උත්පත්ති
1 පටන්ගැන්මේදී* දෙවියන් අහසයි,* පොළොවයි නිර්මාණය කළා.+
2 පොළොව හිස්, පාළු තැනක් විදිහටයි තිබුණේ. බලන බලන හැම තැනම ගැඹුරු ජලයෙන්+ සහ අන්ධකාරයෙන් වැහිලා තිබුණා. දෙවියන්ගේ බලය+ ජලය+ මතුපිට ක්‍රියාත්මක වෙමින් තිබුණා.
3 දෙවියන් කිව්වා “දැන් ආලෝකය ඇති කරනවා” කියලා. එතකොට ආලෝකය ඇති වුණා.+ 4 දෙවියන් ආලෝකය හොඳයි කියලා දැක්කා. ඊටපස්සේ දෙවියන් ආලෝකය තියෙන වෙලාවකුයි, අන්ධකාරය තියෙන වෙලාවකුයි නියම කළා. 5 දෙවියන් ආලෝකය තියෙන වෙලාව දවාල කියලත් අන්ධකාරය තියෙන වෙලාව රාත්‍රිය කියලත් හැඳින්නුවා.+ හවස් වුණා. උදේ වුණා. ඒ පළවෙනි දවස.*
6 ඊළඟට දෙවියන් කිව්වා “ජලය දෙපැත්තට බෙදිලා ගිහින්+ ඒ අතරේ අවකාශයක්*+ ඇති වෙන්න” කියලා. 7 දෙවියන් ජලය දෙපැත්තට බෙදලා අවකාශය හැදුවා. බෙදිලා ගිය ජලය අවකාශයට ඉහළිනුයි, පහළිනුයි තිබුණා.+ දෙවියන් කියපු විදිහටම ඒක වුණා. 8 දෙවියන් අවකාශය අහස කියලා හැඳින්නුවා. හවස් වුණා. උදේ වුණා. ඒ දෙවෙනි දවස.
9 ඊළඟට දෙවියන් කිව්වා “අහසට යටින් තියෙන ජලය එක තැනකට රැස් කරලා වියළි බිම මතු වෙන්න සලස්වනවා”+ කියලා. කියපු විදිහටම ඒක වුණා. 10 දෙවියන් වියළි බිම පොළොව+ කියලත් එක තැනකට රැස් කරපු ජලය මුහුද+ කියලත් හැඳින්නුවා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා.+ 11 දෙවියන් මෙහෙමත් කිව්වා. “තෘණ,* පැළෑටි සහ ගස් ඒ ඒ වර්ග විදිහට පොළොවේ ඇති වෙන්න සලස්වනවා. පැළෑටිවලින් බීජ හටගනියි. ගස්වලින් බීජ තියෙන පලතුරු හටගනියි.” දෙවියන් කියපු විදිහටම ඒක වුණා. 12 පොළොවෙන් තෘණ, පැළෑටි+ සහ ගස් ඒ ඒ වර්ග විදිහට හටගන්න පටන්ගත්තා. පැළෑටිවලින් බීජත් ගස්වලින් බීජ තියෙන පලතුරුත් හටගත්තා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා. 13 හවස් වුණා. උදේ වුණා. ඒ තුන්වෙනි දවස.
14 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “දවාල සහ රාත්‍රිය වෙන් කරන්න+ ආලෝක වස්තූන්+ අහස්තලයේ දැන් දකින්න ලැබෙයි. ඍතු, දවස් සහ අවුරුදු වෙන් කරලා හඳුනගන්න ඒවා උදව් වෙයි.*+ 15 ඒ ආකාශ වස්තූන්වලින් පොළොවට ආලෝකය ලැබෙයි.” කියපු විදිහටම ඒ දේවල් වුණා. 16 දෙවියන් ප්‍රධාන ආලෝක වස්තූන් දෙක හැදුවා.* දවාලට එළිය ලබා දෙන්න විශාල ආලෝක වස්තුවත්+ රාත්‍රියට එළිය ලබා දෙන්න කුඩා ආලෝක වස්තුවත් තාරකාත් හැදුවා.+ 17 පොළොවට ආලෝකය ලබා දෙන්න දෙවියන් ඒවා අහසේ පේන විදිහට තිබ්බා. 18 ආලෝකය සහ අන්ධකාරය+ වෙන් කරන්නත් දවාලට සහ රාත්‍රියට එළිය ලබා දෙන්නත් දෙවියන් එහෙම කළා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා ඔහු දැක්කා. 19 හවස් වුණා. උදේ වුණා. ඒ හතරවෙනි දවස.
20 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “දැන් වතුරේ ජීවත් වෙන ජීවීන්ව හදලා ජලයේ පැතිරිලා යන්න සලස්වනවා. අහසේ පියාසර කරන ජීවීන්වත්* හදනවා.”+ 21 දෙවියන් විශාල මුහුදු සතුන්වයි, වතුරේ ජීවත් වෙන සියලුම ජීවීන්වයි ඒ ඒ වර්ග විදිහට නිර්මාණය කළා. දෙවියන් අහසේ පියාසර කරන සියලු ජීවීන්වත් ඒ ඒ වර්ග විදිහට නිර්මාණය කළා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා. 22 දෙවියන් වතුරේ ඉන්න ජීවීන්ට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “බෝ වී වැඩි වෙන්න. මුහුද පුරාම පැතිරිලා යන්න.”+ පියාසර කරන ජීවීන්ටත් “බෝ වී වැඩි වෙලා පොළොව පුරාම පැතිරිලා යන්න” කියලා ආශීර්වාද කළා. 23 හවස් වුණා. උදේ වුණා. ඒ පස්වෙනි දවස.
24 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “පොළොවේ ජීවත් වෙන්න ඒ ඒ වර්ග විදිහට ජීවීන් ඇති වෙන්න සලස්වනවා. ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හීලෑ සතුන්වයි, කුඩා සතුන්වයි,* වනසතුන්වයි හදනවා.”+ ඒක ඒ විදිහටම වුණා. 25 දෙවියන් ඒ ඒ වර්ග විදිහට පොළොවේ වනසතුන්වයි, හීලෑ සතුන්වයි සියලුම කුඩා සතුන්වයි හැදුවා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා.
26 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “අපි+ දැන් අපිට සමානකම් තියෙන විදිහට+ මිනිස්සුන්ව හදමු. මුහුදේ ඉන්න මාළුන්ව, අහසේ පියාසර කරන ජීවීන්ව, හීලෑ සතුන්ව සහ පොළොවේ ඉන්න හැම කුඩා සතෙක්වම එයාලා යටතේ තියමු.+ මුළු පොළොවම බලාගන්න එයාලට භාර දෙමු.” 27 දෙවියන් මිනිසාව නිර්මාණය කළා. දෙවියන් මිනිසාව නිර්මාණය කළේ ඔහුට සමානකම් තියෙන විදිහට. ඔහු පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විදිහට එයාලව නිර්මාණය කළා.+ 28 ඊටපස්සේ දෙවියන් එයාලට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙලා+ ඒක ඔයාලා යටතේ තියාගන්න.+ පොළොවේ ඉන්න සියලුම සතුන්වයි, මුහුදේ ඉන්න මාළුවන්වයි, අහසේ පියාසර කරන ජීවීන්වයි ඔයාලා යටතේ තියාගන්න.”+
29 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “පොළොව පුරාම තියෙන බීජ හැදෙන හැම පැළෑටියක්ම, පලතුරු හැදෙන හැම ගහක්ම මම ඔයාලට දෙනවා. ඒවා ඔයාලට දෙන්නේ කෑම විදිහට.+ 30 පොළොවේ ඉන්න සියලුම වනසතුන්ට, අහසේ පියාසර කරන සියලුම ජීවීන්ට වගේම පොළොවේ ඉන්න අනිත් සියලුම ජීවීන්ට කෑම විදිහට මම නිල් පලා වර්ග දුන්නා.”+ දෙවියන් කියපු විදිහටම වුණා.
31 ඊටපස්සේ දෙවියන් තමන් හදපු හැම දෙයක්ම දිහා බැලුවා. ඒ හැම දේම ඉතා හොඳයි කියලා ඔහු දැක්කා.+ හවස් වුණා. උදේ වුණා. ඒ හයවෙනි දවස.
2 ඒ විදිහට දෙවියන් අහසත් පොළොවත් ඒවායේ තියෙන හැම දෙයක්මත්* හදලා අවසන් කළා.+ 2 දෙවියන් කරපු හැම වැඩක්ම* ඔහු හත්වෙනි දවස පටන්ගන්න කලින් අවසන් කළා. හත්වෙනි දවසේ ඔහු ඒ සියලු වැඩවලින් විවේක ගන්න පටන්ගත්තා.+ 3 දෙවියන් හත්වෙනි දවසට ආශීර්වාද කරලා ඒක ශුද්ධ දවසක් කියලා කිව්වා. එහෙම කළේ දෙවියන් අදහස් කරපු විදිහට හැම දෙයක්ම නිර්මාණය කරලා ඒ දවසේ ඔහු විවේක ගන්න පටන්ගත්ත නිසයි.
4 මේ වාර්තාවේ සඳහන් වෙන්නේ අහසත් පොළොවත් නිර්මාණය කරපු කාලය ගැනයි. යෙහෝවා* දෙවියන් ඒ දවසේදී දේවල් හදපු විදිහ ගැන මේ වාර්තාවේ විස්තර කරලා තියෙනවා.+
5 ඒ කාලේ පොළොවේ පඳුරක්වත් පැළෑටියක්වත් හටගෙන තිබුණේ නැහැ. මොකද ඒ වෙද්දී යෙහෝවා දෙවියන් පොළොවට වැසි වස්සවලා තිබුණේ නැහැ. පොළොවේ වගා කරන්න මනුස්සයෙක් හිටියෙත් නැහැ. 6 ඒත් භූමියට තෙතමනය ලබා දෙන්න දෙවියන් ජල වාෂ්ප පොළොවෙන් ඉහළට නඟින්න සලස්වලා තිබුණා.
7 යෙහෝවා දෙවියන් භූමියේ දූවිල්ලෙන් මිනිසාව හදලා+ එයාගේ නාස්පුඩුවලට පිඹලා ජීවන හුස්ම දුන්නා.+ එතකොට මිනිසා ජීවමාන පුද්ගලයෙක්* වුණා.+ 8 යෙහෝවා දෙවියන් නැඟෙනහිර දෙසට වෙන්න තිබුණු ඒදන්වල උයනක් හදලා+ තමන් හදපු මිනිසාව එතන පදිංචි කළා.+ 9 යෙහෝවා දෙවියන් ඇහැට ප්‍රිය, කෑමට හොඳ හැම ගස් වර්ගයක්ම ඒ උයනේ හැදුවා. ඔහු උයන මැද ජීවන වෘක්ෂය+ වැවෙන්න සැලැස්සුවා. ‘හොඳ නරක හඳුනාගැනීම’ කියන නමින් හඳුන්වපු වෘක්ෂයත්+ ඔහු උයනේ වැවෙන්න සැලැස්සුවා.
10 උයනට ජලය සපයන්න ඒදන් ඉඳලා ගඟක් ගලාගෙන ගියා. ඒක ගංගා හතරකට බෙදිලා ගියා.* 11 පළවෙනි ගංගාවේ නම පීෂෝන්. රත්තරන් තියෙන මුළු හවිලා දේශය වටේට ගලාගෙන යන්නේ ඒ ගංගාවයි. 12 ඒ දේශයේ හොඳම රත්තරන් තියෙනවා. ඩෙලියම්* ලාටු සහ ඔනික්ස් ගලුත් එහේ තියෙනවා. 13 දෙවෙනි ගංගාවේ නම ගීහොන්. මුළු කූෂ් දේශය වටේම ගලාගෙන යන්නේ ඒ ගංගාවයි. 14 තුන්වෙනි ගඟේ නම හිද්දෙකෙල්.*+ ඒක ඇසිරියාවේ නැඟෙනහිර පැත්තට+ ගලාගෙන යනවා. හතරවෙනි ගඟ යුප්‍රටීස්.+
15 යෙහෝවා දෙවියන් මිනිසාව ඒදන් උයන බලාගන්නත් වගා කරන්නත් ඒකේ පදිංචි කළා.+ 16 යෙහෝවා දෙවියන් මිනිසාට මේ ආඥාවත් දුන්නා. “ඔයාට උයනේ තියෙන හැම ගහකින්ම ඕන තරම් කන්න පුළුවන්.+ 17 ඒත් ‘හොඳ නරක හඳුනාගැනීම’ කියන නමින් හඳුන්වන ගහෙන් කන්න ඔයාට අවසර නැහැ. මොකද ඒ ගහෙන් කෑවොත් ඒ දවසේම අනිවාර්යයෙන්ම ඔයා මැරෙනවා.”+
18 ඊළඟට යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිසා දිගටම මෙහෙම තනියම ඉන්න එක හොඳ නැහැ. මම එයාට ගැළපෙන සහකාරියක්ව හදලා දෙනවා.”+ 19 මේ වෙද්දී යෙහෝවා දෙවියන් සියලු වනසතුන්ව, අහසේ පියාසර කරන සියලු ජීවීන්ව දූවිල්ලෙන් හදලයි තිබුණේ. මිනිසා ඒ හැම සතෙක්ටම මොන වගේ නම් දායිද කියලා බලන්න දෙවියන් උන්ව මිනිසා ළඟට ගෙනාවා. ඒ එක එක සතාට මිනිසා නමක් දුන්නා. ඒ නම්වලින් තමයි දිගටම උන්ව හැඳින්නුවේ.+ 20 මිනිසා සියලු හීලෑ සතුන්ට, අහසේ පියාසර කරන ජීවීන්ට සහ සියලු වනසතුන්ට නම් දුන්නා. හැබැයි ඒ වෙද්දීත් මිනිසාට ගැළපෙන සහකාරියක් හිටියේ නැහැ. 21 ඉතින් යෙහෝවා දෙවියන් මිනිසාව තද නින්දකට වැටෙන්න සැලැස්සුවා. එයා නිදාගෙන ඉද්දී දෙවියන් එයාගෙන් ඉල ඇටයක් ගත්තා. ඊටපස්සේ දෙවියන් ඉල ඇටය ගත්ත තැන වහලා දැම්මා. 22 යෙහෝවා දෙවියන් ඒ ඉල ඇටයෙන් ස්ත්‍රියක්ව හදලා ඇයව මිනිසා ළඟට ගෙනාවා.+
23 ඇයව දැක්කාම මිනිසා මෙහෙම කිව්වා.
“මේ මගේම ඇටවලින් සෑදූ,
මගේම මාංසයෙන් සෑදූ කෙනායි.
ඇයව ස්ත්‍රිය කියලා හඳුන්වයි.
මොකද ඇයව ගත්තේ මිනිසාගෙන්.”+
24 ඒ නිසා මිනිසෙක් එයාගේ තාත්තාගෙන් සහ අම්මාගෙන් වෙන් වෙලා එයාගේ බිරිඳට ඇලුම් වෙනවා.* එයාලා දෙන්නා එක් කෙනෙක් වගේ වෙනවා.*+ 25 මිනිසා සහ එයාගේ බිරිඳ හිටියේ නිර්වස්ත්‍රවයි.+ ඒත් එයාලට ලැජ්ජාවක් දැනුණේ නැහැ.
3 යෙහෝවා දෙවියන් හදපු හැම සතෙක්ටම වඩා සර්පයා+ හරිම විමසිල්ලෙන් ඉන්න* සතෙක්. ඉතින් ඌ ස්ත්‍රියට කතා කරලා මෙහෙම ඇහුවා. “ඔයාට උයනේ තියෙන හැම ගහකින්ම කන්න එපා කියලා දෙවියන් කිව්වා කියන්නේ ඇත්තද?”+ 2 එතකොට ස්ත්‍රිය සර්පයාට මෙහෙම කිව්වා. “උයනේ තියෙන ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්.+ 3 ඒත් උයන මැද තියෙන ගහේ පලතුරු ගැන දෙවියන් මෙහෙම කියලා තියෙනවා.+ ‘ඒ ගහේ පලතුරු කන්නවත් ඒකට අත තියන්නවත් එපා. එහෙම කළොත් ඔයා මැරෙනවා.’” 4 එතකොට සර්පයා ස්ත්‍රියට මෙහෙම කිව්වා. “ඒක ඇත්ත නෙමෙයි. ඔයා මැරෙන්නේ නැහැ.+ 5 ඔයා ඒකෙන් කන දවසේම ඔයාගේ ඇස් ඇරිලා දෙවියන් වගේ හොඳ නරක තීරණය කරන්න ඔයාට පුළුවන් වෙනවා කියලා දෙවියන් දන්නවා.”+
6 ඊටපස්සේ ස්ත්‍රිය ඒ ගහ දිහා බැලුවාම ඒකේ ගෙඩි කන්න හොඳයි, ඒවාට හිත ඇදිලා යනවා කියලා දැක්කා. ඒ ගහ බලන්න හරිම ලස්සනයි කියලත් එයාට හිතුණා. ඒ නිසා එයා ඒ ගහෙන් ගෙඩි කඩාගෙන කෑවා.+ පස්සේ එයාගේ ස්වාමිපුරුෂයාටත් ඒකෙන් කන්න දුන්නා. ඔහුත් ඒකෙන් කෑවා.+ 7 එතකොට එයාලාගේ ඇස් ඇරිලා එයාලා නිර්වස්ත්‍රව ඉන්නවා කියලා තේරුම්ගත්තා. ඉතින් එයාලා අත්තික්කා කොළ එකට අමුණලා එයාලාගේ ඉණ වටේ බැඳගත්තා.+
8 සිසිල් සුළං හමන වෙලාවේ උයනේ ඇවිදිමින් හිටපු යෙහෝවා දෙවියන්ගේ කටහඬ එයාලට ඇහුණා. එතකොට මිනිසා සහ එයාගේ බිරිඳ උයනේ ගස් අතරට ගිහින් යෙහෝවා දෙවියන්ගෙන් හැංගුණා. 9 යෙහෝවා දෙවියන් කීප සැරයක්ම මිනිසාට කතා කරලා “ඔයා කොහෙද” කියලා ඇහුවා. 10 ටික වෙලාවකට පස්සේ මිනිසා මෙහෙම කිව්වා. “ඔබේ හඬ මට උයනේදී ඇහුණා. ඒත් මම නිර්වස්ත්‍රව හිටපු නිසා මං බය වෙලා හැංගුණා.” 11 එතකොට දෙවියන් මෙහෙම ඇහුවා. “ඔයා නිර්වස්ත්‍රව ඉන්නවා කියලා කවුද ඔයාට කිව්වේ?+ මං ඔයාට කන්න එපා කියලා අණ කරපු ගහේ ගෙඩි ඔයා කෑවාද?”+ 12 මිනිසා මෙහෙම කිව්වා. “ඔබ මට දුන්න ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩලා මට දුන්නා. ඉතින් මං ඒක කෑවා.” 13 එතකොට යෙහෝවා දෙවියන් “ඇයි ඔයා මේ වගේ දෙයක් කළේ” කියලා ස්ත්‍රියගෙන් ඇහුවා. ස්ත්‍රිය මෙහෙම උත්තර දුන්නා. “සර්පයා මාව රැවැට්ටුවා. ඉතින් මං කෑවා.”+
14 ඊටපස්සේ යෙහෝවා දෙවියන් සර්පයාට මෙහෙම කිව්වා.+ “ඔබ කරපු මේ දේ නිසා සියලු හීලෑ සතුන් සහ වනසතුන් අතරේ ඔබ ශාප ලත් කෙනෙක් වෙනවා. බඩ ගාගෙන යන ඔබට ජීවිත කාලේ පුරාම දූවිලි කන්න වෙනවා. 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරෙත් ඔබෙන් පැවතෙන අය+ සහ ඇගෙන් පැවතෙන කෙනා*+ අතරෙත් මම සතුරුකමක්+ ඇති කරනවා. ඔහු ඔබේ හිස පොඩි කරනවා.+ ඔබ ඔහුගේ විලුඹ තුවාල* කරනවා.”+
16 දෙවියන් ස්ත්‍රියට මෙහෙම කිව්වා. “ගැබිනි කාලයේ ඔයා අද්දකින වේදනාව ගොඩක් වැඩි වෙයි. ඔයාට වේදනා විඳලා දරුවන් බිහි කරන්න වෙයි. ස්වාමිපුරුෂයාගේ අවශ්‍යතාව ඔයාට ගොඩක් දැනෙයි.* එයා ඔයාව පාලනය කරයි.”
17 ඔහු ආදම්ට* මෙහෙම කිව්වා. “ඔයා බිරිඳ කියපු දේ අහලා මම දුන්න ආඥාව කැඩුවා.+ ‘කන්න ඔයාට අවසර නැහැ’ කියලා මම කියපු ගහේ ගෙඩි ඔයා කාපු නිසා භූමිය ශාප ලබනවා.+ ජීවිත කාලේ පුරාම ඔයාට දුක් ගැහැට විඳිමින් වගා කරන්න වෙනවා.+ 18 භූමියේ වැඩිපුර වැවෙන්නේ කටු පඳුරු සහ වල් පැළෑටි. ඔයාට කෑමට ගන්න වෙන්නේ කැලේ වැවෙන දේවල්. 19 භූමියෙන් ගත්ත ඔයාට භූමියට හැරිලා යන කල්ම දාඩිය මහන්සියෙන් කෑම හොයාගන්න වෙයි.+ ඔයා දූවිලි. ඔයා ආයෙත් දූවිල්ලටම හැරිලා යනවා.”+
20 ආදම් තමන්ගේ බිරිඳට ඒව* කියන නම දුන්නා. ඒ නම දුන්නේ ඇය මිනිස් වර්ගයාගේ* මව වෙන නිසයි.+ 21 යෙහෝවා දෙවියන් ආදම්ටයි, එයාගේ බිරිඳටයි සත්ව හම්වලින් දිග ඇඳුම් හදලා දුන්නා.+ 22 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිසා දැන් අපි වගේ හොඳ නරක තීරණය කරගෙන තියෙනවා.*+ මිනිසාට ජීවන වෘක්ෂයේ පලතුරු+ කාලා සදහටම ජීවත් වෙන්න ඉඩ දෙන්න බැහැ.” 23 එහෙම කියලා යෙහෝවා දෙවියන් භූමියේ දූවිල්ලෙන් හදපු මිනිසාව ඒදන් උයනෙන් එළියට දැම්මා.+ එහෙදී එයාට වගා කරන්න සිද්ධ වුණා.+ 24 ඒ විදිහට දෙවියන් මිනිසාව උයනෙන් එළියට දැම්මා. ඊටපස්සේ දෙවියන් ජීවන වෘක්ෂයට යන පාර මුර කරන්න ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න ගිනිදැල් ඇති, නොනැවතී කැරකෙන කඩුවක් සහ කෙරුබ්වරුන්ව+ තිබ්බා.
4 ආදම් එයාගේ බිරිඳ වුණ ඒව එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒව ගැබ්ගෙන+ පුතෙක් බිහි කළා. එයාගේ නම කායින්.+ එයාව බිහි කරපු වෙලාවේ ඒව මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් මම පිරිමි දරුවෙක්ව බිහි කළා.” 2 පස්සේ ඒව කායින්ගේ මල්ලි වුණ ආබෙල්ව බිහි කළා.+
ආබෙල් බැටළුවන්ව ඇති කළා. කායින් වගා කළා. 3 කාලයක් ගියාට පස්සේ කායින් එයා වගා කරපු දේවලින් කොටසක් යෙහෝවාට පූජාවක් විදිහට ඔප්පු කරන්න ගෙනාවා. 4 ඒත් ආබෙල් එයාගේ රැළේ හිටපු කුලුඳුල් සතුන් කීපදෙනෙක්ව ගෙනල්ලා+ උන්ගේ තෙල් කොටස් එක්ක උන්ව ඔප්පු කළා. යෙහෝවා ආබෙල්ව සහ එයාගේ පූජාව සතුටින් පිළිගත්තත්+ 5 කායින්ව සහ එයාගේ පූජාව පිළිගත්තේ නැහැ. ඒ නිසා කායින්ට ගොඩක් කේන්ති ගියා. එයාගේ මූණත් වෙනස් වුණා.* 6 එතකොට යෙහෝවා දෙවියන් කායින්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා මෙච්චර කේන්තියෙන් ඉන්නේ ඇයි? බලන්නකෝ ඔයාගේ මූණත් වෙනස් වෙලා. 7 ඔයා වෙනස් වෙලා හොඳ දේවල් කළොත් මම ඔයාව පිළිගන්නේ නැද්ද? හැබැයි ඔයා හරි පාරට ආවේ නැත්තං පාපය* දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා ඔයාව අල්ලගන්න. ඔයා ඒකෙන් ජය ගන්න බලනවාද?”
8 ඊටපස්සේ කායින් “අපි කැලෑව පැත්තට යමුද” කියලා ආබෙල්ගෙන් ඇහුවා. එහෙට ගියාම කායින් ආබෙල්ට ගහලා එයාව මරලා දැම්මා.+ 9 පස්සේ යෙහෝවා කායින්ගෙන් ආබෙල් ගැන මෙහෙම ඇහුවා. “ඔයාගේ මල්ලි කොහෙද?” එතකොට කායින් කිව්වා “මං දන්නේ කොහොමද? ඇයි මං එයාගේ භාරකාරයාද” කියලා. 10 එතකොට දෙවියන් මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මේ කළේ? ඔයා හලපු ඔයාගේ මල්ලිගේ ලේ යුක්තිය ඉල්ලලා මට කෑගහනවා.+ 11 ඔයා මරලා දැම්ම ඔයාගේ මල්ලිගේ ලේවලින් තෙත් වෙලා තියෙන මේ ප්‍රදේශයෙන් මම ඔයාව පන්නලා දානවා. ඔයා ශාප ලබපු කෙනෙක් වෙනවා.+ 12 කොච්චර මහන්සි වෙලා වගා කළත් ඔයාට හොඳ පලදාවක් ලැබෙන්නේ නැහැ. ඔයාට ඉන්න ස්ථිර තැනක් තියෙන්නේ නැහැ. ඔයාට තැනින් තැනට පලා යන්න වෙනවා.” 13 කායින් යෙහෝවාට මෙහෙම කිව්වා. “මගේ වරදට දීලා තියෙන මේ දඬුවම මට දරාගන්න බැහැ. 14 ඔබ අද මාව මේ ප්‍රදේශයෙන් පන්නලා දානවා. අදින් පස්සේ මට ඔබේ මූණ දකින්න ලැබෙන්නෙත් නැහැ. ඉන්න ස්ථිර තැනක් නැති නිසා මට තැනින් තැනට පලා යන්න වෙනවා. ඉතින් කාට හරි මාව හම්බ වුණොත් එයා මාව අනිවාර්යයෙන්ම මරලා දායි.” 15 එතකොට යෙහෝවා කායින්ට මෙහෙම කිව්වා. “කවුරු හරි ඔයාව මැරුවොත් එයා ඔයාගේ ජීවිතේ වෙනුවෙන් හත් පාරක් වන්දි ගෙවන්න ඕනේ.”
ඉතින් කායින්ව හොයාගන්න කිසිම කෙනෙක් එයාව මරලා දාන්නේ නැති වෙන්න යෙහෝවා දෙවියන් ලකුණක්* නියම කළා. 16 ඊටපස්සේ කායින් යෙහෝවා දෙවියන් ඉදිරියෙන් යන්න ගියා. ඔහු ඒදන්වල නැඟෙනහිර පැත්තට වෙන්න තියෙන+ පලායන්නන්ගේ* දේශයට ගිහිල්ලා පදිංචි වුණා.
17 කායින් එයාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා.+ ඇය ගැබ්ගෙන ඒනොක්ව බිහි කළා. පස්සේ කායින් නුවරක් ගොඩනඟන්න පටන්ගත්තා. එයා ඒ නුවරට එයාගේ පුතා වුණ ඒනොක්ගේ නම තිබ්බා. 18 පස්සේ ඒනොක්ට ඊරාද් කියලා පුතෙක් ඉපදුණා. ඊරාද් මෙහූයායෙල්ගේ පියා. මෙහූයායෙල් මෙතූෂායෙල්ගේ පියා. මෙතූෂායෙල් ලාමෙක්ගේ පියා.
19 ලාමෙක් ස්ත්‍රීන් දෙන්නෙක්ව විවාහ කරගත්තා. පළවෙනි කෙනාගේ නම ආදා. දෙවෙනි කෙනාගේ නම ෂිල්ලා. 20 ආදා යාබල්ව බිහි කළා. එයා තමයි කූඩාරම්වල ජීවත් වෙලා සත්ව රැළවල් බලාගත්ත මුල්ම කෙනා. 21 එයාගේ මල්ලිගේ නම යූබල්. එයා තමයි වීණාවයි, නළාවයි වාදනය කරන හැමෝගෙම ආදිපියා. 22 ෂිල්ලා තූබල්කායින්ව බිහි කළා. තූබල්කායින් තඹවලින් සහ යකඩවලින් විවිධ උපකරණ හැදුවා. එයාගේ සහෝදරියගේ නම නයමා. 23 ලාමෙක් එයාගේ භාර්යාවන් වුණ ආදා සහ ෂිල්ලාට මේ වචන පෙළ කිව්වා.
“මගේ භාර්යාවෙනි, මට කන් දෙන්න.
මම කියන දේට ඇහුම්කන් දෙන්න.
මට තුවාල කළ නිසා මම මිනිසෙක්ව මැරුවා.
මට පහර දුන්න නිසා මම ඒ තරුණයාව මැරුවා.
25 ආදම් ආයෙත් එයාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. පස්සේ ඇය පුතෙක් බිහි කළා. “කායින් ආබෙල්ව මරපු හින්දා+ ආබෙල් වෙනුවට දෙවියන් මට තවත් පුතෙක් දුන්නා” කියලා ඇය කිව්වා. ඒ නිසා එයාට සෙත්*+ කියන නම තිබ්බා. 26 සෙත්ට ඒනොෂ්+ කියලා පුතෙක් ඉපදුණා. ඒ කාලේදී මිනිස්සු යෙහෝවා කියන නමින් කතා කරන්න පටන්ගත්තා.
5 මේ තමයි ආදම්ගේ පෙළපත් වාර්තාව. දෙවියන් ආදම්ව නිර්මාණය කරපු දවසේ ඔහු ආදම් හැදුවේ තමන්ට සමානකම් තියෙන කෙනෙක් විදිහටයි.+ 2 දෙවියන් පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විදිහට එයාලව නිර්මාණය කළා.+ එයාලව හදපු දවසේ+ දෙවියන් ඒ දෙන්නාට ආශීර්වාද කරලා එයාලව මනුෂ්‍යයන්* විදිහට හැඳින්නුවා.
3 ආදම් අවුරුදු 130ක් ජීවත් වුණාට පස්සේ එයාට එයා වගේ පුතෙක් ඉපදුණා. ආදම් එයාට සෙත් කියන නම තිබ්බා.+ 4 සෙත් ඉපදුණාට පස්සේ ආදම් තව අවුරුදු 800ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 5 ආදම් අවුරුදු 930ක් ජීවත් වෙලා මැරුණා.+
6 සෙත් අවුරුදු 105ක් ජීවත් වුණාට පස්සේ එයාට ඒනොෂ් කියලා පුතෙක් ඉපදුණා.+ 7 ඒනොෂ් ඉපදුණාට පස්සේ සෙත් තව අවුරුදු 807ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 8 සෙත් අවුරුදු 912ක් ජීවත් වෙලා මැරුණා.
9 ඒනොෂ් අවුරුදු 90ක් ජීවත් වුණාට පස්සේ එයාට කේනාන් කියලා පුතෙක් ඉපදුණා. 10 කේනාන් ඉපදුණාට පස්සේ ඒනොෂ් තව අවුරුදු 815ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 11 ඒනොෂ් අවුරුදු 905ක් ජීවත් වෙලා මැරුණා.
12 කේනාන් අවුරුදු 70ක් ජීවත් වුණාට පස්සේ එයාට මහලලෙල් කියලා පුතෙක් ඉපදුණා.+ 13 මහලලෙල් ඉපදුණාට පස්සේ කේනාන් තව අවුරුදු 840ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 14 කේනාන් අවුරුදු 910ක් ජීවත් වෙලා මැරුණා.
15 මහලලෙල් අවුරුදු 65ක් ජීවත් වුණාට පස්සේ එයාට යාරද් කියලා පුතෙක් ඉපදුණා.+ 16 යාරද් ඉපදුණාට පස්සේ මහලලෙල් තව අවුරුදු 830ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 17 මහලලෙල් අවුරුදු 895ක් ජීවත් වෙලා මැරුණා.
18 යාරද් අවුරුදු 162ක් ජීවත් වුණාට පස්සේ එයාට ඒනොක් කියලා පුතෙක් ඉපදුණා.+ 19 ඒනොක් ඉපදුණාට පස්සේ යාරද් තව අවුරුදු 800ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 20 යාරද් අවුරුදු 962ක් ජීවත් වෙලා මැරුණා.
21 ඒනොක් අවුරුදු 65ක් ජීවත් වුණාට පස්සේ එයාට මෙතූසලා කියලා පුතෙක් ඉපදුණා.+ 22 මෙතූසලා ඉපදුණාට පස්සේ තව අවුරුදු 300ක් ජීවත් වුණ ඒනොක් දිගටම සැබෑ දෙවියන්* එක්ක ගමන් කළා.* එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 23 ඒනොක් අවුරුදු 365ක් ජීවත් වුණා. 24 ඒනොක් මුළු ජීවිත කාලේ පුරාම සැබෑ දෙවියන් එක්ක ගමන් කළා.+ පස්සේ දෙවියන් එයාව ගත්තා.+ ඒ නිසා කිසිම කෙනෙක්ට එයාව හොයාගන්න බැරි වුණා.
25 මෙතූසලා අවුරුදු 187ක් ජීවත් වුණාට පස්සේ එයාට ලාමෙක් කියලා පුතෙක් ඉපදුණා.+ 26 ලාමෙක් ඉපදුණාට පස්සේ මෙතූසලා තව අවුරුදු 782ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 27 මෙතූසලා අවුරුදු 969ක් ජීවත් වෙලා මැරුණා.
28 ලාමෙක් අවුරුදු 182ක් ජීවත් වුණාට පස්සේ එයාට පුතෙක් ඉපදුණා. 29 ලාමෙක් එයාගේ පුතාට නෝවා*+ කියන නම තියලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් භූමියට ශාප කරපු නිසා අපි අද වෙන කල් දුක් මහන්සි වෙලා වැඩ කරනවා.+ මේ දරුවාගෙන්වත් අපිට සහනයක් ලැබෙයි.” 30 නෝවා ඉපදුණාට පස්සේ ලාමෙක් තව අවුරුදු 595ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 31 ලාමෙක් අවුරුදු 777ක් ජීවත් වෙලා මැරුණා.
32 නෝවා අවුරුදු 500ක් ජීවත් වුණාට පස්සේ එයාට ෂෙම්,+ හාම්+ සහ යාෆෙත්+ කියන පුතාලා ඉපදුණා.
6 පොළොවේ ජනගහනය වැඩි වෙන්න පටන්ගත්තා. ගොඩක් දූවරුනුත් ඉපදුණා. 2 ඒ කාන්තාවන්* හරිම ලස්සනයි කියලා සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්*+ දැක්කා. ඒ ලස්සනට එයාලාගේ හිත් ඇදිලා ගියා. ඉතින් එයාලා කැමති කැමති කාන්තාවන්ව තෝරගෙන එයාලව විවාහ කරගත්තා. 3 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිස්සු කරන මේ දේවල් මම හැමදාටම ඉවසන්නේ නැහැ.+ එයාලා යන්නෙම එයාලාගේ ආසාවන් පස්සේ. ඒ නිසා තව අවුරුදු 120ක් එයාලට ජීවත් වෙන්න ඉඩහරිනවා.”*+
4 ඒ දවස්වලත් ඊටපස්සෙත් පොළොවේ යෝධයෝ* හිටියා. ඒ කාලේදී සැබෑ දෙවියන්ගේ පුත්‍රයෝ පොළොවේ හිටපු කාන්තාවන් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ කාන්තාවන්ට බිහි වුණ පුතාලා අතීතයේ හිටපු මිනිස්සු අතරේ බලවත්, ප්‍රසිද්ධ අය වුණා.
5 මිනිස්සුන්ගේ දුෂ්ටකම් හැම තැනම පැතිරිලා තිබුණා කියලත් එයාලාගේ හිත්වල තියෙන්නෙම නපුරු දේවල්+ කියලත් යෙහෝවා දැක්කා. 6 යෙහෝවාගේ හිතට ලොකු වේදනාවක් දැනුණා. ඔහු හදපු මිනිස්සු නිසා ඔහු කනගාටු වුණා.+ 7 ඒ හින්දා යෙහෝවා මෙහෙම කිව්වා. “මම හදපු මිනිස්සුන්ව පොළොවෙන් නැති කරලා දානවා. මිනිස්සුන්වත් හීලෑ සතුන්වත් කුඩා සතුන්වත් අහසේ පියාසර කරන ජීවීන්වත් මම විනාශ කරනවා. මං හදපු මිනිස්සු නිසා මම කනගාටු වෙනවා.” 8 ඒත් නෝවා ගැන යෙහෝවා සතුටු වුණා.
9 මේ තමයි නෝවාගේ ජීවිත කතාව.
නෝවා ධර්මිෂ්ඨ මනුස්සයෙක්.+ එයා ජීවත් වුණ කාලේ හිටපු මිනිස්සුන්ට වඩා නෝවා හුඟක් වෙනස් කෙනෙක්. මොකද එයා නිදොස් ජීවිතයක් ගත කළා. නෝවා සැබෑ දෙවියන් එක්ක ගමන් කළා.+ 10 කාලයක් ගියාට පස්සේ නෝවාට පුතාලා තුන්දෙනෙක් ඉපදුණා. එයාලාගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්.+ 11 ඒත් පොළොව ගොඩක් පිරිහිලා කියලා සැබෑ දෙවියන් දැක්කා. මුළු පොළොවම දරුණු භයානක දේවල්වලින් පිරිලා තිබුණා. 12 දෙවියන් පොළොව දිහා බැලුවාම පොළොව හොඳටම පිරිහිලා කියලා ඔහු දැක්කා.+ මිනිස්සු හැමෝම ගත කළේ හරිම නරක ජීවිත.+
13 ඊටපස්සේ දෙවියන් නෝවාට මෙහෙම කිව්වා. “පොළොවේ ජීවත් වෙන හැමෝවම විනාශ කරන්න මම තීරණය කරලා තියෙනවා. මිනිස්සු කරන දරුණු දේවලින් මුළු පොළොවම පිරිලා. ඒ හින්දා මම මිනිස්සුන්වයි, පොළොවේ තියෙන හැම දෙයක්මයි විනාශ කරනවා.+ 14 ඔයා හොඳ ලීවලින්* නැවක්* හදන්න.+ නැව ඇතුළේ කාමරත් හදන්න. ඊටපස්සේ ඒකේ ඇතුල් පැත්තටයි, පිට පැත්තටයි සම්පූර්ණයෙන්ම තාර ගාන්න.+ 15 ඔයා නැව හදන්න ඕනෙ මෙහෙමයි. නැවේ දිග රියන්* 300යි. පළල රියන් 50යි. උස රියන් 30යි. 16 නැවට එළිය වැටෙන්න වහලේ ඉඳලා රියනක් පහළට කවුළුවක්* හදන්න. නැවේ පැත්තකින් නැවට ඇතුල් වෙන්න තැනකුත් හදන්න.+ නැවට තට්ටු තුනක් තියෙන්න ඕනේ.
17 “මම පොළොවට මහ ජලගැල්මක් ගේනවා.+ මම එහෙම කරන්නේ අහස යට ජීවත් වෙන හැමෝවම* විනාශ කරලා දාන්නයි. පොළොවේ ඉන්න හැම ජීවියෙක්ම නැති වෙනවා.+ 18 හැබැයි මම ඔයාත් එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා. ඔයායි, ඔයාගේ බිරිඳයි, ඔයාගේ පුතාලයි, එයාලාගේ භාර්යාවනුයි නැවට ඇතුල් වෙන්න ඕනේ.+ 19 හැම සතෙක්ගෙන්ම දෙන්නා ගාණේ+ ඒ කියන්නේ පිරිමි සතෙක්වයි, ගැහැනු සතෙක්වයි නැවට ඇතුල් කරගන්න.+ ඔයාලාගේ ජීවිත වගේම උන්ගේ ජීවිතත් ආරක්ෂා වෙන්න එහෙම කරන්න. 20 ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හීලෑ සතුන්ගෙන්, පියාසර කරන ජීවීන්ගෙන් සහ අනිත් කුඩා සතුන්ගෙන් දෙන්නා ගාණේ නැවට එයි. උන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න උන්ව ඔයාත් එක්ක නැවට ඇතුල් කරගන්න.+ 21 ඔයා හැම කෑම වර්ගයක්ම රැස් කරගන්න ඕනේ.+ ඒවා ඔයාලටයි, සත්තුන්ටයි කෑමට ගන්න පුළුවන්.”
22 නෝවා දෙවියන් අණ කරපු හැම දෙයක්ම කළා. එයා දෙවියන් කියපු විදිහටම කළා.+
7 ඊටපස්සේ යෙහෝවා දෙවියන් නෝවාට මෙහෙම කිව්වා. “මේ පරම්පරාවේ ඉන්න මිනිස්සු අතරින් ඔයාව තමයි මං ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට දකින්නේ.+ ඉතින් ඔයා, ඔයාගේ පවුලේ හැමෝම එක්ක දැන් නැවට ඇතුල් වෙන්න. 2 ඔයා හැම පවිත්‍ර සතෙක්ගෙන්ම* හත්දෙනා* ගාණේ ගෙනියන්න ඕනේ.+ ඒකට ගැහැනු සතුන් සහ පිරිමි සතුන් ඇතුළත් වෙන්න ඕනේ. හැම අපවිත්‍ර සතෙක්ගෙන්ම දෙන්නා ගාණේ, ඒ කියන්නේ පිරිමි සතෙක්වයි, ගැහැනු සතෙක්වයි ගෙනියන්න ඕනේ. 3 අහසේ පියාසර කරන ජීවීන්ගෙනුත් හත්දෙනා* ගාණේ ගෙනියන්න. ඒකට ගැහැනු සහ පිරිමි සතුන් ඇතුළත් වෙන්න ඕනේ. එතකොට උන් විනාශ නොවී වර්ගයා බෝ කරලා පොළොව පුරාම පැතිරිලා යයි.+ 4 තව දවස් හතකින් මම වැස්සක් ඇති කරනවා.+ ඒ වැස්ස දවල් 40ක් සහ රෑ 40ක් පුරා+ දිගටම පොළොවට ඇද හැලෙයි. මම හදපු මිනිස්සු, සත්තු හැමෝවම මම පොළොවෙන් නැති කරලා දානවා.”+ 5 යෙහෝවා අණ කරපු හැම දෙයක්ම නෝවා කළා.
6 මහ ජලගැල්ම පොළොවේ ඇති වෙද්දී නෝවාගේ වයස අවුරුදු 600යි.+ 7 ජලගැල්ම පටන්ගන්න කලින් නෝවායි, එයාගේ බිරිඳයි, එයාගේ පුතාලයි, පුතාලාගේ භාර්යාවනුයි නැවට ඇතුල් වුණා.+ 8 හැම පවිත්‍ර සතෙක්මයි, අපවිත්‍ර සතෙක්මයි, පියාසර කරන හැම ජීවියෙක්මයි, අනිත් හැම කුඩා සතෙක්මයි+ 9 නෝවා හිටපු නැවට ඇතුල් වුණා. දෙවියන් නෝවාට කියපු විදිහටම උන් නැවට ඇතුල් වුණේ ජෝඩු විදිහට. 10 දවස් හතකට පස්සේ ඇද හැලුණ වැස්ස නිසා පොළොව ජලයෙන් යට වෙන්න පටන්ගත්තා.
11 නෝවාගේ ජීවිතේ 600වෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ 17වෙනි දවසේ මහා ජල කඳේ* සියලුම දිය උල්පත් බිඳිලා ගියා. අහසේ කවුළුත් ඇරුණා.+ 12 දවල් 40ක් සහ රෑ 40ක් පුරා දිගටම වැසි ඇද හැලුණා. 13 ඒ දවසේදී නෝවා, එයාගේ පුතාලා වුණ ෂෙම්, හාම්, යාෆෙත්+ වගේම නෝවාගේ බිරිඳ සහ එයාගේ පුතාලාගේ භාර්යාවන් තුන්දෙනාත් නැවට ඇතුල් වුණා.+ 14 ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හැම වනසතෙක්ම, හීලෑ සතෙක්ම, කුඩා සතෙක්ම, පියාසර කරන හැම ජීවියෙක්ම, ඒ කියන්නේ හැම කුරුල්ලෙක්ම සහ තටු තියෙන හැම සතෙක්ම එයාලා එක්ක නැවට ඇතුල් වෙලා හිටියා. 15 ඒ හැම සතෙක්ම* දෙන්නා ගාණේ නෝවා හිටපු නැවට ඇතුල් වුණා. 16 දෙවියන් නෝවාට කියපු විදිහටම ඒ හැම සතෙක්ම ජෝඩු විදිහට නැවට ඇතුල් වුණා. ඊටපස්සේ යෙහෝවා නැවේ දොර වැහුවා.
17 දවස් 40ක් එක දිගටම වැසි පොළොවට ඇද හැලුණ නිසා ජල මට්ටම එන්න එන්නම වැඩි වුණා. කොච්චරද කියනවා නම් නැව පාවෙන්න පටන්ගත්තා. 18 ජල මට්ටම හරිම වේගයෙන් වැඩි වුණා. නැව දිගටම ජලයේ පා වෙලා ගියා. 19 පොළොව සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. පොළොවේ තිබුණ හැම උස කන්දක්ම වතුරට යට වුණා.+ 20 කඳු මුදුන්වලට වඩා රියන් 15ක්* උසට ජල මට්ටම තිබුණා.
21 පොළොවේ හිටපු හැම ජීවියෙක්ම මැරුණා.+ පියාසර කරන ජීවීන්, හීලෑ සතුන්, වනසතුන්, අනිත් හැම පොඩි සතෙක්ම* සහ ඔක්කොම මිනිස්සු මැරුණා.+ 22 ගොඩබිමේ හිටපු හැම ජීවියෙක්ම* මැරුණා.+ 23 ඒ විදිහට දෙවියන් මිනිස්සුන්, සතුන්, කුඩා සතුන්, අහසේ පියාසර කරන ජීවීන් ඇතුළුව පොළොවේ හිටපු හැම ජීවියෙක්ම නැති කරලා දැම්මා.+ බේරුණේ නෝවායි, එයාගේ පවුලේ අයයි, එයාත් එක්ක නැවේ හිටපු සත්තුයි විතරයි.+ 24 දවස් 150ක් පුරා පොළොව සම්පූර්ණයෙන්ම වතුරට යට වෙලා තිබුණා.+
8 දෙවියන් නෝවා ගැන සහ එයාත් එක්ක නැවේ හිටපු හැම වනසතෙක් ගැනමත් හැම හීලෑ සතෙක් ගැනමත් හිතුවා.+ ඒ නිසා එයාලට උදව් කරන්න ඔහු පියවර ගත්තා. ඔහු පොළොව මත හුළඟක් හමන්න සැලැස්සුවා. එතකොට වතුර ටිකෙන් ටික හිඳෙන්න පටන්ගත්තා. 2 මහා ජල කඳේ දිය උල්පත් හිඳිලා ගියා. අහසේ කවුළු වහලා දැම්මා. ඉතින් අහසෙන් ඇද හැලුණු වැසි නතර වුණා.*+ 3 පොළොවේ තිබුණ ජලය ටිකෙන් ටික හිඳෙන්න පටන්ගත්තා. දවස් 150කට පස්සේ වතුර මට්ටම සෑහෙන්න අඩු වෙලා තිබුණා. 4 හත්වෙනි මාසයේ 17වෙනි දවසේ නැව අරරත් කඳුකරය මත නැවතුණා. 5 දහවෙනි මාසය වෙන කල්ම වතුර ටිකෙන් ටික බැහැලා ගියා. දහවෙනි මාසයේ පළවෙනිදා වෙද්දී කඳු මුදුන් දකින්න පුළුවන් වුණා.+
6 දවස් 40කට පස්සේ නෝවා තමන් හදපු නැවේ කවුළුව ඇරියා.+ 7 ඊටපස්සේ එයා කපුටෙක්ව නැවෙන් එළියට යැව්වා. ඌ එළියට ගිහින් පියාඹලා ආපහු ආවා. වතුර හිඳිලා පොළොව වේළෙන කල්ම ඌ කීප සැරයක්ම ඒ විදිහට පියාඹලා ආපහු ආවා.
8 පස්සේ පොළොවෙන් වතුර හිඳිලා ගිහින්ද කියලා බලන්න නෝවා පරෙවියෙක්ව එළියට යැව්වා. 9 ඒ වෙද්දීත් පොළොව වතුරෙන් යට වෙලා තිබුණු නිසා ඌට පය තියන්න තැනක් හොයාගන්න බැරි වුණා.+ ඉතින් ඌ ආපහු නැවට ආවා. එතකොට නෝවා අත එළියට දාලා පරෙවියාව නැව ඇතුළට ගත්තා. 10 එයා තව දවස් හතක් බලලා ඊටපස්සේ පරෙවියාව ආයෙත් එළියට යැව්වා. 11 හවස් වෙද්දී පරෙවියා ආයෙත් නෝවා ළඟට ආවා. උගේ හොටේ අමු ඔලීව කොළයක් තියෙනවා එයා දැක්කා. පොළොවෙන් වතුර හිඳිලා ගිහිල්ලා කියලා ඒකෙන් නෝවා දැනගත්තා.+ 12 එයා තව දවස් හතක් බලාගෙන ඉඳලා පරෙවියාව ආයෙත් එළියට යැව්වා. ඒ සැරේ නම් පරෙවියා ආයේ ආවේ නැහැ.
13 නෝවාගේ ජීවිතේ 601වෙනි අවුරුද්දේ+ පළවෙනි මාසයේ පළවෙනි දවස වෙද්දී පොළොවේ වතුර හිඳිලා ගිහින් තිබුණා. නෝවා නැවේ වහලේ කොටසක්* ඇරලා එළිය බැලුවාම එයා දැක්කා පොළොව වේළෙන්න පටන් අරන් කියලා. 14 දෙවෙනි මාසයේ 27වෙනි දවස වෙද්දී පොළොව සම්පූර්ණයෙන්ම වේළිලා තිබුණා.
15 දෙවියන් නෝවාට මෙහෙම කිව්වා. 16 “දැන් ඔයාටයි, ඔයාගේ බිරිඳටයි, ඔයාගේ පුතාලටයි, එයාලාගේ භාර්යාවන්ටයි නැවෙන් එළියට යන්න පුළුවන්.+ 17 ඔයා එළියට යද්දී ඔක්කොම සත්තුන්වත් එළියට අරන් යන්න.+ හැම පියාසර කරන ජීවියෙක්ම, හැම සතෙක්ම, හැම කුඩා සතෙක්ම එළියට අරගෙන යන්න. එතකොට උන්ට බෝ වෙලා පොළොව පුරාම පැතිරිලා යන්න පුළුවන් වෙයි.”+
18 නෝවා එයාගේ බිරිඳයි, පුතාලයි,+ එයාලාගේ භාර්යාවනුයි එක්ක නැවෙන් එළියට ගියා. 19 හැම සතෙක්ම, හැම කුඩා සතෙක්ම, පියාසර කරන හැම ජීවියෙක්ම සහ අනිත් හැම සතෙක්ම කණ්ඩායම් හැටියට* නැවෙන් පිටතට ගියා.+ 20 ඊටපස්සේ නෝවා යෙහෝවා දෙවියන් වෙනුවෙන් පූජාසනයක් හැදුවා.+ එයා පවිත්‍ර සතුන්ගෙන් සහ කුරුල්ලන්ගෙන් කීපදෙනෙක්ව අරගෙන+ පූජාසනය උඩ තියලා දවන පූජා විදිහට උන්ව ඔප්පු කළා.+ 21 පූජාවෙන් ආපු සුවඳ නිසා යෙහෝවා දෙවියන්ට සතුටක් දැනුණා. ඒ නිසා යෙහෝවා මෙහෙම හිතුවා. “පුංචි කාලේ ඉඳන් මිනිසාගේ හිත යන්නෙම නපුරු දේවලට.+ ඉතින් මිනිස්සු කරන දේවල් නිසා මම ආයේ කවදාවත් පොළොවට ශාප කරන්නේ නැහැ.+ කලින් කළා වගේ මං ආයේ කවදාවත් පණ තියෙන හැම දෙයක්ම විනාශ කරන්නේ නැහැ.+ 22 පොළොව තියන තාක් කල් බීජ වපුරන එක සහ අස්වැන්න නෙළන එක සිද්ධ වෙයි. සීතල සහ උණුසුමත් ගිම්හානය සහ ශීත ඍතුත් දවාල සහ රාත්‍රියත් හැමදාටම තියෙයි.”+
9 දෙවියන් නෝවාටයි, එයාගේ පුතාලටයි ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙන්න.+ 2 පොළොවේ ජීවත් වෙන හැම සතෙක්වම, පියාසර කරන හැම ජීවියෙක්වම, අනිත් හැම කුඩා සතෙක්වම සහ මුහුදේ ඉන්න හැම මාළු වර්ගයක්ම ඔයාලාගේ අතට භාර දෙනවා.*+ දැන් වගේම ඉස්සරහටත් උන් ඔයාලට හුඟක් බයෙන් ඉඳියි. 3 පලා වර්ගවලට අමතරව පොළොවේ ජීවත් වෙන හැම සතෙක්වමත්+ කෑමට ගන්න මම ඔයාලට අවසර දෙනවා.+ 4 ඒත් ලේ එක්ක මස් කන්න එපා.+ මොකද ජීවිතේ පවතින්නේ ලේ+ නිසයි.* 5 ඒ වගේම ඕනෙම කෙනෙක් හරි සතෙක් හරි ඔයාලාගේ ලේ හැලුවොත්* ඒ ගැන මට වන්දි ගෙවන්න ඕනේ. කෙනෙක් තව කෙනෙක්ගේ ලේ හැලුවොත් එයාගේ ජීවිතයෙන් ඒකට වන්දි ගෙවන්න ඕනේ.+ සතෙක් මනුස්සයෙක්ව මරලා දැම්මොත් ඌව මරලා දාන්න ඕනේ. 6 දෙවියන් මිනිසාව හැදුවේ තමන්ට සමානකම් තියෙන විදිහට.+ ඒ නිසා කවුරු හරි කෙනෙක් මනුස්සයෙක්ව මැරුවොත් ඒ කෙනාවත් මරන්න* ඕනේ.+ 7 ඔයාලා දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. පොළොව පුරාම පදිංචි වෙන්න.”+
8 දෙවියන් නෝවාට සහ එයාගේ පුතාලට මෙහෙමත් කිව්වා. 9 “මම ඔයාලා එක්කයි, ඔයාලාගෙන් පැවතෙන අය එක්කයි ගිවිසුමක්+ ඇති කරගන්නවා. 10 ඔයාලා එක්ක ඉන්න ඔක්කොම සත්තු ඒ කියන්නේ කුරුල්ලන්, හීලෑ සතුන්, වනසතුන් සහ අනිත් හැම සතෙක් එක්කමත් මම ගිවිසුමක් ඇති කරගන්නවා. නැවෙන් එළියට ආපු හැම ජීවියෙක් එක්කම+ මම ගිවිසුමක් ඇති කරගන්නවා. 11 මං ඔයාලා එක්ක ඇති කරගන්න ගිවිසුම මේකයි. මිනිස්සු සහ සත්තු ඔක්කොම විනාශ කරන්න මං ආයේ කවදාවත් ජලගැල්මක් ගේන්නේ නැහැ. පොළොව ආයේ කවදාවත් ජලගැල්මකින් විනාශ කරන්නේ නැහැ.”+
12 දෙවියන් මෙහෙමත් කිව්වා. “මම ඔයාලා එක්කත් ඔයාලා එක්ක ඉන්න හැම සතෙක් එක්කත් ඇති කරගන්න ගිවිසුම ඉදිරියට එන හැම පරම්පරාවක් දක්වාම තියෙනවා. ඒ ගිවිසුම ස්ථිර කරන්න මම දෙන ලකුණ මේකයි. 13 මම වලාකුළු අතරේ දේදුන්නක් ඇති කරනවා. ඒක තමයි පොළොව එක්ක මං ඇති කරගන්න ගිවිසුමට දෙන ලකුණ. 14 මං පොළොවට ඉහළින් වැහි වලාකුළු ගේද්දී දේදුන්න ඒ අතරේ පෙනෙයි. 15 එතකොට ඔයාලා එක්කත් හැම සතෙක් එක්කත් මං ඇති කරගත්ත ගිවිසුම මට අනිවාර්යයෙන්ම මතක් වෙයි. හැම ජීවියෙක්වම විනාශ කරන්න පුළුවන් තරමේ ජලගැල්මක් ආයේ කවදාවත් ඇති වෙන්නේ නැහැ.+ 16 දේදුන්න වලාකුළු අතරේ පායලා තියෙනවා දකිද්දී පොළොවේ ඉන්න හැම ජීවියෙක් එක්කම මං සදහටම ඇති කරගත්ත ගිවිසුම මට අනිවාර්යයෙන්ම මතක් වෙයි.”
17 “පොළොවේ ඉන්න හැම ජීවියෙක් එක්කම මං ඇති කරගත්ත ගිවිසුම ස්ථිර කරන ලකුණ ඒකයි”+ කියලා දෙවියන් ආයෙත් නෝවාට කිව්වා.
18 නැවෙන් එළියට ආපු නෝවාගේ පුතාලාගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්.+ පස්සේ හාම්ට කානාන් කියලා පුතෙක් ඉපදුණා.+ 19 පොළොව පුරාම පැතිරිලා ගිය හැමෝම එන්නේ නෝවාගේ පුතාලා තුන්දෙනාගෙනුයි.+
20 වගා කරන්න පටන්ගත්ත නෝවා මිදිවත්තක් වැව්වා. 21 දවසක් එයා වයින් බීලා මත් වෙලා එයාගේ කූඩාරම ඇතුළේ නිර්වස්ත්‍රව හිටියා. 22 කානාන්ගේ තාත්තා වුණ හාම් එයාගේ තාත්තා නිර්වස්ත්‍රව ඉන්නවා දැකලා* එළියට ගිහිල්ලා එයාගේ සහෝදරයන් දෙන්නාට ඒ ගැන කිව්වා. 23 ඉතින් ෂෙම් සහ යාෆෙත් එයාලාගේ උරහිසට ඉහළින් රෙද්දක් අල්ලගෙන පස්සෙන් පස්සට ගිහින් එයාලාගේ තාත්තාගේ ඇඟට ඒක දැම්මා. එයාලා හැරිලා තාත්තා දිහා බැලුවේ නැති නිසා තාත්තා නිර්වස්ත්‍රව ඉන්නවා එයාලා දැක්කේ නැහැ.
24 මත් ගතිය හිඳුණාට පස්සේ නෝවා නැඟිට්ටා. එයාගේ බාලම පුතා* කරපු දේ ගැන එතකොට එයා දැනගත්තා. 25 ඊටපස්සේ නෝවා මෙහෙම කිව්වා.
“කානාන්ට ශාප වේවා!+
එයා එයාගේ අයියලාගේ දාසයෙක්* වෙයි.”+
26 නෝවා මෙහෙමත් කිව්වා.
“ෂෙම්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!
කානාන් ෂෙම්ගේ දාසයෙක් වෙයි.+
27 දෙවියන්ගෙන් යාෆෙත්ට විශාල ප්‍රදේශයක් ලැබේවා!
යාෆෙත්ට ෂෙම්ගේ කූඩාරම්වල ඉන්න ලැබේවා!
කානාන් එයාටත් දාසයෙක් වෙයි.”
28 ජලගැල්මෙන් පස්සේ නෝවා තව අවුරුදු 350ක් ජීවත් වුණා.+ 29 නෝවා ජීවත් වුණ මුළු අවුරුදු ගාණ 950යි. ඊටපස්සේ එයා මැරුණා.
10 මේ තමයි නෝවාගේ පුතාලා වුණ ෂෙම්,+ හාම් සහ යාෆෙත්ගේ පෙළපත් වාර්තාව.
ජලගැල්මෙන් පස්සේ එයාලට පුතාලා ඉපදුණා.+ 2 යාෆෙත්ගේ පුතාලාගේ නම්: ගොමෙර්,+ මාගොග්,+ මාදයි, යාවාන්, තූබල්,+ මෙෂෙක්+ සහ තීරස්.+
3 ගොමෙර්ගේ පුතාලාගේ නම්: අෂ්කෙනස්,+ රිෆත් සහ තොගර්මා.+
4 යාවාන්ගේ පුතාලාගේ නම්: එලිෂාහ්,+ තර්ෂිෂ්,+ කිත්තිම්+ සහ දොදානීම්.
5 එයාලාගෙන් පැවත ආපු අය තමයි විවිධ දූපත්වලට විසිරිලා ගියේ. එයාලා එයාලාගේ භාෂාවලට, පවුල්වලට සහ ජාතීන්ට අනුව විවිධ ප්‍රදේශවලට විසිරිලා ගියා.
6 හාම්ගේ පුතාලාගේ නම්: කූෂ්, මිස්‍රයිම්,+ පූට්+ සහ කානාන්.+
7 කූෂ්ගේ පුතාලාගේ නම්: සෙබා,+ හවිලා, සබ්තා, රයමා+ සහ සබ්තෙකා.
රයමාගේ පුතාලාගේ නම්: ෂෙබා සහ දෙදාන්.
8 කූෂ්ට නිම්රොද් කියලා පුතෙකුත් හිටියා. එයා තමයි පොළොවේ බලවත් නායකයෙක්* වුණ මුල්ම කෙනා. 9 යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැඩ කරපු එයා දක්ෂ දඩයක්කාරයෙක් වුණා.* ඒ නිසයි සමහර අය ගැන මිනිස්සු මේ වගේ දෙයක් කියන්න පටන්ගත්තේ. “එයා නම් යෙහෝවාට විරුද්ධව ගිය දක්ෂ දඩයක්කාරයෙක් වුණ නිම්රොද් වගේමයි.” 10 නිම්රොද් ෂීනාර් දේශයේ+ රාජ්‍යයක් පිහිටෙව්වා. එයා මුලින්ම පාලනය කළේ බාබෙල්,+ ඒරෙක්,+ අක්කද් සහ කල්නේ කියන නගරයි. 11 ඒ දේශයේ ඉඳන් එයා ඇසිරියාවට+ ගිහින් නිනිවය,+ රෙහොබොත්ඊර් සහ කාලා කියන නගර ගොඩනඟන්න පටන්ගත්තා. 12 එයා නිනිවය සහ කාලා අතරේ තියෙන රෙසෙන් කියන නගරයත් ගොඩනැඟුවා. ඒ නගරවලින් විශාල නුවරක් හැදුණා.*
13 මිස්‍රයිම්ගේ පුතාලාගේ නම්: ලූදිම්,+ අනාමිම්, ලෙහාබිම්, නප්තුහිම්,+ 14 පත්රුසිම්,+ කස්ලූහිම් සහ කප්තෝරිම්.*+ කස්ලූහිම්ගෙන් තමයි පිලිස්තිවරුන්+ එන්නේ.
15 කානාන්ගේ කුලුඳුල් පුතාගේ නම සීදොන්.+ කානාන්ට හෙත්+ කියලත් පුතෙක් හිටියා. 16 ඒ වගේම යෙබූසිවරුන්,+ අමෝරිවරුන්,+ ගිර්ගාෂිවරුන්, 17 හිවීයවරුන්,+ අර්කිවරුන්, සීන්වරුන්, 18 අර්වාදිවරුන්,+ ෂෙමාරිවරුන් සහ හමාතිවරුන්+ කියන අය පැවතෙන්නෙත් කානාන්ගෙන්. පස්සේ කාලෙකදී කානාන්ගෙන් පැවත ආපු පවුල් වෙනත් තැන්වලට විසිරිලා ගියා. 19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් ඉඳන් ගාසා+ ළඟ තිබුණු ගෙරාර්+ දක්වාත් ලාෂා ළඟ තිබුණු සොදොම්, ගොමෝරා,+ අද්මා සහ ෂෙබොයිම්+ කියන නගර දක්වාත් දිව ගියා. 20 ඒ තමයි එයාලාගේ පවුල්වලට, භාෂාවලට සහ ජාතීන්ට අනුව එයාලාගේ දේශවල ජීවත් වුණ හාම්ගේ පුතාලා.
21 යාෆෙත්ගේ මල්ලි* වුණ ෂෙම්ටත් දරුවෝ හිටියා. ඒබර්ගෙන්+ පැවතෙන හැමෝගෙම ආදිපියා ෂෙම්. 22 ෂෙම්ගේ පුතාලාගේ නම්: ඒලාම්,+ අෂූර්,+ ආර්පක්සද්,+ ලුද් සහ ආරම්.+
23 ආරම්ගේ පුතාලාගේ නම්: ඌෂ්, හුල්, ගෙතෙර් සහ මෂ්.
24 ආර්පක්සද්ගේ පුතාගේ නම ෂේලා.+ ෂේලාගේ පුතාගේ නම ඒබර්.
25 ඒබර්ට පුතාලා දෙන්නෙක් හිටියා. එක් කෙනෙක්ගේ නම පේලෙග්.*+ එයාට ඒ නම තිබ්බේ ඒ කාලේදී මිනිස්සු පොළොව පුරාම විසිරිලා ගිය නිසයි.* එයාගේ සහෝදරයාගේ නම යොක්තාන්.+
26 යොක්තාන්ගේ පුතාලාගේ නම්: අල්මෝදාද්, ෂෙලෙප්, හසර්මාවෙත්, යේරා,+ 27 හදොරාම්, ඌසාල්, දික්ලා, 28 ඔබාල්, අබිමායෙල්, ෂෙබා, 29 ඕෆීර්,+ හවිලා සහ යෝබාබ්. යොක්තාන්ගේ පුතාලා තමයි ඒ.
30 එයාලා ජීවත් වුණ ප්‍රදේශය මේෂා ඉඳන් සේෆාර් දක්වා දිව ගියා. සේෆාර් තියෙන්නේ නැඟෙනහිර පැත්තේ කඳුකර ප්‍රදේශයේ.
31 ඒ තමයි එයාලාගේ පවුල්වලට, භාෂාවලට, ජාතීන්ට අනුව එයාලාගේ දේශවල ජීවත් වුණ ෂෙම්ගේ පුතාලා.+
32 නෝවාගේ පුතාලාගේ පවුල්වල විස්තර තමයි ඒ. ජලගැල්මෙන් පස්සේ පොළොව පුරා පදිංචි වුණ හැම ජාතියක්ම පැවත ආවේ ඒ පවුල්වලින්.+ ඒ පවුල්වල විස්තර වාර්තා කරද්දී එයාලාගෙන් පැවත ආපු ජාතීන් ගැනත් සඳහන් වෙනවා.
11 ඒ කාලේදී පොළොවේ හිටපු හැමෝම කතා කළේ එකම භාෂාවක්. එයාලා පාවිච්චි කරපු වචන මාලාවත් එක සමානයි. 2 මිනිස්සු නැඟෙනහිර පැත්තට ගමන් කරද්දී එයාලට ෂීනාර්+ දේශයේ තැනිතලාවක් හම්බ වුණා. එයාලා එතන පදිංචි වුණා. 3 ඒගොල්ලෝ මෙහෙම කතා වුණා. “එන්න! අපි හැමෝම එකතු වෙලා ගඩොල් කපලා ඒවා පුච්චමු.” එයාලා ගල් වෙනුවට ගඩොලුත් බදාම හැටියට තාරත්* පාවිච්චි කළා. 4 ඊටපස්සේ එයාලා මෙහෙමත් කතා වුණා. “එන්න! අපි නුවරක් හදමු. ඒකේ අහස උසටම කොතක් ගොඩනඟලා අපිටම නමක් හදාගෙන ප්‍රසිද්ධ වෙමු. එතකොට පොළොව පුරාම විසිරිලා යන්නේ නැතුව මෙහෙටම වෙලා ඉන්න අපිට පුළුවන්.”+
5 යෙහෝවා දෙවියන් මිනිස්සු හදන නුවර සහ කොත දිහා බැලුවා. 6 ඊටපස්සේ යෙහෝවා මෙහෙම කිව්වා. “මේ මිනිස්සු එකම භාෂාව+ කතා කරන නිසා එයාලා එක සෙනඟක් වගේ එක්සත්ව ඉන්නවා. එයාලා දැන් මෙහෙම හැසිරෙනවා නම් ඉස්සරහටත් එයාලා කැමති දේ කොහොමහරි කරගනියි. 7 ඒ නිසා දැන් අපි+ එයාලාගේ භාෂාව අවුල් කරමු. එතකොට එක් කෙනෙක් කියන දේ තව කෙනෙක්ට තේරෙන එකක් නැහැ.” 8 යෙහෝවා එහෙම කරලා එයාලව පොළොව පුරාම විසුරුවාහැරියා.+ ඒ නිසා නුවර ගොඩනඟන එක ටිකෙන් ටික එයාලා අත්හැරලා දැම්මා. 9 යෙහෝවා දෙවියන් පොළොවේ හිටපු මිනිස්සු කතා කරපු භාෂාව එතනදී අවුල් කරපු නිසා ඒ නුවරට බාබෙල්*+ කියන නම දුන්නා. යෙහෝවා එතන හිටපු මිනිස්සුන්ව පොළොව පුරාම විසුරුවාහැරියා.
10 මේ තමයි ෂෙම්ගේ පෙළපත් වාර්තාව.+
ජලගැල්මෙන් අවුරුදු දෙකකට පස්සේ ෂෙම්ට ආර්පක්සද්+ කියලා පුතෙක් ඉපදුණා. එතකොට ෂෙම්ගේ වයස අවුරුදු 100යි. 11 ආර්පක්සද් ඉපදුණාට පස්සේ ෂෙම් තව අවුරුදු 500ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.+
12 ආර්පක්සද්ට අවුරුදු 35දී ෂේලා+ කියලා පුතෙක් ඉපදුණා. 13 ෂේලා ඉපදුණාට පස්සේ ආර්පක්සද් තව අවුරුදු 403ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.
14 ෂේලාට අවුරුදු 30දී ඒබර්+ කියලා පුතෙක් ඉපදුණා. 15 ඒබර් ඉපදුණාට පස්සේ ෂේලා තව අවුරුදු 403ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.
16 ඒබර්ට අවුරුදු 34දී පේලෙග්+ කියලා පුතෙක් ඉපදුණා. 17 පේලෙග් ඉපදුණාට පස්සේ ඒබර් තව අවුරුදු 430ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.
18 පේලෙග්ට අවුරුදු 30දී රෙව්+ කියලා පුතෙක් ඉපදුණා. 19 රෙව් ඉපදුණාට පස්සේ පේලෙග් තව අවුරුදු 209ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.
20 රෙව්ට අවුරුදු 32දී සේරග් කියලා පුතෙක් ඉපදුණා. 21 සේරග් ඉපදුණාට පස්සේ රෙව් තව අවුරුදු 207ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.
22 සේරග්ට අවුරුදු 30දී නාහෝර් කියලා පුතෙක් ඉපදුණා. 23 නාහෝර් ඉපදුණාට පස්සේ සේරග් තව අවුරුදු 200ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.
24 නාහෝර්ට අවුරුදු 29දී ටේරා+ කියලා පුතෙක් ඉපදුණා. 25 ටේරා ඉපදුණාට පස්සේ නාහෝර් තව අවුරුදු 119ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.
26 ටේරා අවුරුදු 70ක් ජීවත් වුණාට පස්සේ එයාට ආබ්‍රම්,+ නාහෝර්+ සහ හාරාන් ඉපදුණා.
27 මේ තමයි ටේරාගේ පවුලේ විස්තර.
ටේරාට පුතාලා හිටියා. ඒ පුතාලාගේ නම් ආබ්‍රම්, නාහෝර් සහ හාරාන්. හාරාන්ට ලොත්+ කියලා පුතෙක් ඉපදුණා. 28 හාරාන් එයාගේ උපන් රටේදී මැරුණා. ඒ කල්දිවරුන්ගේ+ නගරයක් වුණ ඌර්වලදී.+ ඒ වෙද්දී එයාගේ තාත්තා වුණ ටේරා ජීවත් වෙලා හිටියා. 29 ආබ්‍රම් සාරයි+ එක්ක විවාහ වුණා. නාහෝර් හාරාන්ගේ දුව වුණ මිල්කා+ එක්ක විවාහ වුණා. හාරාන් තමයි මිල්කා සහ ඉස්කාගේ තාත්තා. 30 සාරයිට දරුවෙක් හිටියේ නැහැ. එයා වඳ කෙනෙක්.+
31 ඊටපස්සේ ටේරා එයාගේ පුතා වුණ ආබ්‍රම් එක්ක කල්දිවරුන්ගේ නගරයක් වුණ ඌර්වලින් පිටත් වෙලා ගියා. එයාගේ ලේළි ඒ කියන්නේ ආබ්‍රම්ගේ බිරිඳ වුණ සාරයිත් එයාලා එක්ක ගියා. හාරාන්ගේ පුතා වුණ ලොත් ඒ කියන්නේ ටේරාගේ මුනුපුරාත් එයාලා එක්ක ගියා.+ ඒගොල්ලන් කානාන් දේශය+ දිහාවට ගමන් කරලා හාරාන්+ කියන නගරයට ඇවිත් පදිංචි වුණා. 32 ටේරා අවුරුදු 205ක් ජීවත් වුණා. හාරාන්වලදී එයා මැරුණා.
12 යෙහෝවා දෙවියන් ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ දේශයෙන් පිට වෙලා යන්න. ඔයාගේ නෑදෑයන් සහ ඔයාගේ තාත්තාගේ ගෙදර අත්හැරලා මං ඔයාට පෙන්නන දේශයට යන්න.+ 2 මම ඔයාට ආශීර්වාද කරලා ඔයාගෙන් මහත් ජාතියක් බිහි කරනවා. මම ඔයාගේ නම ගෞරවයට පත් කරනවා. ඔයා නිසා හැමෝටම ආශීර්වාද ලැබෙනවා.+ 3 ඔයාට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරනවා. ඔයාට ශාප කරන අයට මමත් ශාප කරනවා.+ ඔයා නිසා පොළොවේ ඉන්න හැම පවුලකටම ආශීර්වාද ලැබෙනවා.”*+
4 ඉතින් ආබ්‍රම් යෙහෝවා කියපු විදිහටම පිටත් වෙලා ගියා. එයා යද්දී ලොත් එයාත් එක්ක ගියා. ආබ්‍රම් හාරාන්වලින් පිටත් වෙලා යද්දී එයාගේ වයස අවුරුදු 75යි.+ 5 ආබ්‍රම් එයාගේ භාර්යාව වුණ සාරයි+ සහ එයාගේ සහෝදරයාගේ පුතා වුණ ලොත්+ එක්ක කානාන් දේශයට යන්න පිටත් වුණා. එයා යද්දී හාරාන්වලදී එකතු කරගත්ත බඩු මුට්ටු+ සහ සේවක සේවිකාවන්වත් එක්කගෙන ගියා. පස්සේ එයාලා කානාන් දේශයට ආවා.+ 6 ආබ්‍රම් ඒ දේශය පුරාම ගිහින් ෂීකෙම්වලට+ ඇවිත් මොරේගේ විශාල ගස් ළඟ+ නතර වුණා. ඒ කාලේදී කානානිවරුන් දේශයේ හිටියා. 7 යෙහෝවා දෙවියන් ආබ්‍රම් ඉස්සරහට ඇවිල්ලා* මෙහෙම කිව්වා. “මම මේ දේශය ඔයාගෙන් පැවතෙන අයට*+ දෙනවා.”+ ඊටපස්සේ ආබ්‍රම් එයා ඉස්සරහට ආව යෙහෝවා වෙනුවෙන් එතන පූජාසනයක් හැදුවා. 8 ඊටපස්සේ ආබ්‍රම් බෙතෙල්+ කියන තැනට නැඟෙනහිරෙන් තියෙන කඳුකර පැත්තට ගිහින් කූඩාරම් ගහගත්තා. එයා හිටපු තැනට බස්නාහිරෙන් තමයි බෙතෙල් තිබුණේ. නැඟෙනහිරෙන් ආයි+ කියන තැන තිබුණා. ආබ්‍රම් එතනදීත් යෙහෝවාට පූජාසනයක් හදලා+ යෙහෝවා කියන නම පාවිච්චි කරලා ඔහුට නමස්කාර කරන්න පටන්ගත්තා.*+ 9 ඊටපස්සේ ආබ්‍රම් එතනින් පිටත් වෙලා නෙගෙබ් පැත්තට ගියා.+ එහෙම ගමන් කරද්දී එයා තැනින් තැන කූඩාරම් ගහගෙන ඒ කූඩාරම්වල ජීවත් වුණා.
10 ඒ කාලේදී දේශයේ සාගතයක් ඇති වුණා. ඒ සාගතය දරුණු වුණ නිසා+ ඊජිප්තුවට ගිහින් ටික කාලෙකට* එහේ ජීවත් වෙන්න+ ආබ්‍රම් තීරණය කළා. 11 ඊජිප්තුවට ළං වෙද්දී ආබ්‍රම් එයාගේ බිරිඳ වුණ සාරයිට මෙහෙම කිව්වා. “මේ අහන්නකෝ සාරයි. ඔයා හරිම ලස්සනයි.+ 12 ඉතින් ඊජිප්තුවරු ඔයාගේ ලස්සන දැක්කාම එයාලා ඔයාට අනතුරක් කරන එකක් නැහැ. හැබැයි මං ඔයාගේ මහත්තයා කියලා දැනගත්තාම එයාලා මාව මරලා දායි. 13 ඒ හින්දා ඔයා මගේ නංගි කියලා එයාලට කියන්න. ඔයා එහෙම කිව්වොත් මගේ ජීවිතේ බේරගන්න පුළුවන්. ඔයා නිසා එයාලා මට හොඳින් සලකයි.”+
14 ආබ්‍රම් ඊජිප්තුවට ඇතුල් වුණ ගමන්ම ඊජිප්තුවරු දැක්කා ආබ්‍රම් එක්ක හරිම ලස්සන කාන්තාවක් ඉන්නවා කියලා. 15 පාරාවෝ යටතේ හිටපු නිලධාරීනුත් සාරයිව දැක්කා. ඒ නිලධාරීන් එයාගේ ලස්සන ගැන පාරාවෝ ඉස්සරහා වර්ණනා කළා. ඒ නිසා එයාව පාරාවෝගේ මාලිගාවට අරගෙන ගියා. 16 පාරාවෝ සාරයිට කැමති වුණ නිසා එයා ආබ්‍රම්ට හොඳින් සැලකුවා. ආබ්‍රම්ට බැටළුවන්, ගවයන්, බූරුවන්, බූරුදෙනුන්, ඔටුවන් සහ සේවක සේවිකාවන් ලැබුණා.+ 17 ආබ්‍රම්ගේ බිරිඳ වුණ සාරයි+ නිසා යෙහෝවා දෙවියන් පාරාවෝටයි, එයාගේ මාලිගාවේ හිටපු හැමෝටමයි දරුණු පීඩා ගෙනාවා. 18 ඉතින් පාරාවෝ ආබ්‍රම්ට එන්න කියලා මෙහෙම ඇහුවා. “ඔයා මොකද්ද මේ කළේ? සාරයි ඔයාගේ බිරිඳ කියලා ඇයි මට කිව්වේ නැත්තේ? 19 එයා ඔයාගේ නංගි කියලා කිව්වේ ඇයි?+ මම එයාව විවාහ කරගන්නයි හිටියේ! මෙන්න ඔයාගේ බිරිඳ. එයාව අරගෙන යන්න!” 20 පාරාවෝ අණ කරපු විදිහට එයාගේ සේවකයෝ ආබ්‍රම්ට තිබුණ හැම දෙයක්ම එක්ක ආබ්‍රම්වයි, එයාගේ බිරිඳවයි දේශයෙන් පිටත් කරලා ඇරියා.+
13 ආබ්‍රම් එයාට තිබුණු හැම දෙයක්ම අරගෙන එයාගේ බිරිඳ සහ ලොත් එක්ක ඊජිප්තුවෙන් පිටත් වෙලා ගියා. එයාලා ගියේ නෙගෙබ්+ දිහාවටයි. 2 ආබ්‍රම්ට සත්තු ගොඩක් හිටියා. රන් රිදීවලිනුත් එයාට කිසිම අඩුවක් තිබුණේ නැහැ.+ 3 ඊටපස්සේ එයා නෙගෙබ්වලින් පිටත් වෙලා බෙතෙල් වෙන කල් ගියා. එහෙම යද්දී එයා තැනින් තැන කූඩාරම් ගහගෙන ජීවත් වුණා. ආබ්‍රම් කලින් බෙතෙල් සහ ආයි+ අතර කූඩාරම් ගහගත්ත තැනටම ආයෙත් ආවා. 4 ආබ්‍රම් කලින් පූජාසනයක් හදලා තිබුණු ඒ තැනට ඇවිත් යෙහෝවා කියන නම පාවිච්චි කරලා දෙවියන්ට නමස්කාර කළා.
5 ආබ්‍රම් එක්ක තැනින් තැනට ගිය ලොත්ටත් බැටළුවන් සහ ගවයන් හිටියා. එයාට කූඩාරමුත් තිබුණා. 6 එයාලා දෙන්නාටම ගොඩක් සත්තු හිටපු නිසා එකට ජීවත් වෙන්න ඒ ප්‍රදේශයේ ඉඩ මදි වුණා. 7 ඒ හින්දා ආබ්‍රම්ගේ සත්තු බලාගත්ත අය සහ ලොත්ගේ සත්තු බලාගත්ත අය අතරේ ආරවුලක් ඇති වුණා. ඔය කාලේදී කානානිවරු සහ පෙරිස්සිවරු දේශයේ ජීවත් වුණා.+ 8 ආබ්‍රම් ලොත්ට මෙහෙම කිව්වා.+ “අපි දෙන්නා සහෝදරයෝ. අනේ ඉතින්, අපි දෙන්නා අතරෙයි, අපේ සේවකයෝ අතරෙයි මෙහෙම ආරවුල් ඇති වෙන එක හොඳ දෙයක් නෙමෙයි. 9 අපි වෙන වෙනම ජීවත් වෙමු. ඔයාට මේ දේශයේ ඕනම පැත්තක් තෝරගන්න පුළුවන්. ඔයා වමට යනවා නං මම දකුණට යන්නං. ඔයා දකුණට යනවා නං මම වමට යන්නං.” 10 ලොත් ඒ ප්‍රදේශය දිහා හොඳට බැලුවා. එතකොට එයා දැක්කා යොර්දාන් දේශයේ+ ෂොවර්+ දක්වාම තියෙන ප්‍රදේශයේ හොඳට වතුර තියෙනවා කියලා. ඒක හරියට යෙහෝවා දෙවියන් හදපු උයන* වගෙයි.+ හරියට ඊජිප්තුව වගෙයි. ඒ ප්‍රදේශය එහෙම තිබුණේ යෙහෝවා සොදොම් සහ ගොමෝරා විනාශ කරන්න කලිනුයි. 11 ලොත් මුළු යොර්දාන් දේශයම තෝරගත්තා. එයා එයාට තිබුණු හැම දෙයක්ම අරගෙන නැඟෙනහිර පැත්තට ගියා. ඒ විදිහට එයාලා දෙන්නා වෙන් වෙලා ගියා. 12 ආබ්‍රම් කානාන් දේශයේ ජීවත් වුණා. ඒත් ලොත් ජීවත් වුණේ යොර්දාන් දේශයේ තිබුණු නගරවලට කිට්ටුව.+ පස්සේ එයා සොදොම් නගරය ළඟ කූඩාරම් ගහගත්තා. 13 සොදොම් නගරයේ හිටපු අය හරිම දුෂ්ට මිනිස්සු. එයාලා යෙහෝවා දෙවියන්ට විරුද්ධව ගොඩක් බරපතළ වැරදි කළා.+
14 ලොත් ආබ්‍රම්ගෙන් වෙන් වෙලා ගියාට පස්සේ යෙහෝවා ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ආබ්‍රම් ඔයාට පුළුවන්ද උතුර, දකුණ, නැඟෙනහිර සහ බස්නාහිර කියන හැම පැත්තක් දිහාම බලන්න? 15 ඔයාට පේන ඒ මුළු දේශයම මම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි සදහටම උරුමයක් හැටියට දෙනවා.+ 16 මම ඔයාගෙන් පැවතෙන අයව පොළොවේ දූවිලි වගේ වැඩි කරනවා. කාටවත් පොළොවේ තියෙන දූවිලි අංශු ගණන් කරන්න බැහැ. ඒ වගේ ඔයාගෙන් පැවතෙන අයවත් ගණන් කරන්න බැරි වෙයි.+ 17 දැන් ඔයා දේශයේ හතර දිශාවටම ගිහින් බලන්න. මොකද මම ඒක ඔයාට දෙනවා.” 18 ආබ්‍රම් දිගටම කූඩාරම්වල ජීවත් වුණා. පස්සේ එයා හෙබ්‍රොන්වලට+ ගිහින් මම්රේවල+ විශාල ගස් ළඟ නතර වුණා. එතන එයා යෙහෝවා වෙනුවෙන් පූජාසනයක් ගොඩනැඟුවා.+
14 ඒ කාලේදී ෂීනාර්+ ප්‍රදේශය පාලනය කළේ අම්රාෆෙල් රජයි. එල්ලාසාර්වල හිටියේ අරියොක් රජයි. ඒලාම්වල+ හිටියේ කෙදොර්ලායොමෙර් රජයි.+ ගොයීම්වල හිටියේ තීදාල් රජයි. 2 ඒ රජවරු සොදොම්වල+ රජ වුණ බෙරාටයි, ගොමෝරාවේ+ රජ වුණ බිර්ෂාටයි, අද්මාවල රජ වුණ ෂිනාබ්ටයි, ෂෙබොයිම්වල+ රජ වුණ ෂෙමෙබෙර්ටයි, බෙලාවල ඒ කියන්නේ ෂොවර්වල රජටයි විරුද්ධව සටනට ආවා. 3 ඒ රජවරු පස්දෙනාගේ හමුදාවන් සිද්දිම් නිම්නයේදී*+ ඒ කියන්නේ දැන් ලුණු මුහුද*+ තියෙන ප්‍රදේශයේ එකට එකතු වුණා.
4 ඒ රජවරු අවුරුදු 12ක් පුරා කෙදොර්ලායොමෙර් රජට යටත් වෙලා හිටියා. ඒත් 13වෙනි අවුරුද්දේදී එයාලා කැරලිගහන්න පටන්ගත්තා. 5 ඒ නිසා 14වෙනි අවුරුද්දේදී කෙදොර්ලායොමෙර් රජ සහ එයා එක්ක එකතු වුණ අනිත් රජවරු යුද්ධ කරන්න පිටත් වුණා. එයාලා අෂ්ටෙරොත්කර්නායිම්වල රෙෆායිවරුන්වයි, හාම් නගරයේ ෂූෂිවරුන්වයි, ෂාවේකිරියාතයිම්වල ඒමිවරුන්වයි+ පරාජය කළා. 6 එයාලා හෝරිවරුන්ට+ අයිති සේයිර් කියන කන්දේ+ ඉඳන් පාළුකරයේ තියෙන එල්පාරාන් දක්වා ප්‍රදේශයත් යටත් කරගත්තා. 7 ඊටපස්සේ එයාලා ආපස්සට හැරිලා ඇවිත් ඒන්මිෂ්පාත් කියලත් හඳුන්වපු කාදෙෂ්වලට+ ගිහින් අමලෙක්වරුන්ට+ අයිති මුළු ප්‍රදේශයම යටත් කරගත්තා. එයාලා හෂෂොන්තාමාර්වල+ හිටපු අමෝරිවරුන්වත්+ පරාජය කළා.
8 ඒ අවස්ථාවේදී සොදොම්, ගොමෝරා, අද්මා, ෂෙබොයිම් සහ බෙලා ඒ කියන්නේ ෂොවර් කියන නගරවල රජවරු සිද්දිම් නිම්නයට* ගිහින් සටන් කරන්න ලෑස්ති වුණා. 9 එයාලා සටන් කළේ ඒලාම්වල රජ වුණ කෙදොර්ලායොමෙර්ට, ගොයීම්වල රජ වුණ තීදාල්ට, ෂීනාර්වල රජ වුණ අම්රාෆෙල්ට සහ එල්ලාසාර්වල+ රජ වුණ අරියොක්ට විරුද්ධවයි. ඒ කියන්නේ රජවරු පස්දෙනෙක් රජවරු හතරදෙනෙක්ට විරුද්ධව සටන් කළා. 10 සිද්දිම් නිම්නයේ* හැම තැනම තාර වළවල් තිබුණා. සොදොම් ගොමෝරාවේ රජවරු සහ එයාලාගේ හමුදාවන් පලා යද්දී එයාලා තාර වළවල්වලට වැටුණා. ඉතුරු අය කඳුකරයට පලා ගියා. 11 සටනෙන් දිනපු රජවරු හතරදෙනා සොදොම් සහ ගොමෝරාවේ තිබුණ කෑම ඇතුළුව හැම දෙයක්ම අරගෙන ගියා.+ 12 එයාලා සොදොම් නගරයේ+ හිටපු ආබ්‍රම්ගේ ඥාති පුතෙක් වුණ ලොත්වත් එයාට අයිති හැම දෙයක්මත් පැහැරගෙන ගියා.
13 එයාලාගෙන් බේරිලා ආපු මනුස්සයෙක් හෙබ්‍රෙව් ජාතිකයෙක් වුණ ආබ්‍රම් ළඟට ඇවිල්ලා වෙච්ච දේ ගැන කිව්වා. ඒ කාලේදී ආබ්‍රම් කූඩාරම් ගහගෙන හිටියේ අමෝරි ජාතියෙක් වුණ මම්රේගේ විශාල ගස් ළඟයි.+ මම්රේට එෂ්කොල් සහ අනෙර් කියලා සහෝදරයන් දෙන්නෙක් හිටියා.+ එක් කෙනාට එක් කෙනා උදව් කරගන්නවා කියලා ඒ තුන්දෙනා ආබ්‍රම් එක්ක ගිවිසුමක් ඇති කරගෙනයි හිටියේ. 14 එයාගේ ඥාති පුතාව*+ පැහැරගෙන ගියා කියලා ආබ්‍රම් දැනගත්තාම එයා එයාගෙම ගෙදර ඉපදුණ, සටනට දක්ෂ සේවකයන් 318දෙනෙක්ව ලෑස්ති කරගත්තා. ආබ්‍රම් එයාලා එක්ක දාන්+ වෙන කල් කොල්ලකරුවන් පස්සේ ගියා. 15 රෑ වුණාට පස්සේ ආබ්‍රම් එයාත් එක්ක හිටපු කට්ටියව කණ්ඩායම් කීපයකට බෙදුවා. එයාලා කොල්ලකාරයන්ට පහර දීලා එයාලව පරාජය කළා. ඊටපස්සේ එයාලා දමස්කයට උතුරෙන් තියෙන හෝබා වෙන කල්ම කොල්ලකාරයන්ව එළවගෙන ගියා. 16 ලොත්ට අයිති දේවල් ඇතුළුව කොල්ල කාපු හැම දෙයක්ම ආපහු ගන්න ආබ්‍රම්ට පුළුවන් වුණා. එයාගේ ඥාති පුතා වුණ ලොත්වයි, කාන්තාවන්වයි, පැහැරගෙන ගිය අනිත් අයවයි ආබ්‍රම් බේරගත්තා.
17 ආබ්‍රම් කෙදොර්ලායොමෙර් රජව සහ එයාත් එක්ක හිටපු අනිත් රජවරුන්ව පරාජය කරලා ආපහු එද්දී එයාව හම්බ වෙන්න සොදොම්වල රජ ආවා. ෂාවේ නිම්නයේ* ඒ කියන්නේ රජගේ නිම්නයේදී+ එයාට ආබ්‍රම්ව හම්බ වුණා. 18 ඒ අවස්ථාවේ සාලම් නගරයේ රජ+ වුණ මෙල්කිසදෙක්+ රොටි සහ වයින් අරගෙන ආබ්‍රම්ව හම්බ වෙන්න ආවා. මෙල්කිසදෙක් තමයි උසස්ම දෙවියන්ගේ+ පූජකයා විදිහට වැඩ කළේ.
19 එයා ආබ්‍රම්ට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා.
“අහසත් පොළොවත් හදපු
උසස්ම දෙවියන්ගෙන් ඔයාට ආශීර්වාද ලැබේවා!
20 ඔයාගේ සතුරන්ව ඔයාගේ අතට අල්ලලා දුන්න
උසස්ම දෙවියන්ට ප්‍රශංසා වේවා!”
ඊටපස්සේ ආබ්‍රම් එයා ළඟ තිබුණු හැම දේකින්ම දහයෙන් කොටසක්+ මෙල්කිසදෙක්ට දුන්නා.
21 ඊටපස්සේ සොදොම්වල රජ ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “මට මගේ මිනිස්සුන්ව විතරක් දෙන්න. අනිත් හැම දෙයක්ම ඔයා තියාගන්න.” 22 ඒ වෙලාවේ ආබ්‍රම් සොදොම්වල රජට මෙහෙම කිව්වා. “මගේ අත උස්සලා අහසත් පොළොවත් හදපු උසස්ම දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා කියනවා 23 මම ඔයාට අයිති කිසිම දෙයක් ගන්නේ නැහැ කියලා. නූල් පොටක්වත් පාවහන් පටියක්වත් මම ඔයාගෙන් ගන්නේ නැහැ. නැත්තං ඔයා කියයි ‘ආබ්‍රම්ව පොහොසත් කළේ මමයි’ කියලා. 24 මගේ උදව්වට ආපු අනෙර්ටයි, එෂ්කොල්ටයි, මම්රේටයි+ විතරක් එයාලාගේ පංගුව දෙන්න. ඔයා මගේ සේවකයන්ට කන්න දුන්න දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් මම ඔයාගෙන් ගන්නේ නැහැ.”
15 ඒ දේවල් වුණාට පස්සේ යෙහෝවා දෙවියන් ආබ්‍රම්ට දර්ශනයකින් මෙහෙම කිව්වා. “ආබ්‍රම්, බය වෙන්න එපා.+ මම ඔයාට පලිහක් වෙනවා.+ ඔයාට ගොඩක් ආශීර්වාද ලැබෙනවා.”+ 2 එතකොට ආබ්‍රම් මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මට තාම දරුවෙක් නැහැ. ඉතින් ඔයා දෙන ආශීර්වාද උරුම වෙන්නේ කාටද? මගෙන් පස්සේ උරුමක්කාරයා වෙන්නේ දමස්කයේ එලියේසර්.”+ 3 ආබ්‍රම් මෙහෙමත් කිව්වා. “ඔයා තාමත් මට දරුවෙක් දුන්නේ නැහැ.+ ඒ නිසා මගේ උරුමක්කාරයා වෙන්නේ මගේ ගෙදර ඉන්න සේවකයෙක්!” 4 ඒත් යෙහෝවා ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ උරුමක්කාරයා වෙන්නේ ඔයාගේ සේවකයා නෙමෙයි. ඔයාගෙම පුතෙක් තමයි ඔයාගේ උරුමක්කාරයා වෙන්නේ.”+
5 ඊටපස්සේ දෙවියන් ආබ්‍රම්ට කූඩාරමෙන් එළියට එන්න කියලා මෙහෙම කිව්වා. “අහස දිහා බලලා තාරකා ගණන් කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. ඔයාට ඒවා ගණන් කරන්න පුළුවන් නම් එහෙම කරන්න. ඔයාගෙන් පැවතෙන අයත් තරු වගේ වැඩි වෙනවා.”+ 6 ආබ්‍රම් යෙහෝවා ගැන විශ්වාසය තිබ්බා.+ ඒ නිසා දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා.+ 7 ඊටපස්සේ දෙවියන් ආබ්‍රම්ට මෙහෙමත් කිව්වා. “මම යෙහෝවා. ඔයාට මේ දේශය උරුමයක් විදිහට දෙන්න කල්දිවරුන්ට අයිති ඌර් නගරෙන් ඔයාව පිටතට ගෙනාවේ මමයි.”+ 8 එතකොට ආබ්‍රම් මෙහෙම ඇහුවා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මම මේ දේශය උරුම කරගන්න යනවා කියලා මම දැනගන්නේ කොහොමද?” 9 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “අවුරුදු තුනක් වයස වැස්සියෙක්වයි, අවුරුදු තුනක් වයස එළුදෙනක්වයි, අවුරුදු තුනක් වයස බැටළුවෙක්වයි, කොබෙයියෙක්වයි, පරෙවියෙක්වයි* මං ළඟට ගේන්න.” 10 ආබ්‍රම් ඒ ඔක්කොම සත්තු ගෙනල්ලා දෙකට කැපුවා. එයා ඒ එක එක සතාගේ කොටස් එකිනෙකට ගැළපෙන විදිහට පේළියට තිබ්බා. ඒත් එයා කුරුල්ලන්ව කොටස්වලට කැපුවේ නැහැ. 11 මළ කුණුවල වහන කුරුල්ලෝ ඇවිත් මරපු ඒ සත්තු කන්න ඒවා වටේ කැරකෙන්න පටන්ගත්තා. ඒත් ආබ්‍රම් උන්ව එළවලා දැම්මා.
12 ඉර බහින්න ළං වෙලා තියෙද්දී ආබ්‍රම් තද නින්දකට වැටුණා. හරිම භයානක අන්ධකාරයක් එයාව වට කරගන්නවා එයා හීනෙන් දැක්කා. 13 එතකොට දෙවියන් ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගෙන් පැවතෙන අය එයාලට අයිති නැති දේශයක විදේශිකයන් විදිහට ජීවත් වෙනවා කියලා මම ස්ථිරවම කියනවා. එයාලා ඒ දේශයේ වැසියන්ගේ වහලුන් වෙනවා. ඒ දේශයේ වැසියෝ අවුරුදු 400ක් පුරා එයාලට හිරිහැර කරනවා.+ 14 ඒත් එයාලව වහලුන් කරගන්න ඒ ජාතියට මම දඬුවම් කරනවා.+ ඊටපස්සේ ඔයාගෙන් පැවතෙන අය ගොඩක් වස්තු එකතු කරගෙන ඒ දේශයෙන් පිටත් වෙලා යනවා.+ 15 ඒත් ඔයා සෑහෙන කාලයක් ජීවත් වෙනවා. මහලු වයසට ආවාම හිතේ කිසි බරක් නැතුව ඔයා මිය යනවා. ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාවත් තැන්පත් කරනවා.+ 16 ඒත් ඔයාගෙන් පැවතෙන අයගේ හතරවෙනි පරම්පරාව ආයෙත් මේ දේශයට එනවා.+ ඒ කාලේ වෙද්දී තමයි අමෝරිවරුන්ගේ දුෂ්ටකම් පහත්ම අඩියට බහින්නේ.”+
17 ඉර බැහැලා ගියාට පස්සේ ඝන අන්ධකාරයක් ඇති වුණා. එතකොට ආබ්‍රම් දුම් නඟින උදුනක් සහ ගිනි පන්දමක් දැක්කා. ඒ ගිනි පන්දම සත්තුන්ගේ කොටස් මැදින් ගියා. 18 ඒ දවසේදී යෙහෝවා ආබ්‍රම් එක්ක ගිවිසුමක්+ ඇති කරගෙන මෙහෙම කිව්වා. “ඊජිප්තු ගඟේ ඉඳන් යුප්‍රටීස්+ කියන මහ ගඟ දක්වා තියෙන දේශය මම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ 19 කේනිවරුන්,+ කෙනිෂ්ෂිවරුන්, කද්මොනිවරුන්, 20 හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්,+ රෙෆායිවරුන්,+ 21 අමෝරිවරුන්, කානානිවරුන්, ගිර්ගාෂිවරුන් සහ යෙබූසිවරුන්+ ඉන්න ඒ මුළු දේශයම මම එයාලට දෙනවා.”
16 ආබ්‍රම්ගේ බිරිඳ වුණ සාරයිට ඒ වෙද්දීත් දරුවෙක් හිටියේ නැහැ.+ සාරයිට හාගර්+ කියලා ඊජිප්තු ජාතික සේවිකාවක් හිටියා. 2 සාරයි ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “අනේ, මම කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. දරුවන් බිහි කරන ආශීර්වාදය යෙහෝවා දෙවියන් මට දීලා නැහැ. ඉතින් මගේ සේවිකාව එක්ක එකට ඉන්න.* එතකොට එයාගෙන්වත් මට දරුවෙක් ලැබෙයි.”+ ආබ්‍රම් සාරයිගේ ඉල්ලීමට එකඟ වුණා. 3 ඊටපස්සේ ආබ්‍රම්ගේ බිරිඳ වුණ සාරයි එයාගේ ඊජිප්තු ජාතික සේවිකාව වුණ හාගර්ව එයාගේ ස්වාමිපුරුෂයාට බිරිඳක් විදිහට දුන්නා. ඒ වෙද්දී ආබ්‍රම් කානාන් දේශයේ අවුරුදු දහයක් ජීවත් වෙලා තිබුණා. 4 ආබ්‍රම් හාගර් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. පස්සේ එයා ගැබ්ගත්තා. එයාට දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තාම හාගර් එයාගේ ස්වාමිදුවව පහත් කරලා සලකන්න පටන්ගත්තා.
5 සාරයි ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “මගේ සේවිකාව වන හාගර්ව ඔයාට දුන්නේ මමයි. ඒත් දරුවෙක් හම්බ වෙන්න යනවා කියලා දැනගත්තාට පස්සේ එයා මාව පහත් කරලා සලකනවා. මට වෙච්ච මේ අසාධාරණයට වග කියන්න ඕනෙ ඔයායි. ඔයාද හරි මමද හරි කියලා යෙහෝවාම විනිශ්චය කරයි!” 6 ඉතින් ආබ්‍රම් සාරයිට මෙහෙම කිව්වා. “ඔයාගේ සේවිකාව ඔයාට භාරයි. ඉතින් ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න.” ඊටපස්සේ සාරයි හාගර්ට පහත් විදිහට සලකන්න පටන්ගත්තා. ඒ නිසා හාගර් සාරයිගෙන් පලා ගියා.
7 ඊටපස්සේ කාන්තාරයේ ෂුර්වලට+ යද්දී තියෙන දිය උල්පත ළඟදී යෙහෝවා දෙවියන්ගේ දූතයාට හාගර්ව හම්බ වුණා. 8 දේවදූතයා එයාගෙන් මෙහෙම ඇහුවා. “සාරයිගේ සේවිකාව වන හාගර්, ඔයා ආවේ කොහේ ඉඳන්ද? ඔයා යන්නේ කොහෙටද?” එතකොට හාගර් මෙහෙම උත්තර දුන්නා. “මම මගේ ස්වාමිදුවගෙන් පලා යනවා.” 9 යෙහෝවාගේ දූතයා “ඔයාගේ ස්වාමිදුව ළඟට ආපහු යන්න. නිහතමානී වෙලා එයා කියන විදිහට වැඩ කරන්න” කියලා එයාට කිව්වා. 10 “මම ඔයාගෙන් පැවතෙන අයව ගණන් කරන්න බැරි තරමට වැඩි කරනවා”+ කියලත් යෙහෝවාගේ දූතයා කිව්වා. 11 යෙහෝවා දෙවියන්ගේ දූතයා මෙහෙමත් කිව්වා. “දැන් ඔයාට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඔයාට ඉපදෙන්නේ පුතෙක්. එයාට ඉෂ්මායෙල්* කියන නම තියන්න. මොකද දුකේදී ඔයා කරපු කන්නලව්වලට යෙහෝවා ඇහුම්කන් දුන්නා. 12 ඉෂ්මායෙල් හීලෑ නැති බූරුවෙක්* වගේ වෙනවා. එයා හැමෝටම විරුද්ධව වැඩ කරනවා. හැමෝම එයාටත් විරුද්ධ වෙනවා. එයා එයාගේ සහෝදරයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙනවා.”*
13 ඊටපස්සේ හාගර් යෙහෝවා කියන දෙවියන්ගේ නමට ප්‍රශංසා කළා. “මං දිහා බලාගෙන ඉන්න තැනැත්තාව මම ඇස් දෙකෙන්ම දැක්කා නේද” කියලා හිතපු හාගර් එයා එක්ක කතා කරපු දෙවියන්ට මෙහෙම කිව්වා. “ඔබ හැම දෙයක්ම දකින දෙවි කෙනෙක්.”+ 14 එතන තියෙන ළිඳට බෙයර්ලහයිරොයි* කියන නම දාලා තියෙන්නේ ඒ නිසයි. ඒ ළිඳ තියෙන්නේ කාදෙෂ් සහ බෙරෙද් අතරයි. 15 පස්සේ හාගර් පුතෙක් බිහි කළා. ආබ්‍රම් එයාගේ පුතාට ඉෂ්මායෙල්+ කියන නම තිබ්බා. 16 ඉෂ්මායෙල් ඉපදෙද්දී ආබ්‍රම්ට වයස අවුරුදු 86යි.
17 ආබ්‍රම්ට වයස අවුරුදු 99දී යෙහෝවා දෙවියන් එයාට දර්ශනය වෙලා මෙහෙම කිව්වා. “මම තමයි සියලු බලැති දෙවියන්. දිගටම මට කීකරු වෙලා ඔයා නිදොස් කෙනෙක් කියලා පෙන්නන්න. 2 ඔයා එහෙම කළොත් මම ඔයාත් එක්ක ඇති කරගත්ත මගේ ගිවිසුම ස්ථිර කරනවා.+ ඔයාගෙන් පැවතෙන අයගේ ගාණ ගොඩක් වැඩි කරනවා.”+
3 ඒක අහලා ආබ්‍රම් දණින් වැටිලා ඔළුව පහත් කළා. දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. 4 “මම ඔයා එක්ක ගිවිසුමක් ඇති කරගෙනයි තියෙන්නේ.+ ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම ගොඩක් ජාතීන්ගේ පියා වෙනවා.+ 5 දැන් ඉඳන් ඔයාගේ නම ආබ්‍රම්* නෙමෙයි ආබ්‍රහම්.* මොකද මම ඔයාව ගොඩක් ජාතීන්ගේ පියා වෙන්න සලස්වනවා. 6 මම ඔයාගෙන් ගොඩක් දරුවන් බිහි වෙන්න සලස්වනවා. ඔයාගෙන් ජාතීන් සහ රජවරුන් බිහි වෙයි.+
7 “මම ඔයා එක්ක ඇති කරගත්ත මගේ ගිවිසුමට එකඟව වැඩ කරනවා.+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔයාගේ දරුවන් එක්කත් මම ඒ ගිවිසුමට එකඟව වැඩ කරනවා. ඔයාටත් ඔයාගෙන් පැවතෙන අයටත්* මම ඔයාලාගේ දෙවියන් කියලා පෙන්නන්න ඒ ගිවිසුම සදහටම තියෙනවා. 8 ඔයා විදේශිකයෙක් විදිහට+ ජීවත් වෙන කානාන් දේශයම ඔයාටත් ඔයාගෙන් පැවතෙන දරුවන්ටත් උරුමයක් විදිහට දෙනවා. එයාලා ඒ දේශයේ හැමදාටම ජීවත් වෙයි. මම එයාලාගේ දෙවියන් වෙනවා.”+
9 දෙවියන් ආබ්‍රහම්ට මෙහෙමත් කිව්වා. “ඔයායි, පරම්පරාවෙන් පරම්පරාවට එන ඔයාගේ දරුවනුයි මගේ ගිවිසුමට එකඟව වැඩ කරන්න ඕනේ. 10 මම ඔයා එක්ක ඇති කරගන්න ගිවිසුම මේකයි. ඒ ගිවිසුමට අනුව ඔයායි, ඔයාගෙන් පැවතෙන දරුවනුයි මේ දේ කරන්න ඕනේ. ඔයාලා අතර ඉන්න හැම පිරිමියෙක්ම චර්මච්ඡේදනය කරගන්න ඕනේ.+ 11 ඔයාලා චර්මච්ඡේදනය වෙන්න ඕනේ. ඒක ඔයාලා එක්ක මම ඇති කරගත්ත ගිවිසුමට ලකුණක් වෙනවා.+ 12 ඔයාලා අතරේ ඉපදෙන හැම පිරිමි දරුවෙක්ම අටවෙනි දවසේදී චර්මච්ඡේදනය කරන්න ඕනේ.+ ඔයාගෙන් පැවතෙන හැම පරම්පරාවක්ම ඒක කරන්න ඕනේ. ඔයාගේ ගෙදර ඉපදෙන අයවත් විදේශිකයෙක්ගෙන් මිල දීලා ගත්ත ඔයාගේ පෙළපතට අයිති නැති අයවත් චර්මච්ඡේදනය කරන්න ඕනේ. 13 ඔයාගේ ගෙදර ඉපදුණ හැම පුරුෂයෙක්මත් ඔයාගේ සල්ලිවලින් මිල දීලා ගත්ත හැම පුරුෂයෙක්මත් අනිවාර්යයෙන්ම චර්මච්ඡේදනය කරගන්න ඕනේ.+ ඔයාගේ ශරීරයේ තියෙන ඒ ලකුණ මම ඇති කරගත්ත ගිවිසුමට සාක්ෂියක්. ඒ ගිවිසුම ගොඩක් කාලයක් පුරා තියෙන ගිවිසුමක්. 14 කවුරු හරි කෙනෙක් චර්මච්ඡේදනය වුණේ නැත්තං එයාව මරලා දාන්න ඕනේ.* මොකද එයා කරන්නේ මගේ ගිවිසුම කඩ කරන එකයි.”
15 ඊටපස්සේ දෙවියන් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “දැන් ඉඳලා ඔයාගේ බිරිඳගේ නම සාරයි*+ නෙමෙයි සාරා.* 16 මම එයාට ආශීර්වාද කරලා එයාගෙන් ඔයාට පුතෙක් ලබා දෙනවා.+ මම එයාට ආශීර්වාද කරන නිසා එයාගෙන් ගොඩක් ජාතීන් සහ රජවරු බිහි වෙයි.” 17 එතකොට ආබ්‍රහම් දණින් වැටිලා ඔළුව පහත් කළා. ඊටපස්සේ එයා හිනා වෙලා එයාටම මෙහෙම කියාගත්තා.+ “මට දැන් අවුරුදු 100ක් වෙනවා. මගේ වයසේ කෙනෙක්ට තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්ද? අවුරුදු 90ක් වයස සාරාට කොහොමද දරුවෙක් හම්බ වෙන්නේ?”+
18 ඉතින් ආබ්‍රහම් සැබෑ දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ, ඔයාගේ ආශීර්වාදය ඉෂ්මායෙල්ට දෙන්න!”+ 19 එතකොට දෙවියන් මෙහෙම කිව්වා. “ඔයාගේ බිරිඳ වන සාරාගෙන් අනිවාර්යයෙන්ම ඔයාට පුතෙක් හම්බ වෙයි. ඔයා එයාට ඊසාක්*+ කියන නම තියන්න. මගේ ගිවිසුම මම ස්ථිර කරන්නේ එයා එක්කයි. එයාගෙන් පැවතෙන අය එක්කත් මම ඒ ගිවිසුම තියාගන්නවා.+ ඒක සදහටම තියෙන ගිවිසුමක්. 20 ඉෂ්මායෙල් ගැන ඔයා කරපු ඉල්ලීමත් මම ඉටු කරනවා. මම එයාටත් ආශීර්වාද කරලා එයාගෙන් පැවතෙන අයගේ ගාණ ගොඩක් වැඩි කරනවා. එයා අධිපතීන් 12දෙනෙක්ගේ තාත්තා වෙනවා. මම එයාගෙන් මහත් ජාතියක් ඇති කරනවා.+ 21 ඒත් මගේ ගිවිසුම මම ස්ථිර කරන්නේ ඊසාක් එක්කයි.+ ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී සාරාට එයාව හම්බ වෙයි.”+
22 දෙවියන් ආබ්‍රහම් එක්ක කතා කළාට පස්සේ එතනින් පිටත් වෙලා ගියා. 23 ඊටපස්සේ ආබ්‍රහම් එයාගේ පුතා ඉෂ්මායෙල්වයි, එයාගේ ගෙදර ඉපදුණ හැම පුරුෂයෙක්වමයි, එයා මිල දීලා ගත්ත හැම පුරුෂයෙක්වමයි, ඒ කියන්නේ එයා එක්ක ජීවත් වුණ හැම පිරිමි කෙනෙක්වම චර්මච්ඡේදනය කළා. දෙවියන් එයාට කියපු විදිහටම ඒ දවසේම එයා ඒක කළා.+ 24 ආබ්‍රහම් චර්මච්ඡේදනය වෙද්දී එයාට වයස අවුරුදු 99යි.+ 25 ආබ්‍රහම්ගේ පුතා වුණ ඉෂ්මායෙල්ව චර්මච්ඡේදනය කරද්දී එයාට වයස අවුරුදු 13යි.+ 26 ඒ දවසේම ආබ්‍රහම් සහ එයාගේ පුතා වුණ ඉෂ්මායෙල් චර්මච්ඡේදනය වුණා. 27 ආබ්‍රහම්ගේ ගෙදර ඉපදුණ හැමෝම සහ විදේශිකයන්ගෙන් මිල දීලා ගත්ත හැමෝම ඇතුළුව ගෙදර හිටපු හැම පුරුෂයෙක්ම එයා එක්ක චර්මච්ඡේදනය වුණා.
18 දවසක් අව්ව තදට පායලා තිබුණ වෙලාවක මම්රේවල+ විශාල ගස් ළඟ කූඩාරම් ගහගෙන හිටපු ආබ්‍රහම් ඉදිරියේ යෙහෝවා දෙවියන්+ දර්ශනය වුණා. ඒ වෙලාවේ ආබ්‍රහම් හිටියේ එයාගේ කූඩාරමට ඇතුල් වෙන තැන ඉඳගෙනයි. 2 එයා හිටපු තැනට කිට්ටුවෙන් මිනිස්සු තුන්දෙනෙක් හිටගෙන ඉන්නවා එයා දැක්කා.+ එයාලව දැක්ක ගමන් ආබ්‍රහම් එයාලා ළඟට දුවගෙන ගිහින් බිමට නැමිලා එයාලට ආචාර කළා. 3 ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි,* ඔයාගේ සේවකයා වන මං ගැන ඔයා සතුටු වෙනවා නං මගේ ගෙදර ටිකකට නතර වෙලා යන්න. 4 ඔයාලාගේ කකුල් හෝදන්න අපි වතුර ටිකක් ගෙනත් දෙන්නම්.+ ඊටපස්සේ ගහ යටට වෙලා ටිකක් විවේක ගන්න. 5 ඔයාලා දැන් ඔයාලාගේ සේවකයා ඉන්න තැනට ඇවිත් ඉන්න නිසා කෑමට රොටි ටිකක් මං ලෑස්ති කරන්නම්. කෑම කාලා මහන්සි නිවාගත්තාට පස්සේ ඔයාලාගේ ගමන යන්න පුළුවන්.” එතකොට ඒ මිනිස්සු “ඔයා කිව්ව විදිහටම කරන්න” කියලා කිව්වා.
6 ඉතින් ආබ්‍රහම් කූඩාරමට ඉක්මනින්ම ගිහිල්ලා සාරාට මෙහෙම කිව්වා. “ඉක්මනට සිහින්ව කොටාගත්ත පිටි මිනුම්* තුනක් අරගෙන ඒක අනලා රොටි ටිකක් හදන්න.” 7 ඊටපස්සේ ආබ්‍රහම් එයාගේ රැළ ළඟට දුවගෙන ගිහිල්ලා හොඳ නාඹර වස්සෙක්ව අරගෙන එයාගේ සේවකයාට දුන්නා. සේවකයා ඒක සූදානම් කරන්න ඉක්මනින්ම ගියා. 8 ඊටපස්සේ එයා බටරුයි, කිරියි, එයා ලෑස්ති කරපු මසුයි අරගෙන ගිහිල්ලා එයාලා ඉස්සරහා තිබ්බා. ඒ මිනිස්සු ගහ යටට වෙලා කෑම කද්දී ආබ්‍රහම් එයාලා ළඟින්ම හිටගෙන හිටියා.+
9 ඒ මිනිස්සු “සාරා+ කෝ” කියලා ආබ්‍රහම්ගෙන් ඇහුවා. “එයා කූඩාරමේ ඉන්නවා” කියලා ආබ්‍රහම් කිව්වා. 10 එයාලාගෙන් එක් කෙනෙක් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම අනිවාර්යයෙන්ම ආයෙත් මෙහෙට එනවා. ඒ වෙද්දී සාරාට පුතෙක් ඉඳියි.”+ එයාට පිටිපස්සේ තිබුණ කූඩාරමේ දොර ළඟ හිටපු සාරා එයා කියපු දේ අහගෙනයි හිටියේ. 11 ඒ වෙද්දී ආබ්‍රහමුයි, සාරායි ගොඩක් වයසයි.+ සාරා දරුවන් ලැබෙන වයස පහු කරලයි හිටියේ.*+ 12 ඉතින් සාරා තනියම හිනා වෙලා මෙහෙම කියාගත්තා. “මමයි, මගේ ස්වාමියායි හොඳටම වයසයිනේ. ඉතින් දරු සුරතල් බලන්න අපිට පුළුවන්ද?”+ 13 එතකොට යෙහෝවා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “‘වයසට ගිහින් ඉන්න මට කොහොමද දරුවෙක් හම්බ වෙන්නේ’ කියලා සාරා හිනා වුණේ ඇයි? 14 යෙහෝවා වන මට කරන්න බැරි දෙයක් තියෙනවාද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලේ වෙද්දී මම ආයෙත් මෙහෙට එනවා. එතකොට සාරාට පුතෙක් ඉඳියි.” 15 සාරා බය වෙලා “මං හිනා වුණේ නෑ” කියලා කිව්වා. එතකොට දෙවියන් “නෑ, ඔයා හිනා වුණා” කියලා කිව්වා.
16 ඒ මිනිස්සු එතනින් යන්න ලෑස්ති වුණාම ආබ්‍රහම් එයාලව ඇරලවන්න එයාලා එක්ක ගියා. ඒ විදිහට එයාලා ඇවිදගෙන සොදොම් නගරය+ පේන තැනකට ආවා. 17 එතකොට යෙහෝවා මෙහෙම කිව්වා. “මං කරන්න හිතාගෙන ඉන්න දේ ආබ්‍රහම්ට නොකියා ඉන්නේ නැහැ.+ 18 ආබ්‍රහම්ගෙන් පැවතෙන අය අනිවාර්යයෙන්ම බලවත්, ශ්‍රේෂ්ඨ ජාතියක් වෙනවා. එයා නිසා පොළොවේ ඉන්න හැම ජාතියකටම ආශීර්වාද ලැබෙනවා.*+ 19 මම ආබ්‍රහම් කොයි වගේ කෙනෙක්ද කියලා දන්නවා. එයාගේ පුතාලටයි, එයාගෙන් පැවතෙන හැමෝටමයි* හරි දේ* සහ සාධාරණ දේ මොකක්ද කියලා උගන්නන්න මං එයාව තෝරගත්තා. එතකොට යෙහෝවා වන මම පෙන්නන මාර්ගයේ යන්න එයාලා හැමෝටම පුළුවන් වෙයි.+ එහෙම කරන්න ආබ්‍රහම්ව තෝරගත්තේ යෙහෝවා වන මම එයාට පොරොන්දු වුණ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන්නයි.”
20 ඊටපස්සේ යෙහෝවා මෙහෙම කිව්වා. “සොදොම් සහ ගොමෝරාවට විරුද්ධව ගොඩක් චෝදනා මට එනවා.+ එයාලා හරිම බරපතළ වැරදි කරනවා.+ 21 ඉතින් එයාලා කරන දේවල් ගැන හොයලා බලන්න මං දැන් යනවා. එතකොට එයාලා ගැන ඇවිත් තියෙන චෝදනා ඇත්තද බොරුද කියලා මට දැනගන්න පුළුවන්.”+
22 ඊටපස්සේ ඒ මිනිස්සු* එතනින් පිටත් වෙලා සොදොම් පැත්තට ගියා. ඒත් යෙහෝවා+ දිගටම ආබ්‍රහම් ළඟ හිටියා. 23 ආබ්‍රහම් ටිකක් ළඟට ගිහින් දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “ඇත්තටම ඔයා දුෂ්ට අයත් එක්ක ධර්මිෂ්ඨ අයවත් විනාශ කරනවාද?+ 24 ඒ නගරේ ධර්මිෂ්ඨ මිනිස්සු 50දෙනෙක් ඉන්නවා නං ඔයා එයාලවත් විනාශ කරනවාද? එයාලා වෙනුවෙන්වත් ඔයා ඒ නගරෙට සමාව දෙන්නේ නැද්ද? 25 ඔයා ඒ දෙගොල්ලන්වම එකට විනාශ කරලා දුෂ්ට අයටයි, ධර්මිෂ්ඨ අයටයි එකම දඬුවම දෙයි කියලා මට හිතාගන්නවත් බෑ!+ ඔයා එහෙම කරයි කියලා මට කොහොමටවත් හිතන්න බෑ!+ මුළු පොළොවේම විනිශ්චයකරු වන ඔයා සාධාරණය ඉටු කරන්නේ නැද්ද?”+ 26 එතකොට යෙහෝවා මෙහෙම කිව්වා. “සොදොම්වල ධර්මිෂ්ඨ මිනිස්සු 50දෙනෙක් හම්බ වුණොත් එයාලා වෙනුවෙන් මම මුළු නගරෙටම සමාව දෙනවා.” 27 ඒත් ආබ්‍රහම් මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා දෙවියනි, මං නිකම්ම දූවිලියි, අළුයි වගේ මනුස්සයෙක්. අනේ, මට තව ටිකක් ඔයාත් එක්ක කතා කරන්න ඉඩ දෙන්න. 28 ධර්මිෂ්ඨ මිනිස්සු 45ක් ඉන්නවා නං පස්දෙනෙක් අඩු නිසා ඔයා මුළු නගරේම විනාශ කරනවාද?” දෙවියන් මෙහෙම උත්තර දුන්නා. “එහේ 45දෙනෙක් හම්බ වුණොත් මම ඒක විනාශ කරන්නේ නැහැ.”+
29 ඒත් ආබ්‍රහම් ආයෙත් මෙහෙම ඇහුවා. “එතකොට 40දෙනෙක් හම්බ වුණොත්?” දෙවියන් කිව්වා “ඒ 40දෙනා වෙනුවෙන් මම නගරේ විනාශ කරන්නේ නැහැ” කියලා. 30 ඒත් ආබ්‍රහම් ආයේ සැරයක් මෙහෙම ඇහුවා. “අනේ යෙහෝවා, මාත් එක්ක කේන්ති ගන්න එපා.+ මට තව ටිකක් කතා කරන්න ඉඩ දෙන්න. එහේ 30දෙනෙක් හම්බ වුණොත් මොකද කරන්නේ?” දෙවියන් මෙහෙම උත්තර දුන්නා. “30දෙනෙක් හම්බ වුණොත් මම ඒක විනාශ කරන්නේ නැහැ.” 31 ආබ්‍රහම් ආයෙත් මෙහෙම ඇහුවා. “අනේ යෙහෝවා, මං මේ විදිහට බය නැතුව ඔයාත් එක්ක කතා කරන එක ගැන මට සමාවෙන්න! බැරි වෙලාවත් 20දෙනෙක් හම්බ වුණොත්?” එතකොට දෙවියන් කිව්වා “ඒ 20දෙනා වෙනුවෙන් මම ඒක විනාශ කරන්නේ නැහැ” කියලා. 32 අන්තිමට එයා මෙහෙම ඇහුවා. “අනේ යෙහෝවා, මාත් එක්ක කේන්ති ගන්න එපා. මට තව එක පාරක් කතා කරන්න දෙන්න. එහේ දහදෙනෙක් විතරක් හිටියොත්?” දෙවියන් මෙහෙම උත්තර දුන්නා. “ඒ දහදෙනා වෙනුවෙන් මම ඒක විනාශ කරන්නේ නැහැ.” 33 යෙහෝවා ආබ්‍රහම් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ එතනින් පිටත් වෙලා ගියා.+ ආබ්‍රහමුත් එයාගේ කූඩාරමට හැරිලා ගියා.
19 දේවදූතයන් දෙන්නා හවස් වෙද්දී සොදොම් නගරයට ආවා. ඒ වෙලාවේ සොදොම් නගරයේ දොරටුව ළඟ ලොත් ඉඳගෙන හිටියා. එයාලව දැක්කාම ලොත් නැඟිටලා එයාලා ළඟට ගිහින් බිමට නැමිලා එයාලට ආචාර කළා.+ 2 ලොත් එයාලට මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමිවරුනි, අද රෑ ඔබේ සේවකයාගේ ගෙදර ඇවිත් නතර වෙන්න. ඔබේ කකුල් හෝදන්න අපිට ඉඩ දෙන්න. ඊටපස්සේ හෙට පාන්දරින්ම නැඟිටලා ඔබේ ගමන යන්න ඔබට පුළුවන්.” ඒත් එයාලා කිව්වා “නැහැ, අද රෑ අපි නතර වෙන්නේ මේ ප්‍රධාන හන්දියේ” කියලා. 3 ඒත් ලොත් ආයේ ආයේ එයාගේ ගෙදරට එන්න කියලා කියපු නිසා ඒ මිනිස්සු දෙන්නා ලොත්ගේ ගෙදරට ගියා. ලොත් මුහුන්* දාන්නේ නැතුව රොටි ටිකක් ඉක්මනට පුච්චලා එයාලා වෙනුවෙන් විශේෂ කෑම වේලක් ලෑස්ති කළා. එයාලා ඒක කෑවා.
4 එයාලා නිදාගන්න යන්නත් කලින් සොදොම් නගරයේ හිටපු පිරිමි ලොත්ගේ ගෙදර වට කළා. බාල මහලු හැම කෙනෙක්ම එතනට කඩාගෙන බිඳගෙන ආවා. 5 එයාලා කෑගහලා ලොත්ට මෙහෙම කිව්වා. “ඔහේගේ ගෙදර රෑ නවතින්න ආපු මිනිස්සු දෙන්නා කෝ. එවනවා එයාලව එළියට. අපිට ඕනෙ අද රෑ එයාලා එක්ක එකට ඉන්න.”*+
6 ඒ වෙලාවේ ලොත් ගෙදරින් එළියට ඇවිල්ලා දොර වැහුවා. 7 ලොත් එයාලට මෙහෙම කිව්වා. “අනේ මගේ සහෝදරයෙනි, දුෂ්ට විදිහට හැසිරෙන්න එපා. 8 ගේ ඇතුළේ මගේ දුවලා දෙන්නා ඉන්නවා. එයාලා කවදාවත් පිරිමි කෙනෙක් එක්ක එකට ඉඳලා නැහැ. ඔයාලා කැමති නං ඒ දෙන්නාව දෙන්නං. ඒත් මේ මිනිස්සුන්ට නං හිරිහැර කරන්න එපා. එයාලා මගේ ගෙදරට ආපු අමුත්තෝ. එයාලව ආරක්ෂා කරන එක මගේ වගකීමක්.”*+ 9 එතකොට ඒ සෙනඟ “අහකට පලයං! පිටගම්කාරයා! අපේ දේශයට ඇවිල්ලා දැන් අපිට නීති දාන්න එනවාද? අපි අරුන් දෙන්නාට කරන්න යනවාට වඩා දරුණු දෙයක් උඹට කරනවා” කියලා ලොත්ව තල්ලු කරලා දොර කඩාගෙන ඇතුළට යන්න හැදුවා. 10 එතකොට ගේ ඇතුළේ හිටපු මිනිස්සු දෙන්නා* ලොත්ව ඇතුළට ඇදලා අරගෙන දොර වැහුවා. 11 ඊටපස්සේ එයාලා දෙන්නා දොරකඩ ළඟ හිටපු ලොකු කුඩා හැමෝගෙම ඇස් අන්ධ කළා. ඉතින් ඒ සෙනඟ එහේ මෙහේ අත පත ගගා දොර හොයන්න සෑහෙන්න උත්සාහ කළත් ඒක හොයාගන්න එයාලට බැරි වුණා.
12 ඊටපස්සේ ඒ මිනිස්සු දෙන්නා ලොත්ට මෙහෙම කිව්වා. “ඔයාගේ නෑයෝ කවුරු හරි මෙහේ ඉන්නවාද? ඔයාගේ පුතාලා, දුවලා, බෑනලා ඒ ඔක්කොමලා එක්ක මේ නගරෙන් එළියට යන්න. 13 අපි මේ නගරේ විනාශ කරන්නයි යන්නේ. මොකද මේ සෙනඟට විරුද්ධව හරිම බරපතළ චෝදනා ගොඩක් යෙහෝවා දෙවියන්ට ඇවිත් තියෙනවා.+ මේ නගරේ විනාශ කරන්න තමයි යෙහෝවා අපිව මෙහෙට එව්වේ.” 14 ඉතින් ලොත් එයාගේ දුවලා එක්ක විවාහ වෙන්න හිටපු අය ළඟට ගිහිල්ලා “යෙහෝවා දෙවියන් මේ නගරේ විනාශ කරන්නයි යන්නේ. ඉක්මන් කරලා මෙහෙන් යන්න” කියලා එයාලට ආයේ ආයේ කිව්වා. ඒත් ලොත්ගේ බෑනලා එයා කියපු දේ විහිළුවකට ගත්තා.+
15 එළිය වැටීගෙන එද්දී දේවදූතයෝ නගරයෙන් යන්න ලොත්ව ඉක්මන් කෙරෙව්වා. එයාලා මෙහෙම කිව්වා. “ඔයාගේ ගෙදර ඉන්න ඔයාගේ බිරිඳයි, දුවලා දෙන්නායි එක්ක දැන්මම මෙහෙන් යන්න. නැත්තං මේ නගරේ ඉන්න පව්කාර මිනිස්සු එක්ක ඔයාත් විනාශ වෙයි.”+ 16 ඒත් ලොත් එහෙන් යන්නේ නැතුව පරක්කු වෙවී හිටියා. යෙහෝවා එයාට අනුකම්පා කරපු නිසා+ ඒ මිනිස්සු දෙන්නා ලොත්ගෙයි, එයාගේ බිරිඳගෙයි, දුවලා දෙන්නාගෙයි අතින් අල්ලගෙන එයාලව නගරයෙන් එළියට අරගෙන ගියා.+ 17 එයාලව නගරයෙන් එළියට ගෙනාපු ගමන්ම ඒ මිනිස්සු දෙන්නාගෙන් එක් කෙනෙක් මෙහෙම කිව්වා. “ජීවිතේ බේරගන්න ඉක්මන් කරලා දුවලා යන්න. මේ පළාතේ කොහෙවත් නවතින්න එපා.+ පිටිපස්ස බලන්නේ නැතුව+ කඳුකරයටම දුවන්න!”
18 එතකොට ලොත් එයාලට මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, මට එහෙට යන්න නං බැහැ. 19 ඔයා ඔයාගේ සේවකයා වන මං ගැන ගොඩක් සැලකිලිමත් වෙලා මගේ ජීවිතේ බේරලා දුන්නා.+ මට ලොකු ආදරයක්* පෙන්නුවා. ඒත් කඳුකරයට යන්න කියලා නං කියන්න එපා. ඒක මට කරන්න බැරි වෙයි. එහෙට යද්දී අනතුරක් වෙලා මං මැරෙයි කියලා මට බයයි.+ 20 අතන පොඩි නගරයක් තියෙනවා. ඒක ළඟ නිසා අනේ, මං එහෙට යන්නද? ඒක පොඩි නගරයක්නේ. එහෙට ගියොත් මට කොහොමහරි බේරෙන්න පුළුවන්.” 21 එතකොට දෙවියන්* ලොත්ට මෙහෙම කිව්වා. “හරි, මං ඔයාගේ ඉල්ලීම ඉටු කරන්නම්.+ ඔයා කිව්ව ඒ නගරේ මං විනාශ කරන්නේ නැහැ.+ 22 ඉක්මන් කරලා ඒ නගරෙට දුවන්න. ඔයා එහෙට යන කල් මට මුකුත් කරන්න බැහැ.”+ ඒ නගරෙට ෂොවර්*+ කියන නම තිබ්බේ ඒ නිසයි.
23 ලොත් ෂොවර්වලට එද්දී ඉර පායලා තිබුණා. 24 ඊටපස්සේ යෙහෝවා සොදොම්, ගොමෝරා නගර පිටට ගිනි සහ ගෙන්දගම් වැටෙන්න සැලැස්සුවා. හරියට අහසින් වැටෙන වැහි වගේ යෙහෝවා දෙවියන් ඒවා වැටෙන්න සැලැස්සුවා.+ 25 දෙවියන් ඒ නගර දෙකයි, ඒ අවට මුළු පළාතමයි විනාශ කළා. ඒ පළාතේ තිබුණු හැම නගරයක්ම, නගරවල හිටපු මිනිස්සු, ගස් කොළන්, ඒ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම විනාශ කළා.+ 26 මේ අතරතුරේ ලොත්ට පිටිපස්සෙන් ආපු එයාගේ බිරිඳ ආපස්ස හැරිලා බැලුවා. එතකොට එයා ලුණු කණුවක් වුණා.+
27 ආබ්‍රහම් උදේ පාන්දරින්ම නැඟිටලා එයා කලින් යෙහෝවා එක්ක කතා කරපු තැනට ගියා.+ 28 සොදොම්, ගොමෝරා සහ ඒ අවට පළාත දිහා බැලුවාම එයාට අදහාගන්න බැරුව ගියා. ඒ පළාතෙන් ගන දුමක් නඟිනවා එයා දැක්කා. ඒක හරියට පෝරණුවකින් නඟින ගන දුමක් වගේ.+ 29 ඒ පළාතේ තිබුණු නගර විනාශ කරද්දී ඒ නගරවලින් ලොත්ව අයින් කරන්න දෙවියන් පියවර ගත්තා. ලොත් පදිංචි වෙලා හිටපු නගරෙන් දෙවියන් එයාව පිටත් කරලා යැව්වා.+ ඒ විදිහට දෙවියන් ආබ්‍රහම්ගේ ඉල්ලීම ගැන සැලකිලිමත් වුණා.
30 පස්සේ ලොත් ෂොවර්වල+ ජීවත් වෙන්න බය වුණ නිසා එහෙන් පිටත් වෙලා කඳුකරයට ගියා.+ එයා දුවලා දෙන්නාත් එක්ක කඳුකරයේ තිබුණු ගුහාවක ජීවත් වුණා. 31 දවසක් එයාගේ ලොකු දුව පොඩි දුවට මෙහෙම කිව්වා. “තාත්තා දැන් හොඳටම වයසයි. අනික, අපිට විවාහ වෙන්න මේ පැත්තේ එක පිරිමියෙක්වත් ඉතුරු වෙලා නෑ. 32 ඉතින් අපි අපේ තාත්තාගේ නම ගෙනියන්න මෙහෙම දෙයක් කරමු. තාත්තාට වයින් බොන්න දීලා අපි එයාත් එක්ක රැයක් ගත කරමු.”
33 එදා රෑ එයාලා දෙන්නා තාත්තාට බොන්න ගොඩක් වයින් දුන්නා. ඊටපස්සේ ලොකු දුව එයාගේ තාත්තාත් එක්ක රෑ ගත කළා. ඒත් ලොත් ඒ ගැන මුකුත් දැනන් හිටියේ නැහැ. 34 පහුවදා ලොකු දුව එයාගේ නංගිට මෙහෙම කිව්වා. “ඊයේ රෑ මං තාත්තාත් එක්ක හිටියා. අද රෑත් අපි තාත්තාට වයින් බොන්න දෙමු. ඊටපස්සේ ඔයාට පුළුවන් එයාත් එක්ක රෑ ගත කරන්න. තාත්තාගේ නම ගෙනියන්න අපි එහෙම කරමු.” 35 එදා රෑත් ඒ දෙන්නා එයාලාගේ තාත්තාට බොන්න වයින් ගොඩක් දුන්නා. ඊටපස්සේ බාල දුව තාත්තාත් එක්ක රෑ ගත කළා. ඒත් ලොත් ඒ ගැන මුකුත් දැනන් හිටියේ නැහැ. 36 ලොත් නිසා දුවලා දෙන්නාටම දරුවෝ ලැබෙන්න හිටියා. 37 පස්සේ ලොකු දුවට පුතෙක් හම්බ වුණා. එයා ඒ පුතාට මෝවබ්+ කියන නම තිබ්බා. එයා තමයි අද ඉන්න මෝවබ්වරුන්ගේ පියා.+ 38 බාල දුවටත් පුතෙක් හම්බ වුණා. එයා ඒ පුතාට බෙන්අම්මි කියන නම තිබ්බා. එයා තමයි අද ඉන්න අම්මොන්වරුන්ගේ පියා.+
20 ආබ්‍රහම් එයා හිටපු තැනින් පිටත් වෙලා නෙගෙබ් පළාතට ගිහිල්ලා කාදෙෂ්+ සහ ෂුර්+ අතරේ කූඩාරම් ගහගත්තා.+ එයා ගෙරාර්වල ඉද්දීත්*+ 2 එයාගේ බිරිඳ වුණ සාරාව හඳුන්වලා දුන්නේ “මේ මගේ නංගි”+ කියලයි. ඉතින් ගෙරාර්වල රජ වුණ අබිමෙලෙක් එයාගේ සේවකයන්ව යවලා සාරාව ගෙන්නගත්තා.+ 3 දවසක් රෑ දෙවියන් හීනයකින් අබිමෙලෙක්ට පෙනිලා මෙහෙම කිව්වා. “වෙනත් කෙනෙක්ගේ බිරිඳක්+ මෙහෙට ගෙන්නගත්ත නිසා ඔයා අනිවාර්යයෙන්ම මැරෙනවා.”+ 4 ඒත් අබිමෙලෙක් සාරාට අතවත් තියලා තිබුණේ නැහැ.* ඒ නිසා එයා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, වරදක් කරලා නැති ජාතියක් ඔබ විනාශ කරනවාද? 5 ‘මේ මගේ නංගි’ කියලයි එයා මට කිව්වේ. ඇය මට කිව්වෙත් ‘මේ මගේ අයියා’ කියලයි. මම මේක දැනගෙන කරපු දෙයක් නෙමෙයි. මගේ අතේ කිසිම වරදක් නැහැ.” 6 එතකොට සැබෑ දෙවියන් එයාට මෙහෙම කිව්වා. “මම දන්නවා ඔයා මේක දැනගෙන කරපු දෙයක් නෙමෙයි කියලා. එයාට අත තියලා මට විරුද්ධව වරදක් කරන එකෙන් මං ඔයාව වැළැක්වුවේ ඒ නිසයි. 7 දැන් ඒ මනුස්සයාගේ බිරිඳව එයාට ආපහු භාර දෙන්න. එයා මගේ අනාගතවක්තෘවරයෙක්.+ එයා ඔයා වෙනුවෙන් මට කන්නලව් කරයි.+ එතකොට ඔයාගේ ජීවිතේ ආරක්ෂා වෙයි. ඒත් ඔයා එයාගේ බිරිඳව ආපහු භාර දුන්නේ නැත්තං ඔයා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඔයායි, ඔයාට අයිති හැමෝමයි මැරෙනවා.”
8 අබිමෙලෙක් උදේ පාන්දරින්ම නැඟිටලා එයාගේ සේවකයන් හැමෝටම අඬගහලා ඒ හැම දෙයක්ම කිව්වා. ඒක ඇහුවාම එයාලා හොඳටම බය වුණා. 9 ඊටපස්සේ අබිමෙලෙක් ආබ්‍රහම්ට එන්න කියලා එයාට මෙහෙම කිව්වා. “ඔයා අපිට මොකක්ද මේ කළේ? ඔයා මාවයි, මගේ සෙනඟවයි මෙච්චර ලොකු වරදකට අහු කරගන්න තරම් මම ඔයාට කරපු වරද මොකක්ද? ඔයා මට කළේ ලොකු වරදක්.” 10 අබිමෙලෙක් ආබ්‍රහම්ගෙන් මෙහෙමත් ඇහුවා. “ඇයි ඔයා මෙහෙම කළේ?”+ 11 එතකොට ආබ්‍රහම් එයාට මෙහෙම කිව්වා. “මෙහේ ඉන්න කවුරුත් දෙවියන්ට පොඩ්ඩක්වත් බය නැහැ කියලයි මට හිතුණේ. ඒ නිසා මගේ බිරිඳව ගන්න මාව මරයි කියලා මං බය වුණා.+ 12 අනික, එයා ඇත්තටම මගේ නංගි කෙනෙක්. අපි දෙන්නාගේ අම්මලා වෙනස් වුණාට තාත්තා එක් කෙනෙක්. මම එයාව විවාහ කරගත්තා.+ 13 පස්සේ කාලෙක දෙවියන් මට කිව්වා මගේ තාත්තාගේ ගෙදර අත්හැරලා ගිහින්+ කූඩාරම්වල ජීවත් වෙන්න කියලා. එතකොට මම සාරාට මෙහෙම කිව්වා. ‘ඔයා ඇත්තටම මට ආදරේ* නං මේ දේ කරන්න. අපි යන හැම තැනකදීම මං ඔයාගේ අයියා කියලා කියන්න.’”+
14 ඊටපස්සේ අබිමෙලෙක් බැටළුවෝ, ගවයෝ සහ සේවක සේවිකාවෝ ආබ්‍රහම්ට දීලා එයාගේ බිරිඳ වුණ සාරාවත් එයාට ආපහු භාර දුන්නා. 15 අබිමෙලෙක් මෙහෙමත් කිව්වා. “මගේ දේශයේ කැමති ඕනෙම තැනක ඔයාට ජීවත් වෙන්න පුළුවන්.” 16 එයා සාරාට මෙහෙම කිව්වා. “මම ඔයාගේ අයියාට+ රිදී ෂෙකෙල් 1,000ක් දෙනවා. ඔයා කිසිම වැරැද්දක් කළේ නැහැ, ඔයා නිර්දෝෂයි කියලා කියන්න ඒක ලකුණක්. මම මෙහේ ඉන්න හැමෝම සහ ඔයා එක්ක ඉන්න හැමෝම ඉස්සරහා සාක්ෂියක් හැටියට ඒක දෙනවා.” 17 ආබ්‍රහම් අබිමෙලෙක් වෙනුවෙන් සැබෑ දෙවියන්ට කන්නලව් කළා. ඊටපස්සේ දෙවියන් අබිමෙලෙක්වයි, එයාගේ බිරිඳවයි, එයාගේ සේවිකාවන්වයි සුව කළ නිසා එයාලට ආයෙත් දරුවන් ලැබෙන්න පටන්ගත්තා. 18 මොකද ආබ්‍රහම්ගේ බිරිඳ වුණ සාරා+ නිසා යෙහෝවා ඒ කාන්තාවන්ට දරුවන් ලැබෙන එක වළක්වලා තිබුණා.
21 යෙහෝවා දෙවියන් කියපු විදිහටම සාරාට ආශීර්වාද කළා. සාරා ගැන පොරොන්දු වුණ දේ යෙහෝවා ඉටු කළා.+ 2 සාරා ගැබ්ගත්තා.+ දෙවියන් කියපු විදිහටම, කියපු කාලේදීම එයාට පුතෙක් හම්බ වුණා.+ ඒ වෙද්දී ආබ්‍රහම් ගොඩක් වයසයි. 3 ආබ්‍රහම් සාරාට හම්බ වුණ පුතාට ඊසාක්+ කියන නම තිබ්බා. 4 දෙවියන් එයාට අණ කරලා තිබුණ විදිහටම ආබ්‍රහම් එයාගේ පුතා වුණ ඊසාක් ඉපදිලා දවස් අටකට පස්සේ එයාව චර්මච්ඡේදනය කළා.+ 5 ඊසාක් ඉපදෙද්දී ආබ්‍රහම්ට වයස අවුරුදු 100යි. 6 සාරා මෙහෙම කිව්වා. “දෙවියන් නිසා මං දැන් සතුටෙන් හිනා වෙනවා. මේ ගැන ආරංචි වෙන හැමෝමත් මාත් එක්ක සතුටු වෙයි.”* 7 සාරා මෙහෙමත් කිව්වා. “‘ආබ්‍රහම්ගේ බිරිඳ සාරා එයාගෙම දරුවෙක්ට කිරි පොවයි’ කියලා කවුද හිතුවේ? ඒත් ආබ්‍රහම් වයසට ගියාට පස්සෙත් මට එයාගෙන් පුතෙක් හම්බ වුණා!”
8 දරුවා ටිකෙන් ටික උස් මහත් වුණා. එයාට මව්කිරි දෙන එක නැවැත්තුවාට පස්සේ ආබ්‍රහම් ලොකු උත්සවයක් ලෑස්ති කළා. 9 ආබ්‍රහම්ගෙන් ඊජිප්තු ජාතික හාගර්ට+ ඉපදුණ පුතා නිතරම ඊසාක්ට හිංසා කරනවා+ සාරා දැක්කා. 10 ඉතින් එයා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “මේ දාසියවයි, එයාගේ පුතාවයි මෙහෙන් යවන්න. ඔයාගේ උරුමය අයිති වෙන්නේ මගේ පුතා ඊසාක්ට. මේ දාසියගේ පුතා එක්ක නං එයාට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.”+ 11 ඒත් ආබ්‍රහම් එයාගේ පුතා වුණ ඉෂ්මායෙල් ගැන සාරා කියපු දේට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.+ 12 දෙවියන් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ දාසියයි, එයාගේ පුතායි ගැන හිතලා කරදර වෙන්න එපා. එයාලා ගැන සාරා කියපු දේ අහන්න. මොකද ඔයාගේ නම ගෙනියන පරම්පරාව* එන්නේ ඊසාක්ගෙන්.+ 13 දාසියගේ පුතාත්+ ඔයාගේ දරුවෙක් නිසා මම එයාගෙනුත් ජාතියක් බිහි කරනවා.”+
14 ඉතින් ආබ්‍රහම් උදේ පාන්දරින්ම නැඟිටලා රොටි සහ වතුර පුරවපු හම් භාජනයක් හාගර්ගේ කර උඩ තිබ්බා. ඊටපස්සේ හාගර්ව එයාගේ පුතාත් එක්ක පිටත් කරලා යැව්වා.+ ඔය විදිහට හාගර් බෙයර්ෂෙබා පාළුකරයේ ඔහේ ඇවිදගෙන ගියා.+ 15 හම් භාජනයේ තිබුණ වතුර ඉවර වුණාට පස්සේ එයා එයාගේ පුතාව පඳුරක් යටින් තිබ්බා. 16 ඊටපස්සේ එයා එතනින් ටිකක් එහාට* ගිහින් ඉඳගත්තා. “අනේ, මගේ පුතා මැරෙනවා මට බලන් ඉන්න බැහැ” කියලා එයා හයියෙන් අඬන්න පටන්ගත්තා.
17 අඬඅඬ හිටපු දරුවාගේ සද්දේ දෙවියන්ට ඇහුණා.+ ඉතින් දෙවියන්ගේ දූතයා ස්වර්ගයේ ඉඳලා හාගර්ට කතා කරලා මෙහෙම කිව්වා.+ “හාගර්, ඔයා අඬන්නේ ඇයි? බය වෙන්න එපා. ඔයාගේ දරුවා අඬන සද්දේ දෙවියන්ට ඇහුණා. 18 දැන් නැඟිටලා ගිහින් පුතාට අත දීලා එයාට නැඟිටින්න උදව් කරන්න. මම එයාගෙන් බලවත් ජාතියක් බිහි කරනවා.”+ 19 ඊටපස්සේ දෙවියන් එයාට ළිඳක් පෙන්නුවා. එයා ඒක ළඟට ගිහිල්ලා හම් භාජනයට වතුර පුරවලා ළමයාට බොන්න දුන්නා. 20 දෙවියන්ගේ ආශීර්වාදය ළමයාට දිගටම ලැබුණා.+ එයා හැදුණේ වැඩුණේ පාළුකරයේ. එයා දුනුවායෙක් වුණා. 21 ඊටපස්සේ එයා පාරාන් පාළුකරයට+ ගිහින් එහේ පදිංචි වුණා. එයාගේ අම්මා ඊජිප්තු දේශයෙන් එයාට බිරිඳක් හොයලා දුන්නා.
22 අබිමෙලෙක් එයාගේ හමුදාවේ ප්‍රධානියා වුණ ෆීකොල් එක්ක ආබ්‍රහම්ව හම්බ වෙන්න ආවා. එයා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “ඔයා කරන කරන හැම දේටම දෙවියන් ඔයාට ආශීර්වාද කරනවා.+ 23 ඉතින් ඔයා මටයි, මගේ දරු මුනුපුරන්ටයි අසාධාරණයක් කරන්නේ නැහැ කියලා දෙවියන් ඉස්සරහා දිවුරන්න. මං ඔයාත් එක්ක වැඩ කළේ විශ්වාසවන්තවයි.* ඔයාත් මා එක්කයි, ඔයා ජීවත් වෙන මේ දේශයේ වැසියන් එක්කයි විශ්වාසවන්තව වැඩ කරන්න.”+ 24 එතකොට ආබ්‍රහම් “එහෙම කරන්න මං දිවුරලා පොරොන්දු වෙනවා” කියලා කිව්වා.
25 ඒත් අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් ළිඳක් අයිති කරගෙන+ තිබුණු නිසා ආබ්‍රහම් ඒ ගැන එයාට දොස් කිව්වා. 26 එතකොට අබිමෙලෙක් මෙහෙම කිව්වා. “මං මේ ගැන කිසි දෙයක් දන්නේ නෑ. කවුද මේක කළේ කියලවත් මං දන්නේ නෑ. ඔයාත් මට මුකුත් කිව්වේ නෑනේ.” 27 ඊටපස්සේ ආබ්‍රහම් අබිමෙලෙක්ට බැටළුවන්ව සහ ගවයන්ව දීලා ඒ දෙන්නා ගිවිසුමක් ඇති කරගත්තා. 28 ආබ්‍රහම් එයාගේ රැළෙන් බැටළු පැටව්* හත්දෙනෙක්ව වෙන් කරලා තිබ්බා. 29 එතකොට අබිමෙලෙක් ආබ්‍රහම්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා මේ බැටළු පැටව් හත්දෙනාව වෙන් කළේ ඇයි?” 30 ආබ්‍රහම් මෙහෙම කිව්වා. “මං මේ බැටළු පැටව් හත්දෙනාව ඔයාට දෙනවා. මේ ළිඳ මම හෑරුවා කියන්න ඒක සාක්ෂියක්.” 31 එයාලා දෙන්නාම ඒ ස්ථානයේදී දිවුරලා පොරොන්දුවක් දුන්න නිසා ආබ්‍රහම් එතනට බෙයර්ෂෙබා*+ කියන නම දැම්මා. 32 එයාලා දෙන්නා බෙයර්ෂෙබාවලදී එහෙම ගිවිසුමක්+ ඇති කරගත්තාට පස්සේ අබිමෙලෙක් එයාගේ හමුදාවේ ප්‍රධානියා වුණ ෆීකොල් එක්ක පිලිස්තිවරුන්ගේ+ දේශයට ආපහු ගියා. 33 ඊටපස්සේ ආබ්‍රහම් බෙයර්ෂෙබාවල ගහක්* හිටෙව්වා. එතනදී එයා සදාකාලික දෙවි+ වන යෙහෝවාගේ නම+ කියලා ඔහුට නමස්කාර කළා.* 34 ආබ්‍රහම් පිලිස්තිවරුන්ගේ දේශයේ සෑහෙන කාලයක් ජීවත් වුණා.*+
22 ටික කාලෙකට පස්සේ සැබෑ දෙවියන් ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසි කරලා බැලුවා.+ දෙවියන් එයාට “ආබ්‍රහම්” කියලා අඬගැහුවා. එතකොට ආබ්‍රහම් “ඇයි මගේ ස්වාමීනි” කියලා ඇහුවා. 2 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “ඔයා ගොඩක් ආදරේ කරන, ඔයාගේ එකම පුතා+ ඊසාක්+ එක්ක මොරියා+ දේශයට යන්න ඔයාට පුළුවන්ද? එහෙදී මම ඔයාට පෙන්නන කන්දට ගිහිල්ලා එයාව දවන පූජාවක් හැටියට ඔප්පු කරන්න.”
3 ආබ්‍රහම් උදේ පාන්දරින්ම නැඟිටලා එයාගේ බූරුවාව ගමනට සූදානම් කරගත්තා. ඊටපස්සේ එයාගේ සේවකයන් දෙන්නෙක් සහ ඊසාක් එක්ක එයා ගමන යන්න පිටත් වුණා. එයා දවන පූජාවට ඕන කරන දරත් පළාගෙන, සැබෑ දෙවියන් කියපු තැනට යන්න පටන්ගත්තා. 4 තුන්වෙනි දවස වෙද්දී ඒ තැන ආබ්‍රහම් ඈත තියාම දැක්කා. 5 ඉතින් ආබ්‍රහම් සේවකයන්ට මෙහෙම කිව්වා. “ඔයාලා බූරුවාත් එක්ක මෙතන ඉන්න. මම පුතා එක්ක අතෙන්ට ගිහිල්ලා නමස්කාර කරලා එන්නම්.”
6 ආබ්‍රහම් දවන පූජාවට ඕන කරන දර එයාගේ පුතා වුණ ඊසාක්ගේ කර උඩින් තිබ්බා. ඊටපස්සේ එයා පිහියකුත් අතට අරගෙන ගින්දර* ටිකකුත් අරගෙන පුතාත් එක්ක ඒ තැනට ඇවිදගෙන යන්න පටන්ගත්තා. 7 ඔහොම යද්දී ඊසාක් “තාත්තේ” කියලා ආබ්‍රහම්ට කතා කළා. ආබ්‍රහම් “ඇයි පුතේ” කියලා ඇහුවා. ඊසාක් මෙහෙම කිව්වා. “දවන පූජාවට ගින්දරයි, දරයි නං තියෙනවා. ඒත් කෝ බැටළුවා?” 8 ආබ්‍රහම් එයාට මෙහෙම කිව්වා. “පුතේ, දවන පූජාවට ඕන කරන බැටළුවා දෙවියන්ම සපයලා දෙයි.”+ ඒ දෙන්නා දිගටම ඇවිදගෙන ගියා.
9 පස්සේ එයාලා සැබෑ දෙවියන් කියපු තැනට ආවා. ආබ්‍රහම් එතන පූජාසනයක් හදලා ඒක උඩ දර ටික පිළිවෙළට තිබ්බා. ඊටපස්සේ එයා ඊසාක්ගේ අත පය බැඳලා පූජාසනයේ දරවලට උඩින් එයාව තිබ්බා.+ 10 ආබ්‍රහම් එයාගේ පුතාව මරන්න පිහිය අතට ගත්තා.+ 11 එතකොටම යෙහෝවාගේ දූතයා ස්වර්ගයේ ඉඳන් “ආබ්‍රහම්! ආබ්‍රහම්” කියලා එයාට කතා කළා. ආබ්‍රහම් “ඇයි ස්වාමීනි” කියලා උත්තර දුන්නා. 12 දෙවියන් දේවදූතයා මාර්ගයෙන් මෙහෙම කිව්වා. “දරුවාට මුකුත් කරන්න එපා. එයාට කිසි අනතුරක් කරන්න එපා. ඔයා ඔයාගේ පුතාව, ඔයාගේ එකම පුතාව වුණත් මට දෙන්න කැමති වුණා.+ ඔයා මට මෙච්චර කීකරු වෙන්නේ ඔයාට මං ගැන ලොකු ගෞරවයක් තියෙන නිසා කියලා දැන් මං දන්නවා.” 13 ආබ්‍රහම් වටපිට බලද්දී එයා හිටපු තැනට කිට්ටුවෙන් බැටළුවෙක් ඉන්නවා දැක්කා. උගේ අං පඳුරක පැටලිලා තිබුණා. ආබ්‍රහම් ඒ බැටළුවාව අරගෙන එයාගේ පුතා වෙනුවට ඌව දවන පූජාවක් විදිහට ඔප්පු කළා. 14 ආබ්‍රහම් ඒ තැනට යෙහෝවායයිරෙ* කියන නම තිබ්බා. “යෙහෝවාගේ කන්දේදී අවශ්‍ය දේ ඔහු සපයයි”+ කියලා මිනිස්සු අදටත් කියන්නේ ඒ නිසයි.
15 යෙහෝවාගේ දූතයා දෙවෙනි පාරටත් ස්වර්ගයේ ඉඳලා ආබ්‍රහම්ට කතා කරලා 16 මෙහෙම කිව්වා. “යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. ‘ඔයාගේ පුතාව, ඔයාගේ එකම පුතාව+ වුණත් ඔයා මට දෙන්න කැමති වුණ නිසා මම මං ගැනම දිවුරලා+ මේ පොරොන්දුව දෙනවා. 17 මම ඔයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. මම ඔයාගෙන් පැවතෙන අයව අහසේ තරු වගේ, මුහුදු වෙරළේ වැලි වගේ+ ගොඩක් වැඩි කරනවා. ඔයාගෙන් පැවත එන කෙනා* එයාගේ සතුරන්ගේ නගර* අයිති කරගන්නවා.+ 18 ඔයා මම කියන දේ ඇහුව නිසා ඔයාගෙන් පැවත එන කෙනා*+ මාර්ගයෙන් පොළොවේ ඉන්න හැම ජාතියක්ම ආශීර්වාද ලබාගන්නවා.’”*+
19 ඊටපස්සේ ආබ්‍රහම් එයාගේ සේවකයන් හිටපු තැනට ආවා. එයාලා බෙයර්ෂෙබාවලට+ ආපහු ගියා. ආබ්‍රහම් බෙයර්ෂෙබාවල දිගටම ජීවත් වුණා.
20 කාලෙකට පස්සේ ආබ්‍රහම්ට මෙහෙම දෙයක් ආරංචි වුණා. “ඔයාගේ අයියා නාහෝර් දැන් තාත්තා කෙනෙක්. එයාගේ බිරිඳ මිල්කාට පුතාලා ඉන්නවා.+ 21 නාහෝර්ගේ කුලුඳුල් පුතාගේ නම ඌෂ්. දෙවෙනියා බූෂ්. ඊටපස්සේ කෙමූවෙල්. එයා තමයි ආරම්ගේ තාත්තා. 22 කෙසෙද්, හෂො, පිල්දාෂ්, යිද්ලෆ් සහ බෙතුයෙලුත්+ නාහෝර්ගේ පුත්තු.” 23 බෙතුයෙල් තමයි රෙබෙකාගේ තාත්තා.+ මිල්කාට ආබ්‍රහම්ගේ අයියා වුණ නාහෝර්ගෙන් ඒ පුතාලා අටදෙනා ඉපදුණා. 24 නාහෝර්ට රෙයුමා කියලා තවත් බිරිඳක් හිටියා. එයාට තේබා, ගහම්, තහෂ් සහ මයකා කියන පුතාලා හම්බ වුණා.
23 සාරා අවුරුදු 127ක් ජීවත් වෙලා මැරුණා.+ 2 කානාන් දේශයේ+ හෙබ්‍රොන්+ කියලත් හඳුන්වන කිර්යත්අර්බාවලදී+ තමයි එයා මැරුණේ. සාරා මැරුණාම ආබ්‍රහම් ගොඩක් අඬා වැලපුණා. 3 ඊටපස්සේ ආබ්‍රහම් එයාගේ බිරිඳගේ මිනිය තිබුණු තැනින් නැඟිටලා ගිහින් හෙත්ගෙන්+ පැවත ආපු අයව හම්බ වෙලා මෙහෙම කිව්වා. 4 “මම ඔයාලා අතරේ ජීවත් වෙන විදේශිකයෙක්.+ ඒත් මං කැමතියි මගේ බිරිඳගේ මිනිය තැන්පත් කරන්න ඉඩමක් මිලට ගන්න.” 5 හෙත්ගෙන් පැවත ආපු අය ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. 6 “ස්වාමීනි, අපි කියන දේ අහන්න. ඔයා අපිට දෙවියන් පත් කරපු අධිපතියෙක්* වගේ.+ ඔයාගේ බිරිඳගේ මිනිය තැන්පත් කරන්න අපේ සොහොන් බිම්වලින් හොඳම එක තෝරගන්න. ඔයා කැමති ඕනම සොහොන් බිමක් ඉල්ලන්න. අපි ඒක ඔයාට නොදී ඉන්නේ නැහැ.”
7 ආබ්‍රහම් නැඟිටලා ඒ දේශයේ වැසියන් වුණ හෙත්ගෙන්+ පැවත ආපු අය ඉස්සරහා හිස නමලා 8 එයාලට මෙහෙම කිව්වා. “මගේ බිරිඳගේ මිනිය මෙහේ තැන්පත් කරන එක ඔයාලට ප්‍රශ්නයක් නෙමෙයි නං මං වෙනුවෙන් මේ දේ කරන්න පුළුවන්ද? ෂෝහර්ගේ පුතා එෆ්‍රොන්ට කියන්න 9 එයාගේ ඉඩම කෙළවරේ තියෙන මක්පේලාවල ගුහාව මට විකුණන්න කියලා. ඔයාලා හැමෝම ඉස්සරහා ඒක මට විකුණන්න එයාට පුළුවන්. ඒකේ වටිනාකමට හරියන රිදී ගාණ+ ගෙවලා මම ඒක එයාගෙන් ගන්නම්. එතකොට සොහොන් බිමක් විදිහට ඒ තැන පාවිච්චි කරන්න මට පුළුවන්.”+
10 ඒ වෙලාවේ එතන හිටපු අය එක්ක එෆ්‍රොනුත් ඉඳගෙන හිටියා. එයාත් හෙත්ගෙන් පැවත ආපු හිත්තීවරයෙක්. ඉතින් එයා හෙත්ගෙන් පැවත ආපු අය සහ නගරේ දොරටුව ළඟ+ හිටපු අය ඉස්සරහා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. 11 “මගේ ස්වාමීනි, ගුහාවත් එක්ක ඒ මුළු ඉඩමම මම ඔයාට දෙන්නම්. මෙතන ඉන්න මගේ නෑදෑයන් ඉස්සරහා මම ඒක ඔයාට දෙන්නම්. ඔයාගේ බිරිඳගේ මිනිය ඒකේ තැන්පත් කරන්න.” 12 එතකොට ආබ්‍රහම් දේශයේ වැසියන් ඉස්සරහා හිස නමලා 13 එයාලා හැමෝටම ඇහෙන්න එෆ්‍රොන්ට මෙහෙම කිව්වා. “මං කියන දේ ටිකක් අහන්නකෝ. ඉඩමේ වටිනාකමට හරියන රිදී ගාණ මම ඔයාට දෙන්නම්. ඒක ගන්න. එතකොට මගේ බිරිඳගේ මිනිය ඒකේ තැන්පත් කරන්න මට පුළුවන්.”
14 එතකොට එෆ්‍රොන් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. 15 “මගේ ස්වාමීනි, මේ අහන්න. ඉඩමේ වටිනාකම රිදී ෂෙකෙල්* 400යි. මේ වෙලාවේ ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. ඔයා ඔයාගේ බිරිඳගේ මිනිය ඒකේ තැන්පත් කරන්න.” 16 එෆ්‍රොන් කියපු දේ අහගෙන හිටියාට පස්සේ ආබ්‍රහම් හෙත්ගෙන් පැවත ආපු අය ඉස්සරහා එෆ්‍රොන් කියපු රිදී ගාණ කිරලා එයාට දුන්නා. ආබ්‍රහම් එයාට රිදී ෂෙකෙල්* 400ක් දුන්නා. වෙළඳුන් පිළිගත්ත බරට අනුවයි ආබ්‍රහම් ඒ රිදී කිරලා දුන්නේ.+ 17 ඉතින් එෆ්‍රොන් මම්රේවලට කිට්ටුවෙන් තිබුණු මක්පේලාවල එයාගේ ඉඩම වික්කා. ඒ ඉඩම, ඒකේ තිබ්බ ගුහාව සහ ඉඩමේ මායිම් ඇතුළේ තිබ්බ හැම ගහක්ම අයිති 18 ආබ්‍රහම්ට කියලා ස්ථිර වුණා. හෙත්ගෙන් පැවත ආපු අය සහ නගරයේ දොරටුව ළඟ හිටපු හැමෝම ඉස්සරහා ආබ්‍රහම් ඒක මිල දීලා ගත්තා. 19 ඊටපස්සේ ආබ්‍රහම් කානාන් දේශයේ හෙබ්‍රොන්වල ඒ කියන්නේ මම්රේවලට කිට්ටුවෙන් තිබුණු මක්පේලාවල ඉඩමේ තිබ්බ ගුහාවේ එයාගේ බිරිඳ වුණ සාරාව තැන්පත් කළා. 20 සොහොන් බිමක් විදිහට පාවිච්චි කරන්න ඒ ඉඩමේ සහ ඒකේ තිබ්බ ගුහාවේ අයිතිය හෙත්ගෙන් පැවත ආපු අය ආබ්‍රහම්ට පැවරුවා.+
24 ආබ්‍රහම් හිටියේ ගොඩක් වයසට ගිහින්. යෙහෝවා දෙවියන් එයාට හැම අතින්ම ආශීර්වාද කරලා තිබුණා.+ 2 ආබ්‍රහම් එයාගේ ගෙදර හැම දෙයක්ම බලාගත්ත, වයසින් වැඩිම සේවකයාට+ කතා කරලා මෙහෙම කිව්වා. “අනේ, ඔයාගේ අත මගේ කළවය යටින් තියලා 3 දිවුරලා මේ පොරොන්දුව දෙන්න. මං ඉන්න කානානිවරුන්ට අයිති මේ දේශයේ ගැහැනු ළමයි අතරින් මගේ පුතාට බිරිඳක් ගේන්නේ නෑ+ කියලා ස්වර්ගයෙත් පොළොවෙත් දෙවි වන යෙහෝවාගේ නාමයෙන් මට දිවුරලා පොරොන්දු වෙන්න. 4 ඔයා මගේ දේශයේ ඉන්න මගේ නෑදෑයන්+ ළඟට ගිහින් මගේ පුතා ඊසාක්ට බිරිඳක් හොයන්න.”
5 එතකොට සේවකයා ආබ්‍රහම්ගෙන් මෙහෙම ඇහුවා. “ඒ කාන්තාව මාත් එක්ක මේ දේශයට එන්න අකමැති වුණොත් මං මොකද කරන්නේ? ඔයාගේ දේශයට ඔයාගේ පුතාව එක්කගෙන යන්නද?”+ 6 ආබ්‍රහම් එයාට මෙහෙම කිව්වා. “මොනම හේතුවක් හින්දවත් මගේ පුතාව ඒ දේශයට එක්කගෙන යන්න එපා.+ 7 ස්වර්ගයේ දෙවි වන යෙහෝවා මගේ තාත්තාගේ ගෙදරින් සහ මගේ නෑදෑයන්ගේ දේශයෙන් මාව පිටතට ගෙනල්ලා,+ ‘ඔයාගෙන් පැවතෙන අයට+ මම මේ දේශය දෙනවා’+ කියලා මට දිවුරලා පොරොන්දු වුණා.+ ඒ නිසා දෙවියන් ඔහුගේ දූතයාව ඔයාට ඉදිරියෙන් යවයි.+ ඔයා අනිවාර්යයෙන්ම මගේ පුතාට ඒ දේශයෙන් බිරිඳක් හොයාගනියි.+ 8 ඒත් එයා ඔයා එක්ක එන්න අකමැති වුණොත් මට දුන්න මේ දිවුරුමෙන් ඔයා නිදහස්. හැබැයි මගේ පුතාව නං එහෙට එක්කගෙන යන්න එපා.” 9 ඉතින් සේවකයා එයාගේ ස්වාමියා වුණ ආබ්‍රහම්ගේ කළවය යටින් අත තියලා ඒ ඉල්ලීම ඉටු කරනවා කියලා දිවුරලා පොරොන්දු වුණා.+
10 ඊටපස්සේ සේවකයා එයාගේ ස්වාමියාට අයිති ඔටුවන් දහදෙනෙක් ගමනට ලෑස්ති කරගත්තා. එයා ලෑස්ති කරගත්ත ඔටුවනුයි, ස්වාමියාට අයිති වටිනා දේවලින් තෑගියි අරගෙන මෙසපොතේමියාවේ නාහෝර් නගරෙට යන්න පිටත් වුණා. 11 එයා ඒ නගරෙට කිට්ටුව තිබුණ ළිඳක් ළඟට ආවා. එයා ඔටුවන්ට එතන ටිකක් ඉඳගන්න ඉඩහැරියා. ඒ වෙද්දී හවස් වෙලා තිබුණා. සාමාන්‍යයෙන් ඒ වෙලාවට තමයි වතුර අදින්න කාන්තාවන් නගරෙන් එළියට එන්නේ. 12 ඒ වෙලාවේ සේවකයා මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවියනි, අනේ, මගේ මේ ඉල්ලීම ඉටු කරලා මගේ ස්වාමියාට ඔයා ගොඩක් ආදරෙයි* කියලා පෙන්නන්න. 13 නගරයේ ඉන්න තරුණියන් වතුර අදින්න දැන් මේ ළිඳ ළඟට එයි. 14 එයාලාගෙන් එක් කෙනෙක්ගෙන් මං අහන්නම් ‘ඔයාගේ කළය ඇල කරලා මට වතුර ටිකක් බොන්න දෙන්න පුළුවන්ද’ කියලා. එතකොට එයා, ‘බොන්න. මම ඔයාගේ ඔටුවන්ටත් වතුර ඇදලා දෙන්නම්’ කියලා කිව්වොත් ඔයාගේ සේවකයා වන ඊසාක්ට ඔයා තෝරලා දෙන තරුණිය එයායි කියලා මට දැනගන්න පුළුවන් වෙයි. ඒ විදිහට වුණොත් මගේ ස්වාමියාට ඔයා ගොඩක් ආදරෙයි* කියලා මම දැනගන්නවා.”
15 එයා යාච්ඤා කරලා ඉවර වෙන්නත් කලින් රෙබෙකා කළයක් උරහිසේ තියාගෙන නගරෙන් එළියට ආවා. රෙබෙකාගේ තාත්තාගේ නම බෙතුයෙල්.+ බෙතුයෙල් කියන්නේ ආබ්‍රහම්ගේ අයියා වුණ නාහෝර්ගෙයි,+ එයාගේ බිරිඳ වුණ මිල්කාගෙයි+ පුතා. 16 රෙබෙකා හරිම ලස්සන තරුණියක්. එයා කන්‍යාවක්. එයා දිය උල්පත තිබුණ තැනට බැහැලා ගිහින් එයාගේ කළයට වතුර පුරවගෙන උඩට ආවා. 17 සේවකයා එයා ළඟට දුවගෙන ගිහිල්ලා “ඔයාගේ කළයෙන් මට වතුර උගුරක් දෙන්න පුළුවන්ද” කියලා ඇහුවා. 18 එයා “බොන්න මගේ ස්වාමීනි” කියලා ඉක්මනින් එයාගේ කළය පහත් කරලා සේවකයාට බොන්න දුන්නා. 19 රෙබෙකා එයාට වතුර බොන්න දුන්නාට පස්සේ “ඔයාගේ ඔටුවන්ටත් ඇති වෙන කල් බොන්න මම වතුර ඇදලා දෙන්නම්” කියලා කිව්වා. 20 එහෙම කියලා එයා ඉක්මනට සත්තුන්ට වතුර දාන දියඔරුවට වතුර වක් කරලා ආයෙත් ළිඳ ළඟට දුවලා ගියා. ඔය විදිහට එයා ආයේ ආයේ ළිඳට ගිහිල්ලා වතුර ඇදලා ඔක්කොම ඔටුවන්ට බොන්න දුන්නා. 21 ඒ වෙන දේවල් අදහාගන්න බැරුව සේවකයා පුදුම වෙලා බලාගෙන හිටියා. යෙහෝවා තමන්ගේ ගමන සාර්ථක කළාද නැද්ද කියලා එයා කල්පනා කළා.
22 ඔටුවන් වතුර බීලා ඉවර වුණාට පස්සේ ඒ සේවකයා තරුණියගේ නහයට දාන්න ෂෙකෙල්* භාගයක් බර රත්තරන් මුද්දකුයි, එයාගේ අත්වලට දාන්න ෂෙකෙල්* දහයක් බර රත්තරන් වළලු දෙකකුයි අතට අරගෙන 23 මෙහෙම ඇහුවා. “ඔයාගේ තාත්තා කවුද? අපිට අද රෑ ඉන්න ඔයාගේ තාත්තාගේ ගෙදර ඉඩ තියෙනවාද?” 24 එතකොට ඒ තරුණිය මෙහෙම කිව්වා. “මම බෙතුයෙල්ගේ+ දුව. මගේ සීයා නාහෝර්.+ ආච්චි මිල්කා. 25 අපි ළඟ සත්තුන්ට දෙන්න ඕනෙ තරම් කෑම තියෙනවා. පිදුරුත් තියෙනවා. රෑට නවතින්න තැනකුත් තියෙනවා.” 26 එතකොට සේවකයා යෙහෝවා ඉස්සරහා දණින් වැටිලා 27 මෙහෙම කිව්වා. “මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි යෙහෝවාට ප්‍රශංසා වේවා! ඔහු මගේ ස්වාමියාට ආදරේ* පෙන්නන්න අමතක කළේ නෑ. මගේ ස්වාමියාට වුණ පොරොන්දු ඔහු ඒ විදිහටම ඉටු කළා. මගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට යන්න යෙහෝවා මට මඟ පෙන්නුවා.”
28 තරුණිය ගෙදරට දුවගෙන ගිහිල්ලා අම්මාටයි, අනිත් අයටයි වෙච්ච හැම දෙයක්ම කිව්වා. 29 රෙබෙකාට ලාබන්+ කියලා අයියා කෙනෙක් හිටියා. එයා ඒ මනුස්සයාව හම්බ වෙන්න නගරෙන් පිටත තිබුණ ළිඳ ළඟට දුවගෙන ගියා. 30 රෙබෙකාගේ අත්වල තිබ්බ වළලුයි, නහයට දාලා තිබ්බ මුද්දයි දැක්ක ලාබන් “ඒ මනුස්සයා මේ මේ දේවල් කිව්වා” කියලා නංගි කියපු දේවල් ඇහුව ගමන්ම තමයි එයාව හම්බ වෙන්න දුවගෙන ගියේ. ඒ මනුස්සයා ළිඳ ළඟ හිටපු ඔටුවන් ගාව වාඩි වෙලා හිටියා. 31 ලාබන් එයාට මෙහෙම කිව්වා. “ඔයාට යෙහෝවාගේ ආශීර්වාදය තියෙනවා. ඔයා මෙතනට වෙලා ඉන්න ඕනෙ නෑ, අපේ ගෙදරට එන්න. ඔයාට නවතින්න තැනක් මම ලෑස්ති කළා. ඔටුවන්ටත් ඉන්න තැනක් තියෙනවා.” 32 ඉතින් ඒ මනුස්සයා ගෙදරට ගියා. ඊටපස්සේ එයා* ඔටුවන්ව ලිහලා උන්ට කෑමයි, පිදුරුයි දුන්නා. එයා ඒ මනුස්සයාටයි, එයාත් එක්ක හිටපු අනිත් මිනිස්සුන්ටයි කකුල් හෝදන්න වතුරත් දුන්නා. 33 ඊටපස්සේ එයාට කන්න කෑම එයා ඉස්සරහා තිබ්බා. හැබැයි ඒ මනුස්සයා කිව්වා “කන්න කලින් මං ආපු කාරණේ කියන්න ඕනෙ” කියලා. ඉතින් ලාබන් කිව්වා “කියන්නකෝ බලන්න” කියලා.
34 එතකොට එයා මෙහෙම කිව්වා. “මම ආබ්‍රහම්ගේ සේවකයෙක්.+ 35 යෙහෝවා දෙවියන් මගේ ස්වාමියාට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා. දෙවියන් එයාව හැම අතින්ම පොහොසත් කරලා තියෙනවා. එයාට ගොඩක් බැටළුවන්, ගවයන්, ඔටුවන්, බූරුවන්, රන් රිදී සහ සේවක සේවිකාවන් ඉන්නවා.+ 36 මගේ ස්වාමියාගේ බිරිඳ වුණ සාරාට එයාගේ මහලු වයසේදී පුතෙක් හම්බ වුණා.+ මගේ ස්වාමියා එයාට තියෙන හැම දෙයක්ම දෙන්නේ ඒ පුතාටයි.+ 37 ඉතින් මගේ ස්වාමියා මට මෙහෙම කිව්වා. ‘මං ඉන්න කානානිවරුන්ට අයිති මේ දේශයේ ගැහැනු ළමයි අතරින් මගේ පුතාට බිරිඳක් ගේන්නේ නෑ කියලා මට දිවුරලා පොරොන්දු වෙන්න.+ 38 ඔයා මගේ තාත්තාගේ නෑදෑයන්+ ළඟට ගිහිල්ලා මගේ පුතා ඊසාක්ට බිරිඳක් හොයාගෙන එන්න ඕනේ.’+ 39 ඒ වෙලාවේ මං මගේ ස්වාමියාගෙන් මෙහෙම ඇහුවා. ‘ඒ කාන්තාව මාත් එක්ක එන්න අකමැති වුණොත් මං මොකද කරන්නේ?’+ 40 එතකොට මගේ ස්වාමියා මට මෙහෙම කිව්වා. ‘මම හැමදාම සේවය කරපු යෙහෝවා දෙවියන්+ ඔහුගේ දූතයාව ඔයාත් එක්ක එවලා+ ඔයාගේ ගමන අනිවාර්යයෙන්ම සාර්ථක කරයි. ඔයා මගේ තාත්තාගේ නෑදෑයන්+ ළඟට ගිහිල්ලා මගේ පුතාට බිරිඳක් හොයාගෙන එන්න. 41 ඔයාට මගේ නෑදෑයන්ව හම්බ වුණාට පස්සේ එයාලාගේ දුවව භාර දෙන්න එයාලා අකමැති වුණොත් මට දුන්න පොරොන්දුවෙන් ඔයා නිදහස්.’+
42 “මම අද ළිඳ ළඟට ආවාට පස්සේ මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවියනි, ඔයා මගේ ගමන සාර්ථක කරනවා නං මේ දේ ඉටු කරලා දෙන්න. 43 වතුර අදින්න මේ ළිඳ ළඟට එන එක තරුණියක්ගෙන්+ මං අහන්නම් “ඔයාගේ කළයෙන් මට වතුර ටිකක් බොන්න දෙන්න පුළුවන්ද” කියලා. 44 එතකොට ඒ තරුණිය “බොන්න. මම ඔයාගේ ඔටුවන්ටත් වතුර ඇදලා දෙන්නම්” කියලා කිව්වොත් යෙහෝවා දෙවියනි, ඔයා මගේ ස්වාමියාගේ පුතාට තෝරලා දෙන තරුණිය එයායි.’+
45 “මම මගේ හිතින් යාච්ඤා කරලා ඉවර වෙන්නත් කලින් පුදුම දෙයක් වුණා. රෙබෙකා කළයක් උරහිසේ තියාගෙන නගරෙන් එළියට ආවා. එයා දිය උල්පත තිබුණ තැනට බැහැලා ගිහින් වතුර අදින්න පටන්ගත්තා. ඊටපස්සේ මම එයාගෙන් මෙහෙම ඇහුවා ‘මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද?’+ 46 එයා ඉක්මනින්ම එයාගේ උරහිසේ තිබුණ කළය පහත් කරලා ‘බොන්න.+ මම ඔයාගේ ඔටුවන්ටත් වතුර ඇදලා දෙන්නම්’ කියලා මට කිව්වා. මම වතුර බිව්වාට පස්සේ එයා ඔටුවන්ටත් බොන්න වතුර දුන්නා. 47 ඊටපස්සේ ‘ඔයාගේ තාත්තා කවුද’ කියලා මම එයාගෙන් ඇහුවා. එයා කිව්වා ‘මම බෙතුයෙල්ගේ දුව. මගේ සීයා නාහෝර්. ආච්චි මිල්කා.’ ඊටපස්සේ මම එයාගේ නහයට මුද්දකුයි, අත්වලට වළලුයි දැම්මා.+ 48 ඊටපස්සේ මම මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි යෙහෝවා+ ඉස්සරහා දණින් වැටිලා ඔහුට ප්‍රශංසා කළා. මගේ ස්වාමියාගේ පුතාට එයාගේ අයියාගේ දුවව තෝරගන්න යෙහෝවා තමයි මට මඟ පෙන්නුවේ. 49 ඔයාලා මගේ ස්වාමියාට ආදරෙයි, එයාට විශ්වාසවන්තයි කියලා පෙන්නන්න කැමතිද කියලා දැන් මට කියන්න. ඔයාලාගේ උත්තරේට අනුව ඊළඟට කරන දේ* තීරණය කරන්න මට පුළුවන්.”+
50 එතකොට ලාබන් සහ බෙතුයෙල් මෙහෙම කිව්වා. “මේක යෙහෝවාගේ මඟ පෙන්වීමෙන් වෙච්ච දෙයක්. ඒ හින්දා මේ ගැන තීරණයක් ගන්න අපිට අයිතියක් නැහැ.* 51 රෙබෙකාව අපි ඔයාට භාර දෙනවා. යෙහෝවා කියපු විදිහටම එයාව ඔයාගේ ස්වාමියාගේ පුතා ළඟට එක්කගෙන ගිහින් පුතාට විවාහ කරලා දෙන්න.” 52 ඒක අහපු ගමන්ම ආබ්‍රහම්ගේ සේවකයා දණින් වැටිලා යෙහෝවාට ස්තුති කළා. 53 ඊටපස්සේ එයා ඇඳුම්, රත්තරන් සහ රිදීවලින් හදපු ආභරණ අරගෙන රෙබෙකාට දුන්නා. එයාගේ අයියාට සහ අම්මාටත් වටිනා දේවල් තෑගි විදිහට දුන්නා. 54 පස්සේ ඒ සේවකයායි, එයා එක්ක හිටපු කට්ටියයි කාලා බීලා එදා රෑ එහේ හිටියා.
එයා පහුවෙනිදා උදේ නැඟිටලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමියා ළඟට ආපහු යන්න මට ඉඩ දෙන්න.” 55 එතකොට රෙබෙකාගේ අයියායි, අම්මායි මෙහෙම කිව්වා. “එයාට අපිත් එක්ක අඩුම ගාණේ තව දවස් දහයක්වත් ඉන්න දෙන්න. ඊටපස්සේ එයාව එක්කගෙන යන්න.” 56 ඒත් සේවකයා එයාලට මෙහෙම කිව්වා. “යෙහෝවා මගේ ගමනට ආශීර්වාද කරලා තියෙන නිසා මාව ප්‍රමාද කරන්න එපා. මගේ ස්වාමියා ළඟට යන්න මට ඉඩ දෙන්න.” 57 එතකොට එයාලා කිව්වා “අපි රෙබෙකාට කතා කරලා මේ ගැන එයාගෙන් අහමු” කියලා. 58 එයාලා රෙබෙකාට එන්න කියලා “ඔයා දැන්ම යන්න කැමතිද” කියලා එයාගෙන් ඇහුවා. එතකොට එයා “මම කැමතියි” කියලා කිව්වා.
59 ඉතින් එයාලා රෙබෙකාවයි,*+ එයාව පොඩි කාලේ ඉඳලා බලාගත්ත සේවිකාවවයි,*+ ආබ්‍රහම්ගේ සේවකයාවයි, එයා එක්ක හිටපු කට්ටියවයි පිටත් කරලා යැව්වා. 60 එයාලා රෙබෙකාට මෙහෙම ආශීර්වාද කළා. “රෙබෙකා, ඔයාට ලක්ෂ ගාණකගේ* අම්මා වෙන්න ලැබේවා! ඔයාගෙන් පැවතෙන අයට එයාලාගේ සතුරන්ගේ නගර* අයිති කරගන්න ලැබේවා!”+ 61 රෙබෙකායි, එයාගේ සේවිකාවනුයි ඔටුවන්ගේ පිටේ නැඟලා ආබ්‍රහම්ගේ සේවකයා එක්ක ගියා. ඒ විදිහට සේවකයා රෙබෙකාව එක්කගෙන ගියා.
62 නෙගෙබ් පළාතේ+ ජීවත් වුණ ඊසාක් බෙයර්ලහයිරොයි+ පැත්තේ ඉඳන් ආවා. 63 කළුවර වැටීගෙන එන වෙලාවේ ඊසාක් එළිමහනේ ඇවිද ඇවිද කල්පනා කරකර හිටියා.+ එතකොට එයා දැක්කා දුර ඈත ඉඳලා ඔටුවන් එනවා. 64 ඊසාක්ව දැක්ක ගමන්ම රෙබෙකා ඔටුවාගේ පිටෙන් බිමට බැස්සා. 65 එයා සේවකයාගෙන් ඇහුවා “අපිව හම්බ වෙන්න එන අර කෙනා කවුද” කියලා. සේවකයා “ඒ මගේ ස්වාමියා” කියලා උත්තර දුන්නා. එතකොට රෙබෙකා එයාගේ සළුවෙන් ඔළුව වහගත්තා. 66 සේවකයා එයා කරපු හැම දෙයක්ම ඊසාක්ට කිව්වා. 67 ඊටපස්සේ ඊසාක් රෙබෙකාව එයාගේ බිරිඳ විදිහට භාර අරන් එයාගේ අම්මා වුණ සාරාගේ කූඩාරමට එයාව එක්කගෙන ගියා.+ ඊසාක්ට රෙබෙකා ගැන ලොකු ආදරයක් ඇති වුණා.+ ඒ විදිහට අම්මා නැති වෙච්ච දුක දරාගන්න ඊසාක්ට පුළුවන් වුණා.+
25 ආබ්‍රහම් ආයෙත් සැරයක් විවාහ වුණා. එයාගේ බිරිඳගේ නම කෙටූරා. 2 කාලයත් එක්ක එයාලට දරුවෝ හම්බ වුණා. එයාලාගේ නම් සිම්රාන්, යොක්ෂාන්, මේදාන්, මිදියන්,+ ඉෂ්බාක් සහ ෂුවාහ්.+
3 යොක්ෂාන්ගේ පුතාලාගේ නම්: ෂෙබා සහ දෙදාන්.
දෙදාන්ගෙන් තමයි අෂ්ෂුරිම්, ලෙටුෂිම් සහ ලෙයුමිම් කියන අය පැවත එන්නේ.*
4 මිදියන්ගේ පුතාලාගේ නම්: ඒෆා, ඒෆෙර්, හනොක්, අබිදා සහ එල්දායා.
එයාලා හැමෝම පැවත ආවේ කෙටූරාගෙන්.
5 ආබ්‍රහම් එයාට අයිති හැම දෙයක්ම ඊසාක්ට දුන්නා.+ 6 ඒත් එයා අනිත් භාර්යාවන්ගේ පුතාලට තෑගි දුන්නා. ආබ්‍රහම් ජීවත් වෙලා ඉද්දීම ඒ පුතාලව එයාගේ පුතා ඊසාක්ගෙන් වෙන් කරලා+ දේශයේ නැඟෙනහිර ප්‍රදේශවලට පිටත් කරලා යැව්වා. 7 ආබ්‍රහම් අවුරුදු 175ක් ජීවත් වුණා. 8 එයා සතුටින්, හොඳ ජීවිතයක් ගත කරලා මහලු වයසේදී මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. 9 ආබ්‍රහම්ගේ පුතාලා වුණ ඊසාක් සහ ඉෂ්මායෙල් මක්පේලාවල ගුහාවේ එයාව තැන්පත් කළා. ඒ ගුහාව තිබුණේ මම්රේට+ ඉදිරියෙන් තිබුණු හිත්තීවරයෙක් වුණ ෂෝහර්ගේ පුතා වුණ එෆ්‍රොන්ගේ ඉඩමේ. 10 ඒ ඉඩම හෙත්ගෙන් පැවත ආපු අයගෙන් ආබ්‍රහම් මිල දීලා අරන් තිබුණා. ආබ්‍රහම්වත් එයාගේ බිරිඳ වුණ සාරා එක්ක+ එතන තැන්පත් කළා. 11 ආබ්‍රහම් මැරුණාට පස්සෙත් එයාගේ පුතා ඊසාක්ට දෙවියන් දිගටම ආශීර්වාද කළා.+ ඒ කාලේ ඊසාක් ජීවත් වුණේ බෙයර්ලහයිරොයිවලට+ කිට්ටුව.
12 ඉෂ්මායෙල්ගේ+ පෙළපත් වාර්තාව ගැන විස්තර පහළින් තියෙනවා. එයා තමයි සාරාගේ ඊජිප්තු ජාතික සේවිකාව වුණ හාගර්ට+ ආබ්‍රහම්ගෙන් හම්බ වුණ පුතා.
13 ඉෂ්මායෙල්ගේ පුතාලාගේ නම් සහ එයාලාගෙන් පැවත ආපු පවුල්වල නම් තමයි මේ. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුතා නෙබායොත්.+ අනිත් පුතාලාගේ නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+ 14 මිෂ්මා, දූමා, මස්සා, 15 හදද්, තේමා, යෙතූර්, නාෆිෂ් සහ කේදෙමා. 16 ඉෂ්මායෙල්ගේ ඒ පුතාලා ගෝත්‍ර භාරව හිටපු අධිපතීන් 12දෙනෙක්.+ එයාලා එක් එක් කෙනාට අයිති වුණ ජනපද සහ කඳවුරු* එයාලාගේ නම්වලින් හැඳින්නුවා. 17 ඉෂ්මායෙල් අවුරුදු 137ක් ජීවත් වෙලා මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. 18 එයාගෙන් පැවත ආපු අය ජීවත් වුණේ එයාලාගේ නෑදෑයන්ට කිට්ටුවෙන්.*+ එයාලා හවිලා ඉඳලා ඇසිරියාව දක්වා තියෙන ප්‍රදේශයේ තමයි ජීවත් වුණේ. හවිලා+ තියෙන්නේ ඊජිප්තුවට කිට්ටුවෙන් තියෙන ෂුර්+ ළඟ.
19 මේ තමයි ආබ්‍රහම්ගේ පුතා ඊසාක්ගේ පෙළපත් වාර්තාව.+
ආබ්‍රහම්ගේ පුතා ඊසාක්. 20 ඊසාක් වයස අවුරුදු 40දී රෙබෙකාව විවාහ කරගත්තා. රෙබෙකා කියන්නේ පදන්ආරම්වල හිටපු අරාමීය ජාතික බෙතුයෙල්ගේ+ දුව වගේම අරාමීය ජාතික ලාබන්ගේ නංගි. 21 ඊසාක්ගේ බිරිඳට කාලයක් යන කල් දරුවෝ හම්බ වුණේ නැති නිසා ඊසාක් ඒ ගැන යෙහෝවාට දිගින් දිගටම කන්නලව් කළා. එයාගේ කන්නලව්වට යෙහෝවා දෙවියන් සවන් දුන්නා. ඊටපස්සේ ඊසාක්ගේ බිරිඳ වුණ රෙබෙකා ගැබ්ගත්තා. 22 එයාගේ කුසේ හිටපු පුතාලා දෙන්නා එකිනෙකා එක්ක පොර අල්ලනවා+ කියලා එයාට දැනුණා. එයා මෙහෙම කිව්වා. “මේ විදිහට දුක් විඳවිඳ ජීවත් වෙලා වැඩක් තියෙනවාද?” ඉතින් රෙබෙකා යාච්ඤා කරලා යෙහෝවාගෙන් ඒ ගැන ඇහුවා. 23 එතකොට යෙහෝවා එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ කුසේ ඉන්න+ දරුවෝ දෙන්නාගෙන් ජාතීන් දෙකක් බිහි වෙනවා. ඒ ජාතීන් දෙක එකිනෙකාගෙන් වෙන් වෙයි.+ එක ජාතියක් අනිත් එකට වඩා බලවත් වෙනවා.+ වැඩිමලා බාලයාට සේවය කරයි.”+
24 දරුවෝ ලැබෙන දවස ආවාම එයා නිවුන් දරුවෝ බිහි කළා. 25 මුලින්ම හම්බ වුණ දරුවාගේ ඇඟ පුරාම රතු පාටට හුරු රෝම තිබුණා.+ එයා ලොම්වලින් හදපු ඇඳුමක් ඇඳගෙන ඉන්නවා වගෙයි පෙනුණේ. ඒ නිසා එයාට ඒසව්*+ කියන නම තිබ්බා. 26 ඊටපස්සේ එයාගේ මල්ලි ඉපදුණා. එයා ඉපදෙද්දී ඒසව්ගේ විලුඹ අල්ලගෙනයි හිටියේ.+ ඒ නිසා එයාට යාකොබ්*+ කියන නම තිබ්බා. රෙබෙකාට එයාලව හම්බ වෙද්දී ඊසාක්ට වයස අවුරුදු 60යි.
27 දරුවෝ දෙන්නා ලොකු මහත් වුණා. ඒසව් එළිමහනේ ජීවත් වෙන්න කැමති, දක්ෂ දඩයක්කාරයෙක් වුණා.+ ඒත් යාකොබ් හරි දේ කරපු නිර්දෝෂ කෙනෙක්. එයා වැඩියෙන් ආස කළේ කූඩාරම්වල ඉන්න.+ 28 ඊසාක් වැඩියෙන් ආදරේ කළේ ඒසව්ට. මොකද ඒසව් එයාට කන්න නිතරම දඩමස් ගෙනත් දුන්නා. ඒත් රෙබෙකා වැඩියෙන් ආදරේ කළේ යාකොබ්ට.+ 29 දවසක් යාකොබ් කෑමක් උයඋය හිටියා. එතකොට දඩයමේ ගිහිල්ලා ගොඩක් මහන්සි වෙලා හිටපු ඒසව් එතනට ආවා. 30 ඒසව් යාකොබ්ට මෙහෙම කිව්වා. “අනේ, ඔයා උයන ඔය රතු පාට කෑමෙන් ටිකක්* මට දෙන්නකෝ. ඉක්මන් කරන්න, මට හරි මහන්සියි.” එයාට ඒදොම්*+ කියන නම ලැබුණේ මේ සිද්ධිය නිසයි. 31 එතකොට යාකොබ් ඒසව්ට මෙහෙම කිව්වා. “හරි දෙන්නම්. ඊට කලින් කුලුඳුලා හැටියට ඔයාට ලැබෙන්න තියෙන දේවල්+ මට දෙනවා කියලා පොරොන්දු වෙන්න.”* 32 එතකොට ඒසව් කිව්වා “මං මේ බඩගින්නේ මැරෙන්න යන වෙලාවේ මට ඕකෙන්* ඇති වැඩේ මොකක්ද” කියලා. 33 යාකොබ් කිව්වා “මුලින්ම මට දිවුරලා පොරොන්දු වෙන්න” කියලා. ඉතින් ඒසව් කුලුඳුල් පුතා හැටියට එයාගේ අයිතිය යාකොබ්ට දෙනවා කියලා දිවුරුවා. එයා ඒක වික්කා.+ 34 ඊටපස්සේ යාකොබ් ඒසව්ට රොටියි, ධාන්‍ය ව්‍යංජනයයි දුන්නා. එයා හොඳට කාලා බීලා ඉවර වුණාට පස්සේ එතනින් යන්න ගියා. මේ විදිහට ඒසව් කුලුඳුල් පුතා හැටියට එයාට තිබුණ අයිතියෙන් එයාට කිසි වැඩක් නැහැ කියලා පෙන්නුවා.
26 ආබ්‍රහම් ජීවත් වුණ කාලේදී දේශයේ ඇති වුණ සාගතයෙන් පස්සේ තවත් සාගතයක් ඇති වුණා.+ ඒ නිසා ඊසාක් ගෙරාර්වල හිටපු පිලිස්තිවරුන්ගේ රජ වුණ අබිමෙලෙක් ළඟට ගියා. 2 යෙහෝවා දෙවියන් ඊසාක්ට දර්ශනය වෙලා මෙහෙම කිව්වා. “ඊජිප්තුවට යන්න එපා. මම ඔයාට පෙන්නන දේශයේ ජීවත් වෙන්න. 3 මේ දේශයේ විදේශිකයෙක් විදිහට ජීවත් වෙන්න.+ මම දිගටම ඔයාත් එක්කම ඉඳලා ඔයාට ආශීර්වාද කරනවා. මම මේ මුළු දේශයම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+ මම ඔයාගේ තාත්තා වුණ ආබ්‍රහම්ට දිවුරලා පොරොන්දු වුණ මේ දේ ඉටු කරනවා.+ 4 ‘මම ඔයාගෙන් පැවතෙන අයව අහසේ තරු වගේ ගොඩක් වැඩි කරනවා.+ මම මේ මුළු දේශයම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ ඔයාගෙන් පැවතෙන අය* මාර්ගයෙන් පොළොවේ ඉන්න හැම ජාතියක්ම ආශීර්වාද ලබාගන්නවා.’*+ 5 ආබ්‍රහම් මගේ හඬට ඇහුම්කන් දීලා මම බලාපොරොත්තු වුණ විදිහටම මගේ ආඥා, පනත් සහ නීතිවලට දිගටම කීකරු වුණ නිසා මම ඒ පොරොන්දුව ඉටු කරනවා.”+ 6 ඒ නිසා ඊසාක් දිගටම ගෙරාර්වල ජීවත් වුණා.+
7 එහේ හිටපු මිනිස්සු එයාගේ බිරිඳ ගැන අහද්දී “ඒ මගේ නංගි”+ කියලයි එයා කිව්වේ. මොකද “එයා මගේ බිරිඳ” කියලා කියන්න ඊසාක් බය වුණා. රෙබෙකා හරිම ලස්සන කෙනෙක්+ නිසා “රෙබෙකාව ලබාගන්න මෙහේ ඉන්න මිනිස්සු මාව මරයි” කියලා ඊසාක් හිතුවා. 8 ඔය විදිහට කාලයක් ගත වෙලා ගියා. දවසක් පිලිස්තිවරුන්ගේ රජ වුණ අබිමෙලෙක් ජනේලයෙන් බලද්දී එයා දැක්කා ඊසාක් රෙබෙකාව ආදරයෙන් තුරුලු කරගන්නවා.*+ 9 එයා ඒ වෙලාවෙම ඊසාක්ට අඬගහලා මෙහෙම ඇහුවා. “රෙබෙකා ඔයාගේ බිරිඳ නේද? ‘එයා මගේ නංගි’ කියලා ඔයා අපිට කිව්වේ ඇයි?” ඊසාක් මෙහෙම උත්තර දුන්නා. “මට බය හිතුණා එයාව ලබාගන්න මිනිස්සු මාව මරයි කියලා.+ ඒ නිසයි මං එහෙම කිව්වේ.” 10 එතකොට අබිමෙලෙක් මෙහෙම කිව්වා. “ඔයා අපිට මොනවාද මේ කළේ?+ ඔයා නිසා අපි අතින් ලොකු වරදක් වෙන්න තිබුණා. කවුරු හරි දන්නේ නැතුව ඔයාගේ බිරිඳ එක්ක හිටියා නම් මොකද වෙන්නේ? අපි වැරදිකාරයෝ වෙනවා නේද?”+ 11 ඊටපස්සේ අබිමෙලෙක් හැමෝටම මෙහෙම අණ කළා. “කවුරු හරි මේ මනුස්සයාට හරි එයාගේ බිරිඳට හරි අත තිබ්බොත් එයාව මරලා දානවා.”
12 ඊසාක් ඒ දේශයේ වගා කරන්න පටන්ගත්තා. යෙහෝවාගේ ආශීර්වාදය නිසා+ ඒ අවුරුද්දේ එයා වපුරපු ප්‍රමාණය වගේ 100 ගුණයක අස්වැන්නක් එයාට ලැබුණා. 13 එයාට තිබුණ දේවල් දවසින් දවස වැඩි වුණා. ඒ විදිහට ඊසාක් ගොඩක් පොහොසත් කෙනෙක් වුණා. 14 එයාට බැටළු රැළවල්, ගව රැළවල් සහ විශාල සේවක පිරිසක් හිටියා.+ ඒ නිසා පිලිස්තිවරු එයාට ඊර්ෂ්‍යා කරන්න පටන්ගත්තා.
15 ඉතින් පිලිස්තිවරු ඊසාක්ගේ තාත්තා වුණ ආබ්‍රහම්ගේ කාලේ එයාගේ සේවකයන් හාරපු ළිංවලට වැලි පුරවලා ඒවා වහලා දැම්මා.+ 16 අබිමෙලෙක් ඊසාක්ට මෙහෙම කිව්වා. “දැන් ඔයා අපිට වඩා ගොඩක් බලවත් වෙලා. ඒ නිසා මෙහෙන් යන්න.” 17 ඉතින් ඊසාක් එහෙන් පිටත් වෙලා ගිහින් ගෙරාර්+ නිම්නයේ කූඩාරම් ගහගෙන ජීවත් වුණා. 18 ඊසාක් එයාගේ තාත්තා වුණ ආබ්‍රහම් හිටිය කාලේ හාරපු ළිං ආපහු හෑරුවා. මොකද ආබ්‍රහම් මැරුණාට පස්සේ පිලිස්තිවරු ඒවා වහලා දාලා තිබුණා.+ ආබ්‍රහම් ඒ ළිංවලට දාලා තිබුණු නම්වලින්ම තමයි ඊසාකුත් ඒ ළිං හැඳින්නුවේ.+
19 නිම්නයේ* ළිං හාරපු ඊසාක්ගේ සේවකයන්ට පිරිසිදු ජල උල්පතක් හම්බ වුණා. 20 එතකොට ගෙරාර්වල හිටපු එඬේරු, “මේ වතුර අපේ” කියලා ඊසාක්ගේ එඬේරු එක්ක රණ්ඩු වුණා. එයාලා ඊසාක් එක්ක රණ්ඩු කරපු නිසා එයා ඒ ළිඳට ඒසෙක්* කියන නම තිබ්බා. 21 ඊටපස්සේ සේවකයෝ තවත් ළිඳක් හෑරුවා. ඒ ළිඳටත් එයාලා රණ්ඩු වුණා. ඉතින් ඊසාක් ඒකට සිත්නා* කියන නම තිබ්බා. 22 පස්සේ එයා එතනින් වෙන තැනකට ගිහින් තවත් ළිඳක් හෑරුවා. එයාලා ඒ ළිඳට රණ්ඩු කළේ නැහැ. ඒ නිසා ඊසාක් ඒකට රෙහොබොත්* කියන නම තියලා මෙහෙම කිව්වා. “යෙහෝවා දැන් අපිට ඉන්න ඇති තරම් ඉඩකඩ සහ ගොඩක් දරුදැරියන් දීලා ආශීර්වාද කරලා තියෙනවා.”+
23 ඊටපස්සේ එයා එතනින් පිටත් වෙලා බෙයර්ෂෙබාවලට ගියා.*+ 24 එදා රෑ යෙහෝවා දෙවියන් එයාට දර්ශනය වෙලා මෙහෙම කිව්වා. “මම ඔයාගේ තාත්තා වන ආබ්‍රහම්ගේ දෙවියන්.+ මම ඔයාත් එක්ක ඉන්නවා. ඒ නිසා බය වෙන්න එපා.+ මගේ සේවකයා වන ආබ්‍රහම් නිසා මම ඔයාට ආශීර්වාද කරලා ඔයාගෙන් පැවතෙන අයගේ ගාණ ගොඩක් වැඩි කරනවා.”+ 25 ඊසාක් එතන පූජාසනයක් හදලා යෙහෝවා කියන නම පාවිච්චි කරලා දෙවියන්ට නමස්කාර කළා.+ ඊටපස්සේ එයා එතන එයාගේ කූඩාරම ගහගත්තා.+ එයාගේ සේවකයෝ එතන ළිඳකුත් හෑරුවා.
26 පස්සේ අබිමෙලෙක් ගෙරාර් ඉඳන් ඊසාක් හිටපු තැනට ආවා. අබිමෙලෙක්ගේ උපදේශකයා වුණ අහුස්සත් වගේම එයාගේ හමුදාවේ ප්‍රධානියා වුණ ෆීකොල්+ එයාත් එක්ක ආවා. 27 ඊසාක් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලට මං ගැන තිබ්බ වෛරය හින්දා මට ඔයාලාගේ දේශයෙන් යන්න කිව්වා. ඉතින් ඇයි දැන් මාව හම්බ වෙන්න ආවේ?” 28 එතකොට එයාලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් ඔයාත් එක්ක ඉන්නවා කියලා අපිට පැහැදිලිව පේනවා.+ ඉතින් අපි හිතුවා ඔයාව හම්බ වෙලා මෙහෙම කියන්න. ‘අනේ අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න.+ ඒ ගිවිසුමට අනුව වැඩ කරනවා කියලා අපි දෙගොල්ලෝ දිවුරලා පොරොන්දු වෙමු. 29 අපි ඔයාට හොඳින් සැලකුවා. කරදරයක් කරන්නේ නැතුව ඔයාව සමාදානයෙන් පිටත් කරලා යැව්වා. ඒ හින්දා ඔයාත් අපිට කරදරයක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. ඔයාට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තියෙනවා කියලා පැහැදිලියි.’” 30 ඊටපස්සේ ඊසාක් එයාලා වෙනුවෙන් විශේෂ කෑමක් ලෑස්ති කළා. එයාලා කාලා බීලා සතුටු වුණා. 31 පහුවදා උදෙන්ම එයාලා නැඟිටලා එකිනෙකාට දිවුරලා පොරොන්දු වුණා.+ ඊටපස්සේ ඊසාක් එයාලව පිටත් කරලා යැව්වා. එයාලත් සමාදානයෙන් පිටත් වෙලා ගියා.
32 එදාම ඊසාක්ගේ සේවකයෝ ඇවිල්ලා එයාලා හාරපු ළිඳ ගැන+ මෙහෙම කිව්වා. “අපිට වතුර හම්බ වුණා!” 33 එයා ඒ ළිඳට ෂීබා කියන නම තිබ්බා. අද වෙන කල් ඒ නගරෙට බෙයර්ෂෙබා+ කියලා කියන්නේ ඒ නිසයි.
34 ඒසව්ට වයස අවුරුදු 40ක් වුණාම එයා හිත්තී ජාතික බෙයේරීගේ දුව වුණ යූදිත්වයි, හිත්තී ජාතික+ ඒලොන්ගේ දුව වුණ බසෙමත්වයි විවාහ කරගත්තා. 35 ඒ කාන්තාවන් දෙන්නා කරපු දේවල් නිසා ඊසාක් සහ රෙබෙකා හිටියේ ලොකු හිතේ අමාරුවකින්.*+
27 ඊසාක්ට ගොඩක් වයස හින්දා එයාගේ ඇසුත් පේන්නේ නැති තරමටම දුර්වල වෙලා තිබුණා. දවසක් එයා එයාගේ ලොකු පුතා ඒසව්ට+ “මගේ පුතේ” කියලා අඬගැහුවා. ඒසව් “ඇයි තාත්තේ” කියලා කිව්වා. 2 ඊසාක් එයාට මෙහෙම කිව්වා. “මං දැන් හොඳටම වයසයි. කවදා මැරෙයිද කියලා දන්නේ නැහැ. 3 ඉතින් ඔයාගේ දුන්නයි, ඊතලයි අරගෙන කැලේට ගිහින් මට දඩමස් ටිකක් අරන් එන්න.+ 4 ඒ මස් ටික මං ආස විදිහට රහට උයලා මට කන්න ගෙනත් දෙන්න. ඊටපස්සේ මැරෙන්න කලින් ඔයාට ආශීර්වාද කරන්න මට පුළුවන්.”
5 ඊසාක් එයාගේ පුතා ඒසව්ට කියපු ඒ හැම දෙයක්ම රෙබෙකා අහගෙනයි හිටියේ. ඒසව් එයාගේ තාත්තාට දඩමස් ගේන්න කැලේට ගියා.+ 6 ඊටපස්සේ රෙබෙකා එයාගේ පුතා යාකොබ්ට+ මෙහෙම කිව්වා. “දැන් ටිකකට කලින් තාත්තා අයියාට කතා කරා. තාත්තා ඒසව්ට මෙහෙම කියනවා මට ඇහුණා. 7 ‘දඩමස් ටිකක් මං ආස විදිහට රහට උයලා මට කන්න ගෙනත් දෙන්න. ඊටපස්සේ මැරෙන්න කලින් යෙහෝවා දෙවියන් ඉස්සරහා මං ඔයාට ආශීර්වාද කරන්නම්.’+ 8 පුතේ, දැන් මං කියන දේ හොඳට අහගෙන ඒ විදිහටම කරන්න.+ 9 ගිහින් රැළේ ඉන්න හොඳම එළු පැටව්* දෙන්නෙක්ව තෝරලා මට ගෙනත් දෙන්න. තාත්තා ආස විදිහටම මං ඒ මස් ටික රහට උයලා දෙන්නම්. 10 ඒක ඔයා තාත්තාට ගිහින් දෙන්න. එතකොට එයාට පුළුවන් මැරෙන්න කලින් ඔයාට ආශීර්වාද කරන්න.”
11 ඒත් යාකොබ් අම්මාට මෙහෙම කිව්වා. “අයියාගේ ඇඟ පුරාම රෝම තියෙනවා.+ ඒත් මට එහෙම නෑනේ. 12 නිකමටවත් තාත්තා මාව අතගාලා බැලුවොත් මොකද වෙන්නේ?+ මං එයාව රවට්ටන්න හදනවා කියලා හිතයි. එතකොට එයා ආශීර්වාද කරනවා වෙනුවට මට ශාප කරයි.” 13 එතකොට අම්මා එයාට මෙහෙම කිව්වා. “මගේ පුතේ, ඔයාට කරන ශාපේ මට වැදුණදෙන්! දැන් මං කියන දේ අහලා අර සත්තු දෙන්නාව මට ගෙනත් දෙන්න.”+ 14 ඉතින් යාකොබ් උන්ව අරන් ඇවිත් එයාගේ අම්මාට දුන්නා. එයා ඒක ඊසාක් ආස කරන විදිහට රහට ඉව්වා. 15 ඊටපස්සේ රෙබෙකා එයාගේ ලොකු පුතා වුණ ඒසව්ගේ හොඳම ඇඳුම් අරගෙන එයාගේ බාල පුතා වුණ යාකොබ්ට+ ඇන්දුවා. 16 එයාගේ අත් දෙකයි, බෙල්ලයි එළු පැටවුන්ගේ හම්වලින් වැහුවා.+ 17 ඊටපස්සේ එයා රහට හදපු මස් එකයි, රොටියි එයාගේ පුතා වුණ යාකොබ්ට දුන්නා.+
18 යාකොබ් තාත්තා ළඟට ගිහිල්ලා “තාත්තේ” කියලා එයාට කතා කළා. එතකොට ඊසාක් “ඔයා කවුද පුතේ” කියලා ඇහුවා. 19 යාකොබ් එයාගේ තාත්තාට මෙහෙම කිව්වා. “මම ඔයාගේ ලොකු පුතා ඒසව්.+ මම ඔයා කියපු විදිහටම කළා. දැන් නැඟිටලා මම ගෙනාපු දඩමස් ටික කන්න. ඊටපස්සේ මට ආශීර්වාද කරන්න.”+ 20 එතකොට ඊසාක් පුතාට මෙහෙම කිව්වා. “පුතේ, ඔයා මෙච්චර ඉක්මනට දඩමස් ගෙනාවේ කොහොමද?” එතකොට යාකොබ් කිව්වා “ඔයාගේ දෙවි යෙහෝවා මට උදව් කළා” කියලා. 21 එතකොට ඊසාක් යාකොබ්ට මෙහෙම කිව්වා. “පුතේ මං ළඟට එන්න. ඔයාව අතගාලා බලලා ඔයා ඇත්තටම මගේ පුතා ඒසව්ද කියලා මට බලන්න ඕනේ.”+ 22 ඉතින් යාකොබ් එයාගේ තාත්තා ළඟට ගියා. තාත්තා එයාව අතගාලා බලලා මෙහෙම කිව්වා. “ඔයාගේ කටහඬ නං යාකොබ්ගේ වගේ. ඒත් අත් දෙක නං ඒසව්ගේ වගේ.”+ 23 එයාගේ අයියා වුණ ඒසව්ගේ අත්වල වගේ එයාගේ අත් දෙකෙත් රෝම තිබුණ නිසා ඊසාක් එයාව අඳුරගත්තේ නැහැ. ඉතින් ඊසාක් යාකොබ්ට ආශීර්වාද කළා.+
24 ඊටපස්සේ එයා මෙහෙම ඇහුවා. “ඔයා ඇත්තටම මගේ පුතා ඒසව්ද?” යාකොබ් “ඔව්, මම ඒසව්” කියලා උත්තර දුන්නා. 25 එතකොට එයා මෙහෙම කිව්වා. “පුතේ, කෑම ටික ගේන්න. ඔයා ගෙනාපු දඩමස් ටික කෑවාට පස්සේ මම ඔයාට ආශීර්වාද කරන්නම්.” ඉතින් උයපු මස් ටිකයි, වයින් ටිකකුයි යාකොබ් තාත්තාට දුන්නා. එයා කෑම කාලා වයින් බිව්වා. 26 ඊටපස්සේ එයාගේ තාත්තා වුණ ඊසාක් එයාට මෙහෙම කිව්වා. “පුතේ, දැන් මං ළඟට ඇවිත් මාව ඉඹින්න.”+ 27 යාකොබ් තාත්තා ළඟට ගිහින් එයාව ඉම්බා. ඊසාක්ට එයාගේ ඇඳුම්වල සුවඳ දැනුණාම+ එයා යාකොබ්ට මෙහෙම ආශීර්වාද කළා.
“මගේ පුතාගේ සුවඳ යෙහෝවා ආශීර්වාද කරපු තණබිම්වල සුවඳ වගේ. 28 සැබෑ දෙවියන්ගෙන් ඔයාට අහසෙන් පිනිත්+ පොළොවෙන් සරු පසත්+ ගොඩක් ධාන්‍යත් අලුත් වයිනුත් ලැබේවා!+ 29 ජනයා ඔයාට සේවය කරයි. ජාතීන් ඔයාට හිස නමයි. ඔයා ඔයාගේ සහෝදරයන්ව පාලනය කරයි. ඔයාගේ සහෝදරයෝ ඔයාට හිස නමයි!+ ඔයාට ශාප කරන හැමෝටම ශාප වේවා! ඔයාට ආශීර්වාද කරන හැමෝටම ආශීර්වාද ලැබේවා!”+
30 ඊසාක් යාකොබ්ට ආශීර්වාද කරලා ඉවර වුණාම එයා එතනින් ගියා. එයා යනවාත් එක්කම එයාගේ අයියා වුණ ඒසව් දඩයමේ ගිහිල්ලා ආවා.+ 31 එයාත් කෑමක් රහට උයාගෙන එයාගේ තාත්තා ළඟට ඒක අරගෙන ගිහින් මෙහෙම කිව්වා. “තාත්තේ, නැඟිටලා ඔයාගේ පුතා ගෙනාපු දඩමස් ටික කන්න. ඊටපස්සේ ඔයාට පුළුවන් මට ආශීර්වාද කරන්න.” 32 එතකොට එයාගේ තාත්තා වුණ ඊසාක් “ඔයා කවුද” කියලා ඇහුවා. එයා කිව්වා “මම ඔයාගේ ලොකු පුතා, ඒසව්”+ කියලා. 33 හොඳටම කලබල වුණ ඊසාක් වෙවුලන්න පටන්ගත්තා. එයා මෙහෙම ඇහුවා. “එතකොට දැන් ටිකකට කලින් දඩයමේ ගිහින් මට දඩමස් ගෙනත් දුන්නේ කවුද? ඔයා එන්න කලින් මම ඒක කාලා එයාට ආශීර්වාද කළා. ඒ ආශීර්වාද එයාට අනිවාර්යයෙන්ම ලැබෙයි.”
34 එයාගේ තාත්තා කියපු දේ ඇහුව ගමන්ම ඒසව් හරිම දුකෙන් කෑගහලා තාත්තාගෙන් මෙහෙම ඉල්ලුවා. “අනේ තාත්තේ, මටත් ආශීර්වාද කරන්න.”+ 35 ඒත් ඊසාක් මෙහෙම කිව්වා. “ඔයාගේ මල්ලි මාව රවට්ටලා ඔයාට ලැබෙන්න ඕනෙ ආශීර්වාදය ලබාගත්තා.” 36 එතකොට ඒසව් මෙහෙම කිව්වා. “එයාට යාකොබ්* කියන නම දුන්නේ නිකන්ද? එයා දෙපාරක්ම මට අයිති දේ උදුරගත්තා.+ එයා මුලින්ම කුලුඳුලා හැටියට මගේ අයිතිය ගත්තා.+ දැන් මට ලැබෙන්න තිබුණු ආශීර්වාදයත් උදුරගත්තා.”+ ඊටපස්සේ ඒසව් ඊසාක්ගෙන් මෙහෙමත් ඇහුවා. “අනේ තාත්තේ, ඔයා මට ආශීර්වාදයක් ඉතුරු කළේ නැද්ද?” 37 ඒත් ඊසාක් ඒසව්ට මෙහෙම උත්තර දුන්නා. “මම එයාව ඔයාගේ පාලකයා හැටියට පත් කළා.+ එයාගේ සහෝදරයන් හැමෝම එයාගේ සේවකයන් හැටියට දෙනවා කියලා කිව්වා. ධාන්‍ය සහ අලුත් වයින් අඩුවක් නැතුව ලැබෙන්න කියලත් මම එයාට ආශීර්වාද කළා.+ ඉතින් මගේ පුතේ, ඔයාට දෙන්න දැන් ආශීර්වාදයක් ඉතුරු වෙලා නැහැනේ.”
38 ඒසව් තාත්තාට මෙහෙම කිව්වා. “අනේ තාත්තේ, මට දෙන්න එක ආශීර්වාදයක්වත් ඉතුරු වෙලා නැද්ද? අනේ තාත්තේ, මටත් ආශීර්වාද කරන්නකෝ.” එහෙම කියලා ඒසව් කෑගහලා අඬන්න පටන්ගත්තා.+ 39 එතකොට එයාගේ තාත්තා වුණ ඊසාක් එයාට මෙහෙම කිව්වා.
“ඔයාට සරු පසක් නැති, අහසෙන් පිනි වැටෙන්නේ නැති තැන්වල ජීවත් වෙන්න වෙයි.+ 40 ජීවිත කාලේ පුරාම ඔයාගේ කඩුව ඔයාට ළඟ තියාගන්න වෙයි.+ ඔයා මල්ලිගේ සේවකයා වෙනවා.+ ඒත් ඔයාගේ ඉවසීම නැති වුණ දවසට එයා ඔයා පිට පටවලා තියෙන වියගහ ඔයා කඩලා දානවා.”*+
41 තාත්තා යාකොබ්ට ආශීර්වාද කරපු නිසා ඒසව් යාකොබ් එක්ක වෛර බැඳගත්තා.+ ඒසව් මෙහෙම හිතාගත්තා. “තාත්තා තව වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ.*+ ඊටපස්සේ මම මල්ලිව මරනවා.” 42 ඒසව් කරන්න හිතාගෙන හිටපු දේ ගැන රෙබෙකා දැනගත්ත ගමන්ම එයාගේ බාල පුතා වුණ යාකොබ්ට එන්න කියලා එයා මෙහෙම කිව්වා. “ඔයාගේ අයියා ඒසව් බලන් ඉන්නේ ඔයාගෙන් පළිගන්න. එයා ඔයාව මරන්නයි හදන්නේ.* 43 ඒ නිසා පුතේ, මං කියන දේ අහන්න. ඉක්මන් කරලා හාරාන්වල ඉන්න මගේ අයියා, ලාබන් ළඟට යන්න.+ 44 ඔයාගේ අයියාගේ කේන්තිය අඩු වෙන කල් ඔයා එහෙට වෙලා ටික කාලයක් ඉන්න. 45 ඔයාගේ අයියාගේ කේන්තිය අඩු වෙලා ඔයා කරපු දේ එයාට අමතක වෙන කල් ඔයා එහෙට වෙලා ඉන්න. ඔයා ආපහු එන්න ඕනෙ කවදාද කියලා මං ඔයාට දන්වලා එවන්නම්. එකම දවසේ ඔයාලා දෙන්නාවම නැති කරගන්න මට බැහැ.”
46 රෙබෙකා ඊසාක්ට කීප සැරයක්ම මෙහෙම කිව්වා. “හෙත්ගේ දුවලා+ දෙන්නා නිසා මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. යාකොබ් කවදා හරි ඒසව් වගේ මේ අවට ඉන්න හෙත්ගේ දුවෙක්ව බැන්දොත් මට ජීවත් වෙලා වැඩක් නැහැ.”+
28 ඉතින් ඊසාක් යාකොබ්ට එන්න කියලා එයාට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “පුතේ, කානාන් දේශයේ කාන්තාවක්ව බිරිඳ විදිහට තෝරගන්න එපා.+ 2 පදන්ආරම්වල ඉන්න ඔයාගේ සීයා වන බෙතුයෙල්ගේ ගෙදරට යන්න. එහේ ඔයාගේ මාමා, ලාබන් ඉන්නවා. එයාගේ දුවෙක්ව බිරිඳ විදිහට තෝරගන්න.+ 3 සියලු බලැති දෙවියන් ඔයාට ආශීර්වාද කරයි. ඒ නිසා ඔයාගෙන් පැවතෙන අයගේ ගාණ ගොඩක් වැඩි වෙයි. ඔයාගෙන් විශාල සෙනඟක් බිහි වෙයි.+ 4 මගේ තාත්තා ආබ්‍රහම්ට දෙවියන් ආශීර්වාද කළා වගේ+ ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි ආශීර්වාද කරයි. දෙවියන් ආබ්‍රහම්ට දුන්න දේශය, දැන් ඔයා විදේශිකයෙක් විදිහට ජීවත් වෙන මේ දේශය එතකොට ඔයාට උරුම වෙයි.”+
5 ඊටපස්සේ ඊසාක් පදන්ආරම්වල ජීවත් වුණ ලාබන් ළඟට යාකොබ්ව පිටත් කරලා යැව්වා. අරාමීය+ ජාතික බෙතුයෙල්ගේ පුතා වුණ ලාබන් තමයි යාකොබ්ගෙයි, ඒසව්ගෙයි අම්මා වුණ රෙබෙකාගේ+ අයියා.
6 ඊසාක් යාකොබ්ට ආශීර්වාද කරලා බිරිඳක්ව හොයාගන්න එයාව පදන්ආරම්වලට යැව්වා කියලා ඒසව්ට දැනගන්න ලැබුණා. යාකොබ්ට ආශීර්වාද කරද්දී “කානාන් දේශයේ කාන්තාවක්ව බිරිඳ හැටියට තෝරගන්න එපා”+ කියලා ඊසාක් කිව්වා කියලත් 7 යාකොබ් එයාගේ අම්මාටයි, තාත්තාටයි කීකරු වෙලා පදන්ආරම්වලට+ ගියා කියලත් එයාට දැනගන්න ලැබුණා. 8 එතකොට ඒසව් තේරුම්ගත්තා එයාගේ තාත්තා වන ඊසාක් කානාන් දේශයේ කාන්තාවන්ට කැමති නැහැ කියලා.+ 9 ඉතින් ඒසව් එයාට හිටපු භාර්යාවන්ට අමතරව ආබ්‍රහම්ගේ පුතා වුණ ඉෂ්මායෙල්ගේ දුවවත් විවාහ කරගත්තා. එයා විවාහ කරගත්තේ නෙබායොත්ගේ නංගි වුණ මහලත්වයි.+
10 යාකොබ් බෙයර්ෂෙබාවලින් පිටත් වෙලා හාරාන්+ දිහාවට ගමන් කළා. 11 ඉර බැහැලා ගිහින් තිබුණ නිසා එක තැනකට ආවාම එදා රෑ එතන නවතින්න එයා තීරණය කළා. එතන තිබුණ එක ගලක් තෝරගෙන ඒක උඩ ඔළුව තියලා එයා නිදාගත්තා.+ 12 එයා නිදාගෙන ඉද්දී හීනෙන් දැක්කා පොළොවේ ඉඳන් ස්වර්ගය වෙන කල්ම තියෙන පඩි පෙළක්.* දේවදූතයන් ඒක දිගේ නඟිනවා බහිනවත් එයා දැක්කා.+ 13 ඒකට ඉහළින් යෙහෝවා දෙවියන් ඉන්නවත් එයා දැක්කා. දෙවියන් මෙහෙම කිව්වා.
“මම යෙහෝවා. ඔයාගේ සීයා වුණ ආබ්‍රහම්ගෙත් ඔයාගේ තාත්තා වන ඊසාක්ගෙත් දෙවියන් මමයි.+ ඔයා දැන් නිදාගෙන ඉන්න තැනත් මේ දේශයත් මම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+ 14 ඔයාගෙන් පැවතෙන අය පොළොවේ දූවිලි වගේ ගොඩක් වැඩි වෙනවා.+ ඔයාගෙන් පැවතෙන අය දේශයේ හතර දිශාවටම පැතිරිලා යනවා. ඔයා නිසාත් ඔයාගෙන් පැවතෙන අය* නිසාත් පොළොවේ හැම පවුලකටම අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙනවා.*+ 15 මම ඔයාත් එක්කම ඉන්නවා. ඔයා කොහේ ගියත් මම ඔයාව ආරක්ෂා කරනවා. මම ඔයාව ආපහු මේ දේශයට අරගෙන එනවා.+ මම ඔයාව අත්හරින්නේ නැහැ. ඔයාට දීපු පොරොන්දුව මම අනිවාර්යයෙන්ම ඉටු කරනවා.”+
16 ඊටපස්සේ යාකොබ් නින්දෙන් ඇහැරිලා මෙහෙම කිව්වා. “ඇත්තටම යෙහෝවා දෙවියන් මෙතන ඉන්නවා. මම ඒක දැනන් හිටියේ නැහැ.” 17 එයා බය වෙලා මෙහෙම කිව්වා. “මේක මොන තරම් පුදුමාකාර තැනක්ද! දෙවියන්ගේ ගෘහය තියෙන්නේ මෙතන.+ ස්වර්ගයේ දොරටුව තියෙන්නේ මෙතනයි.”+ 18 යාකොබ් පාන්දරින්ම නැඟිටලා එයා ඔළුව තියපු ගල අරගෙන ඒක කණුවක් විදිහට එතන හිටෙව්වා. ඊටපස්සේ ඒ ගල උඩට තෙල් වක් කළා.+ 19 එයා එතනට බෙතෙල්* කියන නම තිබ්බා. ඊට කලින් ඒ නගරේ නම ලූෂ්.*+
20 ඊටපස්සේ යාකොබ් මේ පොරොන්දුව දුන්නා. “දෙවියන් දිගටම මාත් එක්ක ඉඳලා මගේ ගමනේදී මාව ආරක්ෂා කළොත් මට කන්න රොටි, අඳින්න ඇඳුම් දීලා 21 අනතුරක් නැතුව මගේ තාත්තාගේ ගෙදරට මාව ආයෙත් අරන් ගියොත් යෙහෝවා මගේ දෙවියන් කියලා අනිවාර්යයෙන්ම ඔප්පු වෙයි. 22 කණුවක් විදිහට මම හිටවපු මේ ගලෙන් දෙවියන්ගේ ගෘහය නියෝජනය වෙයි.+ දෙවියනි, ඔයා මට දෙන හැම දේකින්ම දහයෙන් කොටසක් මම අනිවාර්යයෙන්ම ඔයාට දෙන්න පොරොන්දු වෙනවා.”
29 ඊටපස්සේ යාකොබ් පෙරදිග දේශය* දිහාවට ආයෙත් ගමන් කරන්න පටන්ගත්තා. 2 එහෙට ආවාම එයා දැක්කා බැටළු රැළවල් තුනක් තණබිමක තිබුණ ළිඳක් ළඟ ඉඳගෙන ඉන්නවා. එඬේරුන් සත්තුන්ට වතුර ඇදලා දුන්නේ ඒ ළිඳෙන්. ලොකු ගලකින් ළිං කට වහලා තිබුණා. 3 හැම සත්ව රැළක්ම එතනට ගෙනාවාට පස්සේ තමයි එඬේරු ළිං කටෙන් ගල අහකට පෙරළලා සත්තුන්ට බොන්න වතුර ඇදලා දුන්නේ. ඊටපස්සේ එයාලා ගලෙන් ළිං කට ආයෙත් වහලා දානවා.
4 යාකොබ් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “සහෝදරයෙනි, ඔයාලා කොහේ කට්ටියක්ද?” “අපි ඉන්නේ හාරාන්වල”+ කියලා එයාලා උත්තර දුන්නා. 5 යාකොබ් එයාලාගෙන් මෙහෙමත් ඇහුවා. “ඔයාලා නාහෝර්ගේ+ මුනුපුරා ලාබන්ව+ අඳුරනවාද?” එයාලා කිව්වා “ඔව්, අපි එයාව අඳුරනවා” කියලා. 6 එතකොට යාකොබ් “එයා සනීපෙන් ඉන්නවාද” කියලා එයාලාගෙන් ඇහුවා. එයාලා මෙහෙම කිව්වා. “ඔව්, එයා හොඳින් ඉන්නවා. අර බැටළුවන් එක්ක මේ පැත්තට එන්නේ එයාගේ දුව, රාකෙල්.”+ 7 ඊටපස්සේ යාකොබ් එයාලට මෙහෙම කිව්වා. “තාම හවස් වෙලාවත් නැහැනේ. රැළවල් එකතු කරගන්න තව ගොඩක් වෙලා තියෙනවා. බැටළුවන්ට වතුර බොන්න දීලා උන්ව ආපහු තණබිමට එක්කගෙන යන්න.” 8 එයාලා මෙහෙම උත්තර දුන්නා. “හැම සත්ව රැළක්ම මෙතනට ගෙනාවාට පස්සේ තමයි ළිං කටෙන් ගල අහකට පෙරළන්නේ. එතකල් බැටළුවන්ට වතුර බොන්න දෙන්න අපිට අවසර නැහැ.”
9 යාකොබ් එයාලා එක්ක කතා කරකර ඉද්දී රාකෙල් එයාගේ තාත්තාගේ බැටළුවන් එක්ක එතනට ආවා. රාකෙල් තමයි තාත්තාගේ බැටළුවන්ව බලාගත්තේ. 10 යාකොබ් එයාගේ මාමා වුණ ලාබන්ගේ දුවවයි, ලාබන්ගේ බැටළුවන්වයි දැක්ක ගමන්ම ළිඳ ළඟට ගිහිල්ලා ළිං කටෙන් ගල අහකට පෙරළුවා. ඊටපස්සේ එයා ලාබන්ගේ බැටළුවන්ට බොන්න වතුර ඇදලා දුන්නා. 11 යාකොබ් රාකෙල්ව ඉඹලා එයාව පිළි අරන් හයියෙන් අඬන්න පටන්ගත්තා. 12 යාකොබ් එයාට කිව්වා එයා රාකෙල්ගේ තාත්තාගේ නෑයෙක්* කියලා. එයා රෙබෙකාගේ පුතා කියලා. එතකොට රාකෙල් දුවගෙන ගිහින් එයාගේ තාත්තාට ඒ ගැන කිව්වා.
13 එයාගේ නංගිගේ පුතා වුණ යාකොබ් ඇවිත් ඉන්නවා කියලා ලාබන්+ දැනගත්ත ගමන්ම එයාව හම්බ වෙන්න දුවගෙන ගියා. එයා යාකොබ්ව බදාගෙන ඉඹලා, ඊටපස්සේ එයාව එයාගේ ගෙදරට එක්කගෙන ගියා. යාකොබ් ලාබන්ට ඔක්කොම විස්තර කිව්වා. 14 ලාබන් එයාට මෙහෙම කිව්වා. “ඔයා මගේම පවුලේ කෙනෙක්.”* ඉතින් යාකොබ් ලාබන්ගේ ගෙදර මාසයක් හිටියා.
15 ලාබන් යාකොබ්ට මෙහෙම කිව්වා. “ඔයා මගේ නෑයෙක්*+ වුණාට මට නිකං වැඩ කරන්න ඕනෙ නැහැ. ඔයාට කුලියක් ගෙවන්න මං කැමතියි. ඒක කීයද කියලා මට කියන්න.”+ 16 ලාබන්ට දුවලා දෙන්නෙක් හිටියා. ලොකු දුවගේ නම ලෙයා. බාල දුවගේ නම රාකෙල්.+ 17 ලෙයාට එච්චර ලස්සන පෙනුමක් තිබුණේ නැහැ.* හැබැයි රාකෙල් හරිම ලස්සනයි. 18 යාකොබ්ට රාකෙල් ගැන ආදරයක් ඇති වුණා. ඒ නිසා එයා ලාබන්ට මෙහෙම කිව්වා. “ඔයාගේ බාල දුව රාකෙල් වෙනුවෙන් ඔයාට අවුරුදු හතක් සේවය කරන්න මං කැමතියි.”+ 19 ලාබන් මෙහෙම කිව්වා. “එයාව වෙන කෙනෙක්ට දෙනවාට වඩා ඔයාට දෙන්න මං කැමතියි. දිගටම අපිත් එක්ක ජීවත් වෙන්න.” 20 යාකොබ් රාකෙල් වෙනුවෙන් අවුරුදු හතක් සේවය කළා.+ ඒත් එයා රාකෙල්ට ගොඩක් ආදරේ කරපු හින්දා ඒක ටික දවසක් වගෙයි එයාට දැනුණේ.
21 ඊටපස්සේ යාකොබ් ලාබන්ට මෙහෙම කිව්වා. “මම සේවය කරන්න පොරොන්දු වුණ කාලේ ඉවරයි. දැන් ඉතින් මගේ බිරිඳ එක්ක ඉන්න මට ඉඩ දෙන්න.” 22 ඉතින් ලාබන් එහේ හිටපු හැමෝටම එන්න කියලා උත්සවයක් ලෑස්ති කළා. 23 ඒත් රෑ වුණාට පස්සේ ලාබන් එයාගේ ලොකු දුව ලෙයාව තමයි යාකොබ් එක්ක ඉන්න එයා ළඟට යැව්වේ. 24 ලාබන් එයාගේ සේවිකාව වුණ ෂිල්පාව එයාගේ දුව වුණ ලෙයාට සේවිකාවක් විදිහට දුන්නා.+ 25 පහුවෙනිදා උදේ යාකොබ් දැක්කා එයාත් එක්ක ඉඳලා තියෙන්නේ ලෙයා කියලා. ඉතින් එයා ලාබන්ට මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මට මේ කළේ? මම ඔයාට සේවය කළේ රාකෙල් වෙනුවෙන් නේද? ඇයි ඔයා මාව රැවැට්ටුවේ?”+ 26 ලාබන් මෙහෙම උත්තර දුන්නා. “මේ පැත්තේ සාමාන්‍යයෙන් ලොකු දුවට කලින් බාල දුවව විවාහ කරලා දෙන්නේ නැහැ. 27 ලෙයාත් එක්ක මේ මංගල සතිය සමරන්න. ඊටපස්සේ මං එයාගේ නංගිවත් ඔයාට දෙන්නම්. එයා වෙනුවෙන් තව අවුරුදු හතක් ඔයා මට සේවය කරන්න.”+ 28 යාකොබ් ලාබන් කියපු විදිහට ලෙයාත් එක්ක මංගල සතිය සැමරුවා. ඊටපස්සේ ලාබන් එයාගේ දුව වුණ රාකෙල්වත් බිරිඳක් විදිහට යාකොබ්ට දුන්නා. 29 ලාබන් එයාගේ සේවිකාව වුණ බිල්හාව+ රාකෙල්ට සේවිකාවක් විදිහට දුන්නා.+
30 යාකොබ් රාකෙල්ව බිරිඳ විදිහට භාර අරන් එයාත් එක්ක හිටියා. එයා ලෙයාට වඩා රාකෙල්ට ආදරේ කළා. රාකෙල් වෙනුවෙන් එයා තව අවුරුදු හතක් ලාබන්ට සේවය කළා.+ 31 ලෙයාට ආදරේ ලැබෙන්නේ නැහැ කියලා යෙහෝවා දෙවියන් දැක්කා. ඒ නිසා දරුවන් බිහි කරන්න ඔහු එයාට ආශීර්වාද කළා.+ ඒත් රාකෙල්ට දරුවන් හම්බ වුණේ නැහැ.+ 32 ලෙයා ගැබ්ගෙන පුතෙක් බිහි කළා. එයා කිව්වා “මම විඳින දුක යෙහෝවා දැක්කා.+ දැන්වත් මගේ සැමියා මට ආදරේ කරයි” කියලා. ඒ නිසයි එයා පුතාට රූබෙන්*+ කියන නම දැම්මේ. 33 එයා ආයෙත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කළා. “යෙහෝවා මට සවන් දුන්නා. මට ආදරේ ලැබුණේ නැති නිසා ඔහු මට තවත් දරුවෙක් දුන්නා” කියලා එයා ඒ පුතාට සිමියොන්*+ කියන නම තිබ්බා. 34 ලෙයා ආයෙත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කළා. “මම දැන් මගේ සැමියාට පුත්තු තුන්දෙනෙක්ම දුන්නා. දැන් නං එයා මට ආදරේ කරයි” කියලා එයා කිව්වා. ඒ නිසයි ඒ පුතාට ලෙවී*+ කියන නම තිබ්බේ. 35 එයා තවත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කරලා මෙහෙම කිව්වා. “මේ පාර මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.” ඒ නිසා එයා පුතාට යූදා*+ කියන නම තිබ්බා. එයාව හම්බ වුණාට පස්සේ ටික කාලයක් යන කල් එයාට දරුවන් ලැබුණේ නැහැ.
30 දරුවන් හම්බ වෙන්නේ නැහැ කියලා තේරුණාම රාකෙල් එයාගේ අක්කාට ඊර්ෂ්‍යා කරන්න පටන්ගත්තා. ඒ නිසා එයා යාකොබ්ට මෙහෙම කිව්වා. “මට දරුවෙක් දෙන්න. නැත්තං මං මැරෙන එක හොඳයි.” 2 එතකොට යාකොබ්ට රාකෙල් එක්ක හොඳටම කේන්ති ගියා. එයා මෙහෙම කිව්වා. “ඔයාට දරුවන් නොදී ඉන්නේ මමද? දෙවියන් ඔයාට ඒ ආශීර්වාදේ දීලා නැත්තං මං මොනවා කරන්නද?” 3 එතකොට රාකෙල් මෙහෙම කිව්වා. “මම මගේ සේවිකාව+ ඔයාට බිරිඳක් හැටියට දෙන්නම්. එතකොට එයාගෙන්වත් මට දරුවෝ ලැබෙයි.” 4 රාකෙල් එයාගේ සේවිකාව වුණ බිල්හාව බිරිඳක් විදිහට යාකොබ්ට දුන්නා. යාකොබ් එයාත් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා.+ 5 බිල්හා ගැබ්ගෙන යාකොබ්ට පුතෙක් බිහි කළා. 6 එතකොට රාකෙල් මෙහෙම කිව්වා. “දෙවියන් මට යුක්තිය ඉටු කළා. ඔහු මට සවන් දීලා මට පුතෙක් ලබා දුන්නා.” ඒ නිසා එයා ඒ පුතාට දාන්*+ කියන නම තිබ්බා. 7 රාකෙල්ගේ සේවිකාව වුණ බිල්හා දෙවෙනි සැරේටත් ගැබ්ගෙන යාකොබ්ට පුතෙක් බිහි කළා. 8 ඒ වෙලාවේ රාකෙල් මෙහෙම කිව්වා. “මම අක්කාත් එක්ක සෑහෙන්න පොර අල්ලලා කොහොමහරි ජය ගත්තා!” ඒ නිසා එයා ඒ පුතාට නෆ්තලී*+ කියන නම දැම්මා.
9 ලෙයාට කාලෙකට දරුවන් හම්බ වුණේ නැති නිසා එයා එයාගේ සේවිකාව වුණ ෂිල්පාව බිරිඳක් විදිහට යාකොබ්ට දුන්නා.+ 10 ලෙයාගේ සේවිකාව වුණ ෂිල්පාටත් යාකොබ්ගෙන් පුතෙක් හම්බ වුණා. 11 එතකොට ලෙයා මෙහෙම කිව්වා. “මේක ලොකු ආශීර්වාදයක්!” ඒ නිසා එයා ඒ පුතාට ගාද්*+ කියන නම තිබ්බා. 12 ඊටපස්සේ ලෙයාගේ සේවිකාව වුණ ෂිල්පා දෙවෙනි සැරේටත් යාකොබ්ට පුතෙක් බිහි කළා. 13 එතකොට ලෙයා මෙහෙම කිව්වා. “මේක මොන තරම් සතුටක්ද! දැන් කාන්තාවන් කියයි මං ඉන්නේ සතුටින් කියලා.”+ එයා ඒ පුතාට ආෂෙර්*+ කියන නම තිබ්බේ ඒ නිසයි.
14 තිරිඟු අස්වැන්න නෙළන කාලේදී රූබෙන්+ කැලේ ඇවිදින්න ගියා. කැලේදී එයාට මැන්ඩ්‍රේක් ගෙඩි* වගයක් හම්බ වුණා. එයා ඒවා එයාගේ අම්මා වුණ ලෙයාට ගෙනල්ලා දුන්නා. එතකොට රාකෙල් ලෙයාට මෙහෙම කිව්වා. “අනේ, ඔයාගේ පුතා ගෙනාපු මැන්ඩ්‍රේක් ගෙඩි ටිකක් මටත් දෙන්නකෝ.” 15 ලෙයා එයාට මෙහෙම උත්තර දුන්නා. “ඔයා මගේ සැමියාව මගෙන් උදුරගත්තා+ මදිවට දැන් මගේ පුතා ගෙනාපු මැන්ඩ්‍රේක් ගෙඩිත් ගන්න හදනවාද?” එතකොට රාකෙල් මෙහෙම කිව්වා. “හරි. ඔයාගේ පුතා ගෙනාපු මැන්ඩ්‍රේක් ගෙඩි මට දෙන්න. අද රෑට යාකොබ් ඔයාත් එක්ක ඉඳියි.”
16 යාකොබ් හවස තණබිමේ ඉඳලා එද්දී ලෙයා එයා ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අද රෑට ඔයා ඉන්නේ මාත් එක්ක. මගේ පුතා ගෙනාපු මැන්ඩ්‍රේක් ගෙඩි දීලා මම ඔයාව කුලියට ගත්තා.” ඉතින් යාකොබ් එදා රෑ ලෙයාත් එක්ක හිටියා. 17 දෙවියන් ලෙයාගේ කන්නලව්වලට සවන් දුන්නා. එයා පස්වෙනි සැරේටත් ගැබ්ගෙන යාකොබ්ට පුතෙක් බිහි කළා. 18 එතකොට ලෙයා මෙහෙම කිව්වා. “මම මගේ සැමියාට මගේ සේවිකාව දුන්න නිසා දෙවියන් ඒකට හරියන කුලිය මට දුන්නා.” එයා ඉසකාර්*+ කියන නම ඒ පුතාට තිබ්බේ ඒ නිසයි. 19 ලෙයා ආයෙත් ගැබ්ගෙන හයවෙනි සැරේටත් යාකොබ්ට පුතෙක් බිහි කළා.+ 20 ඒ වෙලාවේදී ලෙයා මෙහෙම කිව්වා. “දෙවියන් ඇත්තටම මට, මේ මට වටිනා තෑග්ගක් දුන්නා. මම මගේ සැමියාට පුත්තු හයදෙනෙක් දුන්නා.+ දැන් නං එයා මාව පිළිගනියි.”*+ ඒ නිසා එයා ඒ පුතාට සෙබ්‍යූලන්*+ කියන නම තිබ්බා. 21 පස්සේ එයාට දුවෙක් හම්බ වුණා. ලෙයා ඒ දුවට දීනා+ කියන නම තිබ්බා.
22 අන්තිමේදී දෙවියන් රාකෙල් ගැන සැලකිලිමත් වෙලා එයාගේ කන්නලව්වලට සවන් දුන්නා. ඒ නිසා එයාට දරුපල ලැබුණා.+ 23 එයා ගැබ්ගෙන පුතෙක් බිහි කළා. ඒ වෙලාවේ එයා මෙහෙම කිව්වා. “දෙවියන් මගේ නින්දාව අයින් කළා.”+ 24 එයා ඒ පුතාට යෝසෙප්*+ කියන නම තිබ්බා. ඒ නම තියද්දී එයා මෙහෙම කිව්වා. “යෙහෝවා මට තවත් පුතෙක් දුන්නා.”
25 රාකෙල්ට යෝසෙප්ව හම්බ වුණාට පස්සේ යාකොබ් ලාබන් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “මගේ පවුලේ අය ඉන්න මගේ දේශයට ආයෙත් යන්න මට අවසර දෙන්න.+ 26 මගේ භාර්යාවන් වෙනුවෙන් මම ඔයාට සේවය කළා. දැන් මගේ භාර්යාවන් සහ දරුවන් එක්ක මගේ දේශයට යන්න මට ඉඩ දෙන්න. මං ඔයාට කොච්චර මහන්සි වෙලා සේවය කළාද කියලා ඔයා දන්නවා.”+ 27 එතකොට ලාබන් එයාට මෙහෙම කිව්වා. “මාත් එක්ක දිගටම ජීවත් වෙන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. මට ලැබිලා තියෙන ලකුණුවලින්* තේරෙනවා මට යෙහෝවාගේ ආශීර්වාදය තියෙන්නේ ඔයා නිසයි කියලා.” 28 එයා මෙහෙමත් කිව්වා. “කුලිය හැටියට ඔයා ඉල්ලන ඕනෙම දෙයක් මං ඔයාට දෙන්නම්.”+ 29 එතකොට යාකොබ් එයාට මෙහෙම කිව්වා. “මං ඔයාගේ රැළ කොච්චර හොඳට බලාගත්තාද, ඔයාට අවංකව සේවය කළාද කියලා ඔයා දන්නවා.+ 30 මං එන්න කලින් ඔයාට ඒ තරම් දෙයක් තිබුණේ නෑ. ඒත් මං ආවාට පස්සේ යෙහෝවා ඔයාට ආශීර්වාද කරලා ඔයාගේ සත්තුන්ගේ ගාණ ගොඩක් වැඩි කළා. දැන් මං මගේ පවුලේ අය වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ.”+
31 එතකොට ලාබන් මෙහෙම ඇහුවා. “ඔයා මගෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?” යාකොබ් මෙහෙම කිව්වා. “මම ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ආයෙත් ඔයාගේ රැළ බලාගන්නම්.+ හැබැයි ඔයා මගේ මේ ඉල්ලීම ඉටු කරන්න ඕනේ. 32 අද අපි ඔයාගේ මුළු රැළම සෝදිසි කරලා බලමු. බැටළුවන්ගෙන් තිත් සහ පුල්ලි තියෙන උන්වයි, බැටළු පැටවුන්ගෙන්* තද දුඹුරු පාට උන්වයි, එළුදෙනුන්ගෙන් පුල්ලි සහ තිත් තියෙන උන්වයි රැළෙන් වෙන් කරන්න. ඉස්සරහට රැළේ ඒ වගේ සත්තු බිහි වුණොත් උන්ව මගේ කුලිය විදිහට දෙන්න.+ 33 ඔයා කවදා හරි දවසක කුලිය විදිහට මං ගත්ත දේ ගැන හොයලා බලන්න ආවොත් මම අවංකව* වැඩ කරලා තියෙනවා කියලා ඔයා දකියි. තිත් සහ පුල්ලි නැති එළුදෙනුන්, තද දුඹුරු පාට නැති බැටළු පැටවුන් මං ළඟ හිටියොත් උන් හොරකම් කරපු සත්තු විදිහට ගණන් ගන්න ඔයාට පුළුවන්.”
34 එතකොට ලාබන් මෙහෙම කිව්වා. “ඒක හොඳයි! ඔයා කිව්ව විදිහටම කරමු.”+ 35 ලාබන් එදාම ඉරි සහ පුල්ලි තියෙන එළුවන්වයි, තිත් සහ පුල්ලි තියෙන එළුදෙනුන්වයි වෙන් කළා. ඒ විදිහට යන්තමින් හරි සුදු පාට තිබුණු එළුවන් ඔක්කොම එයා වෙන් කළා. තද දුඹුරු පාට බැටළු පැටවුන්වත් එයා වෙන් කළා. ඒ ඔක්කොම සත්තු ටික ලාබන් එයාගේ රැළෙන් වෙන් කරලා එයාගේ පුතාලට උන්ව බලාගන්න දුන්නා. 36 ලාබන් වෙන් කරපු ඒ සත්තුන්ව යාකොබ් ඉන්න තැන ඉඳලා දවස් තුනක් ගමන් කරන්න ඕනෙ දුරකට අරන් ගියා. ඊටපස්සේ රැළේ ඉතුරු සත්තුන්ව එයා යාකොබ්ට බලාගන්න දුන්නා.
37 යාකොබ් ස්ටෝරැක්ස්,* ආමන්ඩ් සහ ප්ලේන්* කියන ගස්වලින් අමු කෝටු අරගෙන තැනින් තැන සුදුවට හිටින විදිහට ඒවාවල පොතු ගැලෙව්වා. 38 යාකොබ් ඒ කෝටු සත්තුන්ට බොන්න වතුර දාන දියඔරුවල උන්ට පේන විදිහට තිබ්බා. එහෙම කළේ උන් සංසර්ගයේ යෙදෙද්දී උන්ට ඒ කෝටු දකින්න පුළුවන් වෙන්නයි.
39 සත්තු කෝටු ඉස්සරහා සංසර්ගයේ යෙදුණා. ඊටපස්සේ උන් ඉරි, තිත් සහ පුල්ලි වැටුණ පැටව් බිහි කළා. 40 යාකොබ් ඒ ඉරි වැටුණු සහ තද දුඹුරු පාට බැටළු පැටවුන්ව වෙන් කරලා උන්ව පේන විදිහට ලාබන්ගේ රැළේ සත්තුන්ව තිබ්බා. ඊටපස්සේ යාකොබ් එයාගේ රැළ ලාබන්ගේ රැළ එක්ක මිශ්‍ර වෙන්නේ නැති විදිහට උන්ව සම්පූර්ණයෙන්ම වෙන් කළා. 41 ශක්තිමත් සත්තු සංසර්ගයේ යෙදෙන කාලේදී යාකොබ් උන්ට පේන විදිහට දියඔරුවල කෝටු තිබ්බා. එහෙම කළේ උන් සංසර්ගයේ යෙදෙද්දී උන්ට ඒ කෝටු දකින්න පුළුවන් වෙන්නයි. 42 ඒත් දුර්වල සත්තු සංසර්ගයේ යෙදෙනකොට එයා දියඔරුවල කෝටු තිබ්බේ නැහැ. ඉතින් ලාබන්ට හැම වෙලේම දුර්වල සත්තුන්ව ලැබුණා. ඒත් යාකොබ්ට ශක්තිමත් සත්තු ලැබුණා.+
43 යාකොබ් ගොඩක් පොහොසත් වුණා. විශාල සත්ව රැළවල්, ඔටුවන්, බූරුවන් සහ සේවක සේවිකාවන් එයාට අයිති වුණා.+
31 කාලයක් ගියාට පස්සේ ලාබන්ගේ පුතාලා මෙහෙම කියනවා කියලා යාකොබ්ට ආරංචි වුණා. “යාකොබ් අපේ තාත්තාට අයිති හැම දෙයක්ම අයිති කරගෙන. එයා මෙච්චර පොහොසත් වෙලා තියෙන්නේ අපේ තාත්තාට අයිති දේවල්වලින්.”+ 2 ඉස්සර වගේ නෙමෙයි, ලාබන්ටත් එයා එක්ක හිත් අමනාපයක් තියෙනවා කියලා ලාබන්ගේ මූණෙන් යාකොබ්ට තේරුණා.+ 3 අන්තිමේදී යෙහෝවා දෙවියන් යාකොබ්ට මෙහෙම කිව්වා. “ඔයාගේ තාත්තාගෙත් සීයාගෙත් ඔයාගේ නෑදෑයන්ගෙත් දේශයට ආපහු යන්න.+ මම දිගටම ඔයාගේ උදව්වට ඉන්නවා.” 4 ඊටපස්සේ යාකොබ් රාකෙල්ටයි, ලෙයාටයි පණිවිඩයක් යවලා එයා රැළ බලාගෙන හිටපු තැනට එයාලව ගෙන්නගත්තා. 5 එයා ඒ දෙන්නාට මෙහෙම කිව්වා.
“ඔයාලාගේ තාත්තා දැන් ඉස්සර වගේ නෙමෙයි. එයා ඉන්නේ මාත් එක්ක හිත් අමනාපෙන් කියලා මට තේරෙනවා.+ ඒත් මගේ තාත්තාගේ දෙවියන් මගේ උදව්වට ඉන්නවා කියලා මං දන්නවා.+ 6 මං ඔයාලාගේ තාත්තාට කොච්චර මහන්සි වෙලා වැඩ කළාද කියලා ඔයාලා හොඳටම දන්නවා.+ 7 ඒත් ඔයාලාගේ තාත්තා මාව රවට්ටන්න හැදුවා. එයා දහ පාරක්ම මගේ කුලිය වෙනස් කළා. එයා මොනවා කරත් මට හානියක් වෙන කිසිම දෙයක් කරන්න දෙවියන් එයාට ඉඩ දුන්නේ නැහැ. 8 ‘තිත් වැටුණු සත්තුන්ව ඔයාගේ කුලිය විදිහට දෙන්නම්’ කියලා එයා කිව්වාම මුළු රැළම තිත් වැටුණු සත්තු බිහි කළා. ඒත් ‘ඉරි වැටුණු සත්තුන්ව ඔයාට දෙන්නම්’ කියලා එයා කිව්වාම මුළු රැළම ඉරි වැටුණු සත්තු බිහි කළා.+ 9 ඒ විදිහට දෙවියන් ඔයාලාගේ තාත්තාට අයිති වෙලා තිබුණු රැළ මට දුන්නා. 10 රැළ සංසර්ගයේ යෙදෙන කාලේ දවසක් මං හීනයක් දැක්කා. ඒකෙදී මං දැක්කා එළුදෙනුන් එක්ක එකතු වුණ එළුවන්ට ඉරි, තිත් සහ ලප තියෙනවා කියලා.+ 11 එතකොටම සැබෑ දෙවියන්ගේ දූතයෙක් මට ‘යාකොබ්’ කියලා හීනෙන් කතා කළා. මමත් ‘ඇයි මගේ ස්වාමීනි’ කියලා ඔහුගෙන් ඇහුවා. 12 ඔහු* මට මෙහෙම කිව්වා. ‘අර බලන්න, රැළේ එළුදෙනුන් එක්ක එකතු වෙන හැම එළුවෙක්ටම ඉරි, තිත් සහ ලප තියෙනවා. මොකද ලාබන් ඔයාට කරන හැම දෙයක්ම මම දැක්කා.+ 13 බෙතෙල්වලදී+ ඔයාට දර්ශනය වුණ සැබෑ දෙවියන් මමයි. ඔයා එතනදී කණුවක් හිටවලා ඒකට තෙල් වක් කරලා* මට පොරොන්දුවක් වුණා.+ දැන් නැඟිටලා මේ දේශයෙන් පිටත් වෙලා ඔයා උපන් දේශයට ආයෙත් යන්න.’”+
14 එතකොට රාකෙල් සහ ලෙයා එයාට මෙහෙම කිව්වා. “අපේ තාත්තාගෙන් අපිට උරුම වෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවාද? 15 තාත්තා කළේ අපිව විකුණගෙන කන එකයි. ඇත්තටම එයා අපිට සලකන්නේ පවුලේ අයට වගේ නෙමෙයි, පිට අයට වගේ.+ 16 දෙවියන් අපේ තාත්තාගෙන් ගත්ත හැම දෙයක්ම අයිති වෙන්නේ අපිටයි, අපේ දරුවන්ටයි.+ ඉතින් දෙවියන් ඔයාට කියපු විදිහටම කරන්න.”+
17 ඊටපස්සේ යාකොබ් එයාගේ දරුවන්වයි, භාර්යාවන්වයි ඔටුවන් පිටේ නග්ගගෙන+ 18 පදන්ආරම්වලදී එයා අයිති කරගත්ත එයාගේ මුළු රැළත් ඔක්කොම බඩු මුට්ටුත්+ අරන් කානාන් දේශයේ+ හිටපු එයාගේ තාත්තා වුණ ඊසාක් ළඟට යන්න පිටත් වුණා.
19 ඒ වෙලාවේ ලාබන් එයාගේ බැටළුවන්ගේ ලොම් කපන්න ගිහිල්ලයි හිටියේ. ඉතින් රාකෙල් එයාගේ තාත්තාගේ+ ටෙරෆිම් රූප*+ හොරකම් කළා. 20 යාකොබ් අරාමීය ජාතික ලාබන්ට කියන්නේ නැතුව එහෙන් යන්න ගියා. ඒ විදිහට යාකොබ් ඥානවන්තව වැඩ කළා. 21 එයා එයාට තියෙන හැම දෙයක්ම අරගෙන ගඟෙන්*+ එගොඩ වෙලා ගිලියද්+ කියන කඳුකර ප්‍රදේශය පැත්තට ගියා. 22 යාකොබ් ගිහින් දවස් තුනකට පස්සේ තමයි ලාබන් ඒ ගැන දැනගත්තේ. 23 ඉතින් ලාබන් එයාගේ නෑදෑයන්* එක්ක යාකොබ් පස්සේ එළවගෙන ගියා. දවස් හතකට පස්සේ එයාලා ගිලියද් කියන කඳුකර ප්‍රදේශයේ යාකොබ් හිටපු තැන කිට්ටුවටම ආවා. 24 එදා රෑ දෙවියන් අරාමීය+ ජාතික ලාබන්ට හීනයකින් පෙනිලා+ එයාට මෙහෙම කිව්වා. “පරෙස්සමින්, ඔයා යාකොබ්ට කියන හැම වචනයක් ගැනම දෙපාරක් හිතන්න.”*+
25 යාකොබ් එයාගේ කූඩාරම ගහගෙන හිටියේ ගිලියද් කඳුකරයේ. එතනට කිට්ටු තැනක නෑදෑයන් එක්ක කූඩාරම් ගහගෙන හිටපු ලාබන් යාකොබ් හිටපු තැනට ගියා. 26 ලාබන් යාකොබ්ට මෙහෙම කිව්වා. “ඇයි ඔයා මෙහෙම දෙයක් කළේ? ඇයි මාව රැවැට්ටුවේ? යුද්දෙකදී අල්ලගත්ත වහල්ලු ගෙනියනවා වගේ මගේ දුවලව අරන් යන්නේ ඇයි? 27 ඔයා මාව රවට්ටලා මට කියන්නේ නැතුව හොරෙන් ගියේ ඇයි? කිව්වා නම් මට තිබුණා ඔයාව සතුටින් පිටත් කරන්න. වීණා ගහලා, රබන් ගහලා, සින්දු කියලා සතුටින් ඔයාලව පිටත් කරන්න තිබ්බා නේද? 28 මගේ දුවලවයි, මගේ දරුවන්වයි* ඉඹලා එයාලාගෙන් සමුගන්නවත් ඔයා මට අවස්ථාවක් දුන්නේ නැහැ. ඔයා වැඩ කළේ මෝඩ විදිහටයි. 29 මට ඕනෙ නම් ඔයාලට අනතුරක් කරන්න පුළුවන්. ඒත් ඊයේ රෑ ඔයාගේ තාත්තාගේ දෙවියන් මට කිව්වා ‘පරෙස්සමින්, ඔයා යාකොබ්ට කියන හැම වචනයක් ගැනම දෙපාරක් හිතන්න’ කියලා.+ 30 ඔයා මෙහෙන් යන්නේ ඔයාගේ තාත්තාගේ ගෙදර යන්න ගොඩක් ආසාවෙන් ඉන්න නිසා කියලා මං දන්නවා. ඒත් ඇයි ඔයා මගේ දෙවිවරුන්ගේ පිළිම හොරකම් කළේ?”+
31 එතකොට යාකොබ් ලාබන්ට මෙහෙම කිව්වා. “මං ඔයාට කියන්නේ නැතුව ආවේ ඔයාගේ දුවලව ඔයා මගෙන් පැහැරගනියි කියලා මට බය හිතුණ නිසයි. 32 ඒත් මෙතන ඉන්න කවුරු හරි කෙනෙක් ළඟ ඔයාගේ දෙවිවරුන්ගේ පිළිම තිබිලා හම්බ වුණොත් එයාව මරලා දාන්න. අපේ නෑදෑයන් ඉස්සරහා මං ළඟ තියෙන හැම දෙයක්ම සෝදිසි කරලා බලන්න. ඔයාට අයිති දෙයක් හම්බ වුණොත් ඒක ගන්න.” රාකෙල් ඒ රූප හොරකම් කළා කියලා යාකොබ් දැනන් හිටියේ නැහැ. 33 ඉතින් ලාබන් යාකොබ්ගේ, ලෙයාගේ සහ සේවිකාවන් දෙන්නාගේ+ කූඩාරම්වලට ගිහිල්ලා බැලුවාට ඒ රූප එයාට හම්බ වුණේ නැහැ. අන්තිමට එයා ලෙයාගේ කූඩාරමෙන් එළියට ඇවිල්ලා රාකෙල්ගේ කූඩාරමට ගියා. 34 රාකෙල් ටෙරෆිම් රූප ඔටුවන් පිටේ දාන සෑදලයේ* දාලා ඒක උඩ ඉඳගෙන හිටියා. ලාබන් මුළු කූඩාරමම සෝදිසි කරලා බැලුවත් එයාට ඒවා හම්බ වුණේ නැහැ. 35 රාකෙල් එයාගේ තාත්තාට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, මට සනීප නැති* නිසා+ මට මෙතනින් නැඟිටින්න ටිකක් අමාරුයි. ඉතින් මාත් එක්ක කේන්ති ගන්න එපා.” ලාබන් අස්සක් මුල්ලක් නෑර ටෙරෆිම් රූප හෙව්වත් එයාට ඒවා හම්බ වුණේ නැහැ.+
36 එතකොට යාකොබ්ට ලාබන් එක්ක හොඳටම කේන්ති ගියා. එයා ලාබන්ට මේ විදිහට දොස් කියන්න පටන්ගත්තා. “ඔයා මං පස්සේ කේන්තියෙන් එළවගෙන ආවේ මං මොන වරදක් කරාටද? 37 ඔයා දැන් මගේ බඩු මුට්ටු ඔක්කොම සෝදිසි කරලා බැලුවා. ඔයාලට අයිති මොනවා හරි හම්බ වුණාද? එහෙනං ඒක අපි හැමෝම ඉස්සරහා තියන්න. අපි දෙන්නාගෙන් කවුද හරි කවුද වැරදි කියලා එයාලා තීරණය කරයි. 38 අවුරුදු 20ක්ම මම ඔයාත් එක්ක ජීවත් වුණා. ඒ කාලේදී ඔයාගේ බැටළුදෙනුන්ටවත් එළුදෙනුන්ටවත් ගබ්සාවක් වුණේ නැහැ.+ මං කවදාවත් ඔයාගේ රැළේ බැටළුවන්ව කෑමට ගත්තේ නැහැ. 39 වනසත්තු මරලා දාපු එක සතෙක්වත් මං ඔයා ළඟට ගෙනාවේ නෑ.+ ඒ පාඩුව මංම දරාගත්තා. හොරු ඇවිල්ලා සතෙක්ව හොරකම් කළා නම් ඒක වුණේ දවල්ද රෑද කියලා නැහැ ඒ පාඩුව ඔයා මගෙන් තමයි ගත්තේ. 40 අව්වට වේළිවේළී, රෑ සීතලේ ගැහිගැහී මං ඔයාට වැඩ කළා. මං කොච්චර නම් නිදි මැරුවාද!+ 41 ඒ විදිහට මං අවුරුදු 20ක්ම ඔයාත් එක්ක ජීවත් වුණා. ඔයාගේ දුවලා දෙන්නා වෙනුවෙන් මං අවුරුදු 14ක් වැඩ කළා. ඔයාගේ රැළ වෙනුවෙන් තව අවුරුදු 6ක් වැඩ කළා. ඒ කාලේදී ඔයා මගේ කුලිය දහ පාරක්ම වෙනස් කළා.+ 42 ආබ්‍රහම්ගේ දෙවියන් වගේම මගේ තාත්තා වන ඊසාක් ලොකු ගෞරවයකින් නමස්කාර කරන දෙවියන්+ මගේ උදව්වට හිටියේ නැත්තං ඔයා අනිවාර්යයෙන්ම මාව හිස් අතින් තමයි යවන්නේ. මම දුක් වින්ද හැටිත් වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු හැටිත් දෙවියන් දැක්කා. ඒ නිසයි දෙවියන් ඊයේ රෑ ඔයාට අනතුරු ඇඟෙව්වේ.”+
43 ලාබන් යාකොබ්ට මෙහෙම කිව්වා. “මේ මගේ දුවලා. මේ දරුවෝ මගෙත් දරුවෝ. මේ රැළත් මගේ. මේ හැම දෙයක්ම අයිති මටයි, මගේ දුවලටයි. ඉතින් මං එයාලටයි, එයාලාගේ දරුවන්ටයි විරුද්ධව මුකුත් කරන්නේ කොහොමද? 44 එන්න, අපි දෙන්නා ගිවිසුමක් ඇති කරගමු. අපි දෙන්නා එකඟ වෙන දේට ඒ ගිවිසුම සාක්ෂියක් වෙයි.” 45 ඉතින් යාකොබ් ගලක් අරගෙන ඒක කණුවක් විදිහට හිටෙව්වා.+ 46 ඊටපස්සේ යාකොබ් එතන හිටපු අයට* මෙහෙම කිව්වා. “ගල් ටිකක් එකතු කරන්න.” ඉතින් එයාලා ගල් එකතු කරලා ඒවා ගොඩගැහුවා. පස්සේ එයාලා ඒ ගල් ගොඩ ළඟ වාඩි වෙලා කෑම කෑවා. 47 ලාබන් ඒකට යේගාර්සාහදූතා* කියන නම තිබ්බා. ඒත් යාකොබ් ඒකට ගලෙයෙද්* කියන නම තිබ්බා.
48 ලාබන් මෙහෙම කිව්වා. “මේ ගල් ගොඩ අද ඔයායි, මායි ඇති කරගත්ත ගිවිසුමට සාක්ෂියක් වෙයි.” යාකොබ් ඒකට ගලෙයෙද්+ කියන නම තිබ්බේ ඒ නිසයි. 49 එයා ඒකට මුරකොටුව* කියන නමත් තිබ්බා. ඒකට හේතුව ලාබන් කියපු මේ දේ නිසයි. “අපි දෙන්නා මෙතනින් වෙන් වෙලා ගියාට පස්සේ යෙහෝවා අපි දිහා බලාගෙන ඉඳියි. 50 ඔයා මගේ දුවලට හිරිහැර කළොත් එයාලට අමතරව තවත් අයව විවාහ කරගත්තොත් ඒක කවුරු දැක්කේ නැතත් අපි ඉස්සරහා සාක්ෂිකරුවෙක් විදිහට ඉන්න දෙවියන් අනිවාර්යයෙන්ම ඒක දකිනවා කියලා මතක තියාගන්න.” 51 ලාබන් යාකොබ්ට මෙහෙමත් කිව්වා. “අපි දෙන්නා අතරේ තියෙන මේ ගල් ගොඩයි, අපි හිටවපු මේ කණුවයි දිහා බලන්න. 52 මේ ගල් ගොඩයි, කණුවයි අපි දෙන්නා ඉස්සරහා සාක්ෂියක් වෙයි. ඔයාට අනතුරක් කරන්න මං මේ ගල් ගොඩ පහු කරගෙන එන්නේ නැහැ කියන්නත් මට අනතුරක් කරන්න ඔයා මේ ගල් ගොඩයි, කණුවයි පහු කරගෙන එන්නේ නැහැ කියන්නත් ඒවා සාක්ෂියක්.+ 53 ආබ්‍රහම්ගේ,+ නාහෝර්ගේ සහ එයාලාගේ තාත්තාගේ දෙවියන් අපිව විනිශ්චය කරයි.” එතකොට යාකොබ් එයාගේ තාත්තා වන ඊසාක් ලොකු ගෞරවයකින් නමස්කාර කරන තැනැත්තාගේ+ නමින් දිවුරුවා.
54 ඊටපස්සේ යාකොබ් ඒ කන්දේදීම පූජාවක් ඔප්පු කරලා කෑම කන්න කියලා එයාගේ නෑදෑයන්ට ආරාධනා කළා. එයාලා කෑම කාලා එදා රෑ ඒ කන්දේ නතර වුණා. 55 පහුවෙනිදා උදේම ලාබන් නැඟිටලා එයාගේ දුවලවයි, දරුවන්වයි*+ ඉඹලා එයාලට ආශීර්වාද කරලා+ ආපහු එයාගේ ගෙදර යන්න පිටත් වුණා.+
32 යාකොබ් දිගටම එයාගේ ගමන ගියා. එහෙම යද්දී එයාට දෙවියන්ගේ දූතයන්ව හම්බ වුණා. 2 යාකොබ් එයාලව දැක්කාම “දෙවියන්ගේ කඳවුර මෙතනයි” කියලා එතනට මහනායිම්* කියන නම තිබ්බා.
3 ඊටපස්සේ යාකොබ් එයාගේ අයියා වන ඒසව්ව හම්බ වෙන්න පණිවිඩකාරයන්ව යැව්වා. ඒසව් ජීවත් වුණේ ඒදොම්+ කියලත් හඳුන්වපු සේයිර්+ පළාතේ. 4 යාකොබ් ඒ පණිවිඩකාරයන්ට මෙහෙම අණ කළා. “මගේ ස්වාමීන් වන ඒසව්ට මෙහෙම කියන්න. ‘ඔබේ සේවකයා වන යාකොබ් ඔබට මෙහෙම කියනවා. “මම මේ වෙන කල් සෑහෙන කාලයක් ලාබන් එක්කයි ජීවත් වුණේ.*+ 5 මට දැන් ගොඩක් බැටළුවෝ, ගොන්නු, බූරුවෝ සහ සේවක සේවිකාවෝ ඉන්නවා.+ මගේ ස්වාමීනි, මං මේ පණිවිඩය ඔයාට එවන්නේ ඔයා මට කරුණාවෙන් සලකයි කියන බලාපොරොත්තුවෙන්.”’”
6 පණිවිඩකරුවන් ආපහු ඇවිල්ලා යාකොබ්ට මෙහෙම කිව්වා. “ඔයාගේ අයියා වන ඒසව්ව අපිට හම්බ වුණා. එයා දැන් මිනිස්සු 400ක් එක්ක ඔයාව හම්බ වෙන්න එනවා.”+ 7 ඒක අහලා යාකොබ් ගොඩක් බය වෙලා කලබල වුණා.+ ඉතින් එයා එයා එක්ක හිටපු කට්ටියවයි, එළුවන්වයි, බැටළුවන්වයි, ගොනුන්වයි, ඔටුවන්වයි කඳවුරු දෙකකට බෙදුවා. 8 “ඒසව් ඇවිත් එක කණ්ඩායමකට පහර දුන්නොත් අනිත් කණ්ඩායම හරි බේරෙයිනේ” කියලා එයා හිතුවා.
9 ඊටපස්සේ යාකොබ් මෙහෙම යාච්ඤා කළා. “මගේ සීයා වුණ ආබ්‍රහම්ගේ දෙවියනි, මගේ තාත්තා වන ඊසාක්ගේ දෙවියනි, අනේ යෙහෝවා, ඔයා මට කිව්වා මගේ දේශයට, මගේ නෑදෑයන් ළඟට ආපහු යන්න කියලා. ඔයා මට ආශීර්වාද කරනවා කියලත් කිව්වා.+ 10 ඔයාගේ සේවකයා වන මට ඔයා ලොකු ආදරයක් පෙන්නුවා. මට කියපු හැම දෙයක්ම ඔයා විශ්වාසවන්තව ඉටු කළා.+ ඇත්තටම ඒ කිසිම දෙයක් ලබන්න මං වටින්නේ නැහැ. මං යොර්දාන් ගඟෙන් එගොඩ වෙද්දී මං ළඟ තිබුණේ මගේ සැරයටිය විතරයි. ඒත් දැන් කඳවුරු දෙකකට බෙදන්න තරම් දේවල් මට තියෙනවා.+ 11 අනේ, මං ඔයාගෙන් ඉල්ලන්නේ+ මගේ අයියාගේ අතින් මාව බේරගන්න කියලා. එයා ඇවිත් මටයි, දරුවන්ටයි, එයාලාගේ අම්මලටයි පහර දෙයි කියලා මට බයයි.+ 12 ‘මම අනිවාර්යයෙන්ම ඔයාට ආශීර්වාද කරලා ඔයාගෙන් පැවතෙන අයව මුහුදේ වැලි වගේ ගණන් කරන්න බැරි තරමට ගොඩක් වැඩි කරනවා’ කියලා ඔයා මට කිව්ව දේ සිහි කරන්න.”+
13 යාච්ඤා කරපු තැන එදා රෑ එයා නතර වුණා. ඊටපස්සේ එයා එයාගේ අයියා වන ඒසව්ට තෑග්ගක් විදිහට එයාට අයිති දේවල්වලින් කොටසක් වෙන් කළා.+ 14 එළුදෙනුන් 200ක් සහ එළුවන් 20ක්, බැටළුදෙනුන් 200ක් සහ බැටළුවන් 20ක්, 15 කිරි දෙන ඔටුදෙනුන් 30ක් සහ උන්ගේ පැටව්, එළදෙනුන් 40ක් සහ ගොනුන් 10ක්, බූරුදෙනුන් 20ක් සහ බූරුවන් 10ක් එයා වෙන් කළා.+
16 ඊටපස්සේ එයා ඒ එක එක රැළ වෙන වෙනම සේවකයන්ට භාර දීලා එයාලට මෙහෙම කිව්වා. “මේ ඔයෙන් එගොඩ වෙලා ඔයාලා මට ඉස්සර වෙලා යන්න. එක කණ්ඩායමක් අනිත් කණ්ඩායමට වඩා ටිකක් ඈතින් යන්න.” 17 මුලින්ම යන සේවකයාට එයා මෙහෙමත් අණ කළා. “මගේ අයියා වන ඒසව්ව ඔයාට හම්බ වෙලා එයා ඇහුවොත් ‘ඔයා කාගේ සේවකයෙක්ද? ඔයා යන්නේ කොහෙද? ඔයා ඉස්සරහින් යන මේ සත්තු කාගෙද’ කියලා 18 ඔයා මෙහෙම කියන්න. ‘මේ සත්තු අයිති ඔබේ සේවකයා වන යාකොබ්ට. එයාත් මඟ එනවා. මේ සත්තු එව්වේ මගේ ස්වාමීන් වන ඒසව්ට තෑග්ගක් හැටියට.’”+ 19 දෙවෙනියට, තුන්වෙනියට සහ රැළවල් පිටිපස්සේ ගිය අනිත් හැමෝටමත් එයා මෙහෙම අණ කළා. “ඔයාලට ඒසව්ව හම්බ වෙද්දී ඔයාලත් ඒ දේම කියන්න. 20 ඔයාලා මෙහෙමත් කියන්න. ‘ඔබේ සේවකයා වන යාකොබ් මඟ එනවා.’” යාකොබ් එහෙම කළේ ‘මට ඒසව්ව හම්බ වෙන්න කලින් මං එයාට තෑග්ගක් යැව්වොත්+ සමහරවිට එයාගේ කේන්තිය නිවිලා ගිහින් එයා මාව හොඳින් පිළිගනියි’ කියලා හිතපු නිසයි. 21 එයාගේ සේවකයෝ තෑග්ගත් අරගෙන එයාට කලින් ඔයෙන් එගොඩ වෙලා ගියා. ඒත් යාකොබ් එදා රෑ කඳවුරේ හිටියා.
22 ඊටපස්සේ එයා නැඟිටලා එයාගේ භාර්යාවන් දෙන්නාවයි,+ එයාගේ සේවිකාවන් දෙන්නාවයි,+ එයාගේ පුතාලා 11දෙනාවයි එක්කගෙන එදා රෑම යබ්බොක්+ ඔයෙන් එගොඩ වුණා. 23 ඒ ඔක්කොමලවයි, එයාට අයිති හැම දෙයක්මයි ඒ විදිහට එයා ඔයෙන් එගොඩ කළා.
24 ඊටපස්සේ යාකොබ් තනියම ඉද්දී මනුස්සයෙක් පාන්දර වෙන කල්ම එයා එක්ක පොරබැද්දා.+ 25 යාකොබ්ව පරද්දන්න බැහැයි කියලා ඒ මනුස්සයා දැක්කාම එයා යාකොබ්ගේ උකුල් ඇටය* ඇල්ලුවා. ඒ නිසා යාකොබ්ගේ උකුල් ඇටය පැන්නා.+ 26 ඊටපස්සේ ඒ මනුස්සයා මෙහෙම කිව්වා. “දැන් එළිය වැටීගෙන එන හින්දා මට යන්න දෙන්න.” එතකොට යාකොබ් කිව්වා “ඔයා මට ආශීර්වාද කරන කල් මං ඔයාට යන්න දෙන්නේ නැහැ” කියලා.+ 27 ඉතින් ඒ මනුස්සයා ඇහුවා “ඔයාගේ නම මොකක්ද” කියලා. එයා “මං යාකොබ්” කියලා උත්තර දුන්නා. 28 එතකොට එයා මෙහෙම කිව්වා. “අදින් පස්සේ ඔයාගේ නම යාකොබ් නෙමෙයි ඊශ්‍රායෙල්.*+ ඔයා දෙවියන් එක්කයි,+ මිනිසුන් එක්කයි පොරබදලා කොහොමහරි ජය ගත්ත නිසා ඔයාට ඒ නම දෙනවා.” 29 යාකොබ් එයාගෙන් මෙහෙම ඇහුවා. “අනේ, ඔයාගේ නම මට කියන්නකෝ.” ඒත් එයා කිව්වා “ඇයි ඔයා මගේ නම අහන්නේ” කියලා.+ ඊටපස්සේ එයා යාකොබ්ට ආශීර්වාද කළා. 30 යාකොබ් එතනට පෙනීයෙල්*+ කියන නම තිබ්බා. එයා ඒ නම දුන්නේ “මම දෙවියන්ව මූණට මූණ දැකලත් මගේ ජීවිතේ බේරුණා”+ කියලා කියපු නිසයි.
31 එයා පෙනුයෙල්වලින්* යද්දී ඉර එළිය වැටෙන්න පටන් අරන් තිබුණා. එයාගේ තුනටියේ වේදනාව නිසා එයා කොරගගහා ගියා.+ 32 යාකොබ්ගේ උකුල් ඇටය ළඟ තියෙන නහරය අල්ලපු නිසා අද වෙන කල් ඊශ්‍රායෙල්වරු සත්තුන්ගේ ගාත්වල ඒ නහරය* තියෙන කොටස කන්නේ නැහැ.
33 ඒසව් මිනිස්සු 400දෙනෙක් එක්ක එනවා යාකොබ් දැක්කා.+ ඉතින් එයා එයාගේ දරුවන්ව ලෙයාටයි, රාකෙල්ටයි, එයාගේ සේවිකාවන් දෙන්නාටයි භාර දුන්නා.+ 2 එයා සේවිකාවන්වයි, එයාලාගේ දරුවන්වයි ඉස්සරහින්ම තිබ්බා.+ එයාලට පිටිපස්සෙන් ලෙයාවයි, එයාගේ දරුවන්වයි තිබ්බා.+ පිටිපස්සෙන්ම තිබ්බේ රාකෙල්වයි,+ යෝසෙප්වයි. 3 යාකොබ් එයාලා හැමෝටම ඉස්සරහින් ගියා. අයියාට කරන ගෞරවයක් හැටියට එයා දණින් වැටිලා බිමටම නැමුණා. එයා අයියා ළඟට යන කල්ම ඒ විදිහට හත් පාරක් කළා.
4 ඒත් ඒසව් යාකොබ් ළඟට දුවගෙන ගිහිල්ලා එයාව බදාගෙන ඉම්බා. ඊටපස්සේ එයාලා දෙන්නාම අඬන්න පටන්ගත්තා. 5 ඒසව් කාන්තාවන්වයි, දරුවන්වයි දැකලා යාකොබ්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයාත් එක්ක ඉන්න මේ කට්ටිය කවුද?” යාකොබ් මෙහෙම උත්තර දුන්නා. “මේ ඉන්නේ මගේ දරුවෝ. දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඔයාගේ සේවකයා වන මට ලැබුණ දරුවෝ.”+ 6 එතකොට සේවිකාවනුයි, එයාලාගේ දරුවනුයි ඉස්සරහට ඇවිල්ලා දණින් වැටිලා බිමට නැමිලා ඒසව්ට ආචාර කළා. 7 ලෙයාත් එයාගේ දරුවෝ එක්ක ඉස්සරහට ඇවිල්ලා දණින් වැටිලා බිමට නැමිලා එයාට ආචාර කළා. ඊටපස්සේ යෝසෙප් රාකෙල් එක්ක ඉස්සරහට ඇවිල්ලා ඒ විදිහටම එයාට ආචාර කළා.+
8 ඒසව් යාකොබ්ගෙන් මෙහෙම ඇහුවා. “මාව හම්බ වෙන්න ආපු අර සේවකයන් එක්ක එච්චර සත්තු ගොඩක් ඔයා එව්වේ ඇයි?”+ එතකොට යාකොබ් කිව්වා “මගේ ස්වාමීනි, මම එහෙම කළේ ඔයාව සතුටු කරන්නයි” කියලා.+ 9 එතකොට ඒසව් මෙහෙම කිව්වා. “මල්ලි, මටත් ගොඩක් දේවල් තියෙනවා.+ ඉතින් ඔයාට අයිති දේවල් ඔයා තියාගන්න.” 10 ඒත් යාකොබ් මෙහෙම කිව්වා. “අනේ, එහෙම කියන්න එපා. ඔයා මාව සතුටින් පිළිගන්නවා නම් මේ තෑග්ග ගන්න. මං මේ තෑග්ග ඔයාට ගෙනාවේ ඔයාව දකින්න ලොකු ආසාවකින් හිටපු නිසයි. ඔයා මාව ආදරෙන් පිළිගත්තා. ඇත්තටම ඔයාව දැක්කාම මට දැනුණේ මං හරියට දෙවියන්ගේ මූණ දැක්කා වගේ.+ 11 අනේ, මං ආදරෙන් ඔයාට ගෙනාපු තෑග්ග ගන්න.+ දෙවියන්ගේ ආශීර්වාද මට තියෙන නිසා මට දැන් කිසිම දේකින් අඩුවක් නැහැ.”+ ඒසව්ට ඒ තෑග්ග ගන්න කියලා යාකොබ් දිගින් දිගටම කියපු නිසා එයා ඒක භාරගත්තා.
12 පස්සේ ඒසව් මෙහෙම කිව්වා. “දැන් අපි මෙහෙන් යමු. මං ඔයාට ඉස්සරහින් යන්නම්.” 13 ඒත් යාකොබ් එයාට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා දන්නවානේ මගේ දරුවෝ තවම පොඩියි.+ මං ළඟ කිරි දෙන බැටළුදෙනුන් සහ එළදෙනුන් ඉන්නවා. එක දවසකදී එච්චර දුරක් උන්ව දක්කගෙන ගියොත් මුළු රැළම මැරෙයි. 14 මගේ ස්වාමීනි, ඔයා ඉස්සර වෙලා යන්න. ඔයාව හම්බ වෙන්න මං සේයිර්වලට+ හෙමිහිට එන්නම්. මේ සත්තුන්ටයි, මගේ දරුවන්ටයි එන්න පුළුවන් වේගයෙන් මං එන්නම්.” 15 එතකොට ඒසව් මෙහෙම කිව්වා. “මගේ සේවකයන් කීපදෙනෙක්ව ඔයාත් එක්ක මෙහේ නතර කරලා යන්න මට ඉඩ දෙන්න.” ඒකට යාකොබ් මෙහෙම උත්තර දුන්නා. “අනේ කරදර වෙන්න එපා. මගේ ස්වාමීන් මාව ආදරෙන් පිළිගත්ත එකම මට ඇති.” 16 ඉතින් ඒසව් එදාම සේයිර්වලට යන්න පිටත් වුණා.
17 යාකොබ් සුක්කොත්වලට+ ගියා. එයා එහේ එයාටම කියලා ගේකුත් එයාගේ සත්තුන්ට ඉන්න මඩු කීපයකුත් හැදුවා. එයා එතනට සුක්කොත්* කියන නම තිබ්බේ ඒ නිසයි.
18 පස්සේ යාකොබ් කානාන්+ දේශයේ තියෙන ෂීකෙම්+ නගරෙට ඇවිල්ලා ඒ නගරෙට කිට්ටුව කූඩාරම් ගහගත්තා. ඒ විදිහට යාකොබ් අනතුරක් නැතුව පදන්ආරම්+ ඉඳන් කානාන් දේශයට ආවා. 19 යාකොබ් හාමෝර්ගේ පුතාලට රිදී මිල 100ක් ගෙවලා+ එයා කූඩාරම් ගහගෙන හිටපු පැත්තේ තිබුණ ඉඩමක් ගත්තා. හාමෝර්ගේ එක පුතෙක් තමයි ෂීකෙම්. 20 යාකොබ් එතන පූජාසනයක් ගොඩනඟලා සැබෑ දෙවියන් තමයි ඊශ්‍රායෙල්ගේ දෙවියන්+ කියන නම ඒකට තිබ්බා.
34 යාකොබ්ගේ සහ ලෙයාගේ+ දුව වුණ දීනා ඒ නගරේ තරුණියන්ව ආශ්‍රය කරන්න පුරුදු වෙලා හිටියා.+ 2 ඔහොම යද්දී දේශයේ අධිපතියෙක් වුණ හිවීය ජාතික+ හාමෝර්ගේ පුතා වුණ ෂීකෙම් එයාව දැක්කා. දවසක් එයා දීනාව අරන් ගිහින් දූෂණය කළා. 3 දීනාව හිතින් අමතක කරලා දාන්න බැරි තරමට ෂීකෙම්ට එයා ගැන ආදරයක් ඇති වුණා. ඒ නිසා එයා නිතරම කතාවෙන් යාකොබ්ගේ දුව වුණ දීනාගේ හිත දිනාගන්න උත්සාහ කළා. 4 අන්තිමේදී ෂීකෙම් එයාගේ තාත්තා වුණ හාමෝර්ට+ මෙහෙම කිව්වා. “මේ ගෑනු ළමයාව විවාහ කරගන්න මං කැමතියි. කොහොමහරි ඒක කරලා දෙන්න.”
5 එයාගේ දුව වුණ දීනාව ෂීකෙම් දූෂණය කළා කියලා යාකොබ්ට දැනගන්න ලැබුණා. එතකොට යාකොබ්ගේ පුතාලා හිටියේ එයාගේ රැළ එක්ක තණබිමේ. ඉතින් එයාලා ආපහු එන කල් යාකොබ් ඒ ගැන මුකුත් කියන්න ගියේ නැහැ. 6 පස්සේ ෂීකෙම්ගේ තාත්තා වුණ හාමෝර් යාකොබ් එක්ක කතා කරන්න ආවා. 7 දීනාට වුණ දේ ගැන යාකොබ්ගේ පුතාලට ආරංචි වුණ ගමන්ම එයාලා තණබිමේ ඉඳන් ආවා. එයාලාගේ හිතට ලොකු වේදනාවක්, කේන්තියක් දැනුණා. මොකද ෂීකෙම් කළේ හරිම දුෂ්ට දෙයක්.+ යාකොබ්ගේ දුවව දූෂණය කරපු එකෙන් එයා ඊශ්‍රායෙල්ට කළේ ලොකු නින්දාවක්.+
8 හාමෝර් එයාලට මෙහෙම කිව්වා. “මගේ පුතා ෂීකෙම් ඔයාගේ දුවට ගොඩක් කැමතියි. අනේ, මගේ පුතාට එයාව විවාහ කරගන්න ඉඩ දෙන්න. 9 අපිත් එක්ක විවාහ ගිවිසුම් ඇති කරගන්න. ඔයාලාගේ දුවලව විවාහ කරගන්න අපේ පුතාලට ඉඩ දෙන්න. ඔයාලාගේ පුතාලට පුළුවන් අපේ දුවලව විවාහ කරගන්න.+ 10 අපිත් එක්ක මෙහේ ජීවත් වෙන්න. මේ දේශයේ කැමති තැනක ඉන්න ඔයාලට පුළුවන්. වෙළඳාම් කරගෙන මෙහේ පදිංචි වෙන්න.” 11 ඊටපස්සේ ෂීකෙම් දීනාගේ තාත්තාටයි, එයාගේ අයියලටයි මෙහෙම කිව්වා. “අනේ, මගේ ඉල්ලීම ඉටු කරන්න. ඔයාලා ඉල්ලන ඕනම දෙයක් මං ඔයාලට දෙන්නම්. 12 දීනා වෙනුවෙන් ඔයාලා ඉල්ලන ඕනම මුදල් ප්‍රමාණයක්, ඕනම තෑග්ගක් මං දෙන්නම්.+ මට එයාව බිරිඳ හැටියට දෙන්න. මං ඔයාලාගෙන් ඉල්ලන්නේ එච්චරයි.”
13 ෂීකෙම් එයාලාගේ නංගි වුණ දීනාව දූෂණය කරපු නිසා යාකොබ්ගේ පුතාලා ෂීකෙම්ටයි, එයාගේ තාත්තාටයි කපටි විදිහට උත්තර දුන්නා. 14 එයාලා මෙහෙම කිව්වා. “චර්මච්ඡේදනය වෙලා නැති කෙනෙක්ට+ අපේ නංගිව විවාහ කරලා දෙන්න අපිට කොහොමටවත් බැහැ. ඒක අපිට අවනම්බුවක්. 15 ඔයාගේ ඉල්ලීමට අපි එකඟ වෙන්නේ ඔයාලාගේ හැම පිරිමියෙක්ම අපි වගේම චර්මච්ඡේදනය වුණොත් විතරයි.+ 16 එහෙම කළොත් අපේ දුවලව අපි ඔයාලට දෙන්නම්. අපිත් ඔයාලාගේ දුවලව විවාහ කරගෙන මේ දේශයේ පදිංචි වෙලා එක සෙනඟක් වගේ ජීවත් වෙන්නම්. 17 හැබැයි අපි කියන විදිහට ඔයා චර්මච්ඡේදනය කරගන්න කැමති නැත්තං අපේ නංගිවත් අරගෙන අපි මෙහෙන් යනවා.”
18 එයාලා කියපු දේට හාමෝර්+ සහ එයාගේ පුතා වුණ ෂීකෙම්+ එකඟ වුණා. 19 ෂීකෙම් යාකොබ්ගේ දුවට ගොඩක් ආදරේ කරපු නිසා එයාලා කියපු දේ කරන්න එයා පරක්කු කළේ නැහැ.+ එයා එයාගේ තාත්තාගේ ගෙදර හිටපු හැමෝටම වඩා ගෞරවය දිනාගත්ත කෙනෙක්.
20 හාමෝර් සහ එයාගේ පුතා වුණ ෂීකෙම් නගරේ දොරටුව ළඟට ගිහින් ඒ නගරේ මිනිස්සුන්ට+ මෙහෙම කිව්වා. 21 “මේ මිනිස්සු කැමතියි අපි එක්ක සමාදානයෙන් ඉන්න. එයාලට මේ දේශයේ ජීවත් වෙන්නයි, වෙළඳාම් කරන්නයි අපි ඉඩ දෙමු. එයාලටත් ඉන්න ඇති තරම් ඉඩ මෙහේ තියෙනවානේ. එයාලාගේ දුවලව විවාහ කරගන්නත් අපේ දුවලව එයාලට දෙන්නත් අපිට පුළුවන්.+ 22 හැබැයි එයාලා අපිත් එක්ක එක සෙනඟක් වගේ මෙහේ ජීවත් වෙන්න එකඟ වෙන්නේ අපි එක දෙයක් කරොත් විතරයි. එයාලා අපිට කියනවා අපේ හැම පිරිමියෙක්ම එයාලා වගේ චර්මච්ඡේදනය වෙන්න ඕනෙ කියලා.+ 23 අපි එහෙම කරොත් එයාලාගේ දේපළ, වස්තුව, එයාලාගේ සත්තු ඔක්කොම අපිට අයිති වෙයි. ඉතින් අපි එයාලා කියන දේට එකඟ වෙමු. එතකොට අපිත් එක්ක ජීවත් වෙන්න එයාලව කැමති කරවගන්න අපිට පුළුවන්.” 24 නගරේ දොරටුව ළඟින් යන එන හැමෝම හාමෝර් සහ එයාගේ පුතා වුණ ෂීකෙම් කියපු දේ ඇහුවා. එතනින් යන එන පිරිමි අය ඔක්කොමලා චර්මච්ඡේදනය කරගත්තා.
25 තුන්වෙනි දවස වෙද්දී නගරේ පිරිමි අය හිටියේ ලොකු වේදනාවකින්. එතකොට යාකොබ්ගේ පුතාලා දෙන්නෙක් ඒ කියන්නේ දීනාගේ අයියලා+ වුණ සිමියොන් සහ ලෙවී එයාලාගේ කඩු අරගෙන නගරෙට ඇතුල් වුණා. හැබැයි කවුරුත් එයාලව සැක කළේ නැහැ. එයාලා නගරෙට ගිහින් එහේ හිටපු හැම පිරිමියෙක්වම මරලා දැම්මා.+ 26 එයාලා හාමෝර්ව සහ එයාගේ පුතා වුණ ෂීකෙම්වත් කඩුවෙන් මරලා දැම්මා. ඊටපස්සේ එයාලා දීනාව ෂීකෙම්ගේ ගෙදරින් අරගෙන ගියා. 27 පිරිමි හැමෝවම මරලා දාලා තිබුණ නගරෙට යාකොබ්ගේ අනිත් පුතාලා ඇතුල් වෙලා නගරේ තිබුණ හැම දෙයක්ම කොල්ල කෑවා. එයාලා එහෙම කළේ ඒ නගරේදී එයාලාගේ නංගිව දූෂණය කරපු නිසයි.+ 28 ඒ නගරේ හිටපු අයගේ එළු බැටළු රැළවල්, ගව රැළවල්, බූරුවන් වගේම නගරේ සහ වතුවල තිබුණ හැම දෙයක්ම එයාලා අරගෙන ගියා. 29 දරුවන්ව සහ භාර්යාවන්වත් අල්ලගෙන ගියා. ගෙවල්වල තිබුණ හැම දෙයක්මත් එයාලා අරන් ගියා. එයාලා කිසිම දෙයක් ඉතුරු කළේ නැහැ.
30 යාකොබ් ඒ ගැන දැනගත්තාම සිමියොන්ටයි, ලෙවීටයි+ මෙහෙම කිව්වා. “ඔයාලා මාව ලොකු කරදරයකට පැටලුවා. දැන් මේ දේශයේ ඉන්න කානානිවරුනුයි, පෙරිස්සිවරුනුයි මාත් එක්ක වෛර බැඳගනියි. අපිත් එක්ක ඉන්නේ ටිකදෙනායි. එයාලා අනිවාර්යයෙන්ම එකතු වෙලා අපිට පහර දෙයි. මාවයි, පවුලේ හැමෝවමයි එයාලා නැත්තටම නැති කරලා දායි.” 31 ඒත් ඒ දෙන්නා තාත්තාට මෙහෙම කිව්වා. “කාටවත් අයිතියක් තියෙනවාද අපේ නංගිව ගණිකාවක් විදිහට සලකන්න?”
35 ඊටපස්සේ දෙවියන් යාකොබ්ට මෙහෙම කිව්වා. “බෙතෙල්වලට+ ගිහිල්ලා එහේ ජීවත් වෙන්න. ඔයාගේ අයියා වන ඒසව්ගෙන් ඔයා පලා යද්දී ඔයාට දර්ශනය වුණ සැබෑ දෙවියන් වන මට එතන පූජාසනයක් හදන්න.”+
2 ඊටපස්සේ යාකොබ් එයාගේ පවුලේ අයටයි, එයා එක්ක හිටපු අනිත් අයටයි මෙහෙම කිව්වා. “ඔයාලා ළඟ තියෙන පිළිම ඔක්කොම අයින් කරන්න.+ පවිත්‍ර වෙලා පිරිසිදු ඇඳුම් ඇඳගන්න. 3 අපි බෙතෙල්වලට යමු. මගේ දුකේදී මම කරපු කන්නලව්වලට සවන් දීපු, මං ගිය හැම තැනකදීම මං ළඟින්ම හිටපු සැබෑ දෙවියන්ට+ මම එහේ පූජාසනයක් හදනවා.” 4 ඉතින් එයාලා තමන් ළඟ තිබුණ පිළිමයි, එයාලා කන්වල දාගෙන හිටපු කරාබුයි* යාකොබ්ට දුන්නා. යාකොබ් ඒවා ඔක්කොම ෂීකෙම් ළඟ තිබුණ ලොකු ගහ යට වළලලා දැම්මා.
5 ඊටපස්සේ එයාලා එහෙන් යන්න පිටත් වුණා. දෙවියන් අවට නගරවල හිටපු මිනිස්සුන්ගේ හිත්වල ලොකු බයක් ඇති කරපු නිසා කවුරුත් යාකොබ්ගේ පුතාලට පහර දෙන්න එයාලා පස්සේ එළවගෙන ආවේ නැහැ. 6 පස්සේ යාකොබ් එයා එක්ක හිටපු හැමෝමත් එක්ක කානාන් දේශයේ තියෙන ලූෂ්වලට+ ඒ කියන්නේ බෙතෙල්වලට ආවා. 7 යාකොබ් එතන පූජාසනයක් හදලා ඒකට එල්බෙතෙල්* කියන නම තිබ්බා. මොකද එයා අයියාගෙන් පලා යද්දී සැබෑ දෙවියන් එතනදී තමයි එයාට දර්ශනය වෙලා තිබුණේ.+ 8 ඊටපස්සේ රෙබෙකාව පොඩි කාලේ ඉඳලා බලාගත්ත සේවිකාව වුණ දෙබොරා+ මැරුණා. බෙතෙල්වලට කිට්ටුවෙන් තිබුණ ලොකු ගහක්* යට එයාව වැළලුවා. යාකොබ් ඒ ගහට අල්ලොන්බාකුත්* කියන නම තිබ්බා.
9 යාකොබ් පදන්ආරම්වල ඉඳන් එද්දී දෙවියන් ආයෙත් සැරයක් එයාට දර්ශනය වෙලා ආශීර්වාද කළා. 10 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “ඉස්සරහට ඔයාට යාකොබ්+ කියලා කතා කරන්නේ නැහැ. ඔයාගේ අලුත් නම ඊශ්‍රායෙල්.” ඒ විදිහට දෙවියන් එයාට ඊශ්‍රායෙල්+ කියන නම දුන්නා. 11 දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. “සියලු බලැති දෙවියන් මමයි.+ ඔයාගෙන් පැවතෙන අයගේ ගාණ තව තවත් වැඩි වෙයි. ඔයාගෙන් ජාතීන්* සහ විශාල සෙනඟක් බිහි වෙයි.+ ඔයාගෙන් පැවතෙන අයගෙන් රජවරුන් බිහි වෙයි.+ 12 මම ආබ්‍රහම්ටයි, ඊසාක්ටයි දුන්න දේශය ඔයාටත් දෙනවා. ඔයාගෙන් පැවතෙන අයටත් මම ඒ දේශය දෙනවා.”+ 13 දෙවියන් එයාත් එක්ක කතා කළාට පස්සේ එතනින් ගියා.
14 දෙවියන් එයාත් එක්ක කතා කරපු ඒ ස්ථානයේ යාකොබ් ගල් කණුවක් හිටෙව්වා. එයා පූජාවක්* විදිහට ඒකට වයින් වක් කළා. ඊටපස්සේ ඒකට තෙලුත් වක් කළා.+ 15 දෙවියන් එයා එක්ක කතා කරපු ඒ තැන යාකොබ් දිගටම බෙතෙල්+ කියන නමින් හැඳින්නුවා.
16 ඊටපස්සේ එයාලා කූඩාරම් අකුළගෙන බෙතෙල්වලින් පිටත් වුණා. එෆ්‍රාත්වලට සෑහෙන දුරක් තියෙද්දී රාකෙල්ට ප්‍රසව වේදනාව ඇති වුණා. ඒකෙන් එයා ගොඩක් වේදනා වින්දා. 17 දරුවා හම්බ වෙන්න යද්දී රාකෙල්ට තවත් අමාරු වුණා. එතකොට වින්නඹුව විදිහට හිටපු කෙනා එයාට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. ඔයාට තවත් පුතෙක් හම්බ වෙයි.”+ 18 රාකෙල් මැරෙන්න ළං වෙලා පණ ඇදඇද ඉද්දී එයා ඒ පුතාට බෙන්ඕනි* කියන නම තිබ්බා. ඒත් දරුවාගේ තාත්තා එයාට බෙන්ජමින්*+ කියන නම තිබ්බා. 19 ඊටපස්සේ රාකෙල් මැරුණා. එෆ්‍රාත්වලට ඒ කියන්නේ බෙත්ලෙහෙමට+ යන අතරමඟ එයාව වැළලුවා. 20 එයාව වළලපු තැන යාකොබ් කණුවක් හිටෙව්වා. අද වෙන කල් ඒක රාකෙල්ගේ සොහොන් කණුව විදිහට හඳුන්වනවා.
21 ඊටපස්සේ ඊශ්‍රායෙල් කූඩාරම් අකුළගෙන ඒදෙර් කොත පහු කරගෙන ගිහින් කූඩාරම් ගහගත්තා. 22 ඊශ්‍රායෙල් ඒ දේශයේ ජීවත් වුණ කාලේ දවසක් රූබෙන් එයාගේ තාත්තාගේ බිරිඳක්* වුණ බිල්හා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඊශ්‍රායෙල්ට ඒ ගැන ආරංචි වුණා.+
යාකොබ්ට පුතාලා 12දෙනෙක් හිටියා. 23 ලෙයාට හම්බ වුණ පුතාලාගේ නම් තමයි මේ. යාකොබ්ගේ කුලුඳුලා රූබෙන්.+ ඊටපස්සේ සිමියොන්, ලෙවී, යූදා, ඉසකාර් සහ සෙබ්‍යූලන්. 24 රාකෙල්ගේ පුතාලාගේ නම් යෝසෙප් සහ බෙන්ජමින්. 25 රාකෙල්ගේ සේවිකාව වුණ බිල්හාට ඉපදුණ පුතාලාගේ නම් තමයි දාන් සහ නෆ්තලී. 26 ලෙයාගේ සේවිකාව වුණ ෂිල්පාට ඉපදුණ පුතාලාගේ නම් ගාද් සහ ආෂෙර්. එයාලා හැමෝම පදන්ආරම්වලදී යාකොබ්ට හම්බ වුණ පුතාලා.
27 ඔය විදිහට යාකොබ් මම්රේවල+ එයාගේ තාත්තා වුණ ඊසාක් හිටපු තැනට ආවා. ඒක තියෙන්නේ කිර්යත්අර්බා ඒ කියන්නේ හෙබ්‍රොන්වලයි. එහේ තමයි ආබ්‍රහම් සහ ඊසාක් විදේශිකයන් විදිහට ජීවත් වුණේ.+ 28 ඊසාක් අවුරුදු 180ක් ජීවත් වුණා.+ 29 සතුටින්, හොඳ ජීවිතයක් ගත කරලා මහලු වයසේදී ඊසාක් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ+ එයාගේ පුතාලා වුණ ඒසව් සහ යාකොබ්.
36 මේ තමයි ඒදොම්+ කියලත් හඳුන්වන ඒසව්ගේ පෙළපත් වාර්තාව.
2 ඒසව් කානාන් දේශයේ කාන්තාවන්ව විවාහ කරගත්තා. එයා හිත්තී ජාතික+ ඒලොන්ගේ දුව වුණ ආදාවයි,+ හිවීය ජාතික ෂිබියොන්ගේ මිනිපිරිය වගේම අනාගේ දුව වුණ ඔහොලිබාමාවයි+ විවාහ කරගත්තා. 3 එයා ඉෂ්මායෙල්ගේ දුව වගේම නෙබායොත්ගේ+ නංගි වුණ බසෙමත්වත්+ විවාහ කරගත්තා.
4 ආදාට ඒසව්ගෙන් එලිෆස් හම්බ වුණා. බසෙමත්ට රුවෙල් හම්බ වුණා.
5 ඔහොලිබාමාට යෙවුෂ්, යාලාම් සහ කෝරා+ හම්බ වුණා.
එයාලා තමයි කානාන් දේශයේදී ඒසව්ට හම්බ වුණ පුතාලා. 6 ඊටපස්සේ ඒසව් එයාගේ මල්ලි වුණ යාකොබ් හිටපු තැනින් ඈතට වෙන්න තිබුණ ප්‍රදේශයකට ගිහින් ජීවත් වුණා.+ ඒසව් එයාගේ භාර්යාවන්වයි, එයාගේ දරුදැරියන්වයි, එයාගේ ගෙදර හිටපු අනිත් හැමෝවමයි, එළු බැටළු, ගව රැළවල් සහ එයාගේ අනිත් සත්තු ඔක්කොමත් අරගෙන ගියා. කානාන් දේශයේදී එයා එකතු කරගත්ත හැම වස්තුවක්ම+ එයා අරගෙන ගියා. 7 එකම ප්‍රදේශයේ ජීවත් වෙන්න බැරි තරමට එයාලට තිබුණ දේවල් ගොඩක් වැඩි වෙලා තිබුණා. එයාලා දෙන්නාටම ගොඩක් සත්තු හිටපු නිසා එයාලා හිටිය* ප්‍රදේශයේ එකට ජීවත් වෙන්න ඉඩ මදි වුණා. 8 ඉතින් ඒසව් සේයිර්+ කඳුකරයට ගිහිල්ලා එහේ පදිංචි වුණා. ඒසව්ව ඒදොම්+ කියලත් හඳුන්වනවා.
9 සේයිර්+ කඳුකරයේ ජීවත් වුණ ඒදොම්වරුන්ගේ ආදිපියා වුණ ඒසව්ගේ පෙළපත් වාර්තාව තමයි මේ.
10 ඒසව්ගේ පුතාලාගේ නම්: ඒසව්ගේ බිරිඳ වුණ ආදාගේ පුතා එලිෆස්. ඒසව්ගේ බිරිඳ වුණ බසෙමත්ගේ පුතා රුවෙල්.+
11 එලිෆස්ගේ පුතාලාගේ නම්: තේමාන්,+ ඕමාර්, ෂෙපෝ, ගාතම් සහ කෙනෂ්.+ 12 ඒසව්ගේ පුතා වුණ එලිෆස්ට තවත් බිරිඳක්* හිටියා. එයාගේ නම තිම්නා. එලිෆස්ගෙන් එයාට අමලෙක්+ හම්බ වුණා. ඒ හැමෝම ඒසව්ගේ බිරිඳ වුණ ආදාගේ මුනුපුරන්.
13 රුවෙල්ගේ පුතාලාගේ නම්: නාහත්, සේරා, ෂම්මාහ් සහ මිෂ්ෂා. ඒ හැමෝම ඒසව්ගේ බිරිඳ වුණ බසෙමත්ගේ+ මුනුපුරන්.
14 ෂිබියොන්ගේ මිනිපිරිය සහ අනාගේ දුව වුණ ඔහොලිබාමාට ඒසව්ගෙන් ලැබුණ පුතාලාගේ නම්: යෙවුෂ්, යාලාම් සහ කෝරා.
15 ඒසව්ගෙන් පැවත ආපු අධිපතීන්ගේ* නම් තමයි මේ.+ ඒසව්ගේ කුලුඳුලා වුණ එලිෆස්ගේ පුතාලා: තේමාන්, ඕමාර්, ෂෙපෝ, කෙනෂ්,+ 16 කෝරා, ගාතම් සහ අමලෙක්. එලිෆස්ගෙන්+ පැවත ආපු ඒ හැමෝම ඒදොම් දේශයේ අධිපතීන් විදිහට වැඩ කළා. එයාලා හැමෝම ආදාගේ මුනුපුරන්.
17 ඒසව්ගේ පුතා වුණ රුවෙල්ගේ පුතාලාගේ නම්: නාහත්, සේරා, ෂම්මාහ් සහ මිෂ්ෂා. රුවෙල්ගෙන් පැවත ආපු ඒ හැමෝම ඒදොම්+ දේශයේ අධිපතීන් විදිහට වැඩ කළා. එයාලා හැමෝම ඒසව්ගේ බිරිඳ වුණ බසෙමත්ගේ මුනුපුරන්.
18 ඒසව්ගේ බිරිඳ වුණ ඔහොලිබාමාගේ පුතාලාගේ නම්: යෙවුෂ්, යාලාම් සහ කෝරා. ඒ හැමෝම අනාගේ දුව සහ ඒසව්ගේ බිරිඳ වුණ ඔහොලිබාමාගෙන් පැවත ආපු අධිපතීන්.
19 ඒ තමයි ඒදොම්+ කියලත් හඳුන්වන ඒසව්ගේ පුතාලාගේ සහ එයාලාගෙන් පැවත ආපු අධිපතීන්ගේ නම්.
20 ඒ දේශයේ මුල් පදිංචිකරුවන්+ වුණ හෝරිවරුන්ගෙන් පැවත ආපු සේයිර්ගේ පුතාලා නම්: ලොතන්, ෂෝබාල්, ෂිබියොන්, අනා,+ 21 දීෂොන්, එෂෙර් සහ දීෂන්.+ ඒදොම් දේශයේ හිටපු සේයිර්ගේ පුතාලාගෙන් පැවත ආපු ඒ හැමෝම හෝරිවරුන් අතරේ අධිපතීන් විදිහට වැඩ කළා.
22 ලොතන්ගේ පුතාලාගේ නම්: හෝරී සහ හෙමම්. ලොතන්ගේ නංගිගේ* නම තිම්නා.+
23 ෂෝබාල්ගේ පුතාලාගේ නම්: අල්වාන්, මනහාත්, ඒබාල්, ෂෙපො සහ ඕනාම්.
24 ෂිබියොන්ගේ+ පුතාලාගේ නම්: ආයා සහ අනා. අනා එයාගේ තාත්තා වුණ ෂිබියොන්ට අයිති බූරුවන්ව බලාගද්දී එයාට පාළුකරයේ තිබුණ උණුදිය උල්පත් හම්බ වුණා.
25 අනාගේ දරුවන්ගේ නම්: පුතා දීෂොන් සහ දුව ඔහොලිබාමා.
26 දීෂොන්ගේ පුතාලාගේ නම්: හෙම්දන්, එෂ්බන්, ඉත්රාන් සහ කෙරන්.+
27 එෂෙර්ගේ පුතාලාගේ නම්: බිල්හාන්, සයවාන් සහ අකාන්.
28 දීෂන්ගේ පුතාලාගේ නම්: ඌෂ් සහ අරාන්.+
29 හෝරිවරුන්ගේ අධිපතීන්ගේ නම්: ලොතන්, ෂෝබාල්, ෂිබියොන්, අනා, 30 දීෂොන්, එෂෙර් සහ දීෂන්.+ ඒ හැමෝම සේයිර් දේශයේ හිටපු හෝරිවරුන් අතරේ අධිපතීන් විදිහට වැඩ කළා.
31 ඒදොම්+ දේශය පාලනය කරපු රජවරුන්ගේ විස්තර පහළින් තියෙනවා. එයාලා පාලනය කළේ ඊශ්‍රායෙල්වරුන්ට රජ කෙනෙක්ව පත් කරන්න කලිනුයි.+ 32 බෙයොර්ගේ පුතා වුණ බෙලා ඒදොම් දේශය පාලනය කළා. එයාගේ නගරයේ නම දින්හබා. 33 බෙලා මැරුණාට පස්සේ බොෂ්රාවලින් ආපු සේරාගේ පුතා වුණ යෝබාබ් පාලනය කරන්න පටන්ගත්තා. 34 යෝබාබ් මැරුණාට පස්සේ තේමාන්වරුන්ගේ දේශයෙන් ආපු හූෂාම් පාලනය කරන්න පටන්ගත්තා. 35 හූෂාම් මැරුණාට පස්සේ බෙදද්ගේ පුතා වුණ හදද් පාලනය කරන්න පටන්ගත්තා. එයා තමයි මෝවබ් ප්‍රදේශයේදී* මිදියන්වරුන්ව+ පරාජය කළේ. එයාගේ නගරයේ නම අවිත්. 36 හදද් මැරුණාට පස්සේ මස්රේකාවලින් ආපු සම්ලා පාලනය කරන්න පටන්ගත්තා. 37 සම්ලා මැරුණාට පස්සේ ගඟ ළඟ තියෙන රෙහොබොත්වලින් ආපු ෂාවුල් පාලනය කරන්න පටන්ගත්තා. 38 ෂාවුල් මැරුණාට පස්සේ අක්බොර්ගේ පුතා වුණ බාල්හානාන් පාලනය කරන්න පටන්ගත්තා. 39 අක්බොර්ගේ පුතා වුණ බාල්හානාන් මැරුණාට පස්සේ හදර් පාලනය කරන්න පටන්ගත්තා. එයාගේ නගරයේ නම පාව්. එයාගේ බිරිඳගේ නම මෙහේටබෙල්. එයා මාත්රෙද්ගේ දුව සහ මේෂාහාබ්ගේ මිනිපිරිය.
40 ඒසව්ගෙන් පැවත ආපු අධිපතීන්ගේ නම් පහළින් තියෙනවා. ඒ නම්වලින් එයාලාගේ පවුල් සහ එයාලා පාලනය කරපු ප්‍රදේශ හඳුන්වනවා. ඒ නම් තමයි: තිම්නා, අල්වා, යේතෙත්,+ 41 ඔහොලිබාමා, ඒලාහ්, පීනොන්, 42 කෙනෂ්, තේමාන්, මිබ්ෂාර්, 43 මග්දියෙල් සහ ඊරාම්. ඒදොම්ගෙන් පැවත ආපු අධිපතීන් තමයි ඒ. එයාලාගේ දේශයේ+ එයාලා පදිංචි වෙලා හිටපු ප්‍රදේශත් හැඳින්නුවේ ඒ නම්වලින්මයි. ඒදොම්වරුන්ගේ ආදිපියා ඒසව්.+
37 යාකොබ් එයාගේ තාත්තා විදේශිකයෙක්+ හැටියට ජීවත් වුණ කානාන් දේශයේ දිගටම ජීවත් වුණා.
2 යාකොබ්ගේ පවුලේ අයගේ විස්තර තමයි මේ.*
යෝසෙප්ට+ අවුරුදු 17දී ඒ කියන්නේ එයා තරුණ වයසේ ඉද්දී එයාගේ තාත්තාගේ භාර්යාවන් වුණ බිල්හාගේ+ සහ ෂිල්පාගේ+ පුතාලා එක්ක රැළ බලාගත්තා.+ දවසක් එයා තාත්තා ළඟට ගිහින් එයාගේ අයියලා කරන නරක වැඩ ගැන තාත්තාට කිව්වා. 3 ඊශ්‍රායෙල්* එයාගේ හැම පුතෙක්ටම වඩා+ වැඩියෙන්ම ආදරේ කළේ යෝසෙප්ට. මොකද යෝසෙප් ඉපදුණේ එයා මහලු වයසේ ඉද්දී. එයා යෝසෙප්ට විශේෂ ඇඳුමක්* මස්සලා දුන්නා. 4 තාත්තා එයාලා හැමෝටම වඩා යෝසෙප්ට ආදරෙයි කියලා දැක්කාම යෝසෙප්ගේ අයියලා එයාට වෛර කරන්න පටන්ගත්තා. ඒ නිසා එයාලා හැම තිස්සේම යෝසෙප්ට කතා කළේ හරිම සැරෙන්.
5 දවසක් යෝසෙප් එයා දැක්ක හීනයක් ගැන අයියලට කිව්වා.+ ඒකෙන් පස්සේ අයියලට එයා ගැන තිබුණ වෛරය තවත් වැඩි වුණා. 6 එයා අයියලට මෙහෙම කිව්වා. “අනේ, මං දැක්ක හීනේ ගැන ඔයාලට කියන්න මට ඉඩ දෙන්න. 7 අපි ඔක්කොමලා කෙතේ ධාන්‍ය මිටි බඳිද්දී එකපාරටම මගේ මිටිය නැඟිටලා කෙළින් හිටගත්තා. ඊටපස්සේ ඔයාලා හැමෝගෙම මිටි මගේ මිටිය වටේට හිටගෙන ඒකට නැමිලා ගෞරව කළා.”+ 8 එතකොට එයාගේ අයියලා එයාට මෙහෙම කිව්වා. “රජ වෙලා අපිව පාලනය කරන්නද ඔයා හිතාගෙන ඉන්නේ?”+ එයා දැක්ක හීනේ සහ ඒ ගැන එයා කියපු දේවල් නිසා එයාලා තව වැඩියෙන් යෝසෙප්ට වෛර කළා.
9 ඊටපස්සේ යෝසෙප් තවත් හීනයක් දැක්කා. ඒ ගැනත් එයා අයියලට මෙහෙම කිව්වා. “මං තවත් හීනයක් දැක්කා. ඒ හීනේදී ඉරයි, හඳයි, තරු 11කුයි නැමිලා මට ගෞරව කළා.”+ 10 පස්සේ එයා ඒ ගැන එයාගේ තාත්තාටත් කිව්වා. ඒක කියද්දී අයියලත් එතන හිටියා. ඒක ගැන ඇහුවාට පස්සේ තාත්තා එයාට සැර කරලා මෙහෙම කිව්වා. “මොකක්ද ඔයා දැක්ක මේ හීනේ? ඔයා කියන්නේ මායි, ඔයාගේ අම්මායි, ඔයාගේ අයියලයි, මල්ලියි ඔයා ළඟට ඇවිල්ලා ඔයා ඉස්සරහා නැමිලා ඔයාට ගෞරව කරයි කියලද?” 11 යෝසෙප්ගේ අයියලට එයා ගැන ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වුණා.+ ඒත් එයාගේ තාත්තා එයා කියපු දේවල් හිතේ තියාගත්තා.
12 දවසක් එයාගේ අයියලා ෂීකෙම්වලට+ කිට්ටුවෙන් තියෙන තණබිමකට තාත්තාගේ රැළ අරගෙන ගියා. 13 ඊශ්‍රායෙල් යෝසෙප්ට කතා කරලා මෙහෙම කිව්වා. “අයියලා රැළත් එක්ක ෂීකෙම්වලට කිට්ටු තැනකට ගියා. ඔයාට පුළුවන්ද ගිහින් එයාලව බලලා එන්න?” එතකොට යෝසෙප් “හා තාත්තේ මං යන්නම්” කියලා කිව්වා. 14 ඉතින් ඊශ්‍රායෙල් පුතාට මෙහෙම කිව්වා. “අනේ එහෙනං ඔයා ගිහිල්ලා අයියලයි, රැළේ සත්තු ටිකයි හොඳින් ඉන්නවාද කියලා බලලා එන්න.” ඊටපස්සේ යෝසෙප් හෙබ්‍රොන් නිම්නයේ*+ ඉඳලා ෂීකෙම්වලට යන්න පිටත් වුණා. 15 පස්සේ යෝසෙප් තණබිමක ඇවිද ඇවිද ඉන්නවා දැකලා මනුස්සයෙක් එයාගෙන් ඇහුවා “ඔයා කාවද හොයන්නේ” කියලා. 16 “මං හොයන්නේ මගේ අයියලව. එයාලා සත්තු අරන් ගියේ කොහෙටද කියලා ඔයා දන්නවාද” කියලා යෝසෙප් එයාගෙන් ඇහුවා. 17 එතකොට ඒ මනුස්සයා එයාට මෙහෙම කිව්වා. “එයාලා කූඩාරම් අකුළගෙන මෙහෙන් ගියා. ‘අපි දොතාන්වලට යමු’ කියලා එයාලා කතා වෙනවා මට ඇහුණා.” ඉතින් යෝසෙප් දොතාන්වලට ගියා. එහෙට ගියාම අයියලා එහේ ඉන්නවා එයා දැක්කා.
18 යෝසෙප් ඈත එනවා දැකලා එයාගේ අයියලා එයාව මරන්න කතා වුණා. 19 එයාලා මෙහෙම කිව්වා. “ඔය එන්නේ අර හීන මවන්නා!+ 20 අපි එයාව මරලා වතුර වළකට දාමු. දරුණු සතෙක් එයාව කාලා දාලා කියමු. එතකොට බලමු එයාගේ හීනවලට මොකද වෙන්නේ කියලා.” 21 එයාලා කතා වුණ දේවල් රූබෙන්+ දැනගත්තාම යෝසෙප්ව බේරගන්න ඕන නිසා එයා මෙහෙම කිව්වා. “අපි එයාව මරන්නැතුව ඉමු.”+ 22 රූබෙන් එයාලට මෙහෙමත් කිව්වා. “එයාව මරන්නැතුව+ පාළුකරයේ තියෙන මේ වතුර වළට එයාව තල්ලු කරලා දාන්න. හැබැයි එයාට කිසි අනතුරක් කරන්න එපා.”+ එයා එහෙම කිව්වේ යෝසෙප්ව එයාලාගේ අතින් බේරගෙන ආයෙත් තාත්තාට භාර දෙන්න හිතාගෙනයි.
23 යෝසෙප් අයියලා ළඟට ආපු ගමන්ම එයාලා එයා ඇඳගෙන හිටපු විශේෂ ඇඳුම+ ඇදලා අරන් 24 යෝසෙප්ව අරගෙන ගිහින් වතුර වළට දැම්මා. ඒ කාලයේ ඒකේ වතුර හිඳිලා ගිහිල්ලයි තිබුණේ.
25 ඊටපස්සේ එයාලා කෑම කන්න ඉඳගත්තා. ටික වෙලාවකට පස්සේ එයාලා දැක්කා ඊජිප්තුවේ වෙළඳාම් කරන්න යන ඉෂ්මායෙල්වරුන්+ කණ්ඩායමක් එනවා. ඒ වෙළඳුන් ආවේ ගිලියද් ඉඳන්. එයාලාගේ ඔටුවන් පිටේ බෙහෙත්වලට ගන්න දේවල් සහ සුවඳ ද්‍රව්‍ය* පටවලා තිබුණා.+ 26 එතකොට යූදා එයාගේ අයියලටයි, මල්ලිලටයි මෙහෙම කිව්වා. “අපි අපේ මල්ලිව මරලා හැංගුවා කියලා මොකක්ද අපිට තියෙන ප්‍රයෝජනේ?+ 27 අපි එයාව ඉෂ්මායෙල්වරුන්ට විකුණමු.+ අපි මොකටද එයාට හානියක් කරන්නේ? අනික එයා අපේ මල්ලිනේ. අපේම පවුලේ කෙනෙක්නේ.” එයාලා යූදා කියපු දේට එකඟ වුණා. 28 ඒ මිදියන් ජාතික*+ වෙළෙන්දෝ එතනින් යද්දී අයියලා යෝසෙප්ව වතුර වළෙන් උඩට අරන් රිදී ෂෙකෙල්* 20කට එයාව ඒ වෙළෙන්දන්ට* විකුණුවා.+ ඉෂ්මායෙල්වරු යෝසෙප්ව ඊජිප්තුවට අරගෙන ගියා.
29 පස්සේ රූබෙන් වතුර වළ ළඟට ගිහිල්ලා බැලුවා. ඒත් යෝසෙප් ඒකේ නැහැ කියලා දැක්කාම එයා එයාගේ ඇඳුම් ඉරාගෙන ගොඩක් දුක් වුණා. 30 එයා අනිත් අය ළඟට ගිහින් මෙහෙම කිව්වා. “මල්ලි නැහැනේ! දැන් මං මොකද කරන්නේ?”
31 ඉතින් එයාලා එළුවෙක්ව මරලා යෝසෙප්ගේ ඇඳුම ඒ ලේවල පෙඟෙව්වා. 32 ඊටපස්සේ එයාලා යෝසෙප්ගේ විශේෂ ඇඳුම මේ පණිවිඩයත් එක්ක තාත්තාට යැව්වා. “අපිට මේක හම්බ වුණා. මේක ඔයාගේ පුතාගේ ඇඳුමද කියලා බලන්න.”+ 33 එයා ඒ ඇඳුම දිහා බලලා කෑගහලා මෙහෙම කිව්වා. “අනේ, මේ මගේ පුතාගේ ඇඳුමනේ! දරුණු සතෙක් එයාව අල්ලගන්න ඇති. ඌ යෝසෙප්ව කාලා දාන්න ඇති!” 34 ඊටපස්සේ යාකොබ් එයාගේ ඇඳුම් ඉරාගෙන, එයාගේ ඉණ වටේ ගෝණි රෙදි ඇඳගෙන දවස් ගාණක් යන කල්ම පුතා නිසා අඬා වැලපුණා. 35 එයාගේ දුවලා පුතාලා හැමෝම එයාව සනසන්න කොච්චර උත්සාහ කළත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. “මේ දුක මං මැරෙන කල්ම තියෙයි”*+ කියකිය යෝසෙප්ගේ තාත්තා දිගටම අඬා වැලපුණා.
36 මිදියන්වරු යෝසෙප්ව ඊජිප්තුවට අරන් ගිහින් පාරාවෝගේ මාලිගාවේ නිලධාරියෙක්+ වුණ පොතිෆර්ට වික්කා. පොතිෆර් ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා+ විදිහටත් වැඩ කළා.
38 ඒ කාලේදී වගේ යූදා එයාගේ අයියලා මල්ලිලාගෙන් වෙන් වෙලා අදුල්ලාම් ජාතික හීරා හිටපු තැනට කිට්ටුවෙන් එයාගේ කූඩාරම ගහගත්තා. 2 එහෙදී යූදාට කානානි ජාතිකයෙක්+ වුණ ෂුවාගේ දුව ගැන කැමැත්තක් ඇති වුණා. ඉතින් යූදා එයාව විවාහ කරගත්තා. 3 යූදාගේ බිරිඳ ගැබ්ගෙන පුතෙක් බිහි කළා. යූදා එයාට ඒර්+ කියන නම තිබ්බා. 4 එයා ආයෙත් ගැබ්ගෙන පුතෙක් බිහි කරලා ඒ පුතාට ඕනාන් කියන නම තිබ්බා. 5 එයා ආයෙත් පුතෙක් බිහි කරලා එයාට ෂේලා කියන නම තිබ්බා. ඒ පුතා ඉපදෙද්දී එයාලා* හිටියේ අක්ෂිබ්වල.+
6 කාලයක් ගියාට පස්සේ යූදා එයාගේ ලොකු පුතා වුණ ඒර්ට බිරිඳක් හොයලා දුන්නා. එයාගේ නම තාමර්.+ 7 ඒත් යූදාගේ කුලුඳුලා වුණ ඒර් යෙහෝවා දෙවියන් ඉදිරියේ හරිම දුෂ්ට දේවල් කළා. ඒ නිසා යෙහෝවා එයාව මරණයට පත් කළා. 8 ඉතින් යූදා ඕනාන්ට මෙහෙම කිව්වා. “ඔයාගේ අයියාගේ බිරිඳව විවාහ කරගෙන අයියාගේ නම ගෙනියන්න දරුවෝ හදන්න.”*+ 9 ඒත් දරුවන් එයාට අයිති වෙන්නේ නැහැ+ කියලා දන්න නිසා ඕනාන් අයියාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වපු හැම අවස්ථාවකම ශුක්‍රාණු බිමට යන්න ඇරියා. එයා එහෙම කළේ අයියාගේ නම ගෙනියන්න දරුවන් බිහි වෙන්නේ නැති වෙන්නයි.+ 10 එයා කරපු ඒ දේ යෙහෝවා සැලකුවේ හරිම දුෂ්ට දෙයක් විදිහට. ඒ නිසා ඔහු එයාවත් මරණයට පත් කළා.+ 11 ඉතින් යූදා එයාගේ ලේළි වුණ තාමර්ට මෙහෙම කිව්වා. “වෙන විවාහයක් කරගන්නේ නැතුව ඔයාගේ තාත්තාගේ ගෙදරට ගිහින් ඉන්න. මගේ පුතා ෂේලා වැඩිහිටියෙක් වුණාම එයාව විවාහ කරගන්න පුළුවන්.” යූදා එහෙම කිව්වේ එයාගේ අනිත් පුතාලා වගේ ෂේලාත් මැරෙයි කියලා බය වුණ නිසයි.+ ඉතින් තාමර් යූදා කියපු විදිහට එයාගේ තාත්තාගේ ගෙදර ගිහින් එහේ ජීවත් වුණා.
12 කාලයක් ගියාට පස්සේ ෂුවාගේ+ දුව ඒ කියන්නේ යූදාගේ බිරිඳ මැරුණා. එයා ගැන දුක් වෙන කාලේ ඉවර වුණාට පස්සේ යූදා එයාගේ යාළුවා වුණ අදුල්ලාම් ජාතික+ හීරා එක්ක තිම්නාහ්වල+ හිටපු එයාගේ බැටළුවන්ගේ ලොම් කපන අයව බලන්න ගියා. 13 තාමර්ට මේ ආරංචිය ලැබුණා. “ඔයාගේ මාමා බැටළුවන්ගේ ලොම් කපන්න තිම්නාහ්වලට යනවා.” 14 ඉතින් එයා වැන්දඹු ඇඳුම් ගලවලා වෙන ඇඳුමක් ඇඳගෙන මූණත් සළුවකින් වහගෙන තිම්නාහ්වලට යන පාරේ එනායිම්වලට ඇතුල් වෙන තැන ඉඳගත්තා. මොකද ෂේලා වැඩිහිටි වයසට ඇවිල්ලා හිටියත් එයාව ෂේලාට විවාහ කරලා දීලා තිබුණේ නැහැ.+
15 එයා මූණ වහගෙන හිටපු නිසා යූදා එයාව දැක්ක ගමන්ම එයා ගණිකාවක් කියලා හිතුවා. 16 ඉතින් යූදා එයා ළඟට ගිහින් මෙහෙම කිව්වා. “එන්න, ඇවිත් මාත් එක්ක එකට ඉන්න.” ඒ ඉන්නේ එයාගේ ලේළි කියලා එයා දැනන් හිටියේ නැහැ.+ එතකොට තාමර් මෙහෙම කිව්වා. “ඔයා එක්ක ඉන්නවාට ඔයා මට මොනවාද දෙන්නේ?” 17 එතකොට යූදා එයාට මෙහෙම උත්තර දුන්නා. “මගේ රැළෙන් එළු පැටියෙක්* මං ඔයාට එවන්නම්.” ඒත් තාමර් ඇහුවා “ඌව එවනකං ඔයා ඇපයක් විදිහට මට මොනවාද දෙන්නේ” කියලා. 18 එතකොට යූදා ඇහුවා “ඇපයක් විදිහට ඔයාට මගෙන් මොනවාද ඕනෙ” කියලා. තාමර් කිව්වා “ඔයාගේ මුද්දයි,*+ ඒක දාලා තියෙන පටියයි, ඔයාගේ සැරයටියයි මට දෙන්න” කියලා. යූදා ඒවා තාමර්ට දීලා එයාත් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. එයා යූදා නිසා ගැබ්ගත්තා. 19 ඊටපස්සේ එයා එතනින් ගිහිල්ලා එයාගේ සළුව අයින් කරලා වැන්දඹු ඇඳුම් ඇඳගත්තා.
20 ඇපයක් විදිහට ඒ කාන්තාවට දුන්න දේවල් ආයෙත් ගන්න යූදා එයාගේ අදුල්ලම් ජාතික+ යාළුවා අතේ එළු පැටියෙක්ව යැව්වා. හැබැයි එයාව හොයාගන්න එයාට බැරි වුණා. 21 එයා එතන හිටපු මිනිස්සුන්ගෙන් ඇහුවා “එනායිම්වල පාර අයිනේ හිටපු අර ගණිකාව* කෝ” කියලා. එයාලා කිව්වා “මෙතන කවදාවත් ගණිකාවක් නම් ඉඳලා නැහැ” කියලා. 22 පස්සේ එයා යූදා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “මට එයාව හොයාගන්න බැරි වුණා. ඒ පැත්තේ මිනිස්සුත් කිව්වා ‘මෙතන කවදාවත් ගණිකාවක් නම් ඉඳලා නැහැ’” කියලා. 23 එතකොට යූදා මෙහෙම කිව්වා. “එයා ඒවා තියාගත්තදෙන්. එයාව හොයන්න ගියොත් අපිටමයි ලැජ්ජා වෙන්න වෙන්නේ. ඔයාට එයාව හම්බ වුණේ නැත්තං කරන්න දෙයක් නැහැ. මං පොරොන්දු වුණ විදිහට එළු පැටියාව යැව්වානේ.”
24 මාස තුනකට විතර පස්සේ යූදාට මේ ආරංචිය ලැබුණා. “ඔයාගේ ලේළි තාමර් ගණිකාවක් වගේ ඉඳලා දැන් අන්න දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා.” එතකොට යූදා මෙහෙම කිව්වා. “එයාව මෙහෙට අරන් එන්න. එයාව මරලා පුච්චලා දාන්න ඕනේ.”+ 25 එයාව අරන් එද්දී ඇපේට දීපු දේවල් එක්ක එයා මාමාට මේ පණිවිඩය යැව්වා. “මේවා අයිති කෙනා තමයි දරුවාගේ තාත්තා. මේ මුද්දයි, පටියයි, සැරයටියයි අයිති කාටද කියලා හොඳට බලන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා.”+ 26 යූදා ඒවා දිහා හොඳට බලලා මෙහෙම කිව්වා. “ඇත්තටම වැරදිකාරයා එයා නෙමෙයි මං. එයා ඒක කළේ මගේ පුතා ෂේලාව මං එයාට විවාහ කරලා දුන්නේ නැති නිසයි.”+ ඒ සිද්ධියෙන් පස්සේ යූදා තාමර් එක්ක ආයේ ලිංගික සම්බන්ධකම් පැවැත්තුවේ නැහැ.
27 දරුවා බිහි කරන දවස ආවාම තාමර්ට ලැබෙන්න යන්නේ නිවුන් දරුවන් කියලා තේරුණා. 28 දරුවෝ හම්බ වෙන වෙලාවේ එක දරුවෙක් එයාගේ අත එළියට දැම්මා. වින්නඹුව ඉක්මනින් තද රතු පාට නූලක් අරගෙන එයාගේ අතේ බඳින ගමන් මෙහෙම කිව්වා. “මේ දරුවා තමයි මුලින්ම එළියට ආවේ.” 29 ඒත් එයා එයාගේ අත ඇතුළට ගත්තාම අනිත් දරුවා එළියට ආවා. එතකොට වින්නඹුව පුදුමයෙන් මෙහෙම කිව්වා. “බලන්නකෝ ඔයා අම්මාව තුවාල කරගෙනයි එළියට ආවේ.” එයාට පේරෙස්*+ කියන නම තිබ්බේ ඒ නිසයි. 30 ඊටපස්සේ තද රතු පාට නූල අතේ බැඳලා තිබුණ දරුවා එළියට ආවා. එයාට සේරා+ කියන නම තිබ්බා.
39 යෝසෙප්ව ඉෂ්මායෙල්වරුන් ඊජිප්තුවට අරන් ගියා.+ ඊජිප්තු ජාතික පොතිෆර්+ එයාව ඉෂ්මායෙල්වරුන්ගෙන්+ මිල දීලා ගත්තා. පොතිෆර් කියන්නේ පාරාවෝගේ මාලිගාවේ නිලධාරියෙක් වගේම ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා. 2 යෙහෝවා දෙවියන් යෝසෙප්ට+ ආශීර්වාද කරපු නිසා හැම දෙයක්ම හොඳින් කරන්න එයාට පුළුවන් වුණා. ඒ නිසා ඊජිප්තු ජාතිකයෙක් වුණ එයාගේ ස්වාමියාගේ ගෙදර වැඩ එයාට භාර දුන්නා. 3 යෙහෝවාගේ ආශීර්වාදය එයාට තියෙනවා කියලත් එයා කරපු හැම දෙයක්ම හොඳින් කරන්න යෙහෝවා එයාට උදව් කරනවා කියලත් එයාගේ ස්වාමියාට තේරුණා.
4 යෝසෙප් දවසින් දවස එයාගේ ස්වාමියාගේ හිත දිනාගෙන එයාගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණා. ඒ නිසා පොතිෆර් එයාගේ ගෙදර හැම වැඩක්ම සහ එයාට අයිති හැම දෙයක්ම බලාගන්න යෝසෙප්ව පත් කළා. 5 පොතිෆර් එහෙම කරපු දවසේ ඉඳන් යෙහෝවා එයාගේ ගෙදර හැමෝටම ආශීර්වාද කරන්න පටන්ගත්තා. යෝසෙප් නිසා එයාගේ ගෙදර සහ කෙත්වතුවල තිබුණ හැම දේකටමත් යෙහෝවා ආශීර්වාද කළා.+ 6 ඒ විදිහට පොතිෆර් එයාට අයිති හැම දෙයක්ම බලාගන්න යෝසෙප්ට භාර දුන්නා. එයා කන කෑම ඇරෙන්න එයාට අයිති වෙන කිසිම දෙයක් ගැන එයා කරදර වුණේ නැහැ. යෝසෙප් හොඳට ඇඟපත තියෙන, කඩවසම් කෙනෙක් වුණා.
7 යෝසෙප්ගේ ස්වාමියාගේ බිරිඳගේ හිත යෝසෙප්ට ඇදිලා ගියා. ඒ නිසා එයා යෝසෙප් දිහා හැම තිස්සේම බලන්න පටන්ගත්තා. එයා යෝසෙප්ට මෙහෙම කිව්වා. “එන්නකෝ මාත් එක්ක එකට ඉන්න.” 8 ඒත් එයා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමියා මාව ගොඩක් විශ්වාස කරන හින්දා ගෙදර තියෙන හැම දෙයක්ම මට භාර දුන්නා. මං ඉන්න නිසා එයා ගෙදර දේවල් ගැන පොඩ්ඩක්වත් කරදර වෙන්නේ නැහැ. 9 මේ ගෙදර මට ඉහළින් කවුරුත් නැහැ. ඔයා මගේ ස්වාමියාගේ බිරිඳ නිසා ඔයා ඇරෙන්න වෙන කිසිම දෙයක් එයා මට තහනම් කරලා නැහැ. ඉතින් මං කොහොමද මේ වගේ දුෂ්ට වැඩක් කරලා දෙවියන්ට විරුද්ධව පව් කරන්නේ?”+
10 එයාත් එක්ක තනියම කාලේ ගත කරන්න කියලත් එයාත් එක්ක එකට ඉන්න කියලත් එයා දවස ගාණේ යෝසෙප්ට කරදර කළත් යෝසෙප් ඒකට කැමති වුණේ නැහැ. 11 දවසක් යෝසෙප් වෙනදා වගේ එයාගේ වැඩ කරන්න ගේ ඇතුළට ගියා. ඒ වෙලාවේ ගෙදර වැඩට හිටපු කිසිම කෙනෙක් ගේ ඇතුළේ හිටියේ නැහැ. 12 පොතිෆර්ගේ බිරිඳ යෝසෙප් ළඟට ඇවිල්ලා එයාගේ ඇඳුමෙන් අල්ලගත්තා. ඊටපස්සේ එයාව ළඟට ඇදලා අරන් “එන්නකෝ මාත් එක්ක එකට ඉන්න” කියලා කිව්වා. ඒත් යෝසෙප් එයාගේ ඇඳුමත් දාලා ගෙයින් එළියට දිව්වා. 13 යෝසෙප් එයාගේ ඇඳුමත් දාලා එළියට දිව්වා කියලා දැක්ක ගමන්ම 14 එයා කෑගහලා ගෙදර ඉන්න සේවකයන්ට මෙහෙම කිව්වා. “මේ බලන්න! මගේ මහත්තයා ගෙනාපු අර හෙබ්‍රෙව් ජාතික මනුස්සයා අපිට ලැජ්ජා කළා. එයා මාව දූෂණය කරන්න හැදුවා. ඉතින් මං කෑගැහුවා. 15 මං හයියෙන් කෑගහපු හින්දා එයා ඇඳුමත් දාලා එළියට දිව්වා.” 16 ඊටපස්සේ එයා යෝසෙප්ගේ ඇඳුමත් ළඟ තියාගෙන යෝසෙප්ගේ ස්වාමියා එන කල් බලන් හිටියා.
17 පොතිෆර් ආවාම එයාගේ බිරිඳ එයාට මෙහෙම කිව්වා. “ඔයා ගෙනාපු අර හෙබ්‍රෙව් ජාතික සේවකයා මං ළඟට ඇවිල්ලා මට ලැජ්ජා කරන්න හැදුවා. 18 ඒත් මං හයියෙන් කෑගහපු හින්දා එයා එයාගේ ඇඳුමත් දාලා එළියට දිව්වා.” 19 “ඔයාගේ සේවකයා මට මේ මේ දේවල් කළා” කියලා බිරිඳ කියපු දේවල් ඇහුවාම යෝසෙප්ගේ ස්වාමියාට හොඳටම කේන්ති ගියා. 20 ඉතින් යෝසෙප්ගේ ස්වාමියා එයාව හිරගෙදරට භාර දුන්නා. රජගේ හිරකරුවන්ව යැව්වෙත් ඒ හිරගෙදරටමයි. යෝසෙප් දිගටම හිරගෙදර හිටියා.+
21 යෙහෝවා දෙවියන් යෝසෙප්ව අත්හරින්නේ නැතුව එයාට දිගටම උදව් කළා.* ඒ නිසා හිරගෙදර ප්‍රධානියාගේ හිත දිනාගන්න යෝසෙප්ට පුළුවන් වුණා.+ 22 ඉතින් හිරගෙදර ප්‍රධානියා ඔක්කොම හිරකරුවන්ව බලාගන්න යෝසෙප්ට භාර දුන්නා. හිරකාරයන්ට හැම වැඩක්ම පැවරුවෙත් යෝසෙප්.+ 23 යෝසෙප්ට භාර දුන්න කිසිම දෙයක් ගැන හිරගෙදර ප්‍රධානියා පොඩ්ඩක්වත් කරදර වුණේ නැහැ. මොකද යෙහෝවා යෝසෙප් එක්කම ඉඳලා එයා කරපු හැම දෙයක්ම සාර්ථක වෙන්න සැලැස්සුවා.+
40 කාලයක් ගියාට පස්සේ ඊජිප්තුවේ රජගේ කුසලාන දරන අයගේ ප්‍රධානියා+ සහ රොටි හදන අයගේ ප්‍රධානියා එයාලාගේ ස්වාමියා අකමැති දෙයක් කළා. 2 ඉතින් පාරාවෝට* ඒ සේවකයන් දෙන්නා+ එක්ක හොඳටම කේන්ති ගියා. 3 ඒ නිසා රජ ඒ දෙන්නාව ප්‍රධාන ආරක්ෂක නිලධාරියා+ භාරයේ තිබුණ හිරගෙදරට භාර දුන්නා. යෝසෙප් හිටියෙත් ඒ හිරගෙදරමයි.+ 4 ප්‍රධාන ආරක්ෂක නිලධාරියා යෝසෙප්ව ඒ දෙන්නාගේ සේවකයා විදිහට පත් කළා.+ එයාලා ඔහොම කාලයක් හිරගෙදර හිටියා.
5 හිරගෙදර ඉද්දී රජගේ කුසලාන දරන කෙනා සහ රොටි හදන කෙනා එකම රෑ හීන දෙකක් දැක්කා. ඒ හීන දෙකට තේරුම් දෙකක් තිබුණා. 6 පහුවෙනිදා උදේ යෝසෙප් එයාලා ළඟට ආවාම එයාලා ඉන්නේ දුකෙන් කියලා එයාට තේරුණා. 7 ඉතින් එයා ඒ දෙන්නාගෙන්* මෙහෙම ඇහුවා. “මොකද අද ඔයාලා දෙන්නා දුකෙන් ඉන්නේ?” 8 එතකොට එයාලා මෙහෙම කිව්වා. “අපි දෙන්නා හීන දෙකක් දැක්කා. ඒත් ඒ හීනවල තේරුම අපිට කියලා දෙන්න කවුරුත් නෑ.” යෝසෙප් එයාලට මෙහෙම කිව්වා. “හීනවල තේරුම කියලා දෙන්න පුළුවන් දෙවියන්ට විතරයි.+ ඔයාලා දැක්ක හීන ගැන කියන්නකෝ.”
9 කුසලාන දරන්නන්ගේ ප්‍රධානියා එයා දැක්ක හීනය යෝසෙප්ට මෙහෙම විස්තර කළා. “මම දැක්කා මිදිවැලක්. 10 ඒ මිදිවැලේ රිකිලි තුනක් තිබුණා. රිකිලිවල දලු දානවත් එක්කම මල් පිපිලා, මිදිපොකුරු හොඳට හැදුණා. 11 මම මිදි කඩලා මගේ අතේ තිබුණ පාරාවෝගේ කුසලානයට ඒවා මිරිකලා දැම්මා. ඊටපස්සේ මං කුසලානය පාරාවෝගේ අතට දුන්නා.” 12 යෝසෙප් එයාට මෙහෙම කිව්වා. “ඒ හීනේ තේරුම මේකයි. රිකිලි තුන කියන්නේ දවස් තුනක්. 13 තව දවස් තුනකින් පාරාවෝ ඔයාව නිදහස් කරනවා. ඔයාට ආපහු ඔයාගේ තනතුර හම්බ වෙනවා.+ කුසලාන දරන්නා විදිහට කලින් වගේම ආයෙත් ඔයා පාරාවෝගේ අතට කුසලානය දෙනවා.+ 14 හැබැයි ඔයාව නිදහස් කළාම මාව අමතක කරන්න එපා. අනේ, මට කරුණාව* පෙන්නන්න. මං ගැන පාරාවෝට කියලා මාව මේ හිරගෙදරින් නිදහස් කරන්න බලන්න. 15 ඇත්තටම මාව හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන්+ පැහැරගෙනයි මෙහෙට ගෙනාවේ. මාව මෙහෙම හිරේ* දාන්න මං කිසිම වරදක් කළේ නැහැ.”+
16 ඒ හීනෙන් අදහස් කරපු දේ හොඳයි කියලා යෝසෙප් කියපු දේවලින් රොටි හදන අයගේ ප්‍රධානියා තේරුම්ගත්තා. ඉතින් එයා යෝසෙප්ට මෙහෙම කිව්වා. “මාත් හීනයක් දැක්කා. මං මගේ ඔළුව උඩ කූඩ තුනක් තියාගෙන හිටියා. ඒ කූඩවල හොඳම රොටි තිබුණා. 17 උඩම කූඩේ පාරාවෝට කන්න එක එක වර්ගයේ රොටි ජාති තිබුණා. කුරුල්ලෝ ඇවිල්ලා ඒ කූඩයේ තිබුණ දේවල් කෑවා.” 18 එතකොට යෝසෙප් මෙහෙම කිව්වා. “ඔයාගේ හීනේ තේරුම මේකයි. කූඩ තුන කියන්නේ දවස් තුනක්. 19 තව දවස් තුනකින් පාරාවෝ ඔයාගේ හිස ගසා දාලා ඔයාව කණුවක එල්ලනවා. කුරුල්ලෝ ඇවිල්ලා ඔයාගේ මිනිය කනවා.”+
20 තුන්වෙනි දවසේ පාරාවෝගේ උපන් දිනය තිබුණා.+ එයා එයාගේ ඔක්කොම සේවකයන්ට එන්න කියලා ලොකු උත්සවයක් ලෑස්ති කළා. ඊටපස්සේ එයාගේ සේවකයන් ඉස්සරහට කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාවයි, රොටි හදන අයගේ ප්‍රධානියාවයි ගෙනාවා. 21 පාරාවෝ කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාව එයාගේ කලින් තනතුරටම ආයේ පත් කළා. එයා පාරාවෝගේ අතට ආයෙත් කුසලාන දෙන්න පටන්ගත්තා. 22 ඒත් පාරාවෝ රොටි හදන අයගේ ප්‍රධානියාව එල්ලලා දැම්මා.* යෝසෙප් හීනවල තේරුම පැහැදිලි කරලා දුන්න විදිහටම හැම දෙයක්ම වුණා.+ 23 ඒත් කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාට යෝසෙප්ව අමතක වෙලාම ගියා.+
41 අවුරුදු දෙකකට පස්සේ පාරාවෝ හීනයක් දැක්කා.+ එයා නයිල් ගඟ ළඟ හිටගෙන ඉන්නවා එයා දැක්කා. 2 එතකොට හොඳ මහත එළදෙන්නු හත්දෙනෙක් නයිල් ගඟෙන් ගොඩට ඇවිල්ලා ඒ හරියේ තිබුණ තණකොළ කන්න පටන්ගත්තා.+ 3 ඊටපස්සේ තව එළදෙන්නු හත්දෙනෙක් නයිල් ගඟෙන් ගොඩට ආවා. උන්ට තිබුණේ හරිම කැත, කෙට්ටු පෙනුමක්. ඒ එළදෙන්නු නයිල් ගංඉවුරේ හිටපු මහත එළදෙන්නු ළඟ හිටගත්තා. 4 ඊටපස්සේ ඒ කැත, කෙට්ටු එළදෙන්නු හොඳ මහත එළදෙන්නු හත්දෙනාව කාලා දැම්මා. එතකොටම පාරාවෝට ඇහැරුණා.
5 එයා ආයෙත් නිදාගත්තාම තවත් හීනයක් දැක්කා. ඒ හීනෙන් එයා දැක්කා ධාන්‍ය ගහක හොඳ මහත, රන්වන් ධාන්‍ය කරල් හතක් හැදෙනවා.+ 6 ඊටපස්සේ තවත් කරල් හතක් හැදුණා. ඒවා හීනි, නැඟෙනහිරෙන් ආපු හුළඟට වේළුණු කරල්. 7 ඒ හීනි ධාන්‍ය කරල් හොඳ මහත ධාන්‍ය කරල් හත ගිලින්න පටන්ගත්තා. එතකොටම පාරාවෝට ඇහැරුණා. එයා ඒ දැක්කේ හීනයක් කියලා පාරාවෝ තේරුම්ගත්තා.
8 උදේ වෙද්දී පාරාවෝ හිටියේ හොඳටම කැලඹිලා. ඉතින් එයා ඊජිප්තුවේ හිටපු මන්තර ගුරුකම් කරන පූජකයන් සහ බුද්ධිමතුන් හැමෝටම එයා ළඟට එන්න කියලා කිව්වා. පාරාවෝ එයා දැක්ක හීන ගැන එයාලට කිව්වාට එයාලාගෙන් එක් කෙනෙක්ටවත් ඒ හීනවල තේරුම පැහැදිලි කරන්න බැරි වුණා.
9 එතකොට කුසලාන දරන්නන්ගේ ප්‍රධානියා පාරාවෝ ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “ස්වාමීනි, මගේ අතින් වුණ වැරදි අද මට කියන්නම වෙනවා. 10 ඔබතුමාගේ සේවකයන් එක්ක ඔබට හොඳටම කේන්ති ගිය නිසා ඔබ මාවයි, රොටි හදන අයගේ ප්‍රධානියාවයි හිරේ දැම්මා.+ අපි හිටියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා භාරයේ තියෙන හිරගෙදර. 11 දවසක් රෑ අපි දෙන්නාම හීන දෙකක් දැක්කා. ඒ හීන දෙකට තිබුණේ තේරුම් දෙකක්.+ 12 ඒ කාලේ අපිත් එක්ක හෙබ්‍රෙව් ජාතික තරුණයෙකුත් හිරගෙදර හිටියා. එයා ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ සේවකයෙක්.+ අපි එයාට අපි දැක්ක හීන ගැන කිව්වාම+ එයා ඒවාවල තේරුම පැහැදිලි කරලා දුන්නා. 13 එයා කියපු විදිහටම හැම දෙයක්ම වුණා. මට කලින් තිබුණ තනතුර ආපහු ලැබුණා. ඒත් රොටි හදන අයගේ ප්‍රධානියාව එල්ලලා දැම්මා.”+
14 ඉතින් පාරාවෝ යෝසෙප්ව එක්කගෙන එන්න කියලා පණිවිඩයක් යැව්වා.+ එයාලා ඉක්මනින්ම හිරගෙදරින්* යෝසෙප්ව අරගෙන ආවා.+ පාරාවෝ ළඟට එන්න කලින් යෝසෙප් රැවුල කපලා* ඇඳුම් මාරු කරගත්තා. 15 පාරාවෝ යෝසෙප්ට මෙහෙම කිව්වා. “මම හීනයක් දැක්කා. ඒත් ඒකේ තේරුම කියන්න පුළුවන් කවුරුත් මෙහේ නැහැ. ඔයාට හීනවල තේරුම කියන්න පුළුවන් කියලා මට දැනගන්න ලැබුණා.”+ 16 එතකොට යෝසෙප් පාරාවෝට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබේ හීනයේ තේරුම පැහැදිලි කරලා ඔබට සතුටුදායක උත්තරයක් ලබා දෙන්නේ මම නෙමෙයි දෙවියන්.”+
17 පාරාවෝ යෝසෙප්ට මෙහෙම විස්තර කරන්න පටන්ගත්තා. “මං නයිල් ගංඉවුරේ හිටගෙන ඉන්නවා හීනෙන් දැක්කා. 18 එතකොට හොඳ මහත එළදෙන්නු හත්දෙනෙක් නයිල් ගඟෙන් ගොඩට ඇවිල්ලා ඒ හරියේ තිබුණ තණකොළ කන්න පටන්ගත්තා.+ 19 ඊටපස්සේ තවත් එළදෙන්නු හත්දෙනෙක් ගොඩට ආවා. උන් හරිම කැත, කෙට්ටු, දුර්වල එළදෙන්නු. උන් තරම් කැත එළදෙන්නු ඊජිප්තුවේ කොහෙවත් මං දැකලා නැහැ. 20 ඒ කැත, කෙට්ටු එළදෙන්නු, මහත එළදෙන්නු හත්දෙනාව කාලා දැම්මා. 21 මහත උන්ව කෑවාට පස්සෙවත් උන්ගේ පෙනුමේ නම් කිසි වෙනසක් වුණේ නැහැ. කලින් වගේම උන්ට කැත, කෙට්ටු පෙනුමක් තිබුණා. ඒ වෙලාවේ මට ඇහැරුණා.
22 “මම තවත් හීනයක් දැක්කා. ධාන්‍ය ගහක හොඳ මහත, රන්වන් කරල් හතක් හැදෙනවා මං දැක්කා.+ 23 ඊටපස්සේ නැඟෙනහිරෙන් ආපු හුළඟට හොඳටම වේළිලා ගිය, හීනි ධාන්‍ය කරල් හතක් හැදුණා. 24 ඒ හීනි ධාන්‍ය කරල් හොඳ මහත ධාන්‍ය කරල් හත ගිලින්න පටන්ගත්තා. මන්තර ගුරුකම් කරන පූජකයන්ට+ මං දැක්ක ඒ හීන ගැන කිව්වාට එයාලාගෙන් කාටවත් ඒ හීනවල තේරුම පැහැදිලි කරලා දෙන්න බැරි වුණා.”+
25 එතකොට යෝසෙප් පාරාවෝට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබේ හීන දෙකටම තියෙන්නේ එකම තේරුමක්. සැබෑ දෙවියන් කරන්න යන දේ ගැන ඒ හීන මාර්ගයෙන් ඔබට දන්වලා තියෙනවා.+ 26 හොඳ එළදෙන්නු හත්දෙනා කියන්නේ අවුරුදු හතක්. හොඳ ධාන්‍ය කරල් හතත් අවුරුදු හතක්. හීන දෙකටම තියෙන්නේ එකම තේරුම. 27 ඊටපස්සේ දැක්ක කැත, කෙට්ටු එළදෙන්නු හත්දෙනා කියන්නෙත් අවුරුදු හතක්. නැඟෙනහිරෙන් ආපු හුළඟට වේළිලා ගිය, හීනි ධාන්‍ය කරල් හතත් අවුරුදු හතක්. ඒ කියන්නේ අවුරුදු හතක් පුරා සාගතයක් තියෙනවා. 28 මම ඔබතුමාට කලින් කිව්ව විදිහට සැබෑ දෙවියන් කරන්න යන දේ ගැන කලින්ම පාරාවෝට දන්වලා තියෙනවා.
29 “මුළු ඊජිප්තු දේශයටම හරිම සාරවත් කාලයක් එනවා. ඒක අවුරුදු හතක් පුරා තියෙනවා. 30 ඒත් ඊටපස්සේ අවුරුදු හතක් පුරා සාගතයක් තියෙනවා. ඊජිප්තු දේශයේ සාරවත් කාලයක් තිබ්බාද කියලවත් ඒ කාලේදී මතක් වෙන්නේ නැහැ. සාගතය නිසා මුළු දේශයම නාස්ති වෙලා යනවා.+ 31 සාගතය කොච්චර දරුණු වෙනවාද කියනවා නම් කලින් සාරවත් කාලයක් තිබුණා කියලා මිනිස්සුන්ට මතක් වෙන්නෙවත් නැහැ. 32 පාරාවෝට එකම දේ දෙපාරක්ම හීනෙන් දකින්න සැලැස්සුවේ සැබෑ දෙවියන් ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා කියලා ස්ථිර කරන්නයි. සැබෑ දෙවියන් ඒ දේ ඉක්මනින්ම කරනවා.
33 “රජ්ජුරුවෙනි, දැන් ඔබ දැනුම් තේරුම් ඇති, ඥානවන්ත කෙනෙක්ව හොයලා මුළු ඊජිප්තු දේශයම බලාගන්න එයාව පත් කරන්න. 34 රජ්ජුරුවෙනි, මෙහෙමත් කරන්න. දේශයේ වැඩ බලන්න නිලධාරීන්ව පත් කරන්න. එතකොට එයාලට පුළුවන් සාරවත් අවුරුදු හතේදී ලැබෙන පලදාවෙන් පහෙන් කොටසක් එකතු කරලා තියන්න.+ 35 ඒ නිලධාරීන්ට කියන්න ඉස්සරහට එන හොඳ කාලේදී ලැබෙන ඔක්කොම ධාන්‍ය එකතු කරගන්න කියලා. එක එක නගරවල ඒ ධාන්‍ය ගබඩා කරලා ඒවා ආරක්ෂිතව තියාගන්න.+ ඒවා ඔක්කොම පාරාවෝට අයිති වෙයි. 36 එකතු කරගන්න ඒ ධාන්‍ය ඊජිප්තු දේශයට එන සාගත අවුරුදු හතේදී කෑමට ගන්න වෙන් කරලා තියන්න. එහෙම කළේ නැත්තං සාගතය නිසා මිනිස්සු විතරක් නෙමෙයි. සත්තු පවා මැරිලා යයි.”+
37 යෝසෙප්ගේ යෝජනාව හොඳයි කියලා පාරාවෝටයි, එයාගේ සේවකයන් හැමෝටමයි තේරුණා. 38 ඉතින් පාරාවෝ එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “මේ මනුස්සයාට දෙවියන්ගේ බලය තියෙනවා. අපිට එයා වගේ වෙන කෙනෙක්ව නම් හොයාගන්න බැහැ.” 39 ඊටපස්සේ පාරාවෝ යෝසෙප්ට මෙහෙම කිව්වා. “මේ හැම දෙයක්ම දෙවියන් ඔයාට තමයි දැන්නුවේ. ඉතින් ඔයා තරම් දැනුම් තේරුම් ඇති, ඥානවන්ත කෙනෙක් තවත් නැහැ. 40 මගේ ගෙදර බලාගන්න මම ඔයාට භාර දෙනවා. මගේ සෙනඟ ඔයා කියන ඕනම දෙයක් කරයි.+ මම රජ නිසා මං විතරයි ඔයාට වඩා ඉහළින් ඉන්නේ.” 41 පාරාවෝ යෝසෙප්ට මෙහෙමත් කිව්වා. “මුළු ඊජිප්තු දේශයම බලාගන්න මං ඔයාව පත් කරනවා.”+ 42 එහෙම කියලා පාරාවෝ එයාගේ මුද්ද* ගලවලා යෝසෙප්ගේ ඇඟිල්ලට දැම්මා. වටිනා ලිනන් රෙදිවලින් මහපු ඇඳුමක් එයාට අන්දවලා රත්තරන් මාලයකුත් දැම්මා. 43 ඊටපස්සේ පාරාවෝ දෙවෙනි රාජකීය රථය එයාට දුන්නා. යෝසෙප් ඒකේ යද්දී එයාලා ඒකට ඉස්සරහින් ගිහිල්ලා “අව්රේක්”* කියලා කෑගැහුවා. ඒ විදිහට පාරාවෝ මුළු ඊජිප්තු දේශයම බලාගන්න යෝසෙප්ව පත් කළා.
44 පාරාවෝ යෝසෙප්ට මෙහෙමත් කිව්වා. “මම පාරාවෝ තමයි. ඒත් ඊජිප්තු දේශයේ කාටවත් ඔයාගේ අවසරය නැතුව කිසිම දෙයක් කරන්න* බැහැ.”+ 45 ඊටපස්සේ පාරාවෝ යෝසෙප්ට ෂාපෙනත්පනේයා* කියන නම තිබ්බා. ඕන්* නගරේ පූජකයෙක් විදිහට වැඩ කරපු පොතිෆෙරාගේ දුව වුණ අසෙනත්වත්+ එයාට විවාහ කරලා දුන්නා. යෝසෙප් ඊජිප්තු දේශයේ වැඩ බලාගන්න* පටන්ගත්තා.+ 46 ඊජිප්තුවේ රජ වුණ පාරාවෝට සේවය කරන්න පටන්ගද්දී* යෝසෙප්ගේ වයස අවුරුදු 30යි.+
පාරාවෝ එක්ක කතා කළාට පස්සේ යෝසෙප් ඊජිප්තු දේශය පුරාම ගමන් කළා. 47 සාරවත් අවුරුදු හතේදී දේශයෙන් හොඳ අස්වැන්නක් ලැබුණා. 48 ඒ අවුරුදු හත පුරාම එයා ඊජිප්තු දේශයෙන් ලැබෙන හැම ආහාර වර්ගයක්ම එකතු කරලා ඒවා නගරවල ගබඩා කරලා තිබ්බා. එක එක නගරය ළඟ තිබුණ කෙත්වලින් ගත්ත ආහාර ද්‍රව්‍ය ඒ නගරේම ගබඩා කළා. 49 යෝසෙප් විශාල ධාන්‍ය ප්‍රමාණයක් එකතු කළා. මුහුදේ වැලි වගේ මනින්න බැරි තරමට ධාන්‍ය තිබුණ නිසා අන්තිමේදී එයාලා ඒවා මනින එක නතර කරලා දැම්මා.
50 සාගතය පටන්ගන්න කලින් ඕන්* නගරේ පූජකයෙක් විදිහට වැඩ කරපු පොතිෆෙරාගේ දුව වුණ අසෙනත්ට යෝසෙප්ගෙන් පුතාලා දෙන්නෙක් ලැබුණා.+ 51 යෝසෙප් එයාගේ ලොකු පුතාට මනස්සේ*+ කියන නම තියලා මෙහෙම කිව්වා. “දෙවියන් මගේ හැම දුක් කරදරයක්ම අමතක කරන්න මට උදව් කළා. මගේ තාත්තායි, පවුලේ අයයි නැති දුක තුනී කළා.” 52 එයා දෙවෙනි පුතාට එෆ්‍රායිම්*+ කියන නම තියලා මෙහෙම කිව්වා. “මා දුක් පීඩා වින්ද දේශයේදී දෙවියන් මට දරුවන් ලබා දුන්නා.”+
53 ඊජිප්තු දේශයට ආව සාරවත් අවුරුදු හත ඉවර වුණා.+ 54 යෝසෙප් කියපු විදිහටම සාගත අවුරුදු හත පටන්ගත්තා.+ සාගතය හැම දේශයකටම බලපෑවත් ඊජිප්තු දේශය පුරාම කෑම තිබුණා.+ 55 ඔහොම යද්දී ඊජිප්තු දේශයේ හිටපු හැම කෙනෙක්ටමත් සාගතය බලපෑවා. කෑම දෙන්න කියලා එයාලා පාරාවෝගෙන් බැගෑපත්ව ඉල්ලද්දී+ පාරාවෝ එයාලට මෙහෙම කිව්වා. “යෝසෙප් ළඟට යන්න. එයා කියන විදිහට කරන්න.”+ 56 සාගතය පොළොව පුරාම පැතිරුණා.+ ඊජිප්තු දේශයට සාගතය දරුණු විදිහට බලපාපු නිසා යෝසෙප් එක එක නගරවල්වල තිබුණ ගබඩා ඇරලා ඊජිප්තුවරුන්ට ධාන්‍ය විකුණන්න පටන්ගත්තා.+ 57 සාගතය මුළු පොළොවටම දරුණු විදිහට බලපාපු නිසා+ හැම දේශයකම හිටපු මිනිස්සු යෝසෙප්ගෙන් ධාන්‍ය මිල දීලා ගන්න ඊජිප්තුවට ආවා.
42 ඊජිප්තුවේ ධාන්‍ය තියෙනවා+ කියලා යාකොබ් දැනගත්තාම එයා එයාගේ පුතාලට මෙහෙම කිව්වා. “ඇයි ඔයාලා ඔහේ බලාගෙන ඉන්නේ? 2 ඊජිප්තුවේ ධාන්‍ය තියෙනවාලු. අපි මෙතන බඩගින්නේ මැරෙන්න කලින් එහෙට ගිහින් ධාන්‍ය ටිකක් අරන් එන්න.”+ 3 ඉතින් යෝසෙප්ගේ අයියලා දහදෙනා+ ඊජිප්තුවෙන් ධාන්‍ය මිල දීලා ගන්න පිටත් වෙලා ගියා. 4 ඒත් යාකොබ් යෝසෙප්ගේ මල්ලි වුණ බෙන්ජමින්ට+ එයාලා එක්ක යන්න ඉඩ දුන්නේ නැහැ. මොකද යාකොබ් එයාලට මෙහෙම කිව්වා. “මඟ යද්දී බෙන්ජමින්ට අනතුරක් වෙයි කියලා මට බයයි.”+
5 කානාන් දේශයටත් සාගතය බලපාපු නිසා+ ධාන්‍ය මිල දීලා ගන්න ඊජිප්තුවට ගිය අය එක්ක ඊශ්‍රායෙල්ගේ පුතාලත් ගියා. 6 ඊජිප්තු දේශයේ හැම දෙයක්ම බලාගත්තේ යෝසෙප්.+ ඒ නිසා එයා තමයි පොළොවේ හැම පැත්තකින්ම ආපු මිනිස්සුන්ට ධාන්‍ය වික්කේ.+ යෝසෙප්ගේ අයියලත් එයා ළඟට ඇවිල්ලා බිමට නැමිලා එයාට ආචාර කළා.+ 7 යෝසෙප් එයාගේ අයියලව දැක්ක ගමන්ම එයාලව අඳුරගත්තා. ඒත් එයා කවුද කියලා එයාලට දැනෙන්න දුන්නේ නැහැ.+ යෝසෙප් එයාලට සැරෙන් කතා කරලා මෙහෙම ඇහුවා. “උඹලා කොහෙන්ද ආවේ?” එතකොට එයාලා කිව්වා “අපි ආවේ කානාන් දේශයේ ඉඳන්. කෑම මිල දීලා ගන්නයි මෙහෙට ආවේ”+ කියලා.
8 යෝසෙප් අයියලව අඳුරගත්තාට එයාලා යෝසෙප්ව අඳුරගත්තේ නැහැ. 9 අයියලා ගැන කලින් දැක්ක හීන ඒ වෙලාවේ යෝසෙප්ට මතක් වුණා.+ එයා එයාලට මෙහෙම කිව්වා. “උඹලා ඔත්තුකාරයෝ! මේ රටේ ආරක්ෂාව අඩු තැන් ගැන හොයන්න නේද උඹලා මෙහෙට ආවේ?” 10 එතකොට එයාලා මෙහෙම කිව්වා. “නෑ මගේ ස්වාමීනි, ඔබේ සේවකයන් ආවේ කෑම මිල දීලා ගන්නයි. 11 අපි හැමෝම එකම පවුලේ අය. එක තාත්තාගේ දරුවෝ. අපි අවංක මිනිස්සු, ඔත්තුකාරයෝ නෙමෙයි.” 12 ඒත් යෝසෙප් මෙහෙම කිව්වා. “මට ඒක පිළිගන්න බෑ. උඹලා ඇවිත් ඉන්නේ රටේ ආරක්ෂාව අඩු තැන් ගැන හොයන්නයි.” 13 එතකොට එයාලා මෙහෙම කිව්වා. “ඔබේ සේවකයන් වන අපි එකම පවුලේ දරුවෝ.+ අපේ තාත්තා ඉන්නේ කානාන් දේශයේ. අපේ පවුලේ සහෝදරයෝ 12දෙනෙක්.+ බාලයා අපේ තාත්තා එක්ක නැවතුණා.+ එක් කෙනෙක් දැන් අපි අතරේ නැහැ.”+
14 ඒත් යෝසෙප් මෙහෙම කිව්වා. “නෑ, නෑ, උඹලා ඔත්තුකාරයෝ තමයි. 15 උඹලා කියන කතාව ඇත්තද කියලා මං බලන්නං. එහෙමනං බාලයාව මෙහෙට ගෙන්නගන්න.+ එතකොට උඹලා කියන කතාව ඇත්තද කියලා මට බලන්න පුළුවන්. ඒත් උඹලා මට කිව්වේ බොරුවක් නං මං පාරාවෝගේ නමින් දිවුරලා කියනවා මේ දේශයෙන් පිට වෙන්න මං උඹලට ඉඩ දෙන්නෑ කියලා. 16 එක් කෙනෙක් ගිහින් බාලයාව මෙහෙට එක්කගෙන එන්න. එතකල් මං අනිත් ඔක්කොමලව අත්අඩංගුවේ තියාගන්නවා. එතකොට මට බලාගන්න පුළුවන් උඹලා කියන දේ ඇත්තද කියලා. එහෙම කෙරුවේ නැත්තං මං පාරාවෝගේ නමින් දිවුරලා කියනවා මං උඹලාව ගණන් ගන්නේ ඔත්තුකාරයෝ විදිහටයි.” 17 එහෙම කියලා යෝසෙප් එයාලා හැමෝවම දවස් තුනක් අත්අඩංගුවේ තියාගත්තා.
18 තුන්වෙනි දවසේ යෝසෙප් එයාලට මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන් ගැන මට ලොකු ගෞරවයක්* තියෙනවා. ඒ නිසා ජීවත් වෙන්න කැමති නං මං කියන විදිහට කරන්න. 19 දැන් ඔයාලා කියන්නේ ඔයාලා අවංක අය කියලානේ. ඉතින් මං ඔයාලාගෙන් එක් කෙනෙක්ව අත්අඩංගුවේ තියාගන්නවා. අනිත් අයට පුළුවන් බඩගින්නේ ඉන්න ඔයාලාගේ පවුලේ අයට ධාන්‍ය අරන් යන්න.+ 20 ඊටපස්සේ බාලයාව මෙහෙට එක්කගෙන එන්න. එතකොට ඔයාලා කිව්වේ ඇත්තද කියලා මට දැනගන්න පුළුවන්. ඔයාලාගේ ජීවිතත් බේරෙයි.” යෝසෙප් කියපු විදිහට කරන්න එයාලා එකඟ වුණා.
21 එයාලා මෙහෙම කතා වුණා. “අපි මල්ලිට කරපු දේ හින්දා තමයි දැන් අපිට මෙහෙම වෙලා තියෙන්නේ.+ අනුකම්පා කරන්න කියලා එයා කොච්චර නම් අඬඅඬ අපෙන් ඉල්ලුවාද! අපි ඒක ගණන් ගත්තෙවත් නෑ. ඒකයි දැන් අපි මේ විදිහට දුක් විඳින්නේ.” 22 එතකොට රූබෙන් එයාලට මෙහෙම කිව්වා. “‘මල්ලිට මුකුත් කරන්න එපා’ කියලා මං ඒ වෙලාවේ කිව්වා නේද? ඒත් එක් කෙනෙක්වත් මං කිව්ව දේ ඇහුවාද?+ දැන් ඉතින් එයාගේ ජීවිතේට* අපිට වන්දි ගෙවන්න වෙයි.”+ 23 යෝසෙප් එයාලා එක්ක කතා කරන්න පරිවර්තකයෙක්ව පාවිච්චි කරපු නිසා එයාලා කතා වුණ දේවල් යෝසෙප්ට තේරුණා කියලා එයාලා දැනන් හිටියේ නැහැ. 24 යෝසෙප් එතනින් ටිකක් එහාට ගිහින් හොඳටම ඇඬුවා.+ ඊටපස්සේ ආයෙත් එයාලා ළඟට ඇවිල්ලා කතා කළා. යෝසෙප් එයාලා ඉස්සරහම සිමියොන්ව+ අරගෙන කඹයකින් බැන්දා.+ 25 ඊටපස්සේ එයාලාගේ මලුවලට ධාන්‍ය පුරවන්න කියලත් එයාලා එක් එක් කෙනා දුන්න සල්ලි ආපහු එයාලාගේ මලුවලට දාන්න කියලත් ගමනට ඕන කරන කෑම බීම දෙන්න කියලත් යෝසෙප් එයාගේ සේවකයන්ට අණ කළා. සේවකයෝ ඒ විදිහටම කළා.
26 එයාලා බූරුවන් පිටේ ධාන්‍ය පටවගෙන එහෙන් පිටත් වෙලා ගියා. 27 ගමන අතරමඟ තිබුණ නවාතැනකදී එක් කෙනෙක් එයාගේ බූරුවාට කෑම දෙන්න එයාගේ මල්ල ඇරියා. එතකොට එයා දැක්කා එයා දීපු සල්ලි ටික මල්ලේ උඩින්ම තියෙනවා. 28 එයා අනිත් කට්ටියට මෙහෙම කිව්වා. “මේ බලන්න! මං ගෙවපු සල්ලි ටික ආපහු මගේ මල්ලට දාලා!” ඒක ඇහුවාම එයාලා ගොඩක් බය වෙලා වෙවුලන්න පටන්ගත්තා. “දෙවියන් ඇයි අපිට මෙහෙම කරන්නේ” කියලා එයාලා කතා වුණා.
29 කානාන් දේශයට ආවාට පස්සේ වෙච්ච ඒ හැම දෙයක් ගැනම එයාලා එයාලාගේ තාත්තා වුණ යාකොබ්ට මෙහෙම විස්තර කළා. 30 “ඒ රටේ පාලකයා අපිට හරිම සැරෙන් කතා කළා.+ අපි එහේ ඔත්තු බලන්න ආවා කියලා එයා අපිට චෝදනා කළා. 31 ඒත් අපි එයාට මෙහෙම කිව්වා. ‘අපි අවංක මිනිස්සු, ඔත්තුකාරයෝ නෙමෙයි.+ 32 අපි හැමෝම එකම පවුලේ අය. එක තාත්තාගේ දරුවෝ. අපේ පවුලේ සහෝදරයෝ 12දෙනෙක් හිටියා.+ එක් කෙනෙක් දැන් අපි අතරේ නැහැ.+ බාලයා අපේ තාත්තා එක්ක කානාන් දේශයේ ඉන්නවා.’+ 33 ඒත් ඒ රටේ පාලකයා අපිට මෙහෙම කිව්වා. ‘ඔයාලා අවංක අය නම් ඔයාලාගෙන් එක් කෙනෙක්ව මෙහේ තියලා යන්න.+ අනිත් කට්ටියට පුළුවන් බඩගින්නේ ඉන්න ඔයාලාගේ පවුලේ අයට ධාන්‍ය අරන් යන්න.+ 34 ගිහින් බාලයාව මෙහෙට එක්කගෙන එන්න. එතකොට ඔයාලා ඔත්තුකාරයෝ නෙමෙයි අවංක මිනිස්සු කියලා මං පිළිගන්නම්. එහෙම කළොත් මං ඔයාලාගේ සහෝදරයාව ආපහු ඔයාලට දෙන්නම්. මේ දේශයෙන් කෑම මිල දීලා ගන්නත් ඔයාලට පුළුවන්.’”
35 පස්සේ මලු ටික ඇරලා බලද්දී එයාලා ගෙවපු සල්ලි ආපහු එයාලාගේ මලුවලට දාලා කියලා එයාලා දැක්කා. ඒක දැක්කාම එයාලයි, එයාලාගේ තාත්තායි හොඳටම බය වුණා. 36 එතකොට එයාලාගේ තාත්තා මෙහෙම කිව්වා. “ඔයාලා මගේ ළමයි ටික මට නැති කරනවා.+ මට යෝසෙප් නැති වුණා.+ සිමියොනුත් නැති වුණා.+ දැන් ඔයාලා බෙන්ජමින්වත් අරන් යන්න හදනවා. ඇයි මටම මේ හැම දෙයක්ම වෙන්නේ?” 37 එතකොට රූබෙන් තාත්තාට මෙහෙම කිව්වා. “බෙන්ජමින්ව මට භාර දෙන්න. මං එයාව බලාගන්නම්. මං එයාව ආයේ තාත්තා ගාවට එක්කගෙන එනවා කියලා පොරොන්දු වෙනවා.+ මං එයාව එක්කගෙන ආවේ නැත්තං මගේ පුතාලා දෙන්නාව මරලා දාන්න.”+ 38 ඒත් යාකොබ් මෙහෙම කිව්වා. “මගේ පුතාව ගෙනියන්න දෙන්න බෑ. එයාගේ අයියාත් මැරුණා. දැන් ඉන්නේ එයා විතරයි.+ ගමන යන අතරමඟ එයාට මොනවා හරි වුණොත් ඒ දුක දරාගන්න බැරුව+ වයසක මාත් මැරිලා යයි.”+
43 සාගතය හරිම දරුණු විදිහට දේශයට බලපෑවා.+ 2 ඊජිප්තුවෙන් ගෙනාපු ධාන්‍ය+ ඔක්කොම ඉවර වුණාම ඊශ්‍රායෙල් එයාගේ පුතාලට මෙහෙම කිව්වා. “ආපහු ගිහින් අපිට කෑම ටිකක් අරන් එන්න.” 3 එතකොට යූදා තාත්තාට මෙහෙම කිව්වා. “ඒ මනුස්සයා අපිට තදින්ම කිව්වා ‘මල්ලි නැතුව නං ආයේ මං ඉස්සරහට එන්න එපා’ කියලා.+ 4 තාත්තා මල්ලිව අපිත් එක්ක එවනවා නං අපි ගිහින් කෑම අරගෙන එන්නං. 5 හැබැයි තාත්තා එයාව එවන්න කැමති නැත්තං අපිත් යන්නෑ. මොකද ‘මල්ලි නැතුව නං ආයේ මං ඉස්සරහට එන්න එපා’+ කියලා ඒ මනුස්සයා අපිට කිව්වා.” 6 එතකොට ඊශ්‍රායෙල්+ මෙහෙම ඇහුවා. “ඔයාලා ඇයි මට මේ විදිහට වධ දෙන්නේ? ඔයාලට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා මොකටද ඒ මනුස්සයාට කියන්න ගියේ?” 7 එයාලා මෙහෙම උත්තර දුන්නා. “ඒ මනුස්සයා අපේ පවුලේ විස්තර ඇහුවා. එයා ඇහුවා ‘ඔයාලාගේ තාත්තා තාම ඉන්නවාද? ඔයාලට තව සහෝදරයෙක් ඉන්නවාද’ කියලා. ඒකයි අපි ඒ විස්තර කිව්වේ.+ ‘මල්ලිව එක්කගෙන එන්න’+ කියයි කියලා අපි දන්නේ කොහොමද?”
8 යූදා එයාගේ තාත්තාට ආයෙත් මෙහෙම කිව්වා. “අනේ, මල්ලිව මාත් එක්ක එවන්න.+ නැත්තං අපියි, අපේ ළමයිනුයි+ මැරිලා යයි.+ 9 මල්ලිට කිසිම දෙයක් වෙන්න ඉඩ දෙන්නෑ කියලා මං පොරොන්දු වෙනවා.+ එයාට මොනවා හරි වුණොත් මං ඒකට වග කියන්නම්. එයාව ආයෙත් තාත්තා ළඟට එක්කං ආවේ නැත්තං ඒ වරදට මං මැරෙන කල්ම දඬුවම් විඳින්නම්. 10 අපි මෙච්චර දවස් බලාගෙන හිටියේ නැත්තං මේ වෙද්දී ඊජිප්තුවට දෙපාරක්ම ගිහින් එන්න තිබුණා.”
11 ඉතින් ඊශ්‍රායෙල් එයාගේ පුතාලට මෙහෙම කිව්වා. “දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ. එහෙනං ඔයාලා යද්දී අපේ දේශයේ තියෙන හොඳම දේවල් ඒ මනුස්සයාට තෑග්ගක් විදිහට ගෙනියන්න.+ බෝල්සම් තෙල්,*+ මීපැණි, සුවඳ මැලියම්,* රුක්ලාටු,+ පිස්ටැෂියෝ ඇට,* ආමන්ඩ් ඇට ඔයාලාගේ මලුවල දාගෙන අරන් යන්න. 12 කලින් සැරේ අරන් ගිය සල්ලි වගේ දෙගුණයක් ගෙනියන්න. ඔයාලාගේ මලුවලට දාලා තිබ්බ සල්ලිත් අරන් යන්න.+ සමහරක් විට ඒවා දාන්න ඇත්තේ වැරදීමකින් වෙන්න ඇති. 13 මල්ලිත් එක්ක දැන් ඒ මනුස්සයා ළඟට යන්න. 14 ඔයාලට අනුකම්පා කරලා සිමියොන්ටයි, බෙන්ජමින්ටයි ඔයාලත් එක්ක ආපහු එන්න දෙන්න ඒ මනුස්සයාව පොලඹවන්න කියලා මං සියලු බලැති දෙවියන්ගෙන් ඉල්ලනවා. ඒත් මගේ දරුවන්ව මට නැති වෙනවා නං මං කොහොමහරි ඒ දුකත් දරාගන්නං.”+
15 ඉතින් එයාලා ඒ තෑගියි, කලින් සැරේට වඩා දෙගුණයක් සල්ලියි අරගෙන බෙන්ජමින් එක්ක පිටත් වෙලා ගියා. එයාලා ඊජිප්තුවට ඇවිල්ලා යෝසෙප්+ ඉස්සරහට ගියා. 16 එයාලා එක්ක බෙන්ජමින් ඉන්නවා දැක්කාම යෝසෙප් එයාගේ ගෙදර භාරව හිටපු සේවකයාට මෙහෙම කිව්වා. “මේ කට්ටියව දැන් මගේ ගෙදරට එක්කගෙන යන්න. එයාලා අද දවල් කෑම කන්නේ මාත් එක්ක. සත්තු කීපදෙනෙක්ව මරලා කෑම ලෑස්ති කරන්න.” 17 සේවකයා ඉක්මනින්ම යෝසෙප් කියපු විදිහට කළා.+ එයා ඒ කට්ටියව යෝසෙප්ගේ ගෙදරට එක්කගෙන ගියා. 18 එයාලව යෝසෙප්ගේ ගෙදරට අරගෙන ගිය නිසා එයාලා හොඳටම බය වෙලා මෙහෙම කතා වුණා. “ගිය සැරේ අපි ගෙව්ව සල්ලි එයාලට හම්බ වුණේ නැති නිසයි අපිව මෙහාට ගෙනල්ලා තියෙන්නේ. දැන් එයාලා අපිට ගහලා, අපේ බූරුවන්වත් අරගෙන අපිව වහලුන් කරගනී.”+
19 ඉතින් එයාලා යෝසෙප්ගේ ගෙදර භාරව හිටපු සේවකයා ළඟට ගිහින් දොරකඩ ළඟ ඉඳන් එයාට කතා කළා. 20 එයාලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබට කියන්න දෙයක් තියෙනවා. අපි කලින් සැරේ මෙහෙට ආවේ කෑම ටිකක් මිල දීලා ගන්නයි.+ 21 හැබැයි අපි නවාතැනට ගියාම අපේ මලු ඇරලා බලද්දී අපි දැක්කා අපි ගෙවපු සල්ලි මලුවල උඩින්ම තියෙනවා. ගෙවපු සම්පූර්ණ ගාණම තිබුණා.+ ඒ සල්ලි ආපහු භාර දෙන්න අපි කැමතියි. 22 මේ පාරත් කෑම ගන්න අපි සල්ලි ගෙනාවා. ගිය සැරේ අපේ සල්ලි ආපහු මලුවලට දැම්මේ කවුද කියලා අපි ඇත්තටම දන්නේ නැහැ.”+ 23 එතකොට සේවකයා මෙහෙම කිව්වා. “හරි හරි බය වෙන්න එපා. ඔයාලාගේ සල්ලි මගේ අතට ලැබුණා. ඔයාලාගේ මලුවලට සල්ලි දැම්මේ ඔයාලයි, ඔයාලාගේ තාත්තායි අදහන දෙවියන්.” ඊටපස්සේ එයා සිමියොන්ව එයාලා ළඟට ගෙනාවා.+
24 යෝසෙප්ගේ සේවකයා එයාලව ගේ ඇතුළට එක්කගෙන ගිහින් එයාලාගේ කකුල් හෝදගන්න වතුර ගෙනත් දුන්නා. එයාලාගේ බූරුවන්ට කෑමත් දුන්නා. 25 එයාලා දවල් කෑම කන්නේ යෝසෙප් එක්ක+ කියලා දැනගත්තාම එයාට ගෙනාපු තෑග්ග එයාලා ලෑස්ති කළා.+ 26 යෝසෙප් ගෙදරට ආවාම එයාලා ලෑස්ති කරපු තෑග්ග අරන් ඇවිල්ලා එයාට දුන්නා. ඊටපස්සේ එයාලා ඔළුව නමලා එයාට ආචාර කළා.+ 27 එයාලාගේ සැපසනීප ගැන ඇහුවාට පස්සේ යෝසෙප් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලාගේ තාත්තාට කොහොමද? එයා හොඳින් ඉන්නවාද?”+ 28 එතකොට එයාලා මෙහෙම උත්තර දුන්නා. “ඔබේ සේවකයා වන අපේ තාත්තා හොඳින් ඉන්නවා.” ඊටපස්සේ එයාලා යෝසෙප් ඉස්සරහා දණින් වැටිලා එයාට ගෞරව කළා.+
29 එතකොට යෝසෙප් එයාගෙම මල්ලි* බෙන්ජමින්ව දැකලා+ මෙහෙම ඇහුවා. “මේ ඉන්නේ ඔයාලාගේ බාලම මල්ලිද?”+ ඊටපස්සේ එයා බෙන්ජමින් දිහා බලලා “පුතේ, ඔයාට දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා” කියලා කිව්වා. 30 මල්ලිව දැක්කාම යෝසෙප්ට එයාගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා. ඉතින් එයා ඉක්මනින්ම කවුරුත් නැති කාමරයකට ගිහින් හොඳටම ඇඬුවා.+ 31 ඊටපස්සේ එයා සන්සුන් වෙලා, එයාගේ මූණ හෝදගෙන, එළියට ඇවිල්ලා සේවකයන්ට මෙහෙම කිව්වා. “කෑම අරින්න.” 32 සේවකයෝ යෝසෙප්ටයි, එයාගේ සහෝදරයන්ටයි, එයා එක්ක හිටපු ඊජිප්තුවරුන්ටයි වෙන වෙනම කෑම දුන්නා. මොකද හෙබ්‍රෙව්වරුන් එක්ක එකට ඉඳගෙන කෑම කන එක ඊජිප්තුවරුන්ට පිළිකුල් දෙයක් වුණා.+
33 යෝසෙප් ඉඳගෙන හිටපු තැනට ඉස්සරහින් තමයි එයාගේ සහෝදරයන් ඉඳගෙන හිටියේ. එයාලට ඉඳගන්න දීලා තිබුණේ වැඩිමලාගේ ඉඳන්* බාලයා වෙන කල් පිළිවෙළට.+ ඒ නිසා එයාලා පුදුමයෙන් මූණට මූණ බලාගත්තා. 34 යෝසෙප් කීප සැරයක්ම එයාගේ මේසයේ තිබුණු කෑම එයාලට යැව්වා. ඒත් එයා අනිත් අයට යවපු ප්‍රමාණය වගේ පස් ගුණයක් බෙන්ජමින්ට යැව්වා.+ ඒ විදිහට එයාලා බඩ පිරෙන කල් යෝසෙප් එක්ක කෑවා බිව්වා.
44 පස්සේ යෝසෙප් එයාගේ ගෙදර භාරව හිටපු සේවකයාට මෙහෙම අණ කළා. “මේ මිනිස්සුන්ට ගෙනියන්න පුළුවන් තරමක් ධාන්‍ය එයාලාගේ මලුවලට පුරවන්න. එයාලා එක් එක් කෙනා දීපු සල්ලිත් එයාලාගේ මලුවලට දාන්න.+ 2 හැබැයි බාලයාගේ මල්ලට එයා ධාන්‍යවලට ගෙවපු සල්ලිත් එක්ක මගේ රිදී කුසලානෙත් දාන්න.” සේවකයා යෝසෙප් කියපු විදිහටම කළා.
3 පහුවෙනිදා උදෙන්ම එයාලව පිටත් කරලා යැව්වා. එයාලා එයාලාගේ බූරුවනුත් අරගෙන එහෙන් ගියා. 4 එයාලා නගරෙන් පිට වෙලා වැඩි දුරක් යන්න කලින් යෝසෙප් එයාගේ සේවකයාට මෙහෙම කිව්වා. “ඉක්මන් කරලා අර මිනිස්සු පිටිපස්සේ යන්න. ගිහින් එයාලව නවත්තලා එයාලාගෙන් මෙහෙම අහන්න. ‘ඔයාලට හොඳින් සැලකුවාට මගේ ස්වාමියාට මෙහෙමද ස්තුති කරන්නේ? 5 ඔයාලා මගේ ස්වාමියා බොන කුසලානේ හොරකම් කළේ ඇයි? එයා අකුරටම නිමිති බලන්නේ ඒ කුසලානේ පාවිච්චි කරලයි. ඔයාලා කෙරුවේ මහා දුෂ්ට වැඩක්!’”
6 ඉතින් යෝසෙප්ගේ සේවකයා එයාලා ළඟට ඇවිල්ලා එයාට අණ කරපු විදිහටම එයාලට කිව්වා. 7 ඒත් එයාලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, අපිව මෙහෙම සැක කරන්නේ ඇයි? ඔබේ සේවකයන් වන අපි ඒ වගේ දෙයක් කරන්න හීනෙකින්වත් හිතුවේ නෑ. 8 කලින් සැරේ අපේ මලුවලට දාලා තිබුණ සල්ලිත් අපි කානාන් දේශයේ ඉඳන් ආපහු ගෙනල්ලා ඔබට දුන්නා.+ එහෙනං ඔබේ ස්වාමියාට අයිති රන් රිදී අපි හොරකම් කරයි කියලා හිතන්න පුළුවන්ද? 9 ඔබේ සේවකයන් වන අපි කවුරු හරි ළඟ තිබිලා ඒ කුසලානේ හම්බ වුණොත් එයාව මරලා දාන්න. අපි හැමෝමත් ඔබේ ස්වාමියාගේ දාසයන් වෙනවා.” 10 එතකොට එයා මෙහෙම කිව්වා. “ඒක හොඳයි. කුසලානේ කාගේ හරි ළඟ තිබිලා හම්බ වුණොත් එයා මගේ දාසයෙක් වෙනවා. අනිත් අයව මම නිදහස් කරනවා.” 11 ඉතින් එයාලා එක් එක් කෙනා ඉක්මනින්ම එයාලාගේ මලු බිමට බාලා ඒවා අරින්න පටන්ගත්තා. 12 සේවකයා වැඩිමලාගෙන් පටන් අරන් බාලයා වෙන කල් එයාලාගේ මලු හොඳට අවුස්සලා බැලුවා. අන්තිමේදී බෙන්ජමින්ගේ මල්ලේ තිබිලා කුසලානය හම්බ වුණා.+
13 එයාලා එයාලාගේ ඇඳුම් ඉරාගෙන, මලු ටික ආපහු බූරුවන්ගේ පිටේ පටවගෙන නගරෙට හැරිලා ආවා. 14 යූදා+ එයාගේ අයියලයි, මල්ලිලයි එක්ක යෝසෙප්ගේ ගෙදරට ගියා. එයාලා එන කල් යෝසෙප් බලාගෙන හිටියා. එයාලා යෝසෙප් ළඟට ගිහිල්ලා එයා ඉස්සරහා වැඳ වැටුණා.+ 15 එතකොට යෝසෙප් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “උඹලා මොනවාද මේ කළේ? මං වගේ කෙනෙක්ට අකුරටම නිමිති බලන්න පුළුවන් කියලා උඹලා දැනං හිටියේ නැද්ද?”+ 16 යූදා එයාට මෙහෙම උත්තර දුන්නා. “මගේ ස්වාමීනි, අපි ඔබට මොනවා කියන්නද? අපි මේක කළේ නෑ කියලා ඔප්පු කරන්නේ කොහොමද? ඔබේ දාසයන් වන අපි කරපු වැරදිවලට දැන් අපිට සැබෑ දෙවියන්ට වන්දි ගෙවන්න වෙලා තියෙනවා.+ මගේ ස්වාමීනි, කුසලානේ ළඟ තිබුණු කෙනා විතරක් නෙමෙයි අපිත් ඔබේ දාසයන්!” 17 ඒත් යෝසෙප් මෙහෙම කිව්වා. “නැහැ, මං ඒ වගේ දෙයක් කොහොමටවත් කරන්නේ නැහැ. කුසලානේ ළඟ තිබුණු කෙනා විතරයි මගේ දාසයා වෙන්නේ.+ අනිත් අයට පුළුවන් ඔයාලාගේ තාත්තා ළඟට යන්න.”
18 එතකොට යූදා එයා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබත් පාරාවෝ වගේ බලවත් කියලා මං දන්නවා.+ අනේ, ඔබේ දාසයාට ටිකක් කතා කරන්න අවසර දෙන්න. ඔබේ දාසයා එක්ක කේන්ති ගන්න එපා. 19 මගේ ස්වාමීන්ට මතක ඇති ඔබ ඔබේ දාසයන්ගෙන් ඇහුවා ‘ඔයාලාගේ තාත්තා තවමත් ඉන්නවාද? ඔයාලට තව සහෝදරයෙක් ඉන්නවාද’ කියලා. 20 එතකොට අපි ඔබට මෙහෙම කිව්වා. ‘ඔව්, තාත්තා තාමත් ඉන්නවා. එයා ගොඩක් වයසයි. අපිට මල්ලි කෙනෙකුත් ඉන්නවා. එයා තමයි බාලයා.+ එයා ඉපදෙද්දී තාත්තා ගොඩක් වයසයි. එයාගේ අම්මාට තවත් පුතෙක් හිටියා. ඒත් එයා මැරුණා.+ දැන් ඉතුරු වෙලා ඉන්නේ ඒ මල්ලි විතරයි.+ තාත්තා එයාට ගොඩක් ආදරෙයි.’ 21 ඒක අහලා ඔබ ඔබේ දාසයන්ට කිව්වා ‘මට බලන්න එයාව මෙහෙට ගේන්න’ කියලා.+ 22 ඒත් අපි ඔබට කිව්වා ‘තාත්තාව දාලා දරුවා ආවොත් තාත්තා මැරෙයි.+ ඉතින් එයාට එන්න විදිහක් නැහැ’ කියලා. 23 එතකොට ඔබ අපිට කිව්වා ‘ඔයාලාගේ මල්ලිව එක්කගෙන ආවේ නැත්තං ආයේ මං ඉස්සරහට එන්න එපා’ කියලා.+
24 “ඊටපස්සේ අපි ගිහිල්ලා අපේ තාත්තාට ඔබ කියපු දේවල් ගැන කිව්වා. 25 ටික දවසකට පස්සේ තාත්තා අපිට කිව්වා ‘ආයෙත් ගිහිල්ලා කෑම ටිකක් අරන් එන්න’ කියලා.+ 26 ඒත් අපි තාත්තාට මෙහෙම කිව්වා. ‘මල්ලි නැතුව නං අපිට යන්න බැහැ. මොකද එයා අපිත් එක්ක නැත්තං ඒ රටේ පාලකයා ඉස්සරහට යන්න අපිට අවසර නැහැ. මල්ලිව අපිත් එක්ක එවනවා නං අපි යන්නං.’+ 27 තාත්තා අපිට මෙහෙම කිව්වා. ‘ඔයාලා හොඳටම දන්නවා මගේ බිරිඳගෙන් මට ලැබුණේ පුතාලා දෙන්නෙක් විතරයි කියලා.+ 28 ඒ එක පුතෙක් මට නැති වුණා. “අනේ, සතෙක් එයාව කාලා දාන්න ඇති”+ කියලා ඒ වෙලාවේ මං හිතුවා. අද වෙන කල් මං එයාව දැක්කේ නෑ. 29 ඔයාලා මේ පුතාවත් මගෙන් අරන් ගිහින් එයාට මොනවා හරි වුණොත් ඒ දුක දරාගන්න+ මට බැරි වෙයි. වයසක මං මැරිලා යයි.’+
30 “අපේ තාත්තා මල්ලිට පණ වගේ ආදරෙයි. මං මල්ලි නැතුව ආපහු ගියොත් 31 ඒ දුකට අපේ වයසක තාත්තා අනිවාර්යයෙන්ම මැරෙයි. ඔබේ දාසයන් වන අපිට තමයි අපේ තාත්තාගේ මරණෙට වග කියන්න වෙන්නේ. 32 දරුවාට කිසිම දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මං තාත්තාට පොරොන්දු වුණා. ‘එයාව ආයෙත් තාත්තා ළඟට එක්කං ආවේ නැත්තං ඒ වරදට මං මැරෙන කල්ම දඬුවම් විඳින්නං’ කියලා මං ඒ වෙලාවේ තාත්තාට කිව්වා.+ 33 ඉතින් මං ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා මල්ලිටයි, අනිත් අයටයි යන්න දෙන්න කියලා. මල්ලි වෙනුවට මම ඔබේ දාසයා වෙන්නම්. 34 අනේ, මල්ලි නැතුව නං තාත්තා ළඟට යන්න කියන්න එපා. මං කොහොමද මගේ තාත්තා මැරෙන එක මගේ ඇස් දෙකෙන් බලාගෙන ඉන්නේ?”
45 ඒ දේවල් ඇහුවාට පස්සේ යෝසෙප්ට එයාගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා.+ ඒ නිසා එයා ඉස්සරහා හිටපු සේවකයන්ට එයා මෙහෙම කිව්වා. “ඔක්කොමලා මෙතනින් යන්න.” යෝසෙප් එයා කවුද කියලා එයාගේ අයියලටයි, මල්ලිටයි කියද්දී එතන වෙන කවුරුත් හිටියේ නැහැ.+
2 යෝසෙප් ඒ වෙලාවේ හයියෙන් අඬන්න පටන්ගත්තා. එයා අඬන සද්දේ අහළ පහළ හිටපු ඊජිප්තුවරුන්ටත් ඇහුණා. පාරාවෝගේ ගෙදර අයටත් ඒ ගැන ආරංචි වුණා. 3 අන්තිමේදී යෝසෙප් එයාගේ අයියලටයි, මල්ලිටයි මෙහෙම කිව්වා. “මම යෝසෙප්. මගේ තාත්තා තාම ඉන්නවාද?” ඒත් එයාගේ අයියලා හොඳටම බය වෙලා ගල්ගැහිලා එයා දිහා බලාගෙන හිටියා. 4 ඉතින් යෝසෙප් “අනේ, මං ළඟට එන්න” කියලා එයාලට කිව්වා. එයාලා යෝසෙප් ළඟට ගියා.
ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “මම යෝසෙප්. ඔයාලාගේ මල්ලි. ඔයාලා ඊජිප්තුවට වික්ක ඔයාලාගේ මල්ලි.+ 5 මාව විකුණපු එක ගැන දැන් දුක් වෙන්න එපා. එක එක් කෙනාට දොස් කියාගන්නත් එපා. ඔයාලට කලින් දෙවියන් මාව මේ දේශයට ගෙනාවේ ජීවිත ආරක්ෂා කරන්නයි.+ 6 සාගතේ පටන් අරං දැන් මේ යන්නේ දෙවෙනි අවුරුද්ද.+ තව අවුරුදු පහක් යන කල් කෙත්වල වැඩ කරන්නවත් අස්වැන්න නෙළන්නවත් බැරි වෙනවා. 7 ඔයාලා මේ දේශයට එන්න කලින්ම දෙවියන් මාව මෙහෙට ගෙනාවේ පුදුමාකාර විදිහට ඔයාලාගේ ජීවිත ආරක්ෂා කරන්නයි.+ ඔයාලාගෙන් පැවතෙන අයට දිගටම මේ පොළොවේ* ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි. 8 මාව මෙහෙට එව්වේ ඔයාලා නෙමෙයි සැබෑ දෙවියන්. දැන් මං පාරාවෝගේ ප්‍රධාන උපදේශකයා.* එයාට අයිති හැම දෙයක්ම බලාගන්නේ මමයි. ඒ විතරක් නෙමෙයි මං මුළු ඊජිප්තු දේශයම පාලනය කරනවා.+ ඒ හැම දෙයක්ම කළේ දෙවියන්.
9 “දැන් ඉක්මනට තාත්තා ළඟට ගිහින් කියන්න ‘ඔයාගේ පුතා යෝසෙප් ඔයාට පණිවිඩයක් එව්වා කියලා. යෝසෙප් මෙහෙම කිව්වා කියලා කියන්න. “දෙවියන් මාව ඊජිප්තු දේශයේ පාලකයා විදිහට පත් කරලා තියෙනවා.+ ඉතින් පරක්කු කරන්නේ නැතුව ඉක්මනින්ම මං ළඟට එන්න.+ 10 ඇවිත් ගෝෂෙන් දේශයේ+ ජීවත් වෙන්න. එතකොට තාත්තාට පුළුවන් මට කිට්ටුවෙන් ඉන්න. ඔයාගේ දරුවෝ, මුනුපුරෝ, එළු බැටළු සහ ගව රැළවල් එක්ක ඇවිත් මෙහේ පදිංචි වෙන්න. 11 මං ඔයාලට කන්න බොන්න දෙන්නං. මොකද මේ සාගතේ තව අවුරුදු පහක් යන කල් තියෙනවා.+ එහෙම කළේ නැත්තං තාත්තාටයි, පවුලේ අයටයි අයිති හැම දෙයක්ම නැති වෙලා ඔයාලා අන්ත අසරණ තත්වෙකට වැටෙයි.”’ 12 ඔයාලා එක්ක මේ කතා කරන්නේ යෝසෙප්ම තමයි+ කියලා මගේ මල්ලි බෙන්ජමින්ටයි, ඔයාලා හැමෝටමයි දැන් තේරෙනවා ඇති. 13 මං ඊජිප්තුවේ කොච්චර බලවත් පාලකයෙක්ද කියලත් ඔයාලා දැක්ක හැම දෙයක්මත් තාත්තාට කියන්න. දැන් ගිහින් ඉක්මනට තාත්තාව මෙහෙට එක්කගෙන එන්න.”
14 ඊටපස්සේ එයා එයාගේ මල්ලි වුණ බෙන්ජමින්ව බදාගෙන ඇඬුවා. බෙන්ජමිනුත් එයාගේ බෙල්ල බදාගෙන ඇඬුවා.+ 15 යෝසෙප් එයාගේ අයියලාවත් ඉඹලා එයාලව බදාගෙන ඇඬුවා. ඊටපස්සේ එයාගේ අයියලයි, මල්ලියි එයා එක්ක කතා කරන්න පටන්ගත්තා.
16 යෝසෙප්ගේ සහෝදරයන් ඇවිල්ලා ඉන්නවා කියලා පාරාවෝටයි, එයාගේ ගෙදර අයටයි, සේවකයන්ටයි ආරංචි වුණාම එයාලා ඒ ගැන සතුටු වුණා. 17 ඉතින් පාරාවෝ යෝසෙප්ට මෙහෙම කිව්වා. “ඔයාගේ සහෝදරයන්ට කියන්න සත්තුන්ගේ පිටේ බඩු පටවගෙන කානාන් දේශයට ගිහින් 18 තාත්තාවයි, පවුලේ අයවයි මගේ දේශයට එක්කගෙන එන්න කියලා. මම ඔයාලට ඊජිප්තු දේශයේ තියෙන හොඳම දේ දෙන්නම්. දේශයේ තියෙන සරුම ප්‍රදේශයෙන් ලැබෙන කෑම ඔයාලට කන්න පුළුවන්.+ 19 ඔයා එයාලට මේ දේත් කියන්න.+ ‘ඊජිප්තු දේශයෙන් කරත්ත අරගෙන+ ගිහින් ඔයාලාගේ දරුවන්වයි, භාර්යාවන්වයි, තාත්තාවයි එක්කගෙන එන්න.+ 20 ඔයාලාගේ බඩු මුට්ටු ගැන එච්චර කරදර වෙන්න එපා.+ මොකද ඊජිප්තු දේශයේ තියෙන හොඳම දේවල් ඔයාලට හම්බ වෙනවා.’”
21 ඊශ්‍රායෙල්ගේ පුතාලා පාරාවෝ කියපු විදිහට කළා. පාරාවෝ අණ කරපු විදිහටම යෝසෙප් එයාලට කරත්තයි, ගමනට ඕන කරන කෑම බීමයි දුන්නා. 22 යෝසෙප් අයියලා හැමෝටම අලුත් ඇඳුම ගාණේ දුන්නා. ඒත් එයා බෙන්ජමින්ට රිදී ෂෙකෙල් 300කුයි, අලුත් ඇඳුම් පහකුයි දුන්නා.+ 23 එයා තාත්තාට බූරුවන් දහදෙනෙක්ගේ පිටේ ඊජිප්තුවේ තියෙන හොඳම දේවල් යැව්වා. ඊජිප්තුවට ආපහු එන ගමනට ඕන කරන කෑම බීම සහ ධාන්‍යත් බූරුදෙනුන් දහදෙනෙක්ගේ පිටේ යැව්වා. 24 එයා අයියලවයි, මල්ලිවයි පිටත් කරලා යවද්දී මෙහෙම කිව්වා. “වෙච්ච දේවල් ගැන මඟදී රණ්ඩු කරගන්න එපා.”+
25 ඒ විදිහට එයාලා ඊජිප්තුවේ ඉඳන් කානාන් දේශයේ හිටපු එයාලාගේ තාත්තා වුණ යාකොබ් ළඟට ආවා. 26 එයාලා තාත්තාට මෙහෙම කිව්වා. “යෝසෙප් මැරිලා නැහැ. දැන් එයා තමයි මුළු ඊජිප්තු දේශයම පාලනය කරන්නේ.”+ ඒත් යාකොබ් එයාලා කියපු ඒ දේවල් විශ්වාස කළේ නැහැ. ඒ නිසා එයා මුකුත්ම කිව්වේ නැහැ.+ 27 යෝසෙප් කියපු හැම දෙයක්ම එයාලා තාත්තාට කිව්වාට පස්සේ, එයාව එක්කගෙන යන්න යෝසෙප් එවලා තිබුණ කරත්ත දැක්කාට පස්සේ යාකොබ්ගේ හිතට සතුටක් දැනුණා. 28 ඊශ්‍රායෙල්* සතුටින් මෙහෙම කිව්වා. “දැන් මං ඒක පිළිගන්නවා. මගේ පුතා යෝසෙප් ජීවතුන් අතරේ ඉන්නවා. අනේ, මගේ ඇස් දෙක පියවෙන්න කලින් එයාගේ මූණ කොහොමහරි බලන්න ඕනේ.”+
46 ඊශ්‍රායෙල් එයාගේ පවුලේ අයවයි, එයාට අයිති හැම දෙයක්මයි* අරගෙන ඊජිප්තුවට යන්න පිටත් වුණා. එයා බෙයර්ෂෙබාවලට+ ආවාම එයාගේ තාත්තා වුණ ඊසාක්ගේ දෙවියන්ට පූජා ඔප්පු කළා.+ 2 එදා රෑ දෙවියන් ඊශ්‍රායෙල්ට දර්ශනය වෙලා “යාකොබ්, යාකොබ්” කියලා එයාට කතා කළා. එතකොට එයා “දෙවියනි, කියන්න” කියලා කිව්වා. 3 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන් මමයි. මම තමයි ඔයාගේ තාත්තාගේ දෙවියන්.+ ඊජිප්තුවට යන්න බය වෙන්න එපා. මම එහෙදී ඔයාගෙන් විශාල ජාතියක් බිහි කරනවා.+ 4 ඔයා ඊජිප්තුවට යද්දී මමත් ඔයාත් එක්ක එනවා. ඒත් මම එහෙන් ඔයාව ආපහු මේ දේශයට ගේනවා.+ ඔයා මැරෙන වෙලාවේ යෝසෙප් ඔයාගේ ඇස් දෙක පියවනවා.”+
5 ඊටපස්සේ යාකොබ් බෙයර්ෂෙබාවලින් පිටත් වුණා. ඊශ්‍රායෙල්ගේ පුතාලා පාරාවෝ එවපු කරත්තවල එයාලාගේ තාත්තාවයි, දරුවන්වයි, එයාලාගේ භාර්යාවන්වයි නග්ගගෙන එහෙන් ගියා. 6 එයාලා කානාන් දේශයේදී රැස් කරගත්ත සත්ව රැළවල් සහ බඩු මුට්ටුත් අරගෙන ගියා. ඒ විදිහට යාකොබ් එයාගේ පවුලේ හැමෝම එක්ක ඊජිප්තුවට ආවා. 7 යාකොබ් එයාගේ දරුදැරියන්වයි, මුනුපුරු මිනිපිරියන්වයි ඒ කියන්නේ එයාගේ පවුලේ හැමෝවම එක්කගෙන ඊජිප්තුවට ආවා.
8 ඊජිප්තුවට ආව ඊශ්‍රායෙල්ගේ පුතාලාගේ නම්+ ඒ කියන්නේ යාකොබ්ගෙන් පැවතෙන අයගේ නම් තමයි මේ. යාකොබ්ගේ වැඩිමලාගේ නම රූබෙන්.+
9 රූබෙන්ගේ පුතාලාගේ නම්: හනොක්, පල්ලූ, හෙස්‍රොන් සහ කාමී.+
10 සිමියොන්ගේ+ පුතාලාගේ නම්: යෙමුවෙල්, යාමින්, ඕහද්, යාකින්, ෂෝහර් සහ කානාන් ජාතික කාන්තාවකගෙන් ලැබුණ ෂාවුල්.+
11 ලෙවීගේ+ පුතාලාගේ නම්: ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරී.+
12 යූදාගේ+ පුතාලාගේ නම්: ඒර්, ඕනාන්, ෂේලා,+ පේරෙස්+ සහ සේරා.+ ඒර් සහ ඕනාන් කානාන්+ දේශයේදී මැරුණා.
පේරෙස්ගේ පුතාලාගේ නම්: හෙස්‍රොන් සහ හාමුල්.+
13 ඉසකාර්ගේ පුතාලාගේ නම්: තෝලා, පූවා, යොබ් සහ ෂිම්රොන්.+
14 සෙබ්‍යූලන්ගේ+ පුතාලාගේ නම්: සෙරෙද්, ඒලොන් සහ යාලෙයෙල්.+
15 ඒ හැමෝම පදන්ආරම්වලදී යාකොබ්ගෙන් ලෙයාට හම්බ වුණ පුතාලා.* යාකොබ්ගෙන් ලෙයාට දුවෙකුත් හම්බ වුණා. එයාගේ නම දීනා.+ යාකොබ්ගෙන් පැවත ආපු ඒ අයගේ ගාණ 33යි.
16 ගාද්ගේ+ පුතාලාගේ නම්: ෂිපියොන්, හග්ගී, ෂුනී, එෂ්බොන්, ඒරී, අරොද් සහ අරේලී.+
17 ආෂෙර්ගේ+ පුතාලාගේ නම්: ඉම්නාහ්, ඉෂ්වා, ඉෂ්වී සහ බෙරීයා. ආෂෙර්ගේ දුවගේ නම සෙරා.
බෙරීයාගේ පුතාලාගේ නම්: හෙබෙර් සහ මල්කියෙල්.+
18 ඒ හැමෝම ලාබන් එයාගේ දුව වුණ ලෙයාට සේවිකාවක් විදිහට දුන්න ෂිල්පාගේ+ පුතාලා.* යාකොබ්ගෙන් පැවත ආපු ඒ අයගේ ගාණ 16යි.
19 යාකොබ්ගේ බිරිඳ වුණ රාකෙල්ගේ පුතාලාගේ නම්: යෝසෙප්+ සහ බෙන්ජමින්.+
20 ඕන්* නගරේ පූජකයෙක් විදිහට වැඩ කරපු පොතිෆෙරාගේ දුව වුණ අසෙනත්ට+ යෝසෙප්ගෙන් මනස්සේ+ සහ එෆ්‍රායිම්+ හම්බ වුණා. ඒ දෙන්නා ඉපදුණේ ඊජිප්තු දේශයේදී.
21 බෙන්ජමින්ගේ+ පුතාලාගේ නම්: බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගෙරා,+ නාමන්, ඒහී, රෝෂ්, මප්පිම්, හප්පිම්+ සහ අර්ද්.+
22 ඒ හැමෝම රාකෙල්ගේ පුතාලා.* යාකොබ්ගෙන් පැවත ආපු ඒ අයගේ ගාණ 14යි.
23 දාන්ගේ+ පුතාගේ* නම: හුෂිම්.+
24 නෆ්තලීගේ+ පුතාලාගේ නම්: යාෂෙයෙල්, ගුනී, යේෂෙර් සහ ෂිල්ලෙම්.+
25 ඒ හැමෝම ලාබන් එයාගේ දුව වුණ රාකෙල්ට සේවිකාවක් විදිහට දුන්න බිල්හාගේ පුතාලා.* යාකොබ්ගෙන් පැවත ආපු ඒ අයගේ ගාණ හතයි.
26 යාකොබ්ගේ ලේළිලා ඇරෙන්න එයා එක්ක ඊජිප්තුවට ගිය එයාගෙන් පැවත ආපු අයගේ මුළු ගාණ 66යි.+ 27 ඊජිප්තුවේදී යෝසෙප්ට පුතාලා දෙන්නෙක් හම්බ වුණා. ඊජිප්තුවට ආපු යාකොබ්ගේ පවුලේ අයගේ* මුළු ගාණ 70යි.+
28 යාකොබ් ගෝෂෙන්වලට එනවා කියලා යෝසෙප්ට කියන්න එයා එයාට කලින් යූදාව+ පිටත් කරලා යැව්වා. එයාලා ගෝෂෙන්+ දේශයට ආවාම 29 යෝසෙප් එයාගේ රථය ලෑස්ති කරගෙන එයාගේ තාත්තා වුණ ඊශ්‍රායෙල්ව හම්බ වෙන්න ගියා. ගෝෂෙන්වලදී යෝසෙප් එයාගේ තාත්තාව දැක්කාම එයාව බදාගෙන ගොඩක් වෙලා ඇඬුවා. 30 ඊටපස්සේ ඊශ්‍රායෙල් යෝසෙප්ට මෙහෙම කිව්වා. “මං මගේ ඇස් දෙකෙන්ම පුතාව දැක්කානේ. දැන් මං මැරුණත් කමක් නෑ.”
31 යෝසෙප් එයාගේ අයියලටයි, මල්ලිටයි, එයාගේ තාත්තාගේ පවුලේ අනිත් අයටයි මෙහෙම කිව්වා. “මම පාරාවෝ+ ළඟට ගිහිල්ලා මෙහෙම කියන්නම්. ‘කානාන් දේශයේ හිටපු මගේ සහෝදරයෝයි, තාත්තාගේ පවුලේ අනිත් අයයි මෙහෙට ඇවිත් ඉන්නවා.+ 32 එයාලා එඬේරු.+ එයාලා මෙහෙට එද්දී එළු බැටළු රැළවල්, ගව රැළවල්+ වගේම එයාලට අයිති හැම දෙයක්ම අරගෙනයි ආවේ.’+ 33 පාරාවෝ ඔයාලට කතා කරලා, ‘ඔයාලාගේ රස්සාව මොකක්ද’ කියලා ඇහුවොත් 34 ඔයාලා මෙහෙම කියන්න. ‘තරුණ වයසේ ඉඳන්ම ඔබේ සේවකයන් වන අපියි, අපේ මුතුන්මිත්තනුයි සත්තු ඇති කරන අය.’+ ඊජිප්තු ජාතිකයන් එඬේරුන්ට ආස නැති හින්දා+ පාරාවෝ ඔයාලට ගෝෂෙන්+ දේශයේ ජීවත් වෙන්න ඉඩ දෙයි.”
47 යෝසෙප් පාරාවෝ ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා.+ “මගේ තාත්තායි, මගේ සහෝදරයනුයි කානාන් දේශයේ ඉඳන් ඇවිත් ඉන්නවා. එයාලා එද්දී එළු බැටළු ගව රැළවල් සහ එයාලට අයිති හැම දෙයක්ම අරන් ආවා. එයාලා දැන් ඉන්නේ ගෝෂෙන්+ දේශයේ.” 2 ඊටපස්සේ එයා එයාගේ සහෝදරයන්ගෙන් පස්දෙනෙක්ව පාරාවෝ ඉස්සරහට එක්කගෙන ගියා.+
3 පාරාවෝ එයාලාගෙන් ඇහුවා “ඔයාලාගේ රස්සාව මොකක්ද” කියලා. එතකොට එයාලා කිව්වා “ඔබේ සේවකයන් වන අපි එඬේරු. අපේ මුතුන්මිත්තන් කළෙත් ඒ රස්සාවමයි” කියලා.+ 4 එයාලා පාරාවෝට මෙහෙමත් කිව්වා. “කානාන් දේශයට සාගතය දරුණු විදිහට බලපාලා තියෙන හින්දා+ අපේ සත්තුන්ට එහේ තණබිම් නැහැ. ඔබේ සේවකයන් වන අපි මේ දේශයේ විදේශිකයන් විදිහට ජීවත් වෙන්න ආවේ ඒ නිසයි.+ ඔබේ සේවකයන් වන අපිට ගෝෂෙන් දේශයේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා.”+ 5 එතකොට පාරාවෝ යෝසෙප්ට මෙහෙම කිව්වා. “ඔයාගේ තාත්තායි, සහෝදරයනුයි දැන් ඔයා ළඟට ඇවිත් ඉන්නවානේ. 6 ඉතින් ඔයාට පුළුවන් ඊජිප්තු දේශයේ ඕනම පළාතක් එයාලට දෙන්න. එයාලට දේශයේ හොඳම පළාත දෙන්න.+ එයාලට ගෝෂෙන් දේශයේ ජීවත් වෙන්න පුළුවන්. එයාලා අතරේ හොඳට සත්තු බලාගන්න දන්න අය ඉන්නවා නං මට අයිති සත්තු බලාගන්න එයාලව පත් කරන්න.”
7 ඊටපස්සේ යෝසෙප් එයාගේ තාත්තා වුණ යාකොබ්ව පාරාවෝ ඉස්සරහට එක්කගෙන ගියා. ඒ වෙලාවේ යාකොබ් පාරාවෝට ආශීර්වාද කළා. 8 පාරාවෝ යාකොබ්ගෙන් ඇහුවා “ඔයාගේ වයස කීයද” කියලා. 9 යාකොබ් පාරාවෝට මෙහෙම කිව්වා. “මට දැන් අවුරුදු 130ක් වෙනවා. මං ගත කළේ හරිම කටුක ජීවිතයක්.+ මගේ ජීවිත කාලේ පුරාම මං ජීවත් වුණේ තැනින් තැනට ගිහින්.* මගේ මුතුන්මිත්තනුත් තැනින් තැනට ගිහින් තමයි ජීවත් වුණේ. හැබැයි එයාලාගේ ජීවිත කාලේ එක්ක බලද්දී මගේ ජීවිතේ හරිම කෙටියි.”+ 10 ඊටපස්සේ යාකොබ් පාරාවෝට ආශීර්වාද කරලා එතනින් ගියා.
11 පාරාවෝ අණ කරපු විදිහටම යෝසෙප් එයාගේ තාත්තාවයි, සහෝදරයන්වයි දේශයේ හොඳම පළාත වුණ රමෙසේස්වල පදිංචි කරවලා එයාලට ඊජිප්තු දේශයේ බිම් කොටසක් දුන්නා.+ 12 යෝසෙප් එයාගේ තාත්තාටයි, සහෝදරයන්ටයි, තාත්තාගේ ගෙදර අනිත් හැමෝටමයි ඕනෙ කරන කෑම දිගටම ලබා දුන්නා. එයාලාගේ පවුල්වල හිටපු දරුවන්ගේ ගාණට අනුව එයා කෑම දුන්නා.
13 සාගතය ගොඩක් දරුණු වුණ නිසා දේශයේ කොහෙවත් කෑම තිබුණේ නැහැ. කානාන් දේශයේ සහ ඊජිප්තු දේශයේ හිටපු මිනිස්සු ගොඩක් දුක් වින්දා.+ 14 ඊජිප්තු දේශයේ සහ කානාන් දේශයේ මිනිස්සු ධාන්‍ය මිල දීලා ගන්න යෝසෙප් ළඟට ආවා.+ ධාන්‍ය විකුණලා එකතු කරපු සල්ලි යෝසෙප් පාරාවෝගේ ගෙදරට ගෙනාවා. එයා ඒක දිගටම කළා. 15 ඔහොම යද්දී ඊජිප්තු දේශයේ සහ කානාන් දේශයේ හිටපු මිනිස්සුන්ගේ සල්ලි ඔක්කොම ඉවර වුණා. ඊජිප්තුවේ මිනිස්සු හැමෝම යෝසෙප් ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “කෑම ගන්න අපිට සල්ලි නෑ. අනේ, අපිට කෑම දෙන්න! අපිට බඩගින්නේ මැරිලා යන්න ඉඩ දෙන්න එපා.” 16 එතකොට යෝසෙප් මෙහෙම කිව්වා. “ඔයාලට සල්ලි නැත්තං ඔයාලාගේ සත්තු දෙන්න. ඒකට හරියන්න මම ඔයාලට කෑම දෙන්නං.” 17 එයාලා යෝසෙප් කියපු විදිහට එයාලාගේ සත්තු යෝසෙප්ට ගෙනත් දෙන්න පටන්ගත්තා. යෝසෙප් එයාලා ගෙනාපු අශ්වයන්, එළුවන්, බැටළුවන්, ගවයන් සහ බූරුවන් අරගෙන ඒ වෙනුවට එයාලට කෑම දුන්නා. ඔය විදිහට එයාලා ඒ අවුරුද්දේදී එයාලට අයිති හැම සතෙක්ම යෝසෙප්ට ගෙනත් දුන්නා. යෝසෙප් දිගටම එයාලට කෑම දුන්නා.
18 ඒ අවුරුද්ද ඉවර වුණාම මිනිස්සු යෝසෙප් ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, මේක අපිට ඔබෙන් හංගන්න බැහැ. අපේ ඔක්කොම සල්ලි ඉවරයි. අපිට දෙන්න තව සත්තුත් නැහැ. ඒ ඔක්කොම අපි ඔබට දුන්නා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපියි, අපේ ඉඩකඩම් ටිකයි විතරයි. 19 බඩගින්නේ අපිට මැරෙන්න ඉඩ දෙන්න එපා. අපේ ඉඩකඩම් පාළුවට යන්නත් ඉඩ දෙන්න එපා. අපිවයි, අපේ ඉඩකඩනුයි අරගෙන ඒ වෙනුවට අපිට කෑම දෙන්න. අපි පාරාවෝගේ දාසයෝ වෙන්නම්. අපේ ඉඩකඩනුත් පාරාවෝට අයිති කරගන්න පුළුවන්. අපිට මැරෙන්න ඕනෙ නැහැ. අපේ ඉඩකඩම් පාළුවට යනවා දකින්නත් අපි කැමති නෑ. අනේ, අපිට බීජ දෙන්න.” 20 සාගතය ගොඩක් දරුණු වුණ නිසා ඊජිප්තුවරු හැමෝම එයාලාගේ ඉඩම් වික්කා. යෝසෙප් එයාලට කෑම දීලා ඒ ඉඩම් පාරාවෝගේ නමට පවරගත්තා. ඒ විදිහට මුළු දේශයම පාරාවෝට අයිති වුණා.
21 ඊජිප්තුව පුරාම හිටපු මිනිස්සුන්ට යෝසෙප් කිව්වා නගරවලට ඇවිල්ලා පදිංචි වෙන්න කියලා.+ 22 යෝසෙප් පූජකයන්ට අයිති ඉඩම් විතරයි ගත්තේ නැත්තේ.+ මොකද පූජකයන්ට කෑම හම්බ වුණේ පාරාවෝගෙන්. පාරාවෝ එයාලට කන්න කෑම දුන්න නිසා එයාලාගේ ඉඩම් විකුණන්න ඕනෙ වුණේ නැහැ. 23 යෝසෙප් මිනිස්සුන්ට මෙහෙම කිව්වා. “මං ඔයාලවයි, ඔයාලට අයිති ඉඩනුයි ගත්තා. දැන් ඔයාලයි, ඒ ඉඩනුයි අයිති පාරාවෝට. මං ඔයාලට බීජ දෙන්නම්. ඔයාලා වගා කරන්න ඕනේ. 24 ඔයාලට ලැබෙන අස්වැන්නෙන් පහෙන් එකක් පාරාවෝට දෙන්න ඕනේ.+ ඉතුරු කොටස් හතර ඔයාලට තියාගන්න පුළුවන්. කෙත් වපුරන්නත් ඔයාලටයි, ඔයාලාගේ ගෙදර අයටයි, දරුවන්ටයි කෑමට ගන්නත් ඒවා පාවිච්චි කරන්න පුළුවන්.” 25 ඉතින් එයාලා මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ අපේ ජීවිත බේරගත්තා.+ ඔබ කැමති නම් අපි පාරාවෝගේ දාසයෝ වෙන්නම්.”+ 26 ඊජිප්තු දේශයෙන් ලැබෙන අස්වැන්නෙන් පහෙන් එකක් පාරාවෝට දෙන්න ඕනෙ කියලා නියෝගයක් යෝසෙප් පැනෙව්වා. ඒ නියෝගය අද වෙන කල්ම තියෙනවා. පූජකයන්ගේ ඉඩම් විතරයි පාරාවෝට අයිති වුණේ නැත්තේ.+
27 ඊශ්‍රායෙල්ගේ පවුලේ අය ඊජිප්තු දේශයේ ගෝෂෙන් කියන පළාතේ+ දිගටම ජීවත් වුණා. එයාලා එහේ පදිංචි වෙලා දරුමල්ලෝ හදාගෙන ගණනින් ගොඩක් වැඩි වුණා.+ 28 යාකොබ් ඊජිප්තු දේශයේ අවුරුදු 17ක් ජීවත් වුණා. එයා ජීවත් වුණ මුළු අවුරුදු ගාණ 147යි.+
29 එයා තව වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්ට තේරුණාම+ එයා යෝසෙප්ට කතා කරලා මෙහෙම කිව්වා. “පුතේ, ඔයා මට ආදරේ නං මට විශ්වාසවන්තව ඉන්නවා කියලත් මං ඔයාගෙන් ඉල්ලන මේ දේ කොහොමහරි කරනවා* කියලත් මට පොරොන්දු වෙන්න. මගේ කළවය යටින් ඔයාගේ අත තියලා පොරොන්දු වෙන්න, මං මැරුණාට පස්සේ මාව ඊජිප්තුවේ තැන්පත් කරන්නේ නැහැ කියලා.+ 30 මං මැරුණාම* මාව මෙහෙන් අරන් ගිහින් මගේ මුතුන්මිත්තන්ගේ සොහොනේ මාව තැන්පත් කරනවා කියලා.”+ යෝසෙප් එයාට මෙහෙම කිව්වා. “තාත්තේ, මං ඔයා කියන විදිහටම කරන්නම්.” 31 එතකොට යාකොබ් කිව්වා “මට දිවුරලා පොරොන්දු වෙන්න”+ කියලා. ඉතින් යෝසෙප් එයාට දිවුරලා පොරොන්දු වුණා. එතකොට ඇඳේ ඉඳගෙන හිටපු ඊශ්‍රායෙල් ඔළුව පහත් කරලා දෙවියන්ට ගෞරව කළා.+
48 පස්සේ යෝසෙප්ට මෙහෙම දැන්නුවා. “ඔයාගේ තාත්තා දැන් ගොඩක් දුර්වලයි.” ඒක ඇහුවාම යෝසෙප් එයාගේ පුතාලා දෙන්නා වුණ මනස්සේ සහ එෆ්‍රායිම් එක්ක තාත්තාව බලන්න ගියා.+ 2 “ඔයාගේ පුතා යෝසෙප් ඔයාව බලන්න ඇවිල්ලා” කියලා යාකොබ්ට කිව්වාම එයා අමාරුවෙන් නැඟිටලා ඇඳේ ඉඳගත්තා. 3 යාකොබ් යෝසෙප්ට මෙහෙම කිව්වා.
“කානාන් දේශයේ ලූෂ්වලදී සියලු බලැති දෙවියන් දර්ශනය වෙලා මට ආශීර්වාද කළා.+ 4 ඔහු මට මෙහෙම කිව්වා. ‘මම ඔයාගෙන් පැවතෙන අයගේ ගාණ ගොඩක් වැඩි කරනවා. මම ඔයාගෙන් විශාල සෙනඟක් බිහි කරනවා.+ ඔයාගෙන් පැවතෙන අයට මම මේ දේශය හැමදාටම උරුමයක් විදිහට දෙනවා.’+ 5 මං ඊජිප්තුවට එන්න කලින් මේ දේශයේදී ඔයාට ඉපදුණ ඔයාගේ පුතාලා දෙන්නාව අද ඉඳන් මං සලකන්නේ මගේම දරුවන් විදිහට.+ මගේ දරුවන් වන රූබෙන් සහ සිමියොන් වගේ එෆ්‍රායිම් සහ මනස්සේ මගේ දරුවන් වෙනවා.+ 6 හැබැයි මේ දෙන්නාගෙන් පස්සේ ඔයාට හම්බ වෙන අනිත් දරුවෝ ඔයාගේ දරුවන් හැටියට සලකන්න පුළුවන්. ඒ දරුවන්ට එයාලාගේ අයියලා වන එෆ්‍රායිම් සහ මනස්සේගේ උරුමයෙන් කොටසක් ලැබෙයි.+ 7 මං පදන්ආරම්* ඉඳන් එද්දී ඔයාගේ අම්මා රාකෙල් කානාන් දේශයේදී නැති වුණා.+ ඒක වුණේ එෆ්‍රාත්වලට ඒ කියන්නේ බෙත්ලෙහෙමට+ යන්න සෑහෙන දුරක් තියෙද්දී. ඉතින් මං එෆ්‍රාත්වලට+ යන අතරමඟ එයාව වැළලුවා.”
8 ඊශ්‍රායෙල් යෝසෙප්ගේ පුතාලව දැකලා “කවුද මේ ළමයි” කියලා ඇහුවා. 9 එතකොට යෝසෙප් තාත්තාට මෙහෙම කිව්වා. “මේ මගේ පුතාලා. ඊජිප්තු දේශයේදී දෙවියන් මට දුන්න දරුවෝ.”+ එතකොට ඊශ්‍රායෙල් මෙහෙම කිව්වා. “අනේ, එයාලව මං ළඟට ගේන්න. මං එයාලට ආශීර්වාද කරන්නම්.”+ 10 මහලුව හිටපු ඊශ්‍රායෙල්ගේ ඇස් පේන්නේ නැති තරමට දුර්වල වෙලා තිබුණා. ඉතින් යෝසෙප් දරුවෝ දෙන්නාව ඊශ්‍රායෙල් ළඟට ගෙනාවා. එයා ඒ දෙන්නාව ඉඹලා වැලඳගත්තා. 11 ඊශ්‍රායෙල් යෝසෙප්ට මෙහෙම කිව්වා. “මං කවදාවත් හිතුවේ නෑ මට ආයෙත් ඔයාගේ මූණ දකින්න ලැබෙයි කියලා.+ ඒත් දෙවියන් ඔයාව විතරක් නෙමෙයි ඔයාගේ දරුවන්වත් දකින්න මට ඉඩ දුන්නා.” 12 ඊටපස්සේ යෝසෙප් දරුවෝ දෙන්නාව තාත්තා ළඟින් ටිකක් පැත්තකට කරලා තාත්තා ඉස්සරහා බිමට නැමිලා එයාට ගෞරව කළා.
13 ඊටපස්සේ යෝසෙප් එයාගේ දකුණු අතින් එෆ්‍රායිම්ව+ අල්ලගෙන ඊශ්‍රායෙල්ගේ වම් පැත්තට ගෙනාවා. මනස්සේව+ වම් අතින් අල්ලගෙන ඊශ්‍රායෙල්ගේ දකුණු පැත්තට ගෙනාවා. 14 ඒත් ඊශ්‍රායෙල් එයාගේ දකුණු අත බාලයා වුණ එෆ්‍රායිම්ගේ ඔළුවට තිබ්බා. එයාගේ වම් අත වැඩිමලා වුණ මනස්සේගේ ඔළුවට තිබ්බා.+ එයා හිතාමතාම තමයි එහෙම කළේ. 15 එයා යෝසෙප්ට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා.+
“මගේ සීයා වුණ ආබ්‍රහම් සහ මගේ තාත්තා වුණ ඊසාක් සේවය කරපු සැබෑ දෙවියන්ගෙන්,+
මගේ ජීවිත කාලේ පුරාම මේ වෙන කල්ම මගේ එඬේරා වුණ* සැබෑ දෙවියන්ගෙන්,+
16 ඔහුගේ දූතයා මාර්ගයෙන් හැම විපතකින්ම මාව බේරගත්ත දෙවියන්ගෙන්,+ මේ පුතාලා දෙන්නාට ආශීර්වාද ලැබේවා!+
මගේ නමින්, මගේ සීයා වුණ ආබ්‍රහම්ගේ නමින්, මගේ තාත්තා වුණ ඊසාක්ගේ නමින් එයාලව හඳුන්වනු ලැබේවා!
එයාලාගෙන් පැවතෙන අයගේ ගාණ ගොඩක් වැඩි වේවා!”+
17 තාත්තා එයාගේ දකුණු අත තිබ්බේ එෆ්‍රායිම්ගේ ඔළුවට කියලා යෝසෙප් දැක්කා. එයා ඒ ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා යෝසෙප් එයාගේ තාත්තාගේ දකුණු අත එෆ්‍රායිම්ගේ ඔළුවෙන් අහක් කරලා මනස්සේගේ ඔළුවට තියන්න උත්සාහ කළා. 18 එයා තාත්තාට මෙහෙම කිව්වා. “තාත්තේ, ඔයාගේ දකුණු අත මේ දරුවාගේ ඔළුවට තියන්න. මෙයා තමයි වැඩිමලා.”+ 19 ඒත් තාත්තා ඒකට කැමති වුණේ නැහැ. එයා මෙහෙම කිව්වා. “මං දන්නවා පුතේ, මං ඒක දන්නවා. එයාගෙනුත් ජාතියක් බිහි වෙනවා. එයාත් බලවත් කෙනෙක් වෙනවා. ඒත් එයාගේ මල්ලි එයාට වඩා බලවත් වෙනවා.+ එයාගෙන් පැවතෙන අයගේ ගාණ කොච්චර වැඩි වෙනවාද කියනවා නම් එයාලා ජාතීන් කීපයක් වගේ විශාල සෙනඟක් වෙනවා.”+ 20 එදා ඊශ්‍රායෙල් ඒ දෙන්නාට ආශීර්වාද කරලා+ මෙහෙමත් කිව්වා.
“ඊශ්‍රායෙල් සෙනඟ අනිත් අයට ආශීර්වාද කරද්දී ඔයාව මේ විදිහට මතක් කරයි.
‘දෙවියන් එෆ්‍රායිම්ටයි, මනස්සේටයි ආශීර්වාද කළා වගේ ඔයාටත් ආශීර්වාද කරන්න ඕනේ.’”
ඊශ්‍රායෙල් එයාලට ආශීර්වාද කරද්දී මනස්සේට කලින් එෆ්‍රායිම්ගේ නම සඳහන් කළා.
21 ඊටපස්සේ ඊශ්‍රායෙල් යෝසෙප්ට මෙහෙම කිව්වා. “මං තව වැඩි දවසක් ඉන්නේ නෑ.+ ඒත් දෙවියන් හැමදාමත් ඔයාගේ උදව්වට ඉඳියි. ඔහු ඔයාව ආපහු ඔයාගේ මුතුන්මිත්තන්ගේ දේශයට අරන් යයි.+ 22 මං ඔයාගේ අයියලටයි, මල්ලිටයි වඩා වැඩියෙන් බිම් කොටසක් ඔයාට දෙනවා. මගේ කඩුවෙන් සහ දුන්නෙන් අමෝරිවරුන්ට පහර දීලා ලබාගත්ත බිම් කොටස මං ඔයාට දෙනවා.”
49 යාකොබ් එයාගේ පුතාලට එන්න කියලා මෙහෙම කිව්වා. “ඔයාලා හැමෝම මං ළඟට එන්න. අනාගතේදී ඔයාලට වෙන්න යන දේවල් ගැන මං දැන් කියන්නම්. 2 යාකොබ්ගේ පුත්‍රයෙනි, මං ළඟට එන්න. ඔයාලාගේ තාත්තා වන ඊශ්‍රායෙල් කියන දේට දැන් ඇහුම්කන් දෙන්න.
3 “රූබෙන්,+ ඔයා මගේ කුලුඳුලා.+ මගේ ශක්තිය. මගේ පුරුෂ ශක්තියේ මුල්ම පලය. ඔයාට මහත් ගෞරවයක්, බලයක් තිබුණා. 4 ඒත් ඔයා වේගයෙන් ගලාගෙන යන වතුර පාරක් වගේ කිසිම පාලනයක් නැතුව වැඩ කළා. ඔයාගේ තාත්තාගේ යහන, මගේ යහන ඔයා කිලුටු කළා.+ ඒ නිසා ඔයාගේ සහෝදරයන්ට වඩා ඔයා උසස් වෙන්නේ නැහැ. රූබෙන් මගේ යහන කිලුටු කළා.
5 “සිමියොන් සහ ලෙවී සහෝදරයෝ.+ එයාලා කඩු අතට අරන් දරුණු අපරාධ කළා.+ 6 මං කිසිදාක එයාලාගේ ඇසුරට නොවැටේවා! එයාලා නිසා මගේ හොඳ නම නැති නොවේවා! මොකද එයාලා කේන්තියෙන් මිනී මැරුවා.+ විනෝදයට හරකුන්ගේ කකුල් තුවාල කළා. 7 එයාලාගේ කෝපය දරුණුයි. කේන්තිය හරිම භයානකයි.+ ඒ කෝපය, කේන්තිය එයාලට ශාපයක්! මං එයාලව යාකොබ්ගේ දේශයේ හැම තැනකටම යවනවා. ඊශ්‍රායෙල් දේශය පුරාම විසුරුවාහරිනවා.+
8 “යූදා,+ ඔයාගේ සහෝදරයන්ගේ ප්‍රශංසාව ඔයාට ලැබෙයි.+ එයාලා ඔයා ඉදිරියේ දණ නමයි.+ ඔයාගේ සතුරන්ව ඔයා බෙල්ලෙන්ම අල්ලගනියි.+ 9 යූදා සිංහ පැටියෙක්.+ මගේ පුතේ, ඔයා ගොදුර කාලා නැඟිට යනවා. ඔයා සිංහයෙක් වගේ බිම දිගා වෙලා විවේක ගන්නවා. සිංහයෙක්ව අවදි කරන්න තරම් ධෛර්යයක් තියෙන්නේ කාටද? 10 ෂීලෝ* එන කල්+ යූදාගෙන් රාජ යෂ්ටිය අහක් වෙන්නේ නැහැ.+ පාලකයාගේ සැරයටියත් එයාගේ පාද ඉදිරියෙන් ඉවත් වෙන්නේ නැහැ. හැමෝම ෂීලෝට කීකරු වෙන්න ඕනේ.+ 11 යූදා එයාගේ බූරුවාව මිදිවැලක ගැටගහයි. උගේ පැටියාව එයා හොඳම මිදිවැලක ගැටගහයි. එයාගේ ඇඳුම් වයින්වලින් හෝදගනියි. මිදියුෂවලින් හෝදගනියි. 12 එයාගේ දෑස් වයින්වලින් රතු වෙයි. දත් කිරිවලින් සුදු වෙයි.*
13 “සෙබ්‍යූලන්+ මුහුදු වෙරළ ළඟ ජීවත් වෙයි. එයා වෙරළ තීරයේ නැව් නවත්තලා තියෙන තැන්වල+ කල් ගෙවයි. එයාගේ දේශ සීමාව සීදොන්+ පැත්තට වෙන්න තියෙයි.
14 “ඉසකාර්+ ශක්තිමත් බූරුවෙක් වගේ. එයා බර මලු දෙකක් දෙපස එල්ලගෙන ලැග සිටියි. 15 ලැබෙන බිම් කොටස හොඳයි කියලත් දේශය සරුසාරයි කියලත් එයා දකියි. එයා කැමැත්තෙන්ම බර කරට ගනියි. දාසයෙක් වගේ මහන්සි වෙලා වැඩ කරන්න එයා කැමති වෙයි.
16 “ඊශ්‍රායෙල්වල+ ගෝත්‍රයක් වන දාන්+ මුළු සෙනඟවම විනිශ්චය කරයි. 17 දාන් මඟ රැකගෙන ඉන්න සර්පයෙක් වගේ. අශ්වයන්ගේ පාදවලට දෂ්ට කරලා අසරුවන්ව බිම වට්ටන පොළඟෙක් වගේ.+ 18 ඒත් යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම ලබා දෙන කල් මං බලාගෙන ඉන්නවා.
19 “ගාද්ට+ කොල්ලකරුවෝ පහර දෙයි. ඒත් එයා කොල්ලකරුවන් පස්සේ ගිහින් එයාලට පහර දෙයි.+
20 “ආෂෙර්ට+ කෑම අඩුවක් නැතුව* ලැබෙයි. එයා රජෙක්ට වුණත් දෙන්න පුළුවන් ඉස්තරම් කෑම ලබා දෙයි.+
21 “නෆ්තලී+ දුව පැන යන මුවදෙනක් වගේ. එයා ප්‍රිය වචන කතා කරයි.+
22 “යෝසෙප්+ පල දරන ගහක රිකිල්ලක්. එයා දිය උල්පතක් ළඟ හිටවපු පවුරට උඩින් අතු විහිදී ගිය ගහක රිකිල්ලක්. 23 ඒත් දුනුවායෝ එයාත් එක්ක වෛර බැඳගත්තා. එයාට හිරිහැර කරලා ඊතලවලින් විද්දා.+ 24 ඒ වුණත් එයාගේ දුන්න ස්ථිරව තිබුණා.+ එයාගේ දෑත් හරිම ශක්තිමත්. කඩිසරයි.+ එහෙම වුණේ යාකොබ්ට උදව් කරපු බලවත් තැනැත්තා නිසයි. ඊශ්‍රායෙල්ගේ එඬේරා සහ පර්වතය නිසයි. 25 එයා* එයාගේ තාත්තාගේ දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. එයා සියලු බලැති තැනැත්තාට ළං වෙලා ඉඳියි. ඔහු එයාට උදව් කරයි. දෙවියන් අහසෙන් වර්ෂාව,* ගැඹුරු දිය උල්පත්වලින් වතුර දීලා එයාට ආශීර්වාද කරයි.+ එයාට දරු සම්පත් සහ සත්තු දීලා ආශීර්වාද කරයි. 26 එයාගේ තාත්තාගෙන් ලැබෙන ආශීර්වාද සදහටම තියෙන කඳුවලින් ලැබෙන හොඳ දේවලට වඩා වටිනවා. හැමදාටම තියෙන හෙල්වල අලංකාරයටත් වඩා වටිනවා.+ එයාගේ සහෝදරයන් අතර විශේෂ කෙනෙක් වුණ යෝසෙප්ට ඒ ආශීර්වාද හැමදාටම ලැබෙනවා.*+
27 “බෙන්ජමින්+ වෘකයෙක් වගේ දිගින් දිගටම ගොදුර ඉරලා දානවා.+ එයා උදේට ගොදුර කනවා. හවසට කොල්ලය බෙදාගන්නවා.”+
28 එයාලාගේ තාත්තා එයාලට ආශීර්වාද කරද්දී කියපු දේවල් තමයි ඒ. ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 පැවතෙන්නේ එයාලාගෙන්. තාත්තා ඒ එක් එක් කෙනාට ගැළපෙන ආශීර්වාදයක් දුන්නා.+
29 ඊටපස්සේ ඊශ්‍රායෙල් එයාලට මෙහෙම අණ කළා. “මං මැරෙන මොහොත ළඟයි.+ මගේ මුතුන්මිත්තන් වගේම මාවත් හිත්තීවරයෙක් වුණ එෆ්‍රොන්ගේ ඉඩමේ තියෙන ගුහාවේ තැන්පත් කරන්න.+ 30 ඒ ගුහාව තියෙන්නේ කානාන් දේශයේ මම්රේවලට කිට්ටුවෙන් තියෙන මක්පේලාවල ඉඩමේ. සොහොන් බිමක් විදිහට පාවිච්චි කරන්න මගේ සීයා ආබ්‍රහම් එෆ්‍රොන්ගෙන් ඒ ඉඩම මිල දීලා ගත්තා. 31 ආබ්‍රහම්වයි, එයාගේ බිරිඳ වුණ සාරාවයි ඒ ඉඩමේ තැන්පත් කළා.+ මගේ තාත්තා වුණ ඊසාක්වයි,+ එයාගේ බිරිඳ වුණ රෙබෙකාවයි තැන්පත් කළෙත් එතනමයි. මම ලෙයාව තැන්පත් කළෙත් එතනයි. 32 ඉඩමයි, ඒකේ තියෙන ගුහාවයි මිල දීලා ගත්තේ හෙත්ගේ පුතාලාගෙන්.”+
33 යාකොබ් එයාගේ පුතාලට ඒ හැම දේම කියලා ආයෙත් ඇඳේ හාන්සි වුණා. ඊටපස්සේ එයා අවසන් හුස්ම හෙළලා එයාගේ මුතුන්මිත්තන් එක්ක සැතපුණා.*+
50 යෝසෙප් එයාගේ තාත්තාව බදාගෙන ඇඬුවා.+ 2 ඊටපස්සේ යෝසෙප් එයාගේ තාත්තාගේ මිනියට බෙහෙත් ගල්වන්න*+ කියලා එයා යටතේ සේවය කරපු වෛද්‍යවරුන්ට අණ කළා. වෛද්‍යවරු එයා කිව්ව විදිහටම කළා. 3 ඊශ්‍රායෙල්ගේ මිනියට බෙහෙත් ගල්වන්න දවස් 40ක් ගත වුණා. සාමාන්‍යයෙන් මිනියකට බෙහෙත් ගල්වන්න ඒ වගේ කාලයක් යනවා. ඊජිප්තුවරු ඊශ්‍රායෙල් වෙනුවෙන් දවස් 70ක් වැලපුණා.
4 වැලපෙන කාලේ ඉවර වුණාම යෝසෙප් පාරාවෝගේ නිලධාරීන්ට* කතා කරලා මෙහෙම කිව්වා. “මං වෙනුවෙන් පාරාවෝට මේ පණිවිඩය කියන්න පුළුවන්ද? 5 ‘මගේ තාත්තා මට මෙහෙම කිව්වා. “මං තව වැඩි දවසක් ඉන්නේ නැහැ.+ මං මැරුණාම මාව කානාන් දේශයේ+ මං සූදානම් කරපු සොහොන් බිමේ තැන්පත් කරනවා+ කියලා පොරොන්දු වෙන්න.”+ තාත්තාට වුණ පොරොන්දුව ඉටු කරන්න මට යන්න අවසර දෙන්න කියලා මං ඔබෙන් ඉල්ලනවා. මං ගිහින් තාත්තාව තැන්පත් කරලා ආපහු එන්නම්.’” 6 පාරාවෝ එයාට මෙහෙම දැන්නුවා. “ඔයාගේ තාත්තාට පොරොන්දු වුණ විදිහටම ගිහිල්ලා එයාව තැන්පත් කරන්න.”+
7 යෝසෙප් එයාගේ තාත්තාව තැන්පත් කරන්න පිටත් වෙලා ගියා. පාරාවෝගේ සේවකයෝ ඒ කියන්නේ රජමාලිගාවේ නිලධාරීනුයි,+ ඊජිප්තු දේශයේ හිටපු ප්‍රධානියෝයි එයා එක්ක ගියා. 8 යෝසෙප්ගේ ගෙදර හිටපු හැමෝමයි, එයාගේ සහෝදරයෝයි, එයාලාගේ ගෙවල්වල හිටපු හැමෝමයි, එයාගේ තාත්තාගේ ගෙදර හිටපු හැමෝමයි+ එයා එක්ක ගියා. එයාලා ගෝෂෙන් දේශයේ තියලා ගියේ කුඩා දරුවන් සහ සත්ව රැළවල් විතරයි. 9 අශ්ව රථ,+ අසරුවෝ ඇතුළු විශාල සෙනඟක් එයා එක්ක ගියා. 10 ඊටපස්සේ එයාලා ආතද්වල තිබුණ කමතට ආවා. ඒක තියෙන්නේ යොර්දාන් ගඟ ළඟ. එතනදී එයාලා හරිම දුකෙන් කෑගහලා ඇඬුවා. යෝසෙප් දවස් හතක් පුරා එයාගේ තාත්තා වෙනුවෙන් වැලපුණා. 11 දේශයේ පදිංචි වෙලා හිටපු කානානිවරු ආතද්වල තිබුණ කමතේ සෙනඟ වැලපෙන විදිහ දැකලා මෙහෙම කිව්වා. “ඊජිප්තුවරුන් වැලපෙන හැටි බලන්නකෝ.” යොර්දාන් ගඟ ළඟ තියෙන ඒ තැනට ආබෙල්මිෂ්‍රායිම්* කියන නම තිබ්බේ ඒ නිසයි.
12 යාකොබ් කියපු විදිහටම එයාගේ පුතාලා කළා.+ 13 එයාලා කානාන් දේශයට එයාගේ මිනිය අරගෙන ගිහින් මක්පේලාවල ඉඩමේ තිබුණ ගුහාවේ තැන්පත් කළා. සොහොන් බිමක් විදිහට පාවිච්චි කරන්න ආබ්‍රහම් හිත්තීවරයෙක් වුණ එෆ්‍රොන්ගෙන් මිල දීලා ගත්ත ඒ ඉඩම තිබුණේ මම්රේට කිට්ටුවෙන්.+ 14 යෝසෙප් එයාගේ තාත්තාව තැන්පත් කළාට පස්සේ එයාගේ සහෝදරයෝයි, අනිත් හැමෝමයි එක්ක ආපහු ඊජිප්තුවට ආවා.
15 තාත්තාගේ මරණයෙන් පස්සේ යෝසෙප්ගේ අයියලා මෙහෙම කතා වුණා. “යෝසෙප්ගේ හිතේ තාමත් අපි ගැන තරහක් තියෙනවාද දන්නෑ. එහෙම වුණොත් අපි එයාට කරපු දේට එයා අපෙන් පළිගනී.”+ 16 ඒ නිසා එයාලා යෝසෙප්ට මේ පණිවිඩය යැව්වා. “ඔයාගේ තාත්තා මැරෙන්න කලින් අණක් දුන්නා. 17 ‘ඔයාලා යෝසෙප්ට මෙහෙම කියන්න. “අනේ පුතේ, මගේ මේ ඉල්ලීම ඉටු කරන්න. ඔයාගේ අයියලා ඔයාට කරපු දේ වැරදියි. ඒත් එයාලට සමාව දෙන්න.”’ ඔයාගේ තාත්තාගේ දෙවියන්ගේ සේවකයන් වන අපි ඔයාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ අපි කරපු වරදට සමාව දෙන්න කියලයි.” ඒක ඇහුවාම යෝසෙප් අඬන්න පටන්ගත්තා. 18 ඊටපස්සේ යෝසෙප්ගේ සහෝදරයෝ එයා ළඟට ඇවිල්ලා බිම වැටිලා “අපි ඔයාගේ දාසයෝ.+ ඔයා කැමති දෙයක් අපිට කරන්න” කියලා කිව්වා. 19 යෝසෙප් එයාලට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. දෙවියන්ගේ තැන ගන්න මං කවුද? 20 ඔයාලා මට නපුරු දෙයක් කරන්න හැදුවත්+ දෙවියන් ඒකට ඉඩ දුන්නේ හොඳ හේතුවකට. ඔහු එහෙම කළේ ගොඩක් අයගේ ජීවිත බේරගන්න. ඒක හොඳටම පැහැදිලියි.+ 21 ඉතින් බය වෙන්න එපා. මම ඔයාලටයි, ඔයාලාගේ දරුවන්ටයි දිගටම කෑම දෙන්නම්.”+ ඒ විදිහට යෝසෙප් එයාලව සනසලා එයාලාගේ බය සැක නැති කළා.
22 යෝසෙප් සහ එයාගේ තාත්තාගේ පවුලේ අය දිගටම ඊජිප්තුවේ ජීවත් වුණා. යෝසෙප් අවුරුදු 110ක් ජීවත් වුණා. 23 යෝසෙප් එෆ්‍රායිම්ගේ දරු පරම්පරා තුනක් දැක්කා.+ මනස්සේගේ පුතා වුණ මාකීර්ගේ+ පුතාලාවත් දැක්කා. යෝසෙප් ඒ දරුවන්ව සැලකුවේ එයාගෙම දරුවන් විදිහට.* 24 කාලයක් ගියාම යෝසෙප් එයාගේ සහෝදරයන්ට මෙහෙම කිව්වා. “මං තව වැඩි කල් ජීවත් වෙන එකක් නැහැ. ඒත් දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාලට උදව් කරයි.+ ඔහු ඔයාලව මේ දේශයෙන් පිටතට අරන් යයි. ආබ්‍රහම්ටයි, ඊසාක්ටයි, යාකොබ්ටයි දෙන්න පොරොන්දු වුණ දේශයට අනිවාර්යයෙන්ම ඔයාලව ගෙනියයි.”+ 25 යෝසෙප් ඊශ්‍රායෙල්ගේ පුතාලට මෙහෙම කිව්වා. “දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාලට උදව් කරයි. ඔයාලා මේ දේශයෙන් පිටත් වෙලා යද්දී මගේ ඇටකටුත් මෙහෙන් අරන් යනවා කියලා මට පොරොන්දු වෙන්න.”+ 26 යෝසෙප් ඊජිප්තුවේදී මැරුණා. එතකොට එයාගේ වයස අවුරුදු 110යි. එයාලා එයාගේ මිනියට බෙහෙත් ගල්වලා+ මිනී පෙට්ටියක තිබ්බා.
මෙතන කතා කරන්නේ විශ්වයේ ආරම්භය ගැනයි.
ඒ කියන්නේ ඉර, හඳ, තරු සහ මන්දාකිනි වගේ විශ්වයේ තියෙන දේවල්.
බයිබලයේ “දවස” කියන වචනයෙන් විවිධ කාල පරිච්ඡේදයන් අදහස් කරන්න පුළුවන්. ඒකෙන් හැම වෙලේම පැය 24ක් අදහස් කරන්නේ නැහැ.
ඒ කියන්නේ වායුගෝලය.
මේකට තණකොළ, ධාන්‍ය වර්ග, කෙත්වතුවල වැවෙන දේවල්, උක් සහ උණ ගස් ඇතුළත්.
මූ.අ., “ඒවා ලකුණු වෙයි.”
ඒ කියන්නේ දකින්න සැලැස්සුවා. මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනය 1:1, 21, 27 සහ 2:3 තියෙන “නිර්මාණය කළා” කියලා සඳහන් වෙන වචනයට වඩා වෙනස්.
මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් කුරුල්ලන් සහ පියාපත් තියෙන කෘමීන් අදහස් වෙන්න පුළුවන්.
මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් මීයන්, උරගයන්, කෘමීන් ඇතුළු බඩ ගාගෙන යන අනිත් සත්තු අදහස් වෙනවා.
මූ.අ., “ඒවායේ සියලු සේනා.”
හෝ, “හදපු හැම දෙයක්ම.”
දෙවියන්ගේ නම සඳහන් වෙන මුල්ම අවස්ථාව. උප. A4 බලන්න.
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. ඒකේ මූලික අදහස “හුස්ම ගන්න කෙනෙක්” කියන එකයි. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “ගංගා හතරක ආරම්භය.”
ඩෙලියම් කියන්නේ සුවඳවත් මැලියම් වර්ගයක්. ඒක ගන්නේ කොළ අඩු පොඩි පඳුරු වර්ගයකින්.
හෝ, “ටයිග්‍රීස්.”
හෝ, “බිරිඳ එක්කම ඉන්නවා.”
හෝ, “එක ශරීරයක් වගේ වෙනවා.”
හෝ, “සුපරීක්ෂාකාරී; කපටි.”
මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන අය” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.
හෝ, “පොඩි.”
ඒකට ස්වාමිපුරුෂයාගේ අවධානය, සැලකිල්ල, ආදරේ ලබන්න තියෙන ආසාව ඇතුළත් වෙන්න පුළුවන්.
තේරුම, “මනුස්සයා; මිනිස් වර්ගයා.”
තේරුම, “ජීවමාන කෙනා.”
මූ.අ., “ජීවත් වෙන සියලුදෙනාගේ.”
මූ.අ., “අපි වගේ හොඳ නරක දන්නවා.”
හෝ, “එයාට දුකක් කලකිරීමක් ඇති වුණා.”
“පැහැදිලි කිරීමක්” බලන්න.
කායින්ව මරන්නේ නැතුව ඉන්න මේක අනිත් අයට අනතුරු ඇඟවීමක් වෙන්න ඇති.
හෝ, “නොද්.”
තේරුම, “වෙනුවට පත් කළ කෙනා.”
හෝ, “ආදම්.”
“පැහැදිලි කිරීමක්” බලන්න.
ඒ කියන්නේ දෙවියන් බලාපොරොත්තු වුණ විදිහට ජීවිතේ ගත කළා.
සමහරවිට තේරුම, “විවේකය; සැනසීම.”
මූ.අ., “මනුෂ්‍යයන්ගේ දූවරුන්.”
හෝ, “දේවදූතයන්.”
මූ.අ., “ඒ නිසා එයාලාගේ දවස් අවුරුදු 120ක් වෙනවා.”
මූ.අ., “නෙෆිලිම්වරු.” තේරුම, “බිමට ඇදගෙන වැටෙන්න අනිත් අයට පහර දෙන අය” වෙන්න පුළුවන්. “පැහැදිලි කිරීමක්” බලන්න.
මෙතන කතා කරන්නේ මැලියම් සහිත ගස් වර්ගයක ලී ගැනයි. ඒක සයිප්‍රස් වර්ගයට අයිති ගහක් වෙන්න පුළුවන්.
ඒක දිග පෙට්ටියක් වගේ.
රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). එතකොට නැවේ දිග මීටර් 134යි. පළල මීටර් 22යි. උස මීටර් 13යි. උප. B14 බලන්න.
හෙබ්‍රෙව් භාෂාවෙන් ට්සෝහා. සමහරවිට මේක නැව වටේටම යන කවුළුවක් වෙන්න පුළුවන්. මේ ගැන තියෙන තවත් අදහසක් තමයි වහල රියනක බෑවුමක් තියෙන විදිහට හදන්න ඕනෙ කියන එක.
මූ.අ., “ජීවන හුස්ම ඇති සියල්ලන්.”
මෙතන කතා කරන්නේ පූජා කරන්න සුදුසු සත්තු ගැන වෙන්න පුළුවන්.
හෝ සමහරවිට, “ජෝඩු හත.”
හෝ සමහරවිට, “ජෝඩු හත.”
පේන විදිහට මෙතන කතා කරන්නේ අවකාශයට ඉහළින් තිබුණු ජලය ගැනයි.
මූ.අ., “ජීවන හුස්ම ඇති හැම සතෙක්ම.”
රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). ඒ කියන්නේ ජල මට්ටම මීටර් 6.5ක් විතර තිබුණා. උප. B14 බලන්න.
පේන විදිහට මෙතන කතා කරන්නේ රංචු පිටින් ඉන්න පොඩි සත්තු ගැන.
මූ.අ., “ජීවන හුස්ම ඇති හැම ජීවියෙක්ම.”
හෝ, “නැවැත්තුවා.”
මූ.අ., “නැවේ ආවරණය.”
මූ.අ., “ඒ ඒ වර්ගය විදිහට.”
හෝ, “ඔයාගේ පාලනය යටතේ ඉඳියි.”
හෝ, “ජීවය තියෙන්නේ ලේවලයි.”
හෝ, “ජීවිතය නැති කළොත්.”
මූ.අ., “එයාගේ ලේත් හලන්න.”
නෝවාට ලිංගික අපයෝජනයක් කළා කියලා මේකෙන් අදහස් වෙන්න පුළුවන්.
බයිබලයේ පුතා කියලා කියද්දී ඒකෙන් මුනුපුරාත් අදහස් වෙන්න පුළුවන්.
මූ.අ., “දාසයන්ගේ දාසයෙක්.”
මූ.අ., “බලවන්තයෙක්.”
එයා සත්තුන්ව විතරක් නෙමෙයි මිනිස්සුන්වත් මැරුවා.
මූ.අ., “මේක තමයි මහත් නුවර.”
මේ නම්වලින් මිස්‍රයිම්ගෙන් පැවතෙන ගෝත්‍ර හරි ජාතීන් හරි නියෝජනය කරනවා වෙන්න පුළුවන්.
හෝ සමහරවිට, “යාෆෙත්ගේ අයියා.”
තේරුම, “බෙදීම.”
මූ.අ., “පොළොවේ බෙදීමක් ඇති වුණ නිසයි.”
හෙබ්‍රෙව් භාෂාවෙන් බිටුමන්. බිටුමන් කියන ද්‍රව්‍යය තාරවලට සමානයි.
තේරුම, “අවුල; වියවුල.”
හෝ, “ආශීර්වාද ලබාගන්න එයාලාගේ පැත්තෙන් දෙයක් කරනවා.”
මූ.අ., “ඉදිරියේ දර්ශනය වෙලා.”
මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන කෙනා” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.
හෙබ්‍රෙව් භාෂාවේ මෙතන පාවිච්චි කරලා තියෙන යෙදුමට දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා, ඔහු ගැන විශ්වාසය තියනවා සහ ඔහුගේ නම ප්‍රසිද්ධ කරනවා කියන අදහසුත් ඇතුළත්.
හෝ, “විදේශිකයෙක් විදිහට.”
ඒ කියන්නේ ඒදන් උයන.
හෝ, “තැනිතලාවේදී.”
ඒ කියන්නේ මළ මුහුද.
හෝ, “තැනිතලාවට.”
හෝ, “තැනිතලාවේ.”
මූ.අ., “සහෝදරයාව.”
හෝ, “තැනිතලාවේ.”
ඒ කියන්නේ තරුණ පරෙවියෙක්වයි.
හෝ, “ලිංගික සම්බන්ධකම් පවත්වන්න.”
තේරුම, “දෙවියන් සවන් දෙනවා.”
සමහරු හිතනවා මෙතන කතා කරන්නේ සීබ්‍රා ගැන කියලා. ඒ විදිහට එයා ගැන කතා කරලා තියෙන්නේ එයා ස්වාධීනව වැඩ කරනවා කියලා පෙන්නන්න වෙන්න පුළුවන්.
හෝ සමහරවිට, “සහෝදරයන්ට හතුරුකම් කරමින් ජීවත් වෙනවා.”
තේරුම, “මං දිහා බලාගෙන ඉන්න ජීවමාන තැනැත්තාට අයිති ළිඳ.”
තේරුම, “උසස් කළ පියා.”
තේරුම, “සමූහයකගේ පියා; බොහෝදෙනෙක්ගේ පියා.”
හෙබ්‍රෙව් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනයෙන් එක් කෙනෙක් වගේම ලොකු පිරිසකුත් අදහස් වෙන්න පුළුවන්.
මූ.අ., “එයාගේ සෙනඟ අතරෙන් එයාව අයින් කරන්න ඕනේ.”
තේරුම, “විවාදශීලී” වෙන්න පුළුවන්.
තේරුම, “කුමාරිකාව.”
තේරුම, “හිනාව.”
මෙතන ආබ්‍රහම් දේවදූතයාට යෙහෝවා කියලා කතා කරන්නේ ඒ දේවදූතයා යෙහෝවාගේ නියෝජිතයෙක් වුණ නිසා වෙන්න පුළුවන්.
මූ.අ., “සෙයා මිනුම්.” සෙයා මිනුමක් කියන්නේ ලීටර් 7.33ක්. ඒ කියන්නේ පිටි කි.ග්‍රෑ. 12ක් විතර. උප. B14 බලන්න.
මූ.අ., “ඔසප් වීම නතර වෙලා තිබුණා.”
හෝ, “ආශීර්වාද ලබාගන්න එයාලාගේ පැත්තෙන් දෙයක් කරනවා.”
හෝ, “එයාගේ ගෙදර ඉන්න හැමෝටමයි.”
හෝ, “ධර්මිෂ්ඨ දේ.”
පේන විදිහට තුන්දෙනාගෙන් දෙන්නෙක්.
ඊස්ට් වගේ පිපෙන්න දාන දෙයක්.
මෙතන කතා කරන්නේ ලිංගික සම්බන්ධකම් පවත්වන එක ගැනයි.
මූ.අ., “එයාලා මගේ වහලේ යටට ගත්තේ ආරක්ෂා කරන්නයි.”
ඒ කියන්නේ මිනිස් වෙස් ගත්ත දේවදූතයන් දෙන්නා.
හෝ, “නොසැලෙන ආදරයක්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
ඒ කියන්නේ දෙවියන්ව නියෝජනය කරපු දේවදූතයා.
තේරුම, “පොඩි.”
හෝ, “විදේශිකයෙක් විදිහට ඉද්දීත්.”
ඒ කියන්නේ එයා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වලා තිබුණේ නැහැ.
හෝ, “ඔයාට මං ගැන නොසැලෙන ආදරයක් තියෙනවා.”
මූ.අ., “මාත් එක්ක හිනා වෙයි.”
හෝ, “ඔයාගෙන් පැවතෙන කෙනා.”
හෝ, “ඊයක් විදින දුරට.”
හෝ, “නොසැලෙන ආදරේකින්.”
ඒ කියන්නේ ගෑනු සතුන්.
තේරුම, “දිවුරුම් ළිඳ; හතේ ළිඳ.”
ඒ කියන්නේ ටැමරිස්ක් ගහක්. ඒකේ කොළ හරිම හීනියි. රෝස පාට නැත්නම් සුදු පාට මල් පිපෙනවා.
හෙබ්‍රෙව් භාෂාවේ මෙතන පාවිච්චි කරලා තියෙන යෙදුමට දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා, ඔහු ගැන විශ්වාසය තියනවා සහ ඔහුගේ නම ප්‍රසිද්ධ කරනවා කියන අදහසුත් ඇතුළත්.
හෝ, “විදේශිකයෙක් විදිහට ජීවත් වුණා.”
පේන විදිහට ගිනි අඟුරු වෙන්න ඇති.
තේරුම, “යෙහෝවා සපයයි; යෙහෝවා අවශ්‍ය දේ කරයි.”
මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන අය” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.
මූ.අ., “දොරටුව.”
මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන අය” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.
හෝ, “ආශීර්වාද ලබාගන්න එයාලාගේ පැත්තෙන් දෙයක් කරනවා.”
හෝ සමහරවිට, “ශ්‍රේෂ්ඨ අධිපතියෙක්.”
ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.
ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.
හෝ, “නොසැලෙන ආදරයක් තියෙනවා.”
හෝ, “නොසැලෙන ආදරයක් තියෙනවා.”
ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.
ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.
හෝ, “නොසැලෙන ආදරයක්.”
සමහරවිට මෙතන කතා කරන්නේ ලාබන් ගැන වෙන්න ඇති.
මූ.අ., “මම වමටද දකුණටද හැරෙන්නේ කියලා.”
හෝ, “හොඳක්වත් නරකක්වත් කියන්න අපිට බැහැ.”
මූ.අ., “එයාලාගේ නංගිවයි.”
මූ.අ., “කිරි මවවයි.”
මූ.අ., “දහස් වර දසදහසකගේ.”
මූ.අ., “දොරටුව.”
මේ හෙබ්‍රෙව් නම්වලින් ගෝත්‍ර හරි ජාතීන් හරි අදහස් වෙන්න පුළුවන්.
හෝ, “පවුරුවලින් වට කරපු කඳවුරු.”
හෝ සමහරවිට, “සහෝදරයන්ට හතුරුකම් කරමින් ජීවත් වෙනවා.”
තේරුම, “රෝමවලින් වැහුණු.”
තේරුම, “විලුඹ අල්ලගන්න කෙනා; උදුරගන්න කෙනා.”
හෝ, “කටක්.”
තේරුම, “රතු.”
මූ.අ., “මට විකුණන්න.”
හෝ, “කුලුඳුලා විදිහට මට තියෙන අයිතියෙන්.”
මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන කෙනා” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.
හෝ, “ආශීර්වාද ලබාගන්න එයාලාගේ පැත්තෙන් දෙයක් කරනවා.”
හෝ, “රෙබෙකාට ආදරේ පෙන්නනවා.”
“පැහැදිලි කිරීමක්” බලන්න.
තේරුම, “දබරය.”
තේරුම, “චෝදනාව.”
තේරුම, “බොහෝ ඉඩකඩ ඇති තැන්.”
මූ.අ., “නැග්ගා.”
මූ.අ., “ජීවිතේ තිත්ත වෙලා.”
ඒ කියන්නේ තරුණ එළුවන්.
තේරුම, “විලුඹ අල්ලගන්න කෙනා; උදුරගන්න කෙනා.”
හෝ, “එයාගෙන් නිදහස් වෙනවා.”
හෝ, “තාත්තා ගැන වැලපෙන කාලේ ළඟයි.”
හෝ, “ඔයාව මරනවා කියලා හිතාගෙන එයාගේ හිත හදාගෙන ඉන්නවා.”
හෝ, “ඉණිමඟක්.”
මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන කෙනා” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.
හෝ, “ආශීර්වාද ලබාගන්න එයාලාගේ පැත්තෙන් දෙයක් කරනවා.”
තේරුම, “දෙවියන්ගේ ගෘහය.”
පේන විදිහට බෙතෙල්වලට කිට්ටුව තිබුණ ලූෂ් කියලා හඳුන්නපු නගරය පස්සේ කාලෙක බෙතෙල් කියලා හැඳින්නුවා.
ඒ කියන්නේ කානාන් දේශයට නැඟෙනහිරෙන් තියෙන දේශයකට.
මූ.අ., “සහෝදරයෙක්.”
හෝ, “මගේම ලේ නෑයෙක්.”
මූ.අ., “සහෝදරයෙක්.”
මූ.අ., “ලෙයාගේ ඇස්වල එච්චර එළියක් තිබුණේ නැහැ.”
තේරුම, “මෙන්න, පුතෙක්!”
තේරුම, “ඔහු මට සවන් දුන්නා.”
තේරුම, “ළං වෙයි.”
තේරුම, “ප්‍රශංසා ලබන කෙනා.”
තේරුම, “විනිශ්චයකරු.”
තේරුම, “මං කරපු පොර ඇල්ලීම්.”
තේරුම, “ආශීර්වාදය.”
තේරුම, “සතුට.”
ඒක ඖෂධීය අල වර්ගයක්. ඒ කාලේ අය හිතුවා ඒ ගෙඩි කෑවාම දරුපල ලැබෙනවා කියලා.
තේරුම, “එයා තමයි කුලිය.”
හෝ, “දරාගනියි.”
තේරුම, “දරාගන්නවා.”
යොසිෆියා කියන නම කෙටි කරලා. තේරුම, “යාහ්ගෙන් තවත් ලැබේවා!”
හෝ, “නිමිතිවලින්.”
ඒ කියන්නේ තරුණ බැටළුවන්ගෙන්.
හෝ, “ධර්මිෂ්ඨ විදිහට.”
මිහිරි සුවඳක් තියෙන මලක් හැදෙන ගහක්.
ගොඩක් අතු තියෙන, පොත්ත ලේසියෙන්ම ගැලවෙන ගහක්.
දේවදූතයා මාර්ගයෙන් කතා කරන්නේ යෙහෝවා දෙවියන්.
මූ.අ., “කැප කළා.”
හෝ, “පවුලේ අය වැන්ද දෙවිවරුන්ගේ පිළිම.”
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.
මූ.අ., “සහෝදරයන්.”
හෝ, “යාකොබ්ව ඔයාගේ කීමට නම්මගන්න හදන්න එපා.”
මූ.අ., “පුතාලවයි.”
මේ වගේ සෑදලයක දේවල් දාලා තියාගන්න තැනකුත් තිබුණා.
මූ.අ., “සාමාන්‍යයෙන් කාන්තාවන්ට මාසිකව වෙන දේ.” ඒ කියන්නේ ඔසප් වීම.
මූ.අ., “එයාගේ සහෝදරයන්ට.”
ඇරමයික භාෂාවට අනුව මේකේ තේරුම, “සාක්ෂියක් විදිහට තියෙන ගොඩ.”
හෙබ්‍රෙව් භාෂාවට අනුව මේකේ තේරුම, “සාක්ෂියක් විදිහට තියෙන ගොඩ.”
හෝ, “මුරටැඹ.” ඒ කියන්නේ බලාගෙන ඉන්න තැන.
මූ.අ., “පුතාලවයි.”
තේරුම, “කඳවුරු දෙකක්.”
හෝ, “විදේශිකයෙක් විදිහට ලාබන් එක්කයි ජීවත් වුණේ.”
ඒ කියන්නේ උකුල් ඇටය සම්බන්ධ වෙන තැන.
තේරුම, “දෙවියන් එක්ක පොරබදන්නා” නැත්නම් “දෙවියන් පොරබදියි.”
තේරුම, “දෙවියන්ගේ මුහුණ.”
හෝ, “පෙනීයෙල්වලින්.”
පේන විදිහට ගාත් දෙක සම්බන්ධ වෙන කුහරයේ තියෙන ස්නායුවට සම්බන්ධ නහරය.
තේරුම, “මඩු; පැල්.”
ඒ කාලේ වෙනත් ජාතීන්ට අයිති අය යන්තර, සුර වගේ දේවල් කන්වලට දාගෙන හිටියා.
තේරුම, “බෙතෙල්වල දෙවියන් ඉන්නවා.”
ඒ කියන්නේ ඕක් ගහක්.
තේරුම, “හඬා වැලපුණ ගහ.”
හෝ, “ගෝත්‍ර.”
මූ.අ., “පාන පූජාවක්.”
තේරුම, “මගේ ශෝකයේ පුතා.”
තේරුම, “දකුණතේ පුතා.”
ඒ කියන්නේ උපභාර්යාවක්.
හෝ, “විදේශිකයන් විදිහට ජීවත් වුණ.”
හෝ, “උපභාර්යාවක්.”
මූ.අ., “ෂීක්.” ෂීක්වරයෙක් කියන්නේ ගෝත්‍රයක නායකයෙක්ට.
අක්කාද නංගිද කියලා හෙබ්‍රෙව් භාෂාවේ හරියටම කියලා නැහැ.
මූ.අ., “තණබිමේදී.”
හෝ, “යාකොබ්ගේ ජීවිත කතාව තමයි මේ.”
ඊශ්‍රායෙල් කියන්නේ දෙවියන් යාකොබ්ට දුන්න නම.
හෝ, “ලස්සන, දිග ඇඳුමක්.”
හෝ, “තැනිතලාවේ.”
මූ.අ., “ලැබ්ඩනම් මැලියම්, බෝල්සම් තෙල් සහ රුක්ලාටු.”
පේන විදිහට මෙතන කතා කරන්නෙත් 25 සහ 27වෙනි පදවල කතා කරන ඉෂ්මායෙල්වරු ගැනමයි.
ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.
ඒ කියන්නේ ඉෂ්මායෙල්වරුන්ට.
හෝ, “මං මිනී වළට යන කල්ම මගේ පුතා ගැන දුක් වෙනවා.”
මූ.අ., “එයා.” ඒ කියන්නේ යූදා.
හෝ, “මස්සිනාගේ යුතුකම් ඉටු කරන්න.”
ඒ කියන්නේ තරුණ එළුවෙක්ව.
මූ.අ., “මුද්‍රා තියන මුද්ද.”
මූ.අ., “දේවාලේ ගණිකාව.” කානානිවරුන්ගේ දේවාලවල ගණිකාවන් හිටියා.
තේරුම, “ඉරිලා යනවා.”
හෝ, “නොසැලෙන ආදරයක් පෙන්නුවා.”
ඊජිප්තුවේ රජට දීපු නම.
මූ.අ., “එයාත් එක්ක එයාගේ ස්වාමියා යටතේ තිබුණ හිරගෙදර හිටපු නිලධාරීන්ගෙන්.”
හෝ, “නොසැලෙන ආදරයක්.”
මූ.අ., “වළේ.”
ඒ කියන්නේ එයාගේ හිස ගසා දාලා එයාව එල්ලුවා.
මූ.අ., “වළෙන්.”
මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් එයා එයාගේ හිසත් බූ ගෑවා කියලා අදහස් වෙනවා.
ඒ කියන්නේ පාලකයෙක්ගේ නැත්නම් වැදගත් පුද්ගලයෙක්ගේ ලාංඡනයක් තියෙන මුද්ද. ඒක මුද්‍රා තියන්න පාවිච්චි කළා.
පේන විදිහට මේක රථයේ ගමන් කරන කෙනාට ගෞරවය දෙන්න කියලා කරන අණක්.
මූ.අ., “කාටවත් අත පය හොල්ලන්න.”
තේරුම, “සැඟවුණ දේවල් හෙළි කරන්නා.”
ඒ කියන්නේ හෙලියෝපොලිස්.
හෝ, “දේශය පුරාම ගමන් කරන්න.”
හෝ, “පාරාවෝ ඉස්සරහට එද්දී.”
ඒ කියන්නේ හෙලියෝපොලිස්.
තේරුම, “අමතක කරලා දාන්න උදව් කරපු කෙනා.”
තේරුම, “දරුවන්ගේ ගාණ දෙගුණයක් වුණා.”
මූ.අ., “ගරුබියක්.”
මූ.අ., “ලේවලට.”
සුවඳ තෙල් ජාතියක්.
මූ.අ., “ලැබ්ඩනම්.”
කොළ පාටට හුරු ආමන්ඩ් වගේ ඇට ජාතියක්.
හෝ, “එක කුසේ උපන් මල්ලි.”
හෝ, “වැඩිමලාට හිමි ගෞරවය දීලා වැඩිමලාගේ ඉඳන්.”
හෝ, “දේශයේ.”
මූ.අ., “පාරාවෝට තාත්තා කෙනෙක් වගේ.”
ඒ කියන්නේ යාකොබ්.
හෝ, “එයාට අයිති හැම කෙනෙක්වමයි.”
හෝ, “ලෙයාගෙන් පැවතෙන අය.”
හෝ, “ෂිල්පාගෙන් පැවතෙන අය.”
ඒ කියන්නේ හෙලියෝපොලිස්.
හෝ, “රාකෙල්ගෙන් පැවතෙන අය.”
මූ.අ., “පුතාලාගේ.” පේන විදිහට අනිත් පුතාලාගේ නම් ඇතුළත් කරලා නැහැ.
හෝ, “බිල්හාගෙන් පැවතෙන අය.”
මූ.අ., “ගෙයි වැසියන්ගේ.”
හෝ, “විදේශිකයෙක් විදිහට.”
හෝ, “නොසැලෙන ආදරයකින් කරනවා.”
මූ.අ., “මගේ මුතුන්මිත්තන් එක්ක සැතපුණාම.”
මූ.අ., “පදන්.”
හෝ, “එඬේරෙක් වගේ මාව රැකබලා ගත්ත.”
තේරුම, “අයිතිය ඇති කෙනා; හිමිකරු.”
මෙතන දෑස් රතු වෙන්නේ බීමත්කම නිසා නෙමෙයි. ඒක යූදාට ඇති තරම් වයින් සහ කිරි ලැබෙනවා කියලා කාව්‍යමය විදිහට කියන විදිහක්.
හෝ, “හොඳම කෑම.”
ඒ කියන්නේ යෝසෙප්.
මූ.අ., “අහසෙන් ආශීර්වාද.”
මූ.අ., “ඒ ආශීර්වාද යෝසෙප්ගේ හිස මත හැමදාම තියෙනවා.”
මේක මරණය විස්තර කරන්න පාවිච්චි කරන යෙදුමක්.
හෝ, “මිනිය එම්බාම් කරන්න.”
හෝ, “ගෙයි වැසියන්ට.”
තේරුම, “ඊජිප්තුවරුන්ගේ වැලපීම.”
මූ.අ., “එයාලා යෝසෙප්ගේ දණිස් මත ඉපදුණා.”