපහු ආදරෙන් පවුලට පිළිගත්තා. පුතා කොච්චර වැරදි කළත් එයා කරපු වැරදි ගැන පසුතැවිලි වුණ නිසා තාත්තා එයාට සමාව දුන්නා. යෙහෝවා දෙවියනුත් ඒ උපමාවේ ඉන්න දයාවන්ත තාත්තා වගේ අවංකවම පසුතැවිලි වෙන අයට සමාව දෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.—ලූක් 15:17-24.

7. යෙහෝවා දයාව පෙන්නන විදිහෙන් ඔහු ප්‍රඥාවන්තයි කියලා පේන්නේ කොහොමද?

7 යෙහෝවා ගොඩක් ප්‍රඥාවන්ත නිසා අපිට දයාව පෙන්නනවා. කෙනෙක්ට “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව” තියෙනවා නම් එයා ‘දයාවෙන් පිරුණු යහපත්’ දේවල් කරන කෙනෙක් වෙනවා කියලා බයිබලේ කියනවා. (යාකො. 3:17) යෙහෝවා දෙවියන්ට මොන තරම් ප්‍රඥාවක් තිබුණත් ඔහු කවදාවත් හැඟීම් දැනීම් නැතුව වැඩ කරන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. තමන්ගේ දරුවන්ට දයාව පෙන්නන එකෙන් එයාලට වෙන්නේ හොඳක් කියලා යෙහෝවා හොඳින්ම දන්නවා. (ගීතා. 103:13; යෙසා. 49:15) උදාහරණෙකට පව්කාරකම උරුම කරගෙන හිටියත් අනාගතේ ගැන හොඳ බලාපොරොත්තුවක් අපිට ලැබිලා තියෙන්නේ ඔහු පෙන්නන දයාව නිසයි. ඉතින් යෙහෝවාට තියෙන අතිමහත් ප්‍රඥාව නිසා දයාව පෙන්නන්න හොඳ හේතුවක් තියෙන හැම අවස්ථාවකදීම ඔහු එහෙම කරනවා. හැබැයි කෙනෙක්ට දයාව පෙන්නන්න ඕන නැත්තේ කොයි වෙලාවටද කියලත් ඔහු දන්නවා. මොකද සමහර අයට දිගටම දයාව පෙන්නුවොත් එයාලා කවදාවත් එයාලගේ වැරදි හදාගන්නේ නැහැ.

8. සමහර වෙලාවට ගන්න වෙන්නේ මොන පියවරද? ඒ ඇයි?

8 හිතන්න කෙනෙක් හිතාමතාම දිගින් දිගටම බරපතළ වරදක් කරනවා. එතකොට අපි මොනවාද කරන්න ඕනේ? “ඔබ තවදුරටත් ඔහු සමඟ ආශ්‍රය නොකළ යුතුයි” කියලා දෙවියන් පාවුල් මාර්ගයෙන් කිව්වා. (1 කොරි. 5:11) පසුතැවිලි වෙන්නේ නැතුව හිතාමතාම දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති කඩ කරන අයව සභාවෙන් ඉවත් කරනවා. එහෙම කරන එකෙන් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න සභාවේ අනිත් අයව ආරක්ෂා කරගන්නත් තවදුරටත් යෙහෝවාගේ නමට අගෞරවයක් වෙන එක වළක්වගන්නත් පුළුවන් වෙනවා. හැබැයි සමහර අයට සභාවෙන් ඉවත් කරන සැලැස්ම දෙවියන් දයාව පෙන්වන විදිහක් කියලා තේරුම්ගන්න අමාරුයි. අපි දැන් ඒ ගැන බලමු.

කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන එක දයාවන්ත දෙයක්ද?

අසනීපයක් නිසා රැළෙන් වෙන් කරපු බැටළුවෙක් ළඟට එඬේරා දුවගෙන එනවා.

අසනීපෙන් ඉන්න බැටළුවෙක්ව රැළෙන් වෙන් කළත් එඬේරා එයාව දිගටම ආදරෙන් බලාගන්නවා (9-11 ඡේද බලන්න)

9-10. හෙබ්‍රෙව් 12:5, 6 අනුව කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන එක දයාව පෙන්නන විදිහක් වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

9 අපි ආදරේ කරන කෙනෙක් “තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවන බව මෙයින් දන්වා සිටිමු” කියලා සභාවේ නිවේදනය කළොත් අපිට ලොකු දුකක් දැනෙයි. ‘එයාව සභාවෙන් ඉවත් කරන්නම ඕනෙද?’ කියලත් අපිට සමහරවිට හිතෙන්න පුළුවන්. හික්මවීමක් ඕනෙ කෙනෙක්ට ඒක නොදී ඉන්න එක ඥානවන්ත දෙයක්වත් දයාවන්ත දෙයක්වත් නෙවෙයි. (හිතෝ. 13:24) පසුතැවිලි වෙලා, වැරදි හදාගෙන ආයෙත් එන්න සභාවෙන් ඉවත් කරන එක කෙනෙක්ට උදව් වෙනවාද? ඔව්. හුඟක් අය කියලා තියෙනවා එයාලා කරපු වරදේ බරපතළකම තේරුම් අරගෙන, වැරදි හදාගෙන ආයෙත් යෙහෝවා ළඟට එන්න සභාවෙන් ඉවත් කරපු එක එයාලට උදව් වුණා කියලා.—හෙබ්‍රෙව් 12:5, 6 කියවන්න.

10 මේ උදාහරණය ගැන හිතන්න. රැළේ ඉන්න බැටළුවෙක් ලෙඩ වෙලා කියලා එඬේරෙක් දකිනවා. ලෙඩේට බෙහෙත් කරන්න නම් ඌව රැළෙන් වෙන් කරන්න ඕනෙ කියලා එයා දන්නවා. ඒත් බැටළුවෝ කියන්නේ රැළත් එක්කම ඉන්න ආස සත්තු ජාතියක්. ඉතින් බැටළුවා කෑගහන්න, දඟලන්න පටන්ගන්නවා. ලෙඩේට බෙහෙත් කරන්න බැටළුවාව රැළෙන් වෙන් කරපු එකෙන් අදහස් කරනවාද ඒ එඬේරා හරිම නපුරු කෙනෙක් කියලා. නැහැ. මොකද එයාත් දන්නවා මේ ලෙඩ වුණ බැටළුවා දිගටම රැළේ හිටියොත් අනිත් බැටළුවොත් ලෙඩ වෙනවා කියලා. රැළේ ඉන්න අනිත් බැටළුවන්ව බේරගන්න නම් මේ බැටළුවාව වෙන් කරන්නම ඕනේ.—ලෙවී. 13:3, 4.

11. (අ) සභාවෙන් ඉවත් කරපු කෙනෙක් අසනීප වුණ බැටළුවෙක් වගේ කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) ඒ අයට උදව් වෙන්නේ මොනවාද?

11 සභාවෙන් ඉවත් කරපු කෙනෙක් අසනීප වුණ බැටළුවෙක් වගේ. ඇයි අපි එහෙම කියන්නේ? බයිබලේ කියනවා දෙවියන් එක්ක තියෙන බැඳීම නැති වුණ කෙනෙක් හරියට අසනීප වුණ කෙනෙක් වගේ කියලා. (යාකො. 5:14) සමහර ලෙඩ බෝ වෙනවා. ඒ වගේ යෙහෝවා එක්ක තියෙන බැඳීම නැති කරගත්ත කෙනෙක් නිසා සභාවේ අනිත් අයටත් යෙහෝවා එක්ක තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා සමහර අවස්ථාවලදී ඒ වගේ කෙනෙක්ව සභාවෙන් අයින් කරන්නම වෙනවා. මේ සැලැස්ම නිසා සභාවේ ඉන්න අනිත් අයට දෙවියන් කොච්චර ආදරෙයිද කියලා පැහැදිලි වෙනවා. ඒ වගේම වරද කරපු කෙනා එයාගේ වරදේ බරපතළකම තේරුම් අරගෙන පසුතැවිලි වෙන්නත් ඉඩ තියෙනවා. එයා සභාවෙන් ඉවත් වෙලා ඉන්න කාලේ පුරාවටම එයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනෙ කරන උදව් ලැබෙනවා. උදාහරණෙකට එයාට රැස්වීම්වලට එන්න පුළුවන්. සඟරා, පොත් පත් ලබා ගන්නත් JW බ්‍රෝඩ්කාස්ටිං එක බලන්නත් පුළුවන්. ඉතින් එයා වෙනස්කම් කරගෙන දියුණුවක් ලබනවා කියලා වැඩිමහල්ලන් දකිද්දී දෙවියන් එක්ක තියෙන බැඳීම ගොඩනඟාගන්න වැඩිමහල්ලන් එයාට විටින් විට මඟ පෙන්වීම් ලබා දෙනවා. ඒවා ප්‍රයෝජනයට ගත්තොත් සාක්ෂිකරුවෙක් විදිහට එයාට ආයෙත් සභාවට එකතු වෙන්න පුළුවන්කම ලැබෙනවා.b

12. පසුතැවිලි වෙන්නේ නැතුව වැරදි කරන කෙනෙක්ට දයාව පෙන්නන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

12 සභාවෙන් ඉවත් කරන්නේ පසුතැවිලි වෙන්නේ නැතුව බරපතළ වැරදි කරන අයව විතරයි. කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන්න කලින් ඒ ගැන බැරෑරුම්ව හිතන්න ඕනෙ කියලා වැඩිමහල්ලන් දන්නවා. ඒ වගේම යෙහෝවා දෙවියන් කෙනෙක්ව හික්මවන්නේ “සුදුසු ප්‍රමාණයට” විතරයි කියලත් එයාලා දන්නවා. (යෙරෙ. 30:11) වැඩිමහල්ලන් සහෝදරයන්ට ආදරේ නිසා කවදාවත් එයාලට යෙහෝවා එක්ක තියෙන බැඳීමට හානියක් වෙන දෙයක් කරන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට පසුතැවිලි වෙන්නේ නැතුව වැරදි කරන කෙනෙක්ට දයාව පෙන්නන්න පුළුවන් හොදම විදිහ තමයි යම් කාලෙකට එයාව සභාවෙන් ඉවත් කරන එක.

13. කොරින්තියේ හිටපු ක්‍රිස්තියානියෙක්ව සභාවෙන් ඉවත් කරන්න සිද්ධ වුණේ ඇයි?

13 මුල් සියවසේ කොරින්තියේ හිටපු ක්‍රිස්තියානියෙක් පසුතැවිලි නොවී බරපතළ වරදක් කරනකොට පාවුල් වැඩ කරපු විදිහ ටිකක් බලමු. ඒ කෙනා තාත්තාගේ බිරිඳව තමන්ගේ බිරිඳ විදිහට තියාගත්තා. ඒ වගේ කෙනෙක්ට දෙන්න ඕනෙ දඬුවම ගැන දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ මෙහෙම කියනවා. “යමෙකු තම පියාගේ වෙනත් භාර්යාවක සමඟ සයනය කළොත් ඔහු තම පියාට නින්දා කරන්නේය. එබැවින් ඔහුවද ඒ ස්ත්‍රියවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.” (ලෙවී. 20:11) පාවුල් ඒ කෙනාව මරන්න කියලා කිව්වේ නැති වුණත් එයාව සභාවෙන් ඉවත් කරන්න කියලා මඟ පෙන්නුවා. මොකද එයා වැඩ කරපු විදිහ සභාවේ හිටපු අනිත් අයටත් බලපෑවා. සභාවේ හිටපු සමහර අය එයා කරපු දේ බරපතළ වරදක් විදිහටවත් සැලකුවේ නැහැ.—1 කොරි. 5:1, 2, 13.

14. කොරින්ති සභාවෙන් ඉවත් කරපු කෙනාට පාවුල් දයාව පෙන්නුවේ කොහොමද? එයා එහෙම කළේ ඇයි? (2 කොරින්ති 2:5-8, 11)

14 සභාවෙන් ඉවත් කරපු කෙනා ඇත්තටම පසුතැවිලි වෙලා ජීවිතේ වෙනස් කරගෙන තියෙනවා කියලා කාලෙකට පස්සේ පාවුල්ට දැනගන්න ලැබුණා. ඒ කෙනා නිසා සභාවට ලොකු අගෞරවයක් වෙලා තිබුණත් එයාව ඕනෑවට වඩා පීඩාවට පත් කරන්න පාවුල් කැමති වුණේ නැහැ. ඒ නිසා එයා වැඩිමහල්ලන්ට කිව්වා “ඔහුට කාරුණිකව සමාව දී ඔහුව සැනසිය යුතුයි. එසේ කළේ නැත්නම් එවැනි කෙනෙකුට දැනෙන අධික දුක නිසා ඔහු සම්පූර්ණයෙන්ම කලකිරීමට පත් විය හැක” කියලා. ඒකෙන් පැහැදිලියි ඒ කෙනා ගැන පාවුල්ට ලොකු අනුකම්පාවක් දැනුණා කියලා. එයා ආපහු සභාවට එන්න දරන උත්සාහය අත්හරින තරමටම කලකිරෙනවාට පාවුල් පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ.—2 කොරින්ති 2:5-8, 11 කියවන්න.

15. කෙනෙක්ව හික්මවද්දී වැඩිමහල්ලන් සමබරව වැඩ කරන්නේ කොහොමද?

15 යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන් අනිත් අයට දයාව පෙන්නනවා. හැබැයි අවශ්‍ය වෙලාවලදී වැඩිමහල්ලන් තද හික්මවීම් දෙනවා. මොකද එයාලා එහෙම කළේ නැත්නම් ඒක හරියට වැරදි කරන අය කරන දේවල් ගණන් නොගෙන ඉන්නවා වගේ. ඒත් හොඳ හේතුවක් තියෙන හැම වෙලාවකම දයාව පෙන්නන්න වැඩිමහල්ලන් සූදානම්. අනිත් අයට දයාව පෙන්නන්න ඕනෙ වැඩිමහල්ලන් විතරයිද?

අනිත් අයට දයාව පෙන්නන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

16. හිතෝපදේශ 21:13 අනුව දයාව පෙන්නන්නේ නැති අයට යෙහෝවා දෙවියන් සලකන්නේ කොහොමද?

16 අපි හැමෝම දෙවියන්ව ආදර්ශයට අරන් අනිත් අයට දයාව පෙන්නන්න ඕනේ. ඒ ඇයි? මොකද අපි එහෙම කළේ නැත්නම් අපේ යාච්ඤාවලට යෙහෝවා ඇහුම්කන් දෙන්නේ නැහැ. (හිතෝපදේශ 21:13 කියවන්න.) එහෙම වෙනවාට අපි කවුරුත් කැමති නැහැ නේද? එහෙනම් හිත දැඩි කරගන්නේ නැතුව ඉන්න අපි හැමෝම වෑයම් කරන්න ඕනේ. “අසරණයා පිහිට පතන විට” ඒ කියන්නේ අපේ සහෝදරයෙක් වේදනාවෙන් ඉන්නකොට එයාට ඇහුම්කන් දෙන්න අපි සූදානමින් ඉන්න ඕනේ. ඒ වගේම “දයාව නොපෙන්වන පුද්ගලයාට ලැබෙන්නේ දයාවෙන් තොර විනිශ්චයකි. මන්ද විනිශ්චය කිරීමට වඩා දයාව පෙන්වීම උතුම්ය” කියලා බයිබලේ කියන දේත් මතක තියාගමු. (යාකො. 2:13) යෙහෝවාගෙන් අපිට කොයි තරම් දයාවක් ඕනෙද කියලා අපි මතක් කරගන්නවා නම් අනිත් අයට හැම වෙලාවෙම දයාව පෙන්නන්න අපි පෙලඹෙයි. විශේෂයෙන්ම සභාවෙන් ඉවත් කරපු කෙනෙක් පසුතැවිලි වෙලා ආයෙත් සභාවට එද්දී අපි එයාට දයාව පෙන්නන්න ඕනේ.

17. දාවිත් මුළු හදවතින්ම දයාව පෙන්නුවේ කොහොමද?

17 හිත දැඩි කරගන්නේ නැතුව අනිත් අයට දයාව පෙන්නන්න බයිබල් ආදර්ශ අපිට උදව් වෙනවා. උදාහරණෙකට දාවිත් රජ කියන්නේ නිතරම මුළු හදවතින්ම දයාව පෙන්නන්න උත්සාහ කරපු කෙනෙක්. සාවුල් දිගටම එයාව මරන්න උත්සාහ කළා. හැබැයි සාවුල් දෙවියන් පත් කරපු රජ නිසා දාවිත් කවදාවත් සාවුල්ට හානියක් කළේවත් එයාගෙන් පළිගන්න උත්සාහ කළේවත් නැහැ. ඒ වෙනුවට දිගටම එයාට දයාව පෙන්නුවා.—1 සාමු. 24:9-12, 18, 19.

18-19. දාවිත් දයාව පෙන්නුවේ නැති අවස්ථා දෙකක් විස්තර කරන්න.

18 හැබැයි දාවිත් හැම වෙලාවකදීම අනිත් අයට දයාව පෙන්නුවේ නැහැ. උදාහරණෙකට දුෂ්ට කෙනෙක් වුණ නාබල් දාවිත්ට හරිම පහත් විදිහට බැනලා එයාට කෑම බීම දීලා උදව් කරන්න බැහැ කියලා කිව්වාම දාවිත්ට ගොඩක් තරහ ගියා. ඒ නිසා නාබල්වයි එයාගේ ගෙදර ඉන්න හැම පිරිමි කෙනෙක්වමයි මරන්න දාවිත් තීරණය කළා. හැබැයි අබිගායිල් ප්‍රඥාවන්තව වැඩ කරලා අහිංසක ජීවිත නැති කරන එකෙන් දාවිත්ව වැළැක්වුවා.—1 සාමු. 25:9-22, 32-35.

19 තවත් අවස්ථාවකදී දුප්පත් කෙනෙක්ගේ බැටළු පැටියෙක්ව හොරකම් කරපු පොහොසත් කෙනෙක් ගැන නාතන් දාවිත්ට කිව්වා. ඒ වෙලාවේ හොඳටම තරහ ගිය දාවිත් මෙහෙම කිව්වා. “ඒ දේ කළ මිනිසාව මරා දැමිය යුතුයි කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියේ මම දිවුරලා කියනවා.” (2 සාමු. 12:1-6) මෝසෙස්ගේ නීතියට අනුව බැටළුවෙක් හොරකම් කරපු කෙනෙක් වන්දියක් හැටියට දෙන්න ඕනෙ බැටළුවන් 4දෙනෙක්ව විතරයි කියලා දාවිත් හොඳටම දැනන් හිටියා. (නික්. 22:1) හැබැයි දාවිත් පොහොසත් කෙනාව මරන්න තීරණය කළා. නාතන් කිව්වේ ඇත්ත සිද්ධියක් ගැන නෙවෙයි. නාතන් ඒ කතාව කිව්වේ දාවිත් කරපු වැරදි ඒ කතාවේ ඉන්න කෙනා කරපු වැරදිවලට වඩා කොච්චර බරපතළද කියලා පැහැදිලි කරන්නයි. දාවිත් කතාවේ ඉන්න පොහොසත් කෙනාට දරුණු තීන්දුවක් දුන්නත් ඊට වඩා බරපතළ වැරදි කරපු දාවිත්ට යෙහෝවා පුදුමාකාර දයාවක් පෙන්නුවා.—2 සාමු. 12:7-13.

නාතන් කිව්ව සිද්ධියේ ඉන්න පොහොසත් කෙනාට දාවිත් කිසිම දයාවක් පෙන්නුවේ නැහැ (19 සහ 20 ඡේද බලන්න)d

20. දාවිත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

20 දාවිත්ගේ ජීවිතේ එයා දයාව පෙන්නුවේ නැති අවස්ථා දෙකක් ගැන අපි බැලුවා. එක අවස්ථාවකදී දාවිත්ට හොඳටම තරහ ගිය නිසා නාබල්ව විනිශ්චය කරලා එයාවයි එයාගේ ගෙදර හිටපු හැම පිරිමි කෙනෙක්වමයි මරන්න තීරණය කළා. නාතන් කියපු සිද්ධියේදිත් දාවිත් පොහොසත් කෙනාට දරුණු විනිශ්චයක් දුන්නා. දෙවෙනි සිද්ධිය බලද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් දාවිත් වගේ හිත උණු වෙන කෙනෙක්ට ඒ වගේ විනිශ්චයක් දෙන්න පුළුවන්ද කියලා. ඒ කාලේදී දාවිත් හිටියේ මොන වගේ තත්වයකද කියලා ටිකක් මතක් කරගන්න. ඒ දවස්වල එයා බරපතළ වරදක් කරලා හිටියේ. ඒ නිසා එයාගේ හෘදය සාක්ෂිය නිතරම වධ දුන්නා. ඒකෙන් පැහැදිලි වෙනවා කෙනෙක් අනිත් අයව දරුණු විදිහට විනිශ්චය කරන්නේ එයාට යෙහෝවා එක්ක තියෙන බැඳීම පලුදු වෙලා තියෙන නිසයි කියලා. විනිශ්චය කරන එකේ බරපතළකම පැහැදිලි කරන්න යේසුත් මෙහෙම කිව්වා. “ඔබ අනුන්ව යම් ආකාරයකින් විනිශ්චය කරනවාද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා.” (මතෙ. 7:1, 2) ඉතින් අපිත් අනිත් අයව විනිශ්චය කරන්නේ නැතුව “දයාවෙන් පිරි” යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගමු.

21-22. අපිට දයාව පෙන්නන්න පුළුවන් මොන වගේ විදිවලින්ද?

21 දයාවන්ත කෙනෙක් දුකෙන් ඉන්න කෙනෙක්ව දැක්කාම ‘අනේ පව්’ කියලා එතනින් නවතින්නේ නැතුව එයාට ඕන කරන උදව් ලබා දෙනවා. ඔයාගේ පවුලේ, සභාවේ, ඔයා ජීවත් වෙන පැත්තේ උදව් අවශ්‍ය කරන අය ඉන්නවාද කියලා හොඳට හොයලා බලන්න. ඔයාට අනිවාර්යයෙන්ම උදව් ඕන කරන හුඟදෙනෙක්ව හම්බ වෙයි. සමහර අයට සහනය ඕනෙ ඇති. තවත් අයට බඩුවක් මුට්ටුවක් ගෙන්නගන්න නැත්නම් වෙන මොකක් හරි කරගන්න උදව් ඕනෙ ඇති. සභාවට ආයෙත් පිළිගත්ත කෙනෙක්ට එයාව දිරිගන්වන හොඳ යාළුවෙක් ඕනෙ ඇති. අනිත් අයට දයාව පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් තියෙනවා. ඒ තමයි දෙවියන්ගේ රාජ්‍යය ගැන හැමෝටම කියන එක.—යෝබ් 29:12, 13; රෝම 10:14, 15; යාකො. 1:27.

22 අපි හොඳ අවධානයකින් ඉන්නවා නම් අපිට තේරෙයි දයාව පෙන්නන්න ඕන තරම් අවස්ථා තියෙනවා කියලා. අපි ඒ විදිහට අනිත් අයට දයාව පෙන්නද්දී ‘දයාවෙන් පිරුණු’ අපේ ආදරණීය තාත්තා කොච්චර සතුටු වෙයිද!

ඔයාගේ උත්තරය මොකක්ද?

  • යෙහෝවා දයාව පෙන්නන්නේ ඇයි?

  • කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන එක දයාව පෙන්නන විදිහක් කියලා කියන්න පුළුවන් ඇයි?

  • අනිත් අයට දයාව පෙන්නන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

ගීතිකාව 43 ස්තුති දීමේ යාච්ඤාව

a දයාව කියන්නේ යෙහෝවාට තියෙන ලස්සනම ගුණාංගවලින් එකක්. ඒ ගුණාංගය නිසා අපි ඔහුට තවත් ළං වෙනවා. අපිත් යෙහෝවා වගේ දයාව පෙන්නන්න ඕනේ. දෙවියන් දයාව පෙන්නන්නේ ඇයි? දෙවියන් අපිව හික්මවන්නේ දයාව නිසයි කියලා කියන්න පුළුවන් ඇයි? යෙහෝවා පෙන්නන ඒ ලස්සන ගුණාංගය ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා.

b ආයෙත් සභාවට පිළිගත්ත කෙනෙක්ට යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ගොඩනඟාගන්න පුළුවන් කොහොමද කියලත් එයාට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද කියලත් දැනගන්න ඊළඟට තියෙන “යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ආයෙත් ගොඩනඟාගන්න” කියන ලිපිය බලන්න.

c පින්තූරයේ අදහස: අකීකරු පුතා ඈත ඉඳන් ගෙදර එන විදිහ තාත්තා දකිනවා. එයා පුතාව බදාගන්න දුවගෙන යනවා.

d පින්තූරයේ අදහස: වධ දෙන හෘදය සාක්ෂියක් තියෙන දාවිත්ට නාතන් කියපු සිද්ධිය අහලා හොඳටම තරහ යනවා. ඒ සිද්ධියේ ඉන්න පොහොසත් කෙනාව මරන්න ඕනෙ කියලා දාවිත් කියනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න