ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • nwt ලෙවී කතාව 1:1-27:34
  • ලෙවී කතාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෙවී කතාව
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව

ලෙවී කතාව

1 යෙහෝවා දෙවියන් හමු වීමේ කූඩාරමේදී+ මෝසෙස්ට කතා කරලා මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කවුරු හරි කෙනෙක් යෙහෝවාට පූජාවක් ඔප්පු කරන්න සතෙක්ව ගේනවා නම් ඔහු ඒ සතාව එළු බැටළු රැළෙන් නැත්නම් ගව රැළෙන් තෝරගත යුතුයි.+

3 “‘ඔහු දවන පූජාවක් විදිහට ගවයෙක්ව ඔප්පු කරනවා නම් ඔහු ගේන්න ඕනෙ කැළලක් නැති පිරිමි සතෙක්වයි.+ ඔහු ඒ පූජාව ගේන්න ඕනෙ කැමැත්තෙන්මයි.+ ඒක හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන යෙහෝවා ඉස්සරහා ඔප්පු කළ යුතුයි. 4 දවන පූජාවක් විදිහට ඔප්පු කරන ඒ සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. එතකොට ඔහු ඔප්පු කරන ඒ පූජාව දෙවියන් සතුටින් පිළි අරන් ඔහුගේ වැරදිවලට සමාව දෙනවා.

5 “‘ඊටපස්සේ යෙහෝවා ඉස්සරහා ඒ වස්සාව මැරිය යුතුයි. පූජකයන්+ විදිහට සේවය කරන ආරොන්ගේ පුතාලා ඒ සතාගේ ලේ දෙවියන් ඉස්සරහට ගෙනල්ලා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.+ 6 දවන පූජාවට ඔප්පු කරන සතාගේ හම අයින් කරලා ඌව කෑලිවලට කැපිය යුතුයි.+ 7 පූජකයන් වන ආරොන්ගේ පුතාලා ගිනි අඟුරු පූජාසනයට දාලා+ ඒකට උඩින් දර ඇතිරිය යුතුයි. 8 පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දරවලට උඩින් සතාගේ හිස සහ තෙල් කොටස්* එක්ක ඉතුරු කෑලි ටික පිළිවෙළට තැබිය යුතුයි.+ 9 උගේ බඩවැල් සහ කකුල්* වතුරෙන් හෝදන්න. පූජකයා ඒ හැම කොටසක්ම පූජාසනය මත දැවිය යුතුයි. ඒක දවන පූජාවක්. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+

10 “‘කෙනෙක් බැටළු පැටියෙක්ව* හරි එළුවෙක්ව හරි දවන පූජාවක් විදිහට ඔප්පු කරනවා නම්+ ඔහු කැළලක් නැති පිරිමි සතෙක්ව ගෙනා යුතුයි.+ 11 ඒ සතාව පූජාසනයේ උතුරු පැත්තට අරන් ගිහින් යෙහෝවා ඉස්සරහා මැරිය යුතුයි. පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.+ 12 පූජකයා ඌව කෑලිවලට කපලා, උගේ හිස සහ තෙල් කොටස්* එක්ක ඉතුරු කෑලි ටිකත් පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දරවලට උඩින් පිළිවෙළට තැබිය යුතුයි. 13 උගේ බඩවැල් සහ කකුල් වතුරෙන් හෝදන්න. පූජකයා ඒ හැම කොටසක්ම දෙවියන් ඉස්සරහට ගෙනල්ලා පූජාසනය මත දැවිය යුතුයි. ඒක දවන පූජාවක්. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි සුවඳක් විදිහට සලකනවා.

14 “‘කෙනෙක් දවන පූජාවක් විදිහට යෙහෝවාට කුරුල්ලන්ව ඔප්පු කරනවා නම් ඔහු කොබෙයියන්ව නැත්නම් පරෙවියන්ව* ගෙනා යුතුයි.+ 15 පූජකයා ඌව පූජාසනයට ගෙනල්ලා උගේ බෙල්ලේ කැපුමක් දාලා පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දෙවියන් ඉස්සරහා ඌව දැවිය යුතුයි. ඒත් ඊට කලින් උගේ ලේ පූජාසනයේ පැත්තකින් සම්පූර්ණයෙන්ම ගලා යන්න සැලැස්විය යුතුයි. 16 ඔහු උගේ පිහාටු සහ ගොදුරු බොක්ක ඉවත් කරලා ඒවා පූජාසනයේ නැඟෙනහිර පැත්තේ තියෙන අළු* දාන තැනට වීසි කළ යුතුයි.+ 17 ඌව උගේ තටු ළඟින් පැළිය යුතුයි. ඒත් ඌව සම්පූර්ණයෙන් දෙකට වෙන් කරන්න එපා. ඊටපස්සේ පූජකයා ඌව පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දරවලට උඩින් තබා දැවිය යුතුයි. ඒක දවන පූජාවක්. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි සුවඳක් විදිහට සලකනවා.

2 “‘කෙනෙක් යෙහෝවාට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු ඒ පූජාව සඳහා සිහින්ව කොටාගත්ත පිටි ගෙනා යුතුයි. ඔහු පිටිවලට තෙල් වක් කරලා ඒකට උඩින් කට්ටකුමංජල්* දැමිය යුතුයි.+ 2 ඔහු ඒක පූජකයන් වන ආරොන්ගේ පුතාලා ළඟට ගෙනා යුතුයි. පූජකයා ඒ පූජාවෙන් අහුරක් ගත යුතුයි. සිහින් පිටි, තෙල් සහ කට්ටකුමංජල් සියල්ල ඇතුළත් ඒ අහුර මුළු පූජාව නියෝජනය කරන්න*+ ඔහු පූජාසනය මත දැවිය යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා. 3 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි අයිති වෙනවා.+ ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ගත්ත කොටසක්. ඒ නිසා ඒක ඉතා ශුද්ධයි.+

4 “‘ඔබ උදුනේ පුලුස්සපු දෙයක් ධාන්‍ය පූජාවක් හැටියට ඔප්පු කරනවා නම් ඒවා සෑදිය යුත්තේ සිහින්ව කොටාගත්ත පිටිවලින්. ඒ සඳහා තෙල් මිශ්‍ර කරලා හදපු මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හරි තෙල් තවරපු මුහුන් නොදැමූ තුනී රොටි හරි ගෙනා යුතුයි.+

5 “‘ඔබ තැටියක පුලුස්සපු දෙයක්+ ධාන්‍ය පූජාවක් හැටියට ඔප්පු කරනවා නම් ඒ සඳහා මුහුන් මිශ්‍ර කරලා නැති සිහින්ව කොටාගත්ත පිටි සහ තෙල් මිශ්‍ර කරලා හදපු රොටි ගෙනා යුතුයි. 6 ඔබ ඒක කෑලිවලට කඩලා ඒකට තෙල් වක් කළ යුතුයි.+ ඒක ධාන්‍ය පූජාවක්.

7 “‘ඔබ තාච්චියක බැදපු දෙයක් ධාන්‍ය පූජාවක් හැටියට ඔප්පු කරනවා නම් සිහින්ව කොටාගත්ත පිටි සහ තෙල් මිශ්‍ර කරලා ඒක හදාගන්න. 8 ඔබ ඒ විදිහට පිළියෙල කරගත්ත ධාන්‍ය පූජාව යෙහෝවා ඉස්සරහට ගේන්න. ඒක පූජකයාට භාර දෙන්න. පූජකයා ඒක පූජාසනය ළඟට ගෙන යයි. 9 පූජකයා ධාන්‍ය පූජාවෙන් කොටසක් අරගෙන මුළු පූජාවම නියෝජනය කරන්න*+ ඒක පූජාසනය මත දැවිය යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි සුවඳක් විදිහට සලකනවා.+ 10 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි අයිති වෙනවා. ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ගත්ත කොටසක්. ඒ නිසා ඒක ඉතා ශුද්ධයි.+

11 “‘ඔබ යෙහෝවා ඉස්සරහට ගේන කිසිම ධාන්‍ය පූජාවකට මුහුන් මිශ්‍ර නොකළ යුතුයි.+ යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක් හැටියට මුහුන්වත් පැණිවත්* පූජාසනය මත දවන්න ඔබට අවසර නැහැ.

12 “‘ඔබට ඒවා මුල්ම පලවලින්+ දෙන පූජාවක් විදිහට යෙහෝවා ඉස්සරහට ගේන්න පුළුවන්. ඒත් මිහිරි සුවඳක් ගේන පූජාවක් විදිහට ඒවා පූජාසනය මත නොදැවිය යුතුයි.

13 “‘ඔබ ඔප්පු කරන සෑම ධාන්‍ය පූජාවකටම ලුණු මිශ්‍ර කළ යුතුයි. ඔබේ දෙවියන් ඔබ එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔබට සිහි කරවන ලුණු ඔබේ ධාන්‍ය පූජාවලට දාන්න අමතක කරන්න එපා. ඔබ ඔප්පු කරන හැම පූජාවක් එක්කම ලුණු ඔප්පු කරන්න.+

14 “‘ඔබ යෙහෝවාට මුල්ම පලදාවෙන් ධාන්‍ය පූජාවක් ඔප්පු කරනවා නම් නැවුම් කරල්වලින් ධාන්‍ය අරගෙන ඒවා බැදලා පොඩි කරලා ගෙනා යුතුයි.+ 15 ඔබ ඒකට තෙල් වක් කරලා ඒකට උඩින් කට්ටකුමංජල් දැමිය යුතුයි. ඒක ධාන්‍ය පූජාවක්. 16 පූජකයා පොඩි කරලා තියෙන ධාන්‍යවලින් සහ තෙල්වලින් ටිකකුයි, කට්ටකුමංජල් සියල්ලයි අරගෙන ඒක මුළු පූජාව නියෝජනය කරන්න*+ පූජාසනය මත දැවිය යුතුයි. ඒකෙන් නඟින දුම ඉහළට නැඟිය යුතුයි. ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක්.

3 “‘කෙනෙක් හවුල් පූජාවක්*+ ඔප්පු කරන්න ගව රැළෙන් පිරිමි සතෙක්ව හරි ගැහැනු සතෙක්ව හරි ගේනවා නම් ඔහු යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ කැළලක් නැති සතෙක්වයි. 2 ඔප්පු කරන්න ගෙනාපු සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනදී ඌව මැරුවාට පස්සේ පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි. 3 හවුල් පූජාවෙන් කොටසක් යෙහෝවා ඉස්සරහා ගින්නෙන් ඔප්පු කළ යුතුයි.+ සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුවයි, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුවයි,+ 4 වකුගඩු දෙකයි, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුවයි ඉවතට ගන්න. වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 5 ආරොන්ගේ පුතාලා ඒ කොටස් පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දර මත තියෙන දවන පූජාවට උඩින් තියලා ඒවා දැවිය යුතුයි.+ ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+

6 “‘කෙනෙක් හවුල් පූජාවක් ඔප්පු කරන්න එළු බැටළු රැළෙන් පිරිමි සතෙක්ව හරි ගැහැනු සතෙක්ව හරි ගේනවා නම් ඔහු යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ කැළලක් නැති සතෙක්වයි.+ 7 පූජාව සඳහා බැටළු පැටියෙක්ව ගේනවා නම් ඔහු ඌව යෙහෝවා ඉස්සරහට ගෙනා යුතුයි. 8 ඔප්පු කරන්න ගෙනාපු සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. හමු වීමේ කූඩාරම ඉස්සරහා ඌව මැරුවාට පස්සේ පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි. 9 හවුල් පූජාවේ තෙල් කොටස් ගින්නෙන් ඔප්පු කරන පූජාවක් විදිහට යෙහෝවාට ඔප්පු කළ යුතුයි.+ තෙලින් පිරුණු උගේ මුළු වලිගයම* කොඳු ඇට පෙළ ළඟින් ඉවත් කළ යුතුයි. සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුවයි, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුවයි, 10 වකුගඩු දෙකයි, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුවයි ඉවතට ගන්න. වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 11 යෙහෝවාට දෙන කොටස* විදිහට පූජකයා ඒ සියල්ලම දුම ඉහළට නඟින විදිහට පූජාසනය මත දැවිය යුතුයි. ඒක මට ගින්නෙන් ඔප්පු කරන පූජාවක්.+

12 “‘කෙනෙක් පූජාව සඳහා එළුවෙක්ව ගේනවා නම් ඔහු ඌව යෙහෝවා ඉස්සරහට ගෙනා යුතුයි. 13 ඔප්පු කරන සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. හමු වීමේ කූඩාරම ඉස්සරහා ඌව මැරුවාට පස්සේ පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි. 14 ඔහු ඒ පූජාවෙන් යෙහෝවාට දෙන කොටස ගින්නෙන් ඔප්පු කළ යුතුයි. ඒ කොටසට සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුව, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුව,+ 15 වකුගඩු දෙක, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුව සහ වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුව ඇතුළත් විය යුතුයි. 16 පූජකයා ඒ සියල්ල දෙවියන්ට දෙන කොටස විදිහට පූජාසනය මත දැවිය යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම දෙවියන් මිහිරි සුවඳක් විදිහට සලකනවා. සියලුම තෙල් කොටස් අයිති යෙහෝවාටයි.+

17 “‘ඔබ තෙල් කොටස් සහ ලේ+ කොහොමටවත් නොකෑ යුතුයි. ඔබ කොහේ ජීවත් වුණත් ඒ පනත ඔබයි, ඔබෙන් පැවතෙන හැමෝමයි පරම්පරාවෙන් පරම්පරාවට පැවැත්විය යුතුයි.’”

4 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘යෙහෝවා කරන්න එපා කියලා අණ කරපු දෙයක් කෙනෙක් වැරදීමකින් කළොත්+ ඒ වරද වෙනුවෙන් ඔහු මෙහෙම කළ යුතුයි.

3 “‘අභිෂේක ලත් පූජකයා+ වරදක් කළොත්+ ඔහු කරපු වරද නිසා මුළු සෙනඟවම වරදකරුවන් හැටියට ගණන් ගන්නවා. ඔහු කළ වරද වෙනුවෙන් ඔහු කැළලක් නැති වස්සෙක්ව යෙහෝවාට ඔප්පු කළ යුතුයි. ඒක පාප පූජාවක්.+ 4 ඔහු හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ කියන්නේ යෙහෝවා ඉස්සරහට වස්සාව ගෙනා යුතුයි.+ ඊටපස්සේ ඔහු උගේ හිස මත අත තබා යෙහෝවා ඉස්සරහා ඌව මැරිය යුතුයි.+ 5 අභිෂේක ලත් පූජකයා+ වස්සාගේ ලේවලින් ටිකක් අරගෙන හමු වීමේ කූඩාරම ඇතුළට යා යුතුයි. 6 පූජකයා ශුද්ධස්ථානයේ තිරය ඉස්සරහට ගිහිල්ලා ඔහුගේ ඇඟිල්ලට ලේ ටිකක් අරගෙන+ යෙහෝවා ඉස්සරහා ඒ ලේ ඉසිය යුතුයි. ඒ විදිහට ඔහු හත් පාරක් ලේ ඉහින්න ඕනේ.+ 7 පූජකයා හමු වීමේ කූඩාරම ඇතුළේ යෙහෝවා ඉස්සරහා තියෙන සුවඳ දුම් ඔප්පු කරන පූජාසනයේ අංවලත් ලේ ටිකක් ගාන්න ඕනේ.+ වස්සාගේ ඉතුරු ලේ ටික හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+

8 “‘ඊටපස්සේ ඔහු පාප පූජාව සඳහා ඔප්පු කරන ඒ වස්සාගේ සියලුම තෙල් කොටස් ඉවතට ගත යුතුයි. ඒකට සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුව, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුව, 9 වකුගඩු දෙක සහ ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුව ඇතුළත්. ඔහු වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 10 හවුල් පූජාව සඳහා ඔප්පු කරන ගවයාගේ තෙල් කොටස් ඉවත් කරන විදිහටම මේ සතාගේ තෙල් කොටසුත් ඉවතට ගන්න ඕනේ.+ ඊටපස්සේ පූජකයා ඒ කොටස් දවන පූජා ඔප්පු කරන පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි.

11 “‘ඒත් වස්සාගේ හම, උගේ ඔක්කොම මස්, ඔළුව, කකුල්, බඩවැල් සහ ගොම+ 12 ඒ කියන්නේ උගේ ඉතුරු වෙන හැම කොටසක්ම ඔහු කඳවුරෙන් පිටත පවිත්‍ර තැනකට ගෙන යා යුතුයි. ඒ කොටස් අළු* දාන තැනට අරන් ගිහින් දර මත දැවිය යුතුයි.+ ඒ සතාගේ කොටස් දැවිය යුත්තේ අළු දාන තැනදිමයි.

13 “‘මුළු ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා කරන්න එපා කියලා අණ කරපු දෙයක් වැරදීමකින් කරන්න ඉඩ තියෙනවා.+ ඒත් සෙනඟ අතින් වරදක් වෙලා තියෙනවා කියලා ඔවුන්* දන්නේ නැහැ.+ 14 ඒ වරද ගැන දැනගන්න ලැබුණාම සෙනඟ* පාප පූජාවක් විදිහට වස්සෙක්ව හමු වීමේ කූඩාරම ඉදිරියට ගෙනා යුතුයි. 15 සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන් යෙහෝවා ඉස්සරහා වස්සාගේ හිස මත අත් තැබිය යුතුයි. ඊටපස්සේ යෙහෝවා ඉස්සරහා ඌව මැරිය යුතුයි.

16 “‘අභිෂේක ලත් පූජකයා වස්සාගේ ලේවලින් ටිකක් අරගෙන හමු වීමේ කූඩාරම ඇතුළට යා යුතුයි. 17 පූජකයා ශුද්ධස්ථානයේ තිරය+ ඉස්සරහට ගිහිල්ලා ඔහුගේ ඇඟිල්ලට ලේ ටිකක් අරගෙන යෙහෝවා ඉස්සරහා ඒ ලේ ඉසිය යුතුයි. ඒ විදිහට ඔහු හත් පාරක් ලේ ඉසිය යුතුයි. 18 පූජකයා හමු වීමේ කූඩාරම ඇතුළේ යෙහෝවා ඉස්සරහා තියෙන සුවඳ දුම් ඔප්පු කරන පූජාසනයේ*+ අංවලත් ලේ ටිකක් ගාන්න ඕනේ. වස්සාගේ ඉතුරු ලේ ටික හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ+ පාමුලට වක් කළ යුතුයි. 19 ඔහු උගේ සියලු තෙල් කොටස් ඉවතට අරගෙන පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට ඒවා දැවිය යුතුයි.+ 20 තමන් අතින් වරදක් වුණාම පාප පූජාවක් හැටියට ඔප්පු කරන ගවයාට කරන දේම පූජකයා මේ සතාටත් කළ යුතුයි. සෙනඟ අතින් වුණ වරදට සමාව ලබාගන්න පූජකයා එහෙම කළ යුතුයි.+ එතකොට සෙනඟට සමාව ලැබෙයි. 21 ඔහු වස්සාගේ ඉතුරු කොටස් කඳවුරෙන් පිටතට අරන් ගිහින් කලින් සතාව පුලුස්සපු විදිහටම ඌව පිලිස්සිය යුතුයි.+ ඒක මුළු සෙනඟ වෙනුවෙන් කරන පාප පූජාවක්.+

22 “‘අධිපතියෙක්+ යෙහෝවා කරන්න එපා කියලා ආඥා කරපු දේවලින් එකක් හරි වැරදීමකින් කරන්න ඉඩ තියෙනවා. ඒ විදිහට ඔහු වරදක් කළොත් 23 නැත්නම් දෙවියන්ගේ ආඥාවක් කඩ කරලා තමන් අතින් වරදක් වෙලා තියෙනවා කියලා දැනගත්තොත් ඔහු කැළලක් නැති එළු පැටියෙක්ව* පූජාවක් විදිහට ගෙනා යුතුයි. 24 ඔහු ඒ එළු පැටියාගේ හිස මත අත තැබිය යුතුයි. ඊටපස්සේ දවන පූජා සඳහා සතුන්ව මරන තැනදීම යෙහෝවා ඉස්සරහා ඌව මැරිය යුතුයි.+ ඒක පාප පූජාවක්. 25 පූජකයා ඒ පාප පූජාවේ ලේ ටිකක් ඇඟිල්ලට අරගෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ අංවල ගාන්න ඕනේ.+ එළුවාගේ ඉතුරු ලේ ටික දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+ 26 හවුල් පූජාවේ තෙල් කොටස් පුලුස්සපු විදිහටම මේ සතාගේ තෙල් කොටස් සියල්ලත් පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි.+ ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා එහෙම කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි.

27 “‘සෙනඟ අතරේ ඉන්න කෙනෙක් යෙහෝවා කරන්න එපා කියලා ආඥා කරපු දේවලින් එකක් හරි වැරදීමකින් කරන්න ඉඩ තියෙනවා. ඒ විදිහට ඔහු වරදක් කළොත්+ 28 නැත්නම් තමන් අතින් වරදක් වෙලා තියෙනවා කියලා දැනගත්තොත් ඒ වරද වෙනුවෙන් ඔහු කැළලක් නැති එළු පැටියෙක්ව* පූජාවක් විදිහට ගෙනා යුතුයි. 29 පාප පූජාව සඳහා ඔප්පු කරන ඒ සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. ඊටපස්සේ දවන පූජා සඳහා සතුන්ව මරන තැනදීම ඌව මැරිය යුතුයි.+ 30 පූජකයා උගේ ලේවලින් ටිකක් ඇඟිල්ලට අරගෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ අංවල ගාන්න ඕනේ. එළුදෙනගේ ඉතුරු ලේ ටික දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+ 31 හවුල් පූජාව සඳහා ඔප්පු කළ සතාගේ තෙල් කොටස් සියල්ල ඉවතට ගත්ත විදිහටම+ මේ සතාගේ තෙල් කොටසුත් ඉවතට ගන්න.+ පූජකයා ඒවා පූජාසනය මත දැවිය යුතුයි. ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා. ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා එහෙම කරන්න ඕනේ. එතකොට ඔහුට සමාව ලැබෙයි.

32 “‘ඔහු පාප පූජාව විදිහට බැටළු පැටියෙක්ව ගේනවා නම් කැළලක් නැති ගැහැනු සතෙක්ව ගෙනා යුතුයි. 33 පූජාවට ගෙනාපු ඒ සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. ඊටපස්සේ දවන පූජා සඳහා සතුන්ව මරන තැනදී ඌව මැරිය යුතුයි. ඒක පාප පූජාවක්.+ 34 පූජකයා පාප පූජාව සඳහා ඔප්පු කළ සතාගේ ලේවලින් ටිකක් ඇඟිල්ලට අරගෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ අංවල ගාන්න ඕනේ.+ බැටළු පැටියාගේ ඉතුරු ලේ ටික දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි. 35 පූජකයා හවුල් පූජාව සඳහා ඔප්පු කළ බැටළු පැටියාගේ තෙල් කොටස් ඉවතට ගත්ත විදිහටම මේ සතාගේ තෙල් කොටස් සියල්ලත් ඉවතට ගත යුතුයි. යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරපු අනිත් පූජාවලට උඩින් තියලා දුම ඉහළට නඟින විදිහට ඒවා දැවිය යුතුයි.+ ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා එහෙම කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි.+

5 “‘කෙනෙක් යම් වරදක් වෙනවා දැකලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ ගැන ඔහුට දැනගන්න ලැබිලා තියෙනවා නම් ඔහු ඒ වරදට සාක්ෂිකරුවෙක්. ඒ ගැන සාක්ෂි දරන්න කියලා ප්‍රසිද්ධ නිවේදනයක්*+ දුන්නාට පස්සෙත් ඔහු ඒ ගැන දැනුම් දුන්නේ නැත්නම් ඔහු කරන්නේ වරදක්. ඔහු ඒ වරදට වග කිව යුතුයි.

2 “‘අපවිත්‍රයි කියලා සලකන වනසතෙක්ගේ හරි හීලෑ සතෙක්ගේ හරි කුඩා සතෙක්ගේ හරි+ මළ කඳක් කෙනෙක් ඇල්ලුවොත් ඔහු අපවිත්‍ර වෙනවා. ඒ ගැන ඔහු දැනගෙන හිටියේ නැතත් ඔහු වැරදිකරුවෙක්. 3 කෙනෙක් දන්නේ නැතුව මිනිසෙක්ව අපවිත්‍ර කරන්න පුළුවන් ඕනෙම දෙයක් ඒ කියන්නේ අපවිත්‍ර කෙනෙක්ව හරි අපවිත්‍ර දෙයක් හරි ඇල්ලුවොත්+ ඔහු වැරදිකරුවෙක්. ඔහු ඒ ගැන දැනගන්නේ පස්සේ වුණත් ඔහු වැරදිකරුවෙක් වෙනවා.

4 “‘කෙනෙක් දුර දිග බලන්නේ නැතුව දිවුරුමක් දුන්නොත් ඔහු වැරදිකරුවෙක් වෙනවා. ඔහු දිවුරුම දෙන්නේ නපුරක් හරි යහපතක් හරි කරන්න වුණත් ඔහු ඒක නොදැනුවත්කමින් කළා වුණත් ඔහු වැරදිකරුවෙක්. දිවුරුමේ බැරෑරුම්කම ඔහු තේරුම්ගන්නේ පස්සේ වුණත් ඔහු වැරදිකරුවෙක්.*+

5 “‘කෙනෙක් ඒ එක කාරණයක් සම්බන්ධයෙන් හරි වැරදිකරුවෙක් වෙලා තියෙනවා නම් ඔහු තමා අතින් වුණ වරද ගැන කියන්න ඕනේ.+ 6 ඒ වරදට වන්දියක් විදිහට ඔහු යෙහෝවාට පූජාවක් ඔප්පු කළ යුතුයි.+ ඒක වන්දි පූජාවක්. ඔහු පූජාව සඳහා රැළෙන් බැටළු පැටියෙක්ව හරි එළු පැටියෙක්ව* හරි ගෙනා යුතුයි. ඔහු ඒ පාප පූජාව සඳහා ගේන්න ඕනෙ ගැහැනු සතෙක්වයි. ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා ඔහු ගේන පූජාව ඔප්පු කළ යුතුයි.

7 “‘ඔහුට බැටළුවෙක් ගේන්න තරම් වත්කමක් නැත්නම් ඔහු කරපු වරද වෙනුවෙන් වන්දි පූජාවක් විදිහට යෙහෝවාට කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව+ හරි ගෙනා යුතුයි. එක කුරුල්ලෙක් පාප පූජාවක් විදිහටත් අනිත් කුරුල්ලා දවන පූජාවක් විදිහටත් ඔප්පු කරන්න.+ 8 ඔහු කුරුල්ලන් දෙන්නාව පූජකයා ළඟට ගෙනා යුතුයි. පූජකයා මුලින්ම පාප පූජාව සඳහා ගෙනාපු කුරුල්ලාව අරගෙන උගේ බෙල්ලේ කැපුමක් දැමිය යුතුයි. ඒත් බෙල්ල කඳෙන් වෙන් නොකළ යුතුයි. 9 ඔහු පාප පූජාව සඳහා ඔප්පු කරන ඒ කුරුල්ලාගේ ලේවලින් ටිකක් පූජාසනයේ පැත්තකින් ගලා යන්න සැලැස්විය යුතුයි. ඉතුරු ලේ ටික පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+ ඒක පාප පූජාවක්. 10 ඔහු අනිත් කුරුල්ලාව දවන පූජාවක් හැටියට ඔප්පු කළ යුතුයි.+ සාමාන්‍යයෙන් දවන පූජා ඔප්පු කරන විදිහට ඌව ඔප්පු කරන්න. ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා ඒ පූජා ඔප්පු කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි.+

11 “‘ඔහුට කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව හරි ගේන්න වත්කමක් නැත්නම් ඔහු කරපු වරද වෙනුවෙන් පාප පූජාවක් හැටියට සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක්*+ ගෙනා යුතුයි. ඒක පාප පූජාවක් නිසා ඔහු ඒ මත තෙල්වත් කට්ටකුමංජල්වත් නොදැමිය යුතුයි. 12 ඔහු ඒක පූජකයා ළඟට ගෙනා යුතුයි. පූජකයා ඒ පූජාවෙන් අහුරක් අරගෙන මුළු පූජාවම නියෝජනය කරන්න* ඒක ඔප්පු කළ යුතුයි. යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරපු අනිත් පූජාවලට උඩින් තියලා දුම ඉහළට නඟින විදිහට ඒක දැවිය යුතුයි. ඒක පාප පූජාවක්. 13 කෙනෙක් කලින් කියපු ඒ එක කාරණයකදී හරි වැරදිකරුවෙක් වුණොත් ඔහුගේ වරදට සමාව ලබාගන්න ඔහු ගෙනාපු පූජාව පූජකයා ඔප්පු කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි.+ ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස පූජකයාට අයිති වෙනවා වගේ+ මේ පූජාවෙන් ඉතුරු වෙන කොටසත් පූජකයාට අයිති වෙනවා.’”+

14 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 15 “කෙනෙක් අත්වැරදීමකින් යෙහෝවා ශුද්ධයි කියලා සලකන දේවලට අගෞරවයක් වෙන විදිහට වැඩ කරලා වරදක් කළොත්+ ඔහු වන්දි පූජාවක් ඔප්පු කළ යුතුයි. ඔහු යෙහෝවාට අවිශ්වාසවන්ත වුණ නිසා ඒ වන්දි පූජාවට කැළලක් නැති බැටළුවෙක්ව ගෙනා යුතුයි.+ ඔහු ගෙනා යුත්තේ නියම කරපු රිදී ෂෙකෙල්* ප්‍රමාණයේ වටිනාකමට හරියන බැටළුවෙක්වයි. ඒ රිදී ෂෙකෙල්වල බර ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන විය යුතුයි.+ 16 ඔහු ශුද්ධස්ථානයට අගෞරව කරලා කරපු වරද වෙනුවෙන් ඒ විදිහට වන්දියක් ගෙවිය යුතුයි. ඒ වන්දියත් එක්ක ඒකෙන් පහෙන් කොටසකුත්+ ඔහු පූජකයාට දිය යුතුයි. වන්දි පූජාවට ගේන බැටළුවාත් එක්ක ඒ කොටස දිය යුතුයි. ඔහු කරපු වරදට සමාව ලබාගන්න පූජකයා ඒ පූජාව ඔප්පු කළ යුතුයි.+ එතකොට ඔහුට සමාව ලැබෙයි.+

17 “කෙනෙක් යෙහෝවා කරන්න එපා කියලා අණ කරපු දෙයක් කළොත් ඔහු ඒක කළේ නොදැනුවත්ව වුණත් ඔහු වැරදිකරුවෙක් වෙනවා. ඒ වරදට ඔහු වග කිව යුතුයි.+ 18 ඔහු වන්දි පූජාව වෙනුවෙන් නියම කරපු වටිනාකමට හරියන බැටළුවෙක්ව ගෙනල්ලා පූජකයාට දිය යුතුයි. ඌ කිසිම කැළලක් නැති සතෙක් විය යුතුයි.+ නොදැනුවත්ව ඔහු අතින් වුණ වරදට සමාව ලබාගන්න පූජකයා ඒ බැටළුවාව ඔප්පු කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි. 19 ඔහු යෙහෝවාට විරුද්ධව වරදක් කරපු නිසා ඒ වන්දි පූජාව ඔප්පු කළ යුතුයි.”

6 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “කෙනෙක් මේ වගේ වැරදි කළොත් ඔහු යෙහෝවාට අවිශ්වාසවන්ත වෙනවා.+ කෙනෙක්ට පරෙස්සමට තියාගන්න හරි බලාගන්න හරි භාර දීපු දෙයක් සම්බන්ධයෙන් ඔහු තව කෙනෙක්ව රැවැට්ටුවොත් ඒක වරදක්.+ නැත්නම් තව කෙනෙක්ට අයිති දෙයක් හොරකම් කළොත් හරි වංචාවක් කරලා දෙයක් ගත්තොත් හරි ඒකත් වරදක්. 3 නැති වුණ දෙයක් කෙනෙක්ට හම්බ වුණොත් ඔහු ඒක භාර දෙන්නේ නැතුව තමන් ළඟ තියාගෙන ඒ ගැන බොරු කිව්වොත් ඒකත් වරදක්. කෙනෙක් ඒ එක වරදක් හරි කරලා ඒක කළේ නැහැ කියලා බොරුවට දිවුරුවොත්+ ඔහු කරන්න ඕනෙ මේකයි. 4 ඒ වගේ වරදක් කළා කියලා ඔප්පු වුණොත් ඔහු හොරකම් කරපු දේ හරි වංචාවෙන් ලබාගත්ත දේ හරි පරෙස්සමට තියාගන්න භාර දීපු දේ හරි නැති වෙලා හම්බ වුණ දේ හරි ආපහු භාර දිය යුතුයි. 5 බොරුවට දිවුරපු වෙන ඕනෙම දෙයක් සම්බන්ධයෙනුත් ඔහු ඒ දේම කරන්න ඕනේ. ඔහු ගත්ත දේට හරියන සම්පූර්ණ වන්දියක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි.+ ඒකෙන් පහෙන් කොටසකුත් ඒකත් එක්ක දිය යුතුයි. ඔහු වරදක් කළා කියලා ඔප්පු වුණ දවසේ ඔහු ඒ සියල්ල අයිතිකරුට ගෙවිය යුතුයි. 6 ඔහු යෙහෝවාට වන්දි පූජාවක්+ විදිහට කිසිම කැළලක් නැති බැටළුවෙක්ව ගෙනා යුතුයි. ඒ බැටළුවා නියම කරපු වටිනාකමට හරියන සතෙක් විය යුතුයි. ඔහු ඒ බැටළුවාව පූජකයා ළඟට ගෙනා යුතුයි. 7 ඔහු කරපු වරදට සමාව ලබාගන්න පූජකයා ඒ පූජාව යෙහෝවාට ඔප්පු කළ යුතුයි. එතකොට කලින් කියපු ඒ මොන වගේ වරදක් ඔහු කරලා තිබුණත් ඒකට ඔහුට සමාව ලැබෙනවා.”+

8 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 9 “ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි මෙහෙම අණ කරන්න. ‘දවන පූජාව සඳහා නීතිය මේකයි.+ දවන පූජාව රෑ ඉඳන් උදේ වෙන කල් පූජාසනය මත තිබිය යුතුයි. පූජාසනයේ ගින්දර දිගටම දැල්වෙමින් තිබිය යුතුයි. 10 උදේ වුණාම පූජකයා ලිනන් රෙදිවලින් මහපු ඔහුගේ යට ඇඳුම+ ඇඳලා ඒකට උඩින් ඔහුගේ ලිනන් නිලඇඳුමත්+ ඇඳලා පූජාසනය ළඟට එන්න ඕනේ. ඊටපස්සේ ඔහු පූජාසනය මත දැවූ දවන පූජාවේ අළු* අරගෙන පූජාසනයේ පැත්තකින් තැබිය යුතුයි.+ 11 ඊටපස්සේ ඔහු ඇඳගෙන ඉන්න ඇඳුම ගලවලා+ වෙනත් ඇඳුමක් ඇඳගෙන කඳවුරෙන් පිටත පවිත්‍ර තැනකට ඒ අළු ගෙන යා යුතුයි.+ 12 පූජාසනය මත දිගටම ගින්දර ඇවිළෙමින් තිබිය යුතුයි. ඒක නිවිලා යන්න ඉඩ දෙන්න එපා. පූජකයා හැම උදේකම ගින්නට දර දාලා+ ඒ මත දවන පූජාව පිළිවෙළින් තැබිය යුතුයි. හවුල් පූජාවට ගේන සතාගේ තෙල් කොටසුත් ඒ මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි.+ 13 පූජාසනය මත දිගටම ගින්දර ඇවිළෙමින් තිබිය යුතුයි. ඒක නිවිලා යන්න ඉඩ දෙන්න එපා.

14 “‘ධාන්‍ය පූජාව සඳහා නීතිය මේකයි.+ ආරොන්ගේ පුතාලා ධාන්‍ය පූජාව පූජාසනයට ගෙනල්ලා යෙහෝවා ඉස්සරහා ඒක ඔප්පු කළ යුතුයි. 15 ඔවුන්ගෙන් කෙනෙක් ධාන්‍ය පූජාවෙන් අහුරක් ගත යුතුයි. සිහින්ව කොටාගත්ත පිටි, තෙල් සහ කට්ටකුමංජල් සියල්ල ඇතුළත් ඒ අහුර මුළු පූජාවම නියෝජනය කරන්න* ඔහු පූජාසනය මත දැවිය යුතුයි. ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+ 16 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස ආරොන් සහ ඔහුගේ පුතාලා ගත යුතුයි.+ ඔවුන් ඒකෙන් මුහුන් දාපු නැති රොටි හදාගෙන ශුද්ධ තැනකදී ඒවා කන්න ඕනේ. ඒවා කන්න ඕනෙ හමු වීමේ කූඩාරමේ මළුව ඇතුළේදී.+ 17 ඒ රොටිවලට කිසිම මුහුන් වර්ගයක් එකතු නොකළ යුතුයි.+ මට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් මං ඔවුන්ට දෙන කොටස තමයි ඒ.+ පාප පූජාව සහ වන්දි පූජාව වගේම ඒකත් ඉතා ශුද්ධ දෙයක්.+ 18 ආරොන්ගෙන් පැවතෙන හැම පුරුෂයෙක්ම ඒ රොටි කන්න ඕනේ.+ යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ඔවුන්ට දෙන ඒ කොටස ඔවුන්ට හැමදාටම ලැබෙනවා.+ පූජා කරපු දේ යම් දේක ස්පර්ශ වුණොත් ඒක ශුද්ධ දෙයක් විදිහට සැලකිය යුතුයි.’”

19 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 20 “ආරොන්ව සහ ඔහුගේ පුතාලාගෙන් ඕනෙම කෙනෙක්ව අභිෂේක කරන දවසේදී+ ඔවුන් යෙහෝවාට මේ පූජාව ඔප්පු කළ යුතුයි. ඔවුන් සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක්*+ ධාන්‍ය පූජාවක් විදිහට ගෙනා යුතුයි.+ ඒකෙන් භාගයක් උදේටත් අනිත් භාගය හවසටත් ඔප්පු කළ යුතුයි. 21 පිටිවලට තෙල් දාලා ඒක තැටියක පිලිස්සිය යුතුයි.+ ඒ රොටියට හොඳට තෙල් මිශ්‍ර කරලා ඒක කෑලිවලට කඩලා පුලුස්සපු ධාන්‍ය පූජාවක් විදිහට යෙහෝවාට ඔප්පු කරන්න. ඒ පූජාවෙන් නඟින දුම මිහිරි සුවඳක් විදිහට සලකනවා. 22 ආරොන්ගෙන් පස්සේ උත්තම පූජකයා විදිහට අභිෂේක කරන හැම කෙනෙක්මත්+ ඒ පූජාව ඔප්පු කළ යුතුයි. මුළු පූජාවම දුම ඉහළට නඟින විදිහට යෙහෝවා ඉස්සරහා දැවිය යුතුයි. ඒක දිගටම පිළිපැදිය යුතු නියෝගයක්. 23 පූජකයන් වෙනුවෙන් ඔප්පු කරන හැම ධාන්‍ය පූජාවක්ම සම්පූර්ණයෙන්ම දැවිය යුතුයි. ඒකෙන් කිසිම දෙයක් කන්න අවසර නැහැ.”

24 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 25 “ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි මෙහෙම කියන්න. ‘පාප පූජාව සඳහා නීතිය මේකයි.+ දවන පූජාවට ඔප්පු කරන සතුන්ව මරන තැනදීම තමයි+ පාප පූජාවට ඔප්පු කරන සතාවත් මැරිය යුත්තේ. යෙහෝවා ඉස්සරහා ඒ සතාව මැරිය යුතුයි. ඒ පූජාව ඉතා ශුද්ධ දෙයක්. 26 පාප පූජාව ඔප්පු කරන පූජකයා ඒකෙන් කන්න ඕනේ.+ ඒක කන්න ඕනෙ ශුද්ධ තැනකදී. ඒ කියන්නේ හමු වීමේ කූඩාරමේ මළුව ඇතුළේදී.+

27 “‘ඒ සතාගේ මස් යම් දේක ස්පර්ශ වුණොත් ඒක ශුද්ධ දෙයක් විදිහට සැලකිය යුතුයි. උගේ ලේ ඇඳුමකට වීසි වුණොත් ඒ ඇඳුම ශුද්ධ තැනකදී සේදිය යුතුයි. 28 ඒ සතාගේ මස් මැටි භාජනයක තැම්බුවොත් ඒ භාජනය බිඳිය යුතුයි. සතාගේ මස් තඹ භාජනයක තැම්බුවොත් ඒ භාජනය හොඳට අතුල්ලලා වතුරෙන් හෝදන්න ඕනේ.

29 “‘හැම පූජකයෙක්ම ඒ පූජාවෙන් කන්න ඕනේ.+ ඒ පූජාව ඉතා ශුද්ධ දෙයක්.+ 30 පාප පූජාවක් විදිහට ඔප්පු කරන සතාගේ ලේ වැරදිවලට සමාව ලබාගන්න ශුද්ධස්ථානයට ගෙනියන අවස්ථාවලදී+ ඒ සතාගේ මස් කන්න අවසර නැහැ. උගේ මස් සම්පූර්ණයෙන්ම ගින්නෙන් දැවිය යුතුයි.

7 “‘වන්දි පූජාව සඳහා නීතිය මේකයි.+ වන්දි පූජාව ඉතා ශුද්ධ දෙයක්. 2 දවන පූජාවන් සඳහා සතුන්ව මරන තැනදීම වන්දි පූජාව සඳහා ගේන සතාවත් මැරිය යුතුයි. උගේ ලේ+ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.+ 3 උගේ සියලු තෙල් කොටස් ඔප්පු කළ යුතුයි.+ තෙලින් පිරුණු උගේ වලිගයයි, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුවයි, 4 වකුගඩු දෙකයි, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුවයි ඔප්පු කළ යුතුයි. වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 5 පූජකයා ඒ සියලු කොටස් පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට යෙහෝවාට ගින්නෙන් ඔප්පු කළ යුතුයි.+ ඒක වන්දි පූජාවක්. 6 හැම පූජකයෙක්ම ඒකෙන් කන්න ඕනේ.+ ඒක කන්න ඕනෙ ශුද්ධ තැනකදී. ඒ පූජාව ඉතා ශුද්ධ දෙයක්.+ 7 වන්දි පූජාවටයි, පාප පූජාවටයි තියෙන්නේ එකම නීතියයි. වැරදිවලට සමාව ලබාගන්න ඒ පූජාව ඔප්පු කරන පූජකයාට තමයි ඒ සතාගේ මස් අයිති වෙන්නේ.+

8 “‘පූජකයෙක් කෙනෙක් වෙනුවෙන් දවන පූජාවක් ඔප්පු කරනවා නම් ඔප්පු කරන ඒ සතාගේ හම+ පූජකයාට අයිති වෙනවා.

9 “‘කෙනෙක් ධාන්‍ය පූජාවක් හැටියට උදුනේ පුලුස්සපු දෙයක් හරි තාච්චියේ බැදපු දෙයක් හරි තැටියක පුලුස්සපු දෙයක්+ හරි ඔප්පු කරනවා නම් ඒක අයිති වෙන්නේ ඒ පූජාව ඔප්පු කරන පූජකයාට.+ 10 ඒත් අනිත් හැම ධාන්‍ය පූජාවක්ම, ඒවාට තෙල් මිශ්‍ර කරලා+ තිබුණත් නැතත්+ ඒවා ආරොන්ගේ පුතාලා හැමෝටම අයිතියි. ඒ පූජා එයාලා හැමෝම අතරේ එක සමානව බෙදිය යුතුයි.

11 “‘යෙහෝවාට ඔප්පු කරන හවුල් පූජාව සඳහා නීතිය මේකයි.+ 12 කෙනෙක් ස්තුතිවන්ත වෙනවා කියලා පෙන්නන්න+ හවුල් පූජාවක් ඔප්පු කරනවා නම් ඔහු ඒ ස්තුති පූජාව එක්ක තෙල් මිශ්‍ර කරලා හදාගත්ත මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි සහ තෙල් තවරපු මුහුන් නොදැමූ තුනී රොටි ගේන්න ඕනේ. ඒ වගේම සිහින්ව කොටාගත්ත පිටිවලට තෙල් මිශ්‍ර කරලා, ඒක තෙල්වල පොඟවලා හදාගත්ත මුද්දක හැඩැති රොටිත් ගේන්න ඕනේ. 13 ඔහු ඒ රොටි එක්ක මුහුන් දාපු මුද්දක හැඩැති රොටිත් ගේන්න ඕනේ. ස්තුතිවන්ත වෙනවා කියලා පෙන්නන්න ඔප්පු කරන හවුල් පූජා එක්ක ඔහු මුහුන් දාපු රොටිත් ගේන්න ඕනේ. 14 ඔහු ගේන ඒ හැම රොටි වර්ගයකින්ම එක රොටිය ගාණේ වෙන් කළ යුතුයි. ඒවා යෙහෝවාට දෙන ශුද්ධ කොටසයි. හවුල් පූජාවට ඔප්පු කරන සතාගේ ලේ පූජාසනය මත ඉසින පූජකයාට ඒ කොටස අයිති වෙනවා.+ 15 ස්තුතිවන්ත වෙනවා කියලා පෙන්නන්න ඔප්පු කරන හවුල් පූජාවක මස් ඒක ඔප්පු කරන දවසේම කන්න ඕනේ. ඒක පහුවෙනිදා උදේ වෙන කල් ඉතුරු නොකළ යුතුයි.+

16 “‘කෙනෙක් භාරයක් හැටියට+ හරි කැමැත්තෙන්ම+ හරි පූජාවක් ඔප්පු කරනවා නම් ඒ පූජාව ඔප්පු කරන දවසේම ඒක කන්න ඕනේ. ඒකෙන් ටිකක් ඉතුරු වුණොත් ඒක පහුවෙනිදා කන්න පුළුවන්. 17 ඒත් තුන්වෙනි දවස වෙන කල් මස් ඉතුරු වුණොත් ඒක පුච්චලා දාන්න.+ 18 ඒත් හවුල් පූජාවේ මස් තුන්වෙනි දවසේදී කෑවොත් ඒ පූජාව ඔප්පු කරපු කෙනාව මං පිළිගන්නේ නැහැ. ඒ පූජාවෙන් එයාට කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ මස් සලකන්නේ පිළිකුල් දෙයක් විදිහටයි. ඒකෙන් කාපු කෙනා ඒ වරදට වග කිව යුතුයි.+ 19 අපවිත්‍ර දේක ගෑවුණු මස් කන්න අවසර නැහැ. ඒක ගින්නෙන් දැවිය යුතුයි. ඒත් අපවිත්‍ර වෙලා නැති මස් පවිත්‍රව ඉන්න හැමෝටම කෑමට ගන්න පුළුවන්.

20 “‘කෙනෙක් අපවිත්‍රව ඉද්දී යෙහෝවාට ඔප්පු කරන හවුල් පූජාවේ මස් කෑවොත් ඔහුව මරා දැමිය යුතුයි.+ 21 කෙනෙක් අපවිත්‍ර මනුස්සයෙක්ව+ හරි අපවිත්‍ර සතෙක්ව+ හරි වෙන ඕනෙම පිළිකුල්සහගත දෙයක්+ හරි ඇල්ලුවාට පස්සේ යෙහෝවාට ඔප්පු කරපු හවුල් පූජාවේ මස් කෑවොත් ඔහුව මරා දැමිය යුතුයි.’”

22 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 23 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ගවයෙක්ගේ හරි බැටළු පැටියෙක්ගේ හරි එළු පැටියෙක්ගේ හරි කිසිම තෙල් කොටසක් කන්න ඔබට අවසර නැහැ.+ 24 මැරුණු සතෙක්ගේ හරි වෙනත් සතෙක් මරලා දාපු සතෙක්ගේ හරි තෙල් කොටස් වෙනත් ඕනෙම දෙයක් සඳහා ගන්න පුළුවන්. ඒත් ඒවා කන්න කොහොමටවත් අවසර නැහැ.+ 25 යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන්න ගෙනාපු සතාගේ තෙල් කොටස් ඒ පූජාව ගෙනාපු කෙනා කෑවොත් ඔහුව මරා දැමිය යුතුයි.

26 “‘ඔබ කොහේ ජීවත් වුණත් ලේ කන්න කොහොමටවත් ඔබට අවසර නැහැ.+ කුරුල්ලෙක්ගෙවත් වෙන සතෙක්ගෙවත් ලේ කන්න ඔබට අවසර නැහැ. 27 කවුරු හරි ලේ කෑවොත් ඔහුව මරා දැමිය යුතුයි.’”+

28 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 29 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කෙනෙක් යෙහෝවාට හවුල් පූජාවක් ඔප්පු කරනවා නම් ඔහු ඒ පූජාවෙන් කොටසක් යෙහෝවාට දෙන්න ඕනේ.+ 30 ඔහු සතාගේ තෙල් කොටස්+ සහ උගේ පපු පෙදෙස යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක් විදිහට ගෙනා යුතුයි. ඔහු සතාගේ තෙල් කොටස් එක්ක පපු පෙදෙස යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි. ඒක සොලවන පූජාවක්.+ 31 පූජකයා සතාගේ තෙල් කොටස් පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි.+ ඒත් උගේ පපු පෙදෙස ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි අයිති වෙනවා.’+

32 “‘හවුල් පූජාවන් හැටියට ගේන සතාගේ දකුණු ගාතය ශුද්ධ කොටසක් විදිහට පූජකයාට දෙන්න.+ 33 දකුණු ගාතය අයිති වෙන්නේ ආරොන්ගේ පුතාලා අතරින් හවුල් පූජාවේ ලේ සහ තෙල් කොටස් ඔප්පු කරන කෙනාටයි.+ 34 ඊශ්‍රායෙල් සෙනඟ මට ගේන හවුල් පූජාවලින් සොලවන පූජාවට වෙන් කරන සතාගේ පපු පෙදෙස සහ ශුද්ධ කොටසක් හැටියට වෙන් කරන උගේ ගාතය පූජකයා වන ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි දෙනවා.+ ඒක ඊශ්‍රායෙල් සෙනඟ දිගටම පිළිපැදිය යුතු නියෝගයක්.

35 “‘යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ආරොන් සහ ඔහුගේ පුතාලා වෙනුවෙන් වෙන් කරන කොටස තමයි ඒ. යෙහෝවාගේ පූජකයන් හැටියට ඔවුන්ව පත් කරපු දවසේ ඉඳන් ඔවුන්ට ඒ කොටස ලැබෙනවා.+ 36 ඊශ්‍රායෙල් සෙනඟ ඔප්පු කරන පූජාවලින් වෙන් කරන ඒ කොටස ඔවුන්ට ලබා දෙන්න කියලා පූජකයන් හැටියට ඔවුන්ව අභිෂේක කරපු දවසේදී යෙහෝවා නියෝග කළා.+ ඒක පරම්පරාවෙන් පරම්පරාවට දිගටම පැවැත්විය යුතු නියෝගයක්.’”

37 දවන පූජාව,+ ධාන්‍ය පූජාව,+ පාප පූජාව,+ වන්දි පූජාව,+ පූජකයන්ව අභිෂේක කරන්න ඔප්පු කරන පූජාව+ සහ හවුල් පූජාව+ සඳහා නීතිය ඒකයි. 38 යෙහෝවා දෙවියන් සීනයි+ පාළුකරයේදී ඔහුට පූජා ඔප්පු කරන්න කියලා ඊශ්‍රායෙල් සෙනඟට අණ කරපු අවස්ථාවේදී ඒ නීතිය දුන්නා. යෙහෝවා සීනයි කන්දේදී මෝසෙස්ට කියපු විදිහටම ඒක වාර්තා කරලා තියෙනවා.+

8 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ආරොන්වයි, ඔහුගේ පුතාලවයි එක්කගෙන+ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට යන්න. ඔවුන්ගේ නිලඇඳුම්,+ ශුද්ධ තෛලය,+ පාප පූජාවට ඔප්පු කරන ගවයාව, බැටළුවන් දෙන්නාව සහ මුහුන් නොදැමූ රොටි+ දාපු කූඩය 3 හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනියන්න. ඊටපස්සේ මුළු සෙනඟම එතනට රැස් කරන්න.”

4 යෙහෝවා අණ කරපු විදිහටම මෝසෙස් කළා. හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට සෙනඟ රැස් වුණා. 5 මෝසෙස් සෙනඟට කතා කරලා “යෙහෝවා මෙහෙම කරන්න අණ කළා” කියලා කිව්වා. 6 මෝසෙස් ආරොන්වයි, ඔහුගේ පුතාලවයි ගෙනල්ලා ඔවුන්ව වතුරෙන් නෑව්වා.*+ 7 ඊටපස්සේ ඔහු ආරොන්ට ඇඳුම+ අන්දවලා ඉණපටිය+ බැන්දා. අත් නැති ඇඳුමත්+ ඇන්දුවා. ඔහු ඒකට උඩින් ඒෆොද් ඇඳුම*+ අන්දවලා වැඩ දාලා හදපු ඒකේ පටිය+ ආරොන්ගේ ඉණ වටේ තදින් බැන්දා. 8 ඊටපස්සේ ඔහු ආරොන්ට ළයවැස්ම+ අන්දවලා ඒක ඇතුළට ඌරීම් සහ තුම්මීම්+ දැම්මා. 9 ඊටපස්සේ යෙහෝවා අණ කරපු විදිහටම මෝසෙස් ආරොන්ට විශේෂ හිස්වැස්ම+ පැලඳුවා. ඔහු ඒ හිස්වැස්ම ඉස්සරහා දිලිසෙන, ශුද්ධ රන් තහඩුව*+ බැන්දා.

10 ඊටපස්සේ මෝසෙස් ශුද්ධ තෛලය අරගෙන කූඩාරම සහ ඒකේ තියෙන හැම දෙයක්ම+ නමස්කාරය සඳහා කැප කළා. ඔහු ඒ හැම දෙයක්ම පරිශුද්ධ දේවල් හැටියට කැප කළා. 11 ඊටපස්සේ ඔහු පූජාසනය සහ ඒකේ වැඩවලට පාවිච්චි කරන හැම භාණ්ඩයටමයි, වතුර භාජනයටයි, ඒ භාජනය තියන ආධාරකයටයි හත් පාරක් ශුද්ධ තෛලය ඉහලා ඒවා කැප කළා. ඔහු එහෙම කළේ ඒවා පරිශුද්ධ දේවල් විදිහට කැප කරන්නයි. 12 අන්තිමට ඔහු ආරොන්ගේ ඔළුවට ශුද්ධ තෛලයෙන් ටිකක් වක් කරලා ඔහුව අභිෂේක කළා. ඔහු එහෙම කළේ ආරොන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන්නයි.+

13 යෙහෝවා අණ කරපු විදිහටම මෝසෙස් ආරොන්ගේ පුතාලව එතනට එක්කගෙන ඇවිත් ඔවුන්ට ඇඳුම් අන්දවලා ඉණපටි බැඳලා හිස්වැසුම් පැලඳුවා.+

14 ඊටපස්සේ ඔහු පාප පූජාවට ඔප්පු කරන ගවයාව ගෙනාවා. ආරොන් සහ ඔහුගේ පුතාලා ගවයාගේ ඔළුවට ඔවුන්ගේ අත් තිබ්බා.+ 15 මෝසෙස් ඌව මරලා ඔහුගේ ඇඟිල්ලෙන් උගේ ලේ ටිකක් අරගෙන+ පූජාසනය වටේ තියෙන අංවල ගාලා පූජාසනය පවිත්‍ර කළා. ඉතුරු ලේ ටික ඔහු පූජාසනයේ පාමුලට වක් කළා. ඒ විදිහට ඔහු පූජාසනය පරිශුද්ධ දෙයක් විදිහට කැප කළා. එහෙම කළේ සමාව ලබාගන්න ඒ මත පූජා ඔප්පු කරන්න පුළුවන් වෙන්නයි. 16 ඊටපස්සේ මෝසෙස් සතාගේ බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුවයි, අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවයි, වකුගඩු දෙකයි ඒවා මත තියෙන තෙලුයි අරගෙන පූජාසනය මත තියලා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා.+ 17 යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම ගවයාගේ ඉතුරු හැම කොටසක්ම ඒ කියන්නේ උගේ හමයි, මසුයි, ගොමයි කඳවුරෙන් එළියට අරන් ගිහින් පිච්චුවා.+

18 ඊටපස්සේ ඔහු දවන පූජාවට ඔප්පු කරන බැටළුවාව ගෙනාවා. ආරොන් සහ ඔහුගේ පුතාලා බැටළුවාගේ ඔළුවට ඔවුන්ගේ අත් තිබ්බා.+ 19 මෝසෙස් ඌව මරලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉස්සා. 20 බැටළුවාව කෑලිවලට කැපුවාට පස්සේ මෝසෙස් උගේ ඔළුවයි, කපපු කෑලියි, තෙල් කොටසුයි* පූජාසනය මත තියලා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා. 21 උගේ බඩවැල් සහ කකුල් වතුරෙන් හෝදලා මෝසෙස් මුළු බැටළුවාම පූජාසනය මත තියලා දවන පූජාවක් විදිහට ඔප්පු කළා. යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරපු ඒ පූජාවෙන් ඉහළට නැග්ග දුම ඔහුට මිහිරි* සුවඳක් වුණා. යෙහෝවා ඔහුට අණ කරපු විදිහටම මෝසෙස් ඒ පූජාව ඔප්පු කළා.

22 ඊටපස්සේ පූජකයන්ව අභිෂේක කරද්දී ඔප්පු කරන පූජාවට ගෙනාපු බැටළුවාව+ ඔහු අරගෙන ආවා. ආරොන් සහ ඔහුගේ පුතාලා උගේ ඔළුවට ඔවුන්ගේ අත් තිබ්බා.+ 23 මෝසෙස් ඌව මරලා උගේ ලේ ටිකක් අරගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තෙයි, ඔහුගේ දකුණු අතේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලෙයි ගෑවා. 24 ඊටපස්සේ මෝසෙස් ආරොන්ගේ පුතාලව ඉස්සරහට අරන් ඒ එක් එක් කෙනාගේ දකුණු කන් පෙත්තෙයි, දකුණු අතේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලෙයි ලේ ටිකක් ගෑවා. ඉතුරු ලේ ටික ඔහු පූජාසනයේ හැම පැත්තටම ඉස්සා.+

25 ඊටපස්සේ මෝසෙස් තෙල් කොටස් ඒ කියන්නේ තෙලින් පිරුණු උගේ වලිගය, බඩවැල් වටේ තිබුණ සම්පූර්ණ තෙල් තට්ටුව, අක්මාව වටේ තිබුණ තෙල් තට්ටුව, වකුගඩු දෙකත් එක්ක ඒවා මත තිබුණ තෙල් තට්ටුව සහ බැටළුවාගේ දකුණු ගාතය ගත්තා.+ 26 යෙහෝවා ඉස්සරහට ගෙනාපු මුහුන් නොදැමූ රොටි තිබුණ කූඩෙන් ඔහු මුද්දක හැඩැති රොටියකුයි,+ තෙල් මිශ්‍ර කරලා හදාගත්ත මුද්දක හැඩැති රොටියකුයි,+ තුනී රොටියකුයි අරගෙන බැටළුවාගේ තෙල් කොටස් සහ දකුණු ගාතය උඩින් තිබ්බා. 27 ඊටපස්සේ ඔහු ඒ ඔක්කොම ආරොන්ගේ සහ ඔහුගේ පුතාලාගේ අල්ල උඩින් තියලා සොලවන පූජාවක් හැටියට ඒවා යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලෙව්වා. 28 මෝසෙස් ඒවා ඔවුන්ගේ අතින් අරන් පූජාසනයේ තිබුණ දවන පූජාවට උඩින් තියලා දවලා දැම්මා. පූජකයන්ව අභිෂේක කරද්දී ගින්නෙන් ඔප්පු කරපු ඒ පූජාවෙන් නැග්ග දුම යෙහෝවාට මිහිරි සුවඳක් වුණා.

29 මෝසෙස් බැටළුවාගේ පපු කොටස අරගෙන සොලවන පූජාවක් විදිහට යෙහෝවා ඉස්සරහා ඒක ඒ මේ අත සෙලෙව්වා.+ පූජකයන්ව අභිෂේක කරද්දී ඔප්පු කරන බැටළුවාගෙන් ගත්ත ඒ කොටස මෝසෙස්ට අයිති වුණා. යෙහෝවා ඔහුට අණ කරපු විදිහටම මෝසෙස් කළා.+

30 ඊටපස්සේ මෝසෙස් ශුද්ධ තෛලයෙන්+ සහ පූජාසනය මත තිබුණ ලේවලින් ටිකක් අරගෙන ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, ඔවුන්ගේ ඇඳුම්වලටයි ඉස්සා. ඒ විදිහට ඔහු ආරොන්වයි, ඔහුගේ පුතාලවයි+ පරිශුද්ධ සේවය වෙනුවෙන් කැප කළා. ඔවුන්ගේ ඇඳුමුත්+ ශුද්ධ දේවල් හැටියට කැප කළා.

31 ඊටපස්සේ මෝසෙස් ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි මෙහෙම කිව්වා. “හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනදී මස් තම්බන්න.+ පූජකයන්ව අභිෂේක කරද්දී ඔප්පු කරන්න ගෙනාපු රොටි කූඩයෙන් රොටි අරගෙන තම්බගත්ත ඒ මස් එක්ක කන්න. ‘ආරොන් සහ ඔහුගේ පුතාලා ඒකෙන් කන්න ඕනෙ’+ කියලා දෙවියන් මට අණ කරපු නිසා ඒ විදිහටම කරන්න. 32 ඉතුරු වෙන මස් ටිකයි, රොටියි ගින්නෙන් පුච්චලා දාන්න.+ 33 පූජකයන්ව අභිෂේක කරන්න යන දවස් සම්පූර්ණ වෙන කල් ඔයාලා දවස් හතක් හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට කිට්ටුවෙන් ඉන්න. මොකද පූජකයන් විදිහට ඔයාලව පත් කරන්න* දවස් හතක් ගත වෙනවා.+ 34 අද අපි කරපු මේ හැම දෙයක්ම කරන්න කියලා යෙහෝවා අණ කළේ ඔයාලාගේ වැරදිවලට සමාව ලබාගන්නයි.+ 35 ඔයාලා දවස් හතක්+ යන කල් රෑ දවල් දෙකේ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට වෙලා ඉන්න. ඔයාලාගේ ජීවිතය රැකගන්න ඔයාලා යෙහෝවා කියලා තියෙන දේවල් ඒ විදිහටම කරන්න ඕනේ.+ මොකද එහෙම කරන්න කියලා දෙවියන් මට අණ කළා.”

36 මෝසෙස් මාර්ගයෙන් යෙහෝවා අණ කරපු හැම දෙයක්ම ආරොන් සහ ඔහුගේ පුතාලා කළා.

9 අටවෙනි දවසේදී+ මෝසෙස් ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටිය වැඩිමහල්ලන්ටයි එන්න කිව්වා. 2 ඔහු ආරොන්ට මෙහෙම කිව්වා. “පාප පූජාවක් හැටියට කැළලක් නැති වහු පැටියෙක්වයි,+ දවන පූජාවක් හැටියට කැළලක් නැති බැටළුවෙක්වයි අරගෙන යෙහෝවා දෙවියන් ඉස්සරහට එන්න. 3 ඔයා ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න ඕනේ. ‘පාප පූජාවක් හැටියට එළුවෙක්ව ගේන්න. දවන පූජාවක් හැටියට අවුරුද්දක් වයස වහු පැටියෙක්වයි, බැටළු පැටියෙක්වයි ගේන්න. උන් කිසිම කැළලක් නැති සතුන් වෙන්න ඕනේ. 4 හවුල් පූජාවක්+ හැටියට යෙහෝවා ඉස්සරහා ඔප්පු කරන්න ගවයෙක්වයි, බැටළුවෙක්වයි ගේන්න. තෙල් මිශ්‍ර කරපු ධාන්‍ය පූජාවකුත්+ ගේන්න. මොකද අද යෙහෝවා ඔයාලා ඉස්සරහා පෙනී ඉන්නවා.’”+

5 ඔවුන් මෝසෙස් ගේන්න කියලා අණ කරපු හැම දෙයක්ම අරගෙන හමු වීමේ කූඩාරම ඉස්සරහට ගියා. මුළු සෙනඟම එතනට ඇවිත් යෙහෝවා ඉස්සරහා හිටගත්තා. 6 මෝසෙස් ඔවුන්ට මෙහෙම කිව්වා. “ඒ දේවල් කරන්න කියලා යෙහෝවා ඔයාලට අණ කළා. එතකොට ඔයාලට පුළුවන් වෙයි යෙහෝවාගේ තේජස දකින්න.”+ 7 ඊටපස්සේ මෝසෙස් ආරොන්ට මෙහෙම කිව්වා. “යෙහෝවා අණ කරපු විදිහටම පූජාසනය ළඟට ගිහිල්ලා ඔයා ගෙනාපු පාප පූජාවයි,+ දවන පූජාවයි ඔප්පු කරලා ඔයාගෙයි,+ ඔයාගේ පවුලේ* අයගෙයි වැරදිවලට සමාව ලබාගන්න. ඊටපස්සේ සෙනඟ+ ගෙනාපු පූජාව එයාලා වෙනුවෙන් ඔප්පු කරලා එයාලාගේ වැරදිවලට සමාව ලබාගන්න.”+

8 ආරොන් ඒ වෙලාවෙම පූජාසනය ළඟට ගිහිල්ලා ඔහුගේ පාප වෙනුවෙන් ඔප්පු කරන්න ගෙනාපු වහු පැටියාව මැරුවා.+ 9 ඊටපස්සේ ආරොන්ගේ පුතාලා සතාගේ ලේ+ ඔහු ළඟට ගෙනාවා. ඔහු ඒ ලේවලින් ටිකක් ඇඟිල්ලට අරගෙන පූජාසනයේ අංවල ගෑවා. ඉතුරු ලේ ටික ඔහු පූජාසනයේ පාමුලට වක් කළා.+ 10 ආරොන් පාප පූජාවට ගෙනාපු සතාගේ තෙල් කොටසුයි, වකුගඩු දෙකයි, අක්මාව වටේ තියෙන තෙලුයි පූජාසනය මත තියලා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා. යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම ඔහු ඒ හැම දෙයක්ම කළා.+ 11 ඊටපස්සේ සතාගේ ඉතුරු මස් ටිකයි, හමයි කඳවුරෙන් එළියට අරන් ගිහින් පිච්චුවා.+

12 ඊටපස්සේ ඔහු දවන පූජාවට ගෙනාපු සතාව මැරුවා. ආරොන්ගේ පුතාලා ඒ සතාගේ ලේ ඔහුට ගෙනත් දුන්නා. ඔහු ඒ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉස්සා.+ 13 දවන පූජාවට මරපු සතාව කෑලිවලට කැපුවාට පස්සේ ඒ කෑලියි, උගේ ඔළුවයි ඔවුන් ආරොන්ට ගෙනත් දුන්නා. ඔහු ඒවා පූජාසනය මත තියලා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා. 14 ඊටපස්සේ ඔහු උගේ බඩවැල් සහ කකුල් වතුරෙන් හෝදලා පූජාසනයේ තිබුණ දවන පූජාව උඩින් තියලා ඒවා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා.

15 ඊටපස්සේ ඔහු සෙනඟ ගෙනාපු පූජා ඔප්පු කළා. මුලින්ම ඔහු එළුවාව අරගෙන ඌව මරලා සෙනඟගේ පව් වෙනුවෙන් ඌව ඔප්පු කළා. කලින් ඔහු වහු පැටියාව ඔප්පු කරපු විදිහටම මේ සතාවත් ඔප්පු කළා. 16 ඊටපස්සේ ඔහු දවන පූජාවත් ඔප්පු කළා. සාමාන්‍යයෙන් දවන පූජා ඔප්පු කරන විදිහටම ඔහු ඒක ඔප්පු කළා.+

17 ඊටපස්සේ ඔහු ධාන්‍ය පූජාව+ අරන් ඇවිත් ඒකෙන් අහුරක් අරගෙන ඒක පූජාසනය මත තියලා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා. උදේට ඔප්පු කරන දවන පූජාවට අමතරව ඒ ධාන්‍ය පූජාව ඔප්පු කළා.+

18 ඊටපස්සේ ඔහු හවුල් පූජාවක් හැටියට සෙනඟ ගෙනාපු ගවයාවයි, බැටළුවාවයි මැරුවා. ආරොන්ගේ පුතාලා ඒ සතුන්ගේ ලේ ඔහුට ගෙනත් දුන්නා. ඔහු ඒ ලේ අරගෙන පූජාසනයේ හැම පැත්තටම ඉස්සා.+ 19 ගවයාගේ තෙල් කොටසුයි,+ බැටළුවාගේ තෙලින් පිරුණු වලිගෙයි, බඩවැල් වටේ තියෙන තෙල් තට්ටුවයි, වකුගඩු දෙකයි, අක්මාව වටේ තියෙන තෙලුයි+ 20 අරගෙන ඔවුන් ඒවා සතුන් දෙන්නාගේ පපු කොටස් උඩින් තිබ්බා. ඊටපස්සේ ආරොන් ඒ තෙල් කොටස් ඔක්කොම පූජාසනය මත තියලා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා.+ 21 ඒත් ආරොන් පපු කොටසුයි, දකුණු ගාතයයි අතට අරගෙන සොලවන පූජාවක් විදිහට යෙහෝවා ඉස්සරහා ඒවා ඒ මේ අත සෙලෙව්වා. මෝසෙස් අණ කරපු විදිහටම ඔහු කළා.+

22 ඊටපස්සේ ආරොන් සෙනඟ දිහාවට අත් දික් කරලා ඔවුන්ට ආශීර්වාද කළා.+ පාප පූජාව, දවන පූජාව සහ හවුල් පූජාව ඔප්පු කළාට පස්සේ ඔහු පූජාසනය ළඟින් බැහැලා ආවා. 23 අන්තිමට මෝසෙස් සහ ආරොන් හමු වීමේ කූඩාරම ඇතුළට ගියා. ඊටපස්සේ ඔවුන් එළියට ඇවිත් සෙනඟට ආශීර්වාද කළා.+

එතකොට මුළු සෙනඟ යෙහෝවාගේ තේජස දැක්කා.+ 24 යෙහෝවා දෙවියන් ගින්නක් එවලා+ පූජාසනයේ තිබ්බ දවන පූජාව සහ තෙල් කොටස් ඔක්කොම සම්පූර්ණයෙන්ම දවලා දැම්මා. ඒක දැක්කාම මුළු සෙනඟ පුදුමයෙන් කෑගහලා, දණින් වැටිලා, ඔළුව බිමට පහත් කරලා නමස්කාර කළා.+

10 ඊටපස්සේ ආරොන්ගේ පුතාලා වුණ නාදාබ් සහ අබිහු+ තම තමන්ගේ සුවඳ දුම් ඔප්පු කරන භාජන අරගෙන ඒවාට ගිනි අඟුරු දාලා ඒකට උඩින් සුවඳ ද්‍රව්‍ය+ දැම්මා. ඊටපස්සේ එයාලා ඒක යෙහෝවා දෙවියන්ට ඔප්පු කළා. ඒත් එයාලා ඒක කළේ දෙවියන් අණ කරලා තිබුණ විදිහට නෙමෙයි.+ 2 ඒ වෙලාවෙම යෙහෝවාගෙන් ගින්නක් ඇවිත් ඒ දෙන්නාව පුච්චලා දැම්මා.+ ඒ දෙන්නා යෙහෝවා ඉස්සරහා මැරුණා.+ 3 මෝසෙස් ආරොන්ට මෙහෙම කිව්වා. “යෙහෝවා කිව්වා ‘මං ඉස්සරහට එන අය මම ශුද්ධ කෙනෙක් කියලා මතක තියාගන්න ඕනේ.+ ඒ වගේම මුළු සෙනඟ ඉස්සරහා මාව ගෞරවයට පත් කරන්න ඕනෙ’ කියලා.” ඒ වෙලාවේ ආරොන් නිශ්ශබ්දව හිටියා.

4 ඊටපස්සේ මෝසෙස් ආරොන්ගේ මාමා වුණ උස්සියෙල්ගේ+ පුතාලා වුණ මිෂායෙල්ටයි, එල්ෂාෆාන්ටයි අඬගහලා මෙහෙම කිව්වා. “ශුද්ධස්ථානය ඉස්සරහා තියෙන ඔයාලාගේ සහෝදරයන්ගේ මිනී කඳවුරෙන් එළියට අරන් යන්න.” 5 ඉතින් එයාලා මෝසෙස් කියපු විදිහටම නාදාබ්වයි, අබිහුවයි එයාලාගේ නිලඇඳුම් පිටින්ම කඳවුරෙන් එළියට අරගෙන ගියා.

6 මෝසෙස් ආරොන්ටයි, එයාගේ අනිත් පුතාලා වුණ එලියාසර්ටයි, ඉතමාර්ටයි මෙහෙම කිව්වා. “ඔයාලාගේ හිසකෙස් අවුල් කරගන්නවත් ඇඳුම් ඉරාගන්නවත් එපා.+ එහෙම කළොත් ඔයාලාගේ ජීවිතත් ඔයාලට නැති වෙයි. දෙවියන් මුළු සෙනඟ එක්කම කෝප වෙයි. ගින්නක් එවලා යෙහෝවා විනාශ කරපු ඒ දෙන්නා වෙනුවෙන් ඔයාලාගේ සහෝදරයන් වන මුළු ඊශ්‍රායෙල් සෙනඟ වැලපෙයි. 7 යෙහෝවා ශුද්ධ තෛලයෙන් ඔයාලව අභිෂේක කරලයි තියෙන්නේ.+ ඒ නිසා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනින් පිටතට යන්න එපා. එහෙම ගියොත් ඔයාලා අනිවාර්යයෙන්ම මැරෙයි.” මෝසෙස් කියපු දේට එයාලා කීකරු වුණා.

8 ඊටපස්සේ යෙහෝවා දෙවියන් ආරොන්ට මෙහෙම කිව්වා. 9 “ඔබයි, ඔබේ පුතාලයි හමු වීමේ කූඩාරම ඇතුළට යන වෙලාවලදී වයින්වත් වෙන කිසිම මත්පැන් වර්ගයක්වත් පානය නොකළ යුතුයි.+ එහෙම කළොත් අනිවාර්යයෙන්ම ඔබ මැරෙනවා. ඒක ඔබයි, ඔබෙන් පැවතෙන හැමෝමයි දිගටම පිළිපැදිය යුතු නියෝගයක්. 10 ඒ නියෝගය දෙන්නේ ශුද්ධ දේ සහ පිළිකුල් දේ අතරත් පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ අතරත් තියෙන වෙනස ඔබට පැහැදිලිව තේරුම්ගන්නයි.+ 11 ඒ වගේම යෙහෝවා, මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් සෙනඟට දුන්න සියලු අණපනත් සෙනඟට උගන්වන්න ඔබට පුළුවන් වෙන්නයි.”+

12 ඊටපස්සේ මෝසෙස් ආරොන්ටයි, ජීවතුන් අතරේ හිටපු එයාගේ පුතාලා වුණ එලියාසර්ටයි, ඉතමාර්ටයි මෙහෙම කිව්වා. “යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරපු ධාන්‍ය පූජාවලින් ඉතුරු වුණ කොටස අරගන්න. ඒකෙන් මුහුන් දාන්නේ නැතුව රොටි හදාගෙන පූජාසනය ළඟදී ඒවා කන්න.+ මොකද ඒක ඉතා ශුද්ධ දෙයක්.+ 13 ඔයාලා ඒක ශුද්ධ තැනකදී+ කන්න ඕනේ. ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ඔයාලටත් ඔයාලාගේ පුතාලටත් ලැබෙන කොටසයි. ඒ දේවල් ඔයාලට කියන්න කියලා දෙවියන් මට අණ කළා. 14 සොලවන පූජාවේ පපු කොටස සහ ශුද්ධ කොටස හැටියට වෙන් කරන ගාත් කොටස අරගෙන+ ඔයාලා ඔයාලාගේ පුතාලා සහ දුවලා එක්ක පවිත්‍ර තැනකදී ඒක කන්න ඕනේ.+ ඒවා ඊශ්‍රායෙල් සෙනඟ ඔප්පු කරන හවුල් පූජාවලින් ඔයාලටත් ඔයාලාගේ පුතාලටත් ලැබෙන කොටසයි. 15 ගින්නෙන් ඔප්පු කරන පූජාවල තෙල් කොටස් එක්ක ශුද්ධ කොටස හැටියට වෙන් කරන ගාත් කොටසයි, සොලවන පූජාවට ගේන පපු කොටසයි එයාලා ගේන්න ඕනේ. එයාලා ඒවා ගේන්නේ යෙහෝවා ඉස්සරහා ඒවා ඒ මේ අත සොලවලා, සොලවන පූජාවක් හැටියට ඔප්පු කරන්නයි. යෙහෝවා අණ කරපු විදිහට ඒ කොටස ඔයාලටත් ඔයාලාගේ පුතාලටත් හැමදාටම ලැබෙනවා.”+

16 පාප පූජාවට ඔප්පු කරපු එළුවා ගැන මෝසෙස් හොයලා බලද්දී+ ඌව සම්පූර්ණයෙන් පුලුස්සලා දාලා කියලා එයාට දැනගන්න ලැබුණා. එතකොට ආරොන්ගේ පුතාලා වුණ එලියාසර් සහ ඉතමාර් එක්ක මෝසෙස්ට හොඳටම කේන්ති ගියා. එයා මෙහෙම කිව්වා. 17 “ඔයාලා පාප පූජාවේ මස් කෑවේ නැත්තේ ඇයි?+ ඒක ඉතා ශුද්ධ දෙයක් නිසා හරි නම් ඒක ශුද්ධ තැනකදී කන්න ඕනේ. ඒක ඔයාලට දුන්නේ සෙනඟගේ වැරදිවලින් එයාලව නිදහස් කරන වගකීම ඔයාලට තියෙන නිසයි. ඒ වගේම යෙහෝවා ඉස්සරහා සෙනඟගේ වැරදිවලට සමාව ලබාගන්න ඕනෙ ඔයාලා නිසයි. 18 සතාගේ ලේ ශුද්ධස්ථානයට ගෙනිහිල්ලත් නෑ.+ දෙවියන් මට අණ කරපු විදිහට හරි නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ මස් ශුද්ධ තැනකදී කන්න ඕනේ.” 19 එතකොට ආරොන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “අද මට වෙච්ච දේවල් ගැන ඔයා හොඳින්ම දන්නවානේ. යෙහෝවා ඉස්සරහා ඔප්පු කරන්න සෙනඟ පාප පූජාව සහ දවන පූජාව ගෙනාවත්+ මං පාප පූජාවෙන් කන්නේ කොහොමද? මං ඒකෙන් කෑවා නම් ඒ ගැන යෙහෝවා සතුටු වෙයිද?” 20 ඒක ඇහුවාම වෙච්ච දේ මෝසෙස් තේරුම්ගත්තා.

11 යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘පොළොවේ* ඉන්න සතුන්ගෙන් ඔබට කෑමට ගන්න පුළුවන් මේ සතුන්ව විතරයි.+ 3 කුර දෙකට බෙදුණු, වමාරා කන හැම සතෙක්ම කෑමට ගන්න ඔබට පුළුවන්.

4 “‘ඒත් වමාරා කන හරි කුර දෙකට බෙදුණු හරි සතුන් අතරින් ඔබට මේ සතුන්ව කෑමට ගන්න අවසර නැහැ: ඔටුවා. ඌ වමාරා කෑවත් උගේ කුර බෙදිලා නැහැ. ඒ නිසා ඔබ ඌව අපවිත්‍ර සතෙක් විදිහට සැලකිය යුතුයි.+ 5 බෙන්හාවා.*+ ඌ වමාරා කෑවත් උගේ කුර බෙදිලා නැහැ. ඒ නිසා ඔබ ඌව අපවිත්‍ර සතෙක් විදිහට සැලකිය යුතුයි. 6 හාවා. ඌ වමාරා කෑවත් උගේ කුර බෙදිලා නැහැ. ඒ නිසා ඔබ ඌව අපවිත්‍ර සතෙක් විදිහට සැලකිය යුතුයි. 7 ඌරා.+ උගේ කුර දෙකට බෙදිලා තිබුණත් ඌ වමාරා කන්නේ නැහැ. ඒ නිසා ඔබ ඌව අපවිත්‍ර සතෙක් විදිහට සැලකිය යුතුයි. 8 ඒ සතුන්ගේ මස් ඔබ කොහොමටවත් නොකෑ යුතුයි. ඒ වගේ සතෙක් මැරුණාම උන්ව අල්ලන්න එපා. උන් අපවිත්‍රයි.+

9 “‘වතුරේ ඉන්න සතුන්ගෙන් ඔබට කෑමට ගන්න පුළුවන් මේ සතුන්ව විතරයි. මුහුදේ හරි ගංගාවල හරි ඉන්න සතුන් අතරින් වරල් සහ කොරපොතු තියෙන සතුන්ව කෑමට ගන්න ඔබට පුළුවන්.+ 10 මුහුදේ හරි ගංගාවල හරි රංචු පිටින් ඉන්න සතුන් ඇතුළුව වෙනත් සතුන් අතරින් වරල් සහ කොරපොතු නැති සතුන්ව ඔබ ඉතා පිළිකුල් සතුන් විදිහට සැලකිය යුතුයි. 11 ඔබ උන්ව පිළිකුල් සතුන් විදිහට සලකන්න ඕනෙ වගේම උන්ව කොහොමටවත් නොකෑ යුතුයි.+ උන්ගේ මළ කුණුත් පිළිකුල් දෙයක් විදිහට සලකන්න. 12 වරල් සහ කොරපොතු නැති වතුරේ ඉන්න හැම සතෙක්ම ඔබ පිළිකුල් දෙයක් විදිහට සැලකිය යුතුයි.

13 “‘පියාසර කරන ජීවීන්ගෙන් ඔබ මේ සතුන්ව නොකෑ යුතුයි. උන්ව ඉතා පිළිකුල් සතුන් විදිහට සැලකිය යුතුයි. ඒ සතුන් නම්: රාජාලියා,+ මාළු උකුස්සා, කලු ගිජුලිහිණියා,+ 14 රතු උකුස්සා, එක එක වර්ගයේ කලු උකුස්සන්, 15 එක එක වර්ගයේ කපුටන්, 16 පැස්බරා, බකමූණා, මුහුදු කපුටා,* එක එක වර්ගයේ කුරුලුගොයන්,* 17 පුංචි බස්සා, දියකාවා, කන් දිග බකමූණා, 18 හංසයා, පැස්තුඩුවා, ගිජුලිහිණියා, 19 මානකොකා, එක එක වර්ගයේ කොක්කු, පොරෝ කුරුල්ලා* සහ වවුලා. 20 පියාපත් ඇති, කකුල් හතරක් තියෙන, රංචු ගැහෙන හැම කෘමි වර්ගයක්මත් ඔබ පිළිකුල් සතුන් විදිහට සැලකිය යුතුයි.

21 “‘ඒත් ඒ කෘමීන් අතරින් දිග කකුල් හතරක් තියෙන බිම පැනපැන යන සතුන්ව ඔබට කෑමට ගත හැකියි. 22 එක එක වර්ගයේ සංක්‍රමණික පළඟැටියන්, කෑමට ගන්න වෙනත් පළඟැටි වර්ග,+ රැහැයියන් සහ තණකොළ පෙත්තන් කන්න ඔබට පුළුවන්. 23 පියාපත් තියෙන, කකුල් හතරක් තියෙන, රංචු ගැහෙන වෙනත් හැම කෘමි වර්ගයක්ම ඔබ පිළිකුල් සතුන් විදිහට සලකන්න ඕනේ. 24 ඒ කෘමීන් කෑවොත් ඔබ අපවිත්‍ර වෙනවා. ඒ වගේ සතෙක් මැරුණාම කවුරු හරි ඌව ඇල්ලුවොත් ඔහු හවස් වෙන කල් අපවිත්‍ර වෙනවා.+ 25 ඒ මළ කුණ අතට ගන්න ඕනෙම කෙනෙක් තමන්ගේ ඇඳුම් හෝදගෙන+ හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.

26 “‘කුර වෙන් වෙලා තිබුණත් ඒක දෙකට බෙදිලා නැති, වමාරා කන්නේ නැති හැම සතෙක්ම ඔබ අපවිත්‍ර සතුන් විදිහට සැලකිය යුතුයි. කවුරු හරි කෙනෙක් උන්ව ඇල්ලුවොත් ඔහු අපවිත්‍ර වෙනවා.+ 27 කකුල් හතරින් ඇවිදින සතුන් අතරින් කකුල්වල පතුල පොළොවේ වදින විදිහට ඇවිදින හැම සතෙක්ම අපවිත්‍ර සතුන් විදිහට සැලකිය යුතුයි. ඒ වගේ සතෙක් මැරුණාම කවුරු හරි ඌව ඇල්ලුවොත් ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි. 28 උගේ මළ කුණ කවුරු හරි උස්සගෙන යනවා නම් ඔහු තමන්ගේ ඇඳුම් හෝදගන්න ඕනේ.+ ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ ඒ හැම සතෙක්ම ඔබ අපවිත්‍ර සතුන් විදිහට සැලකිය යුතුයි.

29 “‘පොළොවේ ඉන්න පොඩි සතුන් අතරින් ඔබ අපවිත්‍රයි කියලා සැලකිය යුතු සතුන් නම්: බිම හාරන මීයා,* මීයා+ සහ හැම වර්ගයකම උරගයන්, 30 හූණා, තලගොයා, හිකනලා, වැලි හූණා සහ කටුස්සා. 31 ඒ සතුන්ව ඔබ අපවිත්‍ර සතුන් විදිහට සැලකිය යුතුයි.+ ඒ වගේ සතෙක් මැරුණාම කවුරු හරි ඌව ඇල්ලුවොත් ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+

32 “‘උගේ මළ කුණ ලී භාජනයක් හරි ඇඳුමක් හරි හම් භාජනයක් හරි ගෝණියක් හරි වෙන ඕනෙම දෙයක් උඩට වැටුණොත් ඒක අපවිත්‍ර වෙනවා. පාවිච්චියට ගන්න භාජනයක් එහෙම අපවිත්‍ර වුණොත් ඒක වතුරේ ගිල්ලලා තැබිය යුතුයි. ඒක හවස් වෙන කල් අපවිත්‍ර දෙයක් විදිහට සැලකිය යුතුයි. ඊටපස්සේ ඒක පාවිච්චියට ගන්න පුළුවන්. 33 උගේ මළ කුණ මැටි භාජනයකට වැටුණොත් භාජනයේ ඇති ඕනෙම දෙයක් අපවිත්‍ර වෙනවා. භාජනයත් බිඳලා දාන්න ඕනේ.+ 34 ඒ වගේ භාජනයක තිබුණ වතුර කෑමවලට වැටුණොත් ඒකත් අපවිත්‍ර වෙනවා. ඒ වගේ භාජනයක තියෙන ඕනෙම බීම වර්ගයක් අපවිත්‍රයි. 35 මැරුණු ඒ වගේ සතෙක් වැටෙන ඕනෙම දෙයක්, ඒක උදුනක් වුණත් කුඩා මැටි ලිපක් වුණත් ඒවා කඩා දැමිය යුතුයි. මොකද ඒවා අපවිත්‍රයි. ඔබ ඒවා අපවිත්‍ර දේවල් විදිහට සැලකිය යුතුයි. 36 උගේ මළ කුණ නිසා අපවිත්‍ර වෙන්නේ නැත්තේ දිය උල්පතක් සහ පොකුණක් විතරයි. ඒත් මැරුණු ඒ වගේ සතෙක්ව කෙනෙක් ඇල්ලුවොත් ඔහු අපවිත්‍ර වෙනවා. 37 වපුරන්න තියෙන බීජවලට ඒ වගේ සතෙක්ගේ මළ කුණක් වැටුණොත් ඒ බීජ අපවිත්‍ර වෙන්නේ නැහැ. 38 ඒත් ඒ බීජ තෙත් කළාට පස්සේ සතෙක්ගේ මළ කුණක කොටසක් ඒවාට වැටුණොත් ඒ බීජ ඔබ අපවිත්‍ර දෙයක් විදිහට සැලකිය යුතුයි.

39 “‘ඔබට කෑමට ගන්න පුළුවන් ඕනෙම සතෙක් මැරුණොත් ඒ සතාව අල්ලන කෙනා හවස් වෙන කල් අපවිත්‍රයි.+ 40 කවුරු හරි කෙනෙක් උගේ මස් කෑවොත් ඔහු තමන්ගේ ඇඳුම් හෝදගෙන හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ කෙනෙක් ඒ මැරුණු සතාව උස්සගෙන ගියොත් ඔහුත් තමන්ගේ ඇඳුම් හෝදගෙන හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් හැටියට වෙන් වෙලා සිටිය යුතුයි. 41 පොළොවේ රංචු පිටින් ඉන්න පොඩි සතුන් ඉතා පිළිකුල්.+ උන්ව කොහොමටවත් කෑමට ගන්න ඔබට අවසර නැහැ. 42 ඒ සතුන් අතරින් බඩ ගාගෙන යන ඕනෙම සතෙක් හරි කකුල් හතරක් තියෙන ඕනෙම සතෙක් හරි කකුල් ගොඩක් තියෙන ඕනෙම සතෙක් හරි ඔබ නොකෑ යුතුයි. මොකද උන් ඉතා පිළිකුල් සතුන්.+ 43 රංචු පිටින් ඉන්න ඒ වගේ පොඩි සතුන් කෑමට ගන්න ඕනෙම කෙනෙක් මට පිළිකුල්. ඒ නිසා උන්ව කෑමට අරන් අපවිත්‍ර තත්වයකට පත් වෙන්න එපා.+ 44 මම ඔබේ දෙවි වන යෙහෝවා.+ ඔබ පවිත්‍ර සෙනඟක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි. මම ශුද්ධව+ සිටින නිසා ඔබත් ශුද්ධව+ සිටිය යුතුයි. ඉතින් ඔබ පොළොවේ රංචු පිටින් ඉන්න පොඩි සතුන් කෑමට අරන් අපවිත්‍ර වෙන්න එපා. 45 ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ යෙහෝවා වන මමයි. එහෙම කළේ මම ඔබේ දෙවියන් කියලා ඔබට ඔප්පු කරලා පෙන්නන්නයි.+ මම ශුද්ධව+ සිටින නිසා ඔබත් ශුද්ධව+ සිටිය යුතුයි.

46 “‘ගොඩබිමේ ඉන්න සතුන්, පියාසර කරන සතුන්, වතුරේ ඉන්න සියලුම සතුන් සහ පොළොවේ රංචු පිටින් ඉන්න කුඩා සතුන් ගැන නීතිය ඒකයි. 47 ඒ නීතිය දුන්නේ පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ අතරත් කෑමට සුදුසු සහ නුසුදුසු සතුන් අතරත් තියෙන වෙනස පැහැදිලිව හඳුනගන්නයි.’”+

12 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කාන්තාවක් ගැබ්ගෙන පුතෙක් බිහි කළොත් ඇගේ ඔසප් දවස්වලදී වගේ දවස් හතක් යන කල් ඇය අපවිත්‍ර කෙනෙක් විදිහට සැලකිය යුතුයි.+ 3 අටවෙනි දවසේදී දරුවාව චර්මච්ඡේදනය කළ යුතුයි.+ 4 ලේ ගැලීම නිසා ඇය ඉන්නේ අපවිත්‍ර තත්වයක. ඒ නිසා පවිත්‍ර වෙන්න තව දවස් 33ක් ඇය නිවසේ රැඳී සිටිය යුතුයි. ඒ දවස් සම්පූර්ණ වෙන කල් ශුද්ධස්ථානයට* යන එකෙන් සහ ශුද්ධ දේවල් අල්ලන එකෙන් ඇය වළකින්න ඕනේ.

5 “‘ඇය දුවෙක් බිහි කළොත් ඇගේ ඔසප් දවස්වලදී වගේ දවස් 14ක් යන කල් ඇයව අපවිත්‍ර කෙනෙක් විදිහට සැලකිය යුතුයි. ලේ ගැලීම නිසා ඇය ඉන්නේ අපවිත්‍ර තත්වයක. ඒ නිසා පවිත්‍ර වෙන්න තව දවස් 66ක් ඇය නිවසේ රැඳී සිටිය යුතුයි. 6 ඇය පුතෙක්ව හරි දුවෙක්ව හරි බිහි කළාට පස්සේ පවිත්‍ර වෙන්න වෙන් කරපු දවස් සම්පූර්ණ වුණාම මේ විදිහට කරන්න ඕනේ. දවන පූජාවක්+ හැටියට අවුරුද්දක් විතර වයස බැටළුවෙක්වයි, පාප පූජාවක් හැටියට පරෙවියෙක්ව නැත්නම් කොබෙයියෙක්ව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනල්ලා පූජකයාට දිය යුතුයි. 7 පූජකයා ඒ පූජා යෙහෝවා ඉස්සරහා ඔප්පු කරලා ඇය වෙනුවෙන් සමාව ලබාගත යුතුයි. එතකොට ලේ ගැලීම නිසා අපවිත්‍ර වුණ ඇය පවිත්‍ර වෙයි. දරුවෙක් බිහි කරන කාන්තාවක් පිළිපදින්න ඕනෙ නීතිය ඒකයි. 8 ඇයට බැටළුවෙක්ව ගේන්න තරම් වත්කමක් නැත්නම් ඇය කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව හරි ගේන්න ඕනේ.+ එකෙක් දවන පූජාවට. අනිකා පාප පූජාවට. පූජකයා ඒ පූජා දෙවියන් ඉස්සරහා ඔප්පු කරලා ඇය වෙනුවෙන් සමාව ලබාගත යුතුයි. ඊටපස්සේ ඇයව පවිත්‍ර කෙනෙක් විදිහට සලකනවා.’”

13 යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා. 2 “කෙනෙක්ගේ හමේ ඉදිමීමක්, දදයක් වගේ දෙයක් නැත්නම් ලපයක් හටගත්තොත් ඒක ලාදුරු*+ රෝගය කියලා සැකයක් තියෙනවා නම් ඒ කෙනාව පූජක ආරොන් ළඟට හරි ඔහුගේ පුතෙක් ළඟට හරි එක්කගෙන යන්න ඕනේ.+ 3 පූජකයා ඒ කෙනාගේ හමේ තියෙන රෝගය පරීක්ෂා කරලා බැලිය යුතුයි. එතන තියෙන රෝමවල පාට වෙනස් වෙලා නම්, රෝගය හමට යටිනුත් පැතිරිලා කියලා පේනවා නම් ඒක ලාදුරු රෝගය. පූජකයා ඒ කෙනාව සෝදිසි කරලා බැලුවාට පස්සේ ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. 4 ඒත් සුදු පාට ලපයක් හටගෙන තිබුණත් ඒක හමට යටින් පැතිරිලා නැහැ කියලත් එතන තියෙන රෝමවල පාට වෙනස් වෙලා නැහැ කියලත් පේන්න තියෙනවා නම් පූජකයා ඒ කෙනාව දවස් හතක් වෙන් කරලා* තියන්න ඕනේ.+ 5 හත්වෙනි දවසේදී පූජකයා ඒ කෙනාගේ රෝගය පරීක්ෂා කරලා බැලිය යුතුයි. ලපයේ පෙනුම වෙනස් වෙලා නැහැ කියලත් රෝගය හමේ තව පැතිරිලා නැහැ කියලත් පේනවා නම් පූජකයා ඒ කෙනාව තව දවස් හතක් වෙන් කරලා තැබිය යුතුයි.

6 “හත්වෙනි දවසේදී පූජකයා ආයෙත් ඔහුව පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඔහුගේ හම සාමාන්‍ය පාටට හැරෙනවා කියලත් රෝගය හම පුරා පැතිරිලා නැහැ කියලත් පේන්න තියෙනවා නම් පූජකයා ඒ කෙනා පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.+ ඒක තුවාලයක් විතරයි. බෝ වෙන රෝගයක් නෙමෙයි. ඒ කෙනා තමන්ගේ ඇඳුම් හෝදගෙන පවිත්‍ර වෙන්න ඕනේ. 7 ඒත් පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළාට පස්සේ තුවාලේ හමේ පැතිරිලා යන්න පටන් අරන් කියලා පේනවා නම් ඔහු ආපහු* පූජකයා ඉස්සරහට යා යුතුයි. 8 පූජකයා ඔහුව පරීක්ෂා කරලා බලන්න ඕනේ. තුවාලේ හම පුරාම පැතිරිලා නම් ඔහුට තියෙන්නේ ලාදුරු රෝගය.+ පූජකයා ඒ කෙනා අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.

9 “කෙනෙක්ට ලාදුරු රෝගය හැදිලා නම් ඔහුව පූජකයා ළඟට ගෙන යා යුතුයි. 10 පූජකයා ඒ කෙනාව සෝදිසි කරලා බලන්න ඕනේ.+ හමේ සුදු පාට ඉදිමීමක් දකින්න තියෙනවා නම් ඒක වටේ තියෙන රෝමවල පාට වෙනස් වෙලා නම් සහ එතන හම තෙත් වෙලා කියලා පේනවා නම්+ 11 ඔහුට තියෙන්නේ ලාදුරු රෝගය. ඒක කාලයක් පුරා තියෙයි. පූජකයා ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඔහුව ආයෙත් පරීක්ෂා කරලා බලන්න වෙන් කරලා තියන්න අවශ්‍ය නැහැ.+ මොකද ඔහු දැනටමත් අපවිත්‍රයි. 12 ලාදුරු රෝගය හැදිලා ඒක රෝගියාගේ ඔළුවේ ඉඳන් කකුල් දෙක වෙන කල්ම පැතිරිලා කියලා පූජකයාට පේන්න පුළුවන්. 13 පූජකයා ඔහුව පරීක්ෂා කරලා බැලුවාම ලාදුරු රෝගය ඔහුගේ ඇඟ පුරාම පැතිරිලා කියලා හොඳටම පැහැදිලියි නම් ඒ කෙනා පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඔහුගේ මුළු ශරීරයම සුදු පාටට හැරිලා තියෙන නිසා ඔහු පවිත්‍රයි.* 14 ඒත් ඔහුගේ හම ආයෙත් පැළිලා තෙත ගතියක් ආවොත් ඔහු අපවිත්‍රයි. 15 ඒ තුවාලය පූජකයා පරීක්ෂා කරලා බැලුවාට පස්සේ ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.+ අලුතින් ඇති වුණ ඒ තුවාලය අපවිත්‍රයි. ඒක ලාදුරු රෝගය.+ 16 අලුතින් ඇති වුණ ඒ තුවාලය හොඳ වෙලා ඒක සුදු පාටට හැරුණොත් ඔහු ආයෙත් පූජකයා ළඟට යා යුතුයි. 17 පූජකයා ඔහුව සෝදිසි කරලා බලන්න ඕනේ.+ තුවාලය තිබුණ තැන සුදු පාටට හැරිලා නම් පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.

18 “හමේ සැරව ගෙඩියක් ඇවිත් ඒක හොඳ වුණාට පස්සේ 19 එතන හම සුදු වෙලා තඩිස්සි වීමක් වුණොත් නැත්නම් ළා රතු පාට ලපයක් ආවොත් ඒ කෙනා පූජකයා ළඟට ගිහින් ඒක පෙන්නන්න ඕනේ. 20 පූජකයා ඒක සෝදිසි කරලා බැලුවාම+ ඒක හමට යටින් පැතිරිලා කියලත් ඒක වටේ තියෙන රෝමවල පාට වෙනස් වෙලා කියලත් පේන්න තියෙනවා නම් ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඒක සැරව ගෙඩිය තිබුණ තැනින් මතු වුණ ලාදුරු රෝගය. 21 ඒත් පූජකයා ඒක පරීක්ෂා කරලා බැලුවාම එතන රෝමවල පාට වෙනස් වෙලා නැහැ කියලත් ඒක හමට යටින් පැතිරිලා නැහැ කියලත් ඔහුගේ හම සාමාන්‍ය පාටට හැරිලා කියලත් පේන්න තියෙනවා නම් ඔහුව දවස් හතක් වෙන් කරලා තැබිය යුතුයි.+ 22 ලපය හමේ පැතිරිලා කියලා පැහැදිලිව පේනවා නම් ඒක බෝ වෙන රෝගයක්. පූජකයා ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. 23 ඒත් ලපය පැතිරිලා නැත්නම් ඒක සැරව ගෙඩිය නිසා ඇති වුණ ඉදිමීමක් විතරයි. පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.+

24 “කෙනෙක්ගේ හම පිච්චුණ තැනක ළා රතු පාට නැත්නම් සුදු පාට ලපයක් මතු වුණොත් 25 පූජකයා ඒක පරීක්ෂා කරලා බැලිය යුතුයි. ලපය ළඟ තියෙන රෝමවල පාට වෙනස් වෙලා කියලත් ඒක හම ඇතුළට ගිහිල්ලා කියලත් පේන්න තියෙනවා නම් ඔහුට තියෙන්නේ ලාදුරු රෝගය. ඒක පිච්චිලා ඇති වුණ තුවාලෙන් මතු වුණ ලාදුරු රෝගය. පූජකයා ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. 26 ඒත් පූජකයා ඒක සෝදිසි කරලා බැලුවාම ලපය ළඟ තියෙන රෝමවල පාට වෙනස් වෙලා නැහැ කියලත් ඒක හම ඇතුළට ගිහිල්ලා නැහැ කියලත් එතන හම සාමාන්‍ය පාටට හැරෙනවා කියලත් පේන්න තියෙනවා නම් ඔහුව දවස් හතක් වෙන් කරලා තැබිය යුතුයි.+ 27 හත්වෙනි දවසේදී පූජකයා ඔහුව ආයෙත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ලපය හමේ පැතිරිලා කියලා පැහැදිලිව පේනවා නම් පූජකයා ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඔහුට හැදිලා තියෙන්නේ ලාදුරු රෝගය. 28 ඒත් ලපය හමේ පැතිරිලා නැහැ කියලත් හම සාමාන්‍ය පාටට හැරිලා කියලත් පේනවා නම් ඒක පිලිස්සීම නිසා ඇති වුණ තුවාලේ තඩිස්සි වීමක් විතරයි. පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.

29 “කෙනෙක්ගේ ඔළුවේ නැත්නම් නිකට හරියේ හමේ රෝගයක් ඇති වුණොත් 30 පූජකයා ඒක පරීක්ෂා කරලා බැලිය යුතුයි.+ ඒක හමට යටින් පැතිරිලා කියලත් ඔළුවේ කෙස් හරි නිකටේ තියෙන රෝම හරි අඩු වෙලා කියලත් ඒවා කහ වෙලා තියෙනවා කියලත් පේනවා නම් පූජකයා ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඒක ඔළුවේ නැත්නම් රැවුලේ ඇති වුණ රෝගයක්. ඒක ලාදුරු රෝගය. 31 ඒත් පූජකයා ඒ වගේ හමේ රෝගයක් තියෙන කෙනෙක්ව පරීක්ෂා කරලා බලද්දී රෝගය හමට යටින් පැතිරිලා නැති වුණත් එතන කලු කෙස් හරි කලු රෝම හරි නැහැ කියලා පේනවා නම් ඔහු රෝගියාව දවස් හතක් වෙන් කරලා තැබිය යුතුයි.+ 32 හත්වෙනි දවසේදී පූජකයා රෝගියාව ආයෙත් පරීක්ෂා කරලා බැලිය යුතුයි. රෝගය පැතිරිලා නැත්නම් හිසකෙස් හරි රෝම හරි කහ වෙලා නැත්නම් සහ රෝගය තියෙන්නේ හම මතුපිට විතරක් නම් 33 ඒ කෙනා තමන්ගේ ඔළුව බූ ගාන්න ඕනේ. නැත්නම් රැවුල කපන්න ඕනේ. ඒත් රෝගය තියෙන හරියේ කෙස් නැත්නම් රෝම කපන්න එපා. පූජකයා ඔහුව තව දවස් හතක් වෙන් කරලා තැබිය යුතුයි.

34 “හත්වෙනි දවසේදී පූජකයා රෝගය තියෙන තැන ආයෙත් පරීක්ෂා කරලා බැලිය යුතුයි. ඔළුවේ නැත්නම් රැවුලේ ඇති වුණ රෝගය පැතිරිලා නැහැ කියලත් රෝගය තියෙන්නේ හම මතුපිටින් විතරක් කියලත් පේන්න තියෙනවා නම් පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඔහු තමන්ගේ ඇඳුම් හෝදගෙන පවිත්‍ර විය යුතුයි. 35 ඒත් පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළාට පස්සේ රෝගය හමේ පැතිරෙනවා කියලා පේනවා නම් 36 පූජකයා ඔහුව ආයෙත් පරීක්ෂා කරලා බැලිය යුතුයි. රෝගය හමේ පැතිරිලා නම් කෙස් හරි රෝම හරි කහ ගැහිලාද කියලා බලන්න අවශ්‍ය නැහැ. ඒ කෙනා අපවිත්‍රයි. 37 ඒත් පරීක්ෂා කරද්දී රෝගය පැතිරිලා නැහැ කියලත් එතන කලු පාට කෙස් හරි රෝම හරි එනවා කියලත් පේනවා නම් රෝගය සුව වෙලා. ඔහු පවිත්‍රයි. ඒ නිසා පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.+

38 “පුරුෂයෙක්ගේ හරි කාන්තාවකගේ හරි හමේ සුදු ලප ආවොත් 39 පූජකයා ඒ කෙනාව පරීක්ෂා කරලා බැලිය යුතුයි.+ හමේ ඇවිත් තියෙන ලප ළා පාට නම් ඒක බෝ වෙන්නේ නැති හමේ රෝගයක්. ඒ නිසා ඔහු පවිත්‍රයි.

40 “පුරුෂයෙක්ගේ ඔළුවේ කෙස් අඩු වෙනවා නම් ඔහු අපවිත්‍ර කෙනෙක් නෙමෙයි. මොකද ඒක සාමාන්‍ය තට්ටේ පෑදීමක්. 41 ඔහුගේ නළලට උඩින් කෙස් අඩු වෙලා තියෙනවා නම් එතකොටත් ඔහු අපවිත්‍ර කෙනෙක් නෙමෙයි. 42 ඒත් ඔළුවේ හරි නළලට උඩින් හරි කෙස් අඩු වුණ තැන්වල ළා රතු පාට තුවාලයක් ආවොත් ඒක තට්ටේ පෑදුණ තැනින් මතු වුණ ලාදුරු රෝගය. 43 පූජකයා ඔහුව පරීක්ෂා කරලා බලද්දී තට්ටේ පෑදිලා තියෙන හරිය රෝගය නිසා තඩිස්සි වෙලා, එතන ළා රතු පාට වෙලා කියලත් ඒක ලාදුරු රෝගය වගේ කියලත් පේනවා නම් 44 ඔහු අපවිත්‍රයි. තට්ටේ පෑදුණ තැන ඇති වුණ ඒ රෝගය නිසා ඔහු අපවිත්‍රයි කියලා පූජකයා ප්‍රකාශ කළ යුතුයි. ඔහුට තියෙන්නේ ලාදුරු රෝගය. 45 ලාදුරු රෝගය හැදුණ කෙනා ඉරිච්ච ඇඳුම් අඳින්න ඕනේ. ඔහුට ඔළුව පීරන්න අවසර නැහැ. උඩු රැවුලත් වසාගත යුතුයි. ඔහු ‘මං අපවිත්‍රයි, අපවිත්‍රයි’ කියලා හඬ නඟලා කියන්න ඕනේ. 46 රෝගය තියෙන කල් ඔහු අපවිත්‍රයි. ඔහු අපවිත්‍ර කෙනෙක් නිසා අනිත් අයගෙන් වෙන් වෙලා කඳවුරෙන් පිටත ජීවත් විය යුතුයි.+

47 “ලාදුරු රෝගය ඇති කරන විෂබීජය* ඇඳුමකට ඇවිල්ලා නම් කළ යුතු දේ තමයි මේ. විෂබීජය ලොම් නැත්නම් ලිනන් ඇඳුමක තියෙන්න පුළුවන්. 48 ඒ විෂබීජය ලොම් නැත්නම් ලිනන් රෙද්දේ නූල්වල* තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සත්ව හම් කෑල්ලක හරි හම්වලින් හදපු වෙන ඕනෙම දේක හරි තියෙන්නත් පුළුවන්. 49 ඒ වගේ ඇඳුමක, හම් කෑල්ලක, රෙද්දක නූල්වල නැත්නම් හම්වලින් හදපු වෙන ඕනෙම දේක කොළ පාටට හුරු හරි රතු පාටට හුරු හරි පැල්ලමක් තියෙනවා නම් ඒක ලාදුරු රෝගය ඇති කරන විෂබීජය. ඒක පූජකයාට පෙන්නන්න ඕනේ. 50 පූජකයා පැල්ලම සෝදිසි කරලා බැලුවාට පස්සේ ඒක දවස් හතක් වෙන් කරලා තියන්න ඕනේ.+ 51 හත්වෙනි දවසේ ඒක පරීක්ෂා කරලා බලද්දී ඇඳුමේ, රෙද්දේ නූල්වල, සත්ව හම් කෑල්ලේ නැත්නම් හම්වලින් හදපු වෙන ඕනෙම දේක තිබුණ ඒ පැල්ලම පැතිරිලා කියලා පේනවා නම් ඒක බෝ වෙනවා. ඒක අපවිත්‍රයි.+ 52 විෂබීජය තියෙන ඒ ඇඳුම හරි ලොම් නැත්නම් ලිනන් රෙද්ද හරි හම්වලින් හදපු ඕනෙම දෙයක් හරි ගින්නෙන් පුච්චලා දාන්න ඕනේ. මොකද ඒක බෝ වෙනවා.

53 “ඒත් පූජකයා ඒක පරීක්ෂා කරලා බලද්දී ඇඳුමේ, රෙද්දේ නූල්වල, හම්වලින් හදපු ඕනෙම දේක තිබුණ ඒ පැල්ලම පැතිරිලා නැහැ කියලා පේනවා නම් 54 ඒක හෝදලා තව දවස් හතක් යන කල් වෙන් කරලා තියන්න කියලා ඔහු අණ කළ යුතුයි. 55 ඒක හොඳට හේදුවාට පස්සේ පූජකයා ආයෙත් සැරයක් පැල්ලම පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒක පැතිරිලා නැතත් පැල්ලමේ කිසි වෙනසක් වෙලා නැත්නම් ඒක අපවිත්‍රයි. ඒක ඇතුල් පැත්තෙන් හරි පිට පැත්තෙන් හරි දිරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා ඒක පුච්චලා දාන්න ඕනේ.

56 “ඒක හේදුවාට පස්සේ පූජකයා ඒක පරීක්ෂා කරලා බලද්දී ඒ පැල්ලම ළා පාට වෙලා කියලා පේනවා නම් ඒ ඇඳුමේ, රෙද්දේ නූල්වල නැත්නම් හම් කෑල්ලේ පැල්ලම තියෙන හරිය ඉරලා අයින් කළ යුතුයි. 57 ඒත් ඒ පැල්ලම ඇඳුමේ හරි නූල්වල හරි හම් කෑල්ලේ හරි තව තැනක ඇවිල්ලා නම් ඒ විෂබීජය පැතිරෙනවා. ඒ නිසා ඒ දේ පුච්චලා දාන්න ඕනේ.+ 58 ඒත් ඒක පළවෙනි සැරේ හේදුවාට පස්සේ ඒකේ තිබුණ පැල්ලම මැකිලා ගියොත් දෙවෙනි සැරේටත් ඒක හෝදන්න ඕනේ. ඊටපස්සේ ඒක පවිත්‍ර දෙයක් හැටියට සලකන්න පුළුවන්.

59 “ලොම් නැත්නම් ලිනන් ඇඳුමක හරි රෙද්දක නූල්වල හරි හම්වලින් හදපු ඕනෙම දේක හරි ලාදුරු රෝගය ඇති කරන විෂබීජය ඇති වුණොත් ඒක පවිත්‍රද අපවිත්‍රද කියලා ප්‍රකාශ කරන්න පිළිපදින්න ඕනෙ නීතිය තමයි ඒ.”

14 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ලාදුරු රෝගය නිසා අපවිත්‍ර වෙලා හිටපු කෙනෙක් පවිත්‍ර වෙන දවසේ පූජකයා ළඟට ගෙනියද්දී+ ඒ කෙනා පිළිපදින්න ඕනෙ නීතිය මේකයි. 3 පූජකයා කඳවුරෙන් පිටතට ගිහිල්ලා ඒ කෙනාව පරීක්ෂා කරලා බැලිය යුතුයි. ලාදුරු රෝගය සුව වෙලා නම් 4 පවිත්‍ර වීම සඳහා පවිත්‍ර කුරුල්ලන් දෙන්නෙකුයි, දේවදාර අත්තකුයි, තද රතු රෙද්දකුයි, හිසොප්* මිටියකුයි ගේන්න+ කියලා පූජකයා ඔහුට අණ කළ යුතුයි. 5 ඊළඟට දිය පහරකින් වතුර ටිකක් මැටි භාජනයකට අරගෙන එක කුරුල්ලෙක්ව ඒ භාජනයට උඩින් අල්ලලා මරන්න කියලා පූජකයා අණ කළ යුතුයි. 6 අනිත් කුරුල්ලාවයි, දේවදාර අත්තයි, තද රතු රෙද්දයි, හිසොප් මිටියයි අරගෙන වතුර භාජනයට උඩින් අල්ලලා මරපු කුරුල්ලාගේ ලේවල ගිල්විය යුතුයි. 7 ඊටපස්සේ පූජකයා ලාදුරු රෝගයෙන් සුව වුණ කෙනා මත ලේ හත් පාරක් ඉහලා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. පණ ඇති කුරුල්ලාට නිදැල්ලේ යන්න හරින්න.+

8 “පවිත්‍ර වෙන කෙනා තමන්ගේ ඔළුව බූ ගාලා ඇඟේ ඔක්කොම රෝම කපලා ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. එතකොට ඔහු පවිත්‍රයි. ඊටපස්සේ කඳවුර ඇතුළට එන්න ඔහුට පුළුවන්. ඒත් ඔහු දවස් හතක් යන කල් ඔහුගේ කූඩාරමෙන් පිට සිටිය යුතුයි. 9 හත්වෙනි දවසේදී ඔහු ආයෙත් ඔළුව බූ ගාන්න ඕනේ. රැවුල සහ ඇහිබැමිත් සම්පූර්ණයෙන්ම කපන්න ඕනේ. ඊටපස්සේ ඔහු ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. එතකොට ඔහුව පවිත්‍ර කෙනෙක් විදිහට සලකන්න පුළුවන්.

10 “ඔහු අටවෙනි දවසේදී කැළලක් නැති බැටළු පැටව් දෙන්නෙකුයි, අවුරුද්දක් විතර වයස කැළලක් නැති බැටළුදෙනකුයි,+ ධාන්‍ය පූජාවක්+ විදිහට තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනකුයි,* තෙල් කෝප්පයකුයි* ගෙනා යුතුයි.+ 11 ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කරන පූජකයා ඔහුවයි, ඔහු පූජා කරන්න ගෙනාපු දේවලුයි හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ කියන්නේ යෙහෝවා ඉස්සරහට ගෙනා යුතුයි. 12 පූජකයා එක බැටළු පැටියෙක්ව තෙල් කෝප්පයත් එක්ක වන්දි පූජාවක් විදිහට ඔප්පු කළ යුතුයි.+ ඒක සොලවන පූජාවක් හැටියට යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි.+ 13 ඊටපස්සේ ඔහු ශුද්ධ තැනකදී ඒ බැටළු පැටියාව මැරිය යුතුයි. ඌව මරන්න ඕනෙ පාප පූජා සහ දවන පූජා සඳහා ඔප්පු කරන සතුන්ව සාමාන්‍යයෙන් මරන තැනදිමයි.+ පාප පූජාව වගේම වන්දි පූජාව අයිති වෙන්නෙත් පූජකයාට.+ ඒක ඉතා ශුද්ධයි.+

14 “පූජකයා වන්දි පූජාවට ගෙනාපු සතාගේ ලේවලින් ටිකක් අරගෙන පවිත්‍ර වෙන්න ආපු කෙනාගේ දකුණු කන් පෙත්තෙයි, දකුණු අතේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලෙයි ගාන්න ඕනේ. 15 ඊටපස්සේ පූජකයා තෙල් කෝප්පෙන් ටිකක්+ තමන්ගේ වම් අතේ අල්ලට වක් කරගත යුතුයි. 16 පූජකයා ඔහුගේ වම් අතේ තියෙන තෙල් ටිකක් දකුණු අතේ ඇඟිල්ලකින් අරගෙන යෙහෝවා ඉස්සරහා හත් පාරක් ඒක ඉසිය යුතුයි. 17 ඊටපස්සේ පූජකයා ඔහුගේ අල්ලේ ඉතුරු වෙලා තියෙන තෙල්වලින් ටිකක් ඒ කෙනාගේ දකුණු කන් පෙත්තෙයි, දකුණු අතේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලෙයි ගාන්න ඕනේ. තෙල් ගාන්න ඕනෙ වන්දි පූජාවට ගෙනාපු සතාගේ ලේ ගාපු තැන්වලමයි. 18 පූජකයා ඔහුගේ අල්ලේ ඉතුරු වුණ තෙල් ටික ඒ කෙනාගේ ඔළුවේ ගාන්න ඕනේ. ඒ විදිහට පූජකයා යෙහෝවා ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් සමාව ලබාගත යුතුයි.+

19 “පූජකයා පාප පූජාව ඔප්පු කරලා+ අපවිත්‍ර වෙලා හිටපු කෙනා වෙනුවෙන් සමාව ලබාගත යුතුයි. ඊටපස්සේ පූජකයා දවන පූජාවට ගෙනාපු සතාව මැරිය යුතුයි. 20 ඔහු දවන පූජාව සහ ධාන්‍ය පූජාව+ පූජාසනය මත ඔප්පු කරලා ඒ කෙනා වෙනුවෙන් සමාව ලබාගත යුතුයි.+ ඊටපස්සේ ඒ කෙනාව පවිත්‍ර කෙනෙක් විදිහට සලකනවා.+

21 “ඒ දේවල් ගේන්න තරම් වත්කමක් ඔහුට නැත්නම් ඔහු වන්දි පූජාවට එක බැටළු පැටියෙක්ව ගෙනා යුතුයි. ඒක ඔප්පු කරන්නේ සොලවන පූජාවක් විදිහට. ඒ පූජාව ඔප්පු කරන්නේ ඔහු වෙනුවෙන් සමාව ලබාගන්න. ඒකත් එක්ක ඔහු ධාන්‍ය පූජාවකුත් ගෙනා යුතුයි. ඒකට සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසකට තෙල් මිශ්‍ර කරලා ගේන්න ඕනේ. තෙල් කෝප්පයක් 22 සහ ඔහුගේ වත්කමේ හැටියට කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව හරි ගෙනා යුතුයි. එක කුරුල්ලෙක් පාප පූජාවටත් අනිකා දවන පූජාවටත් ගත යුතුයි.+ 23 පවිත්‍ර වීම සඳහා අටවෙනි දවසේදී+ ඔහු හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඇවිත් යෙහෝවා ඉස්සරහා ඒ දේවල් පූජකයාට භාර දිය යුතුයි.+

24 “පූජකයා වන්දි පූජාවට ගෙනාපු බැටළු පැටියාවයි,+ තෙල් කෝප්පයයි අරගෙන සොලවන පූජාවක් හැටියට යෙහෝවා ඉස්සරහා ඒවා ඒ මේ අත සෙලවිය යුතුයි.+ 25 ඊටපස්සේ පූජකයා වන්දි පූජාවට ගෙනාපු බැටළු පැටියාව මරලා උගේ ලේ ටිකක් අරගෙන ඒ කෙනාගේ දකුණු කන් පෙත්තෙයි, දකුණු අතේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලෙයි ගාන්න ඕනේ.+ 26 ඊටපස්සේ පූජකයා තෙල්වලින් ටිකක් තමන්ගේ වම් අතේ අල්ලට වක් කරගත යුතුයි.+ 27 ඔහුගේ වම් අතේ තියෙන තෙල් ටිකක් දකුණු අතේ ඇඟිල්ලකින් අරගෙන යෙහෝවා ඉස්සරහා හත් පාරක් ඒක ඉසිය යුතුයි. 28 ඊටපස්සේ පූජකයා ඔහුගේ අල්ලේ තියෙන තෙල්වලින් ටිකක් ඒ කෙනාගේ දකුණු කන් පෙත්තෙයි, දකුණු අතේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලෙයි ගාන්න ඕනේ. තෙල් තවරන්න ඕනෙ වන්දි පූජාවට ගෙනාපු සතාගේ ලේ ගෑව තැන්වලමයි. 29 පූජකයා තමන්ගේ අල්ලේ ඉතුරු වෙලා තියෙන තෙල් ටික ඒ කෙනාගේ ඔළුවේ ගාන්න ඕනේ. ඒ කෙනා වෙනුවෙන් යෙහෝවා ඉස්සරහා සමාව ලබාගන්න පූජකයා එහෙම කළ යුතුයි.

30 “තමන්ගේ වත්කමේ හැටියට+ ඒ කෙනා ගෙනාපු එක පරෙවියෙක්ව හරි එක කොබෙයියෙක්ව හරි පූජකයා ඔප්පු කළ යුතුයි. 31 වත්කමේ හැටියට ඔහු ගෙනාපු කුරුල්ලන්ගෙන් එකෙක්ව පාප පූජාවක් හැටියටත් අනිකාව දවන පූජාවක්+ හැටියටත් ඔප්පු කළ යුතුයි. ඔහු ඒවා ඔප්පු කළ යුත්තේ ධාන්‍ය පූජාවත් එක්ක. පවිත්‍ර වෙන්න යෙහෝවා ඉස්සරහට ආපු කෙනාට සමාව ලබාගන්න පූජකයා ඒ විදිහට කළ යුතුයි.+

32 “ලාදුරු රෝගය හැදිලා හිටපු කෙනෙක්ට පවිත්‍ර වීම සඳහා අවශ්‍ය දේවල් ගේන්න තරම් වත්කමක් නැත්නම් ඔහු පිළිපැදිය යුතු නීතිය ඒකයි.”

33 යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා. 34 “මං උරුමයක්+ හැටියට දෙන කානාන් දේශයට+ ඔබ ආවාම ඔබේ ගෙයක ලාදුරු රෝගය ඇති කරන විෂබීජය* ඇති වෙන්න මං ඉඩහැරියොත්+ 35 ඒ ගෙදර අයිතිකාරයා පූජකයා ළඟට ගිහිල්ලා මෙහෙම කියන්න ඕනේ. ‘මගේ ගෙදර බිත්තියේ පැල්ලමක් තියෙනවා. ඒක මොකක් හරි විෂබීජයක් වෙන්න පුළුවන්.’ 36 පූජකයා ඒ ගෙදර පරීක්ෂා කරලා බලන්න එන්න කලින් ගෙදර තියෙන ඔක්කොම බඩු මුට්ටු අයින් කරන්න කියලා අණ කළ යුතුයි. එහෙම කළේ නැත්නම් ඔහුට වෙයි ගෙදර තියෙන ඔක්කොම බඩු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කරන්න. ඔක්කොම බඩු අයින් කළාට පස්සේ පූජකයා ඇවිත් ගෙදර පරීක්ෂා කරලා බැලිය යුතුයි. 37 කොළ පාටට හුරු හරි රතු පාටට හුරු හරි පැල්ලමක් බිත්තිවල තියෙනවා නම් ඒක බිත්තිය ඇතුළටම කාවැදිලා කියලා පේනවා නම් 38 පූජකයා ගෙදරින් එළියට ගිහිල්ලා ඒක දවස් හතක් වහලා තියන්න කියලා අණ කළ යුතුයි.+

39 “හත්වෙනි දවසේදී පූජකයා ආයෙත් ඇවිල්ලා පැල්ලම පරීක්ෂා කරලා බැලිය යුතුයි. පැල්ලම බිත්තිවල පැතිරිලා නම් 40 පැල්ලම පැතිරිලා තියෙන ගඩොල් ගලවලා ඒවා නගරයෙන් පිට අපවිත්‍ර දේවල් වීසි කරන තැනකට ගිහින් දාන්න කියලා පූජකයා අණ කළ යුතුයි. 41 ඊටපස්සේ ගෙදර ඇතුළේ තියෙන බිත්තිවල බදාම ඔක්කොම හූරන්න කියලත් හූරලා අයින් කරපු හැම දෙයක්ම නගරයෙන් පිට අපවිත්‍ර දේවල් වීසි කරන තැනකට ගිහින් දාන්න කියලත් ඔහු අණ කළ යුතුයි. 42 අලුත් බදාම සහ අලුත් ගඩොල් පාවිච්චි කරලා බිත්තිවල කඩපු තැන් ආයෙත් බැඳලා කපරාරු කළ යුතුයි.

43 “පැල්ලම පැතිරිලා තිබුණ ගඩොල් ගලවලා, බිත්ති හූරලා, අලුතින් කපරාරු කළාට පස්සෙත් පැල්ලමක් ආයෙත් මතු වුණොත් 44 පූජකයා ආයෙත් ඇවිල්ලා ගෙදර පරීක්ෂා කරලා බැලිය යුතුයි. පැල්ලම බිත්තිවල පැතිරිලා නම් ඒක ඉක්මනින් පැතිරෙන විෂබීජයක්.+ ඒ ගෙදර අපවිත්‍රයි. 45 ඔහු සම්පූර්ණ ගේම කඩලා දාලා ඒකේ ගඩොල්, ලී සහ බදාම ටික ඔක්කොම නගරයෙන් පිට අපවිත්‍ර දේවල් වීසි කරන තැනකට ගිහින් දැමිය යුතුයි.+ 46 ගෙදර වහලා තියපු කාලේ+ කවුරු හරි ඒක ඇතුළට ගියොත් ඔහු එදා හවස් වෙන කල් අපවිත්‍ර වෙනවා.+ 47 කවුරු හරි කෙනෙක් ඒ ගෙදර නිදාගත්තොත් හරි කෑම කෑවොත් හරි ඔහු තමන්ගේ ඇඳුම් හෝදගන්න ඕනේ.

48 “ගෙදර අලුතින් කපරාරු කළාට පස්සේ පූජකයා ඇවිල්ලා ඒක පරීක්ෂා කරලා බලද්දී පැල්ලම බිත්තිවල පැතිරිලා නැහැ කියලා පේනවා නම් ඔහු ඒ ගෙදර පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. මොකද විෂබීජය ගෙදරින් නැති වෙලා. 49 ගෙදර පවිත්‍ර කරන්න කුරුල්ලන් දෙන්නෙකුයි, දේවදාර අත්තකුයි, තද රතු රෙද්දකුයි, හිසොප් මිටියකුයි අවශ්‍යයි.+ 50 දිය පහරකින් වතුර ටිකක් මැටි භාජනයකට අරගෙන එක කුරුල්ලෙක්ව ඒ භාජනයට උඩින් අල්ලලා මැරිය යුතුයි. 51 ඊටපස්සේ අනිත් කුරුල්ලාවයි, දේවදාර අත්තයි, තද රතු රෙද්දයි, හිසොප් මිටියයි අරගෙන වතුර භාජනයට උඩින් අල්ලලා මරපු කුරුල්ලාගේ ලේවල ගිල්විය යුතුයි. පූජකයා ඒ ලේ ගේ දිහාවට හත් පාරක් ඉසිය යුතුයි.+ 52 ඒ විදිහට ඔහු කුරුල්ලාගේ ලේයි, දිය පහරකින් ගත්ත වතුර ටිකයි, පණ ඇති කුරුල්ලායි, දේවදාර අත්තයි, තද රතු රෙද්දයි, හිසොප් මිටියයි අරගෙන ගෙදර පවිත්‍ර කළ යුතුයි. 53 ඊටපස්සේ ඔහු පණ ඇති කුරුල්ලාව නගරයෙන් එළියට අරන් ගිහින් ඌට නිදැල්ලේ යන්න හැරිය යුතුයි. ඒ විදිහට ඔහු ඒ ගෙදරින් අපවිත්‍රකම අයින් කළ යුතුයි. ඊටපස්සේ ඒක පවිත්‍රයි කියලා සලකන්න පුළුවන්.

54 “ලාදුරු රෝගය හැදුණොත් හරි ඔළුවේ නැත්නම් රැවුලේ රෝගයක් ඇති වුණොත් හරි+ 55 ඇඳුමක+ නැත්නම් ගෙදරක+ ලාදුරු රෝගය ඇති කරන විෂබීජය මතු වුණොත් හරි 56 දදයක් වගේ දෙයක්, තුවාලයක් නැත්නම් ලපයක් මතු වුණොත්+ හරි 57 ඒ කෙනාව නැත්නම් ඒ දේ පවිත්‍රද අපවිත්‍රද කියලා තීරණය කරන්න+ පිළිපැදිය යුතු නීතිය ඒකයි. ලාදුරු රෝගය ගැන නීතිය ඒකයි.”+

15 යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘පිරිමි කෙනෙක්ගේ ලිංගේන්ද්‍රියෙන්* ශ්‍රාවයක් ගලනවා නම් ඒ කෙනා ඉන්නේ අපවිත්‍ර තත්වයක.+ 3 ඒ ශ්‍රාවය ඔහුගේ ලිංගේන්ද්‍රියෙන් පිටතට ගලනවා නම් හරි ඒ ශ්‍රාවය එතන රැඳිලා ලිංගේන්ද්‍රිය අවහිර කරනවා නම් හරි ඔහු අපවිත්‍රයි.

4 “‘ඒ වගේ කෙනෙක් ඇඳක හාන්සි වෙනවා නම් ඒ ඇඳ අපවිත්‍රයි කියලා සැලකිය යුතුයි. ඔහු යම් තැනක ඉඳගත්තොත් ඒකත් අපවිත්‍ර වෙනවා. 5 කවුරු හරි ඔහුගේ ඇඳ ඇල්ලුවොත් ඒ කෙනා තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ 6 ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාවයක් ගලන කෙනෙක් ඉඳගත්ත තැනක කවුරු හරි ඉඳගත්තොත් ඔහු තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් හැටියට වෙන් වෙලා සිටිය යුතුයි. 7 ශ්‍රාවයක් ගලන කෙනෙක්ව අල්ලන ඕනෙම කෙනෙක් තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් හැටියට වෙන් වෙලා සිටිය යුතුයි. 8 ශ්‍රාවයක් ගලන කෙනාගේ කෙළ පවිත්‍ර කෙනෙක්ගේ ඇඟේ වැදුණොත් ඔහු තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් හැටියට වෙන් වෙලා සිටිය යුතුයි. 9 ශ්‍රාවයක් ගලන කෙනා සතුන් පිට දාන සෑදලයක් උඩ ඉඳගත්තොත් ඒකත් අපවිත්‍ර වෙනවා. 10 ඔහු ඉඳගෙන හිටපු දෙයක් අල්ලන ඕනෙම කෙනෙක් හවස් වෙන කල් අපවිත්‍රයි. කෙනෙක් ඔහු ඉඳගත්ත දේ තව තැනකට අරගෙන ගියොත් ඒ කෙනා තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් හැටියට වෙන් වෙලා සිටිය යුතුයි. 11 ශ්‍රාවයක් ගලන කෙනා+ තමන්ගේ අත් හෝදන්නේ නැතුව කෙනෙක්ව ඇල්ලුවොත් ඒ කෙනා තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් හැටියට වෙන් වෙලා සිටිය යුතුයි. 12 ශ්‍රාවයක් ගලන කෙනා මැටි භාජනයක් ඇල්ලුවොත් ඒක බිඳලා දැමිය යුතුයි. ඔහු ලී භාජනයක් ඇල්ලුවොත් ඒක වතුරෙන් සේදිය යුතුයි.+

13 “‘ඒ කෙනාගේ ශරීරයෙන් ශ්‍රාවය ගලන එක නතර වුණොත් ඒක නතර වෙලා දවස් හතකට පස්සේ ඔහු තමන්ගේ ඇඳුම් හෝදගෙන පිරිසිදු වතුරෙන් නාගන්න ඕනේ. ඊටපස්සේ ඔහුව පවිත්‍ර කෙනෙක් විදිහට සලකන්න පුළුවන්.+ 14 අටවෙනි දවසේදී ඔහු කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව+ හරි අරගෙන හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන ඒ කියන්නේ යෙහෝවා ඉස්සරහට ඇවිත් පූජකයාට උන්ව දිය යුතුයි. 15 පූජකයා උන්ගෙන් එකෙක්ව පාප පූජාවක් හැටියටත් අනිකාව දවන පූජාවක් හැටියටත් ඔප්පු කළ යුතුයි. ඊටපස්සේ පූජකයා යෙහෝවා ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් සමාව ලබාගත යුතුයි.

16 “‘පුරුෂයෙක්ගෙන් ශුක්‍රාණු පිට වුණොත් ඔහු නාගන්න ඕනේ. ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් හැටියට වෙන් වෙලා සිටිය යුතුයි.+ 17 ඇඳුමක හරි හම්වලින් හදපු ඕනෙම දෙයක හරි ශුක්‍රාණු වැදුණොත් ඒක වතුරෙන් හෝදන්න ඕනේ. ඒක හවස් වෙන කල් අපවිත්‍ර දෙයක් හැටියට වෙන් කරලා තැබිය යුතුයි.

18 “‘පුරුෂයෙක් ස්ත්‍රියක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවාම ශුක්‍රාණු පිට වීමක් වෙන නිසා ඔවුන් දෙන්නාම අපවිත්‍ර තත්වයකට පත් වෙනවා. ඒ නිසා ඔවුන් දෙන්නාම නාගෙන හවස් වෙන කල් වෙන් වෙලා සිටිය යුතුයි.+

19 “‘කාන්තාවකගේ ශරීරයෙන් ලේ ගලනවා නම් ඒක ඇගේ ඔසප් දවස්. ඔසප් වීම නිසා ඇයව අපවිත්‍ර කෙනෙක් හැටියට සැලකිය යුතුයි. ඇය දවස් හතක් වෙන් වෙලා සිටිය යුතුයි.+ ඇයව අල්ලන ඕනෙම කෙනෙක් හවස් වෙන කල් අපවිත්‍ර වෙනවා.+ 20 ඔසප් වීම නිසා අපවිත්‍ර වෙලා ඉන්න කාලේදී ඇය මොකක් හරි දේක හාන්සි වුණොත් නැත්නම් ඉඳගත්තොත් ඒක අපවිත්‍ර දෙයක් හැටියට සැලකිය යුතුයි.+ 21 ඇගේ ඇඳ කවුරු හරි ඇල්ලුවොත් ඒ කෙනා තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. ඔහු අපවිත්‍ර තත්වයක ඉන්න නිසා හවස් වෙන කල් වෙන් වෙලා සිටිය යුතුයි. 22 කවුරු හරි ඇය ඉඳගත්ත තැන ඇල්ලුවොත් ඔහුත් තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් හැටියට වෙන් වෙලා සිටිය යුතුයි. 23 ඇය ඉඳගත්ත ඇඳ හරි වෙන ඕනෙම දෙයක් හරි අල්ලන කෙනෙක් හවස් වෙන කල් අපවිත්‍ර වෙනවා.+ 24 පුරුෂයෙක් ස්ත්‍රියක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වද්දී ඇගේ ඔසප් වීම නිසා පිට වෙන ලේ ඔහුගේ ඇඟේ වැදුණොත්+ ඔහුව දවස් හතක් යන කල් අපවිත්‍රයි කියලා සැලකිය යුතුයි. ඔහු ඒ කාලේදී ඇඳක හාන්සි වුණොත් ඒකත් අපවිත්‍ර වෙනවා.

25 “‘කාන්තාවකගේ ඔසප් දවස් ඇර+ වෙනත් දවස්වලදීත් දවස් ගාණක් තිස්සේ ඇගේ ශරීරයෙන් ලේ ගලන්න පුළුවන්.+ එහෙම නැත්නම් ඔසප් වීම සාමාන්‍ය දවස් ගාණට වඩා වැඩි කාලයක් තියෙන්න පුළුවන්. ඒ අපවිත්‍ර ශ්‍රාවය ගලන කාලේ පුරාම ඔසප් දවස්වලදී වගේ ඇයව අපවිත්‍ර කෙනෙක් විදිහට සැලකිය යුතුයි. 26 ඒ කාලේදී ඇය ඇඳක හාන්සි වුණොත් හරි මොකක් හරි දේක ඉඳගත්තොත් හරි ඇගේ ඔසප් වීම වෙන කාලේදී වගේ ඒවා අපවිත්‍ර දේවල් විදිහට සැලකිය යුතුයි.+ 27 ඒ දේවල් අල්ලන ඕනෙම කෙනෙක් තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. ඔහු හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් හැටියට වෙන් වෙලා සිටිය යුතුයි.+

28 “‘ඒත් ඇගේ ශරීරයෙන් ශ්‍රාවය ගලන එක නතර වුණාම ඒක නතර වෙලා දවස් හතකට පස්සේ ඇයව පවිත්‍ර කෙනෙක් හැටියට සලකන්න පුළුවන්.+ 29 අටවෙනි දවසේදී ඇය කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන්+ දෙන්නෙක්ව හරි අරගෙන හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඇවිත් පූජකයාට උන්ව දිය යුතුයි.+ 30 පූජකයා උන්ගෙන් එකෙක්ව පාප පූජාවක් හැටියටත් අනිකාව දවන පූජාවක් හැටියටත් ඔප්පු කළ යුතුයි. ඊටපස්සේ ශ්‍රාවය ගලලා අපවිත්‍ර වුණ ඇය වෙනුවෙන් පූජකයා යෙහෝවා ඉස්සරහා සමාව ලබාගත යුතුයි.+

31 “‘ඔබ ඊශ්‍රායෙල් සෙනඟට පවිත්‍රව ඉන්න උදව් කළ යුතුයි. මොකද ඔවුන් අපවිත්‍ර තත්වයකට පත් වුණොත් ඔවුන් අතරේ තියෙන මගේ ශුද්ධ කූඩාරමත් අපවිත්‍ර වෙයි.+ එහෙම වුණොත් ඒකට ඔවුන්ගේ ජීවිතවලින් ඔවුන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙයි.

32 “‘ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාවයක් ගැලීම නිසා හරි ශුක්‍රාණු පිට වීම නිසා හරි අපවිත්‍ර වෙන පුරුෂයෙක් පිළිපදින්න ඕනෙ නීතිය ඒකයි.+ 33 ඔසප් දවස්වලදී අපවිත්‍රව ඉන්න ස්ත්‍රියකුත්+ ශ්‍රාවයක් ගලන පුරුෂයෙක් වගේම ස්ත්‍රියකුත්+ නැත්නම් අපවිත්‍රව ඉන්න ස්ත්‍රියක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන පුරුෂයෙකුත් ඒ නීතිය පිළිපැදිය යුතුයි.’”

16 යෙහෝවා දෙවියන්ට අගෞරව වෙන විදිහට ඔහු ඉස්සරහට ගිය ආරොන්ගේ පුතාලා දෙන්නාගේ මරණයෙන් පස්සේ යෙහෝවා මෝසෙස්ට කතා කළා.+ 2 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔබේ සහෝදරයා වන ආරොන්ට කියන්න තිරයට පිටිපස්සේ+ තියෙන අතිශුද්ධස්ථානයේ* තියලා තියෙන ගිවිසුම් පෙට්ටිය ඉස්සරහට ඔහුට හිතෙන හිතෙන වෙලාවලදී එන්න බැහැ+ කියලා. එහෙම ආවොත් ඔහු මැරෙනවා.+ මොකද ගිවිසුම් පෙට්ටියේ පියනට*+ ඉහළින් තියෙන වලාකුළේ+ මම පෙනී ඉන්නවා.

3 “ආරොන් අතිශුද්ධස්ථානයට ඇතුල් වෙන්න කලින් පාප පූජාවක්+ හැටියට වස්සෙක්වයි, දවන පූජාවක්+ හැටියට බැටළුවෙක්වයි ඔප්පු කළ යුතුයි. 4 මුලින් ඔහු නාලා+ ඊටපස්සේ ලිනන් රෙදිවලින්+ මහපු යට කලිසමයි,+ ලිනන් රෙද්දෙන් මහපු ශුද්ධ ඇඳුමයි ඇඳලා ලිනන් පටිය+ ඉණ වටේ බැඳගන්න ඕනේ. ඊටපස්සේ ලිනන්වලින් හදපු විශේෂ හිස්වැස්ම+ පැලඳිය යුතුයි. ඒවා ශුද්ධ ඇඳුම්.+

5 “ඊශ්‍රායෙල් සෙනඟ+ පාප පූජාවක් හැටියට එළු පැටව් දෙන්නෙක්වයි, දවන පූජාවක් හැටියට බැටළුවෙක්වයි ඔහුට දිය යුතුයි.

6 “ආරොන් පාප පූජාවට ගෙනාපු වස්සාව ඉස්සරහට ගෙනා යුතුයි. ඒ පාප පූජාව ඔප්පු කරන්නේ ඔහු වෙනුවෙන්. ඔහු ඒක ඔප්පු කරලා ඔහු වෙනුවෙනුයි,+ ඔහුගේ පවුලේ* අය වෙනුවෙනුයි සමාව ලබාගත යුතුයි.

7 “ඊටපස්සේ ඔහු එළුවන් දෙන්නාව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ කියන්නේ යෙහෝවා ඉස්සරහට අරගෙන එන්න ඕනේ. 8 ආරොන් එළුවන් දෙන්නා වෙනුවෙන් දාදු දාලා එකෙක් යෙහෝවා වෙනුවෙනුත් අනිකා අෂාෂෙල්* වෙනුවෙනුත් තෝරගත යුතුයි. 9 යෙහෝවා වෙනුවෙන් තෝරගත්ත එළුවාව+ ආරොන් පාප පූජාවක් හැටියට ඔප්පු කළ යුතුයි. 10 අෂාෂෙල් වෙනුවෙන් තෝරගත්ත එළුවාව මරන්න එපා. සමාව ලබාගන්න ඌව යෙහෝවා ඉස්සරහට ගෙනා යුතුයි. ඊටපස්සේ අෂාෂෙල් වෙනුවෙන් ඌව පාළුකරයට යැවිය යුතුයි.+

11 “තමන්ගේ වැරදි වෙනුවෙන් පාප පූජාවක් හැටියට ගෙනාපු වස්සාව ආරොන් පූජාසනය ළඟට ගෙනල්ලා ඔහු වෙනුවෙනුයි,+ ඔහුගේ පවුලේ* අය වෙනුවෙනුයි සමාව ඉල්ලිය යුතුයි. ඊටපස්සේ ඔහු ඒ වස්සාව මැරිය යුතුයි.

12 “ඔහු යෙහෝවා ඉස්සරහා තියෙන පූජාසනයෙන් ඇවිළෙන ගිනි අඟුරු අරගෙන+ සුවඳ දුම් ඔප්පු කරන භාජනය+ පුරවගත යුතුයි. සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකකුයි,+ සුවඳ දුම් ඔප්පු කරන භාජනයයි අරගෙන ඔහු තිරයට පිටිපස්සේ තියෙන අතිශුද්ධස්ථානයට යා යුතුයි.+ 13 ඔහු ගිනි අඟුරුවලට උඩින් සුවඳ ද්‍රව්‍ය දාලා යෙහෝවා ඉස්සරහා ඒවා දැවිය යුතුයි.+ ඒකෙන් නඟින දුමෙන් ගිවිසුම් පෙට්ටියේ+ ආවරණය වැහිලා යයි.+ එහෙම කළේ නැත්නම් ඔහු මැරෙනවා.

14 “ඔහු ඇඟිල්ලට වස්සාගේ ලේවලින්+ ටිකක් අරගෙන ගිවිසුම් පෙට්ටිය* ඉස්සරහා නැඟෙනහිර පැත්තට ඒක ඉසිය යුතුයි. ඒ විදිහට ඔහු ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා හත් පාරක් ලේ ඉසිය යුතුයි.+

15 “ඊටපස්සේ සෙනඟගේ වැරදි+ වෙනුවෙන් පාප පූජාවක් හැටියට ඔප්පු කරන්න ගෙනාපු එළුවාව ඔහු මැරිය යුතුයි. ඔහු එළුවාගේ ලේ අරගෙන තිරයට පිටිපස්සේ+ තියෙන අතිශුද්ධස්ථානයට යා යුතුයි. වස්සාගේ ලේ ඉස්ස විදිහටම උගේ ලේත්+ ගිවිසුම් පෙට්ටිය* ඉස්සරහා ඉසිය යුතුයි.

16 “එහෙම කරලා දෙවියන්ට පිළිගන්න පුළුවන් වෙන්න ආරොන් ශුද්ධස්ථානය පවිත්‍ර කළ යුතුයි. එහෙම කරන්න ඕනෙ ඊශ්‍රායෙල් සෙනඟගේ අපවිත්‍රකම්වලින්, දෙවියන්ට විරුද්ධව කරපු දේවල්වලින් සහ ඔවුන්ගේ වැරදිවලින්+ ඒක අපවිත්‍ර වෙලා තියෙන නිසයි. ඒ අපවිත්‍ර සෙනඟ අතරේ තියෙන හමු වීමේ කූඩාරමත් ඔහු ඒ විදිහට පවිත්‍ර කළ යුතුයි.

17 “සමාව ලබාගන්න ඔහු ශුද්ධස්ථානයට ඇතුල් වෙද්දී හමු වීමේ කූඩාරමේ කිසිම කෙනෙක්ට ඉන්න අවසර නැහැ. ඔහු එළියට එන කල් කිසිම කෙනෙක් කූඩාරමට ඇතුල් නොවිය යුතුයි. ඔහු තමන් වෙනුවෙනුත් තමන්ගේ පවුලේ* අය වෙනුවෙනුත්+ මුළු ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙනුත්+ සමාව ලබාගත යුතුයි.

18 “ඔහු ශුද්ධස්ථානයෙන් එළියට ඇවිත් යෙහෝවා ඉස්සරහා තියෙන පූජාසනය ළඟට+ ගිහින් ඒක දෙවියන්ට පිළිගන්න පුළුවන් විදිහට පවිත්‍ර කළ යුතුයි. වස්සාගේ ලේවලින් ටිකකුයි, එළුවාගේ ලේවලින් ටිකකුයි අරගෙන පූජාසනය වටේ තියෙන අංවල ගාන්න ඕනේ. 19 ඔහු ඇඟිල්ලට ලේ ටිකක් අරගෙන ඒක පූජාසනය උඩට හත් පාරක් ඉසිය යුතුයි. ඒ විදිහට ඊශ්‍රායෙල් සෙනඟගේ අපවිත්‍රකම්වලින් පූජාසනය පවිත්‍ර කරලා ඒක පරිශුද්ධ දෙයක් විදිහට කැප කරලා තැබිය යුතුයි.

20 “ශුද්ධස්ථානය, හමු වීමේ කූඩාරම සහ පූජාසනය+ දෙවියන්ට පිළිගන්න පුළුවන් විදිහට පවිත්‍ර කළාට පස්සේ+ ඔහු පණ ඇති එළුවාව ගෙනා යුතුයි.+ 21 ඊටපස්සේ ආරොන් ඔහුගේ අත් දෙකම එළුවාගේ ඔළුවේ තියලා ඊශ්‍රායෙල් සෙනඟ අතින් වුණ හැම වරදක් ගැනමත් දෙවියන්ට විරුද්ධව කරපු අනිත් හැම දෙයක් ගැනමත් හෙළි කළ යුතුයි. ඒක හරියට ඔවුන් කරපු හැම වරදක්ම එළුවා පිට පටවනවා වගේ දෙයක්.+ ඊටපස්සේ ඌව ගෙනියන්න පත් කරන කෙනා* ඌව පාළුකරයට ගෙන යා යුතුයි. 22 ඔහු එළුවාව පාළුකරයට යැවිය යුතුයි.+ ඒ විදිහට ඌ සෙනඟ අතින් වුණ හැම වරදක්ම ඌ පිටට අරගෙන+ පාළුකරයට+ යනවා.

23 “ඊටපස්සේ ආරොන් හමු වීමේ කූඩාරම ඇතුළට ඇවිත් ඔහු ශුද්ධස්ථානයට යද්දී ඇඳගෙන හිටපු ලිනන් ඇඳුම් ගලවලා එතන පැත්තකින් තැබිය යුතුයි. 24 ඊටපස්සේ ඔහු ශුද්ධ තැනකදී නාගෙන+ ඔහුගේ පූජක ඇඳුම් ඇඳගත යුතුයි.+ ඊළඟට ඔහු පූජාසනය ළඟට ඇවිත් තමන් වෙනුවෙන් ගෙනාපු දවන පූජාවයි,+ සෙනඟ ගෙනාපු දවන පූජාවයි+ ඔප්පු කරලා තමන් වෙනුවෙන් සහ සෙනඟ වෙනුවෙන් සමාව ලබාගත යුතුයි.+ 25 පාප පූජාවට ගෙනාපු සතුන්ගේ තෙල් කොටස් ඔහු පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි.

26 “අෂාෂෙල්+ වෙනුවෙන් යවපු එළුවා එක්ක ගිය කෙනා තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගත යුතුයි. ඊටපස්සේ ඔහුට කඳවුර ඇතුළට එන්න පුළුවන්.

27 “පාප පූජාවට මරපු වස්සාගෙයි, එළුවාගෙයි ලේ ශුද්ධස්ථානයට අරන් ගිහින් සමාව ලබාගත්තාට පස්සේ ඒ සතුන්ගේ හමයි, මසුයි, අසූචියි කඳවුරෙන් එළියට අරන් ගිහින් ගින්නෙන් පුච්චන්න ඕනේ.+ 28 ඒවා පුච්චපු කෙනා තමන්ගේ ඇඳුම් හෝදගෙන නාගත යුතුයි. ඊටපස්සේ ඔහුට කඳවුර ඇතුළට එන්න පුළුවන්.

29 “ඔබ දිගටම මේ පනත පිළිපැදිය යුතුයි. හත්වෙනි මාසේ දහවෙනිදා ඔබේ වැරදි ගැන ඔබ දුක් වෙනවා කියලා පෙන්නන්න ඕනේ.* ඒ දවසේ කිසිම වැඩක් කරන්න ඔබට අවසර නැහැ.+ ඔබත් ඔබ අතරේ ජීවත් වෙන විදේශිකයනුත් ඒ පනත පැවැත්විය යුතුයි. 30 මේ දවසේදී දෙවියන් ඔබ එක්ක සමාදාන වෙනවා.+ ඔහු ඔබව පවිත්‍ර කරයි. ඔබේ වැරදිවලට සමාව ලැබෙන නිසා යෙහෝවා ඔබව පවිත්‍ර අය හැටියට සලකනවා.+ 31 ඒක මුළු දවසම විවේකයෙන් ගත කළ යුතු සබත් දවසක්. ඒ දවසේදී ඔබේ වැරදි ගැන ඔබ දුක් වෙනවා කියලා පෙන්නන්න ඕනේ.+ ඔබ ඒක දිගටම පැවැත්විය යුතු පනතක්.

32 “තමන්ගේ තාත්තාගෙන් පස්සේ+ උත්තම පූජකයා+ විදිහට සේවය කරන්න අභිෂේක කරන*+ කෙනා ශුද්ධ ලිනන්+ ඇඳුම්+ ඇඳලා සමාව ලබාගන්න පූජා ඔප්පු කළ යුතුයි. 33 ඔහු ඒ පූජා අතිශුද්ධස්ථානය,+ හමු වීමේ කූඩාරම+ සහ පූජාසනය+ පවිත්‍ර කරන්නත් පූජකයන්ගේ සහ ඊශ්‍රායෙල් සෙනඟගේ වැරදි වෙනුවෙනුත් ඔප්පු කළ යුතුයි.+ 34 ඊශ්‍රායෙල් සෙනඟගේ හැම වරදකටම සමාව ලබාගන්න අවුරුද්දකට වතාවක්+ එහෙම කළ යුතුයි. ඒක ඔබ දිගටම පිළිපැදිය යුතු පනතක්.”+

යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු විදිහටම ආරොන් කළා.

17 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඔබ ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි මෙහෙම කියන්න ඕනේ. ‘යෙහෝවා දුන්න ආඥාව මේකයි.

3 “‘“ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න කිසිම කෙනෙක්ට කඳවුර ඇතුළේ නැත්නම් කඳවුරෙන් පිටතදී වස්සෙක්ව හරි බැටළු පැටියෙක්ව හරි එළු පැටියෙක්ව හරි මරන්න අවසර නැහැ. 4 ඒ වෙනුවට යෙහෝවාගේ ශුද්ධ කූඩාරම ඉස්සරහට ඒ කියන්නේ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ සතාව ගෙනා යුතුයි. යෙහෝවාට ඔප්පු කරන පූජාවක් විදිහට ඌව ගෙනා යුතුයි. ඒත් කඳවුර ඇතුළේ හරි පිටතදී හරි කෙනෙක් සතෙක්ව මැරුවොත් ඔහු ඒ ලේවලට වග කියන්න ඕනේ. අනුමත නොකරන විදිහට ලේ හලපු නිසා ඔහු වරදකරුවෙක්. ඒ වරදට ඔහුව මරා දැමිය යුතුයි. 5 ඒ ආඥාව දෙන්නේ ඊශ්‍රායෙල් සෙනඟ එළිමහනේ සතුන්ව මරලා පූජා කරනවා වෙනුවට උන්ව යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ නිසයි. ඔවුන් ඒ සතුන්ව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනල්ලා පූජකයාට භාර දිය යුතුයි. ඔවුන් ඒ සතුන්ව යෙහෝවාට හවුල් පූජාවන් විදිහට ඔප්පු කළ යුතුයි.+ 6 හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන යෙහෝවාගේ පූජාසනය මත පූජකයා ඒ සතුන්ගේ ලේ ඉසිය යුතුයි. ඒ සතාගේ තෙල් කොටස් පූජාසනය මත දැවිය යුතුයි. ඒකෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+ 7 ඔවුන් දෙවියන්ට ද්‍රෝහි වෙලා+ එළුවන්ගේ පෙනුම තියෙන දෙවි දේවතාවන්ට*+ පුදපූජා ඔප්පු කරන එක දැන් අත්හැරිය යුතුයි. ඒක පරම්පරාවෙන් පරම්පරාවට ඔබ දිගටම පැවැත්විය යුතු පනතක්.”’

8 “ඔබ ඔවුන්ට මෙහෙම කියන්න. ‘දවන පූජාවක් හරි වෙන ඕනෙම පූජාවක් හරි ඔප්පු කරන ඊශ්‍රායෙල් ජාතිකයෙක් නැත්නම් ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් 9 ඒ සතාව යෙහෝවාට ඔප්පු කරන්න හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනාවේ නැත්නම් ඔහුව මරා දැමිය යුතුයි.+

10 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙක් නැත්නම් ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් මොනම ජීවියෙක්ගේ හරි ලේ* කෑමට ගත්තොත්+ මම ඔහුව ප්‍රතික්ෂේප කරනවා. මම ඔහුව මරලා දානවා. 11 මොකද පණ තියෙන හැම ජීවියෙක්ගෙම ජීවිතය පවතින්නේ ලේ නිසයි.*+ මම ලේ පාවිච්චි කරන්න ඉඩ දුන්නේ මාත් එක්ක සාමකාමී බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙන්න පූජාසනය මත ඔප්පු කරන්නයි.+ ලේවල ජීවය තියෙන නිසා ඔබේ වැරදිවලට සමාව ලබාගන්න පුළුවන් ලේ මාර්ගයෙන් විතරයි.+ 12 “ඔබෙන් කිසිම කෙනෙක්ට ලේ කෑමට ගන්න අවසර නැහැ. ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයනුත්+ ලේ කෑමට නොගත යුතුයි”+ කියලා මම ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ ඒ නිසයි.

13 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙක් හරි ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් හරි කෑමට ගන්න පුළුවන් සතෙක්ව නැත්නම් කුරුල්ලෙක්ව දඩයම් කළොත් ඔහු උගේ ලේ බිමට වක් කරලා+ පස්වලින් වසා දැමිය යුතුයි. 14 මොකද පණ තියෙන හැම ජීවියෙක්ගෙම ජීවය තියෙන්නේ ලේවලයි. ලේ ජීවිතයට සමානයි. ඒ නිසයි මම ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වේ. “ඔබ මොනම ජීවියෙක්ගෙවත් ලේ නොකෑ යුතුයි. මොකද ලේ ජීවිතයට සමානයි. ඒ නිසා ලේ කෑමට ගන්න ඕනෙම කෙනෙක්ව මරා දැමිය යුතුයි.”+ 15 ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් මැරිලා හිටපු සතෙක්ව හරි වනසතෙක් මරලා දාපු සතෙක්ව හරි කෑමට ගත්තොත්+ ඔහු තමන්ගේ ඇඳුම් හෝදලා, නාගෙන හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ ඊටපස්සේ ඔහුව පවිත්‍ර කෙනෙක් හැටියට සලකන්න පුළුවන්. 16 ඒත් ඔහු ඇඳුම් හෝදගෙන නාගත්තේ නැත්නම් ඒ වරදට ඔහුට දඬුවම් ලැබෙනවා.’”+

18 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘යෙහෝවා වන මම තමයි ඔබේ දෙවියන්.+ 3 ඔබ ජීවත් වුණ ඊජිප්තු දේශයේ මිනිස්සු වගේවත් මං ඔබව අරගෙන යන කානාන් දේශයේ මිනිස්සු වගේවත් වැඩ කරන්න එපා.+ ඔවුන්ගේ චාරිත්‍ර අනුගමනය කරන්නත් එපා. 4 ඔබ මගේ තීන්දුවලට යටත් විය යුතුයි. මගේ පනත්වලට කීකරු වෙලා ඒවා අනුව ජීවත් විය යුතුයි.+ යෙහෝවා වන මම තමයි ඔබේ දෙවියන්. 5 ඔබ මගේ පනත්වලට සහ මගේ තීන්දුවලට කීකරු විය යුතුයි. කෙනෙක් ඒවා පිළිපදිනවා නම් ඒකෙන් ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනවා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

6 “‘ඔබ අතරේ ඉන්න කිසිම පුරුෂයෙක් ඔහුගේ කිට්ටු නෑයෙක් එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා. 7 ඔබේ පියා එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ මව එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න එපා. ඔබව බිහි කළේ ඇයයි. ඒ නිසා ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම්.

8 “‘ඔබේ පියාගේ බිරිඳ එක්ක ඔබ ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ ඒක ඔබේ පියාට කරන නින්දාවක්.

9 “‘ඔබේ සහෝදරිය එක්ක ඔබ ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඇය ඔබේ පියාගේ දුව වුණත් මවගේ දුව වුණත් ඔබේ ගෙදර ඉපදුණ කෙනෙක් වුණත් වෙනත් ගෙදරක ඉපදුණ කෙනෙක් වුණත් ඔබ ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+

10 “‘ඔබේ පුතාගේ දුව එක්කවත් දුවගේ දුව එක්කවත් ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද එහෙම කරන එක ඔබ ඔබටම කරගන්න නින්දාවක්.

11 “‘ඔබේ පියාට වෙන බිරිඳකගෙන් ඉපදුණ දුවෙක් ඉන්නවා නම් ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද ඇය ඔබේ සහෝදරිය.

12 “‘ඔබේ පියාගේ සහෝදරිය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද ඇය ඔබේ පියාගේ ලේ නෑයෙක්.+

13 “‘ඔබේ මවගේ සහෝදරිය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද ඇය ඔබේ මවගේ ලේ නෑයෙක්.

14 “‘ඔබේ පියාගේ සහෝදරයාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කරන එක ඔහුට කරන නින්දාවක්. මොකද ඇය ඔබේ කිට්ටු නෑයෙක්.+

15 “‘ඔබේ ලේළි+ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඇය ඔබේ පුතාගේ බිරිඳ. ඒ නිසා ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම්.

16 “‘ඔබේ සහෝදරයාගේ බිරිඳ+ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කරන එක ඔබේ සහෝදරයාට කරන නින්දාවක්.

17 “‘ඔබ ස්ත්‍රියක් එක්ක විවාහ වුණොත් ඇගේ දුව+ එක්ක හරි ඇගේ මිනිපිරිය* එක්ක හරි ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔවුන් ඇගේ ලේ නෑයන් වෙන නිසා ඒක හරිම පහත් දෙයක්.*

18 “‘ඔබේ බිරිඳ ජීවත් වෙලා ඉද්දී ඇගේ සහෝදරිය එක්කත්+ විවාහ වෙලා ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.

19 “‘ස්ත්‍රියක් ඇගේ ඔසප් කාලේ අපවිත්‍රව ඉද්දී ඔබ ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+

20 “‘ඔබ තවත් කෙනෙක්ගේ* බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කළොත් ඔබ අපවිත්‍ර වෙනවා.+

21 “‘ඔබේ එක දරුවෙක්වවත් මෝලෙක්ට+ පූජා නොකළ යුතුයි.* එහෙම කරලා ඔබේ දෙවියන්ගේ නමට නින්දා කරන්න එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

22 “‘ඔබ ස්ත්‍රියක් එක්ක ලිංගිකව එක් වෙන විදිහට පුරුෂයෙක් එක්ක ලිංගිකව එක් නොවිය යුතුයි.+ ඒක ඉතා පිළිකුල් ක්‍රියාවක්.

23 “‘පුරුෂයෙක් සතෙක් එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කරන එකෙන් ඔහු අපවිත්‍ර වෙනවා. ස්ත්‍රියකුත් සතෙක් ළඟට ගිහිල්ලා ඌත් එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ ඒවා ඉතා පිළිකුල්, අස්වාභාවික ක්‍රියාවන්.

24 “‘ඔබ ඒ එක දෙයක්වත් කරලා අපවිත්‍ර වෙන්න එපා. මොකද මං දේශයෙන් පන්නලා දාන්න යන ඔක්කොම ජාතීන් ඒ වගේ දේවල් කරලා අපවිත්‍ර වෙලයි ඉන්නේ.+ 25 ඒ නිසා දේශයත් අපවිත්‍ර වෙලා. ඔවුන්ගේ වැරදි නිසා මං ඔවුන්ට දඬුවම් කරනවා. ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව පන්නලා දානවා.+ 26 ඔබ මගේ පනත්වලට සහ මගේ තීන්දුවලට කීකරු විය යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් ඔබ සමඟ ජීවත් වෙන විදේශිකයෙක් වුණත් ඒ කිසිම පිළිකුල් දෙයක් නොකළ යුතුයි.+ 27 ඔබට කලින් දේශයේ ජීවත් වුණ මිනිස්සු ඒ හැම පිළිකුල් ක්‍රියාවක්ම කරපු නිසා+ දේශය අපවිත්‍ර වෙලා. 28 මේ දේශයේ ඔබට කලින් ජීවත් වුණ මිනිස්සු වගේ ඔබත් ඒ ක්‍රියාවල යෙදිලා දේශය අපවිත්‍ර කළොත් ඔබවත් දේශයෙන් පන්නලා දානවා. 29 කවුරු හරි ඒ පිළිකුල් ක්‍රියාවලින් එකක් හරි කළොත් ඔහුව මරා දැමිය යුතුයි. 30 ඔබ මගේ ආඥාවලට කීකරු වෙන්න. එතකොට මේ දේශයේ ඔබට කලින් හිටපු මිනිස්සු කරපු පිළිකුල්සහගත දේවලින්+ අපවිත්‍ර නොවී ඉන්න ඔබට පුළුවන්. මම ඔබේ දෙවි වන යෙහෝවා.’”

19 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මම ඔබේ දෙවි වන යෙහෝවා. මම ශුද්ධව සිටින නිසා ඔබත් ශුද්ධව සිටිය යුතුයි.+

3 “‘ඔබ සියලුදෙනාම ඔබේ පියාටත් මවටත් ගෞරවයෙන් සැලකිය යුතුයි.+ මම නියම කරපු සබත් දවස් පවත්වන්න.+ මම ඔබේ දෙවි වන යෙහෝවා. 4 කිසි වැඩකට නැති දෙවිවරුන්ට නමස්කාර කරන්නවත්+ දෙවිවරුන්ගේ රූප* හදාගන්නවත් එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

5 “‘ඔබ යෙහෝවාට හවුල් පූජාවක් ඔප්පු කරනවා නම්+ ඔහුගේ අනුමැතිය ලබාගන්න පුළුවන් වෙන විදිහට ඒක ඔප්පු කරන්න.+ 6 පූජාව ඔප්පු කරන දවසේ සහ ඊට පහුවෙනිදා ඒකෙන් කන්න ඕනේ. ඒත් තුන්වෙනි දවස වෙන කල් පූජාවෙන් යමක් ඉතුරු වුණොත් ඒක ගින්නෙන් පුච්චලා දාන්න ඕනේ.+ 7 ඒ පූජාවෙන් ඉතුරු වෙන දේ තුන්වෙනි දවසේදී කෑවොත් ඒ පූජාව කොහොමටවත් පිළිගන්නේ නැහැ. ඒ මස් සලකන්නේ පිළිකුල් දෙයක් විදිහටයි. 8 ඒක කන කෙනා යෙහෝවා ශුද්ධයි කියලා සලකන දේකට කිසිම ගෞරවයක් පෙන්නුවේ නැති නිසා ඔහු ඒ වරදට වග කිව යුතුයි. ඔහුව මරලා දාන්න ඕනේ.

9 “‘ඔබ දේශයේ අස්වැන්න නෙළද්දී කෙතේ මායිම වෙන කල්ම අස්වැන්න නෙළන්න එපා. අස්වැන්න නෙළද්දී කෙතේ අතහැරුණු කරල් එකතු කරගන්නත් එපා.+ 10 ඒ වගේම ඔබේ මිදිවත්තේ පලදාව නෙළද්දී අතහැරුණු මිදි ආපහු නෙළාගන්න එපා. තැනින් තැන වැටුණු මිදිත් එකතු කරගන්න එපා. දුප්පත්* අයටයි,+ ඔබ අතරේ ඉන්න විදේශිකයන්ටයි ඒවා ඉතුරු කළ යුතුයි. මම ඔබේ දෙවි වන යෙහෝවා.

11 “‘හොරකම් කරන්න එපා.+ අනිත් අයව රවට්ටන්නවත්+ එකිනෙකාට වංචා කරන්නවත් එපා. 12 මගේ නමින් දිවුරලා බොරු කියන්න එපා.+ එහෙම කළොත් ඔබේ දෙවියන්ගේ නමට ඔබ කරන්නේ ලොකු අගෞරවයක්. මම ඔබේ දෙවි වන යෙහෝවා. 13 ඔබ තව කෙනෙක්ට වංචාවක් කරන්නවත්+ ඔහුට අයිති දේ පැහැරගන්නවත්* එපා.+ කුලීකරුවෙකුගේ දවසේ පඩිය පහුවෙනිදා උදේ වෙන කල් ඔබ ළඟ තියාගන්න එපා.+

14 “‘බිහිරි කෙනෙක්ට ශාප කරන්න එපා. අන්ධ කෙනෙක් ඉස්සරහා බාධකයක් තියන්න එපා.+ ඔබ ඔබේ දෙවියන්ට ගරුබිය දැක්විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

15 “‘අසාධාරණ විදිහට විනිශ්චය කරන්න එපා. දුප්පත් කෙනෙක්ට අනවශ්‍ය විදිහට අනුකම්පාවක් පෙන්නන්නවත් පොහොසත් කෙනෙක්ට වැඩි සැලකිලි දක්වන්නවත් එපා.+ ඔබ විනිශ්චය කරද්දී හැමෝටම යුක්තිය ඉටු කළ යුතුයි.

16 “‘ඔබ තැනින් තැන ගිහිල්ලා තවත් කෙනෙක් ගැන බොරු කියලා ඔහුගේ හොඳ නම නැති කරන්න එපා.+ තව කෙනෙක්ගේ ජීවිතේ* අනතුරේ දාන කිසිම දෙයක් ඔබ නොකළ යුතුයි.*+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

17 “‘ඔබේ හිතින් ඔබේ සහෝදරයාට වෛර නොකළ යුතුයි.+ කෙනෙක්ට අවවාදයක් දෙන්න වෙද්දී ඒක කරන්න අදිමදි කරන්න එපා.+ එහෙම කළේ නැත්නම් ඔහුගේ වරදට ඔබත් වග කිව යුතුයි.

18 “‘පළිගන්න එපා.+ ඔබේ සෙනඟ අතරේ ඉන්න කා එක්කවත් අමනාපයෙන් ඉන්න එපා. ඔබට වගේ ඔබේ අසල්වැසියාට ආදරේ කරන්න.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

19 “‘ඔබ මගේ මේ පනත්වලට කීකරු විය යුතුයි. ඔබ ඇති කරන වර්ග දෙකකට අයිති සතුන් දෙන්නෙක්ට සංසර්ගයේ යෙදෙන්න ඉඩ දෙන්න එපා. ඔබේ කෙත්වල බීජ වර්ග දෙකක් එකට වපුරන්න එපා.+ නූල් වර්ග දෙකකින් වියලා තියෙන රෙද්දකින් මහපු ඇඳුමක් අඳින්න එපා.+

20 “‘වෙනත් පුරුෂයෙක්ට විවාහ කරලා දෙන්න පොරොන්දු වුණ දාසියක් වෙනුවෙන් ගෙවන්න ඕනෙ සම්පූර්ණ මුදල ගෙවන්න කලින් නැත්නම් ඇයව නිදහස් කරන්න කලින් ඇගේ අයිතිකරු ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඒ වරදට ඔවුන්ට දඬුවම් කළ යුතුයි. ඒත් ඔවුන්ව මරන්න එපා. මොකද ඒ අවස්ථාවේ ඇය නිදහස් වෙලා හිටියේ නැහැ. 21 ඔහු යෙහෝවාට වන්දි පූජාවක් ඔප්පු කළ යුතුයි. ඔහු ඒ වන්දි පූජාවට+ බැටළුවෙක්ව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනා යුතුයි. 22 ඔහු කරපු වරදට යෙහෝවාගෙන් සමාව ලබාගන්න වන්දි පූජාවට ගෙනාපු බැටළුවාව පූජකයා ඔප්පු කළ යුතුයි. එතකොට ඔහු කරපු වරදට ඔහුට සමාව ලැබෙයි.

23 “‘ඔබට ලබා දෙන දේශයට ගියාට පස්සේ කෑමට ගන්න පුළුවන් පල හැදෙන ගහක් ඔබ හිටෙව්වොත් මුල් අවුරුදු තුනේදී ඒකේ ගෙඩි කන්න ඔබට අවසර නැහැ. ඔබ ඒ පලදාව අපවිත්‍රයි කියලා* සැලකිය යුතුයි. ඒ නිසා ඒවා කෑමට නොගත යුතුයි. 24 ඒත් හතරවෙනි අවුරුද්දේදී ඒකේ මුළු පලදාවම ශුද්ධයි කියලා සැලකිය යුතුයි. ඔබ ඒ පලදාව ලොකු සතුටකින් යෙහෝවාට ඔප්පු කළ යුතුයි.+ 25 පස්වෙනි අවුරුද්දේදී ඔබට ඒකේ පල කන්න පුළුවන්. ඒ පලදාව නිසා ඔබේ අස්වැන්න තව වැඩි වෙයි. මම ඔබේ දෙවි වන යෙහෝවා.

26 “‘ලේ අඩංගු කිසිම දෙයක් ඔබ කෑමට නොගත යුතුයි.+

“‘ඔබ නිමිති බලන එකෙන් සහ මන්තර ගුරුකම් කරන එකෙන් වැළකී සිටිය යුතුයි.+

27 “‘ඔබ කම්මුල් දෙපස තියෙන රැවුල නොකැපිය යුතුයි. ඔබේ රැවුලේ අගිස්ස විකෘති විදිහට කපන්න එපා.*+

28 “‘මැරුණු කෙනෙක්* වෙනුවෙන් ඔබේ ශරීරය කපාගන්න එපා.+ ඔබේ ශරීරයේ පච්ච කොටාගන්න එපා. මම ඔබේ දෙවි වන යෙහෝවා.

29 “‘ඔබේ දුවව ගණිකාවක් විදිහට+ දීලා ඇයව නින්දාවට පත් කරන්න එපා. එහෙම කළොත් දේශය ගණිකාවන්ගෙන් පිරිලා දූෂිත තත්වයකට පත් වෙයි.+

30 “‘මම නියම කරපු සබත් දවස් ඔබ පැවැත්විය යුතුයි.+ මගේ ශුද්ධස්ථානයට ඔබ ලොකු ගෞරවයක්* පෙන්විය යුතුයි. මම ඔබේ දෙවි වන යෙහෝවා.

31 “‘මැරුණු අය එක්ක කතා කරන්න හදන අයගෙන්වත්*+ ශාස්ත්‍ර කියන අයගෙන්වත්+ උපකාර පතන්න එපා. එහෙම කළොත් ඔබ අපවිත්‍ර වෙනවා. මම ඔබේ දෙවි වන යෙහෝවා.

32 “‘පැසුණු හිසකෙස් තියෙන කෙනෙක් ඉස්සරහා නැඟිටින්න.+ මහලු කෙනෙක්ට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි.+ ඔබ ඔබේ දෙවියන්ට ගරුබිය දැක්විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

33 “‘විදේශිකයෙක් ඔබ අතරේ ජීවත් වෙනවා නම් ඔහුට හිංසා පීඩා කරන්න එපා.+ 34 ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයාට ඔබේම ජාතියේ කෙනෙක්ට වගේ සැලකිය යුතුයි.+ ඔබ ඔබට වගේ ඔහුටත් ආදරේ කළ යුතුයි. මොකද ඔබත් ඊජිප්තු දේශයේ විදේශිකයන් විදිහට ජීවත් වුණා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

35 “‘ඔබ දිග, පළල මනිද්දී බර කිරද්දී නැත්නම් දියර මනිද්දී හොර කරන්න එපා.+ 36 ඔබ හොර තරාදි, හොර පඩි පාවිච්චි කරන්න එපා. වියළි ද්‍රව්‍ය* සහ දියර* මනින්න නිවැරදි මිමි පාවිච්චි කරන්න.+ මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු ඔබේ දෙවි වන යෙහෝවා. 37 ඔබ මගේ සියලු පනත්වලට සහ තීන්දුවලට කීකරු වෙලා ඒවා අනුව ජීවත් විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.’”

20 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙක් නැත්නම් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වෙන විදේශිකයෙක් තමන්ගේ එක දරුවෙක්ව හරි මෝලෙක්ට පූජා කළොත්* ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ දේශයේ ජීවත් වෙන මිනිස්සු ඔහුට ගල් ගහලා ඔහුව මරා දැමිය යුතුයි. 3 ඒ මිනිසා තමන්ගේ දරුවන්ව මෝලෙක්ට පූජා කරලා මගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කරපු නිසාත්+ මගේ ශුද්ධ නමට නින්දා කරපු නිසාත් මම ඔහුව ප්‍රතික්ෂේප කරනවා. මම ඔහුව මරලා දානවා. 4 ඔහු තමන්ගේ දරුවන්ව මෝලෙක්ට පූජා කරද්දී දේශයේ ජීවත් වෙන මිනිස්සු ඔහුව මරලා දාන්නේ නැතුව ඇස් කන් පියාගෙන හිටියත්+ 5 මම අනිවාර්යයෙන්ම ඒ මිනිසාට සහ ඔහුගේ පවුලේ අයට විරුද්ධව පියවර ගන්නවා.+ මම ඔහුව විතරක් නෙමෙයි ඔහු එක්ක මෝලෙක්ට නමස්කාර කරලා මට ද්‍රෝහි වුණ හැම කෙනෙක්වම මරලා දානවා.

6 “‘මැරුණු අය එක්ක කතා කරන්න හදන අයගෙන්*+ සහ ශාස්ත්‍ර කියන අයගෙන්+ උපකාර ලබාගන්න හැමෝවම මම ප්‍රතික්ෂේප කරනවා. කෙනෙක් ඒ විදිහට මට ද්‍රෝහි වුණොත්* මම ඔහුව මරලා දානවා.+

7 “‘ඔබ පවිත්‍ර වෙලා ශුද්ධ සෙනඟක් හැටියට සිටිය යුතුයි.+ මොකද මම ඔබේ දෙවි වන යෙහෝවා. 8 ඔබ මගේ පනත්වලට කීකරු වෙලා ඒවා අනුව ජීවත් විය යුතුයි.+ ශුද්ධ සෙනඟක් විදිහට ඔබව වෙන් කරලා තියන්නේ යෙහෝවා වන මමයි.+

9 “‘කෙනෙක් ඔහුගේ පියාට හරි මවට හරි ශාප කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහුගේ ලේවලට* වග කියන්න ඕනෙ ඔහුමයි. මොකද ඔහු තමන්ගේ පියාට නැත්නම් මවට ශාප කළා.

10 “‘කෙනෙක් වෙන කෙනෙක්ගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදුණොත් ලැබෙන දඬුවම මේකයි. අනාචාරයේ යෙදුණු ඒ කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. වෙන කෙනෙක්ගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදුණු ඔහුව විතරක් නෙමෙයි අනාචාරයේ යෙදුණු ඒ ස්ත්‍රියවත් මරා දැමිය යුතුයි.+ 11 කෙනෙක් ඔහුගේ පියාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඔහු තමන්ගේ පියාට නින්දා කරනවා.+ ඔහුවත් ඒ ස්ත්‍රියවත් අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔවුන්ගේ ලේවලට වග කියන්න ඕනෙ ඔවුන්මයි. 12 කෙනෙක් ඔහුගේ ලේළි එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඒක ඉතා පිළිකුල්, අස්වාභාවික ක්‍රියාවක්. ඔවුන් දෙන්නාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔවුන්ගේ ලේවලට වග කියන්න ඕනෙ ඔවුන්මයි.+

13 “‘පුරුෂයෙක් ස්ත්‍රියක් එක්ක ලිංගිකව එක් වෙන විදිහට තව පුරුෂයෙක් එක්ක ලිංගිකව එක් වුණොත් ඔවුන් දෙන්නාම කරලා තියෙන්නේ ඉතා පිළිකුල් දෙයක්.+ ඔවුන් දෙන්නාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔවුන්ගේ ලේවලට වග කියන්න ඕනෙ ඔවුන්මයි.

14 “‘කෙනෙක් ස්ත්‍රියක් එක්ක විවාහ වුණාට පස්සේ ඇගේ මව එක්කත් ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඒක හරිම නින්දිත ක්‍රියාවක්.*+ ඔහුවයි, ඒ ස්ත්‍රීන් දෙන්නාවයි මරලා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+ ඒ වගේ නින්දිත ක්‍රියා ඔබ අතරේ ආයේ නොවෙන්න එහෙම කළ යුතුයි.

15 “‘කෙනෙක් සතෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඒ සතාවත් මරා දැමිය යුතුයි.+ 16 ස්ත්‍රියක් සතෙක් ළඟට ගිහිල්ලා ඌත් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත්+ ඒ ස්ත්‍රියවයි, සතාවයි අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔවුන්ගේ ලේවලට වග කියන්න ඕනෙ ඔවුන්මයි.

17 “‘කෙනෙක් ඔහුගේ සහෝදරිය එක්ක හරි, පියාගේ දුව එක්ක හරි මවගේ දුව එක්ක හරි ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඔවුන් දෙන්නාව ප්‍රසිද්ධියේ මරා දැමිය යුතුයි. ඔවුන් එකිනෙකාගේ නිරුවත දැක්ක එක හරිම පහත් දෙයක්.+ ඔහු තමන්ගේ සහෝදරියට කළේ නින්දාවක්. ඒ වරදට ඔහු වග කිව යුතුයි.

18 “‘පුරුෂයෙක් ස්ත්‍රියකගේ ඔසප් දවස්වලදී ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඔවුන් දෙන්නාව මරා දැමිය යුතුයි. මොකද ඇගේ ලේ ගැලීම ඒ දෙන්නාම සැහැල්ලුවට ගත්තා.+

19 “‘ඔබේ මවගේ හරි පියාගේ හරි සහෝදරිය එක්ක ඔබ ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඇය ඔබේ ලේ නෑයෙක් වෙන නිසා ඒක ඇයට කරන නින්දාවක්.+ ඒ වරදට ඔවුන් දෙන්නාම වග කිව යුතුයි. 20 පුරුෂයෙක් තමන්ගේ පියාගේ සහෝදරයාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඔහු කරන්නේ තමන්ගේ පියාගේ සහෝදරයාට නින්දාවක්.+ ඒ වරදට ඔවුන් දෙන්නාම වග කිව යුතුයි. දරුවන් බිහි කරන්න ඉඩ නොදී ඔවුන්ව මරලා දාන්න. 21 පුරුෂයෙක් තම සහෝදරයාගේ* බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඒක පිළිකුල් දෙයක්.+ ඒක ඔහුගේ සහෝදරයාට කරන නින්දාවක්. දරුවන් බිහි කරන්න ඔවුන්ට ඉඩ නොදිය යුතුයි. ඔවුන්ව මරා දැමිය යුතුයි.

22 “‘ඔබ මගේ සියලු පනත්වලට සහ මගේ සියලු තීන්දුවලට කීකරු වෙලා+ ඒවා අනුව ජීවත් විය යුතුයි.+ එහෙම කළේ නැත්නම් මම ඔබට ජීවත් වෙන්න ලබා දෙන දේශයෙන් ඔබව පන්නලා දානවා.+ 23 මම දේශයෙන් පන්නලා දාන ජාතීන්ගේ චාරිත්‍ර ඔබ අනුගමනය නොකළ යුතුයි.+ ඔවුන් ඒ හැම දෙයක්ම කරලා තියෙන නිසා මම ඔවුන්ව පිළිකුල් කරනවා.+ 24 ඒ නිසයි මම ඔබට මෙහෙම කිව්වේ. “ඔබ ඔවුන්ගේ දේශය උරුම කරගන්නවා. කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන ඒ දේශය මම ඔබට උරුමයක් විදිහට දෙනවා.+ ඔබව අනිත් ජාතීන්ගෙන් වෙන් කරලා තෝරගත්තේ ඔබේ දෙවි යෙහෝවා වන මමයි.”+ 25 පවිත්‍ර සතුන් සහ අපවිත්‍ර සතුන් අතරෙයි, පවිත්‍ර කුරුල්ලන් සහ අපවිත්‍ර කුරුල්ලන් අතරෙයි තියෙන වෙනස ඔබ පැහැදිලිව හඳුනගත යුතුයි.+ අපවිත්‍රයි කියලා මං වෙන් කරපු සත්තු, කුරුල්ලන් සහ කුඩා සත්තු* කෑමට අරන් ඔබ අපවිත්‍ර නොවිය යුතුයි.+ 26 යෙහෝවා වන මම ශුද්ධව සිටින නිසා ඔබත් මං ඉස්සරහා ශුද්ධව සිටිය යුතුයි.+ මම ඔබව අනිත් ජාතීන්ගෙන් වෙන් කරලා මගේ සෙනඟ විදිහට තෝරගත්තා.+

27 “‘මැරුණු අය එක්ක කතා කරන්න හදන* පුරුෂයෙක් නැත්නම් ස්ත්‍රියක් හරි ශාස්ත්‍ර කියන කෙනෙක් හරි ඔබ අතරේ හිටියොත් ඔවුන්ව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ සෙනඟ ඔවුන්ට ගල් ගහලා මරා දැමිය යුතුයි. ඔවුන්ගේ ලේවලට වග කියන්න ඕනෙ ඔවුන්මයි.’”

21 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “පූජකයන් වන ආරොන්ගේ පුතාලට මෙහෙම කියන්න. ‘සෙනඟ අතරින්* කෙනෙක් මැරුණොත් ඒ කෙනා ළඟට ගිහින් පූජකයෙක් අපවිත්‍ර නොවිය යුතුයි.*+ 2 ඒත් ඔහුගේ ලේ නෑයෙක් මැරුණොත් ඒ කෙනා ළඟට යන්න ඔහුට පුළුවන්. ඒ කියන්නේ ඔහුගේ මව හරි පියා හරි පුතා හරි දුව හරි සහෝදරයා හරි 3 ඔහුගේ ගෙදර හිටපු කන්‍යාවක් වන සහෝදරිය හරි මැරුණොත් ඒ කෙනා නිසා අපවිත්‍ර වෙන්න ඔහුට අවසර තියෙනවා. 4 ඒත් සෙනඟ අතර හිටපු විවාහක ස්ත්‍රියක් මැරුණොත් ඇය නිසා ඔහු අපවිත්‍ර නොවිය යුතුයි. 5 පූජකයන්ට තමන්ගේ ඔළුව බූ ගාන්නවත්+ කම්මුල් දෙපස තියෙන රැවුල කොටට කපන්නවත් අවසර නැහැ. ඔවුන් තමන්ගේ ශරීරය කපා නොගත යුතුයි.+ 6 ඔවුන්ගේ දෙවියන් ඉස්සරහා ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+ ඔවුන්ගේ දෙවියන්ගේ නමට නින්දා නොකළ යුතුයි.+ මොකද ඔවුන්ගේ දෙවි වන යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජා ඒ කියන්නේ දෙවියන්ට අයිති ආහාර* ඔප්පු කරන්නේ ඔවුන්. ඒ නිසා ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+ 7 පූජකයන් ගණිකාවක් එක්ක+ හරි නින්දාවට පත් වුණ ස්ත්‍රියක් එක්ක හරි දික්කසාද වුණ ස්ත්‍රියක් එක්ක+ හරි විවාහ නොවිය යුතුයි. මොකද ඔවුන්ගේ දෙවියන් ඔවුන්ව සලකන්නේ ශුද්ධ අය විදිහට. 8 ඊශ්‍රායෙල් සෙනඟ වන ඔබ පූජකයන්ව ශුද්ධ අය විදිහට සැලකිය යුතුයි.+ මොකද ඔබේ දෙවියන්ට අයිති ආහාර ඔප්පු කරන්නේ ඔවුන්. ඔබව ශුද්ධ සෙනඟක් හැටියට වෙන් කරලා තියෙන යෙහෝවා වන මම ශුද්ධයි.+ ඒ නිසා ඔබ පූජකයන්වත් ශුද්ධ අය විදිහට සැලකිය යුතුයි.

9 “‘පූජකයෙක්ගේ දුවෙක් ගණිකාවක් විදිහට හැසිරිලා නින්දාවට පත් වුණොත් ඇය ඇගේ පියාව නින්දාවට පත් කරනවා. ඇයව මරලා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+

10 “‘පූජකයන් අතරින් හිසට ශුද්ධ තෛලය වක් කරලා+ උත්තම පූජකයා විදිහට අභිෂේක කරලා ඉන්න කෙනා තමන්ගේ හිසකෙස් අවුල් වෙන්න ඉඩ නොදිය යුතුයි. ඇඳුම් ඉරාගැනීමෙනුත් වැළකී සිටිය යුතුයි.+ නිලඇඳුම් ඇඳලා පූජකයෙක් විදිහට සේවය කරන්න අභිෂේක කරලා තියෙන්නේ ඔහුවයි.*+ 11 කිසිම මළ සිරුරක්* ළඟට යන්න ඔහුට අවසර නැහැ.+ මැරුණු කෙනා ඔහුගේ පියා වුණත් මව වුණත් ඔවුන් නිසා ඔහු අපවිත්‍ර නොවිය යුතුයි. 12 මැරුණු කෙනා වෙනුවෙන් කරන දේවලට සහභාගි වෙන්න ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුයි.+ එහෙම කළොත් ඔහු තම දෙවියන්ගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කරනවා. මොකද තමන්ගේ දෙවියන්ට කැප වෙලා ඉන්නවා කියලා පෙන්නන ශුද්ධ සංකේතය වන ශුද්ධ තෛලයෙන් ඔහුව අභිෂේක කරලයි තියෙන්නේ.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

13 “‘ඔහු විවාහ වෙන්න ඕනෙ කන්‍යාවක් එක්ක විතරයි.+ 14 ඔහුට වැන්දඹුවක් එක්ක හරි දික්කසාද වුණ ස්ත්‍රියක් එක්ක හරි නින්දාවට පත් වුණ ස්ත්‍රියක් එක්ක හරි ගණිකාවක් එක්ක හරි විවාහ වෙන්න අවසර නැහැ. ඔහු තමන්ගේ සෙනඟ අතරින් බිරිඳක් විදිහට තෝරගන්න ඕනෙ කන්‍යාවක්වයි. 15 එහෙම කළේ නැත්නම් ඔහුගේ දරුවන්ව සෙනඟ අතරේ* අපවිත්‍ර අය* හැටියට සලකනවා.+ මොකද පරිශුද්ධ සේවය සඳහා ඔහුව වෙන් කරලා තියන්නේ යෙහෝවා වන මමයි.’”

16 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 17 “ආරොන්ට මෙහෙම කියන්න. ‘ඔබෙන් පැවතෙන අයගෙන් ශරීරයේ යම් දෝෂයක් තියෙන කිසිම කෙනෙක්ට තමන්ගේ දෙවියන්ට අයිති ආහාර ඔප්පු කරන්න පූජාසනය ළඟට එන්න අවසර නැහැ. ඒක ඔබේ හැම පරම්පරාවකටම අදාළයි. 18 ශරීරයේ මේ වගේ දෝෂ තියෙන අය පූජාසනයට ළං නොවිය යුතුයි. අන්ධ කෙනෙක්, කොර කෙනෙක්, මුහුණ* විකෘති වුණ කෙනෙක්, එක අතක් හරි කකුලක් හරි අනිත් එකට වඩා දිග වැඩි කෙනෙක්, 19 අත පය කැඩුණු කෙනෙක්, 20 කුදු කෙනෙක්, කුරු කෙනෙක්,* ඇස්වල දෝෂයක් ඇති කෙනෙක්, දදයක් ඇති කෙනෙක්, වට පණු රෝගය ඇති කෙනෙක් සහ වෘෂණ කෝෂ තැළුණු කෙනෙක්.+ 21 පූජක ආරොන්ගෙන් පැවතෙන කෙනෙක්ට ශරීරයේ ඒ වගේ දෝෂයක් තියෙනවා නම් ගින්නෙන් පූජා ඔප්පු කරන්න යෙහෝවා ඉස්සරහට එන්න ඔහුට අවසර නැහැ. ඔහුගේ ශරීරයේ දෝෂයක් තියෙන නිසා ඔහු තමන්ගේ දෙවියන්ට අයිති ආහාර ඔප්පු කරන්න පූජාසනයට ළං නොවිය යුතුයි. 22 ඒත් ශුද්ධ දෙයින්+ සහ ඉතා ශුද්ධ දෙයින්+ ගත්ත තමන්ගේ දෙවියන්ට අයිති ආහාරවලින් කොටසක් ඔහුට කන්න පුළුවන්. 23 ඒත් තිරය ළඟට යන්නවත්+ පූජාසනය ළඟට යන්නවත්+ ඔහුට අවසර නැහැ. මොකද ඔහුගේ ශරීරයේ දෝෂයක් තියෙනවා. ඔහු මගේ ශුද්ධස්ථානය අපවිත්‍ර නොකළ යුතුයි.+ මොකද පරිශුද්ධ සේවය සඳහා පූජකයන්ව වෙන් කරලා තියන්නේ යෙහෝවා වන මමයි.’”+

24 ඉතින් මෝසෙස් ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි ඒ හැම දෙයක්ම කිව්වා.

22 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟ මං වෙනුවෙන්ම ගේන ශුද්ධ දේවල්වලට+ අගෞරවනීය විදිහට සලකන්න එපා කියලා ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි කියන්න. ඔවුන් එහෙම කළොත් ඒක මගේ ශුද්ධ නමට කරන නින්දාවක්.+ මම ඔබේ දෙවි වන යෙහෝවා. 3 ඔවුන්ට මෙහෙම කියන්න. ‘ඔබෙන් පැවතෙන කවුරු හරි අපවිත්‍රව ඉද්දී යෙහෝවා වෙනුවෙන් ඊශ්‍රායෙල් සෙනඟ ගේන ශුද්ධ දේවල් ඇල්ලුවොත් ඒ කෙනාව මරලා දාන්න ඕනේ.+ ඒක ඔබේ හැම පරම්පරාවකටම අදාළයි. මම ඔබේ දෙවි වන යෙහෝවා. 4 ආරොන්ගෙන් පැවතෙන පුරුෂයෙක්ට ලාදුරු රෝගය+ වැලඳිලා තියෙනවා නම් හරි ඔහුගේ ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාවයක් ගලනවා නම්+ හරි ඔහු පවිත්‍ර වෙන කල් ශුද්ධ දේවලින් නොකෑ යුතුයි.+ මළ සිරුරක් අල්ලලා අපවිත්‍ර වුණ කෙනෙක්ව අල්ලපු කෙනෙක්ටවත්+ ශුක්‍රාණු පිට වුණ කෙනෙක්ටවත්+ 5 අපවිත්‍රයි කියලා සලකන කුඩා සතෙක්ව අල්ලපු කෙනෙක්ටවත්+ වෙනත් හේතුවක් නිසා අපවිත්‍ර වුණ කෙනෙක්ව අල්ලන කෙනෙක්ටවත්+ ශුද්ධ දේවලින් කන්න අවසර නැහැ. 6 ඒ වගේ අපවිත්‍ර දෙයක් හරි කෙනෙක්ව හරි අල්ලන ඕනෙම කෙනෙක් ශුද්ධ දේවලින් නොකෑ යුතුයි. ඔහු නාගෙන හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් හැටියට වෙන් වෙලා ඉන්න ඕනේ.+ 7 ඉර බැහැලා ගියාට පස්සේ ඔහුව පවිත්‍ර කෙනෙක් විදිහට සලකන්න පුළුවන්. ඊටපස්සේ ඔහුට පුළුවන් ශුද්ධ දේවලින් කන්න. මොකද ඒක ඔහුට අයිති කොටස.*+ 8 මැරුණු සතෙක්ගේ හරි වනසතුන් මරලා දාපු සතෙක්ගේ හරි මස් පූජකයෙක් නොකෑ යුතුයි. එහෙම කෑවොත් ඔහු අපවිත්‍ර වෙනවා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

9 “‘පූජකයන්ට මම දුන්න ආඥාවලට ඔවුන් කීකරු විය යුතුයි. ඔවුන් කීකරු වුණේ නැත්නම් ශුද්ධ දේවලට අගෞරව කරන වරදට ඔවුන්ට අනිවාර්යයෙන්ම ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. මොකද පරිශුද්ධ සේවය සඳහා ඔවුන්ව වෙන් කළේ යෙහෝවා වන මමයි.

10 “‘පූජක පවුලට අයිති නැති කාටවත් ශුද්ධ දේවලින් කන්න අවසර නැහැ.+ පූජකයෙක් එක්ක ජීවත් වෙන විදේශිකයෙක්ටවත් කුලීකරුවෙක්ටවත් ශුද්ධ දේවලින් කන්න අවසර නැහැ. 11 ඒත් පූජකයෙක් මිල දීලා ගත්ත කෙනෙක්ටයි, ඔහුගේ නිවසේ උපන් දාසයෙක්ටයි පූජකයන්ට අයිති කොටසෙන් කන්න පුළුවන්.+ 12 පූජකයෙක්ගේ දුවෙක් පූජක පවුලට අයිති නැති කෙනෙක් එක්ක විවාහ වුණොත් පරිත්‍යාග විදිහට ගෙනාපු ශුද්ධ දේවලින් කන්න ඇයට අවසර නැහැ. 13 ඒත් පූජකයෙක්ගේ දුව වැන්දඹුවක් වුණොත් හරි ඇගේ ස්වාමිපුරුෂයා ඇයව දික්කසාද කළොත් හරි ඇයට දරුවන් නැත්නම් ඇගේ පියාගේ ගෙදරට ආපහු එන්න ඇය තීරණය කරන්න පුළුවන්. එහෙම කළොත් යෞවන කාලේදී වගේ තමන්ගේ පියාට අයිති කොටසෙන් කන්න ඇයට අවසර තියෙනවා.+ ඒත් පූජක පවුලට අයිති නැති කිසිම කෙනෙක් එයින් නොකෑ යුතුයි.

14 “‘කෙනෙක් වැරදීමකින් ශුද්ධ දෙයක් කෑවොත් ඔහු වන්දියක් ගෙවිය යුතුයි. ඔහු කාපු කොටසේ වටිනාකමට අමතරව ඒකෙන් පහෙන් කොටසකුත් පූජකයාට දිය යුතුයි.+ 15 ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවාට පරිත්‍යාග කරන ශුද්ධ දේවලට+ අගෞරවයක් වෙන්න පූජකයන් ඉඩ නොදිය යුතුයි. 16 සෙනඟට ශුද්ධ දේවලින් කන්න පූජකයන් ඉඩ දුන්නොත් සෙනඟ වරදකරුවන් වෙනවා. ඒකට සෙනඟට දඬුවම් ලැබෙයි. මොකද පරිශුද්ධ සේවය සඳහා පූජකයන්ව වෙන් කළේ යෙහෝවා වන මමයි.’”

17 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 18 “ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, ඊශ්‍රායෙල් සෙනඟටයි මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල් ජාතිකයෙක් හරි ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වෙන විදේශිකයෙක් හරි භාරයක් හැටියට නැත්නම් කැමැත්තෙන්ම දෙන පූජාවක්+ හැටියට යෙහෝවාට දවන පූජාවක්+ ගේනවා නම් 19 ඔහු ගෙනා යුත්තේ කිසිම කැළලක් නැති සතෙක්වයි.+ ඔහු ගව රැළෙන් හරි එළු බැටළු රැළෙන් හරි පිරිමි සතෙක්ව* ගෙනා යුතුයි. දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න නම් ඔහු ගේන්න ඕනෙ කිසිම කැළලක් නැති සතෙක්වයි. 20 කැළලක් තියෙන කිසිම සතෙක්ව ඔප්පු කරන්න එපා.+ ඒ වගේ පූජා ඔප්පු කළොත් දෙවියන්ගේ අනුමැතිය ඔබට ලැබෙන්නේ නැහැ.

21 “‘කෙනෙක් භාරයක් හැටියට හරි කැමැත්තෙන්ම දෙන පූජාවක් හැටියට හරි යෙහෝවාට හවුල් පූජාවක්+ ඔප්පු කරනවා නම් දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න ඔහු ගව රැළෙන් නැත්නම් එළු බැටළු රැළෙන් කිසිම කැළලක් නැති සතෙක්ව ගෙනා යුතුයි. ඒ සතාගේ කිසිම දෝෂයක් තියෙන්න බැහැ. 22 අන්ධ, කකුල් කැඩුණ, තුවාල වුණ, හමේ ගඩු හරි දද හරි තියෙන, වට පණු රෝගය තියෙන කිසිම සතෙක්ව යෙහෝවා ඉස්සරහට ගේන්න එපා. ඒ වගේ සතෙක්ව පූජාසනය මත තියලා යෙහෝවාට ඔප්පු නොකළ යුතුයි. 23 ගොනෙක්ගේ නැත්නම් බැටළුවෙක්ගේ එක කකුලක් අනිත් ඒවාට වඩා දිගයි නම් හරි කොටයි නම් හරි කැමැත්තෙන් දෙන පූජාවක් හැටියට ඌව ඔප්පු කරන්න පුළුවන්. ඒත් භාරයක් හැටියට ඒ වගේ සතෙක්ව ඔප්පු කළොත් ඒක පිළිගන්නේ නැහැ. 24 වෘෂණ කෝෂ තුවාල වුණ, තැළුණ නැත්නම් අයින් කරපු සතෙක්ව යෙහෝවාට ඔප්පු නොකළ යුතුයි. ඔබේ දේශයේ ඒ වගේ සතුන්ව පූජාවක් හැටියට ඔප්පු කරන්න එපා. 25 විදේශිකයෙක් ඒ වගේ සතෙක්ව පූජාවක් හැටියට ගෙනාවොත් ඔබේ දෙවියන්ට ඔප්පු කරන ආහාර විදිහට ඌව ඔප්පු නොකළ යුතුයි. උන්ගේ දෝෂ සහ කැළැල් තියෙනවා. ඒ වගේ සතුන්ව ඔප්පු කළොත් ඒවා පිළිගන්නේ නැහැ.’”

26 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 27 “වහු පැටියෙක් හරි බැටළු පැටියෙක් හරි එළු පැටියෙක් හරි ඉපදුණොත් දවස් හතක් යන කල් ඌට අම්මා එක්ක ඉන්න දෙන්න.+ ඒත් අටවෙනි දවසෙන් පස්සේ ඌව ඔප්පු කරන්න පුළුවන්. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාව යෙහෝවා පිළිගන්නවා. 28 හරකෙක්ව හරි බැටළුවෙක්ව හරි උගේ පැටියාත් එක්ක එකම දවසේ මරන්න එපා.+

29 “ඔබ යෙහෝවාට ස්තුති පූජාවක් ඔප්පු කරනවා නම්+ දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න පුළුවන් වෙන විදිහට ඒක ඔප්පු කළ යුතුයි. 30 ඒ පූජාව ඔප්පු කරන දවසේම ඒක කන්න ඕනේ. පහුවෙනිදා උදේ වෙන කල් ඒකෙන් කිසිම දෙයක් තියාගන්න එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

31 “ඔබ මගේ ආඥාවලට කීකරු වෙලා ඒවා අනුව ජීවත් විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා. 32 ඔබ මගේ ශුද්ධ නමට නින්දා නොකළ යුතුයි.+ ඊශ්‍රායෙල් සෙනඟ මාව සලකන්න ඕනෙ ශුද්ධ කෙනෙක් විදිහටයි.+ ඔබව ශුද්ධ සෙනඟක් විදිහට වෙන් කළේ යෙහෝවා වන මමයි.+ 33 ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ මමයි. එහෙම කළේ මම ඔබේ දෙවියන් කියලා ඔබට ඔප්පු කරලා පෙන්නන්න.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.”

23 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔබට සමරන්න කියන උත්සව+ දවස්වලදී හැමෝම රැස් විය යුතුයි. ඒවා ශුද්ධ දවස්. ඔබ ඒ උත්සව ගැන නිවේදනය කළ යුතුයි.+ මම නියම කරන උත්සව තමයි මේ.

3 “‘ඔබට දවස් හයක් වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස ශුද්ධ එක්රැස්වීමක් පවත්වන සබත් දවසක්.+ ඒ දවසේ ඔබ වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. ඔබ කොහේ ජීවත් වුණත් ඒක යෙහෝවා වෙනුවෙන් කැප කරපු සබත් දවසක් විදිහට පැවැත්විය යුතුයි.+

4 “‘යෙහෝවා ඔබට නියම කරන උත්සව දවස් තමයි මේ. ඒ දවස්වල ශුද්ධ එක්රැස්වීම් පැවැත්විය යුතුයි. ඒ උත්සව පවත්වන්න නියම කරපු කාලවලදී ඔබ ඒවා ගැන නිවේදනය කළ යුතුයි. 5 පළවෙනි මාසේ 14වෙනිදා+ හිරු බැහැගෙන යනවාත් එක්කම* යෙහෝවා වෙනුවෙන් පාස්කු උත්සවය පැවැත්විය යුතුයි.+

6 “‘ඒ මාසේම 15වෙනිදා යෙහෝවා වෙනුවෙන් මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ ඔබ දවස් හතක් මුහුන් නොදැමූ රොටි කන්න ඕනේ.+ 7 ඔබ පළවෙනි දවසේ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එදාට මහන්සි වෙලා වැඩ කරන්න ඔබට අවසර නැහැ. 8 ඒ දවස් හතේම ඔබ යෙහෝවා ඉස්සරහට ගින්නෙන් ඔප්පු කරන පූජා ගෙනා යුතුයි. හත්වෙනි දවසේදී ශුද්ධ එක්රැස්වීමක් පවත්වන්න. ඒ දවසෙත් ඔබ මහන්සි වෙලා වැඩ නොකළ යුතුයි.’”

9 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 10 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මම ඔබට දෙන දේශයට ඔබ ආවාම දේශයෙන් අස්වැන්න නෙළාගත්තාට පස්සේ ඔබේ අස්වැන්නේ මුල්ම පලදාවෙන් මිටියක්+ පූජකයා ළඟට ගෙනා යුතුයි.+ 11 ඔබට අනුමැතිය ලබාගන්න පූජකයා ඒ ධාන්‍ය මිටිය යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි. පූජකයා එහෙම කරන්න ඕනෙ සබත් දවසට පහුවෙනිදායි. 12 ඒ මේ අත සොලවන්න ඔබ ඒ මිටිය පූජකයා ළඟට ගේන දවසේ යෙහෝවාට දවන පූජාවක් විදිහට අවුරුද්දක් විතර වයස, කිසි කැළලක් නැති බැටළුවෙක්ව ඔප්පු කළ යුතුයි. 13 ඒකත් එක්ක ධාන්‍ය පූජාවකුත් ඔප්පු කළ යුතුයි. ඒකට තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක්* ගෙනා යුතුයි. යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම ඔහු මිහිරි* සුවඳක් විදිහට සලකනවා. ඒ දවන පූජාව එක්ක පාන පූජාවකුත් ඔප්පු කළ යුතුයි. ඒකට වයින් හින මිනුමෙන්* හතරෙන් එකක් ගෙනා යුතුයි. 14 ඔබේ දෙවියන්ට ඔප්පු කරන්න ඒ පූජාවන් ගේන දවස වෙන කල් ඔබට රොටිවත් බැදපු ධාන්‍යවත් අලුත් ධාන්‍යවත් කන්න අවසර නැහැ. ඔබ කොහේ ජීවත් වුණත් ඔබේ හැම පරම්පරාවක්ම ඒ පනත දිගටම පැවැත්විය යුතුයි.

15 “‘සබත් දවසට පහුවෙනිදා ඒ කියන්නේ සොලවන පූජාවට ධාන්‍ය මිටිය ගෙනාපු දවසේ ඉඳන් සති හතක්* ගණන් කරන්න.+ ඒවා සම්පූර්ණ සති විය යුතුයි. 16 සති හත අවසන් වෙන දවසට පහුවෙනිදා ඒ කියන්නේ 50වෙනි දවසේ+ ඔබ අලුත් ධාන්‍ය අරගෙන යෙහෝවාට පූජාවක් ඔප්පු කළ යුතුයි.+ 17 සොලවන පූජාවක් විදිහට ඔප්පු කරන්න ගෙදරදී හදාගත්ත රොටි දෙකක් ඔබ ගෙනා යුතුයි. ඒ රොටි පුච්චගන්න ඕනෙ සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකකට* මුහුන් මිශ්‍ර කරලයි.+ ධාන්‍ය අස්වැන්නේ මුල්ම පලදාව+ විදිහට යෙහෝවා ඉස්සරහට ඒ රොටි ගෙනා යුතුයි. 18 ඔබ ඒ රොටි එක්ක අවුරුද්දක් වයස, කිසි කැළලක් නැති බැටළුවන් හත්දෙනෙක්වයි, වස්සෙක්වයි, බැටළුවන් දෙන්නෙක්වයි ගෙනා යුතුයි.+ උන්ව දවන පූජාවක් විදිහට යෙහෝවාට ඔප්පු කළ යුතුයි. ඒකත් එක්ක ධාන්‍ය පූජාවක් සහ පාන පූජා ඔප්පු කළ යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවලින් නඟින දුම යෙහෝවා මිහිරි සුවඳක් විදිහට සලකනවා. 19 ඔබ පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වයි,+ හවුල් පූජාවක් විදිහට අවුරුද්දක් වයස බැටළුවන් දෙන්නෙක්වයි ඔප්පු කළ යුතුයි.+ 20 ධාන්‍ය අස්වැන්නේ මුල්ම පලදාවෙන් හදාගත්ත රොටි එක්ක ඒ බැටළු පැටව් දෙන්නාව පූජකයා සොලවන පූජාවක් විදිහට යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි. යෙහෝවාට ශුද්ධ දෙයක් වන ඒ දේවල් අයිති වෙන්නේ පූජකයාටයි.+ 21 ඒ පූජාව ඔප්පු කරන දවසේ+ ඔබ ශුද්ධ එක්රැස්වීමකට සෙනඟව කැඳවිය යුතුයි. ඒ දවසේ මහන්සි වෙලා වැඩ කරන්න ඔබට අවසර නැහැ. ඔබ කොහේ ජීවත් වුණත් ඔබේ හැම පරම්පරාවක්ම ඒ පනත දිගටම පැවැත්විය යුතුයි.

22 “‘දේශයේ අස්වැන්න නෙළද්දී කෙත්වල මායිම් වෙන කල්ම අස්වැන්න නෙළන්න එපා. අස්වැන්න නෙළද්දී කෙතේ අතහැරුණු කරල් එකතු කරගන්නත් එපා.+ ඒවා දුප්පත්*+ අයටයි, ඔබ අතරේ ඉන්න විදේශිකයන්ටයි+ ඉතුරු කරන්න. මම ඔබේ දෙවි වන යෙහෝවා.’”

23 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 24 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘හත්වෙනි මාසේ පළවෙනිදා ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. ඒ දවසේ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි කියලා සිහිගන්වන්න හොරණෑ නාද+ කළ යුතුයි. 25 ඒ දවසේදී ඔබට මහන්සි වෙලා වැඩ කරන්න අවසර නැහැ. ඔබ යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක් ගෙනා යුතුයි.’”

26 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 27 “හත්වෙනි මාසේ දහවෙනිදා කියන්නේ සමඟි වෙන දවසයි.*+ ඒ දවසේ ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි. ඔබේ වැරදි ගැන ඔබ දුක් වෙනවා කියලා ඒ දවසේදී පෙන්නන්න ඕනේ.*+ යෙහෝවාට ගින්නෙන් පූජාවකුත් ඔප්පු කළ යුතුයි. 28 ඒ දවසේදී ඔබ කිසිම වැඩක් නොකළ යුතුයි. මොකද ඒක ඔබේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඔබේ වැරදිවලට සමාව ලබාගෙන ඔහු එක්ක සමඟි වෙන දවසයි.+ 29 ඒ දවසේ තමන්ගේ වැරදි ගැන දුක් වෙනවා කියලා පෙන්නන්නේ නැති* ඕනෙම කෙනෙක්ව මරා දැමිය යුතුයි.+ 30 කවුරු හරි ඒ දවසේදී මොනවා හරි වැඩක් කළොත් මම අනිවාර්යයෙන්ම ඔහුව විනාශ කරනවා. 31 ඔබ එදාට කිසිම වැඩක් නොකළ යුතුයි. ඔබ කොහේ ජීවත් වුණත් ඔබේ හැම පරම්පරාවක්ම ඒ පනත දිගටම පැවැත්විය යුතුයි. 32 ඒක මුළු දවසම විවේකයෙන් ගත කළ යුතු සබත් දවසක්. ඔබ හත්වෙනි මාසේ නමවෙනිදා හවස ඉඳන් ඔබේ වැරදි ගැන දුක් වෙනවා කියලා පෙන්නන්න ඕනේ.+ එදා හවස ඉඳන් පහුවෙනිදා හවස වෙන කල් ඒ සබත් දවස පැවැත්විය යුතුයි.”

33 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 34 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘හත්වෙනි මාසේ 15වෙනිදා යෙහෝවා වෙනුවෙන් පැල්* උත්සවය පවත්වන්න. ඒක දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+ 35 පළවෙනි දවසේ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි. එදාට මහන්සි වෙලා කිසි වැඩක් කරන්න ඔබට අවසර නැහැ. 36 ඒ දවස් හත පුරාම ඔබ යෙහෝවාට ගින්නෙන් දවන පූජා ඔප්පු කළ යුතුයි. අටවෙනි දවසෙත් ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඒක විශේෂ රැස්වීමක්. ඒ දවසෙත් යෙහෝවාට ගින්නෙන් දවන පූජාවක් ඔප්පු කරන්න. එදාට මහන්සි වෙලා කිසි වැඩක් කරන්න ඔබට අවසර නැහැ.

37 “‘ඒවා තමයි යෙහෝවා ඔබට සමරන්න කියපු උත්සව දවස්.+ ඒවා නිවේදනය කරලා සමරන්න ඕනේ. ශුද්ධ එක්රැස්වීම්+ පවත්වන ඒ දවස්වලදී යෙහෝවාට ගින්නෙන් දවලා මේ පූජා ඔප්පු කළ යුතුයි. ඒ ඒ දවසට නියම වුණ දවන පූජාවයි,+ ඒකත් එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවයි,+ පාන පූජායි+ ඔප්පු කළ යුතුයි. 38 ඒ පූජා ඔබ ඔප්පු කරන්න ඕනෙ යෙහෝවා වෙනුවෙන් පවත්වන සබත් දවස්වල+ ඔප්පු කරන පූජාවලට, ඔබ දෙන තෑගිවලට,+ භාර හැටියට+ සහ කැමැත්තෙන්ම දෙන+ පූජාවලට අමතරවයි. ඒවා ඔබ සාමාන්‍ය විදිහට යෙහෝවාට ඔප්පු කළ යුතුයි. 39 ඔබේ දේශයේ පලදාව රැස් කරගත්තාට පස්සේ හත්වෙනි මාසේ 15වෙනිදා ඔබ යෙහෝවා වෙනුවෙන් උත්සවයක් පැවැත්විය යුතුයි. ඒක දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+ පළවෙනි දවසේ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. අටවෙනි දවසෙත් මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ 40 ඔබ පළවෙනි දවසේදී ගස්වලින් හොඳම පලතුරු කඩාගෙන තාල ගස්වල අතුයි,+ කොළ පිරුණු අතුයි, නිම්නවල වැඩෙන ගස්වල* අතුයි කපාගෙන ඔබේ දෙවි වන යෙහෝවා ඉස්සරහා දවස් හතක්+ සතුටු වෙන්න.+ 41 යෙහෝවා වෙනුවෙන් සමරන ඒ උත්සවය ඔබ හැම අවුරුද්දකම දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+ ඒක සමරන්න ඕනෙ හත්වෙනි මාසේදී. ඒක ඔබයි, ඔබෙන් පැවතෙන හැමෝමයි දිගටම පිළිපැදිය යුතු පනතක්. 42 ඒ දවස් හතේදී ඔබ පැල්පත්වල ජීවත් විය යුතුයි.+ හැම ඊශ්‍රායෙල් ජාතිකයෙක්ම පැල්පත්වල ජීවත් විය යුතුයි. 43 මම ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තු දේශයෙන් පිටතට+ අරගෙන ආවාම ඔවුන්ට පැල්පත්වල* ජීවත් වෙන්න සැලැස්සුවා කියලා අනාගත පරපුර දැනගන්න+ ඔබ එහෙම කරන්න ඕනේ. මම ඔබේ දෙවි වන යෙහෝවා.’”

44 ඉතින් යෙහෝවා නියම කරපු උත්සව දවස් ගැන මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට කිව්වා.

24 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “පහන් නිතරම දල්වලා තියන්න ඔලීව ගෙඩි කොටලා හදාගත්ත හොඳම තෙල් ඔබට ගෙනල්ලා දෙන්න කියලා ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+ 3 හමු වීමේ කූඩාරමේ ගිවිසුම් පෙට්ටිය තියෙන තැන වෙන් කරන තිරයට එහායින් තියෙන පහන් නොකඩවා දල්වලා තියන්න. යෙහෝවා ඉස්සරහා ඒවා හවස ඉඳන් උදේ වෙන කල්ම නොකඩවා දල්වලා තියන්න ආරොන් වගබලා ගත යුතුයි. ඒක ඔබෙන් පැවතෙන හැම පරම්පරාවක්ම දිගටම පිළිපැදිය යුතු පනතක්. 4 පිරිසිදු රත්තරන්වලින් හදපු පහන් රුක+ මත තියෙන ඒ පහන් යෙහෝවා ඉස්සරහා නොකඩවා දැල්වෙනවාද කියලා ඔහු බැලිය යුතුයි.

5 “සිහින්ව කොටාගත්ත පිටිවලින් මුද්දක හැඩැති රොටි 12ක් හදාගන්න. ඒ එක එක රොටිය හදාගන්න ඕනෙ සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක්* පාවිච්චි කරලයි. 6 එක ගොඩකට රොටි හයක් තියෙන විදිහට රොටි ගොඩවල් දෙකක් හදලා+ ඒවා පවිත්‍ර රන්වලින් හදපු මේසේ උඩ යෙහෝවා ඉස්සරහා තියන්න.+ 7 පිරිසිදු කට්ටකුමංජල් ටිකක් රොටි ගොඩවල් දෙක උඩ තියන්න. ඒ කට්ටකුමංජල් ටික රොටි නියෝජනය කරන්න*+ යෙහෝවා ඉස්සරහා දැවිය යුතුයි. 8 යෙහෝවා ඉස්සරහා තියෙන ඒ රොටි ඔහු හැම සබත් දවසකදීම මාරු කළ යුතුයි.+ ඒක දිගටම කරන්න ඊශ්‍රායෙල් සෙනඟ බැඳිලා ඉන්නවා. 9 ඉවත් කරන රොටි ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි අයිති වෙනවා.+ ඔවුන් ඒවා ශුද්ධ තැනකදී කන්න ඕනේ.+ යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් පූජකයාට ලැබෙන ඒ කොටස ඉතා ශුද්ධයි. ඒක දිගටම පිළිපැදිය යුතු නියෝගයක්.”

10 දවසක් එක මනුස්සයෙක් ඊශ්‍රායෙල් ජාතිකයෙක් එක්ක කඳවුරේදී ගහගත්තා. ඒ කෙනාගේ අම්මා ඊශ්‍රායෙල් ජාතික කාන්තාවක්. හැබැයි තාත්තා ඊජිප්තු ජාතිකයෙක්.+ 11 රණ්ඩුව අතරතුරේ ඊශ්‍රායෙල් ජාතික කාන්තාවගේ පුතා දෙවියන්ගේ නමට ශාප කරලා ඒ නමට අපහාස කළා.+ ඉතින් එයාව මෝසෙස් ඉස්සරහට අරගෙන ගියා.+ එයාගේ අම්මා දාන් ගෝත්‍රයේ දිබ්රීගේ දුව වුණ ෂෙලොමිත්. 12 ඒ ගැන යෙහෝවාගේ තීන්දුව එයාලා හරියටම දැනගන්න කල් එයාව රඳවලා තියාගත්තා.+

13 පස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 14 “මගේ නමට අපහාස කරපු ඒ කෙනාව කඳවුරෙන් එළියට අරගෙන යන්න. එයා කරපු අපහාසය ඇහුණ හැමෝම එයාගේ ඔළුවට අත තියන්න ඕනේ. ඊටපස්සේ මුළු ඊශ්‍රායෙල් සෙනඟම එයාට ගල් ගහලා එයාව මරලා දාන්න ඕනේ.+ 15 ඔයා ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න ඕනේ. ‘කවුරු හරි තමන්ගේ දෙවියන්ට ශාප කළොත් ඔහු ඒ වරදට වග කිව යුතුයි. 16 යෙහෝවාගේ නමට අපහාස කරන කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ මුළු සෙනඟම ඔහුට ගල් ගහලා මරා දැමිය යුතුයි. ඒ කෙනා ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් දෙවියන්ගේ නමට අපහාස කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.

17 “‘කෙනෙක් තව කෙනෙක්ව මැරුවොත්* ඔහුවත් අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ 18 කෙනෙක් තවත් කෙනෙක්ට අයිති සතෙක්ට පහර දීලා ඌව මැරුවොත් ඔහු ඒ සතා වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි. ජීවිතයකට ජීවිතයක් දිය යුතුයි. 19 කෙනෙක් තව කෙනෙක්ට තුවාල කළොත් ඔහුටත් ඒ විදිහටම තුවාල කළ යුතුයි.+ 20 බිඳුමකට බිඳුමක්, ඇසකට ඇසක් සහ දතකට දතක් කියන නීතියට අනුව ඔහු කෙනෙක්ට තුවාල කරපු විදිහටම ඔහුටත් තුවාල කළ යුතුයි.+ 21 කෙනෙක් තව කෙනෙක්ට අයිති සතෙක්ට පහර දීලා ඌව මැරුවොත් ඔහු ඒ සතා වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි.+ ඒත් කෙනෙක් පහර දීලා මනුස්සයෙක්ව මැරුවොත් ඔහුව මරා දැමිය යුතුයි.+

22 “‘හැමෝටම අදාළ වෙන්නේ එකම නීතියයි. ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් ඒක වෙනස් වෙන්නේ නැහැ.+ මොකද මම ඔබේ දෙවි වන යෙහෝවා.’”

23 ඊටපස්සේ මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට ඒ හැම දෙයක්ම කිව්වා. එයාලා දෙවියන්ගේ නමට ශාප කරපු කෙනාව කඳවුරෙන් එළියට අරගෙන ගිහින් ගල් ගහලා එයාව මරලා දැම්මා.+ යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු විදිහටම ඊශ්‍රායෙල් සෙනඟ කළා.

25 යෙහෝවා දෙවියන් සීනයි කන්දේදී මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මම ඔබට දෙන දේශයට ආවාම+ සබත ගැන යෙහෝවා වන මම දීලා තියෙන නීතියට කීකරු වෙලා ඔබ භූමියට විවේකයක් දෙන්න ඕනේ.+ 3 ඔබ අවුරුදු හයක් ඔබේ කෙත්වල බීජ වපුරන්න. ඔබේ මිදිවතුවලට සාත්තු කරලා වැල් කප්පාදු කරන්න. ඒ විදිහට ඔබ අවුරුදු හයක් දේශයේ පලදාව රැස් කරගත යුතුයි.+ 4 ඒත් හත්වෙනි අවුරුද්දේදී ඔබ භූමියට සම්පූර්ණ විවේකයක් දිය යුතුයි. ඒක යෙහෝවා වෙනුවෙන් කැප කරපු සබත් අවුරුද්දක්. ඒ අවුරුද්ද පුරාම ඔබේ කෙත්වල බීජ වපුරන්නවත් ඔබේ මිදිවැල් කප්පාදු කරන්නවත් එපා. 5 කලින් අවුරුද්දේ අස්වැන්න නෙළද්දී කෙත්වල වැටුණ බීජවලින් පැළ වුණ ධාන්‍ය කපලා රැස් කරගන්න එපා. කප්පාදු කරපු නැති ඔබේ මිදිවැල්වල පලදාවත් රැස් කරගන්න එපා. ඒ මුළු අවුරුද්දම භූමියට සම්පූර්ණ විවේකයක් දිය යුතුයි. 6 ඒත් කෑමට අවශ්‍ය දේ සබත් අවුරුද්දේදී ඉබේ වැවෙන දේවලින් ඔබට ගන්න පුළුවන්.* ඔබටත් ඔබේ දාස දාසීන්ටත් කුලීකාරයන්ටත් ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයන්ටත් 7 ඔබ ඇති කරන සතුන්ටත් වනසතුන්ටත් ඒවායින් කන්න පුළුවන්. දේශයේ ඉබේ වැවෙන ඕනෙම දෙයක් කෑමට ගන්න ඔබට පුළුවන්.

8 “‘ඔබ අවුරුදු 49ක් ගණන් කළ යුතුයි. ඒ කියන්නේ සබත් අවුරුදු හතක් ගණන් කරන්න. 9 49වෙනි අවුරුද්දේ හත්වෙනි මාසේ දහවෙනිදා ඒ කියන්නේ සමඟි වෙන දවසේදී+ මුළු දේශයටම ඇහෙන්න ඔබ හොරණෑව පිඹිය යුතුයි. 10 ඊටපස්සේ එන 50වෙනි අවුරුද්ද ශුද්ධ අවුරුද්දක් හැටියට සලකන්න ඕනේ. දේශයේ ඉන්න හැමෝටම ඒ අවුරුද්දේ නිදහස ලැබෙනවා කියලා නිවේදනය කරන්න.+ ඒක නිදහස ලැබෙන අවුරුද්දක්* නිසා හැමෝටම තම තමන්ගේ පවුල්වලටයි, තමන්ට උරුම වුණ ඉඩකඩම්වලටයි ආපහු යන්න පුළුවන්.+ 11 50වෙනි අවුරුද්ද ඔබට නිදහස ලැබෙන අවුරුද්දක්. ඒ අවුරුද්දේදී ඔබේ කෙත්වල බීජ වපුරන්නවත් කෙත්වල ඉතුරු වුණ බීජවලින් පැළ වුණ ධාන්‍ය කපලා රැස් කරගන්නවත් එපා. කප්පාදු නොකරපු මිදිවැල්වල පල රැස් කරගන්නත් එපා.+ 12 ඒ අවුරුද්ද නිදහස ලැබෙන අවුරුද්දක් වෙන නිසා ඒක ඔබ ශුද්ධ අවුරුද්දක් විදිහට සැලකිය යුතුයි. ඔබට කෑමට ගන්න පුළුවන් දේශයේ ඉබේ වැවෙන පලදාව විතරයි.+

13 “‘නිදහස ලැබෙන අවුරුද්දේදී ඔබ එක් එක් කෙනා තමන්ට උරුම වුණ ඉඩකඩම්වලට ආපහු යා යුතුයි.+ 14 ඔබ කෙනෙක්ට ඉඩමක් විකුණුවොත් නැත්නම් තවත් කෙනෙක්ගෙන් ඉඩමක් මිල දීලා ගත්තොත් ඔහුට අසාධාරණයක් කරන්න එපා.+ 15 ඔබ ඉඩමක් මිල දීලා ගද්දී ඒකේ වටිනාකම ගණන් බලන්න ඕනෙ නිදහස ලැබෙන අවුරුද්දේ ඉඳන් ගත වෙලා තියෙන අවුරුදු ගාණට අනුවයි. ඊළඟ නිදහස ලැබෙන අවුරුද්දට තියෙන අවුරුදු ගාණට අනුව ඒ කියන්නේ අස්වැන්න ලැබෙන්න ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණට අනුව ඒකේ වටිනාකම නියම කළ යුතුයි.+ 16 ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණ වැඩි නම් ඉඩමට වැඩි මිලක් නියම කරන්න පුළුවන්. ඒත් ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණ අඩු නම් අඩු මිලක් නියම කළ යුතුයි. මොකද විකුණන ඉඩමේ වටිනාකම තීරණය වෙන්නේ ඒකෙන් ලබාගන්න පුළුවන් අස්වැන්නේ ප්‍රමාණයට අනුවයි. 17 කිසිම කෙනෙක්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා.+ ඔබ ඔබේ දෙවියන්ට ගරුබිය දැක්විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.+ 18 ඔබ මගේ පනත්වලට කීකරු වෙනවා නම් මගේ තීන්දුවලට අනුව ජීවත් වෙනවා නම් ඔබට දේශයේ සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන්.+ 19 කිසිම අඩුවක් නැතුව දේශයෙන් පලදාව ලැබෙයි.+ ඔබට හොඳට කාලා බීලා කිසි බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි.+

20 “‘“හත්වෙනි අවුරුද්දේදී අපිට බීජ වපුරන්නවත් අස්වැන්න රැස් කරන්නවත් බැරි නම් අපි කන්නේ මොනවාද”+ කියලා ඔබ කියන්න පුළුවන්. 21 ඒත් හයවෙනි අවුරුද්දේදී මං ඔබට ගොඩක් ආශීර්වාද කරන නිසා අවුරුදු තුනකට ඇති වෙන තරම් පලදාව ඒ අවුරුද්දේදී ඔබට ලැබෙයි.+ 22 ඔබට පුළුවන් වෙනවා නමවෙනි අවුරුද්ද වෙන කල්ම ඒ අස්වැන්නෙන් කන්න. අටවෙනි අවුරුද්දේදී ඔබ බීජ වපුරයි. අටවෙනි අවුරුද්දේ අස්වැන්න නෙළන කල් ඔබට පරණ අස්වැන්නෙන් කන්න පුළුවන්.

23 “‘ඔබ කෙනෙක්ට ඉඩමක් විකුණද්දී ඔහුට ඒක අයිති වෙන්නේ කෙටි කාලෙකට විතරයි.+ මොකද දේශයේ අයිතිකරු මමයි.+ මම ඔබව සලකන්නේ තාවකාලිකව පදිංචි වෙලා ඉන්න විදේශිකයන් විදිහටයි.+ 24 ඔබට උරුම වෙන දේශයේ කවුරු හරි ඉඩමක් විකුණුවොත් ඒ ඉඩම ආපහු මිල දීලා ගන්න අයිතිය ඒ ඉඩම විකුණන කෙනාට තියෙනවා.

25 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙක්ට දුප්පත්කම නිසා ඔහුගේ ඉඩම විකුණන්න වුණොත් ඔහුගේ ළඟ නෑයෙක් ඒක ඔහු වෙනුවෙන් ආපහු මිල දීලා ගත යුතුයි.+ 26 ඒ ඉඩම ආපහු මිල දීලා ගන්න ළඟ නෑයෙක් ඔහුට නැති වෙන්න පුළුවන්. ඒත් කාලයක් යද්දී ඒක ආපහු මිල දීලා ගන්න තරම් වත්කමක් ඔහු උපයගන්න පුළුවන්. 27 ඔහු ඉඩම විකුණපු දවසේ ඉඳන් ගත වුණ අවුරුදු ගාණේදී ඒකෙන් ලැබුණ අස්වැන්නේ වටිනාකම ගණන් බලන්න ඕනේ. ඊටපස්සේ ඉඩම විකුණපු ගාණින් ඒ ගාණ අඩු කරලා ඉතුරු මුදල ඉඩම මිල දීලා ගත්ත කෙනාට දිය යුතුයි. ඒ විදිහට ඔහුට ඔහුගේ ඉඩම ආපහු ලැබෙනවා.+

28 “‘ඉඩම ආපහු මිල දීලා ගන්න තරම් වත්කමක් ඔහුට උපයගන්න බැරි වුණොත් නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් මිල දීලා ගත්ත කෙනාට ඒක අයිතියි.+ ඒත් නිදහස ලැබෙන අවුරුද්දේදී ඒක ආපහු අයිතිකරුට ලැබෙනවා. ඔහුට තමන්ගේ ඉඩමට ආපහු යන්න පුළුවන්.+

29 “‘කෙනෙක් පවුරකින් වට වෙලා තියෙන නගරයක තියෙන ගෙයක් විකුණුවොත් ඒක විකුණපු දවසේ ඉඳලා අවුරුද්දක් යන කල් ඔහුට ඒක ආපහු මිල දීලා ගන්න අයිතිය තියෙනවා.+ 30 ඒත් ඒ අවුරුද්ද ඇතුළත ඔහු ඒ ගේ ආපහු මිල දීලා ගත්තේ නැත්නම් මිල දීලා ගත්ත කෙනාටයි, ඔහුගෙන් පැවතෙන අයටයි හැමදාටම ඒක අයිති වෙනවා. නිදහස ලැබෙන අවුරුද්දේදී මුල් අයිතිකරුට ඒක ආපහු ලැබෙන්නේ නැහැ. 31 ඒත් පවුරකින් වට වෙලා නැති නගරයක තියෙන ගෙයක් සලකන්න ඕනෙ හිස් ඉඩමක් විදිහටයි. ඒ වගේ ගෙයක් විකුණුවොත් ඒක ආපහු ඕනෙම අවස්ථාවක මිල දීලා ගන්න පුළුවන්. නිදහස ලැබෙන අවුරුද්දේදී ඒකේ මුල් අයිතිකරුට ඒක ආපහු ලබා දිය යුතුයි.

32 “‘ලෙවීවරුන් ඔවුන්ගේ නගරයක තියෙන ගෙවල්+ විකුණුවොත් ඒවා ආපහු මිල දීලා ගන්න අයිතිය ඔවුන්ට හැමදාටම තියෙනවා. 33 ලෙවීවරුන්ට අයිති නගරයක තියෙන ගෙයක් ආපහු මිල දීලා ගත්තේ නැත්නම් නිදහස ලැබෙන අවුරුද්දේදී ඒක ආපහු අයිතිකරුට ලැබෙනවා.+ මොකද ලෙවීවරුන්ට අයිති නගරවල තියෙන ගෙවල් ඊශ්‍රායෙල් දේශයේ ඔවුන්ට අයිති දෙයක් විදිහට ඔවුන් වෙනුවෙන් වෙන් කරලයි තියෙන්නේ.+ 34 ඔවුන්ගේ නගර අවට තියෙන තණබිම්+ විකුණන්න අවසර නැහැ. මොකද ඒවා හැමදාටම අයිති ඔවුන්ටයි. ඒවා ඔවුන්ගේ උරුමයයි.

35 “‘ළඟපාත ජීවත් වෙන ඊශ්‍රායෙල් ජාතිකයෙක් එදා වේල හොයාගන්න බැරි තරමටම දුප්පත් වුණොත් ඔබ ඔහුට උදව් කළ යුතුයි.+ ඔබ අතරේ ඉන්න විදේශිකයෙක්ට ඔබ උදව් කරන විදිහටම ඔහුටත් උදව් කළ යුතුයි.+ එහෙම කළොත් ඔහුට දිගටම ඔබ අතරේ ජීවත් වෙන්න පුළුවන් වෙයි. 36 ඔහුගෙන් පොලී අය කරන්නවත් ලාභයක් උපයගන්න හදන්නවත් එපා.+ ඔහුට දිගටම ඔබ අතරේ ජීවත් වෙන්න උදව් කරන්න. ඔබ ඔබේ දෙවියන්ට ගරුබිය දැක්විය යුතුයි.+ 37 ඒ කෙනාට ඔබේ මුදල් පොලියට දෙන්න එපා.+ වාසියක් බලාපොරොත්තුවෙන් ඔහුට කෑම දෙන්න එපා. 38 ඔබට කානාන් දේශය ලබා දෙන්න ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු මම ඔබේ දෙවි වන යෙහෝවා.+ එහෙම කළේ මම ඔබේ දෙවියන් කියලා ඔබට ඔප්පු කරලා පෙන්නන්නයි.+

39 “‘ළඟපාත ජීවත් වෙන ඊශ්‍රායෙල් ජාතිකයෙක් දුප්පත්කම නිසා ඔබ ළඟට ඇවිත් තමන්ව දාසකමට විකුණුවොත්+ වහලෙක්ගෙන් වගේ ඔහුගෙන් වැඩ ගන්න එපා.+ 40 කුලියට ගන්න කෙනෙක්ට+ නැත්නම් විදේශිකයෙක්ට සලකන විදිහට ඔහුට සැලකිය යුතුයි. නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් ඔහු ඔබත් එක්ක ඉඳලා සේවය කළ යුතුයි. 41 ඊටපස්සේ ඔහුටයි, ඔහුගේ දරුවන්ටයි* ඔබෙන් නිදහස් වෙලා තමන්ගේ පවුලේ අය ළඟට යන්න පුළුවන්. ඔහුට පරම්පරාවෙන් උරුම වුණ ඉඩමට ඔහු ආපහු යා යුතුයි.+ 42 ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙක්ට වහලෙක් හැටියට තමන්වම විකුණන්න අවසර නැහැ. මොකද ඔවුන් හැමෝම මම ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු මගේ දාසයන්.+ 43 තමන්ව දාසයෙක් විදිහට විකුණපු කෙනෙක්ට කුරිරු විදිහට සලකන්න එපා.+ ඔබ ඔබේ දෙවියන්ට ගරුබිය දැක්විය යුතුයි.+ 44 ඔබට දාස දාසීන්ව අවශ්‍ය නම් අවට ජාතීන්ගෙන් ඔවුන්ව මිල දීලා ගන්න ඕනේ. 45 ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයන්ව සහ ඔබේ දේශයේදී ඔවුන්ට ඉපදෙන දරුවන්ව+ දාසයන් විදිහට මිල දීලා ගන්න ඔබට පුළුවන්. ඔවුන් ඔබට අයිති දාසයන් වෙනවා. 46 ඔබෙන් පස්සේ ඔබේ පුතාලට උරුමයක් විදිහට ඔවුන්ව අයිති වෙනවා. ඔවුන් දිගටම ඔබේ දරුවන්ගේ දාසයන් විදිහට සේවය කරයි. ඒත් ඔබේ සහෝදරයන් වන ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න කිසිම කෙනෙක්ගෙන් කුරිරු විදිහට වැඩ ගන්න එපා.+

47 “‘ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් කාලයක් යද්දී පොහොසත් වෙන්න පුළුවන්. ඔබේ සහෝදරයෙක් වන ඊශ්‍රායෙල් ජාතිකයෙක් දුප්පත්කම නිසා ඒ විදේශිකයා ළඟට ගිහින් නැත්නම් ඒ විදේශිකයාගේ පවුලේ කෙනෙක් ළඟට ගිහින් තමන්ව දාසකමට විකුණන්න පුළුවන්. 48 ඒත් මුදල් ගෙවලා දාසකමෙන් නිදහස් වෙන අයිතිය ඔහුට තියෙනවා. ඔහුගේ සහෝදරයෙක්ට ඔහුව මුදවගන්න පුළුවන්.+ 49 නැත්නම් ඔහුගේ පියාගේ සහෝදරයෙක්ට හරි ඥාති සහෝදරයෙක්ට හරි වෙනත් ළඟ නෑයෙක්ට* හරි ඔහුව මුදවගන්න පුළුවන්.

“‘එහෙම නැත්නම් ඔහු පොහොසත් වුණොත් ඔහුට ඒ මුදල ගෙවලා නිදහස් වෙන්න පුළුවන්.+ 50 ඔහුව මිල දීලා ගත්ත කෙනා එක්ක තමාව විකුණපු අවුරුද්දේ ඉඳන් නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් තියෙන අවුරුදු ගාණ ඔහු ගණන් කරලා බැලිය යුතුයි.+ ඔහුගේ වටිනාකම ගණන් බලන්න ඕනෙ ඒ අවුරුදු ගාණේදී කුලීකාරයෙක්ට ගෙවන කුලිය අනුවයි.+ 51 නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් වැඩි අවුරුදු ගාණක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ අවුරුදු ගාණට අනුව ඔහුට නිදහස් වෙන්න වැඩි මුදලක් ගෙවන්න වෙනවා. 52 නිදහස ලැබෙන අවුරුද්ද දක්වා කෙටි කාලයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ අවුරුදු ගාණට අනුව නිදහස් වෙන්න ඔහුට ගෙවන්න වෙන්නේ අඩු මුදලක්. 53 ඔහු තමන්ගේ ස්වාමියා ළඟ වැඩ කරන කාලේ පුරාම ඔහුට කුලීකාරයෙක්ට වගේ සැලකිය යුතුයි. ඔහුට කුරිරු විදිහට සලකන්න එපා.+ 54 කලින් සඳහන් කරපු කොන්දේසිවලට අනුව ඔහුට තමාවම මුදවගන්න බැරි වුණොත් නිදහස ලැබෙන අවුරුද්දේදී ඔහුයි,+ ඔහුගේ දරුවනුයි* නිදහස් වෙනවා.

55 “‘ඊශ්‍රායෙල් සෙනඟ මට අයිති දාසයෝ. ඔවුන් හැමෝම මම ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු මගේ දාසයන්.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

26 “‘කිසි වැඩකට නැති දෙවිවරුන්ව හදාගන්න එපා.+ නමස්කාර කරන්න රූපවත්+ කුලුනුවත් හදාගන්න එපා. කැටයම් කරපු ගල් රූප+ ඔබේ දේශයේ ඉදි කරන්නවත් ඒවා ඉස්සරහා වැඳ වැටෙන්නවත් එපා.+ මොකද මම ඔබේ දෙවි වන යෙහෝවා. 2 මම නියම කරපු සබත් ඔබ පැවැත්විය යුතුයි. මගේ ශුද්ධස්ථානයට ඔබ ලොකු ගෞරවයක්* පෙන්විය යුතුයි. මම ඔබේ දෙවි වන යෙහෝවා.

3 “‘ඔබ මගේ ආඥාවලට කීකරු වෙලා මගේ පනත්වලට අනුව ජීවත් වුණොත්+ 4 මම නියම කාලෙට ඔබේ දේශයට වැසි ලබා දෙනවා.+ ඔබට භූමියෙන් ඉතා සාරවත් අස්වැන්නක් ලැබෙයි.+ දේශයේ ගස්වලින් හොඳ පලදාවක් ලැබෙයි. 5 මිදි අස්වැන්න එකතු කරන කාලය වෙන කල්ම ඔබ ධාන්‍ය පාගනවා. බීජ වපුරන කාලය වෙන කල්ම ඔබ මිදි අස්වැන්න එකතු කරනවා. කෑමෙන් ඔබට කිසි හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඔබ ඔබේ දේශයේ සුරක්ෂිතව ජීවත් වෙනවා.+ 6 මම ඔබේ දේශය පුරාම සමාදානය ඇති කරනවා.+ හිතේ බයක් නැතුව ඔබ සැපට නිදාගන්නවා.+ මම නපුරු වනසතුන්ව ඔබේ දේශයෙන් පන්නලා දානවා. කවුරුවත් ඔබට විරුද්ධව සටන් කරන්න කඩු අරගෙන එන්නේ නැහැ. 7 ඔබ ඔබේ සතුරන්ව පන්නලා දානවා. කඩුවෙන් පහර දීලා ඔවුන්ව පරාජය කරනවා. 8 ඔබෙන් පස්දෙනෙක් සතුරන් 100දෙනෙක්වයි, ඔබෙන් 100දෙනෙක් සතුරන් 10,000දෙනෙක්වයි පන්නලා දානවා. ඔබ කඩුවෙන් පහර දීලා ඔබේ සතුරන්ව පරාජය කරනවා.+

9 “‘මම ඔබට ආශීර්වාද කරනවා. ඔබට ගොඩක් දරු සම්පත් ලබා දීලා ඔබේ ගාණ තව තවත් වැඩි කරනවා.+ ඔබ එක්ක ඇති කරගත්ත ගිවිසුම මම ඉටු කරනවා.+ 10 ඔබට කොච්චර අස්වැන්නක් ලැබෙනවාද කියනවා නම් ඊළඟ අවුරුද්දේ අස්වැන්න නෙළන කාලය වෙද්දීත් පරණ අස්වැන්න කාලා ඉවර කරන්න බැරි වෙයි. අලුත් අස්වැන්න ගබඩා කරන්න වෙන්නේ කලින් අවුරුද්දේ අස්වැන්න අයින් කරලයි. 11 මම මගේ ශුද්ධ කූඩාරම ඔබ අතරේ පිහිටුවනවා.+ මම ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. 12 මම ඔබත් එක්කම ඉඳලා ඔබේ දෙවියන් වෙනවා.+ ඔබ මගේ සෙනඟ වෙනවා.+ 13 ඔබ වහලුන් වෙලා හිටපු ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනාපු මම ඔබේ දෙවි වන යෙහෝවා. ඔබ පිට දාපු වියගහ අයින් කරලා නිදහස් සෙනඟක් විදිහට ගමන් කරන්න ඔබට උදව් කළේ මමයි.

14 “‘ඒත් ඔබ මගේ ආඥාවලට අකීකරු වෙලා මට සවන් දෙන්නේ නැත්නම්+ 15 මගේ පනත් ප්‍රතික්ෂේප කරලා+ මගේ තීන්දු ගාණකටවත් ගන්නේ නැතුව මගේ ආඥාවලට පිටින් ගිහිල්ලා මාත් එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩ කළොත්+ 16 මම ඔබට මේ දේවලින් දඬුවම් කරනවා. ඔබට ලොකු බයක් දැනෙන්න සලස්වනවා. ක්ෂය රෝගය සහ තද උණ ඔබ පිටට ගේනවා. ඒකෙන් ඔබේ පෙනීම දුර්වල වෙලා, ශරීර ශක්තිය හීන වෙයි. බීජ වැපුරුවත් ඔබට කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද ඔබේ සතුරන් ඇවිත් ඔබේ අස්වැන්න පැහැරගන්නවා.+ 17 මම ඔබව ප්‍රතික්ෂේප කරනවා. ඔබේ සතුරන්ගේ අතින් ඔබ පරාජය වෙනවා.+ ඔබට වෛර කරන අය ඔබව පාගලා දානවා.+ කවුරුත් ඔබ පසුපස එළවගෙන ආවේ නැතත් ඔබ බයෙන් පලා දුවනවා.+

18 “‘ඒ වගේ දේවලට මුහුණ දුන්නාට පස්සෙත් ඔබ මට සවන් දෙන්නේ නැත්නම් ඔබේ වැරදිවලට කලින්ට වඩා හත් ගුණයක් වැඩියෙන් මම ඔබට දඬුවම් කරනවා. 19 මම ඔබේ උද්ධච්චකම නැති කරලා දානවා. අහස යකඩ වගෙත්*+ භූමිය තඹ වගෙත්* වෙන්න සලස්වනවා. 20 ඔබ කොච්චර මහන්සි වුණත් ඒකෙන් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද ඔබට භූමියෙන් අස්වැන්නක්වත් දේශයේ ගස්වලින් පලදාවක්වත් ලැබෙන්නේ නැහැ.+

21 “‘එහෙම වුණාට පස්සෙත් ඔබ මට විරුද්ධ වෙලා මට සවන් දෙන්නේ නැත්නම් මම ඔබේ වැරදිවලට දෙන දඬුවම් තවත් හත් ගුණයකින් වැඩි කරනවා. 22 මම වනසතුන්ව ඔබ අතරට එවනවා.+ උන් ඔබේ දරුවන්ව මරලා+ ඔබ ඇති කරන සතුන්ව විනාශ කරලා දානවා. ඔබේ දේශයේ ජනගහනය අඩු වෙලා පාරවල් පාළු වෙලා යනවා.+

23 “‘ඔබ එහෙම දඬුවම් වින්දාට පස්සෙත් මගේ හික්මවීම් පිළිගන්නේ නැතුව+ දිගටම මුරණ්ඩු විදිහට මට විරුද්ධව වැඩ කළොත් 24 මමත් ඔබට විරුද්ධව වැඩ කරනවා. ඔබේ වැරදිවලට මම ඔබට හත් පාරක් දඬුවම් කරනවා. 25 ඔබ මගේ ගිවිසුම කඩ කරපු නිසා ඔබට කඩුවෙන් පහර දෙන්න මම ඔබේ සතුරන්ව එවනවා.+ ඔබ ඔබේ නුවරවල හැංගිලා හිටියත් මම ඔබට වසංගතවලින් පහර දීලා+ සතුරෙක් අතට ඔබව හසු කරලා දෙනවා.+ 26 මම ඔබේ ආහාර* ගබඩාවන්* විනාශ කරලා දානවා.+ ඒ නිසා කාන්තාවන් දහදෙනෙක්ට රොටි පුච්චන්න එක උදුනක් හොඳටම ඇති වෙනවා. ඔවුන් ඔබ එක් එක් කෙනාට කෑම පංගුවක් කිරලා දෙනවා.+ ඒ පොඩි කොටස ඔබ කෑවත් බඩගින්න නිවෙන්නේ නැහැ.+

27 “‘ඒත් ඒ හැම දේකටම පස්සෙත් ඔබ මට සවන් නොදී මුරණ්ඩු විදිහට දිගටම මට විරුද්ධව වැඩ කළොත් 28 මම තවත් වැඩියෙන් ඔබට විරුද්ධව වැඩ කරනවා.+ ඔබේ වැරදිවලට මම ඔබට හත් පාරක් දඬුවම් කරනවා. 29 ඔබට ඔබේම පුතාලාගෙත් දුවලාගෙත් මස් කන්න වෙනවා.+ 30 මම ඔබේ පූජනීය ස්ථාන* නැත්තටම නැති කරලා+ ඔබේ සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩලා දානවා. ඔබ හදපු පිළිකුල් රූප* විනාශ කරලා ඔබේ මළ කඳන් ඒවාට උඩින් ගොඩගහනවා.+ ඔබ මට පිළිකුලක් වන නිසා මම ඔබව ප්‍රතික්ෂේප කරනවා.+ 31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වෙන්න ඉඩහැරලා+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරනවා. ඔබ ඔප්පු කරන පූජාවලින් නඟින සුවඳ මම මිහිරි* සුවඳක් විදිහට සලකන්නේ නැහැ. 32 මම මුළු දේශයම පාළු තැනක් කරනවා.+ ඔබේ දේශය අයිති කරගන්න ඔබේ සතුරෝ දේශයට වෙලා තියෙන දේ දැකලා පුදුම වෙනවා.+ 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරිනවා.+ කඩු අරන් ඔබට විරුද්ධව සටන් කරන්න මම ඔබේ සතුරන්ව එවනවා.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් වෙනවා.+ ඔබේ මුළු දේශයම පාළු වෙනවා.

34 “‘දේශය ඒ විදිහට පාළු වෙලා තියෙන කාලේදී ඒකට විවේකයක් ලැබෙනවා. ඔබ සතුරන්ගේ දේශයේ වහලුන් වෙලා ඉන්න කාලේදී ඔබ පැවැත්තුවේ නැති හැම සබතක් වෙනුවෙන්ම දේශය විවේක ගන්නවා.+ 35 ඔබ දේශයේ ජීවත් වුණ කාලේදී සබත් නීතිය පිළිපැද්දේ නැති නිසා දේශය පාළු වෙලා තියෙන මුළු කාලේදී ඒකට විවේකයක් ලැබෙනවා.

36 “‘ඔබ අතරින් බේරෙන අයට+ සතුරන්ගේ දේශයේ බයෙන් ජීවත් වෙන්න මම සලස්වනවා. කොච්චර බයෙන් ඉන්න වෙනවාද කියනවා නම් කොළයක් හුළඟේ පා වෙලා යන සද්දෙටත් ඔවුන් පැනලා දුවනවා. කවුරුත් ඔවුන් පස්සේ එළවගෙන ආවේ නැතත් කඩුවක් අරගෙන කෙනෙක් ඔවුන් පස්සේ එළවගෙන එනවා වගේ ඔවුන් දුවනවා. අන්තිමේදී ඔවුන් ඇදගෙන වැටෙනවා.+ 37 කඩු අරගෙන සතුරන් එළවගෙන එනවා කියලා හිතලා ඔවුන් කලබල වෙලා ඒ මේ අත දිව්වත් ඇත්තටම ඔවුන් පස්සේ කවුරුත් එළවගෙන එන්නේ නැහැ. කලබල වෙලා ඔවුන් දුවද්දී එක් එක් කෙනාගේ ඇඟේ හැප්පිලා වැටෙනවා. ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න ඔබට ශක්තියක් නැහැ.+ 38 ඔබෙන් වැඩිදෙනෙක් වෙනත් ජාතීන්ට අයිති දේශවලදී මිය යයි.+ ඔබේ සතුරන්ගේ දේශයේදී ඔබ විනාශ වෙලා යයි. 39 ඔබ අතරින් බේරෙන අය ඔවුන්ගේ වැරදි නිසා සතුරන්ගේ දේශයේදී දුක් විඳලා නැති වෙනවා.+ ඔවුන්ගේ පියවරුන්ගේ වැරදි නිසා ඔවුන් අනිවාර්යයෙන්ම දුක් විඳලා නැති වෙලා යනවා.+ 40 එතකොට ඔවුන් තමන්ගේ වැරදි තේරුම්ගනියි.+ ඔවුන්ගේ පියවරුන් මට අවිශ්වාසවන්ත වෙලා කරපු වැරදි ඔවුන් තේරුම්ගනියි. මට විරුද්ධව වැඩ කරලා මට අවිශ්වාසවන්ත වුණා කියලා ඔවුන් පිළිගනියි.+ 41 මම ඔවුන්ට විරුද්ධව වැඩ කළෙත්+ සතුරන්ගේ දේශයට ඔවුන්ව අරන් ගියෙත්+ ඔවුන් මට විරුද්ධව වැඩ කරපු නිසයි කියලා ඔවුන් තේරුම්ගනියි.

“‘එතකොටවත් ඔවුන් යටහත්පහත් වෙලා ඔවුන්ගේ මුරණ්ඩු ගති* අත්හරියි.+ ඔවුන්ගේ වැරදිවලට වන්දි ගෙවයි. 42 මම යාකොබ් එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කරනවා.+ ඊසාක් එක්ක ඇති කරගත්ත ගිවිසුමයි,+ ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුමයි මම සිහි කරනවා.+ දේශයත් මම සිහි කරනවා. 43 ඔවුන්ට දේශය අත්හැරලා යන්න වෙන කාලේදී දේශය පාළුවට යන නිසා ඔවුන් පැවැත්තුවේ නැති සබත් වෙනුවෙන් දේශය විවේක ගනියි.+ ඒ වගේම ඔවුන් මගේ තීන්දු ප්‍රතික්ෂේප කරලා මගේ පනත් හෙළා දැක්ක නිසා ඒ වරදට ඔවුන් වන්දි ගෙවයි.+ 44 ඔවුන් ඒ මොනවා කළත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේ ඔවුන් ඉන්න කාලේදී මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.+ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන විදිහට ඔවුන්ව අත්හැරලා දාන්නෙත් නැහැ. එහෙම කළොත් මම ඔවුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම+ කඩ වෙනවා. මම ඔවුන්ගේ දෙවි වන යෙහෝවා. 45 වෙනත් ජාතීන්ගේ ඇස් පනාපිටම මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවා.+ එහෙම කළේ මම ඔවුන්ගේ දෙවියන් කියලා ඔප්පු කරලා පෙන්නන්න. මම ඔවුන් ගැන හිතලා ඔවුන්ගේ මුතුන්මිත්තන් එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කරනවා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.’”

46 ඒ නියෝග, තීන්දු සහ නීති යෙහෝවා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් සීනයි කන්දේදී ඊශ්‍රායෙල් සෙනඟට දුන්නා.+

27 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කවුරු හරි කෙනෙක් විශේෂ භාරයක්+ විදිහට පුද්ගලයෙක්ගේ වටිනාකම යෙහෝවාට දෙන්න පොරොන්දු වුණොත් ඒ වටිනාකම තීරණය කරන්න ඕනෙ මේ විදිහටයි. 3 වයස අවුරුදු 20ත් 60ත් අතර පුරුෂයෙක්ගේ වටිනාකම රිදී ෂෙකෙල්* 50යි. ඒ හැම ෂෙකෙල් එකකම බර ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ* බරට සමාන විය යුතුයි. 4 ඒ වයසේම ඉන්න ස්ත්‍රියකගේ වටිනාකම ෂෙකෙල් 30යි. 5 වයස අවුරුදු 5ත් 20ත් අතර පිරිමි කෙනෙක්ගේ වටිනාකම ෂෙකෙල් 20යි. ගැහැනු කෙනෙක්ගේ වටිනාකම ෂෙකෙල් 10යි. 6 වයස මාසයත් අවුරුදු පහත් අතර පුතෙක්ගේ වටිනාකම රිදී ෂෙකෙල් පහයි. දුවෙක්ගේ වටිනාකම රිදී ෂෙකෙල් තුනයි.

7 “‘වයස අවුරුදු 60ක් හරි ඊට වඩා වයසින් වැඩි පුරුෂයෙක්ගේ වටිනාකම ෂෙකෙල් 15යි. ස්ත්‍රියකගේ වටිනාකම ෂෙකෙල් 10යි. 8 ඒත් පුද්ගලයෙක්ගේ වටිනාකමට නියමිත ගාණ දෙන්න තරම් වත්කමක් කෙනෙක්ට නැත්නම්+ ඔහු පූජකයා ළඟට යා යුතුයි. එතකොට පූජකයාට පුළුවන් ඔහු කීයක් ගෙවන්න ඕනෙද කියලා තීරණය කරන්න. පූජකයා භාරය වුණ කෙනාගේ වත්කමට අනුව ඒක තීරණය කරයි.+

9 “‘කෙනෙක් යෙහෝවාට පූජාවක් විදිහට ඔප්පු කරන්න පුළුවන් සතෙක්ව භාරයක් හැටියට දෙන්න පොරොන්දු වුණොත් යෙහෝවාට දෙන ඒ සතා ශුද්ධයි. ඌ අයිති දෙවියන්ටයි. 10 ඒ සතා වෙනුවට තව සතෙක්ව දෙන්න ඔහුට බැහැ. හොඳ සතෙක් වෙනුවට නරක සතෙක්වත් නරක සතෙක් වෙනුවට හොඳ සතෙක්වත් හුවමාරු කරන්න බැහැ. ඔහු එහෙම දෙයක් කළොත් ඒ සත්තු දෙන්නාම ඒ කියන්නේ මුලින් දුන්න සතාවයි, මාරු කරන්න ගෙනාපු සතාවයි දෙවියන්ට අයිති වෙනවා. උන් ශුද්ධයි. 11 යෙහෝවාට පූජාවක් හැටියට ඔප්පු කරන්න බැරි අපවිත්‍ර සතෙක්ව+ භාරයක් හැටියට දෙන්න පොරොන්දු වුණොත් ඔහු පූජකයා ඉස්සරහට ඒ සතාව ගෙනා යුතුයි. 12 පූජකයා ඌ හොඳ තත්වයක ඉන්නවාද නැද්ද කියලා බලලා ඒ අනුව උගේ වටිනාකම නියම කළ යුතුයි. පූජකයා නියම කරන ගාණ තමයි උගේ වටිනාකම. 13 ඒත් ඒ සතාව ආපහු මිල දීලා ගන්න භාරය වුණ කෙනාට අවශ්‍ය නම් සතාට නියම කරපු ගාණත් එක්ක ඒ ගාණෙන් පහෙන් එකකුත් ඔහු ගෙවිය යුතුයි.+

14 “‘කෙනෙක් තමන්ගේ නිවස ශුද්ධ දෙයක් විදිහට යෙහෝවාට කැප කළොත් පූජකයා ඒ නිවසේ තත්වය බලලා ඒ අනුව ඒකේ වටිනාකම නියම කළ යුතුයි. පූජකයා නියම කරන ඒ ගාණ තමයි නිවසේ වටිනාකම වෙන්නේ.+ 15 නිවස කැප කරපු කෙනාට ඒ නිවස ආපහු මිල දීලා ගන්න අවශ්‍ය නම් නිවසට නියම කරපු ගාණත් එක්ක ඒ ගාණෙන් පහෙන් එකකුත් ගෙවිය යුතුයි. එතකොට ඔහුට ඒක ආයෙත් අයිති වෙනවා.

16 “‘කෙනෙක් තමන්ට අයිති ඉඩමෙන් කොටසක් යෙහෝවාට කැප කළොත් ඒකේ වටිනාකම තීරණය කරන්න ඕනෙ ඒ ඉඩම වපුරන්න අවශ්‍ය වෙන බීජ ප්‍රමාණයට අනුවයි. ඉඩම වපුරන්න බාර්ලි හෝමරයක්* අවශ්‍ය නම් ඒකේ වටිනාකම රිදී ෂෙකෙල් 50යි. 17 ඔහු තමන්ගේ බිම් කොටස කැප කළේ නිදහස ලැබෙන අවුරුද්දේදී+ නම් ඒකේ වටිනාකමේ වෙනසක් වෙන්නේ නැහැ. 18 ඒත් ඔහු ඒ බිම් කොටස නිදහස ලැබෙන අවුරුද්දෙන් පස්සේ කැප කළොත් ඒ බිම් කොටසේ වටිනාකම අඩු වෙන්න ඕනේ. පූජකයා ඒකේ වටිනාකම තීරණය කරන්න ඕනෙ ඊළඟ නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් තියෙන අවුරුදු ගාණ අනුවයි.+ 19 බිම් කොටස කැප කරපු කෙනාට ඒක ආපහු මිල දීලා ගන්න උවමනා වුණොත් ඒකේ වටිනාකමයි, ඒ ගාණෙන් පහෙන් එකකුයි ඒකත් එක්ක ගෙවිය යුතුයි. එතකොට ඒක ආයෙත් ඔහුට අයිති වෙනවා. 20 ඒත් ඔහු ඒ බිම් කොටස ආපහු මිල දීලා ගන්නේ නැතුව ඒක වෙනත් කෙනෙක්ට විකුණුවොත් ඒක කවදාවත් ආපහු මිල දීලා ගන්න බැහැ. 21 නිදහස ලැබෙන අවුරුද්දේදී ඒ බිම් කොටස යෙහෝවාට කැප කළ යුතුයි. ඒක ශුද්ධ දෙයක් හැටියට සැලකිය යුතුයි.+ ඒක පූජකයන්ට අයිති වෙනවා.

22 “‘කෙනෙක් තමන්ට උරුමයෙන් ලැබුණේ නැති, මිල දීලා ගත්ත ඉඩමක් යෙහෝවාට කැප කළොත්+ 23 පූජකයා නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණ ගණන් කරලා ඒ අනුව ඒකේ වටිනාකම තීරණය කරන්න ඕනේ. ඒ කෙනා ඒ මුදල එදාම ගෙවිය යුතුයි.+ ඒ මුදල යෙහෝවා සලකන්නේ ශුද්ධ දෙයක් විදිහටයි. 24 නිදහස ලැබෙන අවුරුද්දේදී ඒ ඉඩම ඒක විකුණපු කෙනාට ඒ කියන්නේ මුල් අයිතිකරුට ආපහු අයිති වෙනවා.+

25 “‘හැම දේකම වටිනාකම තීරණය කරන්න ඕනෙ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බර පාවිච්චි කරලයි. ෂෙකෙලයක බර ගේරා* 20ක් විය යුතුයි.

26 “‘හැබැයි කුලුඳුල් සතුන්ව කැප කරන්න කිසිම කෙනෙක්ට අවසර නැහැ. මොකද උන් කොහොමත් අයිති යෙහෝවාටයි.+ ඒ සතා ගවයෙක් වුණත් බැටළුවෙක් වුණත් ඌව අයිති යෙහෝවාටයි.+ 27 ඒත් අපවිත්‍ර කුලුඳුල් සතුන්ව ආපහු මිල දීලා ගන්න* පුළුවන්. කෙනෙක් එහෙම කරනවා නම් ඒ සතාට නියම කරපු වටිනාකමත් එක්ක ඒකෙන් පහෙන් එකකුත් ගෙවිය යුතුයි.+ ඒත් ඔහු ඌව මිල දීලා ගත්තේ නැත්නම් නියම කරපු වටිනාකමට පූජකයා ඌව විකිණිය යුතුයි.

28 “‘කෙනෙක් තමන් යටතේ ඉන්න මනුස්සයෙක්ව හරි තමන්ට අයිති සතෙක්ව හරි උරුමයෙන් තමන්ට අයිති වුණ ඉඩමක් හරි යෙහෝවාට සදහටම* කැප කළොත් ඒ කෙනාව හරි සතාව හරි ඒ ඉඩම හරි විකුණන්නවත් ආපහු මිල දීලා ගන්නවත් ඔහුට අවසර නැහැ. යෙහෝවාට කැප කරන හැම දෙයක්ම ඔහුට අයිති වෙනවා. ඒවා ඉතා ශුද්ධයි.+ 29 මරණයට නියම කරපු* කෙනෙක්ව කොහොමටවත් මුදවගන්න අවසර නැහැ.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

30 “‘දේශයෙන් ලැබෙන පලදාවෙන් දහයෙන් කොටසක්+ යෙහෝවාට අයිතියි. ධාන්‍ය අස්වැන්නෙන් වගේම ගස්වල පලදාවෙන් දහයෙන් කොටසක් ඔහුට දිය යුතුයි. ඒවා යෙහෝවාට අයිති ශුද්ධ කොටස්. 31 ඔහුට දෙන ඒ දහයෙන් කොටස කෙනෙක්ට ආපහු මිල දීලා ගන්න අවශ්‍ය නම් ඒ කෙනා ඒකේ වටිනාකමත් එක්ක ඒකෙන් පහෙන් කොටසකුත් ගෙවිය යුතුයි. 32 එළු බැටළු සහ ගව රැළේ ඉන්න සතුන් දහදෙනෙක්ගෙන් එකෙක් යෙහෝවාට දිය යුතුයි. එඬේරා තමන්ට අයිති සතුන්ව ගණන් කරද්දී දහවෙනියට එන සතාව දෙවියන්ට දිය යුතුයි.* දහවෙනියට එන හැම සතෙක්ම ශුද්ධයි. 33 ඒ දහවෙනි සතාගේ තත්වය හොඳද නරකද කියලා පරීක්ෂා කරලා බලන්න එපා. ඒ සතාව ආපහු අරගෙන ඌ වෙනුවට තව සතෙක්ව දෙන්න අවසර නැහැ. මොකක් හරි හේතුවක් නිසා ඔහු එහෙම කරන්න හැදුවොත් ඒ සත්තු දෙන්නාම ඒ කියන්නේ දහවෙනි සතායි, මාරු කරන්න ගෙනාපු සතායි දෙවියන්ට අයිති වෙනවා. උන් ශුද්ධයි.+ උන්ව ආපහු මිල දීලා ගන්න බැහැ.’”

34 ඒ ආඥා යෙහෝවා දෙවියන් සීනයි කන්දේදී මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් සෙනඟට දුන්නා.+

හෝ, “වකුගඩු වටේ තිබුණ තෙල් කොටස්.”

මෙතන විශේෂයෙන්ම කතා කරන්නේ කකුල්වල පහළ කොටස ගැනයි.

හෝ, “දෙවියන්ව සතුටු කරන.”

ඒ කියන්නේ තරුණ බැටළුවෙක්ව.

හෝ, “වකුගඩු වටේ තිබුණ තෙල් කොටස්.”

ඒ කියන්නේ තරුණ පරෙවියන්ව.

හෝ, “තෙල් මිශ්‍ර අළු.” ඒ කියන්නේ සත්ව පූජාවල තෙල් මිශ්‍ර වුණ අළු.

ඒ කියන්නේ සුවඳ ද්‍රව්‍යයක්.

හෝ, “සිහිගැන්වීමක් විදිහට.”

හෝ, “දෙවියන්ව සතුටු කරන.”

හෝ, “සිහිගැන්වීමක් විදිහට.”

මෙතන කතා කරන්නේ පලතුරුවලින් ලබාගත්ත යුෂ ගැන මිසක් මීපැණි ගැන නෙමෙයි.

හෝ, “සිහිගැන්වීමක් විදිහට.”

හෝ, “සාමය ඇති කරන පූජාවක්.”

හෝ, “දෙවියන්ව සතුටු කරන.”

සාමාන්‍යයෙන් වලිගය කි.ග්‍රෑ. 5ක් විතර බරයි.

මූ.අ., “කෑම.” ඒ කියන්නේ හවුල් පූජාවෙන් දෙවියන්ට දෙන කොටස.

හෝ, “තෙල් මිශ්‍ර අළු.” ඒ කියන්නේ සත්ව පූජාවල තෙල් මිශ්‍ර වුණ අළු.

ඒකෙන් සෙනඟව නියෝජනය කරපු වැඩිමහල්ලන් අදහස් වෙන්න පුළුවන්.

ඒකෙන් සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ව අදහස් වෙන්න පුළුවන්.

මූ.අ., “ඉස්සරහා තියෙන පූජාසනයේ.”

ඒ කියන්නේ තරුණ එළුවෙක්ව.

ඒ කියන්නේ තරුණ එළුදෙනක්ව.

හෝ, “දෙවියන්ව සතුටු කරන.”

මූ.අ., “ප්‍රසිද්ධ ශාපයක්.” මෙතන කියන ප්‍රසිද්ධ නිවේදනයට ශාපයකුත් ඇතුළත්. ඒ ශාපය කළේ වරදකරුට විරුද්ධව නැත්නම් ඒ වරද ගැන සාක්ෂි තිබිලත් ඒ ගැන කිසි දෙයක් නොකියපු කෙනාට විරුද්ධව වෙන්න පුළුවන්.

පේන විදිහට ඔහු වැරදිකරුවෙක් වෙන්නේ දීපු දිවුරුම ඔහු ඉටු කරන්නේ නැති නිසයි.

ඒ කියන්නේ ගෑනු සත්තු.

ඒපාවකින් දහයෙන් කොටසක් කියන්නේ ලීටර් 2.2ක්. කි.ග්‍රෑ. 1කට කිට්ටු ප්‍රමාණයක්. උප. B14 බලන්න.

හෝ, “සිහිගැන්වීමක් විදිහට.”

ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

හෝ, “තෙල් මිශ්‍ර අළු.” ඒ කියන්නේ සත්ව පූජාවල තෙල් මිශ්‍ර වුණ අළු.

හෝ, “සිහිගැන්වීමක් විදිහට.”

හෝ, “දෙවියන්ව සතුටු කරන.”

ඒපාවකින් දහයෙන් කොටසක් කියන්නේ ලීටර් 2.2ක්. කි.ග්‍රෑ. 1කට කිට්ටු ප්‍රමාණයක්. උප. B14 බලන්න.

සමහරවිට නාගන්න කියලා මෝසෙස් එයාලට කියන්න ඇති.

හෝ, “ඒෆොද් හැට්ටය.”

හෝ, “ආරොන් දෙවියන්ට කැප වුණා කියලා පෙන්නන ශුද්ධ සංකේතය; ශුද්ධ හිස් පලඳනාව.”

හෝ, “වකුගඩු වටේ තිබුණ තෙල් කොටසුයි.”

හෝ, “දෙවියන්ව සතුටු කරන.”

හෝ, “ඔබේ අත්වලට බලය ලබා දෙන්න.”

හෝ, “ගෝත්‍රයේ.”

හෝ, “ගොඩබිමේ.”

හාවෙක් වගේ ටිකක් ලොකු සතෙක්. ඌට වලිගයක් නැහැ. සාමාන්‍යයෙන් උන් ඉන්නේ ගල්පර අස්සේ. ඌට බැජර් කියලත් කියනවා.

ඒ කියන්නේ ගලුවියා.

හෝ, “කොබෙයි උකුස්සන්.”

ඒ කියන්නේ පොරෝළුවා.

හෙබ්‍රෙව් වචනයෙන් ඌරු මීයා වගේ සතෙක්වයි විස්තර කරන්නේ.

ඒ කියන්නේ ශුද්ධ කූඩාරමට අයිති ප්‍රදේශය.

ලාදුරු කියන්න පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට ලාදුරු වගේම තව බෝ වෙන හමේ රෝග ගොඩක් ඇතුළත්. රෙදි සහ ගෙවල් පුස් අල්ලන්න හේතු වෙන විෂබීජත් ඇතුළත් වෙනවා.

ඒ කියන්නේ නිරෝධායනය කරන්න ඕනේ.

හෝ, “දෙවෙනි පාරට.”

හෝ, “රෝගය බෝ වෙන්නේ නැහැ.”

මේක පුස් වර්ගයක් වෙන්න පුළුවන්. ඒත් ඒක හරියටම කියන්න බැහැ.

මූ.අ., “දික් අතට හරි හරස් අතට හරි තියෙන නූල්වල.”

මේක පැළෑටි වර්ගයක් හෝ වර්ග කීපයක් වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් හඳුන්වන දේ හරියටම කියන්න බැහැ.

ඒපාවකින් දහයෙන් කොටස් තුනක් කියන්නේ ලීටර් 6.6ක්. කි.ග්‍රෑ. 3.5ක්. උප. B14 බලන්න.

මූ.අ., “ලොග් මිනුමක්.” ලොග් මිනුමක් කියන්නේ ලීටරයකින් තුනෙන් එකක්. උප. B14 බලන්න.

මේක පුස් වර්ගයක් වෙන්න පුළුවන්. ඒත් ඒක හරියටම කියන්න බැහැ.

මූ.අ., “ශරීරයෙන්.”

මූ.අ., “ශුද්ධස්ථානයේ.”

ඒ කියන්නේ ආවරණයට.

හෝ, “ගෝත්‍රයේ.”

තේරුම, “අතුරුදහන් වෙන එළුවා” වෙන්න පුළුවන්.

හෝ, “ගෝත්‍රයේ.”

මූ.අ., “ආවරණය.”

මූ.අ., “ආවරණය.”

හෝ, “ගෝත්‍රයේ.”

හෝ, “සූදානමින් ඉන්න කෙනා.”

මේකෙන් නිරාහාරව ඉන්න එක ඇතුළුව තමන්ටම දාගත්ත තහංචි අදහස් කළා වෙන්න පුළුවන්.

හෝ, “අත්වලට බලය ලබා දීපු.”

හෝ, “දෙවියන්ව සතුටු කරන.”

මූ.අ., “එළුවන්ට.” හෝ, “එළුවන්ගේ පෙනුම තියෙන භූතයන්ට.” සමහරවිට එයාලට නමස්කාර කරන මිනිස්සු හිතන්න ඇති ඒ භූතයන්ට එළුවන්ට වගේ පෙනුමක් තිබුණා කියලා.

හෝ, “කිසිම ලෙයක්.”

හෝ, “ජීවය තියෙන්නේ ලේවලයි.”

හෝ, “පුතාගේ දුව හරි දුවගේ දුව හරි.”

හෝ, “නින්දිත ක්‍රියාවක්; අශික්ෂිත දෙයක්.”

හෝ, “ඔබ අසල්වැසියෙක්ගේ; ඔබ ආශ්‍රය කරන කෙනෙක්ගේ.”

හෝ, “මෝලෙක් වෙනුවෙන් කැප නොකළ යුතුයි.”

හෝ, “ලෝහවලින් රූප.”

හෝ, “පීඩාවට පත් වෙලා ඉන්න.”

කෙනෙක්ට ලැබෙන්න ඕනෙ දෙයක් නොදී ඉන්න එකත් මේකට ඇතුළත් වෙනවා.

මූ.අ., “ලේ.”

හෝ සමහරවිට, “තව කෙනෙක්ගේ ජීවිතේ අනතුරේ තියෙද්දී නිකං බලන් ඉන්න එපා.”

මූ.අ., “අචර්මච්ඡේදිත කෙනෙක් අපවිත්‍රයි කියලා සලකනවා වගේ.”

මේක වෙනත් නමස්කාරවල යෙදුණ අයගේ චාරිත්‍රයක්.

හෙබ්‍රෙව් භාෂාවෙන් මෙතන තියෙන්නේ නෙෆෙෂ් කියන වචනය. මෙතන ඒකෙන් අදහස් කරන්නේ මැරුණ කෙනෙක්.

මූ.අ., “ගරුබියක්.”

ඒ කියන්නේ දේවාලවල කපුවන්ගෙන්වත්.

මූ.අ., “නිවැරදි ඒපා මිනුමක්.” උප. B14 බලන්න.

මූ.අ., “නිවැරදි හින මිනුමක්.” උප. B14 බලන්න.

හෝ, “මෝලෙක් වෙනුවෙන් කැප කළොත්.”

ඒ කියන්නේ දේවාලවල කපුවන්ගෙන්.

ඒ ද්‍රෝහිවීම හරියට කෙනෙක් අනාචාරයේ යෙදෙනවා වගෙයි.

ඒ කියන්නේ මරණයට.

හෝ, “හරිම පහත් ක්‍රියාවක්; අශික්ෂිත දෙයක්.”

ඒ කියන්නේ ඔහුගේ සහෝදරයා ජීවත් වෙලා ඉද්දී.

මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් මීයන්, උරගයන්, කෘමීන් ඇතුළු බඩ ගාගෙන යන අනිත් සත්තු අදහස් වෙනවා.

ඒ කියන්නේ දේවාලවල කපුවන් විදිහට වැඩ කරන.

මෙතන කතා කරන්නේ පූජකයාගේ පවුලේ අය ගැන හරි ගෝත්‍රය ගැන හරි වෙන්න පුළුවන්.

මැරුණ කෙනාව අල්ලන එකෙන් සහ එයා වෙනුවෙන් වැලපෙන එකෙන් පූජකයන් අපවිත්‍ර වෙනවා.

මෙතන කතා කරන්නේ පූජා ගැනයි.

හෝ, “අත්වලට බලය ලබා දීලා තියෙන්නේ ඔහුටයි.”

හෙබ්‍රෙව් භාෂාවෙන් මෙතන තියෙන්නේ නෙෆෙෂ් කියන වචනය. මෙතන ඒකෙන් අදහස් කරන්නේ මැරුණ කෙනෙක්.

මෙතන කතා කරන්නේ පූජකයන්ගේ පවුලේ අය ගැන හරි ගෝත්‍රය ගැන හරි වෙන්න පුළුවන්.

ඒකෙන් අදහස් කරන්නේ පූජකයන්ගේ පවුල්වල අයට තිබුණ සමහර වගකීම් ඉටු කරන්න එයාලා සුදුසු නැහැ කියලා.

හෝ, “නහය.”

හෝ සමහරවිට, “අසනීපයක් නිසා අසාමාන්‍ය විදිහට කෙට්ටු වුණ, දුර්වල වුණ කෙනෙක්ව අදහස් කරන්න පුළුවන්.”

හෝ, “ඔහුට ලැබෙන කෑම.”

ඒ කියන්නේ තරුණ පිරිමි සතෙක්ව.

පේන විදිහට මෙතන කතා කරන්නේ හිරු බැස යන වෙලාව සහ අඳුර වැටෙන වෙලාව අතර කාලය ගැනයි.

ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් කියන්නේ ලීටර් 4.4ක්. කි.ග්‍රෑ. 2කට කිට්ටු ප්‍රමාණයක්. උප. B14 බලන්න.

හෝ, “දෙවියන්ව සතුටු කරන.”

හින මිනුමක් කියන්නේ ලීටර් 3.67ක්. උප. B14 බලන්න.

මූ.අ., “සබත් හතක්.”

ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් කියන්නේ ලීටර් 4.4ක්. කි.ග්‍රෑ. 2කට කිට්ටු ප්‍රමාණයක්. උප. B14 බලන්න.

හෝ, “පීඩාවට පත් වෙලා ඉන්න.”

හෝ, “දෙවියන් එක්ක සාමකාමී බැඳීමක් ආයෙත් ඇති කරන දවසයි.”

මේකෙන් නිරාහාරව ඉන්න එක ඇතුළුව තමන්ටම දාගත්ත තහංචි අදහස් කළා වෙන්න පුළුවන්.

හෝ සමහරවිට, “නිරාහාරව ඉන්නේ නැති.”

හෝ, “තාවකාලික මඩු.”

හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කරන්නේ මැදපෙරදිග රටවල ගංඉවුරුවල සාමාන්‍යයෙන් වැඩෙන ගහක්. ඉංග්‍රීසියෙන් පොප්ලර්.

හෝ, “තාවකාලික මඩුවල.”

ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් කියන්නේ ලීටර් 4.4ක්. කි.ග්‍රෑ. 2කට කිට්ටු ප්‍රමාණයක්. උප. B14 බලන්න.

හෝ, “සිහිගැන්වීමක් විදිහට.”

හෝ, “තව කෙනෙක්ට මැරෙන කල් පහර දුන්නොත්.”

සාමාන්‍ය විදිහට දේශයේ අස්වැන්න නෙළන්නේ නැති වුණත් අවශ්‍ය වුණොත් එක් එක් කෙනාට තමන්ට කෑමට ඕනෙ කරන දේ ගන්න අවසර තිබුණා.

හෝ, “ජුබිලි අවුරුද්දක්.”

මූ.අ., “පුතාලටයි.”

හෝ, “ලේ නෑයෙක්ට.”

මූ.අ., “පුතාලයි.”

මූ.අ., “ගරුබියක්.”

ඒ කියන්නේ වැස්ස ලැබෙන්නේ නැහැ.

ඒ කියන්නේ වැස්ස නැති නිසා පොළොව වේළිලා යනවා.

මූ.අ., “රොටි.”

මූ.අ., “ලීය.” මෙතන කතා කරන්නේ රොටි එල්ලලා තියන්න පාවිච්චි කරන ලී ගැන වෙන්න පුළුවන්.

මූ.අ., “නමස්කාරයට පාවිච්චි කරපු උස් තැන්.”

හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.

හෝ, “දෙවියන්ව සතුටු කරන.”

හෝ, “දැඩි හිත්.”

ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

හෝ, “ශුද්ධ ෂෙකෙලයේ.”

හෝමරයක් කියන්නේ ලීටර් 220ක් (කි.ග්‍රෑ. 130ක් විතර). උප. B14 බලන්න.

ගේරා එකක් කියන්නේ ග්‍රෑම් 0.57ක්. උප. B14 බලන්න.

හෝ, “මුදවගන්න.”

ඒ කියන්නේ කිසිම කොන්දේසියක් නැතුව යෙහෝවාට කැප කළොත්.

හෝ, “විනාශයට වෙන් කරපු.”

එඬේරෙක් සතුන්ව ගණන් කළේ එයාගේ සැරයටිය යටින් උන්ව පෝළිමට යවලයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න