ඔබදියා
1 ඔබදියාට ලැබුණු දර්ශනය මෙයයි.
විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි දර්ශනයක් මාර්ගයෙන් ඒදොම් දේශය ගැන ප්‍රකාශ කළ දේ මෙහි සඳහන් වේ.+ “යෙහෝවා දෙවිගෙන් අපට ලැබුණු පණිවිඩය මෙයයි. ‘ජනයෙනි, නැඟිටින්න. අපි ගොස් ඒදොම් දේශයට විරුද්ධව යුද්ධ කරමු.’ ඒ ගැන ජාතීන්ට දැන්වීමට ඔහු පණිවිඩකරුවෙකුව යැව්වේය.”+
2 “මම ජාතීන් ඉදිරියේ ඔබව පහත් කරන්නෙමි.+ සියලුදෙනා ඔබව හෙළාදකිනු ඇත.+ 3 කඳු මුදුන්වල සුරක්ෂිතව වසන ඔබ,+ ‘මාව බිමට ඇද දමන්න පුළුවන් කාටද’ කියා ආඩම්බරයෙන් සිතන්නහුය. නමුත් ඔබ ඇත්තෙන්ම මුළා වී ඇත.+ 4 ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියද තාරකා අතරේ ඔබේ කැදැල්ල තනාගත්තද මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
5 “සොරුන් හෝ කොල්ලකරුවන් හෝ රාත්රියේදී ඔබේ නිවසට පැන්නොත් ඔවුන් රැගෙන යන්නේ ඔවුන්ට අවශ්‍ය දේ පමණය.+ මිදි නෙළන්නෝ පවා මුළු අස්වැන්නම නෙළාගන්නේ නැත. අන් අය සඳහාත් ඔවුහු යමක් ඉතුරු කර යන්නෝය.+ 6 නමුත් ඒසව්ගේ සතුරෝ ඔහු සඟවා තැබූ වස්තු එකිනෙක සොයාගන්නෝය.+ ඔහුගේ මුළු වස්තු සම්භාරයම සොරකම් කරන්නෝය. 7 ඔබ සමඟ ගිවිසුම් ඇති කරගත් අය පවා ඔබට ද්‍රෝහි වන්නෝය.+ ඔවුන්ගේ දේශ සීමාවලින් ඔබව පිටමං කරනු ඇත. ඔබ සමඟ සමාදානයෙන් සිටි අය ඔබ සමඟ යුද්ධ කර ඔබව පරාජය කරන්නෝය.+ ඔබ මෝඩයෙකු මෙන් කටයුතු කරන නිසා ඔබ සමඟ එකට ආහාර ගන්න අය පවා ඔබට විරුද්ධව උගුලක් අටවන්නෝය.+ 8 ඒ දවසේදී මම අනිවාර්යයෙන්ම විපතක් ගෙනෙන්නෙමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
“ඒදොම් දේශයේ සිටින බුද්ධිමතුන්ව මම විනාශ කර දමන්නෙමි.+ ඒසව්ගෙන් පැවතෙන්නන්ට අයිතිව තිබෙන කඳුකරයේදී නුවණින් කටයුතු කරන එක් කෙනෙක්වත් ඉතුරු වන්නේ නැත. 9 ඒ සියලුදෙනාම+ මැරුම් කන්නෝය.+ එබැවින් තේමාන් නගරයේ+ බලවන්තයෝ බියෙන් වෙවුලන්නෝය.+ 10 ඔබේ සහෝදරයා වූ යාකොබ්ට ඔබ කළ නපුරුකම් නිසා+ මම ඔබව නින්දාවට පත් කර+ ඔබව සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ 11 විදේශිකයන් පැමිණ ඔබේ සහෝදරයාගේ හමුදාව පරාජය කර ඔවුන්ව රැගෙන ගිය දවසේදී+ ඔබ කිසිවක් නොකර පැත්තකට වී බලා සිටියහුය. නාඳුනන අය නුවර දොරටුව කඩා,+ යෙරුසලමේ වටිනා දේ බෙදාගැනීමට දාදු දැමූ+ විට ඔබත් ඔවුන් සමඟ සිටියහුය.
12 “ඔබේ සහෝදරයාගේ විපතේදී ඔබ ඒ දෙස මහත් ප්‍රීතියෙන් බලා සිටියහුය.+ යූදා දේශයේ වැසියන් විනාශ වූ දවසේදී ඔබ සතුටු වූවා විතරක් නොව ඔවුන් දුක් වේදනා විඳින විට ඔබ ඔවුන්ට සමච්චල් කළහුය.+ ඔබේ සහෝදරයාගේ දුකේදී එලෙස හැසිරීම සුදුසු දෙයක් කියා ඔබ සිතනවාද? 13 මගේ සෙනඟට විනාශයක් අත් වූ දවසේදී ඔබ ඔවුන්ගේ නුවරට ඇතුල් වී ඔවුන්ට සිදු වූ විපත දෙස ආශාවෙන් බලා සිටියහුය.+ ඔබ ඔවුන්ගේ වස්තුව පවා පැහැරගත්තහුය.+ 14 විපතෙන් පලා යෑමට උත්සාහ දැරූ අයව අල්ලාගැනීමට ඔබ මංසන්ධිවල රැකබලා සිටියහුය.+ විපතෙන් බේරුණු අයව ඔබ අල්ලාගෙන සතුරාගේ අතට භාර දුන්නහුය.+ ඔබ කළ ඒ එක් දෙයක්වත් කිසිසේත් අනුමත කළ හැකිද? 15 යෙහෝවා දෙවි වන මා සියලු ජාතීන්ට විරුද්ධව පියවර ගන්නා දවස ළං වී+ තිබෙන බව අමතක නොකරන්න. එදින ඔබ ඔබේ සහෝදරයන්ට කළ ලෙසම+ ඔබටත් සිදු වනු ඇත.+ 16 ඔබ සියලුදෙනා මගේ ශුද්ධ කන්දේදී මත් වෙන තෙක්ම බීවහුය. ඒ ආකාරයටම මගේ කෝපය නමැති කුසලානයෙන් සියලු ජාතීන්ට බීමට සිදු වෙයි.+ සහමුලින්ම විනාශ වී යන තෙක්ම ඔවුහු එම කුසලානයෙන් බොන්නෝය.
17 “‘බේරී ජීවත් වන අය සියොන් කන්දට යන්නෝය.+ නැවතත් එය ශුද්ධස්ථානයක් බවට පත් වන්නේය.+ යාකොබ්ගෙන් පැවතෙන අය තමන්ට අයිති උරුමය හිමි කරගනු ඇත.+ 18 යාකොබ්ගෙන් පැවතෙන අය ගින්නක් මෙන්ද+ යෝසෙප්ගෙන් පැවතෙන අය ගිනිදැල්ලක් මෙන්ද වන්නෝය. නමුත් ඒසව්ගෙන් පැවතෙන්නෝ පිදුරු මිටක් මෙන් වන්නෝය.+ ඔවුහු ගිනි අවුළුවා ඒසව්ගෙන් පැවතෙන්නන්ව විනාශ කර දමන්නෝය. ඒසව්ගෙන් පැවතෙන්නන් අතරින් කිසිවෙක් ඉතුරු වන්නේ නැත.+ මන්ද ඒ දේ තීන්දු කර තිබෙන්නේ යෙහෝවා දෙවිය. 19 මුළු නෙගෙබ් ප්‍රදේශයද ඒසව්ගෙන් පැවතෙන්නන්ට හිමි වූ කඳුකර ප්‍රදේශයද+ පිලිස්තිවරුන්ගේ දේශයද+ ඒ අසල තිබෙන පහත් බිම්ද යාකොබ්ගෙන් පැවතෙන අය හිමි කරගනු ඇත. ඔවුහු එෆ්‍රායිම් දේශයත්+ සමාරියත්+ හිමි කරගනු ඇත. බෙන්ජමින් ගෝත්‍රයට ගිලියද් දේශය උරුම වනු ඇත.+ 20 සාරෆෙත් නගරය දක්වා+ කානානිවරුන්ට අයිතිව තිබූ මුළු ප්‍රදේශයම බලකොටුවේ සිට+ පැහැරගෙන ගිය ඊශ්‍රායෙල්වරුන්ට උරුම වන්නේය.+ යෙරුසලමේ සිට සෙෆාරද් නම් ස්ථානයට රැගෙන ගිය අය නෙගෙබ් ප්‍රදේශයේ+ නුවරවල් හිමි කරගනු ඇත.
21 “‘ගැලවුම්කරුවෝ+ සියොන් කන්දට පැමිණ,+ ඒසව්ට හිමි වූ කඳුකර ප්‍රදේශයේ වැසියන්ව විනිශ්චය කරනු ඇත.+ රජකම හිමි වන්නේ යෙහෝවා දෙවිටය.’”+