1 රාජාවලිය
20 සමාරියට+ විරුද්ධව සටන් කරන පිණිස සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ තමාගේ මුළු හමුදාවද අශ්වයන්ද+ අශ්ව රථද+ ඇතුළුව තවත් රජවරුන් තිස්දෙදෙනෙකුද+ සමඟ ගොස් එය වැටලුවේය.+ 2 ඒ අතරතුර තමන් වැටලූ නුවරෙහි සිටි ඊශ්‍රායෙල්හි රජු වූ ආහබ් වෙතට ඔහු පණිවිඩකරුවන් යවා+ මෙසේ දැන්වූවේය. “බෙන්-හාදද්ගේ නියෝගය මෙයයි. 3 ‘ඔබේ රන් හා රිදී සියල්ල මට භාර දෙන්න. මනා පෙනුමක් ඇති ඔබේ භාර්යාවන් හා ඔබේ පුත්‍රයන් තෝරා මට භාර දෙන්න.’”+ 4 ඊට පිළිතුරු වශයෙන් ඊශ්‍රායෙල්හි රජ මෙසේ කියා යැව්වේය. “මගේ ස්වාමීනි, මගේ රජ්ජුරුවනි, මම ඔබට යටත් වෙනවා. ඔබ කැමති ඕනෑම දෙයක් මට කරන්න. මා සතු සියල්ලද ඔබ ගන්න.”+
5 පණිවිඩකරුවෝ නැවත පැමිණ ආහබ්ට මෙසේ කීවෝය. “බෙන්-හාදද් මෙසේ කීවේය. ‘ඔබේ රන් හා රිදී සියල්ලද ඔබේ භාර්යාවන්ද ඔබේ පුත්‍රයන්ද මට දෙන්න’ කියා මම කලින් ඔබෙන් ඉල්ලුවා. 6 හෙට මේ වේලාව වන විට මගේ සේවකයන්ව ඔබේ මාලිගාවටත් ඔබේ සේවකයන්ගේ නිවෙස්වලටත් එවනවා. ඔවුන් ඇවිත්, මා කලින් ඉල්ලූ දේවල් පමණක් නොව ඔබ වටිනවායයි සලකන සෑම දෙයක්ම+ රැගෙන යයි.”
7 එය ඇසූ ඊශ්‍රායෙල්හි රජ, දේශයේ සිටි සියලු වැඩිමහල්ලන්ව කැඳවා+ ඔවුන්ට මෙසේ කීවේය. “මම කියන මේ දේ ගැන සිතා බලන්න. ඔහු මගේ භාර්යාවන්ව, මගේ පුත්‍රයන්ව හා මගේ රන්, රිදී ඉල්ලූ විට මම ඒ සියල්ල දෙන්න සූදානම් වුණා. ඔහුගේ අරමුණ අපිව නැත්තටම නැති කර දමන්න කියා දැන් මට පැහැදිලියි.”+ 8 එවිට වැඩිමහල්ලන් සියලුදෙනා ඇතුළු මුළු සෙනඟ රජුට මෙසේ කීවෝය. “ඔහුට යටත් වෙන්න එපා. ඔහු කියන කිසිම දෙයකට එකඟ වෙන්නත් එපා.” 9 පසුව රජ බෙන්-හාදද්ගේ පණිවිඩකරුවන්ට මෙසේ කීවේය. “මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මෙහෙම කියන්න. ‘ඔබ මුලින් ඉල්ලූ සියල්ල දෙන්න මම එකඟ වෙනවා. නමුත් ඔබ දැන් ඉල්ලා සිටින දේට මට කොහෙත්ම එකඟ වෙන්න බැහැ.’” එවිට එම පණිවිඩකරුවෝ එතැනින් පිටත්ව ගොස් රජුට එය දැන්වූවෝය.
10 බෙන්-හාදද් නැවත පණිවිඩයක් යවමින්, “මගේ හමුදාව කොතරම් විශාලද කියා ඔබ දන්නේ නැද්ද? මගේ හමුදාව කොතරම් විශාලද කියනවා නම් ඔවුන් සියලුදෙනාට අහුරක් බැගින් ගන්නවත් සමාරියේ වැලි ඉතුරු නොවන ලෙස ඔවුන් සමාරිය නැත්තටම නැති කර දමයි.+ එහෙම කළේ නැත්නම් මා අදහන දෙවිවරු+ මට දඬුවම් කළ යුතුයි”+ කියා ඔහුට කීවේය. 11 ඊශ්‍රායෙල්හි රජ ඊට පිළිතුරු වශයෙන්, “‘යුද්ධය පටන්ගන්නත් කලින්+ යුද්ධෙන් ජය ලැබුවා සේ පුරසාරම් දොඩන්න එපා’+ කියා ගිහින් ඔහුට කියන්න” යයි කීවේය. 12 බෙන්-හාදද් සහ අනික් රජ්ජුරුවන් කූඩාරම්වල මත්පැන් බොමින් සිටියදී+ ඔහුට ඒ පණිවිඩය ලැබිණ. එය ඇසූ වහාම ඔහු, “සටනට සැරසෙන්න” කියා තම සේවකයන්ට අණ කළේය. ඔවුහු ඒ නුවරට විරුද්ධව සටන් කිරීමට සූදානම් වූහ.
13 පසුව එක්තරා අනාගතවක්තෘවරයෙක් ඊශ්‍රායෙල්හි රජු+ වන ආහබ් වෙතට ගොස් මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ වචනය මෙයයි.+ ‘මේ හමුදාව කොතරම් විශාල වුණත් මා යෙහෝවා දෙවි බව ඔබ නිසැකවම තේරුම්ගන්නා පිණිස මම ඒ සියලුදෙනාවම ඔබේ අතට යටත් කර දෙමි.’”+ 14 එවිට ආහබ් රජ, “ඔබ ඒ දේ කරන්නේ කවුරු මාර්ගයෙන්ද” කියා ඇසුවේය. එවිට ඔහු මෙසේ කීවේය. “‘අධිපතීන්* යටතේ සේවය කරන තරුණයන් මාර්ගයෙන් ජය ලබා දෙනවා’ කියායි යෙහෝවා දෙවි පැවසුවේ.” එවිට රජ, “යුද්ධය පටන්ගන්නේ කවුද” කියා ඇසුවේය. ඔහුද, “යුද්ධය පටන්ගන්න ඕනේ ඔබයි” කියා කීවේය.
15 ඉන්පසු රජ අධිපතීන් යටතේ සේවය කරන තරුණයන් කොපමණ සිටිනවාද කියා විමසා බැලුවේය. තරුණයෝ දෙසිය තිස්දෙදෙනෙක් සිටියෝය.+ ඊශ්‍රායෙල්හි යුධ භටයන් කොපමණ සිටිනවාද කියාත් ඔහු විමසා බැලුවේය. යුධ භටයෝ හත්දහස්දෙනෙක් සිටියෝය. 16 ඔවුහු මධ්‍යාහ්නයේදී යුද්ධයට පිටත්ව ගියෝය. ඒ අවස්ථාවේදී බෙන්-හාදද් සහ ඔහුගේ උපකාරයට පැමිණි රජවරු තිස්දෙදෙනා කූඩාරමේ මත් වන තරම් මත්පැන් බොමින් සිටියෝය.+ 17 ඊශ්‍රායෙල් හමුදාවේ පෙරමුණේ ගමන් කළේ අධිපතීන් යටතේ සේවය කළ තරුණයෝය.+ ඔවුන් කවුරුන්දැයි විමසීමට බෙන්-හාදද් මිනිසුන් කිහිපදෙනෙකුව යැව්වේය. ඔවුහු නැවත පැමිණ, “අප දෙසට ගමන් කරන මේ අය සමාරියේ වැසියන්” කියා බෙන්-හාදද්ට කීවෝය. 18 එවිට ඔහු, “ඔවුන් සමාදාන වෙන්න ආවත් යුද්ධයට ආවත් මට කමක් නැහැ. ඔවුන්ව මරන්නේ නැතුව පණපිටින් අල්ලගෙන එන්න”+ යයි කීවේය. 19 අධිපතීන් යටතේ සේවය කරන තරුණයන් සමාරියේ සිට පැමිණි අතර ඔවුන් පිටුපසින් මුළු හමුදාවම ගමන් කරමින් සිටියෝය. 20 සිරියානුවන් තමන්ව අල්ලාගැනීමට පැමිණි විට ඊශ්‍රායෙල් සෙනඟ තමන්ට විරුද්ධව සටන් කළ අයට පහර දී ඔවුන්ව මරා දැමුවෝය. ඒ ප්‍රහාරය හමුවේ සිරියානු හමුදාව+ පලා ගිය අතර+ ඊශ්‍රායෙල්වරු ඔවුන් පසුපස ලුහුබැඳ ගියෝය. නමුත් සිරියාවේ රජු වූ බෙන්-හාදද් අශ්වයෙකු පිට නැඟී ඔහුගේ අසරුවන් කණ්ඩායම සමඟ බේරී පලා ගියේය. 21 ඊශ්‍රායෙල්හි රජ සිරියානු භටයන්වද අශ්වයන්වද අශ්ව රථද විනාශ කර දැමීය.+
22 පසුව අනාගතවක්තෘවරයා+ ඊශ්‍රායෙල්හි රජු වෙතට පැමිණ මෙසේ කීවේය. “ලබන අවුරුද්ද මුලදී සිරියාවේ රජ නැවත ඔබට පහර දෙන්න උත්සාහ කරාවි.+ ඉතින් දැන්මම ඔබේ හමුදාව ශක්තිමත් කර+ ඔවුන්ගේ ප්‍රහාරවලට මුහුණ දෙන්නේ කොහොමද කියා හොඳින් කල්පනා කර බලන්න.”+
23 සිරියාවේ රජුගේ සේවකයෝ පැමිණ රජුට මෙසේ කීවෝය. “ඔවුන්ගේ දෙවි, කඳුවලට අධිපති දෙවියෙක්.+ අපව පරාජය කරන්න ඔවුන්ට පුළුවන් වුණේ ඒ නිසයි. නමුත් අපි තැනිතලා භූමියක ඔවුන්ට විරුද්ධව සටන් කළොත් අපට ජය ගන්න පුළුවන් වේවි. 24 ඔබට සහය දුන් රජවරුන් වෙනුවට+ ආණ්ඩුකාරයන් කිහිපදෙනෙකුව තෝරාගන්න.+ 25 මේ වතාවෙත් පැරදුණ හමුදාව තරම්ම විශාල හමුදාවක් රැස් කරගන්න. කලින් තිබුණු අශ්වයන් හා අශ්ව රථ ප්‍රමාණයම තිබිය යුතුයි. කලින් සිටි හමුදාවට සමාන හමුදාවක් සමඟ අපි තැනිතලා භූමියක ඔවුන්ට විරුද්ධව සටන් කළොත් අපට ජය ගන්න හැකි වේවි.”+ රජ ඔවුන් දුන් උපදෙස් පිළිගෙන ඔවුන් කී ලෙසම කළේය.
26 බෙන්-හාදද් ඊළඟ අවුරුද්ද මුලදී සිරියානු හමුදාව+ රැස් කරගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට අපෙක් නගරයට+ ගියේය. 27 නමුත් ඊශ්‍රායෙල් හමුදාවත් යුද්ධයට සූදානම් වූහ. ඔවුහු යුද්ධයට අවශ්‍ය සියලු දේ රැගෙන සටනට ගියෝය.+ මුළු දේශයම සිරියානු හමුදා භටයන්ගෙන් පිරී තිබිණ. ඔවුන් සමඟ සන්සන්දනය කළ විට ඔවුන්ට එරෙහිව කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල් හමුදාව කුඩා එළු රැළවල් දෙකක් මෙන් පෙනිණ.+ 28 එවිට සැබෑ දෙවිගේ+ අනාගතවක්තෘවරයා ඊශ්‍රායෙල්හි රජු ළඟට පැමිණ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘සිරියානු ජාතිකයන් සිතන්නේ, ‘යෙහෝවා දෙවි කඳුවලට පමණක් අධිපති දෙවි කෙනෙක් මිස තැනිතලාවන් කෙරෙහි බලයක් නැති දෙවි කෙනෙක් කියායි.’ එබැවින් ඔබ සියලුදෙනාම මම යෙහෝවා දෙවි බව+ ස්ථිර වශයෙන්ම දැනගන්නා පිණිස මම ඒ මුළු සමූහයම ඔබේ අතට යටත් කර දෙන්නෙමි.’”+
29 හමුදා දෙකම දවස් හතක් පුරා මුහුණට මුහුණ ලා කඳවුරු බැඳගෙන සිටියෝය.+ හත්වන දවසේදී සටන ඇරඹීය. ඊශ්‍රායෙල් හමුදාව දවසක් ඇතුළතදී සිරියානු පාබළ හමුදාවේ භටයන් ලක්ෂයක් මරා දැමුවෝය. 30 ඉතුරු වූ භටයෝ අපෙක් නගරයට+ පලා ගියෝය. ඔවුන් නගරයට ඇතුල් වනවාත් සමඟම එහි පවුර භටයන් විසිහත්දහසක් පිට කඩා වැටී ඔවුහු මිය ගියෝය.+ බෙන්-හාදද් නගරය ඇතුළට පලා ගොස්+ එහි ගොඩනැඟිල්ලක ඇතුල් කාමරයක සැඟවුණේය.+
31 එවිට ඔහුගේ සේවකයෝ පැමිණ ඔහුට මෙසේ කීවෝය. “ඊශ්‍රායෙල්හි රජවරුන් කරුණාවන්ත*+ අය බව අපි අසා තිබෙනවා. ඒ නිසා ගෝණි රෙදි+ ඉණ වටා බැඳගෙන,+ හිස් මත ලණු දමාගෙන ඊශ්‍රායෙල්හි රජුව හමු වීමට යන්න අපට අවසර දෙන්න. සමහරවිට ඔහු ඔබට අනුකම්පා කර ඔබේ ජීවිතය ඉතුරු කරන්න තීරණය කරාවි.”+ 32 ඉන්පසු ඔවුහු ගෝණි රෙදි ඉණ වටා බැඳගෙන, තමුන්ගේ හිස් මත ලණු දමාගෙන ඊශ්‍රායෙල්හි රජුව හමු වී මෙසේ කීවෝය. “‘මාව මරන්න එපා’ කියා ඔබේ සේවක බෙන්-හාදද් ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.” එය ඇසූ රජ, “ඔහු මට සහෝදරයෙක් වගෙයි. ඔහු තවමත් ජීවතුන් අතරේ ඉන්නවාද” කියා ඇසුවේය. 33 රජතුමා අවංක චේතනාවෙන් එය පැවසූ බව තේරුම්ගත් ඔවුහු+ එය හොඳ ලකුණක් කියා සිතුවෝය. ඒ නිසා ඔවුහු, “එසේය රජතුමනි, බෙන්-හාදද් ඔබට සහෝදරයෙක් වගෙයි” කියා කීවෝය. එවිට රජතුමා, “ඔහුව රැගෙන එන්න” යයි කීවේය. බෙන්-හාදද් සැඟවී සිටි ස්ථානයෙන් පිටතට පැමිණි විට රජතුමා තම අශ්ව රථයට ඔහුව නංවාගත්තේය.+
34 පසුව බෙන්-හාදද් ඔහුට මෙසේ පොරොන්දු විය. “මගේ පියා ඔබේ පියාගෙන් අල්ලාගත් නගරවල්+ මම නැවත ඔබට දෙන්නම්. මගේ පියා සමාරියේ මංමාවත් අයිති කරගත් ලෙස දැන් ඔබ දමස්කයේ මංමාවත් අයිති කරගන්න.”
ඊට ආහබ් රජ මෙසේ කීවේය. “හොඳයි, මේ කොන්දේසි මත අපි දෙදෙනා ගිවිසුමක්+ ඇති කරගනිමු. ඉන්පසු මම ඔබව නිදහස් කරන්නම්.”
රජ, ඔහුත් සමඟ ගිවිසුමක් ඇති කරගත් පසු ඔහුව නිදහස් කර යැව්වේය.
35 අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්ගෙන්*+ කෙනෙක් යෙහෝවා දෙවිගේ අණ පරිදි+ තම මිතුරෙකුට, “මට පහරක් ගසන්න” යයි කීවේය. නමුත් ඒ මිතුරා ඔහුට පහර දෙන්න අකමැති විය. 36 එබැවින් ඔහු තම මිතුරාට මෙසේ කීවේය. “ඔබ යෙහෝවා දෙවිගේ අණට අකීකරු වුණ නිසා ඔබ මෙතැනින් ගියායින් පසු සිංහයෙක්+ ඇවිත් ඔබව මරා දමයි.” ඒ මිනිසා එතැනින් පිටත්ව යන අතරේදී සිංහයෙක් ඇවිත් ඔහුව මරා දැමුවේය.+
37 පසුව ඔහු තවත් කෙනෙක් ළඟට ගොස්, “මට පහරක් ගසන්න” යයි කීවේය. ඒ තැනැත්තා ඔහුට තුවාල වන තෙක්ම පහර දුන්නේය.
38 එවිට ඒ අනාගතවක්තෘවරයා තමන්ව හඳුනාගැනීමට නොහැකි වන සේ+ රෙදි පටියකින් ඇස් බැඳගෙන රජතුමා එන තුරු මඟ බලා සිටියේය. 39 රජු ඒ පාරෙන් යද්දී ඔහු හඬ නඟා රජුට මෙසේ කීවේය.+ “ඔබේ සේවකයා වන මම යුද්ධයට ගියා. එවිට එක් මිනිසෙක් යුධ පිටියේ සිට තවත් මිනිසෙකුව උසුලාගෙන මා ළඟට ආවා. ඔහු ඇවිත්, ‘මේ මිනිසාව බලාගන්න. මා එන විට ඔහු මෙතැන සිටියේ නැත්නම්, මම ඔබව මරා දමනවා.+ නැත්නම් වන්දියක් හැටියට රිදී තලෙන්තයක් ගෙවන්න ඔබට සිදු වෙයි’+ කියා මට පැවසුවා. 40 නමුත් ඔබේ සේවකයාට බොහෝ වැඩ තිබුණ නිසා ඒ වැඩකටයුතුවලට තැනින් තැනට යන්න සිදු වුණා. පසුව මම ඇවිත් බලන විට ඒ මිනිසා එතැන හිටියේ නැහැ.” මෙය ඇසූ ඊශ්‍රායෙල්හි රජ ඔහුට මෙසේ කීවේය. “ලැබිය යුතු දඬුවමට ඔබ එකඟ වුණා නේද? දැන් ඔබට එය විඳින්න සිදු වෙයි.”+ 41 රජතුමා ඒ දේ කී විගස ඔහු තම දෑස් වසා තිබූ රෙදි පටිය ගැලෙව්වේය. එවිට ඔහු අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක් බව+ ඊශ්‍රායෙල්හි රජ හඳුනාගත්තේය. 42 එවිට ඔහු රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට පැවසුවේ මෙයයි. ‘මම විනාශ කිරීමට නියම කළ තැනැත්තාව ඔබ නිදහස් කළ නිසා+ ඔහු වෙනුවට ඔබව මරා දැමීමට නියම කරනවා.+ ඔහුගේ සෙනඟට නියම වූ දඬුවම දැන් ඔබේ සෙනඟට ලැබෙනවා.’”+ 43 ඊශ්‍රායෙල්හි රජ එය අසා ඉතා ශෝකයෙන්+ සමාරියේ+ තිබූ තම මාලිගාව බලා පිටත්ව ගියේය.