ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • nwt යෙරෙමියා 1:1-52:34
  • යෙරෙමියා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙරෙමියා
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා

යෙරෙමියා

1 බෙන්ජමින් දේශයේ අනාතොත්වල+ පූජකයෙක් වුණ හිල්කියාගේ පුත් යෙරෙමියා* කියපු දේවල් තමයි මේ. 2 ආමොන්ගේ+ පුත්, යූදාවල රජ වුණ යොෂියා+ පාලනය කරපු 13වෙනි අවුරුද්දේදී යෙහෝවා දෙවියන් තමන්ගේ පණිවිඩය යෙරෙමියාට දැන්නුවා. 3 යොෂියාගේ පුත් යෙහෝයාකිම්+ යූදාවල රජකම් කරපු කාලේදීත් යොෂියාගේ පුත් ශෙදකියා+ යූදා දේශය පාලනය කරපු 11වෙනි අවුරුද්ද වෙන කල්මත් ඒ පණිවිඩ යෙරෙමියාට දැන්නුවා. ඒ කියන්නේ යෙරුසලමේ වැසියන්ව වහලුන් විදිහට අරගෙන ගිය පස්වෙනි මාසය+ වෙන කල්ම ඒ පණිවිඩ එයාට ලැබුණා.

4 යෙහෝවා මට මෙහෙම කිව්වා.

 5 “ඔයා මව්කුසේ පිළිසිඳගන්නත් කලින් ඔයා කවුද කියලා මම දැනන් හිටියා.*+

ඔයා ඉපදෙන්නත් කලින් මම ඔයාව ශුද්ධ සේවයක් වෙනුවෙන් තෝරගත්තා.+

මම ඔයාව ජාතීන්ට අනාවැකි කියන කෙනෙක් විදිහට පත් කළා.”

 6 ඒත් මම මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,

අනේ, මම තාම තරුණයෙක්.+ මං කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි.”+

 7 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා.

“‘මම තාම තරුණයෙක්’ කියලා කියන්න එපා.

මම ඔයාව යවන හැම කෙනෙක් ළඟටම ඔයා යන්න ඕනේ.

මම ඔයාට කියන්න අණ කරන හැම දෙයක්ම ඔයා එයාලට දන්වන්න ඕනේ.+

 8 එයාලාගේ පෙනුමට බය වෙන්න එපා.+

මොකද ‘ඔයාව බේරගන්න මං ඔයා එක්කම ඉන්නවා’+ කියලා යෙහෝවා කියනවා.”

9 ඊටපස්සේ යෙහෝවා ඔහුගේ අත දිගඇරලා මගේ කටට අත තිබ්බා.+ යෙහෝවා මට මෙහෙම කිව්වා. “මම මගේ වචන ඔයාගේ කටේ තිබ්බා.+ 10 අද මම ඔයාව ජාතීන්ට සහ රාජ්‍යයන්ට අනතුරු අඟවන්න පත් කරනවා. දේවල් කඩලා බිඳලා දාන්නත් උදුරලා දාන්නත් ඔයාට බලය දෙනවා. දේවල් විනාශ කරලා, බිමට ඇදලා දාන්නත් ගොඩනඟන්නත් හිටවන්නත් බලය දෙනවා.”+

11 යෙහෝවාගෙන් මට ආයෙත් පණිවිඩයක් ලැබුණා. “යෙරෙමියා, ඔයාට පේන්නේ මොකක්ද” කියලා ඔහු මගෙන් ඇහුවා. මම කිව්වා “ආමන්ඩ් ගහක අත්තක්* මට පේනවා” කියලා.

12 යෙහෝවා මට මෙහෙම කිව්වා. “ඔයා දැක්ක දේ හරි. මම හොඳ අවදියෙන් ඉඳලා මම කියන දේ ඉටු කරනවා.”

13 දෙවෙනි පාරටත් යෙහෝවාගෙන් මට පණිවිඩයක් ලැබුණා. “ඔයාට මොනවාද පේන්නේ” කියලා ඔහු මගෙන් ඇහුවා. ඉතින් මම මෙහෙම කිව්වා. “දුම් දදා උතුරන* ලොකු හැළියක් මට පේනවා. ඒකේ කට උතුරු දිශාවට නෙමෙයි අනිත් පැත්තට ඇල කරලයි තියෙන්නේ.” 14 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා.

“උතුරු දිශාවෙන් වේගයෙන් විපතක් එනවා.

ඒක එන්නේ දේශයේ ඉන්න හැම කෙනෙක්ටම විරුද්ධවයි.+

15 මොකද ‘මම උතුරේ තියෙන රාජ්‍යයන්වලට අයිති හැම ගෝත්‍රයක්ම කැඳවනවා’ කියලා යෙහෝවා කියනවා.+

‘ඒ හැම ගෝත්‍රයක්ම එයි. ඔවුන්ගේ රජවරු ඇවිත් තමන්ගේ සිංහාසන පිහිටුවයි.

යෙරුසලමේ දොරටු ළඟ ඒවා පිහිටුවයි.+

ඇය වටා තියෙන හැම පවුරකටම විරුද්ධවත්

යූදා දේශයේ හැම නගරයකටම විරුද්ධවත් ඔවුන් අනිවාර්යයෙන්ම එයි.+

16 මගේ සෙනඟ කරපු හැම දුෂ්ට දේකටම විරුද්ධව මම මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.

මොකද ඔවුන් මාව අතහැරලා+

වෙනත් දෙවිවරුන්ට පූජා* ඔප්පු කරනවා.+

ඔවුන්ම හදාගත්ත දේවල් ඉස්සරහා වැඳ වැටෙනවා.’+

17 දැන් සූදානම් වෙන්න.*

මම ඔයාට අණ කරන හැම දෙයක්ම ගිහින් එයාලට කියන්න.

එයාලට බය වෙන්න එපා.+

ඔයා එයාලට බය වුණොත් එයාලා ගැන ඔයාට තියෙන බය මම තව වැඩි කරනවා.

18 මුළු දේශයටත් යූදාවල රජවරුන්ට සහ අධිපතීන්ටත්+

පූජකයන් සහ දේශයේ වැසියන්ටත් විරුද්ධව නොසැලී ඉන්න පුළුවන් වෙන්න

අද මම ඔයාව පවුරුවලින් වට වුණ නගරයක් කළා.

යකඩ කුලුනක් සහ තඹ පවුරක් කළා.+

19 එයාලා අනිවාර්යයෙන්ම ඔයාට විරුද්ධව සටන් කරයි.

ඒත් ඔයාව පරාජය කරන්න එයාලට පුළුවන් වෙන්නේ නැහැ.

මොකද ‘ඔයාව බේරගන්න මම ඔයා එක්කම ඉන්නවා’+ කියලා යෙහෝවා කියනවා.”

2 යෙහෝවා දෙවියන්ගෙන් මට පණිවිඩයක් ලැබුණා. ඔහු මට මෙහෙම කිව්වා. 2 “ගිහින් යෙරුසලමේ සෙනඟට මේ දේ කියන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා.

“තරුණ කාලේදී ඔබ මට පෙන්නපු ආදරේ* මට අමතක වෙලා නැහැ.+

විවාහ ගිවිසගෙන හිටපු කාලේදී ඔබ පෙන්නපු ආදරේ මට තාමත් මතකයි.+

කිසි වගාවක් නොකරපු දේශයේදී,

පාළුකරයේදී ඔබ මං පස්සෙන්ම ආව විදිහ මට තාම මතකයි.+

 3 යෙහෝවා ඊශ්‍රායෙල්ව සැලකුවේ ශුද්ධ කෙනෙක් විදිහටයි.+ තමන්ගේ අස්වැන්නේ මුල් පලදාව විදිහටයි.”’

‘ඔහුට හානි කරන ඕනෙම කෙනෙක් වරදකරුවෙක් වෙයි.

ඒ කෙනා පිටට විපතක් එයි’ කියලා යෙහෝවා කියනවා.”+

 4 යාකොබ්ගෙන් පැවතෙන සියල්ලෙනි, සවන් දෙන්න.

ඊශ්‍රායෙල් සෙනඟට අයිති හැම පවුලක්ම යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න.

 5 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

“ඔබේ පියවරුන් මගෙන් මෙච්චර ඈත් වෙලා ගියේ මගේ මොන වරදක් නිසාද?+

වැඩකට නැති රූප පස්සේ ගිහින්,+

ඔවුනුත් කිසි වැඩකට නැති අය වුණා.+

 6 ‘අපිව ඊජිප්තු දේශයෙන් බේරගත්ත,+

කාන්තාර+ සහ වළවල් ඇති දේශයක් මැදින් අපිව ගෙනාපු,

දිය පොදක් නැති,+ අන්ධකාරයෙන් වැහුණු දේශයක් මැදින් අපිව ගෙනාපු,

කිසිම මිනිසෙක් ගමන් කරන්නෙවත්,

ජීවත් වෙන්නෙවත් නැති

පාළුකරය මැදින් එන්න අපිට මඟ පෙන්නපු

යෙහෝවාගේ උදව් අපි ඉල්ලමු’* කියලා ඔවුන් කිව්වේ නැහැ.

 7 පලතුරු වතුවලින් පිරුණු දේශයකට මම ඔබව ගෙනාවා.

ඒ වතුවල පලදාව කාලා දේශයේ හොඳ දේවලින් සතුටු වෙන්න මම ඔබව එහෙට ගෙනාවා.+

ඒත් ඔබ ඇවිත් මගේ දේශය අපවිත්‍ර කළා.

මගේ උරුමය නාස්ති කළා.+

 8 පූජකයන් ‘අපි යෙහෝවාගේ උදව් ඉල්ලමු’ කියලා කිව්වේ නැහැ.+

නීතිය උගන්නන අය මාව අඳුරගෙන හිටියේ නැහැ.

එඬේරු මට විරුද්ධව කැරලිගැහුවා.+

අනාගතවක්තෘවරු බාල්ගේ නමින් අනාවැකි කිව්වා.+

ඔවුන් කිසිම උදව්වක් කරන්න බැරි දෙවිවරු පස්සේ ගියා.

 9 ‘ඒ නිසා මම ඔබට විරුද්ධව මගේ පැමිණිල්ල ආයෙත් ඉදිරිපත් කරනවා’+ කියලා යෙහෝවා කියනවා.

‘ඔබේ දරුවන්ගේ දරුවන්ට විරුද්ධවත් මගේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා.’

10 ‘කිත්තිම්වරුන්ගේ+ වෙරළබඩ ප්‍රදේශවලට ගිහින් බලන්න.

කේදාර්වලට+ පණිවිඩයක් යවලා බලන්න.

මේ වගේ දෙයක් වෙලා තියෙනවාද කියලා හොඳට හොයලා බලන්න.

11 කිසිම ජාතියක් තමන්ගේ දෙවිවරුන්ව අතහැරලා වැඩකට නැති දෙවිවරු පස්සේ ගිහින් තියෙනවාද?

ඒත් මගේම සෙනඟ තේජවත් දෙවියන් වන මාව අතහැරලා කිසි වැඩකට නැති දේවල් පස්සේ යනවා.+

12 අහස්තලය, මේ දිහා පුදුමයෙන් බලන්න.

බයෙන් වෙවුලන්න’ කියලා යෙහෝවා කියනවා.

13 ‘මොකද මගේ සෙනඟ වැරදි දෙකක් කළා.

ඔවුන් ජීවනය ලබා දෙන දිය උල්පත වන මාව අතහැරියා.+

ඔවුන් වතුර රඳවගන්න බැරි, දිය කාන්දු වෙන පොකුණු හාරගත්තා.’*

14 ‘ඊශ්‍රායෙල් සේවකයෙක්ද? නැත්නම් ස්වාමියාගේ ගෙදර උපන් දාසයෙක්ද?

එහෙමනම් මිනිස්සු ඔහුව වහලෙක් විදිහට අරගෙන ගියේ ඇයි?

15 තරුණ කේශර සිංහයෝ ඔහුට විරුද්ධව ගොරවනවා.+

උන් මහ හයියෙන් ගොරවනවා.

උන් ඔහුගේ දේශය නාස්ති කරලා තියෙන විදිහ දකින හැමෝම පුදුම වෙනවා.

එක් කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැති විදිහට ඔහුගේ නගරවලට ගිනි තියලා.

16 නොෆ්*+ සහ තාහ්පනේස්වල+ සෙනඟ ඔබේ හිස් මුදුන කනවා.

17 ඒ දේ ඔබට කරගත්තේ ඔබම නෙමෙයිද?

එහෙම වුණේ ඔබේ දෙවි වන යෙහෝවා ඔබව හරි මාර්ගයේ ගෙනියද්දී

ඔබ ඔහුව අතහැරලා ගිය නිසා නෙමෙයිද?+

18 ඔබ ඊජිප්තුවට යන්න ආශාවෙන් ඉන්නේ ඇයි?+

ෂිහොර්* ගඟෙන් වතුර බොන්නද?

ඔබ ඇසිරියාවට යන්න ආශාවෙන් ඉන්නේ ඇයි?+

යුප්‍රටීස් ගඟෙන් වතුර බොන්නද?

19 ඔබේ දුෂ්ටකම්වලින් ඔබ පාඩමක් ඉගෙනගන්න ඕනේ.

ඔබේ ද්‍රෝහිකම් ඔබව නිවැරදි කරන්න ඕනේ.

ඔබේ දෙවි වන යෙහෝවාව අතහැරිය එක

කොච්චර නරක, බරපතළ දෙයක්ද කියලා තේරුම්ගන්න.+

ඔබ මට කිසිම ගරුබියක් පෙන්නුවේ නැහැ’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.

20 ‘මොකද ගොඩක් කාලෙකට කලින් මම ඔබේ වියගහ කුඩු කරලා දැම්මා.+

ඔබේ විලංගු කඩලා දැම්මා.

ඒත් ඔබ “මං ඔබට සේවය කරන්නේ නැහැ” කියලා කිව්වා.

ඔබ හැම කඳු මුදුනකම සහ සරුවට වැඩුණු හැම ගහක් යටම වැතිරිලා+

ගණිකාවක් වගේ හැසිරුණා.+

21 මං හිටෙව්වේ ඉස්තරම්ම රතු මිදිවැලක්.+ ඒ මිදිවැල හොඳම බීජවලින් හැදුණ එකක්.

ඒ වගේ හිටපු ඔබ මං ඉස්සරහා කිසි වැඩකට නැති මිදිවැලක් වුණේ කොහොමද? වල් මිදිවැලකින් එන අතු ඔබෙන් හටගත්තේ කොහොමද?’+

22 ‘ඔබේ ශරීරය ලුණු වතුරෙන්* හෝදගත්තත් ඔබ කොච්චර සබන් ගෑවත්

ඔබේ වැරදි මැකිලා යන්නේ නැහැ. ඒවා කැළලක් වගේ මං ඉස්සරහා තියෙනවා’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

23 ‘මං මාව කිලුටු කරගත්තේ නැහැ.

මං බාල් දෙවිවරු පස්සේ ගියේ නැහැ’ කියලා ඔබ කියන්නේ කොහොමද?

නිම්නයේදී ඔබ හැසිරුණ හැටි බලන්න.

ඔබ කරපු දේවල් ගැන හිතලා බලන්න.

ඔබ හරියට ඒ මේ අත ඔහේ වේගයෙන් දුවන,

තරුණ ඔටුදෙනක් වගෙයි.

24 ඔබ හරියට තමන්ගේ ආශාව ඉටු කරගන්න පිරිමි සතුන්ගේ ඉව අල්ලමින් යන

පාළුකරයේ ඉන්න බූරුදෙනක් වගෙයි.

ඒ ආශාවෙන් ඉද්දී ඌව පාලනය කරන්න පුළුවන් කාටද?

පිරිමි සතුන්ට ඌව හොයාගන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ.

උන්ට ඒ කාලෙට ඌව ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

25 ඔබේ පාවහන් ගෙවිලා යන්න කලින්,

උගුර කට වේළිලා යන්න කලින් දුවන එක නතර කරන්න.

ඒත් ඔබ මෙහෙම කිව්වා. ‘මට ආපහු හැරිලා එන්න බැහැ!+

මං නාඳුනන අයට* ආදරේ කරනවා.+

මං ඔවුන්ගේ පස්සේ යනවා.’+

26 හොරෙක් අහු වුණාම ඔහු ලැජ්ජාවට පත් වෙන විදිහටම

ඊශ්‍රායෙල්වරුනුත් ලැජ්ජාවට පත් වෙලා.

ඔවුනුත් ඔවුන්ගේ රජවරුනුත් අධිපතීනුත්

පූජකයොත් අනාගතවක්තෘවරුනුත් ලැජ්ජාවට පත් වෙලා.+

27 ඔවුන් ගහකට ‘ඔබයි මගේ තාත්තා’ කියලත්+

ගලකට ‘ඔබයි මට ජීවිතය දුන්නේ’ කියලත් කියනවා.

ඔවුන් මං වෙතට හැරෙනවා වෙනුවට මට පිටු පානවා.+

ඔවුන් විපතකට මුහුණ දෙද්දී

‘ඇවිත් අපිව බේරගන්න’ කියලා කියනවා.+

28 යූදා සෙනඟෙනි, ඔබ හදාගත්ත දෙවිවරු දැන් කොහෙද?+

ඔබ විපතකට මුහුණ දෙද්දී පුළුවන් නම් ඇවිත් ඔබව බේරගන්න කියලා ඔවුන්ට කියන්න.

මොකද ඔබේ නුවරවල් ගාණට ඔබට දෙවිවරු ඉන්නවා.+

29 ‘ඔබ මට විරුද්ධව චෝදනා කරන්නේ ඇයි?

හැමෝම මට විරුද්ධව කැරලිගහන්නේ ඇයි’+ කියලා යෙහෝවා අහනවා.

30 මං ඔබේ දරුවන්ට දඬුවම් කළත් ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ.+

ලැබෙන හික්මවීම් ඔවුන් පිළිගන්නේ නැහැ.+

දරුණු සිංහයෙක් වගේ

ඔබ ඔබේම කඩුවෙන් ඔබේ අනාගතවක්තෘවරුන්ව මරලා දානවා.+

31 මගේ සෙනඟෙනි, යෙහෝවා කියන දේ හිතට ගන්න.

මම ඊශ්‍රායෙල්වරුන්ට පාළුකරයක් වගේ වුණාද?

නැත්නම් ඝනාන්ධකාරයෙන් වැහුණු දේශයක් වගේ වුණාද?

එහෙමනම් ‘අපි නිදහසේ එහේ මෙහේ යනවා.

අපි ආයෙත් ඔබ ළඟට එන්නේ නැහැ’+ කියලා මගේ සෙනඟ කියන්නේ ඇයි?

32 තරුණියකට ඇගේ ආභරණවත්

මනාලියකට ඇගේ ලස්සන ඉණපටිවත්* අමතක වෙයිද?

ඒත් මගේම සෙනඟට මාව අමතක වෙලා දැන් ගොඩක් කල් ගිහින්.+

33 “ස්ත්‍රිය,* ඔබ ආදරය දිනාගන්න කොච්චර දක්ෂ විදිහට සැලසුම් කළාද!

ඔබ ඔබවම පුහුණු කරගත්තේ දුෂ්ට දේවල් කරන්නයි.+

34 ඔබේ ඇඳුම්වල පවා අහිංසක, දුප්පත් අයගේ ලේ ගෑවිලා.+

ඒ අය ඔබේ ගෙවල්වලට කඩාවැදෙනවා මං දැක්කේ නැහැ.

එහෙමනම් ඒ අයගේ ලේ ඔබේ ඇඳුම්වල ගෑවුණේ කොහොමද?+

35 ඒත් ඔබ කියනවා ‘මං හරි අහිංසකයි.

මට විරුද්ධව ඇවිළුණ ඔහුගේ කේන්තිය නිවිලා ගිහින් ඇති’ කියලා.

‘මං වැරදි කළේ නැහැ’ කියලා ඔබ කියන නිසා

ඔබට විරුද්ධව තීන්දු කරපු දේ දැන් මං ඉටු කරනවා.

36 ඔබ නිතරම වෙනස් වෙන්නේ ඇයි? හැම දෙයක්ම සැහැල්ලුවට ගන්නේ ඇයි?

ඇසිරියාව නිසා ලැජ්ජාවට පත් වුණ විදිහටම+

ඊජිප්තුව නිසාත් ඔබ ලැජ්ජාවට පත් වෙයි.+

37 ඒ හේතුව නිසා ඔබ ලැජ්ජාවෙන් ඔළුව උඩ අත් දෙක තියාගෙන පිටත් වෙනවා.+

මොකද ඔබ විශ්වාසය තිබ්බ අයව යෙහෝවා ප්‍රතික්ෂේප කළා.

ඔවුන්ගෙන් ඔබට කිසිම උදව්වක් ලැබෙන්නේ නැහැ.”

3 “කෙනෙක් තමන්ගේ බිරිඳව දික්කසාද කළාට පස්සේ ඇය ගිහින් වෙනත් පුරුෂයෙක් එක්ක විවාහ වුණොත් මුල්ම පුරුෂයා ආපහු ඇයව භාරගන්න එක හරිද” කියලා සෙනඟ අහනවා.

දැනටමත් මේ දේශය හොඳටම අපවිත්‍ර වෙලා නැද්ද?+

“ඔබ ගොඩක් පුරුෂයන් එක්ක ගණිකාවක් වගේ හැසිරුණා.+

දැන් ආපහු මං ළඟට හැරිලා එන එක හරිද” කියලා යෙහෝවා දෙවියන් අහනවා.

 2 “ඔබේ ඇස් ඔසවා කඳු මුදුන් දිහා බලන්න.

ඔබ පුරුෂයන් එක්ක හිටියේ නැති තැනක් තියෙනවාද?

පාළුකරයේ ඉබාගාතේ යන කෙනෙක්* වගේ

ඔබ ඔවුන් එන කල් පාරවල් අයිනට වෙලා බලාගෙන හිටියා.

ගණිකාවක් වගේ හැසිරිලා, දුෂ්ටකම් කරලා

ඔබ මේ දේශය අපවිත්‍ර කරනවා.+

 3 ඒ නිසා දේශයට වැස්ස ලැබෙන්නේ නැහැ.+

වසන්ත කාලෙවත් වර්ෂාව ලැබෙන්නේ නැහැ.

ඔබ* හරියට කිසිම ලැජ්ජාවක් නැතුව ගණිකාවක් විදිහට හැසිරෙන බිරිඳක් වගේ.

ඒ ගැන ඔබට කිසිම ගාණක් නැහැ.+

 4 ඒත් ඔබ දැන් මට අඬගහනවා.

‘මගේ පියාණෙනි, තරුණ කාලේ ඉඳන්ම මගේ හොඳම මිතුරා ඔබයි.+

 5 ඔබ හැමදාම අපිත් එක්ක තරහෙන් ඉන්න එක හරිද?

හැමදාම අමනාපයෙන් ඉන්න එක හරිද’ කියලා ඔබ අහනවා.

එහෙම කියකිය ඔබ කරන්න පුළුවන් හැම දුෂ්ට දෙයක්ම දිගටම කරනවා.”+

6 යොෂියා+ රජ පාලනය කරපු කාලේදී යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “‘ඊශ්‍රායෙල් වැඩ කරන්නේ අවිශ්වාසවන්ත විදිහටයි. ඇය කරලා තියෙන දේවල් ඔයා දැක්කාද? ගණිකාවක් වගේ හැසිරෙන්න ඇය හැම කඳු මුදුනකටමත් සරුවට වැඩුණු හැම ගහක් යටටමත් ගියා.+ 7 ඇය ඒ හැම දෙයක්ම කළාට පස්සෙත් මං ළඟට ආපහු එන්න කියලා මං ආයේ ආයේ ඇයට කිව්වා.+ ඒත් ඇය ආපහු ආවේ නැහැ. ද්‍රෝහි විදිහට වැඩ කරන තමන්ගේ සහෝදරිය දිහා යූදා දිගටම බලාගෙන හිටියා.+ 8 මම ඒ දේවල් දැක්කාම මට ද්‍රෝහි වෙලා අනාචාරයේ යෙදුණ+ ඊශ්‍රායෙල්ට දික්කසාද ලියවිල්ලක් දීලා+ මම ඇයව පිටත් කරලා යැව්වා. ඒත් ද්‍රෝහි විදිහට වැඩ කරපු ඇගේ සහෝදරිය වන යූදාට කිසිම බයක් දැනුණේ නැහැ. ඇයත් පිටතට ගිහින් ගණිකාවක් වගේ හැසිරුණා.+ 9 ඇය* ගණිකාවක් විදිහට හැසිරෙන එක සැහැල්ලුවට ගත්තා. ඇය ගස් ගල්වලට වැඳ වැටිලා අනාචාරයේ යෙදුණා.+ ඒ විදිහට ඇය දිගින් දිගටම දේශය අපවිත්‍ර කළා. 10 ඒ හැම දෙයක්ම වුණාට පස්සෙත් ද්‍රෝහි විදිහට වැඩ කරන ඇගේ සහෝදරිය වන යූදා මුළු හදවතින්ම මං ළඟට හැරිලා ආවේ නැහැ. ඇය කළේ රඟපෑමක් විතරයි’ කියලා යෙහෝවා කියනවා.”

11 ඊටපස්සේ යෙහෝවා මට මෙහෙම කිව්වා. “අවිශ්වාසවන්තව වැඩ කරපු ඊශ්‍රායෙල් ද්‍රෝහි විදිහට වැඩ කරපු යූදා තරම්ම වැරදිකාරියක් නෙමෙයි.+ 12 දැන් ගිහින් උතුරේ ඉන්න අයට මේ පණිවිඩය කියන්න.+

“‘“කැරලිකාර ඊශ්‍රායෙල් සෙනඟෙනි, ආපහු හැරිලා එන්න” කියලා යෙහෝවා කියනවා.’+ ‘“මම කේන්තියෙන් ඔබ දිහා බලන්නේ නැහැ.+ මොකද මම විශ්වාසවන්ත කෙනෙක්” කියලා යෙහෝවා කියනවා.’ ‘“මම හැමදාටම ඔබ එක්ක අමනාපයෙන් ඉන්නේ නැහැ. 13 හැබැයි ඔබේ දෙවි වන යෙහෝවාට විරුද්ධව ඔබ කැරලිගහපු එක වැරදියි කියලා පිළිගන්න. සරුවට වැඩුණු හැම ගහක් යටම ඔබ නාඳුනන අයත්* එක්ක එකට හිටියා. ඒත් මගේ හඬට ඔබ කීකරු වුණේ නැහැ” කියලා යෙහෝවා කියනවා.’”

14 යෙහෝවා මෙහෙම කියනවා. “කැරලිකාර පුත්‍රයෙනි, ආපහු හැරිලා මං ළඟට එන්න. ඔබේ එකම ස්වාමියා* මමයි. ඔබේ හැම නුවරකින්ම එක් කෙනා ගාණෙත් ඔබේ හැම පවුලකින්ම දෙන්නා ගාණෙත් එකතු කරලා මං ඒ අයව සියොන්වලට ගේනවා.+ 15 ඔබව රැකබලා ගන්න මගේ හිත සතුටු කරන විදිහට වැඩ කරන එඬේරුන්ව මං පත් කරනවා.+ ඔවුන් ඔබට දැනුම සහ අවබෝධය ලබා දෙයි. 16 ඒ කාලේදී ඔබට ගොඩක් දරු මුනුපුරන් ලැබිලා ඔබේ ගණන වැඩි වෙයි” කියලා යෙහෝවා කියනවා.+ “එදාට යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒ ගැන සිහි වෙන්නෙවත් ඔවුන් ඒක මතක් කරන්නෙවත් නැහැ. ඒක නැති අඩුව ඔවුන්ට දැනෙන්නේ නැහැ. ආපහු ඒක හදන්නෙත් නැහැ. 17 ඒ දවස්වලදී ඔවුන් යෙරුසලමට යෙහෝවා දෙවියන්ගේ සිංහාසනය කියලා කියයි.+ යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න හැම ජාතියකටම අයිති අයව යෙරුසලමට රැස් කරයි.+ ඔවුන් ඔවුන්ගේ හිතුවක්කාර, නපුරු හිත කියන විදිහට තවත් වැඩ කරන්නේ නැහැ.”

18 “ඒ කාලේදී යූදා සෙනඟ ඊශ්‍රායෙල් සෙනඟ එක්ක එකට ඇවිදගෙන එයි.+ ඔවුන් උතුරේ තියෙන දේශයෙන් පිටත් වෙලා මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට උරුමයක් විදිහට දුන්න දේශයට එයි.+ 19 මං හරිම ආසාවෙන් ඔබට හොඳම දේශය දීලා මගේ පුතුන් අතරේ තැනක්* ඔබට දුන්නා. ඔබට උරුමයක් විදිහට දුන්නේ ජාතීන් අතරේ තියෙන ලස්සනම දේශය.+ ඔබ මට ‘මගේ තාත්තේ’ කියලා කතා කරයි කියලත් මාව අතහරින්නේ නැතුව දිගටම මගේ පස්සෙන් එයි කියලත් මං හිතුවා. 20 ‘ඒත් ඊශ්‍රායෙල්වරුනි, ස්වාමිපුරුෂයාට ද්‍රෝහි වෙලා ඔහුව අතහැරලා යන බිරිඳක් වගේ ඔබ මට ද්‍රෝහි වෙලා මාව අතහැරලා ගියා’+ කියලා යෙහෝවා කියනවා.”

21 කඳු මුදුන්වලින් හඬක් ඇහෙයි.

ඒ ඇහෙන්නේ ඊශ්‍රායෙල් සෙනඟ වැලපෙන හඬයි. ඔවුන් කන්නලව් කරන හඬයි.

මොකද ඔවුන් යෙහෝවාව අමතක කරලා,+

වැරදි මාර්ගවල ගමන් කළා.

22 “කැරලිකාර පුත්‍රයෙනි, ආපහු හැරිලා එන්න.

මම ඔබව සුව කරනවා. ඔබ තවත් කැරලිකාර විදිහට වැඩ කරන්නේ නැහැ.”+

“යෙහෝවා, ඔබයි අපේ දෙවියන්!+

බලන්න! අපි ආපහු ඔබ ළඟට ආවා.

23 වෙන දෙවිවරුන් වෙනුවෙන් කඳු හෙල්වල කෑගගහා උත්සව පවත්වලා අපි අපිවම රවට්ටගත්තා.+

ඒත් ඊශ්‍රායෙල්ට ගැලවීම ලැබෙන්නේ අපේ දෙවි යෙහෝවා වන ඔබෙන් විතරයි.+

24 අපේ මුතුන්මිත්තන් මහන්සි වෙලා ලබාගත්ත දේවල් පිළිකුල් දේ* නිසා අපිට නැති වුණා. ඒක අපේ තරුණ කාලේ ඉඳන්ම වුණා.+

ඔවුන්ට අයිති එළු බැටළු රැළවලුත්

ඔවුන්ගේ දරුදැරියනුත් නැති වුණා.

25 ලැජ්ජාවට පත් වුණ අපි දැන් බිම වැතිරිලා ඉමු.

අපි නින්දාවට පත් වුණා කියලා දැන් පිළිගමු.

මොකද අපි අපේ දෙවි වන යෙහෝවාට විරුද්ධව වැරදි කළා.+

අපේ තරුණ කාලේ ඉඳලා අද වෙන කල් අපිත් අපේ පියවරුනුත් වැරදි කළා.+

අපි අපේ දෙවි වන යෙහෝවාගේ හඬට කීකරු වුණේ නැහැ.”

4 “අනේ ඊශ්‍රායෙල්, හැරිලා එන්න” කියලා යෙහෝවා දෙවියන් කියනවා.

“ඔබ ආපහු හැරිලා මං ළඟට එනවා නම්,

ඔබේ පිළිකුල් රූප මං ඉස්සරහින් අයින් කරලා දානවා නම්,

ඔබට තැනින් තැනට පලා යන්න වෙන්නේ නැහැ.+

 2 ‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා ඔබ දිවුරද්දී,

ඔබ ඒක අවංකව, යුක්තිගරුකව සහ ධර්මිෂ්ඨකමින් කරනවා නම්

සියලු ජාතීන් ඔහු* මාර්ගයෙන් ආශීර්වාද ලබාගනියි.

ඔහු ගැන ඔවුන් ආඩම්බරයෙන් කතා කරයි.”+

3 යෙහෝවා යූදාවල සහ යෙරුසලමේ සෙනඟට මෙහෙම කියනවා.

“කටු ගස් අතරේ බීජ වපුරන්නේ නැතුව,

සරු පසක් තෝරගෙන ඒක හොඳින් සකස් කරන්න.+

 4 යූදාවල පුරුෂයෙනි, යෙරුසලමේ වැසියෙනි,

යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට චර්මච්ඡේදනය වෙන්න.

ඔබේ සිත් පවිත්‍ර කරගන්න.*+

නැත්නම් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා,

මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළෙයි.

ඒ ගින්න කාටවත් නිවන්න බැරි විදිහට ඇවිළෙයි.”+

 5 මේ ගැන යූදාවල ප්‍රකාශ කරන්න. යෙරුසලමේදී මේ ගැන දැනුම් දෙන්න.

දේශය පුරාම හොරණෑවක් පිඹලා මේ ගැන කෑගහලා කියන්න.+

හඬ නඟලා මෙහෙම කියන්න. “එකට රැස් වෙමු.

පවුරුවලින් වට වුණ නගරවලට අපි පලා යමු.+

 6 සියොන්වලට යන පාර පෙන්නන්න සංඥාවක් හිටවන්න.

ආරක්ෂිත තැනක් හොයන්න. නිකං බලාගෙන ඉන්න එපා.”

මොකද මම උතුරු දිශාවෙන් විපතක්,+ ලොකු විනාශයක් ගේනවා.

 7 ජාතීන්ව විනාශ කරන කෙනා පිටතට ඇවිල්ලා.+

ඔහු ඇවිත් ඉන්නේ කැලෑවෙන් පිටතට එන සිංහයෙක් වගෙයි.+

ඔහුගේ දේශයෙන් ඔහු පිටත් වෙලා ආවේ ඔබේ දේශය නැති නාස්ති කරන්නයි.

ඔබේ නගර කිසි කෙනෙක් නැති නටබුන් ගොඩක් කරන්නයි.+

 8 අපිට විරුද්ධව ඇවිළුණ යෙහෝවාගේ කේන්තිය නිවිලා ගිහින් නැහැ.

ඒ නිසා ගෝණි රෙදි ඇඳගන්න.+

අඬා වැලපෙන්න.* කෑගහලා අඬන්න.

 9 යෙහෝවා මෙහෙම කියනවා. “ඒ දවසේදී රජ අධෛර්යයට පත් වෙයි.+

අධිපතීනුත් අධෛර්යය වෙයි. පූජකයෝ බයෙන් ගල්ගැහෙයි.

අනාගතවක්තෘවරු පුදුමයට පත් වෙයි.”+

10 එතකොට මම මෙහෙම කිව්වා. “අනේ දෙවියනි, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අපි කඩුවෙන් මැරුම් කන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී* ‘ඔයාලට සාමය ලැබෙයි’+ කියලා ඔබ මේ සෙනඟවත් යෙරුසලමේ ඉන්න අයවත් හොඳටම රැවැට්ටුවා.”+

11 ඒ කාලේදී මේ සෙනඟටත් යෙරුසලමේ ඉන්න අයටත් මෙහෙම කියයි.

“කාන්තාරයේ තියෙන කඳුවලින් වියළි හුළඟක් හමාගෙන එයි.

ඒක මගේ දියණිය* වන මගේ සෙනඟ වෙතට වේගයෙන් හමාගෙන එයි.

ඒ හුළඟ එන්නේ ධාන්‍ය පොළන්නවත් ඒවා පවිත්‍ර කරන්නවත් නෙමෙයි.

12 ඒ තැන්වලින් හුළඟ වේගයෙන් හමාගෙන එන්නේ මම අණ දුන්න නිසයි.

දැන් මම මගේ සෙනඟට විරුද්ධව මගේ විනිශ්චයන් ප්‍රකාශ කරනවා.

13 බලන්න! ඔහු වැහි වලාවන් වගේ එයි.

ඔහුගේ රථ කුණාටුවක් වගේ එයි.+

ඔහුගේ අශ්වයන් රාජාලීන්ටත් වඩා වේගයෙන් එයි.+

අනේ, අපි විනාශ වෙලා ගියා!

14 යෙරුසලමේ සෙනඟෙනි, විනාශයෙන් බේරෙන්න ඕනෙ නම් දුෂ්ට සිතුවිලි අයින් කරගන්න. ඔබේ හදවත් පවිත්‍ර කරගන්න.+

ඔබ තව කොච්චර කාලයක් දුෂ්ට සිතුවිලි හිතේ තියාගෙන ඉන්නවාද?

15 හඬක් දාන්වල වෙන විනාශය ගැන කියයි.+

එෆ්‍රායිම් කඳුකරයේ වෙන විනාශය ගැන ඒ හඬ දැනුම් දෙයි.

16 ඒ පණිවිඩය ගැන ජාතීන්ට කියන්න.

ඒ ගැන යෙරුසලමට ප්‍රකාශ කරන්න.”

“ඈත දේශයක ඉඳන් මුරකරුවන්* එයි.

ඔවුන් යූදාවල නගරවලට විරුද්ධව යුධ ඝෝෂා නඟයි.

17 යෙරුසලම මට විරුද්ධව කැරලිගැහුවා.+

ඒ නිසා ඔවුන් ඇයට විරුද්ධව හැම පැත්තෙන්ම එනවා. ඔවුන් එන්නේ හරියට කෙතක් මුර කරන අය වගෙයි”+ කියලා යෙහෝවා කියනවා.

18 “ඔබේ හැසිරීමේ සහ ඔබේ වැඩවල ප්‍රතිඵල ඔබට විඳින්න වෙයි.+

ඔබට ලැබෙන දඬුවම මොන තරම් දරුණුද!

මොකද කැරලිකාරකම ඔබේ හිතේ කෙටිලා තියෙනවා.”

19 අනේ, මට දැනෙන වේදනාව!* මට දැනෙන වේදනාව!

හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනෙනවා.

මගේ හදවත වේගයෙන් ගැහෙනවා.

මට නිහඬව ඉන්න බැහැ.

මොකද හොරණෑවේ හඬ මට ඇහුණා.

යුධ ඝෝෂාවේ හඬ* මට ඇහුණා.+

20 විපත්ති ගැන එක පිට එක ආරංචි එනවා.

මුළු දේශයම විනාශ වෙලා.

මගේ කූඩාරම් එකපාරටම විනාශ වුණා.

එක මොහොතකින් ඒකේ තිර ඉරිලා ගියා.+

21 සියොන්වලට යන පාර පෙන්නන සංඥාව තව කොච්චර කාලයක් මට දකින්න වෙයිද?

හොරණෑවේ හඬ කොච්චර කාලයක් අහන් ඉන්නද?+

22 “මගේ සෙනඟ වැඩ කරන්නේ මෝඩ විදිහටයි.+

ඔවුන් මාව ගාණකටවත් ගන්නේ නැහැ.

ඔවුන් කිසිම දෙයක් තේරුම්ගන්නේ නැහැ. ඔවුන් මෝඩ පුත්තු.

ඔවුන් දුෂ්ට දේ කරන්න නම් හරිම දක්ෂයි.*

ඒත් යහපත් දේ කරන්න ඔවුන් දන්නේ නැහැ.”

23 මම දේශය දිහා බැලුවා. බලන්න! ඒක පාළුවට ගිහින්. කිසිම කෙනෙක් එහේ නැහැ.+

මම අහස දිහා බැලුවා. ඒකෙන් කිසිම ආලෝකයක් ලැබුණේ නැහැ.+

24 මම කඳු දිහා බැලුවා. බලන්න! ඒවා කම්පා වෙනවා.

හෙල් දෙදරුම් කනවා.+

25 මම අවට බැලුවා. බලන්න! එක මනුස්සයෙක්වත් හිටියේ නැහැ.

එක කුරුල්ලෙක්වත් අහසේ පේන්න හිටියේ නැහැ.+

26 මම ආයෙත් අවට බැලුවා. බලන්න! පලතුරු වත්තක් වගේ තිබුණ දේශය දැන් පාළුකරයක් වෙලා.

එහේ හැම නගරයක්ම බිමටම සමතලා කරලා.+

මේ හැම දෙයක්ම කළේ යෙහෝවා දෙවියන්.

මෙහෙම වුණේ ගින්නක් වගේ ඇවිළුණ ඔහුගේ කේන්තිය නිසයි.

27 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “මුළු දේශයම පාළුවට යනවා.+

ඒත් මම ඒක සම්පූර්ණයෙන්ම විනාශ කරන්නේ නැහැ.

28 දේශය වැලපෙයි.+

අහස අඳුරු වෙයි.+

මොකද මම දෙයක් කිව්වා. මං තීරණයක් ගත්තා.

මම ඒක වෙනස් කරන්නේ නැහැ.* මං කරන්න අදහස් කරපු දේ වෙනස් කරන්නේ නැහැ.+

29 අසරුවන්ගෙයි, දුනුවායන්ගෙයි ශබ්දයට

මුළු නගරයම පලා යනවා.+

ඔවුන් කැලෑවලට දුවනවා.

පර්වතවල තියෙන ගුහාවලට රිංගනවා.+

හැම නගරයක්ම අතහැරලා දාලා.

කිසිම කෙනෙක් එහේ ජීවත් වෙන්නේ නැහැ.”

30 දැන් ඔබව විනාශ කරලා තියෙන නිසා ඔබ මොනවාද කරන්න යන්නේ?

ඔබ හිටියේ රතු පාට ඇඳුම් ඇඳගෙනයි.

රන් ආභරණ පැලඳගෙනයි.

කලු පාටින් ඇස් වටේ පාට කරගෙනයි.*

ඒ විදිහට ඔබවම ලස්සන කරගත්තත් ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ.+

රාගයෙන් ඔබේ පස්සේ ආව අය දැන් ඔබව ප්‍රතික්ෂේප කරලා.

දැන් ඔවුන් බලන්නේ ඔබේ ජීවිතේ නැති කරලා දාන්නයි.+

31 ලෙඩින් ඉන්න ස්ත්‍රියක් කෙඳිරිගාන හඬ මට ඇහුණා.

කුලුඳුල් දරුවාව බිහි කරන ස්ත්‍රියක් වේදනාවෙන් කෑගහන හඬ මට ඇහුණා.

සියොන් දියණිය අමාරුවෙන් හුස්ම ගන්න හඬ මට ඇහුණා.

ඇය අත් විහිදලා මෙහෙම කියනවා.+

“අනේ, මට වෙච්ච දේ! මාව මරන්න හොයන අය නිසා මගේ ඇඟට කිසිම පණක් නැහැ.”

5 යෙරුසලමේ පාරවල්වල ඇවිදලා බලන්න.

වටපිට තියෙන හැම දෙයක්ම බලන්න.

ඇගේ ප්‍රධාන හන්දිවලට ගිහින් බලන්න.

යුක්තිගරුක මනුස්සයෙක් ඉන්නවාද කියලා බලන්න.+

විශ්වාසවන්තව වැඩ කරන්න උත්සාහ කරන කෙනෙක් ඉන්නවාද කියලා බලන්න.

එහෙම කෙනෙක් ඉන්නවා නම් මම ඇයට සමාව දෙනවා.

 2 ඔවුන් ‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා කිව්වත්

ඔවුන් දිවුරන්නේ බොරුවටයි.+

 3 යෙහෝවා දෙවියනි, ඔබ විශ්වාසවන්තව වැඩ කරන අයව හොයන්නේ නැද්ද?+

ඔබ ඔබේ සෙනඟට පහර දුන්නත් ඔවුන් ඒක ගණන් ගත්තේ නැහැ.

ඔබ ඔවුන්ව පොඩි කරලා දැම්මත් ඔවුන් ඒකෙන් පාඩමක් ඉගෙනගත්තේ නැහැ.+

ඔවුන්ගේ හිත් ගල් වගෙයි.*+

ආපහු හැරිලා එන්න ඔවුන් කැමති වුණේ නැහැ.+

 4 ඒත් මං මටම මෙහෙම කියාගත්තා. “ඔවුන් නූගත් පිරිසක් වෙන්න ඕනේ.

ඔවුන් මෝඩ විදිහට හැසිරෙන්නේ

යෙහෝවා කැමති දේ, ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට කරන්න කියන දේ ගැන දන්නේ නැති නිසා වෙන්න ඕනේ.

 5 මම ප්‍රසිද්ධ අය ළඟට ගිහින් ඔවුන් එක්ක කතා කරනවා.

මොකද ඔවුන් නම් යෙහෝවා කැමති දේ,

ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට කරන්න කියන දේ ගැන හොඳට දන්නවා ඇති.+

ඒත් ඒ හැමෝම කීකරුකම කියන වියගහ කඩලා දාලා.

ඒකේ පටි ඉරලා දාලා.”

 6 කැලෑවෙන් එන සිංහයෙක් ඔවුන්ට පහර දෙන්නෙත්

පාළුකරයෙන් එන වෘකයෙක් ඔවුන්ව නැති නාස්ති කරලා දාන්නෙත් ඒ නිසයි.

දිවියෙක් ඔවුන්ගේ නගරවලට කුරුමානම් අල්ලන්නෙත් ඒ නිසයි.

ඌ ඒ නගරවලින් එළියට යන හැමෝවම කෑලිවලට ඉරලා දානවා.

මොකද ඔවුන් ගොඩක් වැරදි කළා.

ඔවුන් ආයේ ආයේ අවිශ්වාසවන්තව වැඩ කළා.+

 7 ඔබ කළ මේ දේවල්වලට මං සමාව දෙන්නේ කොහොමද?

ඔබේ පුතුන් මාව අතහැරලා දැම්මා.

ඔවුන් කිසි වැඩකට නැති දෙවියෙක්ගේ නමින් දිවුරනවා.+

මම ඔවුන්ට අවශ්‍ය දේ ලබා දුන්නත්

ඔවුන් දිගටම අනාචාරයේ යෙදෙනවා.

ඔවුන් රංචු පිටින් ගණිකාවකගේ නිවසට යනවා.

 8 ඔවුන් කාමාශාවෙන් මත් වුණ අශ්වයන් වගෙයි.

හැම කෙනෙක්ම උමතුවෙන් වගේ තවත් කෙනෙක්ගේ බිරිඳ පස්සේ යනවා.+

 9 “ඔවුන් කරන ඒ දේවලට ඔවුන් මට වග කියන්න ඕනෙ නැද්ද” කියලා යෙහෝවා අහනවා.

“ඒ වගේ ජාතියකට මං දඬුවම් නොකර ඉන්නේ කොහොමද?”+

10 “ඇවිත් ඇගේ මිදිවතු පාළු කරලා දාන්න.

ඒත් ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න එපා.+

ඇගේ අලුත් දලු කපලා දාන්න.

මොකද ඒවා යෙහෝවාට අයිති නැහැ.

11 ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ

මට විරුද්ධව ගොඩක් ද්‍රෝහිකම් කළා” කියලා යෙහෝවා කියනවා.+

12 “ඔවුන් යෙහෝවාව ප්‍රතික්ෂේප කරලා මෙහෙම කියනවා.

‘ඔහු මුකුත් කරන එකක් නෑ!*+

අපිට කිසි කරදරයක් වෙන්නේ නෑ.

යුද්ධයකටවත් සාගතයකටවත් මුහුණ දෙන්න අපිට වෙන්නේ නෑ.’+

13 අනාගතවක්තෘවරු කතා කරන්නේ හිස් වචන විතරයි.

දෙවියන්ගේ වචනය ඔවුන්ගේ හිත්වල නැහැ.

ඔවුන් කියන වචන වගේ ඔවුනුත් නැති වෙලා යනවා.”

14 ඉතින් ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා මෙහෙම කියනවා.

“මේ මිනිස්සු ඒ විදිහට කියන නිසා

මගේ වචන මං ඔයාගේ කටේ ඇවිළෙන ගින්නක් වගේ කරනවා.+

දරවලට සමාන මේ මිනිස්සුන්ව

ඒ ගින්නෙන් පුච්චලා දානවා.”+

15 “ඊශ්‍රායෙල්වරුනි, දුර ඈත ඉන්න ජාතියක් මම ඔබට විරුද්ධව එවනවා”+ කියලා යෙහෝවා කියනවා.

“ඔවුන් කාලයක් තිස්සේ ඉන්න ජාතියක්.

අතීතයේ ඉඳන් පැවතෙන ඒ ජාතිය

කතා කරන භාෂාව ඔබ දන්නේ නැහැ.

ඔවුන් කතා කරන දේවල් ඔබට තේරෙන්නෙත් නැහැ.+

16 ඔවුන්ගේ ඊකොපුව ඇරිලා තියෙන මිනී වළක් වගෙයි.

ඔවුන් හැමෝම යුධ දක්ෂයෝ.

17 ඔවුන් ඔබේ අස්වැන්නත් ඔබේ රොටිත් කාලා දානවා.+

ඔබේ දූපුතුන්ව මරලා දානවා.

ඔබේ එළු බැටළු සහ ගව රැළවල් විනාශ කරලා දානවා.

ඔබේ මිදිවැල් සහ අත්තික්කා ගස් නාස්ති කරලා දානවා.

ඔබ විශ්වාසය තියපු, පවුරුවලින් වට වුණ නගර ඔවුන් කඩුවෙන් විනාශ කරලා දානවා.”

18 “ඒත් ඒ කාලේදී පවා මම ඔබව සම්පූර්ණයෙන්ම විනාශ කරන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා. 19 “‘අපේ දෙවි වන යෙහෝවා මේ හැම දෙයක්ම අපිට කළේ ඇයි’ කියලා ඔවුන් ඇහුවාම ඔයා ඔවුන්ට මෙහෙම උත්තර දෙන්න. ‘ඔබේ දේශයේ ඉද්දී වෙනත් දෙවිවරුන්ට සේවය කරන්න ඔබ මාව අතහැරලා ගියා. ඒ නිසයි ඔබට අයිති නැති දේශයකදී විදේශිකයන්ට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ.’”+

20 යාකොබ්ගෙන් පැවතෙන අයට මේ ගැන දැනුම් දෙන්න.

යූදාවලදී මේ ගැන ප්‍රකාශ කරන්න.

21 “කිසි දෙයක් තේරුම්ගන්නේ නැති, මෝඩ සෙනඟෙනි,*+ ඇහුම්කන් දෙන්න.

ඇස් තිබුණත් ඔවුන්ට පේන්නේ නැහැ.+

කන් තිබුණත් ඔවුන්ට ඇහෙන්නේ නැහැ.+

22 ‘ඔබට මං ගැන ගරුබියක් නැද්ද’ කියලා යෙහෝවා අහනවා.

‘ඔබ මං ඉස්සරහා බයෙන් වෙවුලන්න ඕනෙ නැද්ද?

මම තමයි මුහුදට මායිමක් විදිහට වෙරළ තිබ්බේ.

ඒ මායිම පහු කරගෙන යන්න මුහුදට අවසර නැහැ.

මුහුදු රළ කොච්චර දරුණු වුණත්

කොච්චර ඝෝෂාවක් නැඟුවත් ඒ මායිම පහු කරගෙන යන්න ඒකට බැහැ.+

23 ඒත් මේ සෙනඟ හරිම මුරණ්ඩුයි. ඔවුන්ට තියෙන්නේ කැරලිකාර හිතක්.

ඔවුන් මගෙන් ඈත් වෙලා ගිහින් ඔවුන්ට කැමති කැමති දේ කරනවා.+

24 “නියම කාලෙට වැසි ලබා දෙන,

සරත් කාලේදී වගේම වසන්ත කාලේදී වැසි ලබා දෙන තැනැත්තාට,

අස්වැන්න නෙළන්න කාලය* නියම කරන තැනැත්තාට,+

අපේ දෙවි වන යෙහෝවාට දැන් අපි ගරුබිය පෙන්නමු”

කියලා ඔවුන්ට හිතුණෙවත් නැහැ.

25 මේ ආශීර්වාද ඔබට ලැබෙන්නේ නැත්තේ ඔබේම වැරදි නිසයි.

ඔබට හොඳ දේවල් අහිමි වුණේ ඔබේම පව්කාර වැඩ නිසයි.+

26 මගේ සෙනඟ අතරේ දුෂ්ට මිනිස්සු ඉන්නවා.

ඔවුන් හැංගිලා බලාගෙන ඉන්න කුරුලු දඩයක්කරුවන් වගෙයි.

ඔවුන් අටවන්නේ මර උගුල්.

ඔවුන් අල්ලගන්නේ මිනිස්සුන්වයි.

27 කුරුලු කූඩුවක් කුරුල්ලන්ගෙන් පිරිලා තියෙනවා වගේ,

ඔවුන්ගේ ගෙවල් වංචාවෙන් ලබාගත්ත දේවලින් පිරිලා තියෙනවා.+

ඔවුන් බලපුළුවන්කාර, පොහොසත් අය වෙලා තියෙන්නේ ඒ නිසයි.

28 ඔවුන් හොඳට මහත් වෙලා. හමත් පැහැපත් වෙලා.

ඔවුන් දුෂ්ටකමින් පිරිලා ඉතිරිලා ගිහින්.

ඔවුන්ගේ වාසියට

ඔවුන් පියා නැති දරුවන්ගේ නඩුව පැත්තකට දානවා.+

දුප්පත් අයට යුක්තිය ඉටු කරන්නෙත් නැහැ.’”+

29 “ඔවුන් කරන ඒ දේවලට ඔවුන් මට වග කියන්න ඕනෙ නැද්ද” කියලා යෙහෝවා අහනවා.

“ඒ වගේ ජාතියකට මං දඬුවම් නොකර ඉන්නේ කොහොමද?

30 දේශයේ හරිම පහත්, පිළිකුල් දෙයක් වෙලා තියෙනවා.

31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි කියනවා.+

පූජකයන් අනිත් අයව පාලනය කරන්න ඔවුන්ගේ බලය පාවිච්චි කරනවා.

මගේ සෙනඟ ඒ දේවලට හරිම කැමතියි.+

ඒත් අවසානය ආවාම ඔබ මොනවාද කරන්න යන්නේ?”

6 බෙන්ජමින් පුත්‍රයෙනි, යෙරුසලමෙන් ඈත ආරක්ෂිත තැනකට යන්න.

තෙකෝවාවලදී+ හොරණෑව පිඹින්න.+

බෙත්හක්කෙරෙම්වල ගින්නක් අවුළුවලා සංඥාවක් දෙන්න.

මොකද උතුරු දිශාවෙන් විපතක්, මහා විනාශයක් එනවා.+

 2 සියොන් දියණිය සැපට හැදුණ, ලස්සන ස්ත්‍රියක් වගෙයි.+

 3 එඬේරු තම රැළවල් එක්ක එයි.

ඔවුන් ඇවිත් ඇය වටා කූඩාරම් ගහගෙන,+

තමන්ගේ රැකවරණය යටතේ ඉන්න බැටළුවන්ට තණ කවයි.+

 4 “ඇයට විරුද්ධව යුද්ධ කරන්න සූදානම් වෙන්න.

නැඟිටින්න, ඉර මුදුන් වෙන වෙලාවේදී අපි ඇයට පහර දෙමු.”

“අනේ, දවස ගෙවිලා ඉවරයි.

දැන් අඳුර වැටීගෙන එනවා.”

 5 “නැඟිටින්න. අපි රාත්‍රියේ ඇයට පහර දෙමු.

ඇගේ බලකොටු විනාශ කරලා දාමු.”+

 6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

“ගස් කපලා යෙරුසලම වටේ බැම්මක් ඉදි කරන්න.+

දඬුවම් ලබන්න ඕනෙ නුවර ඇයයි.

මොකද ඇය තුළ තියෙන්නේ හිංසා පීඩා විතරයි.+

 7 ළිඳකින් නැවුම් වතුර උනනවා වගේ

ඇගෙන් දුෂ්ටකම් උනනවා.

ඇගෙන් ඇහෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවල සහ විනාශකාරී දේවල හඬයි.+

මට පේන්න තියෙන්නෙම ලෙඩ රෝග සහ වසංගත විතරයි.

 8 යෙරුසලමේ වැසියෙනි, මගේ අනතුරු ඇඟවීම් හිතට ගන්න. එහෙම කළේ නැත්නම් ඔබ ගැන ඇති වෙන පිළිකුල නිසා මම ඔබෙන් ඈත් වෙනවා.+

මම ඔබව කිසිම කෙනෙක් වාසය කරන්නේ නැති පාළු බිමක් කරනවා.”+

 9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

“පලදාව රැස් කළාට පස්සේ ඉතුරු වෙන අන්තිම මිදි ටික එකතු කරගන්නවා වගේ ඔවුන් ඊශ්‍රායෙල්වල ඉතුරු වෙන හැමෝවම එකතු කරගන්නවා.

මිදිවැල්වලින් ගෙඩි එකතු කරන කෙනෙක් වගේ ආයෙත් ඔබේ අතින් මිදි එකතු කරගන්න.”

10 “මම කතා කරලා අනතුරු අඟවන්නේ කාටද?

කවුද ඒකට සවන් දෙන්නේ?

බලන්න! ඔවුන් කන් වහගෙනයි ඉන්නේ. ඉතින් ඔවුන්ට ඇහුම්කන් දෙන්න බැහැ.+

යෙහෝවා දෙවියන්ගේ වචන ඔවුන් හෙළා දකිනවා.+

ඒ වචනවලින් ඔවුන් කිසි සතුටක් ලබන්නේ නැහැ.

11 ඔවුන්ට විරුද්ධව ඇවිළුණ යෙහෝවාගේ කේන්තිය මං තුළත් ඇවිළෙනවා.

ඒ නිසා කතා නොකර ඉන්න මට බැහැ. ඒ කේන්තිය තද කරගෙන ඉන්න එකෙන් මට දැනෙන්නේ වෙහෙසක්.”+

“පාරේ ඉන්න දරුවා පිටටත්+

එකට එකතු වෙලා ඉන්න තරුණයන් පිටටත් ඒ කේන්තිය පිට කරන්න.

පුරුෂයාව සහ ඔහුගේ බිරිඳවත් වයස්ගත අය සහ ගොඩක් මහලු අයවත් අල්ලගෙන යනවා.

ඔවුන් හැමෝවම අල්ලගෙන යනවා.+

12 ඔවුන්ගේ ගෙවල් දොරවල් වෙනත් අයට දෙනවා.

ඔවුන්ගේ ඉඩකඩම් සහ භාර්යාවනුත් වෙනත් අයට දෙනවා.+

මොකද දේශයේ ඉන්න අයට විරුද්ධව මම මගේ අත දික් කරනවා” කියලා යෙහෝවා කියනවා.

13 “ඔවුන් අතරේ ඉන්න ලොකු කුඩා හැමෝම බොරුවෙන් වංචාවෙන් දේවල් උපයනවා.+

අනාගතවක්තෘවරයාගේ ඉඳන් පූජකයා වෙන කල් හැමෝම වංචා කරනවා.+

14 මගේ සෙනඟගේ තුවාලවලට* මතුපිටින් බෙහෙත් දාන්න හදන ඔවුන් මෙහෙම කියනවා.

‘දැන් සාමය උදා වෙලා! සාමය උදා වෙලා!’

ඒත් ඇත්තටම කිසිම සාමයක් නැහැ.+

15 ඔවුන් කරපු පිළිකුල් දේවල් ගැන ඔවුන්ට ලැජ්ජාවක් දැනෙනවාද?

ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ.

ලැජ්ජාව කියන්නේ මොකක්ද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+

ඒ නිසා වැටුණ අය අතරේ ඔවුනුත් ඉඳියි.

මම ඔවුන්ට දඬුවම් කරද්දී පය පැටලිලා ඔවුන් වැටෙයි” කියලා යෙහෝවා කියනවා.

16 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

“මංසන්ධිවල හිටගෙන බලන්න.

අතීතයේ ඉඳන් තියෙන මාර්ග ගැන අහන්න.

යහපත් මාර්ගය මොකක්ද කියලා අහලා ඒකේ ගමන් කරන්න.+

ඒකෙන් සහනයක් ලබාගන්න.”

ඒත් සෙනඟ “අපි ඒ මාර්ගයේ යන්නේ නැහැ” කියලා කියනවා.+

17 “මම මුරකරුවන්ව පත් කළා.+ ඔවුන් මෙහෙම කිව්වා.

‘හොරණෑවේ හඬට සවන් දෙන්න!’”+

ඒත් සෙනඟ “අපි සවන් දෙන්නේ නැහැ” කියලා කිව්වා.+

18 “ඒ නිසා ජාතීනි, ඇහුම්කන් දෙන්න.

රැස් වෙලා ඉන්න සෙනඟෙනි,

ඔවුන්ට වෙන්න යන දේ ගැන දැනගන්න.

19 පොළොවේ වැසියෙනි, සවන් දෙන්න!

මේ සෙනඟ පිටට මං විපත්ති ගේනවා.+

ඔවුන්ගෙම නරක සිතුවිලි නිසයි ඔවුන් ඒ විපත්ති අද්දකින්නේ.

මොකද ඔවුන් මගේ වචන ගාණකටවත් ගත්තේ නැහැ.

මගේ නීතිය* ප්‍රතික්ෂේප කළා.”

20 “ඔබ ෂෙබාවලින් කට්ටකුමංජල් ගෙනාවා කියලත්

දුර ඈත දේශයකින් සුවඳ පැළෑටි ගෙනාවා කියලත් මට වැඩක් තියෙනවාද?

ඔබ ඔප්පු කරන දවන පූජා මට පිළිගන්න බැහැ.

ඔබ ඔප්පු කරන පූජා ගැන මට කිසි සතුටක් දැනෙන්නේ නැහැ.”+

21 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා.

“මේ සෙනඟගේ කකුල පැටලිලා වැටෙන්න මම බාධක දානවා.

ඒ බාධක නිසා පියවරුන්ගේ සහ පුතුන්ගෙත්

අසල්වැසියන්ගේ සහ ඔවුන්ගේ යාළුවන්ගෙත්

පය පැටලිලා වැටිලා යනවා.

ඔවුන් හැමෝම විනාශ වෙලා යනවා.”+

22 යෙහෝවා මෙහෙම කියනවා.

“බලන්න, උතුරු දිශාවෙන් සෙනඟක් එනවා.

පොළොවේ ඈත කෙළවරේ ඉඳන් බලවත් ජාතියක් අවදි වෙනවා.+

23 ඔවුන් දුනු සහ හෙල්ල අතට ගනියි.

ඔවුන් කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැති, කුරිරු සෙනඟක්.

ඔවුන්ගේ හඬ මුහුදේ ඝෝෂාව වගෙයි.

ඔවුන් අශ්වයන් පිට නැඟී එයි.+

සියොන් දියණියනි, ඔවුන් එකා වගේ සටනට පෙළ ගැහෙන්නේ ඔබට විරුද්ධවයි.”

24 ඒ ගැන අපිට ආරංචි වුණා.

ඉතින් අපේ අත පය පණ නැතුව ගියා.+

බය අපිව වෙළාගත්තා.

දරුවෙක් බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාවට සමාන වේදනාවක් අපිට දැනුණා.+

25 එළිමහනට යන්න එපා.

පාරවල්වල ඇවිදින්න එපා.

සතුරන් අතේ කඩු තියෙනවා.

භීතිය හැම තැනම පැතිරිලා.

26 මගේ දියණිය වන මගේ සෙනඟෙනි,

ගෝණි රෙදි දාගෙන+ අළු මත පෙරළෙන්න.

තමන්ගේ එකම පුතාගේ මරණය ගැන අඬා වැලපෙන කෙනෙක් වගේ අඬා වැලපෙන්න.+

මොකද විනාශ කරන්නා හදිස්සියේම අපි පිටට කඩා පනියි.+

27 “මගේ සෙනඟ අතරේ මම ඔබව* රිදී පවිත්‍ර කරන කෙනෙක් විදිහට පත් කළා.

ඔවුන්ව හොඳින් සෝදිසි කරලා බලන කෙනෙක් විදිහට මම ඔබව පත් කළා.

ඔබ ඔවුන් ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඔවුන් කරන දේවල් ගැන හොඳින් බලන්න.

28 ඔවුන් හැමෝම හරිම මුරණ්ඩුයි.+

ඔවුන් අනිත් අයට අපහාස කරකර ඇවිදිනවා.+

ඔවුන්ට තියෙන්නේ තඹ සහ යකඩ වගේ තද හිත්.

ඔවුන් හැමෝම දූෂිත අය.

29 කම්මල්කරු රිදී පවිත්‍ර කරන්න ලොකු උත්සාහයක් දැරුවා.

ගිනි අවුළන මයිනහමත් පිලිස්සිලා ගියා. ඒත් ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ.+

ගින්නෙන් එළියට ගන්න පුළුවන් වුණේ ඊයම් විතරයි.

දුෂ්ට අයව සෙනඟ අතරින් අයින් කරන්න බැරි වුණා.+

30 වටිනාකමක් නැති රිදී විදිහට සෙනඟ ඔවුන්ව හඳුන්වයි.

මොකද යෙහෝවා ඔවුන්ව ප්‍රතික්ෂේප කළා.”+

7 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට ලැබුණ පණිවිඩය මේකයි. 2 “යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ දොරටුව ළඟ හිටගෙන මේ පණිවිඩය කියන්න. ‘යෙහෝවාට නමස්කාර කරන්න මේ දොරටුවලින් ඇතුල් වෙන යූදාවල සෙනඟෙනි, යෙහෝවා කියන මේ දේට ඇහුම්කන් දෙන්න. 3 ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබේ ගතිපැවතුම් සහ ඔබ වැඩ කරන විදිහ වෙනස් කරගන්න. එතකොට මම ඔබට මේ දේශයේ දිගටම ජීවත් වෙන්න ඉඩ දෙනවා.+ 4 රැවටිලිකාර වචන ගැන විශ්වාසය තියලා මෙහෙම කියන්න එපා. ‘මේ* යෙහෝවා දෙවියන්ගේ මාලිගාව! යෙහෝවාගේ මාලිගාව! යෙහෝවාගේ මාලිගාව!’+ 5 ඔබේ ගතිපැවතුම් සහ ඔබ වැඩ කරන විදිහ වෙනස් කරගන්න. දෙන්නෙක් අතරේ තියෙන නඩුවක් විභාග කරද්දී සාධාරණය ඉටු කරන්න.+ 6 විදේශිකයාටවත් අනාථ දරුවාටවත්* වැන්දඹුවටවත් පීඩා කරන්න එපා.+ මේ දේශයේදී අහිංසක අයගේ ලේ හලන්න එපා. වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරලා අනතුරේ වැටෙන්න එපා.+ 7 ඔබ මට කීකරු වුණොත් මම ඔබට මේ දේශයේ දිගටම ජීවත් වෙන්න ඉඩ දෙනවා. හැමදාටම* ඔබේ මුතුන්මිත්තන්ට මම දුන්න දේශයේ ජීවත් වෙන්න ඔබට පුළුවන් වෙයි.”’”

8 “ඒත් ඔබ විශ්වාසය තියන්නේ රැවටිලිකාර වචන ගැන.+ ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. 9 ඔබ සොරකම් කරනවා.+ මිනී මරනවා. අනාචාරයේ යෙදෙනවා. බොරුවට දිවුරනවා.+ බාල්ට පූජා ඔප්පු කරනවා.+ කලින් දැනගෙන හිටියේ නැති දෙවිවරුන් පස්සේ යනවා. 10 ඒ වගේ පිළිකුල්සහගත දේවල් කරන ගමන් ඔබ මගේ නම දරන මේ ගෘහයට ඇවිත් ‘අපිට ආරක්ෂාව ලැබෙනවා’ කියලා කියනවා. ඔබ කොහොමද මං ඉස්සරහට ඇවිත් එහෙම කියන්නේ? 11 මගේ නම දරන මේ ගෘහය ඔබ සලකන්නේ හොරුන්ගේ ගුහාවක් විදිහටද?+ ඔබ කරන හැම දෙයක්ම මගේ ඇස් දෙකට පේනවා” කියලා යෙහෝවා කියනවා.

12 “‘මගේ නම දරන්න ෂීලෝවල+ මම මුලින්ම තෝරගත්ත තැනට+ දැන් යන්න. මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු කරපු දුෂ්ටකම් නිසා මම ඒ ස්ථානයට කරපු දේ ගිහින් බලන්න.+ 13 මං එපා කියපු ඒ දේවල් ඔබ දිගින් දිගටම කළා’ කියලා යෙහෝවා කියනවා. ‘මම ඔබට ඒ ගැන ආයේ ආයේ* කිව්වත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ මම ඔබට දිගින් දිගටම අඬගැහුවත් ඔබ උත්තර දුන්නේ නැහැ.+ 14 මම ෂීලෝවලට කරපු දේම+ ඔබ විශ්වාසය තියන,+ මගේ නම දරන මේ ගෘහයටත් කරනවා.+ මම ඔබටයි, ඔබේ මුතුන්මිත්තන්ටයි දුන්න මේ ස්ථානයටත් ඒ දේම කරනවා. 15 මම ඔබේ සහෝදරයන් වුණ එෆ්‍රායිම්ගෙන් පැවත ආපු හැමෝවම පන්නලා දාපු විදිහටම ඔබවත් මං ඉස්සරහින් පන්නලා දානවා.’+

16 “ඔයා* මේ සෙනඟ වෙනුවෙන් යාච්ඤා කරන්න එපා. එයාලා වෙනුවෙන් බැගෑපත් වෙන්නවත් යාච්ඤාවක් ඉදිරිපත් කරන්නවත් කන්නලව් කරන්නවත් එපා.+ මොකද මම ඔයාට ඇහුම්කන් දෙන්නේ නැහැ.+ 17 යූදා දේශයේ නගරවලයි, යෙරුසලමේ පාරවල්වලයි සෙනඟ කරන දේවල් ඔයාට පේන්නේ නැද්ද? 18 පුතාලා දර අහුලනවා. තාත්තලා ගිනි අවුළනවා. අම්මලා අහස් දේවතාවියට* රොටි පූජා කරන්න පිටි අනනවා.+ මගේ හිතට වේදනාවක් ගේන්න එයාලා වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කරනවා.+ 19 ‘ඇත්තටම එයාලා රිද්දන්නේ මාවද’ කියලා යෙහෝවා අහනවා. ‘එයාලා රිද්දවගන්නේ එයාලවම නෙමෙයිද? ලැජ්ජාවට පත් වෙන්නේ එයාලම නෙමෙයිද?’+ 20 ඉතින් ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘බලන්න! මම මගේ කේන්තිය පිට කරනවා. ගින්නක් වගේ ඇවිළිලා තියෙන මගේ කෝපයෙන් මේ දේශය පුච්චලා දානවා.+ මිනිස්සු සහ සතුන්, ගස් කොළන් සහ අස්වැන්න ඒකෙන් පුච්චලා දානවා. ඒ ගින්න නිවලා දාන්න බැහැ.’+

21 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘යන්න, ගිහින් ඔබ ඔප්පු කරන අනිත් පූජාවලට දවන පූජාත් එකතු කරලා ඒවාවල මස් කන්න.+ 22 මම ඔබේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු දවසේදී දවන පූජා සහ අනිත් පූජා ගැන කිසිම දෙයක් කිව්වෙවත් ඒවා ඔප්පු කරන්න කියලා අණ කළේවත් නැහැ.+ 23 ඒත් මම ඔවුන්ට මේ ආඥාව නම් දුන්නා. “මගේ හඬට කීකරු වෙන්න. ඔබ එහෙම කළොත් මම ඔබේ දෙවියන් වෙනවා. ඔබ මගේ සෙනඟ වෙනවා.+ මම ඔබට දෙන හැම ආඥාවක්ම පිළිපදින්න. එහෙම කළොත් ඔබේ ජීවිතේ සාර්ථක වෙයි.”’+ 24 ඒත් ඔවුන් සවන් දුන්නේ නැහැ. කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ.+ ඔවුන් වැඩ කළේ තමන් කැමති කැමති විදිහටයි. ඔවුන් හිතුවක්කාර විදිහට ඔවුන්ගේ නපුරු හිතට සවන් දුන්නා.+ ඔවුන් ඉදිරියට යනවා වෙනුවට තව තවත් පස්සට ගියා. 25 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තුවෙන් පිටත් වෙලා ආපු දවසේ ඉඳන් අද වෙන කල්ම වුණේ ඒ දේමයි.+ ඉතින් මම මගේ හැම සේවකයෙක්වම, මගේ අනාගතවක්තෘවරුන්ව හැම දවසකම ආයේ ආයේ* ඔබ වෙතට එව්වා.+ 26 ඒත් මට සවන් දෙන්න ඔවුන් කැමති වුණේ නැහැ. කියපු දේවල් ඔවුන් කනකටවත් ගත්තේ නැහැ.+ ඒ වෙනුවට ඔවුන් මුරණ්ඩු විදිහට වැඩ කළා. ඔවුන් වැඩ කළේ ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් වඩා නරක විදිහටයි.

27 “ඔයා මේ හැම දෙයක්ම කිව්වත්+ සෙනඟ ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔයා එයාලට අඬගැහුවත් එයාලා උත්තර දෙන්නේ නැහැ. 28 ඉතින් එයාලට මෙහෙම කියන්න. ‘තමන්ගේ දෙවි වන යෙහෝවාගේ හඬට අකීකරු වුණෙත් හික්මවීම් ලැබෙද්දී ඒක පිළිගන්න අකමැති වුණෙත් මේ ජාතියම තමයි. විශ්වාසවන්ත කිසිම කෙනෙක් නැහැ. කවුරුත් ඒ ගැන කතා කරන්නෙවත් නැහැ.’+

29 “දිගට වවලා තියෙන* ඔබේ හිසකෙස් කපලා අයින් කරන්න. කඳු මුදුන්වල ඉඳන් ශෝක ගීයක් ගයන්න. මොකද යෙහෝවා ඔහුව කේන්ති ගස්සපු මේ පරම්පරාව ප්‍රතික්ෂේප කළා. ඔහු ඔවුන්ව අතහැරලා දානවා. 30 ‘මොකද යූදාවල සෙනඟ මම වැරදියි කියලා සලකන දේවල් කළා’ කියලා යෙහෝවා කියනවා. ‘ඔවුන් මගේ නම දරන ගෘහය අපවිත්‍ර කරන්න පිළිකුල්සහගත රූප ඒකේ තිබ්බා.+ 31 ඔවුන්ගේ දූදරුවන්ව ගින්නෙන් දවන්න+ ඔවුන් බෙන්හින්නොම් නිම්නයේ*+ තෝෆෙත්වල පූජාසන* හැදුවා. ඒ වගේ දෙයක් කරන්න කියලා මම ඔවුන්ට අණ කළේ නැහැ. ඒ වගේ අදහසක් මගේ හිතට ආවේවත් නැහැ.’+

32 “‘ඒ නිසා ඒ ස්ථානය තෝෆෙත් කියලවත් බෙන්හින්නොම් නිම්නය* කියලවත් හඳුන්වන්නේ නැති කාලයක් එනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඒ වෙනුවට ඒකට මිනී මරන නිම්නය කියලා කියයි. වළලන්න ඉඩ මදි වෙන තරමටම ඔවුන් තෝෆෙත්වල මළ මිනී වළලනවා.+ 33 මේ සෙනඟගේ මළ මිනී කුරුල්ලනුයි, වනසතුනුයි ආහාරයට ගනියි. උන්ව එළවලා දාන්න කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+ 34 යූදාවල නගරවලින් සහ යෙරුසලමේ පාරවල්වලින් සතුටින් කෑගහන හඬත් ප්‍රීති ඝෝෂා නඟන හඬත් මනාලයාගේ සහ මනාලියගේ හඬත් ආයේ ඇහෙන්න මම ඉඩ තියන්නේ නැහැ.+ මොකද දේශය නටබුන් ගොඩක් වෙනවා.’”+

8 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ඒ කාලේදී යූදාවල රජවරුන්ගෙත් අධිපතීන්ගෙත් පූජකයන්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් යෙරුසලමේ ඉන්න අයගෙත් ඇටකටු ඔවුන්ගේ සොහොන් ගෙවල්වලින් එළියට ඇදලා දානවා. 2 ඒ ඇටකටු ඔවුන් ආස කරපු, වැඳ වැටිලා නමස්කාර කරපු, උපදෙස් පතාගෙන පස්සෙන් ගිය ඉර, හඳ සහ අනිත් ආකාශ වස්තූන් ඉස්සරහා අතුරලා තියෙනවා.+ ඒවා එකතු කරන්නෙවත් තැන්පත් කරන්නෙවත් නැහැ. ඒවා කුණු වෙලා පසට පොහොර වෙනවා.”+

3 “මේ දුෂ්ට ජාතියෙන් ඉතුරු වෙන අයව මම සීසීකඩ විසුරුවාහරිනවා. ජීවත් වෙනවාට වඩා මැරුණා නම් හොඳයි කියලා ඒ අය හිතයි” කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.

4 “ඔයා ඒ අයට මේ දේ කියන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා.

“මිනිස්සු වැටුණොත් ආයේ නැඟිටින්නේ නැද්ද?

කෙනෙක් තමන් යන මාර්ගයෙන් ආපහු හැරිලා ආවොත් අනිත් කෙනාත් හැරිලා එන්නේ නැද්ද?

 5 ඒත් මේ සෙනඟ, යෙරුසලමේ ඉන්න මේ සෙනඟ දිගින් දිගටම මට අවිශ්වාසවන්තව වැඩ කරන්නේ ඇයි?

වංචනික වැඩ අතහරින්න ඔවුන් කැමති නැහැ.

ආපහු හැරිලා එන්න කොහොමටවත් කැමති නැහැ.+

 6 මම ඔවුන්ට හොඳින් ඇහුම්කන් දුන්නා. ඔවුන් කියන දේ අහගෙන හිටියා. ඒත් ඔවුන් අවංකව කතා කළේ නැහැ.

එක් කෙනෙක්වත් තමන් කරපු දුෂ්ට වැඩ ගැන පසුතැවිලි වුණේ නැහැ. ‘මොනවාද මං මේ කළේ’ කියලා ඇහුවේ නැහැ.+

යුද්ධයකට වේගයෙන් යන අශ්වයන් වගේ ඔවුන් හැමෝම වැඩිදෙනා දුවගෙන යන මාර්ගයට දුවගෙන යනවා.

 7 වෙන ප්‍රදේශයකට යන්න ඕනෙ මොන කාලේද කියලා මානකොකා හරියටම දන්නවා.

කොබෙයියා, තුරිතයා සහ වල් අවිච්චියා* උන් ආපහු එන්න ඕනෙ කාලය* ගැන දන්නවා.

ඒත් යෙහෝවා දෙවියන් විනිශ්චය කරන දවස ගැන මගේ සෙනඟ තේරුම්ගන්නේ නැහැ.”’+

 8 ‘“අපි ඥානවන්ත සෙනඟක්. යෙහෝවාගේ නීතිය* තියෙන්නේ අපි ළඟ” කියලා ඔබ කියන්නේ කොහොමද?

පිටපත්කරුවන්* ඔවුන්ගේ පන්හිඳ*+ පාවිච්චි කරන්නේ බොරු දේවල් ලියන්න විතරයි.

 9 ප්‍රඥාවන්තයන්ව ලැජ්ජාවට පත් කරනවා.+

බයෙන් වෙවුලන ඔවුන් උගුලකට අහු වෙයි.

බලන්න! ඔවුන් යෙහෝවාගේ වචනය ප්‍රතික්ෂේප කළා.

ඉතින් ඔවුන් ප්‍රඥාවන්තයි කියලා කියන්න පුළුවන්ද?

10 මම ඔවුන්ගේ භාර්යාවන්ව වෙනත් පුරුෂයන්ට දෙනවා.

ඔවුන්ගේ ඉඩකඩම් වෙනත් අයට අයිති කරලා දෙනවා.+

මොකද ඔවුන් අතරේ ඉන්න ලොකු කුඩා හැමෝම බොරුවෙන් වංචාවෙන් දේවල් උපයනවා.+

අනාගතවක්තෘවරයාගේ ඉඳන් පූජකයා වෙන කල් හැමෝම වංචා කරනවා.+

11 මගේ දියණිය වන මගේ සෙනඟගේ තුවාලවලට* මතුපිටින් බෙහෙත් දාන්න හදන ඔවුන් මෙහෙම කියනවා.

“දැන් සාමය උදා වෙලා! සාමය උදා වෙලා!”

ඒත් ඇත්තටම කිසිම සාමයක් නැහැ.+

12 ඔවුන් කරපු පිළිකුල් දේවල් ගැන ඔවුන්ට ලැජ්ජාවක් දැනෙනවාද?

ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ.

ලැජ්ජාව කියන්නේ මොකක්ද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+

ඒ නිසා වැටිලා ඉන්න අය අතරේ ඔවුනුත් ඉඳියි.

මම ඔවුන්ට දඬුවම් කරද්දී කකුල පැටලිලා ඔවුන් වැටෙයි’+ කියලා යෙහෝවා කියනවා.

13 ‘මම ඔවුන්ව රැස් කරද්දීම ඔවුන්ව විනාශ කරනවා.

මිදිවැලේ එක ගෙඩියක්වත් අත්තික්කා ගහේ එක ගෙඩියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කොළත් වේළිලා යයි.

මම ඔවුන්ට දුන්න දේ ඔවුන්ට නැති වෙලා යනවා’ කියලා යෙහෝවා කියනවා.”

14 “අපි මෙතනට වෙලා ඉඳගෙන ඉන්නේ ඇයි?

අපි එකට එකතු වෙලා පවුරුවලින් වට වුණ නගරවලට යමු.+ ගිහින් එහෙදී මැරෙමු.

අපේ දෙවි යෙහෝවා අපිව විනාශ කරලා දායි.

ඔහු අපිට විෂ වතුර බොන්න දෙනවා.+

මොකද අපි යෙහෝවාට විරුද්ධව වැරදි කළා.

15 සාමය උදා වෙයි කියලා බලාගෙන හිටියත් ඒකෙන් වැඩක් වුණේ නැහැ.

සහනයක් ලැබෙන කාලයක් එයි කියලා බලාගෙන හිටියත් ආවේ භයානක කාලයක්.+

16 සතුරන්ට අයිති අශ්වයන්ගේ හඬ දාන්වලින් ඇහෙනවා.

උන්ගේ ඝෝෂාව නිසා මුළු දේශයම දෙදරුම් කනවා.

ඔවුන් ඇවිත් මුළු දේශයත්

දේශයේ තියෙන හැම දෙයක්මත් විනාශ කරයි.

නගරයත් එහේ ඉන්න අයවත් විනාශ කරයි.”

17 “ඔබ අතරට මම සර්පයන්ව එවනවා.

උන් විෂකුරු සර්පයන්. උන්ව නටවන්න බැහැ.

උන් අනිවාර්යයෙන්ම ඔබට දෂ්ට කරයි” කියලා යෙහෝවා කියනවා.

18 දැනෙන මේ දුකෙන් මට මිදෙන්න බැහැ.

මගේ හදවත ශෝකයෙන් බර වෙලා.

19 දුර ඈත දේශයක ඉඳන් උදව් ඉල්ලලා අඬන හඬක් ඇහෙනවා.

ඒ ඇහෙන්නේ මගේ දියණිය වන මගේ සෙනඟගේ හඬයි.

“යෙහෝවා සියොන්වල නැද්ද?

ඇගේ රජ දැන් එහේ නැද්ද?”

“රූප හදාගෙන ඔවුන් මාව කේන්ති ගැස්සුවේ ඇයි?

කිසි වැඩකට නැති වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරලා මාව කේන්ති ගැස්සුවේ ඇයි?”

20 “අස්වැන්න නෙළන කාලය ගෙවිලා ගියා. ගිම්හාන කාලෙත් අවසන් වුණා.

ඒත් අපිට තවමත් ගැලවීම ලැබිලා නැහැ.”

21 මගේ දියණිය වන මගේ සෙනඟගේ වැටීම දැකලා මගේ හදවත බිඳිලා ගියා.+

මම කලකිරුණා.

භීතිය මාව වෙළාගත්තා.

22 ගිලියද් දේශයේ බෝල්සම් තෛලය* නැද්ද?+

සුවයක් ලබා දෙන කිසිම කෙනෙක්* එහේ නැද්ද?+

එහෙමනම් ඇයි මගේ දියණිය වන මගේ සෙනඟට තවමත් සුවයක් ලැබුණේ නැත්තේ?+

9 අනේ, මගේ හිස දිය පොකුණක් වුණා නම්,

මගේ ඇස් දෙක කඳුළු උල්පතක් වුණා නම්,+

මට දිවා රෑ දෙකේ අඬන්න තිබුණා.

මැරුම් කාපු මගේ සෙනඟ වෙනුවෙන් වැලපෙන්න තිබුණා.

 2 අනේ, මට පාළුකරයේ නවාතැනක් තිබුණා නම්,

මං මගේ සෙනඟව අතහැරලා එතනට යනවා.

මොකද ඔවුන් හැමෝම අනාචාරයේ යෙදෙනවා.+

ඔවුන් ද්‍රෝහිකම් කරන පිරිසක්.

 3 දුන්න නමලා විදින්න සූදානම් කරනවා වගේ ඔවුන් බොරු කියන්න ලෑස්ති පිට ඉන්නවා.

දේශයේ රජකම් කරන්නේ විශ්වාසවන්තකම නෙමෙයි බොරුව.+

“ඔවුන් කෙළවරක් නැතුව දුෂ්ටකම් කරනවා.

ඔවුන් මට පොඩ්ඩක්වත් ඇහුම්කන් දෙන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා.

 4 “හැම කෙනෙක්ම තමන්ගේ අසල්වැසියාගෙන් පරෙස්සම් වෙන්න.

ඔබේ සහෝදරයාවවත් විශ්වාස කරන්න එපා.

මොකද හැම සහෝදරයෙක්ම ද්‍රෝහියෙක්.+

හැම අසල්වැසියෙක්ම අපහාස කරන්නෙක්.+

 5 හැම කෙනෙක්ම තම අසල්වැසියාට බොරු කරනවා.

කිසිම කෙනෙක් ඇත්ත කතා කරන්නේ නැහැ.

ඔවුන් බොරු කියන්න ඔවුන්ගේ දිව පුරුදු කරගෙන තියෙනවා.+

ඔවුන් හෙම්බත් වෙලා ඉන්නේ වැරදි දේවල් කරලයි.

 6 ඔබ ජීවත් වෙන්නේ බොරුව වංචාව මැදයි.

බොරුවෙන් ජීවත් වෙන ඔවුන් මාව අඳුරගන්න කැමති වුණේ නැහැ” කියලා යෙහෝවා කියනවා.

 7 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

“මම ලෝහ උණු කරනවා වගේ ඔවුන්ව උණු කරලා පරීක්ෂා කරනවා.+

එහෙම නොකර මගේ දියණිය වන මගේ සෙනඟට මම වෙන මොනවා කරන්නද?

 8 ඔවුන්ගේ දිව මාරාන්තික ඊතලයක් වගේ. කතා කරන්නෙම වංචනික දේවල්.

කෙනෙක් තමන්ගේ අසල්වැසියා එක්ක සමාදානයෙන් කතා කළත්

යටි හිතින් ඔහුට උගුල් අටවනවා.”

 9 “ඔවුන් කරන ඒ දේවලට ඔවුන් මට වග කියන්න ඕනෙ නැද්ද” කියලා යෙහෝවා අහනවා.

“ඒ වගේ ජාතියකට මං දඬුවම් නොකර ඉන්නේ කොහොමද?+

10 මම කඳු ගැන අඬා වැලපෙනවා.

පාළුකරයේ තියෙන තණබිම් ගැන ශෝක ගීයක් ගායනා කරනවා.

මොකද ඒ හැම දෙයක්ම පිච්චිලා ගිහිල්ලා. ඒ නිසා කිසිම මිනිසෙක්ට ඒ හරහා යන්න බැහැ.

එළුවන්ගේ සහ බැටළුවන්ගේ හඬ එහෙන් ඇහෙන්නේ නැහැ.

කුරුල්ලනුත් සතුනුත් එහෙන් පැනලා ගිහින්. උන් ඔක්කොම පැනලා ගිහින්.+

11 මම යෙරුසලම නටබුන් ගොඩක් කරනවා.+ හිවලුන් ලගින තැනක් කරනවා.+

යූදාවල නගර කිසි මිනිසෙක් වාසය කරන්නේ නැති පාළු තැනක් කරනවා.+

12 ඒ දේවල් වෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න තරම් ප්‍රඥාවක් තියෙන්නේ කාටද?

ඒ දේවල් ගැන අනිත් අයට කියන්න පුළුවන් වෙන්න යෙහෝවා ඒ ගැන කිව්වේ කාටද?

දේශය විනාශ වුණේ ඇයි?

කාටවත් දේශය මැදින් යන්න බැරි වෙන විදිහට

ඒක පාළුකරයක් වගේ වේළිලා ගියේ ඇයි?”

13 යෙහෝවා මෙහෙම උත්තර දුන්නා. “එහෙම වුණේ මං ඔවුන්ට දුන්න නීතිය* ඔවුන් ප්‍රතික්ෂේප කරපු නිසයි. ඔවුන් ඒක පිළිපැද්දෙවත් මගේ හඬට ඇහුම්කන් දුන්නෙවත් නැති නිසයි. 14 ඒ වෙනුවට ඔවුන් හිතුවක්කාර වෙලා ඔවුන්ගේ හිත කියන විදිහට වැඩ කළා.+ ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට කියලා දුන්න විදිහට ඔවුන් බාල්ගේ රූප පස්සේ ගියා.+ 15 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම මේ සෙනඟට තිත්ත පැල කන්න දෙනවා. ඔවුන්ට විෂ වතුර බොන්න දෙනවා.+ 16 ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් දන්නේ නැති ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරිනවා.+ ඔවුන්ව නැත්තටම නැති වෙලා යන කල් මම ඔවුන් පස්සේ එළවගෙන යන්න කඩුවක් එවනවා.’+

17 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

‘සිද්ධ වෙන දේවල් ගැන හිතලා බලන්න.

ශෝක ගී ගායනා කරන ස්ත්‍රීන්ව ගෙන්නගන්න.+

අඬන්න දක්ෂ ස්ත්‍රීන්ව ගෙන්නගන්න.

18 එතකොට ඔවුන්ට පුළුවන් ඉක්මනින් ඇවිත් අපි වෙනුවෙන් ශෝක ගී ගයන්න.

එතකොට අපේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලාගෙන එයි.

ඇසිපියවලින් වතුර ගලාගෙන එයි.+

19 මොකද සියොන්වලින් ශෝක ගීයක් ඇහෙනවා.+

“අපි විනාශ වෙලා ගිය හැටි බලන්න!

අපි මොන තරම් ලැජ්ජාවට පත් වුණාද!

අපිට දේශය අතහැරලා යන්න වුණා. ඔවුන් අපේ ගෙවල් බිමටම සමතලා කළා.”+

20 කාන්තාවෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න.

ඔහුගේ මුවින් පිට වෙන වචන ඔබේ කනට ගන්න.

ඔබේ දූවරුන්ට මේ විලාප ගීය උගන්නන්න.

එකිනෙකාට මේ ශෝක ගීය කියලා දෙන්න.+

21 අපේ කවුළුවලින් මරණය ඇතුල් වෙලා.

අපේ බලකොටුවලට මරණය ඇතුල් වෙලා.

ඒ ඇවිත් ඉන්නේ පාරවල්වල ඉන්න අපේ දරුවන්වත්

මංසන්ධිවල ඉන්න අපේ තරුණයන්වත් අරන් යන්නයි.’+

22 ‘යෙහෝවා මෙහෙම දැනුම් දෙනවා’ කියලා කියන්න.

“මිනිස්සුන්ගේ මළ කඳන් පොළොවේ වැටිලා තියෙන ගොම වගේ වෙනවා.

ඒවා අස්වැන්න නෙළන්නා කපලා බිමට දාන ධාන්‍ය කරල් වගේ වෙනවා.

ඒවා එකතු කරන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ.”’”+

23 යෙහෝවා මෙහෙම කියනවා.

“ප්‍රඥාවන්තයා තමන්ගේ ප්‍රඥාව ගැනවත්+

බලවත් කෙනා තමන්ගේ බලය ගැනවත්

පොහොසත් කෙනා තමන්ගේ ධනය ගැනවත් ආඩම්බරයෙන් කතා කරන එකෙන් වළකින්න.”+

24 “ආඩම්බරයෙන් කතා කරන කෙනා ආඩම්බර වෙන්න ඕනෙ මේ ගැනයි.

මාව හොඳින් අඳුරගෙන ඉන්න එක ගැනත් මං වැඩ කරන විදිහ තේරුම් අරන් ඉන්න එක ගැනත් ආඩම්බර වෙන්න.+

පොළොවේ ඉන්න අයට නොසැලෙන ආදරයක් පෙන්නන, යුක්තිය ඉටු කරන, හරි දේ කරන තැනැත්තා යෙහෝවා වන මමයි කියලා දැනගෙන ඉන්න එක ගැන ආඩම්බර වෙන්න.+

මොකද මම සතුටු වෙන්නේ ඒ දේවල් ගැනයි”+ කියලා යෙහෝවා කියනවා.

25 යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! චර්මච්ඡේදනය වුණත් ඇත්තටම චර්මච්ඡේදනය වෙලා නැති හැමෝටම මට වග කියන්න වෙන කාලයක් එනවා.+ 26 ඒ කියන්නේ ඊජිප්තුවරුන්ටත්+ යූදා වැසියන්ටත්+ ඒදොම්වරුන්ටත්+ මෝවබ්වරුන්ටත්+ අම්මොන්වරුන්ටත්+ මට වග කියන්න වෙනවා. පාළුකරයේ ජීවත් වෙන කම්මුල් දෙපැත්තේ තියෙන කෙස් කපාගත්ත අයටත්+ මට වග කියන්න වෙනවා. මොකද ඒ ජාතීන් හැමෝමත් ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන හැමෝමත් ඔවුන්ගේ හිත් චර්මච්ඡේදනය කරගෙන නැහැ.”+

10 ඊශ්‍රායෙල්වරුනි, යෙහෝවා දෙවියන් ඔබට විරුද්ධව කියන මේ දේට සවන් දෙන්න. 2 යෙහෝවා මෙහෙම කියනවා.

“වෙනත් ජාතීන් වැඩ කරන විදිහට වැඩ කරන්න එපා.+

ඔවුන් අහසේ ලකුණු දැකලා බය වුණත්

ඔබ ඒවා දැකලා බය වෙන්න එපා.+

 3 ජාතීන්ගේ චාරිත්‍රවල කිසිම තේරුමක් නැහැ.*

කැලෑවෙන් කපාගන්න ගහකට කරන දේ ගැන හිතන්න.

කැටයම්කරුවෙක් තමන්ගේ ආයුධවලින් ඒ ගහෙන් යම් දෙයක් හදාගන්නවා.+

 4 ඒකට රන් රිදී ආලේප කරලා ඒක ලස්සන කරනවා.+

මිටියෙන් ඇණ ගහලා ඒක වැටෙන්නේ නැති වෙන්න සවි කරනවා.+

 5 ඒ රූප හරියට පිපිඤ්ඤා වත්තක හිටවලා තියෙන පඹයෙක් වගේ. ඒවාට කතා කරන්න බැහැ.+

ඇවිදින්න බැරි නිසා ඒවා උස්සගෙන යන්න ඕනේ.+

ඒවාට බය වෙන්න එපා. කිසිම අනතුරක් කරන්න ඒවාට බැහැ.

කිසිම යහපතක් කරන්නත් ඒවාට බැහැ.”+

 6 යෙහෝවා දෙවියනි, ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+

ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබේ නමත් ශ්‍රේෂ්ඨයි. ඔබේ බලවත්කම ඒ නමෙන් පැහැදිලි වෙනවා.

 7 ජාතීන්ගේ රජ්ජුරුවෙනි,+ ඔබට ගරුබිය පෙන්නන්නේ නැතුව ඉන්න පුළුවන් කාටද?

ඔබ ගරුබිය ලබන්න වටින කෙනෙක්.

මොකද ප්‍රඥාවන්තයන් අතරේවත් ජාතීන්ගේ රජවරුන් අතරේවත් ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+

 8 ඔවුන් හැමෝම හිතන්නේ බලන්නේ නැති මෝඩ අය.+

මොකද ගහකින් ලබාගන්න මඟ පෙන්වීම් මුළාවක් විතරයි.*+

 9 තර්ෂිෂ්වලින්+ රිදී තහඩුත් උෆාස්වලින් රත්තරනුත් ගෙන්නගන්නවා.

කම්මල්කරුවයි, කැටයම්කරුවයි ඒවා රූපවල ආලේප කරනවා.

ඊටපස්සේ මිනිස්සු ඒවාට නිල් පාට නූල්වලින් සහ දම් පාට ලොම්වලින් හදපු ඇඳුම් අන්දවනවා.

ඒ රූප දක්ෂ කර්මාන්තකරුවන්ගේ නිර්මාණයක් විතරයි.

10 ඒත් යෙහෝවා ඇත්තටම දෙවියන්.

ජීවමාන දෙවියන් ඔහුයි.+ සදාකාල රජත් ඔහුයි.+

ඔහුගේ කේන්තිය නිසා පොළොව දෙදරුම් කනවා.+

කිසිම ජාතියකට ඔහුගේ කේන්තිය දරාගන්න බැහැ.

11 * ඔබ ඔවුන්ට මේ දේ කියන්න.

“අහස පොළොව හැදුවේ නැති දෙවිවරුන් පොළොවෙන් නැති වෙලා යයි.

මේ අහස්තලය යටින් ඔවුන් විනාශ වෙලා යයි.”+

12 තම බලයෙන් මේ පොළොව හැදුවේ ඔහුයි.

තම ප්‍රඥාවෙන් සරුසාර භූමිය ස්ථිරව පිහිටෙව්වේ ඔහුයි.+

තම නුවණින් අහස්තලය දිගහැරියේ ඔහුයි.+

13 ඔහු හඬ නඟද්දී අහසේ ජලය කැලඹෙයි.+

ඔහු පොළොවේ හතර කොනෙන්ම වලාකුළු* ඉහළට නඟින්න සලස්වනවා.+

ඔහු වැස්සත් එක්ක අකුණු සැර එවනවා.*

ඔහුගේ ගබඩාවලින් හුළං හමාගෙන එන්න සලස්වනවා.+

14 හැම කෙනෙක්ම වැඩ කරන්නේ දැනුම් තේරුම් නැති මෝඩයන් වගේ.

තමන් හදන රූප නිසා කම්මල්කරුවන් හැමෝවම ලැජ්ජාවට පත් කරනවා.+

මොකද ඔහු හදන රූප* නිකම්ම නිකම් බොරුවක්.

ඒ රූපවලට කිසි ජීවයක් නැහැ.+

15 ඒවා මායාවක් විතරයි,* හරිම මෝඩ වැඩ.+

විනිශ්චය කරන දවසේදී ඒවා නැත්තටම නැති වෙලා යනවා.

16 ඒත් යාකොබ්ගේ උරුමය වන තැනැත්තා ඒ රූප වගේ නෙමෙයි.

හැම දෙයක්ම හැදුවේ ඔහුයි.

ඊශ්‍රායෙල් ඔහුගේ උරුමය වන සැරයටියයි.+

ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+

17 වටලලා ඉන්න ස්ත්‍රිය,

ඔබේ බඩු මල්ල අතට ගන්න.

18 මොකද යෙහෝවා මෙහෙම කියනවා.

“දැන් මම දේශයේ ඉන්න සෙනඟව එළියට වීසි කරලා දානවා.+

මම ඔවුන් පිටට විපත්ති ගේනවා.”

19 අනේ, මට වුණ විපත* කොච්චර දරුණුද!+

මගේ තුවාලය සුව කරන්න බැහැ.

මම මෙහෙම කිව්වා. “මේ වේදනාව දැනෙන්නේ මටයි. මම ඒක දරාගන්න ඕනේ.

20 මගේ කූඩාරම විනාශ වෙලා. ඒකේ ලණු කඩලා දාලා.+

මගේ පුතුන් මාව අතහැරලා ගිහින්. ඔවුන් දැන් නැහැ.+

මගේ කූඩාරම ගහන්න හරි ඒකේ තිර දිගහරින්න හරි කිසිම කෙනෙක් ඉතුරු වෙලා නැහැ.

21 මොකද එඬේරුන් වැඩ කළේ මෝඩ විදිහටයි.+

ඔවුන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවේ නැහැ.+

අවබෝධයෙන් වැඩ කරන්න ඔවුන්ට බැරි වුණෙත්

ඔවුන්ගේ මුළු රැළම විසුරුවාහැරියෙත් ඒ නිසයි.”+

22 සවන් දෙන්න! මේ දැන් පණිවිඩයක් ලැබුණා.

උතුරු දේශයේ ඉඳන් ලොකු කැලඹීමක් එනවා.+

ඒක එන්නේ යූදාවල නගර පාළු තැනක් කරන්නයි. ඒවා හිවලුන් ලගින තැනක් කරන්නයි.+

23 යෙහෝවා දෙවියනි, තමන් යන්න ඕනෙ මාර්ගය මොකක්ද කියලා තීරණය කරන්න මිනිසෙක්ට අයිතියක් නැහැ.* ඒක මම හොඳින්ම දන්නවා.

ජීවිත ගමනේ තමන්ගේ පියවර තියන්න ඕනෙ කොහොමද කියලා තනියම තීරණය කරන්නවත් ඔහුට අයිතියක් නැහැ.+

24 අනේ යෙහෝවා, මාව නිවැරදි කරන්න. ඔබට හොඳයි කියලා හිතෙන විදිහට ඒක කරන්න.

ඒත් කේන්තියෙන් එහෙම කරන්න එපා.+ එහෙම කළොත් මං විනාශ වෙලා යයි.+

25 ඔබව ගණන් ගන්නේ නැති ජාතීන් පිටටත්

ඔබේ නම කියලා කන්නලව් කරන්නේ නැති ගෝත්‍ර පිටටත් ඔබේ කේන්තිය පිට කරන්න.+

මොකද ඔවුන් යාකොබ්ව ගිලලා දැම්මා.+

ඔහු නැත්තටම නැති වෙලා යන විදිහට ඔවුන් ඔහුව ගිලලා දැම්මා.+

ඔවුන් ඔහුගේ මව්බිම පාළු කළා.+

11 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 2 “ජනයෙනි, මේ ගිවිසුමේ වචනවලට සවන් දෙන්න.

“ඒ ගැන යූදාවල සහ යෙරුසලමේ සෙනඟට කියන්න.* 3 ඔවුන්ට මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. “මේ ගිවිසුමේ තියෙන වචනවලට කීකරු වෙන්නේ නැති මිනිසාට ශාප වේවා!+ 4 යකඩ උණු කරන උදුනකට සමාන+ ඊජිප්තුවෙන් ඔබේ මුතුන්මිත්තන්ව එළියට ගෙනාපු කාලේදී මම ඔවුන් එක්ක ඒ ගිවිසුම ඇති කරගත්තා.+ මම ඔවුන්ට මෙහෙම අණ කළා. ‘මගේ හඬට කීකරු වෙන්න. මම ඔබට අණ කරන හැම දෙයක්ම පිළිපදින්න. එහෙම කළොත් ඔබ මගේ සෙනඟ වෙනවා. මම ඔබේ දෙවියන් වෙනවා.+ 5 මං ඒ අණ දුන්නේ කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන දේශයක් දෙනවා කියලා ඔබේ මුතුන්මිත්තන්ට දිවුරලා පොරොන්දු වුණ දේ ඉටු කරන්නයි.+ ඒ පොරොන්දුව මම ඉටු කළා කියලා අදටත් පැහැදිලියි.’”’”

එතකොට මම “ආමෙන්,* යෙහෝවා දෙවියනි” කියලා උත්තර දුන්නා.

6 යෙහෝවා මට මෙහෙම කිව්වා. “මේ හැම වචනයක්ම යූදා දේශයේ නගරවලයි, යෙරුසලමේ පාරවල්වලයි කියන්න. ‘මේ ගිවිසුමේ වචනවලට සවන් දීලා ඒවා පිළිපදින්න. 7 ඔබේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු දවසේ ඉඳන් අද වෙන කල් “මගේ හඬට කීකරු වෙන්න” කියලා මම අවවාද කළා. මම ආයේ ආයේ* ඔවුන්ට ඒ අවවාදය දුන්නා.+ 8 ඒත් ඔවුන් සවන් දුන්නේ නැහැ. කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ. ඔවුන් හිතුවක්කාර විදිහට ඔවුන්ගේ නපුරු හිතට සවන් දුන්නා.+ මං ඔවුන්ට අණ කරපු දේවල් ඔවුන් පිළිපැද්දේ නැහැ. ඉතින් මං මේ ගිවිසුමේ සඳහන් වෙලා තියෙන හැම විපතක්ම ඔවුන් පිටට ගෙනාවා.’”

9 යෙහෝවා මට මෙහෙම කිව්වා. “යූදාවල සහ යෙරුසලමේ වැසියන් එකතු වෙලා කුමන්ත්‍රණය කරනවා. 10 මගේ වචනවලට කීකරු වෙන්න අකමැති වුණ ඔවුන්ගේ මුතුන්මිත්තන් ගිය වැරදි පාරේම ඔවුනුත් ගියා.+ ඔවුනුත් වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඒ දෙවිවරුන්ට නමස්කාර කළා.+ මම ඔවුන්ගේ මුතුන්මිත්තන් එක්ක ඇති කරගත්ත ගිවිසුම ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ කඩ කළා.+ 11 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘මම ඔවුන් පිටට විපත්තියක් ගේනවා.+ ඒකෙන් බේරෙන්න නම් බැහැ. ඔවුන් උදව් ඉල්ලලා මට කන්නලව් කරද්දී මම ඔවුන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ.+ 12 එතකොට යූදා දේශයේ නගරවලයි, යෙරුසලමෙයි ඉන්න අය ඔවුන් පූජා* ඔප්පු කරන දෙවිවරුන් ළඟට ගිහින් උදව් ඉල්ලයි.+ ඒත් ඒ දෙවිවරු ඔවුන් අද්දකින විපත්තියෙන් ඔවුන්ව කොහොමටවත් බේරගන්නේ නැහැ. 13 යූදාවල සෙනඟෙනි, ඔබේ නගරවල ගාණට හරියන්න ඔබට දෙවිවරු ඉන්නවා. යෙරුසලමේ පාරවල් ගාණට ඔබ අර පිළිකුල් දේ* වෙනුවෙන් පූජාසන හදලා තියෙනවා. ඒවා හදලා තියෙන්නේ බාල්ට පූජා ඔප්පු කරන්න.’+

14 “ඔයා* මේ සෙනඟ වෙනුවෙන් යාච්ඤා කරන්න එපා. එයාලා වෙනුවෙන් කන්නලව් කරන්නවත් යාච්ඤාවක් ඉදිරිපත් කරන්නවත් එපා.+ මොකද විපත් අද්දකිනකොට ඔවුන් මට කන්නලව් කරද්දී මම ඔවුන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ.

15 මගේ ආදරණීය සෙනඟෙනි, ඔබ මගේ ගෘහයට එන්නේ කොහොමද?

ඔබෙන් වැඩිදෙනෙක් කොච්චර නම් දුෂ්ට දේවල් කරනවාද!

ඔබ* පිටට එන විපතෙන් ඔබව බේරගන්න ඔවුන් ඔප්පු කරන සත්ව පූජාවලට* පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද?

එදාට සතුටු වෙන්න ඔබට පුළුවන් වෙයිද?

16 යෙහෝවා කලින් ඔබව හැඳින්නුවේ සාරවත් ඔලීව ගහක් විදිහටයි.

හොඳම ගෙඩිවලින් බර වුණ, අලංකාර ඔලීව ගහක් විදිහටයි.

මහා ඝෝෂාවක් එක්ක ඔහු ඇයට ගිනි ඇවිළුවා.

ඔවුන් ඒ ගහේ අතු කඩලා දැම්මා.

17 “යූදාවල සෙනඟෙනි, ඔබව පැළ කළ තැනැත්තා+ වන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔබ පිටට විපත්තියක් ගේනවා කියලා කියනවා. මොකද ඔබ ඊශ්‍රායෙල් සෙනඟ එක්ක එකතු වෙලා දුෂ්ට විදිහට බාල්ට පූජා ඔප්පු කරලා මාව කේන්ති ගැස්සුවා.”+

18 යෙහෝවා දෙවියනි, සිද්ධ වෙන දේවල් ගැන ඔබ මට දැනුම් දුන්නා.

ඔවුන් කරන දේවල් දකින්න ඒ කාලේදී ඔබ මට සැලැස්සුවා.

19 මම හරියට මරන්න ගෙනාපු, නිහඬව ඉන්න බැටළු පැටියෙක් වගෙයි.

ඔවුන් මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා මං දැනගෙන හිටියේ නැහැ.+

“අපි ගෙඩිත් එක්කම ගහ කපලා දාමු.

ජීවතුන්ගේ දේශයෙන් අපි ඔහුව අයින් කරලා දාමු.

එතකොට ඔහුගේ නමත් අමතක වෙලාම යයි.”

20 ඒත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරනවා.

ඔහු කෙනෙක්ගේ හදවතත් හැම සිතුවිල්ලක්මත්* සෝදිසි කරලා බලනවා.+

ඔබ සතුරන්ට දඬුවම් කරන විදිහ දකින්න මට ඉඩ දෙන්න.

මොකද මම මගේ නඩුව භාර දුන්නේ ඔබටයි.

21 ඔයාව මරලා දාන්න හොයන, “යෙහෝවාගේ නමින් අනාවැකි කියන්න එපා.+ එහෙම කළොත් අපි උඹව මරනවා” කියලා කියන අනාතොත්වල+ මිනිස්සුන්ට විරුද්ධව යෙහෝවා මෙහෙම කියනවා. 22 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “මට වග කියන්න ඔවුන්ට සිද්ධ වෙනවා. තරුණයෝ කඩුවෙන් මැරුම් කනවා.+ ඔවුන්ගේ දූපුතුන් සාගතෙන් මැරෙනවා.+ 23 ඔවුන්ගෙන් සුළු පිරිසක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මොකද අනාතොත්වල+ මිනිස්සු ඔවුන් කරපු දේවල් ගැන මට වග කියන්න වෙන අවුරුද්දේදී මම ඔවුන්ට විරුද්ධව විපත්ති ගේනවා.”

12 යෙහෝවා දෙවියනි, මගේ පැමිණිල්ල ඔබට කියද්දී,

යුක්තිය ගැන ඔබ එක්ක කතා කරද්දී ඔබ කොච්චර ධර්මිෂ්ඨයිද+ කියලා මට හොඳින්ම පේනවා.

එහෙමනම් දුෂ්ටයන් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්නේ ඇයි?+

ද්‍රෝහිකම් කරන අය හිතේ සැනසීමෙන් ඉන්නේ කොහොමද?

 2 ඔබ මේ සෙනඟව* පැළ කළා. දැන් ඔවුන් හොඳින් මුල් ඇදලා.

ඔවුන් හොඳට වැඩිලා පල දරනවා.

ඔවුන් මුවින් ඔබ ගැන කතා කරනවා. ඒත් ඔවුන්ගේ හිත්* ඔබෙන් ගොඩක් ඈත් වෙලා.+

 3 ඒත් යෙහෝවා, ඔබ මං ගැන හොඳින්ම දන්නවා.+ ඔබට මාව පේනවා.

ඔබ මගේ හිත සෝදිසි කරලා බැලුවා. මගේ හිතේ ඔබ ගැන මොන තරම් ළැදිකමක් තියෙනවාද කියලා ඔබ දන්නවා.+

මරන්න ගෙනියන බැටළුවන් වගේ ඔවුන්ව වෙන් කරලා තියන්න.

මරන දවස වෙන කල් ඔවුන්ව වෙන් කරලා තියන්න.

 4 තව කොච්චර කාලයක් දේශය මේ විදිහට වේළිලා යයිද?

ගහ කොළ මැලවිලා යයිද?+

දේශයේ ඉන්න මිනිස්සුන්ගේ දුෂ්ටකම් නිසා

සතුනුත් කුරුල්ලොත් දේශයෙන් නැති වෙලා ගිහින්.

“අපිට වෙන්න යන දේ ඔහුට පේන්නේ නැහැ” කියලා ඔවුන් කිව්වා.

 5 මිනිස්සු එක්ක දුවලා ඔයාට මහන්සියි නම්

ඔයා අශ්වයන් එක්ක දුවන්නේ කොහොමද?+

සමාදානය තියෙන දේශයක ඉද්දී සුරක්ෂිතකමක් ඔයාට දැනෙයි.

ඒත් යොර්දාන් ගඟ දිගේ තියෙන ගන කැලෑවේ ඉද්දී ඔයාට මොනවා වෙයිද?

 6 ඔයාගෙම සහෝදරයෝ, ඔයාගේ තාත්තාගේ පවුලේ අය,

ඔයාට ද්‍රෝහිකම් කළා.+

ඔවුන් ඔයාට විරුද්ධව කෑගැහුවා.

ඔයා එක්ක සුහදව කතා කරන්න ආවත්

ඔවුන්ව විශ්වාස කරන්න එපා.

 7 “මම මගේ ගෘහය අතහැරලා දැම්මා.+ මගේ උරුමය පාළු වෙන්න ඉඩ ඇරියා.+

මම ගොඩක් ආදරේ කරන තැනැත්තියව ඇගේ සතුරාගේ අතට භාර දුන්නා.+

 8 මගේ උරුමය දැන් කැලේ ඉන්න සිංහයෙක් වගෙයි.

ඇය මට ගොරවනවා.

ඒ නිසා මං ඇයට වෛර කරනවා.

 9 මගේ උරුමය මස් කන, විවිධ පාට ඇති කුරුල්ලෙක් වගෙයි.

මස් කන අනිත් කුරුල්ලෝ ඇයව වට කරගෙන ඇයට පහර දෙනවා.+

මෘගයෙනි, එකට එකතු වෙලා එන්න.

ඇවිත් කන්න.+

10 එඬේරු හුඟදෙනෙක් ඇවිත් මගේ මිදිවත්ත වනසලා දැම්මා.+

දේශයේ මගේ කොටස ඔවුන් පාගලා දැම්මා.+

දේශයේ මං ආස කරපු කොටස ගහක් කොළක් නැති පාළුකරයක් කළා.

11 ඒක පාළු තැනක් වෙලා.

වේළිලා ගිහිල්ලා.*

මං ඉස්සරහා ඒක හිස් තැනක් වෙලා.+

මුළු දේශයම කිසි කෙනෙක් නැති පාළු තැනක් වෙලා.

ඒත් කිසිම කෙනෙක් ඒක හිතට ගන්නේ නැහැ.+

12 පාළුකරය හරහා තියෙන හැම අඩිපාරකින්ම විනාශ කරන්නන් ඇවිල්ලා.

යෙහෝවාගේ කඩුව දේශයේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කල් ඉන්න හැම කෙනෙක්වම විනාශ කරනවා.+

කිසිම කෙනෙක්ට සාමයක් නැහැ.

13 ඔවුන් තිරිඟු වැපුරුවත් නෙළාගත්තේ කටු.+

ඔවුන් හෙම්බත් වෙන කල් මහන්සි වුණත් කිසිම ප්‍රයෝජනයක් නැහැ.

යෙහෝවාගේ දැවෙන කේන්තිය නිසා

ඔවුන් නෙළාගන්න අස්වැන්න ගැන ඔවුන් ලැජ්ජාවට පත් වෙයි.”

14 යෙහෝවා මෙහෙම කිව්වා. “මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්ට මං උරුමයක් විදිහට දුන්න දේශයට අත තියන,+ මගේ දුෂ්ට අසල්වැසියන්ව මම ඔවුන්ගේ දේශයෙන් උදුරලා දානවා.+ ඔවුන් මැද ඉන්න යූදා සෙනඟවත් මම උදුරලා දානවා. 15 මම යූදා සෙනඟව දේශයෙන් උදුරලා දැම්මත් මම ආයෙත් ඔවුන්ට දයාව පෙන්නනවා. ඔවුන් එක් එක් කෙනාව ඔවුන්ගේ උරුමයට ආපහු එක්කගෙන එනවා. ඔවුන්ගේ දේශයට ආපහු අරගෙන එනවා.”

16 “මගේ සෙනඟට බාල්ගේ නමින් දිවුරන්න උගන්නපු විදිහටම ඔවුනුත් ‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා මගේ නමින් දිවුරන්න ඉගෙනගත්තොත්, ඔවුන් මගේ සෙනඟ වැඩ කරන විදිහ ඉගෙනගත්තොත් ඔවුන්ටත් මගේ සෙනඟ එක්ක ජීවත් වෙන්න ලැබෙනවා. 17 ඒත් ඒ එක ජාතියක් හරි මට කීකරු වෙන්න කැමති නැත්නම් මම ඔවුන්ව දේශයෙන් උදුරලා, විනාශ කරලා දානවා” කියලා යෙහෝවා කියනවා.+

13 යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “ගිහින් ලිනන් රෙදිවලින් හදලා තියෙන පටියක් සල්ලි දීලා අරගන්න. ඒක ඔයාගේ ඉණ වටේ බැඳගන්න. ඒකට වතුර වදින්න දෙන්න එපා.” 2 ඉතින් මම යෙහෝවා කියපු විදිහටම පටියක් සල්ලි දීලා අරගෙන ඒක මගේ ඉණ වටේ බැඳගත්තා. 3 යෙහෝවා ආපහු සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 4 “ඔයා ඉණ වටේ බැඳගෙන ඉන්න පටියත් අරගෙන යුප්‍රටීස් ගඟ ළඟට ගිහින් එතන තියෙන පර්වත කුහරයක ඒක හංගන්න.” 5 ඉතින් මම යෙහෝවා කිව්ව විදිහටම ගිහින් යුප්‍රටීස් ගඟ ළඟ ඒක හැංගුවා.

6 ඒත් සෑහෙන කාලයක් ගියාට පස්සේ යෙහෝවා මට මෙහෙම කිව්වා. “දැන් යුප්‍රටීස් ගඟ ළඟට යන්න. ගිහින් මම එතන හංගන්න කියපු ඉණපටිය ගන්න.” 7 ඉතින් මම යුප්‍රටීස් ගඟ ළඟට ගිහිල්ලා පටිය හංගලා තිබුණ තැන හාරලා ඒක ගත්තා. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි තරමට ඒක හොඳටම දිරලා ගිහින් තිබුණා.

8 එතකොට යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. 9 “යෙහෝවා කියන්නේ මේකයි. ‘මේ පටිය විනාශ වුණ විදිහටම මම යූදාවල ආඩම්බරකමත් යෙරුසලමේ අහංකාරකමත් නැති කරලා දානවා.+ 10 මේ දුෂ්ට සෙනඟ මගේ හඬට කීකරු වෙන්න කැමති වුණේ නැහැ.+ ඒ වෙනුවට ඔවුන් හිතුවක්කාර වෙලා ඔවුන්ගේ හිත කියන විදිහට වැඩ කළා.+ ඔවුන් වෙනත් දෙවිවරුන් පස්සේ ගිහින් ඒ දෙවිවරුන්ට වැඳ වැටිලා නමස්කාර කළා. කිසිම වැඩකට නැති මේ පටියට වුණ දේම ඔවුන්ටත් වෙනවා.’ 11 ‘ඉණපටියක් ඒක බැඳගෙන ඉන්න කෙනාගේ ඉණට ඇලිලා තියෙනවා වගේ මම ඊශ්‍රායෙල් සෙනඟවයි, යූදා සෙනඟවයි මං ළඟට අරගෙන මට ළං කරගත්තා’ කියලා යෙහෝවා කියනවා. ‘මම එහෙම කළේ ඔවුන්ව මගේ සෙනඟ කරගන්නයි.+ මට ප්‍රසිද්ධියක්,+ ප්‍රශංසාවක්, ගෞරවයක් ලැබෙන්නයි. ඒත් ඔවුන් මට කීකරු වුණේ නැහැ.’+

12 “ඔයා සෙනඟට මේ දේත් කියන්න. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා කියන්නේ මේකයි. “හැම විශාල බඳුනකටම වයින් පුරවන්න ඕනේ.”’ එතකොට එයාලා ඔයාට මෙහෙම කියයි. ‘හැම විශාල බඳුනකටම වයින් පුරවන්න ඕනෙ කියලා අපි දන්නවානේ.’ 13 එතකොට එයාලට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මේකයි. “දේශයේ ඉන්න හැමෝවම මම වයින්වලින් මත් කරවනවා.+ දාවිත්ගේ සිංහාසනයේ ඉන්න රජවරුන්ටත් පූජකයන්ටත් අනාගතවක්තෘවරුන්ටත් යෙරුසලමේ ජීවත් වෙන හැමෝටමත් මම ඒ දේම කරනවා. 14 මම ඔවුන් එකිනෙකා අතරේ ගැටුමක් ඇති කරලා ඔවුන්ව විනාශ කරනවා. තාත්තා පුතා කියලා කිසි වෙනසක් කරන්නේ නැහැ” කියලා යෙහෝවා කියනවා.+ “මම කිසිම අනුකම්පාවක් පෙන්නන්නෙවත් ඔවුන් ගැන දුක් වෙන්නෙවත් ඔවුන්ට දයාව පෙන්නන්නෙවත් නැහැ. ඔවුන්ව විනාශ කරන එකෙන් මාව නවත්තන්න කිසිම දේකට බැහැ.”’+

15 සවන් දීලා මේ දේ හිතට ගන්න.

ආඩම්බර වෙන්න එපා. මොකද යෙහෝවායි කතා කළේ.

16 ඔබේ දෙවි වන යෙහෝවාට ගෞරවය දෙන්න.

ඔහු අන්ධකාරය ගේන්න කලින් එහෙම කරන්න.

අඳුර වැටීගෙන එද්දී, කඳුවල ඉන්න ඔබේ පය පැටලිලා වැටෙන්න කලින් ඔහුට ගෞරවය දෙන්න.

ආලෝකය ලැබෙන කල් ඔබ බලාගෙන ඉඳියි.

ඒත් ඔහු ගේන්නේ අඳුර.

ඔහු ඒක ඝන අන්ධකාරයට පෙරළයි.+

17 ඔබ සවන් දෙන්න කැමති වුණේ නැත්නම්

ඔබේ උඩඟුකම නිසා මම තනියම කඳුළු සලනවා.+

යෙහෝවා දෙවියන්ගේ රැළ+ වහල්කමට අරන් ගිය නිසා

මම කඳුළු සලනවා. මගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලා එයි.

18 රජටත් මව් රැජිනටත් මෙහෙම කියන්න.+ ‘පහළ තැනක ඉඳගන්න.

මොකද ඔබේ අලංකාර ඔටුන්න ඔබේ හිසෙන් අයින් කරලා දානවා.’

19 දකුණේ තියෙන නගරවල දොරටු වහලා දාලා.* ඒවා විවෘත කරන්න කිසිම කෙනෙක් නැහැ.

මුළු යූදා දේශයම වහල්කමට අරන් ගිහින්. ඔවුන් හැමෝවම අරන් ගිහින්.+

20 ඔබේ ඇස් ඇරලා උතුරෙන් එන අය දිහා බලන්න.+

ඔබට භාර දීපු රැළ කොහෙද? ඔබේ ලස්සන බැටළුවන් දැන් කොහෙද?+

21 ඔබ මුල ඉඳන් කිට්ටු මිතුරන් කරගත්ත අයගෙන් දඬුවම් විඳිද්දී ඔබ මොනවා කියයිද?+

දරුවෙක් බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාවට සමාන වේදනාවක්

ඔබටත් ඒ වෙලාවේ දැනෙන එකක් නැද්ද?+

22 ‘මට මේ දේවල් වුණේ ඇයි’ කියලා ඔබ හිතයි.+

ඔබේ ඇඳුම ගලවලා දැම්මේ ඔබ කළ මහත් වැරදි නිසයි.+

ඔබේ යටිපතුල් දරුණු විදිහට තුවාල කළේ ඒ වැරදි නිසයි.

23 කූෂ්* ජාතිකයෙක්ට ඔහුගේ හමේ පාටවත්

දිවියෙක්ට උගේ පුල්ලිවත් වෙනස් කරගන්න පුළුවන්ද?+

එහෙම කරන්න පුළුවන් නම් නරක දේ කරන්න පුරුදු වෙලා ඉන්න ඔබට හොඳ දේ කරන්න පුළුවන් වෙයි.

24 කාන්තාරයෙන් හමාගෙන එන හුළඟට ගහගෙන යන පිදුරු වගේ මම ඔවුන්ව විසුරුවාහරිනවා.+

25 ඔබට වෙන්නේ ඒකයි. ඒ තමයි මම ඔබට මැනලා දෙන කොටස” කියලා යෙහෝවා කියනවා.

“මොකද ඔබ මාව අමතක කරලා+ බොරු දේවල් ගැන විශ්වාසය තිබ්බා.+

26 මම ඔබේ ඇඳුම ගලවලා දානවා.

ඔබේ නිරුවත හැමෝම දකියි.+

27 ඔබ අනාචාරයේ යෙදුණ විදිහත්+ රාගයෙන් මත් වෙලා හිටපු විදිහත්

ලැජ්ජාවක් නැතුව ගණිකාවක් වගේ හැසිරුණ විදිහත් ගැන දැනගනියි.

කඳු මුදුන්වලත් එළිමහනෙත්

පිළිකුල්සහගත විදිහට ඔබ හැසිරුණ හැටි මම දැක්කා.+

අනේ යෙරුසලම, ඔබ මොන තරම් විපතක් අද්දකියිද!

තව කොච්චර කාලයක් ඔබ මෙහෙම අපවිත්‍රව ඉන්නවාද?”+

14 නියං කාලය ගැන යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට ලැබුණ පණිවිඩය තමයි මේ.+

 2 යූදා වැලපෙනවා.+ එහේ දොරටු දිරාපත් වෙලා.

ඒවා දුකෙන් පොළොවටම පහත් වෙලා.

යෙරුසලමෙන් වැලපෙන හඬක් ඇහෙනවා.

 3 ඔවුන්ගේ ස්වාමිවරු වතුර ගේන්න තමන්ගේ සේවකයන්ව* යවනවා.

ඔවුන් පොකුණු* ළඟට ගියත් වතුර හොයාගන්න බැහැ.

හිස් භාජන අරගෙන ඔවුන් ආපහු එනවා.

බලාපොරොත්තු බිඳුණු ඔවුන් ලැජ්ජාවෙන්

තමන්ගේ ඔළුව වහගන්නවා.

 4 දේශයට වැස්ස ලැබෙන්නේ නැති නිසා

පොළොව ඉරි තැළිලා ගිහින්.+

අධෛර්යය වෙලා ඉන්න ගොවීන් ඔවුන්ගේ ඔළුව වහගන්නවා.

 5 තණකොළ නැති නිසා

මුවදෙන පවා ඇගේ අලුත උපන් පැටියාව දාලා යනවා.

 6 කැලෑවල ඉන්න බූරුවෝ පාළුවට ගිය හෙල්වල බලාගෙන ඉන්නවා.

උන් හිවලුන් වගේ හති දානවා.

ගහ කොළ හොයලා උන්ගේ ඇස් විඩාවට පත් වෙලා.+

 7 අපේ වැරදි අපිට විරුද්ධව සාක්ෂි දෙනවා.

අනේ යෙහෝවා, ඒත් ඔබේ නම වෙනුවෙන් පියවර ගන්න.+

අපි ඔබට අවිශ්වාසවන්ත වෙලා ගොඩක් වැරදි කළා.+

අපි වැරදි කළේ ඔබට විරුද්ධවයි.

 8 ඊශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවත් දුක් කරදර එන කාලේදී ඔහුගේ ගැලවුම්කරුත් ඔබයි.+

එහෙමනම් ඔබ දේශයට අමුත්තෙක් වගේ ඉන්නේ ඇයි?

රෑට නවාතැන් ගන්න මඟියෙක් වගේ ඉන්නේ ඇයි?

 9 කිසිම කෙනෙක්ව බේරගන්න බැරි බලවත් මිනිසෙක් වගේ

ඔබ ගල්ගැහිලා බලාගෙන ඉන්නේ ඇයි?

යෙහෝවා දෙවියනි, ඔබ අපි එක්ක ඉන්නවා.+

අපි ඔබේ නම දරන සෙනඟයි.+

අනේ, අපිව අතහරින්න එපා.

10 මේ සෙනඟ ගැන යෙහෝවා මෙහෙම කියනවා. “ඒ මේ අත යන්න ඔවුන් හරිම ආසයි.+ එහේ මෙහේ යන්නේ නැතුව එක තැනකට වෙලා ඉන්න ඔවුන්ට බැරි වුණා.+ ඔවුන් කරන දේවල් ගැන යෙහෝවා කොහොමටවත් සතුටු වෙන්නේ නැහැ.+ ඉතින් දැන් ඔහු ඔවුන්ගේ වැරදි සිහි කරලා ඒවාට දඬුවම් කරනවා.”+

11 ඊටපස්සේ යෙහෝවා මට මෙහෙම කිව්වා. “මේ සෙනඟට හොඳ දෙයක් වෙන්න කියලා යාච්ඤා කරන්න එපා.+ 12 එයාලා නිරාහාරව ඉඳලා කරන කන්නලව්වලට මම ඇහුම්කන් දෙන්නේ නැහැ.+ එයාලා ඔප්පු කරන දවන පූජා සහ ධාන්‍ය පූජා ගැන මම පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+ මම එයාලට කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින්* පහර දීලා එයාලව විනාශ කරලා දානවා.”+

13 එතකොට මම මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි, අනේ යෙහෝවා, ඒත් අනාගතවක්තෘවරු සෙනඟට කියන්නේ ‘ඔබ කඩුව දකින්නේ නැහැ. ඔබට සාගතයක් එන්නේ නැහැ. මේ දේශයට දෙවියන් සැබෑ සමාදානයක් ගේනවා’ කියලයි.”+

14 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරු මගේ නමින් කියන්නේ බොරු.+ මම එයාලව එව්වෙවත් ඒ වගේ දේවල් කියන්න කියලා අණ කළේවත් එයාලා එක්ක කතා කළේවත් නැහැ.+ එයාලා අනාවැකි විදිහට කියන්නේ එයාලා දැක්ක බොරු දර්ශන ගැන, පේන බලලා දැනගත්ත කිසි වැඩකට නැති දේවල් ගැන, එයාලාගේ හිත්වල තියෙන රැවටිලිකාර අදහස් ගැන.+ 15 මම එව්වේ නැති වුණත් මගේ නමින් අනාවැකි කියන අනාගතවක්තෘවරු ගැන, මේ දේශයට කඩු පහරවත් සාගතයක්වත් එන්නේ නැහැ කියලා කියන අනාගතවක්තෘවරු ගැන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒ අනාගතවක්තෘවරු කඩුවෙන් සහ සාගතයෙන් විනාශ වෙලා යනවා.+ 16 ඔවුන් කියපු අනාවැකිවලට ඇහුම්කන් දුන්න සෙනඟත් කඩුවෙන් සහ සාගතයෙන් පහර කාලා යෙරුසලමේ පාරවල්වල වැටිලා ඉඳියි. ඔවුන්වත් ඔවුන්ගේ භාර්යාවන්වත් ඔවුන්ගේ දූපුතුන්වත් වළලන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ.+ මොකද ඔවුන්ට ලැබෙන්න ඕනෙ දඬුවම මම ඔවුන්ට දෙනවා.’+

17 “ඔයා ඒ අයට මේ දේ කියන්න.

‘රෑ දවල් දෙකේ මගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලාගෙන එනු ලැබේවා! ඒවා නතර නොවේවා!+

මොකද කන්‍යා දියණියක් වන මගේ සෙනඟව සම්පූර්ණයෙන්ම පොඩි කරලා දාලා. ඇයව පාගලා දාලා.+

ඇයව දරුණු විදිහට තුවාල කරලා.

18 මම නගරයෙන් එළියට ගිහින් බැලුවොත්

මං දකින්නේ කඩුවෙන් මැරුම් කාපු අයවයි.+

නගරයට ගිහින් බැලුවොත්

මට පේන්නේ සාගතයෙන් පීඩා විඳින අයවයි.+

අනාගතවක්තෘවරු සහ පූජකයෝ ඔවුන් නොදන්න දේශයක ඒ මේ අත යනවා.’”+

19 ඔබ යූදා දේශය සම්පූර්ණයෙන්ම අතහැරියාද? සියොන් ඔබට පිළිකුලක් වෙලාද?+

ඔබ අපිට පහර දුන්නේ ඇයි? දැන් අපිට සුවයක් ලැබෙන්නේ නැහැ.+

අපි සාමය උදා වෙයි කියලා බලාගෙන හිටියත් ඒකෙන් වැඩක් වුණේ නැහැ.

සහනයක් ලැබෙන කාලයක් එයි කියලා බලාගෙන හිටියත් ආවේ භයානක කාලයක්.+

20 අනේ යෙහෝවා, අපි දුෂ්ට විදිහට වැඩ කළා කියලා අපි පිළිගන්නවා.

අපේ මුතුන්මිත්තන් කරපු වැරදිත් අපි පිළිගන්නවා.

අපි ඔබට විරුද්ධව පව් කළා.+

21 ඔබේ නම ගැන හිතලා අපිව ප්‍රතික්ෂේප කරන්න එපා.+

ඔබේ තේජවත් සිංහාසනය හෙළා දකින්න එපා.

අපි එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කරන්න. අනේ, ඒක කඩන්න එපා.+

22 ජාතීන් නමස්කාර කරන, කිසි වැඩකට නැති එක දෙවියෙක්ටවත්* වැසි ලබා දෙන්න පුළුවන්ද?

වැසි ඇද හැලෙන්න සලස්වන්න අහසටවත් පුළුවන්ද?

අපේ දෙවි වන යෙහෝවා, ඒක කරන්න පුළුවන් එකම තැනැත්තා ඔබයි.+

මේ හැම දෙයක්ම කරන්නේ ඔබ විතරයි.

ඒ නිසා අපි බලාපොරොත්තු තියන්නේ ඔබ ගැනයි.

15 යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “මේ සෙනඟ වෙනුවෙන් මෝසෙස් සහ සාමුවෙල් මං ඉස්සරහට ආවත්+ මම ඔවුන්ට අනුකම්පා කරන්නේ නැහැ. මේ සෙනඟව මගේ ඉස්සරහින් පන්නලා දාන්න. ඔවුන්ට යන්න හරින්න. 2 ‘අපිට මොකද වෙන්නේ’ කියලා ඔවුන් ඔබෙන් ඇහුවොත් ඔවුන්ට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මේකයි.

“ඔබෙන් සමහරු මාරාන්තික වසංගතවලට ගොදුරු වෙනවා.

සමහරු කඩුවට නියම වෙනවා.+

තව සමහරු සාගතයට ගොදුරු වෙනවා.

තවත් සමහරු වහල්කමට නියම වෙනවා.”’+

3 “‘මම ඔවුන්ට පහර දෙන්න විපත්ති හතරක්* නියම කරනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘ඔවුන්ව මරලා දාන්න කඩුවත් ඔවුන්ව ඇදගෙන යන්න බල්ලන්වත් මම ඔවුන් අතරට යවනවා. ඒ වගේම ඔවුන්ව කාලා දාන්න කුරුල්ලන්වත් ඉතුරු වෙන දේ නැත්තටම නැති කරලා දාන්න පොළොවේ ඉන්න සතුන්වත් මම යවනවා.+ 4 මම එහෙම කරන්නේ හෙසකියාගේ පුත්, යූදාවල රජ වුණ මනස්සේ යෙරුසලමේදී කරපු දේවල් නිසයි.+ ඔවුන්ට වෙන දේ දැකලා පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+

 5 අනේ යෙරුසලම, ඔබට අනුකම්පාව පෙන්නන්නේ කවුද?

ඔබ ගැන දුක් වෙන්නේ කවුද?

කවුරු හරි ඔබේ සැප දුක් අහන්න ඔබ ළඟ නතර වෙයිද?’

 6 ‘ඔබ මාව අතහැරියා’ කියලා යෙහෝවා කියනවා.+

‘ඔබ ආයේ ආයේ මට පිටු පෑවා.*+

ඒ නිසා මම මගේ අත ඔබට විරුද්ධව දික් කරලා ඔබව විනාශ කරනවා.+

ඔබට අනුකම්පා කරලා මට දැන් ඇති වෙලා.

 7 දේශයේ දොරටු ළඟ මම ඔවුන්ව ධාන්‍ය වගේ පොළනවා. එතකොට ඔවුන් දහයියා වගේ හුළඟට ගහගෙන යයි.

මම ඔවුන්ගේ දරුවන්ව ඔවුන්ගෙන් උදුරගන්නවා.+

මම මගේ සෙනඟව විනාශ කරනවා.

මොකද ඔවුන් ගිය වැරදි මාර්ගවලින් ආපහු හැරිලා එන්න ඔවුන් කැමති වුණේ නැහැ.+

 8 මම ඔවුන් අතරේ ඉන්න වැන්දඹුවන්ගේ ගාණ මුහුදේ වැලිවලටත් වඩා වැඩි වෙන්න සලස්වනවා.

මව්වරුන්ටයි, තරුණයන්ටයි පහර දෙන්න මම කෙනෙක්ව එවනවා. ඔහු මහ දවාලේ ඔවුන්ව විනාශ කරලා දායි.

හදිස්සියේම ඔවුන් තුළ බයක් මම ඇති කරනවා. ඔවුන්ව නොසන්සුන් කරනවා.

 9 දරුවන් හත්දෙනෙක් බිහි කරපු ස්ත්‍රිය දැන් මලානික වෙලා.

ඇය හුස්ම ගන්න බැරුව දඟලනවා.

මහ දවාලේ වුණත් ඇය ඉන්නේ අඳුරේ.*

ඇයව ලැජ්ජාවටත් නින්දාවටත් පත් කරලා.’

‘ඔවුන් අතරින් ඉතුරු වෙන ටිකදෙනාවත්

මම සතුරාගේ කඩුවට භාර දෙනවා’ කියලා යෙහෝවා කියනවා.”+

10 අම්මේ, ඔයා මාව බිහි කරපු නිසා මං කොච්චර දුක් විඳිනවාද!+

දේශයේ ඉන්න මිනිස්සු මාත් එක්ක වාද කරනවා, රණ්ඩු කරනවා.

මම කාටවත් ණයට දුන්නෙවත් කාගෙන්වත් ණය ගත්තෙවත් නැහැ.

ඒත් හැමෝම මට ශාප කරනවා.

11 යෙහෝවා මෙහෙම කිව්වා. “මම ඔයාට උදව් කරනවා. ඔයාගේ සහයට ඉන්නවා.

දුක් කරදර එද්දී මම ඔයා වෙනුවෙන් මැදිහත් වෙනවා.

සතුරාගේ අතින් පහර කද්දී මම ඔයාව බේරගන්නවා.

12 උතුරෙන් ගෙනාපු යකඩ, කෑලි කෑලිවලට කඩන්න පුළුවන් කාටද?

තඹ, කෑලිවලට කඩන්න පුළුවන් කාටද?

13 සතුරන්ට ඔබේ සම්පත් සහ වස්තුව අරගෙන යන්න මම ඉඩ දෙනවා.+

දේශය පුරාම ඔබ කරපු වැරදි නිසා කිසිම ගෙවීමක් නොකරම ඒවා අරගෙන යන්න මම ඉඩහරිනවා.

14 මම ඒවා ඔබේ සතුරන්ගේ අතට දෙනවා.

ඔවුන් ඒවා ඔබ නොදන්න දේශයකට අරගෙන යනවා.+

මොකද මගේ කේන්තිය නිසා ගින්නක් ඇවිළිලා තියෙනවා.

ඒ ගින්න ඇවිළිලා තියෙන්නේ ඔබට විරුද්ධවයි.”+

15 අනේ යෙහෝවා, මං විඳින දුක ඔබ දන්නවා.

මාව සිහි කරන්න. මං දිහා බලන්න.

මට පීඩා කරන අයට දඬුවම් කරන්න.+

ඔවුන් ගැන ඔබ ඉවසන නිසා මාව විනාශ වෙලා යයි. අනේ එහෙම වෙන්න දෙන්න එපා.

මම මේ නින්දා විඳින්නේ ඔබ නිසා කියලා අමතක කරන්න එපා.+

16 ඔබේ වදන් මට ලැබුණාම මම ඒක කෑවා.+

ඔබේ වදන්වලින් මට සතුටක් දැනුණා. ඒවා මගේ හිතට ලොකු ප්‍රීතියක් ගෙනාවා.

මොකද මම ඔබේ නම දරනවා. ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා, මම ඔබේ නම දරනවා.

17 විනෝදය පස්සේම යන අය එක්ක ඉඳගෙන මම සතුටු වෙන්නේ නැහැ.+

ඔබේ බලවත් හස්තයට යටත් වෙන නිසා මම තනි වෙලා.

මොකද මේ සෙනඟ ගැන ඔබට දැනෙන කේන්තියම මටත් දැනෙනවා.*+

18 මගේ වේදනාව නැති වෙන්නේ නැත්තේ ඇයි? මගේ තුවාලය සුව වෙන්නෙම නැත්තේ ඇයි?

ඒක සුව වෙන්නේම නැහැ.

ඔබ මට විශ්වාසය තියන්න බැරි,

වේළිලා ගිය* දිය උල්පතක් වගේ වෙනවාද?

19 ඒ නිසා යෙහෝවා මෙහෙම කිව්වා.

“ඔයා හිතන විදිහ හදාගත්තොත් මගේ කරුණාව ආයෙත් ලබන්න ඔයාට පුළුවන්.

ඔයා මං ඉස්සරහා ඉඳියි.

කිසි වටිනාකමක් නැති දේවලින් ඔයා වටින දේ වෙන් කළොත්

ඔයා මං වෙනුවෙන් කතා කරන කෙනා වෙනවා.*

සෙනඟට ඔයා ළඟට එන්න සිද්ධ වෙනවා.

ඒත් ඔයාට එයාලාගේ පැත්තට යන්න ඕනෙ වෙන්නේ නැහැ.”

20 “මම ඔයාව මේ සෙනඟ ඉදිරියේ ශක්තිමත් තඹ පවුරක් වගේ කරනවා.+

එයාලා අනිවාර්යයෙන්ම ඔයාට විරුද්ධව සටන් කරයි.

ඒත් ඔයාව පරාජය කරන්න එයාලට පුළුවන් වෙන්නේ නැහැ.+

මොකද ඔයාව බේරගන්නත් ඔයාව ගලවගන්නත් මම ඔයා එක්කම ඉන්නවා” කියලා යෙහෝවා කියනවා.

21 “මම ඔයාව දුෂ්ටයන්ගේ අතින් බේරගන්නවා.

කුරිරු අයගේ අතින් මුදවගන්නවා.”

16 යෙහෝවා දෙවියන් මට ආයෙත් මෙහෙම කිව්වා. 2 “මේ දේශයේදී ඔයා විවාහ වෙන්න එපා. දරුදැරියන් හදා වඩා ගන්නත් එපා. 3 මේ දේශයේදී ඉපදෙන දරුදැරියන් ගැනත් එයාලව බිහි කරන අම්මලා ගැනත් ඒ දරුදැරියන්ගේ තාත්තලා ගැනත් යෙහෝවා මෙහෙම කියනවා. 4 ‘ඔවුන් මාරාන්තික රෝගවලින් මැරෙනවා.+ කිසිම කෙනෙක් ඔවුන් ගැන වැලපෙන්නෙවත් ඔවුන්ව වළලන්නෙවත් නැහැ. ඔවුන්ගේ මළ කඳන් පසට පොහොර වෙන ගොම වගේ වෙයි.+ ඔවුන් කඩුවෙන් සහ සාගතයෙන් පහර කාලා මැරෙනවා.+ ඔවුන්ගේ මළ මිනී කුරුල්ලනුයි, වනසතුනුයි ආහාරයට ගනියි.’

 5 යෙහෝවා මෙහෙම කියනවා.

‘වැලපෙන අය වෙනුවෙන් කෑම බීම සංග්‍රහ කරන ගෙවල්වලට යන්න එපා.

අඬා වැලපෙන්නවත් ශෝකය ප්‍රකාශ කරන්නවත් එපා.’+

‘මොකද මේ සෙනඟට මම දුන්න සමාදානය මම ඔවුන්ගෙන් අයින් කළා’ කියලා යෙහෝවා කියනවා.

‘මම පෙන්නපු නොසැලෙන ආදරයත්, දයාවත් මම තවත් ඔවුන්ට පෙන්නන්නේ නැහැ.+

 6 උස් පහත් දෙගොල්ලොම මේ දේශයේදී මැරිලා යනවා.

කවුරුත් ඔවුන්ව වළලන්නේ නැහැ.

ඔවුන් වෙනුවෙන් කිසිම කෙනෙක් වැලපෙන්නෙත් නැහැ.

ඔවුන් වෙනුවෙන් ඇඟ කපාගන්නෙවත් හිස බූ ගාගන්නෙවත් නැහැ.*

 7 තමන් ආදරේ කරන අයගේ මරණය ගැන වැලපෙන අයව සනසන්න,

කිසිම කෙනෙක් ඔවුන්ට කෑම දෙන්නේ නැහැ.

තමන්ගේ තාත්තාගේ හරි අම්මාගේ හරි මරණය ගැන වැලපෙන අයව සනසන්න,

කිසිම කෙනෙක් ඔවුන්ට වයින් කෝප්පයක්වත් දෙන්නේ නැහැ.

 8 උත්සව පවත්වන ගෙවල්වලට ඇතුල් වෙන්න එපා.

එතන ඉන්න අය එක්ක එකට ඉඳගෙන කෑම බීම ගන්න එපා.’

9 “මොකද ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘සතුටින් කෑගහන හඬත් ප්‍රීති ඝෝෂා නඟන හඬත් මනාලයාගේ සහ මනාලියගේ හඬත් ආයේ මේ දේශයෙන් ඇහෙන්න මම ඉඩ තියන්නේ නැහැ.+ ඒක මම ඔයා ජීවත් වෙලා ඉන්න කාලේදීම ඔයාගේ ඇස් ඉස්සරහම කරනවා.’

10 “මේ හැම දෙයක්ම ඔයා සෙනඟට කිව්වාම එයාලා ඔයාගෙන් මෙහෙම අහයි. ‘මේ හැම දරුණු විපතක්ම යෙහෝවා අපිට විරුද්ධව ගේනවා කියලා කියන්නේ ඇයි? අපි කරපු වරද මොකක්ද? අපේ දෙවි යෙහෝවාට විරුද්ධව අපි කරපු පාපය මොකක්ද?’+ 11 එතකොට ඔයා එයාලට මෙහෙම උත්තර දෙන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා. “මම ඒ දේ කරන්නේ ඔබේ මුතුන්මිත්තන් මාව අතහැරිය නිසයි.+ ඔවුන් දිගින් දිගටම වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඒ දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා ඒ දෙවිවරුන්ට නමස්කාර කළා.+ ඔවුන් මාව අතහැරලා දැම්මා. මගේ නීති පිළිපැද්දේ නැහැ.+ 12 ඔබ ඔබේ මුතුන්මිත්තන්ටත් වඩා අන්ත විදිහට වැඩ කළා.+ මට කීකරු වෙනවා වෙනුවට හැම කෙනෙක්ම ඔවුන්ගේ හිතුවක්කාර, නපුරු හිත කියන විදිහට වැඩ කළා.+ 13 ඒ නිසා ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් දන්නේ නැති දේශයකට මම ඔබව වීසි කරලා දානවා.+ එහෙදී රෑ දවල් දෙකේ ඔබට වෙනත් දෙවිවරුන්ට සේවය කරන්න වෙයි.+ මොකද මම ඔබට අනුකම්පා කරන්නේ නැහැ.”’

14 “යෙහෝවා මෙහෙම කියනවා. ‘“ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනාපු යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි” කියලා ඔවුන් තවත් දිවුරන්නේ නැති කාලයක් එනවා.+ 15 ඒ වෙනුවට ඔවුන් මෙහෙම දිවුරයි. “ඊශ්‍රායෙල්වරුන්ව උතුරු දේශයෙනුත් ඔවුන්ව විසුරුවාහැරිය අනිත් දේශවලිනුත් ආපහු ගෙනාව යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි.” මොකද මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්න දේශයට අනිවාර්යයෙන්ම ඔවුන්ව ආපහු අරගෙන එනවා.’+

16 ‘මම ධීවරයන් හුඟදෙනෙක්ට අඬගහනවා’ කියලා යෙහෝවා කියනවා.

‘ඔවුන් මාළු අල්ලනවා වගේ මගේ සෙනඟව අල්ලගනියි.

ඊටපස්සේ දඩයක්කරුවන් හුඟදෙනෙක්ටත් මම අඬගහනවා.

ඒ දඩයක්කරුවන් කඳු හෙල් හැම එකකටම ගිහින් ඔවුන්ව හොයයි.

පර්වත කුහරවලට ගිහින් ඔවුන්ව අල්ලගනියි.

17 ඔවුන් කරන හැම දෙයක්ම මට පේනවා.

ඔවුන් කරන දේවල් මගෙන් හංගන්න ඔවුන්ට බැහැ.

මට පේන්නේ නැති විදිහට ඔවුන්ගේ වැරදි හංගන්න ඔවුන්ට බැහැ.

18 මුලින්ම මම ඔවුන්ට දඬුවම් කරනවා. ඔවුන්ගේ වැරදිවලට සහ පව්වලට ලැබෙන්න ඕන සම්පූර්ණ දඬුවම මම ඔවුන්ට දෙනවා.+

මොකද ඔවුන් පණ නැති, ජරා රූපවලින් මගේ දේශය පුරවලා ඒක අපවිත්‍ර කළා.

ඔවුන්ගේ පිළිකුල් දේවල්වලින් මගේ උරුමය පිරෙව්වා.’”+

19 යෙහෝවා දෙවියනි, මගේ ශක්තියත් මගේ බලකොටුවත් ඔබයි.

දුක් කරදර එන කාලේදී මට පලා ගිහින් හැංගෙන්න පුළුවන් ඔබ ළඟයි.+

පොළොවේ හතර කොනේ ඉඳන් ජාතීන් එන්නේ ඔබ ළඟටයි.

ඔවුන් ඇවිත් මෙහෙම කියයි. “අපේ මුතුන්මිත්තන් උරුම කරගෙන හිටියේ බොරු දෙවිවරුන්ට කරපු නමස්කාරයයි.*

කිසිම ප්‍රයෝජනයක් නැති, වැඩකට නැති දේවලුයි.”+

20 තමන් වෙනුවෙන් දෙවිවරුන්ව හදාගන්න මනුස්සයෙක්ට පුළුවන්ද?

ඔහු හදාගන්න දේවල් ඇත්තටම දෙවිවරු නෙමෙයි.+

21 “ඉතින් මම මගේ බලය සහ ශක්තිය ගැන ඔවුන්ට කියලා දෙනවා.

එදාට මම ඒ ගැන ඔවුන්ට කියලා දෙනවා.

මගේ නම යෙහෝවා කියලා ඔවුන් අනිවාර්යයෙන්ම දැනගනියි.”

17 “යූදා කරලා තියෙන වැරදි යකඩ පන්හිඳකින් ලියලා තියෙනවා.

ඒවා දියමන්ති තුඩකින් ඔවුන්ගේ හදවත්වල කොටලා තියෙනවා.

ඔවුන්ගේ පූජාසනවල අං මත ඒවා කොටලා තියෙනවා.

 2 ඔවුන්ගේ පූජාසන සහ නමස්කාරය වෙනුවෙන් හදපු කණු* ඔවුන්ගේ පුතුන්ට පවා මතකයි.+

ඔවුන් ඒවා සරුවට වැඩුණු ගස් ළඟත් හෙල් මතත් ඉදි කළා.+

 3 ගම්බද පළාත්වල තියෙන කඳු මුදුන්වලත් ඒවා ඉදි කළා.

ඔබේ සම්පත්, ඔබට අයිති වටින දේවල් හැම එකක්ම කොල්ල කන්න මං ඉඩහරිනවා.+

දේශය පුරාම ඔබ කරපු වැරදි නිසා ඔබේ පූජනීය ස්ථාන* කොල්ල කන්න මම ඉඩහරිනවා.+

 4 මම ඔබට දුන්න උරුමය ඔබම අතහැරලා දානවා.+

ඔබ නොදන්න දේශයකදී ඔබේ සතුරන්ට සේවය කරන්න මම ඔබට සලස්වනවා.+

මොකද ඔබ මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළෙව්වා.*+

ඒක හැමදාම ඇවිළෙයි.”

 5 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

“යෙහෝවාව අතහැරලා ගිහින්

නිකම්ම නිකම් මිනිස්සු ගැන විශ්වාසය තියන,+

මිනිස්සුන්ගේ ශක්තිය මත රැඳිලා ඉන්න කෙනාට*+ ශාප වෙනවා.

 6 ඔහු කාන්තාරයේ හුදෙකලාවේ තියෙන ගහක් වගේ වෙයි.

ඔහුට කිසිම හොඳ දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ.

ඔහුට වාසය කරන්න වෙන්නේ පාළුකරයේ වියළි තැන්වල.

මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ලුණු බිම්වල.

 7 ඒත් යෙහෝවා ගැන විශ්වාසය තියන,

යෙහෝවා ගැන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාට* ආශීර්වාද ලැබෙනවා.+

 8 ඔහු දිය පාරවල් ළඟ හිටවපු,

දිය පාර වෙතට මුල් ඇදලා තියෙන ගහක් වගේ වෙයි.

හිරු රශ්මිය කොච්චර දැඩි වුණත් ඔහුට ඒක දැනෙන්නේ නැහැ.

ඔහු හැම වෙලේම කොළ සරුවට වැවෙන ගහක් වගේ.+

නියං කාලේදී පවා ඔහු කලබල වෙන්නේ නැහැ.

ඔහු පල දරන එක නතර කරන්නෙත් නැහැ.

 9 හැම දේටම වඩා මිනිසාගේ හිත රැවටිලිකාරයි. ඒ විතරක් නෙමෙයි හිත උත්සාහ කරන්නේ තමන් ආස කරන දේ කොහොමහරි ඉටු කරගන්නයි.*+

ඒ හිත තේරුම්ගන්න පුළුවන් කාටද?

10 යෙහෝවා වන මම හිත සෝදිසි කරනවා.+

හැම සිතුවිල්ලක්ම* සෝදිසි කරලා බලනවා.

එහෙම කරන්නේ එක් එක් කෙනා ජීවත් වෙන විදිහට අනුව,

ඔවුන් වැඩ කරන විදිහට අනුව ප්‍රතිඵල ලබා දෙන්නයි.+

11 වංක විදිහට ධන සම්පත් රැස් කරන කෙනා

තමන් දැම්මේ නැති බිත්තර රැස් කරගන්න වටු කිකිළියෙක්* වගේ.+

ඒත් වයසට යන්න කලින් ඒ ධන සම්පත් ඔහුව අතහැරලා යයි.

අන්තිමේදී ඔහු මෝඩයෙක් කියලා පැහැදිලි වෙයි.”

12 දෙවියන්ගේ තේජවත් සිංහාසනය මුල ඉඳන්ම ගෞරවයට පත් වුණා.

ඒක අපේ ශුද්ධස්ථානයයි.+

13 යෙහෝවා දෙවියනි, ඊශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව ඔබයි.

ඔබව අතහැරලා යන හැමෝවම ලැජ්ජාවට පත් කරනවා.

ඔබෙන්* ඈත් වෙලා යන අයගේ නම් ලියන්නේ දූවිලි මත.+

මොකද ඔවුන් ජීවනදායක දිය උල්පත වන යෙහෝවාව අතහැරියා.+

14 අනේ යෙහෝවා, මාව සුව කරන්න. එතකොට මට සුවය ලැබෙයි.

මාව බේරගන්න. එතකොට මං ගැලවෙයි.+

මොකද මං ප්‍රශංසා කරන්නේ ඔබටයි.

15 බලන්න! සමහර මිනිස්සු මට මෙහෙම කියනවා.

“යෙහෝවා කියපු දේවල් තාම වුණේ නෑනේ.+

ඒවා ඉටු වෙන්න ඇයි මෙච්චර පරක්කු වෙන්නේ?”

16 ඒ මොනවා කිව්වත් එඬේරෙක් විදිහට මට ලැබුණ පැවරුම මම අතහැරියේ නැහැ. දිගටම මම ඔබට කීකරු වුණා.

විනාශයේ දවස එන කල් මම බලාගෙන හිටියෙත් නැහැ.

මම කියපු හැම දෙයක්ම ඔබ හොඳින් දන්නවා.

මං ඒ හැම දෙයක්ම කිව්වේ ඔබ ඉස්සරහා.

17 ඔබ මාව අතහැරියොත් මට ලොකු බයක් දැනෙයි. අනේ එහෙම කරන්න එපා.

දුක් කරදර තියෙන කාලේදී මගේ රැකවරණය ඔබයි.

18 මට පීඩා කරන අයව ලැජ්ජාවට පත් කරන්න.+

ඒත් මාව ලැජ්ජාවට පත් කරන්න එපා.

ඔවුන්ගේ හිත්වල බයක් ඇති කරන්න.

ඒත් මට භීතිය අද්දකින්න ඉඩ දෙන්න එපා.

විනාශයේ දවස ඔවුන් පිටට ගේන්න.+

ඔවුන්ව පොඩි කරලා නැත්තටම නැති කරලා දාන්න.*

19 යෙහෝවා මට මෙහෙම කිව්වා. “ඔයා යූදාවල රජවරු යන එන ප්‍රධාන දොරටුව* ළඟටත් යෙරුසලමේ අනිත් දොරටු ළඟටත් ගිහින් හිටගන්න.+ 20 ඊටපස්සේ ඒ අයට මෙහෙම කියන්න. ‘මේ දොරටුවලින් ඇතුල් වෙන යූදාවල රජවරුනි, යූදා දේශයේ වැසියෙනි, යෙරුසලමේ සෙනඟෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. 21 යෙහෝවා කියන්නේ මේකයි. “සබත් දවසේදී කිසිම බරක් උස්සගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවී ඉන්න වගබලා ගන්න.+ 22 සබත් දවසේදී ඔබේ ගෙවල්වලින් එළියට කිසිම බරක් උස්සගෙන යන්න එපා. එදාට කිසිම වැඩක් කරන්නත් එපා.+ මං ඔබේ මුතුන්මිත්තන්ට අණ කරපු විදිහට සබත් දවස ශුද්ධ දවසක් විදිහට සලකන්න.+ 23 ඒත් ඔවුන් මට සවන් දුන්නේ නැහැ. මං කිව්ව දේවල් කනකටවත් ගත්තේ නැහැ. ඔවුන් මුරණ්ඩු විදිහට වැඩ කළා. කීකරු වෙන්නවත් හික්මවීම් පිළිගන්නවත් ඔවුන් කැමති වුණේ නැහැ.”’+

24 “‘යෙහෝවා මෙහෙම කියනවා. “ඒත් ඔබ මට කීකරු වෙලා සබත් දවසේදී කිසිම බරක් උස්සගෙන මේ නගරයේ දොරටුවලින් ඇතුල් නොවී හිටියොත් එදාට කිසිම වැඩක් නොකර ඒක ශුද්ධ දවසක් විදිහට සැලකුවොත්+ 25 දාවිත්ගේ සිංහාසනයේ ඉඳගන්න රජවරුන් සහ අධිපතීන්+ අනිවාර්යයෙන්ම මේ දොරටුවලින් ඇතුල් වෙයි. ඒ රජවරුනුත් ඔවුන්ගේ අධිපතීනුත් අශ්ව රථ සහ අශ්වයන් පිට නැඟලා ඇතුල් වෙයි. යූදාවල සෙනඟත් යෙරුසලමේ වැසියනුත් මේ දොරටුවලින් ඇතුල් වෙයි.+ මේ නගරය හැමදාම මිනිස්සුන්ගෙන් පිරුණු තැනක් වෙයි. 26 යූදා දේශයේ නගරවලින්, යෙරුසලම අවට ප්‍රදේශවලින්, බෙන්ජමින් දේශයෙන්,+ පහත් බිම්වලින්,+ කඳුකර පළාතෙන් සහ නෙගෙබ් ප්‍රදේශයෙන්* යෙහෝවා දෙවියන්ගේ ගෘහයට සෙනඟ එයි. ඔවුන් දවන පූජාත්+ වෙනත් පූජාත්+ ධාන්‍ය පූජාත්+ කට්ටකුමංජලුත් ස්තුති පූජාත් අරගෙන එයි.+

27 “‘“ඒත් සබත් දවස ශුද්ධ දවසක් විදිහට සලකන්න කියලත් එදාට බර උස්සගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් වෙන්න එපා කියලත් මං කිව්ව දේට ඔබ අකීකරු වුණොත් මම යෙරුසලමේ දොරටුවලට ගින්නක් අවුළුවනවා. ඒ ගින්නෙන් යෙරුසලමේ බලකොටු පිච්චිලා යයි.+ ඒ ගින්න නිවිලා යන්නේ නැහැ.”’”+

18 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 2 “ඔයා දැන් කුඹල්කරුගේ ගෙදරට යන්න.+ එහෙදී මගේ පණිවිඩය මං ඔයාට දැනුම් දෙන්නම්.”

3 ඉතින් මම කුඹල්කරුගේ ගෙදරට ගියා. එයා සකපෝරුවෙන් බඳුනක් හදහද හිටියා. 4 ඒත් එයා හදහද හිටපු මැටි බඳුන හරියට ආවේ නැති නිසා එයා ඒ මැටිවලින්ම එයා කැමති විදිහට වෙන බඳුනක් හැදුවා.

5 ඒ වෙලාවේ යෙහෝවා මට මෙහෙම කිව්වා. 6 “‘ඊශ්‍රායෙල්වරුනි, මේ කුඹල්කරු කරපු දේම මටත් ඔයාලට කරන්න බැරිද’ කියලා යෙහෝවා අහනවා. ‘ඊශ්‍රායෙල්වරුනි, බලන්න! කුඹල්කරුගේ අතේ තියෙන මැටි වගේ ඔයාලත් ඉන්නේ මගේ අතේ.+ 7 ජාතියක් හරි රාජ්‍යයක් හරි උදුරලා දාලා ඒක විනාශ කරනවා කියලා මං කියන්න ඉඩ තියෙනවා.+ 8 ඒත් ඒ ජාතිය මම හෙළා දැක්ක දුෂ්ටකම් අතහැරියොත් මම ඔවුන්ට විරුද්ධව ගේනවා කියලා කියපු විපත්තිය ගේන්නේ නැහැ. මම කලින් ගත්ත තීරණය වෙනස් කරනවා.+ 9 ඒ වගේම ජාතියක් හරි රාජ්‍යයක් හරි ගොඩනඟලා ඒක පිහිටුවනවා කියලා මං කියන ඕනෙම වෙලාවක 10 ඒ ජාතිය මට අකීකරු වෙලා මං වැරදියි කියලා සලකන දේවල් කළොත් මම ඔවුන්ට යහපත් දේවල් කරනවා කියලා ගත්ත තීරණය වෙනස් කරනවා.’

11 “අනේ දැන් යූදාවල සෙනඟටයි, යෙරුසලමේ වැසියන්ටයි මේ දේ කියන්න. ‘යෙහෝවා කියන්නේ මේකයි. “මම ඔබට විරුද්ධව විපතක් ගේන්න සැලසුම් කරනවා. ඔබට දඬුවම් කරන්නේ කොහොමද කියලා හිතනවා. අනේ, ඔබ යන දුෂ්ට මාර්ග අතහැරලා එන්න. ඔබ වැඩ කරන විදිහ, ඔබේ හැසිරීම නිවැරදි කරගන්න.”’”+

12 ඒත් ඔවුන් මෙහෙම කිව්වා. “ඕවා අපිට වැඩක් නෑ.+ අපි කරන්නේ අපිට ඕනෙ දේ. අපි හිතුවක්කාර අය තමයි. අපි වැඩ කරන්නේ අපේ නපුරු හිත කියන විදිහට.”+

13 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා.

“ජාතීන්ගෙන් මේ ගැන අහලා බලන්න.

මේ වගේ දෙයක් කවුරුත් අහලා තියෙනවාද?

ඊශ්‍රායෙල් දියණිය කරලා තියෙන්නේ කොච්චර පිළිකුල් දෙයක්ද!+

14 ලෙබනොන් කඳු පර්වතවල තියෙන හිම දිය වෙලා යයිද?

දුර ඈත ඉඳන් ගලාගෙන එන සිසිල් දිය පාරවල් හිඳිලා යයිද?

15 ඒත් මගේ සෙනඟට මාව අමතක වෙලා.+

ඔවුන් පූජා* ඔප්පු කරන්නේ කිසි වැඩකට නැති රූපවලට.+

ඔවුන් අනිත් අයව නොමඟ යවනවා. පුරාණයේ ඉඳන් තියෙන පාරෙන් ඒ අයව පිටතට ගන්නවා.+

ගල් බොරලු තියෙන* අතුරු පාරවල්වල යන්න ඔවුන්ව පොලඹවනවා.

16 ඒ නිසා ඔවුන්ගේ දේශයට වෙන දේ දැකලා හැමෝම බය වෙනවා.+

ඒක හැමදාටම අපහාසෙට ලක් වෙනවා.*+

ඒක පහු කරගෙන යන හැමෝම පුදුමයෙන් ඒක දිහා බලලා ඔළුව වනයි.+

17 නැඟෙනහිරෙන් හමන හුළඟට අහු වෙන දහයියා වගේ මම ඔවුන්ව සතුරා ඉස්සරහා විසුරුවාහරිනවා.

ඔවුන් විනාශ වෙන දවසේදී මම ඔවුන් දිහා බලන්නේ නැතුව ඔවුන්ට පිටු පානවා.”+

18 එතකොට ඔවුන් මෙහෙම කිව්වා. “එන්න, අපි යෙරෙමියාට උගුලක් අටවමු.+ නීතිය අපිට කියලා දෙන්න* පූජකයන් ඉන්නවා. අපිට උපදෙස් දෙන්න බුද්ධිමත් අය ඉන්නවා. දෙවියන්ගේ පණිවිඩ අපිට කියන්න අනාගතවක්තෘවරු ඉන්නවා. ඉතින් යෙරෙමියා කියන දේවල් අහන්නේ මොකටද? අපි එයාට විරුද්ධව චෝදනා කරමු.”

19 අනේ යෙහෝවා, මට ඇහුම්කන් දෙන්න.

මගේ සතුරන් කියන දේවල්වලට සවන් දෙන්න.

20 කරපු හොඳ දේවල්වලට ලැබෙන ප්‍රතිඵලය මේකද?

මාව අල්ලගන්න ඔවුන් වළක් හාරලා.+

මම ඔවුන් වෙනුවෙන් කතා කරන්න ඔබ ඉස්සරහට ආපු විදිහ සිහි කරන්න.

ඔවුන්ට විරුද්ධව ඇවිළුණ ඔබේ කේන්තිය අහක් කරන්න කියලා මං ඉල්ලපු විදිහ සිහි කරන්න.

21 ඔවුන් කරන ඒ දේවල් නිසා ඔවුන්ගේ පුතුන්ට හාමතෙන් මැරෙන්න ඉඩහරින්න.

ඔවුන්ව කඩුවට භාර දෙන්න.+

ඔවුන්ගේ භාර්යාවන්ව දරුවෝ අහිමි වුණ අම්මලා කරන්න. ඔවුන්ව වැන්දඹුවන් කරන්න.+

ඔවුන්ගේ පුරුෂයන්ට මාරාන්තික වසංගතයකින් පහර දෙන්න.

ඔවුන්ගේ තරුණයන්ව යුද්දේදී කඩු පහරින් මැරුම් කන්න සලස්වන්න.+

22 ඔබ හදිස්සියේම කොල්ලකරුවන්ව ඔවුන්ට විරුද්ධව එවද්දී

ඔවුන්ගේ ගෙවල්වලින් බෙරිහන් දෙන හඬක් ඇහෙන්න සලස්වන්න.

මොකද ඔවුන් මාව අල්ලගන්න වළක් හෑරුවා.

මාව අල්ලගන්න උගුල් ඇටෙව්වා.+

23 අනේ යෙහෝවා,

මාව මරලා දාන්න ඔවුන් කරන හැම කුමන්ත්‍රණයක්ම ඔබ හොඳින් දන්නවා.+

ඔවුන්ගේ වැරදිවලට සමාව දෙන්න එපා.

ඔවුන් කරපු පාපය ඔබ ඉස්සරහින් මකලා දාන්න එපා.

ඔබ කේන්තියෙන් ඔවුන්ට විරුද්ධව පියවර ගද්දී+

ඔවුන්ව ඔබ ඉස්සරහම වැටෙන්න සලස්වන්න.+

19 යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “ගිහින් කුඹල්කරුවෙක්ගෙන් මැටි බඳුනක් සල්ලි දීලා ගන්න.+ ඊටපස්සේ සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන්ගෙන් කීපදෙනෙක්ටයි, ප්‍රධාන පූජකයන්ගෙන් කීපදෙනෙක්ටයි අඬගහන්න. 2 එයාලත් එක්ක බෙන්හින්නොම් නිම්නයට*+ ගිහින් කුඹල් දොරටුව ළඟ හිටගන්න. එහෙදී මම ඔයාට කියන පණිවිඩය ඔයා එයාලට කියන්න. 3 ඔයා මෙහෙම කියන්න. ‘යූදාවල රජවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි.

“‘“මම මේ ස්ථානය පිටට විපත්තියක් ගේන්නයි යන්නේ. ඒ ගැන අහන හැමෝගෙම කන් දෙදරුම් කයි. 4 මම එහෙම කරන්නේ ඔවුන් මාව අතහැරලා ගිහින්+ මේ ස්ථානය මට අඳුරගන්නවත් බැරි තැනක් කරපු නිසයි.+ ඔවුන්වත් ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් යූදාවල රජවරුන්වත් නොදන්න දෙවිවරුන්ට ඔවුන් මේ ස්ථානයේ පූජා ඔප්පු කරනවා. ඔවුන් මේ ස්ථානය අහිංසක අයගේ ලේවලින් නාවලා.+ 5 තමන්ගේ පුතාලව ගින්නෙන් දවලා බාල්ට ඔප්පු කරන්න ඔවුන් බාල් වෙනුවෙන් පූජාසන* ගොඩනැඟුවා.+ ඒ වගේ දෙයක් කරන්න කියලා මම ඔවුන්ට අණ කළේවත් ඒ ගැන මම ඔවුන් එක්ක කතා කළේවත් නැහැ. ඒ වගේ අදහසක් මගේ හිතට ආවේවත් නැහැ.”’+

6 “‘“ඒ නිසා මේ ස්ථානය තෝෆෙත් කියලවත් බෙන්හින්නොම් නිම්නය* කියලවත් හඳුන්වන්නේ නැති කාලයක් එනවා” කියලා යෙහෝවා කියනවා. “ඒ වෙනුවට මේකට මිනී මරන නිම්නය කියලා කියයි.+ 7 යූදා සහ යෙරුසලමේ සෙනඟ කරන සැලසුම් මම මේ ස්ථානයේදී කඩාකප්පල් කරනවා. මම ඔවුන්ට සතුරන් අතින් මැරුම් කන්න සලස්වනවා. ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතට ඔවුන්ව අල්ලලා දෙනවා. මම ඔවුන්ගේ මළ මිනී අහසේ කුරුල්ලන්ටයි, පොළොවේ වනසතුන්ටයි කෑම විදිහට දෙනවා.+ 8 මම මේ නගරයට කරන දේ දැකලා හැමෝම බය වෙනවා. ඒක හැමෝගෙම අපහාසයට ලක් වෙන්න* මං ඉඩහරිනවා. ඒක පහු කරගෙන යන අය පුදුමයෙන් ඒක දිහා බලලා ඒකට වෙලා තියෙන විපත ගැන කියලා අපහාස කරයි.+ 9 මම ඔවුන්ට කරන දේ නිසා ඔවුන්ගෙම දූපුතුන්ගේ මස් කන්න ඔවුන්ට වෙනවා. නගරය වටලලා තියෙන කාලේදී ඔවුන් කොච්චර අසරණ වෙනවාද කියනවා නම් ඔවුන් එක් එක් කෙනා තමන්ගේ අසල්වැසියාගේ මස් පවා කනවා. මොකද ඔවුන්ගේ සතුරන් සහ ඔවුන්ව මරලා දාන්න හොයන අය හැම පැත්තෙන්ම ඔවුන්ව කොටු කරනවා.”’+

10 “ඊටපස්සේ ඔයාත් එක්ක ගිය අය ඉස්සරහා මැටි බඳුන බිඳලා දාන්න. 11 එයාලට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “කුඹල්කරු හදපු මේ මැටි බඳුන ආපහු හදන්න බැරි විදිහට බිඳලා දැම්මා වගේ මම මේ නගරයත් ඒකේ ඉන්න සෙනඟවත් විනාශ කරලා දානවා. එදාට තවත් මිනී වළලන්න ඉඩ මදි වෙන තරමටම ඔවුන් තෝෆෙත්වල මළ මිනී වළලනවා.”’+

12 “‘මම ඒ විදිහට මේ නගරයයි, ඒකේ ඉන්න අයවයි විනාශ කරනවා’ කියලා යෙහෝවා කියනවා. ‘එහෙම කරන්නේ මේ නගරය තෝෆෙත් වගේ කරන්නයි. 13 යෙරුසලමේ වැසියන්ගේ ගෙවල් සහ යූදාවල රජවරුන්ගේ මාලිගා තෝෆෙත් වගේ අපවිත්‍ර වෙනවා.+ මොකද ඔවුන් ඔවුන්ගේ ගෙවල්වල පැතලි වහලේ උඩ ඉඳන් ආකාශ වස්තූන් හැම එකකටම පූජා ඔප්පු කළා.+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළා.’”+

14 යෙරෙමියා තෝෆෙත්වල ඉඳන් ඒ කියන්නේ යෙහෝවා අනාවැකි කියන්න එයාව යවපු තැන ඉඳන් ආපහු ආවා. ඊටපස්සේ එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවට ගිහින් සෙනඟට මෙහෙම කිව්වා. 15 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. ‘මම මේ නගරයටයි, මේක අවට තියෙන අනිත් හැම නගරයකටමයි ගේනවා කියලා කියපු විපත අනිවාර්යයෙන්ම ගේනවා. මොකද ඔවුන් හරිම මුරණ්ඩු විදිහට වැඩ කළා. මම කියන දේවලට කීකරු වෙන්න ඔවුන් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.’”+

20 යෙරෙමියා ඒ අනාවැකි කියද්දී ඉම්මේර්ගේ පුතා වුණ පෂ්හූර් කියන පූජකයා ඒක අහගෙන හිටියා. එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ප්‍රධාන නිලධාරියා විදිහටයි වැඩ කළේ. 2 පෂ්හූර් අනාගතවක්තෘ යෙරෙමියාට ගහලා එයාව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ඉහළට වෙන්න තියෙන බෙන්ජමින් දොරටුව ළඟ තිබුණ දඬුකඳේ ගැහුවා.+ 3 ඊළඟ දවසේදී පෂ්හූර් දඬුකඳේ ගහලා හිටපු යෙරෙමියාව නිදහස් කළාම යෙරෙමියා එයාට මෙහෙම කිව්වා.

“යෙහෝවා දෙවියන් ඔබට පෂ්හූර් කියන නම වෙනුවට ‘භීතියෙන් වට වෙලා’ කියන නම දුන්නා.+ 4 මොකද යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබට වෙන දේ දැකලා ඔබයි, ඔබේ යාළුවෝයි හොඳටම බය වෙනවා. ඔබ බලාගෙන ඉද්දීම සතුරන්ගේ කඩු පහරින් ඔවුන් මැරුම් කනවා.+ මම යූදාවල ඉන්න හැමෝවම බැබිලෝනියේ රජගේ අතට භාර දෙනවා. ඔහු ඔවුන්ව වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගිහින් එහෙදී කඩුවෙන් මරලා දායි.+ 5 මම මේ නගරයේ තියෙන ඔක්කොම ධනය, හැම සම්පතක්ම, ඒකේ තියෙන හැම වටිනා දෙයක්ම සහ යූදාවල රජවරුන්ගේ හැම වස්තුවක්ම ඔවුන්ගේ සතුරන්ගේ අතට භාර දෙනවා.+ ඔවුන් ඒ හැම දෙයක්ම කොල්ල කාලා ඒවා බැබිලෝනියට අරන් යනවා.+ 6 පෂ්හූර්, ඔබවත් ඔබේ ගෙදර ඉන්න හැමෝවමත් වහලුන් විදිහට අරන් යනවා. ඔබ බැබිලෝනියට ගිහින් එහෙදී මැරෙනවා. ඔබේ යාළුවන් එක්ක ඔබවත් එහෙදී තැන්පත් කරයි. මොකද ඔබ සෙනඟට කිව්වේ බොරු අනාවැකි.’”+

 7 අනේ යෙහෝවා, ඔබ මාව පුදුම කළා. මම ඇත්තටම පුදුම වුණා.

ඔබ මට වඩා බලවත් කියලා පෙන්නුවා. ඔබ ජය ගත්තා.+

දවස පුරාම හැමෝම මට හිනා වෙනවා.

හැමෝම මට සමච්චල් කරනවා.+

 8 මොකද මං කතා කරන හැම වෙලාවකම මං කෑගහලා කියන්නේ

“මරනවා! විනාශ කරනවා” කියලයි.

යෙහෝවාගේ පණිවිඩය නිසා දවස පුරාම මිනිස්සු මට නින්දා කරනවා. මට සරදම් කරනවා.+

 9 ඉතින් මම මෙහෙම හිතුවා. “මං ආයේ දෙවියන් ගැන කතා කරන්නේ නැහැ.

ඔහුගේ නමින් කිසිම දෙයක් කියන්නෙත් නැහැ.”+

ඒත් ඔහුගේ වදන් මගේ හදවතේ ගින්නක් වගේ ඇවිළුණා. ඒ ගින්න මගේ ඇටකටු අස්සේ හිර වෙලා තිබුණා.

ඒක හිර කරගෙන ඉඳලා මට වෙහෙසයි.

මට තවත් නම් නිහඬව ඉන්න බැහැ.+

10 අනිත් අය කියන නපුරු දේවල් මට ඇහුණා.

භීතිය මාව වට කරගත්තා.+

“ඔහුට නින්දා කරන්න. අපි ඔහුට නින්දා කරමු.”

මට සුබ පතන හැමෝම මං වැටෙන කල් බලාගෙන ඉන්නවා.+

“සමහරවිට ඔහු මෝඩ දෙයක් කරයි.

එතකොට අපිට ඔහුව අල්ලගෙන ඔහුගෙන් පළිගන්න පුළුවන්.”

11 ඒත් යෙහෝවා බලවත් සටන්කරුවෙක් වගේ මාත් එක්කම හිටියා.+

මට පීඩා කරන අය වැටිලා යන්නේ ඒ නිසයි. ඔවුන් කවදාවත් ජය ගන්නේ නැහැ.+

ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වෙන නිසා ඔවුන් ලොකු ලැජ්ජාවක් අද්දකිනවා.

ඔවුන් අද්දකින නින්දාව හැමදාටම තියෙයි. ඒක අමතක වෙන්නේ නැහැ.+

12 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා, ඔබ ධර්මිෂ්ඨ කෙනාව සෝදිසි කරලා බලනවා.

ඔබ ඔහුගේ හදවතත් හැම සිතුවිල්ලක්මත්* දකිනවා.+

ඔබ සතුරන්ට දඬුවම් කරන විදිහ දකින්න මට ඉඩ දෙන්න.+

මොකද මම මගේ නඩුව භාර දුන්නේ ඔබටයි.+

13 යෙහෝවාට ගී ගයන්න. යෙහෝවාට ප්‍රශංසා කරන්න.

මොකද ඔහු දුප්පතාව දුෂ්ටයන්ගේ අතින් බේරගත්තා.

14 මම ඉපදුණේ නැත්නම් කොච්චර හොඳද!

මගේ අම්මා මාව බිහි කළේ නැත්නම් කොච්චර හොඳද!+

15 “ඔබට පුතෙක් ලැබුණා” කියන ආරංචිය මගේ තාත්තාට කියලා

ඔහුගේ හිතට ලොකු සතුටක් ගෙනාපු මනුස්සයාට ශාප වේවා!

16 යෙහෝවා අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව විනාශ කරපු නගරවලට වුණ දේම ඒ මනුස්සයාටත් වේවා!

උදෑසන කෑ මොර දෙන හඬත් මහ දවල් යුද හඬත් ඔහුට ඇහෙන්න ලැබේවා!

17 මව්කුසේදීම මාව මරලා දැම්මේ නැත්තේ ඇයි?

එහෙම වුණා නම් මව්කුස මගේ සොහොන වෙනවා.

මගේ අම්මා කවදාවත් මාව බිහි කරන්නේ නැහැ.+

18 මම මව්කුසෙන් බිහි වුණේ මොකටද?

මේ තරම් ප්‍රශ්නවලට මූණ දෙන්නද? දුක් විඳින්නද?

මගේ ජීවිත කාලේ පුරාම නින්දා විඳින්නද?+

21 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක ලැබුණේ ශෙදකියා රජ+ මල්කියාගේ පුතා වුණ පෂ්හූර්වයි,+ මයසේයාගේ පුතා වුණ පූජක ශෙපනියාවයි+ යෙරෙමියා ළඟට එවලා මෙහෙම අහපු වෙලාවේදී. 2 “බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* අපිට විරුද්ධව යුද්ධ කරනවා.+ අනේ අපිට මොනවා වෙයිද කියලා යෙහෝවා දෙවියන්ගෙන් අහන්න. සමහරවිට යෙහෝවා අපි වෙනුවෙන් පුදුම දෙයක් කරයි. එතකොට බැබිලෝනියේ රජ ආපහු හැරිලා යයි.”+

3 යෙරෙමියා ඒ අයට මෙහෙම කිව්වා. “ඔබ ගිහින් ශෙදකියාට මේ දේ කියන්න. 4 ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. “පවුරට පිටින් ඔබව වටලලා ඉන්න බැබිලෝනියේ රජටත් කල්දිවරුන්ටත් විරුද්ධව සටන් කරන්න ඔබ අතට ගත්ත අවිආයුධවලින් මම ඔබටම පහර දෙනවා.+ මම ඒ ආයුධ* මේ නගරය මැද ගොඩගහනවා. 5 මගේ මහත් බලය පාවිච්චි කරලා මම ඔබට විරුද්ධව සටන් කරනවා.+ මම ලොකු කේන්තියකින් මගේ බලවත් හස්තය දික් කරලා, කෝපයෙන් ඔබට විරුද්ධව සටන් කරනවා.+ 6 මේ නගරයේ ඉන්න මිනිස්සුන්ටයි, සතුන්ටයි මම පහර දෙනවා. ඔවුන් දරුණු වසංගතයකින්* මැරෙනවා.”’+

7 “‘යෙහෝවා මෙහෙමත් කියනවා. “ඒකෙන් පස්සේ යූදාවල රජ වන ශෙදකියාවයි, ඔහුගේ සේවකයන්වයි, මේ නගරේ සෙනඟවයි මම බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ* අතටත් සතුරන්ගේ අතටත් ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතටත් හසු කරලා දෙනවා. වසංගතයෙන්, සාගතයෙන් සහ කඩු පහරින් බේරෙන හැමෝවම මම ඔවුන්ගේ අතට භාර දෙනවා.+ ඔහු ඔවුන්ව කඩුවෙන් මරලා දායි. ඔහුට ඔවුන් ගැන කිසි දුකක් දැනෙන්නෙවත්, ඔවුන්ට කිසි දයාවක් පෙන්නන්නෙවත් නැහැ. ඔහු ඔවුන්ට අනුකම්පා කරන්නේ නැහැ.”’+

8 “මේ සෙනඟට ඔබ මේ දේ කියන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔබට ජීවිතය නැත්නම් මරණය තෝරගන්න අවස්ථාව දෙනවා. 9 මේ නගරයටම වෙලා ඉන්න අය කඩු පහරින්, සාගතයෙන් සහ වසංගතයෙන් මැරුම් කනවා. ඒත් කෙනෙක් නගරයෙන් පිට වෙලා ගිහින් නගරේ වටලලා ඉන්න කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතය වස්තුවක් වගේ ආරක්ෂා කරගන්න ඔහුට පුළුවන් වෙයි.”’*+

10 “‘“මොකද මම තීරණය කරලා තියෙන්නේ මේ නගරයට යහපතක් කරන්න නෙමෙයි, ඒක පිටට විපත්ති ගේන්නයි”+ කියලා යෙහෝවා කියනවා. “මේ නගරේ අනිවාර්යයෙන්ම බැබිලෝනියේ රජගේ අතට භාර දෙනවා.+ ඔහු මේ නගරේ ගිනිබත් කරනවා.”+

11 “‘යූදාවල රජගේ මාලිගාවේ ඉන්න හැමෝම යෙහෝවා කියන දේට සවන් දෙන්න. 12 දාවිත්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා කියන්නේ මේකයි.

“හැම දවසකම යුක්තිය ඉටු කරන්න.

වංචා කරන අයගෙන් බැට කන අයව බේරගන්න.+

ඔබ එහෙම කළේ නැත්නම් මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළෙයි.+

ඔබ කරන දුෂ්ට වැඩ නිසා+ ඇවිළෙන ඒ ගින්න නිවලා දාන්න කාටවත් බැහැ.”’

13 ‘නිම්නයේ* ජීවත් වෙන සෙනඟෙනි,

පර්වතය මත තියෙන නගරේ වැසියෙනි, මම ඔබට විරුද්ධව සටන් කරනවා’ කියලා යෙහෝවා කියනවා.

‘ඔබ මෙහෙම කියනවා. “අපිට විරුද්ධව එන්න පුළුවන් කාටද?

අපි ජීවත් වෙන තැන් අල්ලගන්න පුළුවන් කාටද?”

14 ඔබ කරපු ක්‍රියාවලට ලැබෙන්න ඕනෙ දඬුවම මම ඔබට දෙනවා’+ කියලා යෙහෝවා කියනවා.

මම ඔබේ වනළැහැබට ගිනි තියනවා.

ඔබ වටේ තියෙන හැම දෙයක්ම ඒ ගින්නට පිච්චිලා යයි.’”+

22 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “යූදාවල රජගේ මාලිගාවට ගිහින් මේ පණිවිඩය කියන්න. 2 ‘දාවිත්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්න යූදාවල රජ්ජුරුවෙනි, යෙහෝවා කියන මේ දේට ඇහුම්කන් දෙන්න. ඔබත් මේ දොරටුවලින් ඇතුල් වෙන ඔබේ සේවකයනුත් ඔබේ සෙනඟත් මේ දේට සවන් දෙන්න. 3 යෙහෝවා කියන්නේ මේකයි. “යුක්තිය ඉටු කරන්න. හරි දේ කරන්න. වංචා කරන අයගෙන් බැට කන අයව බේරගන්න. කිසිම විදේශිකයෙක්ට හිංසා පීඩා කරන්න එපා. පියා නැති දරුවෙක්ටවත්* වැන්දඹුවකටවත් හිරිහැර කරන්න එපා.+ මේ ස්ථානයේදී අහිංසක අයගේ ලේ හලන්න එපා.+ 4 ඔබ ඒ දේවල් පිළිපදින්න වගබලා ගත්තොත් දාවිත්ගේ සිංහාසනයේ ඉඳගන්න රජවරු+ අශ්ව රථවල සහ අශ්වයන් පිටේ නැඟලා මේ මාලිගාවේ දොරටුවලින් ඇතුල් වෙයි. ඔවුන් එක්ක ඔවුන්ගේ සේවකයනුත් සෙනඟත් ඇතුල් වෙයි.”’+

5 “යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒත් ඔබ ඒ දේවලට කීකරු වුණේ නැත්නම් මේ මාලිගාව පාළුවට ගිය තැනක් වෙනවා කියලා මම මං ගැනම දිවුරලා කියනවා.’+

6 “යූදාවල රජගේ මාලිගාව ගැන යෙහෝවා මෙහෙම කියනවා.

‘ඔබ හරියට ගිලියද්වල තියෙන වනාන්තරය වගෙයි.

ලෙබනොන්වල කඳු මුදුනක් වගෙයි.

ඒත් මම ඔබව පාළුකරයක් කරනවා.

ඔබේ එක නගරයකවත් කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+

 7 මම විනාශ කරන්නන්ව පත් කරනවා.

ඔවුන් තමන්ගේ අවි අරගෙන ඔබට විරුද්ධව එයි.+

ඔවුන් ඔබේ හොඳම දේවදාර ගස් කපලා

ඒවා ගින්නට දායි.+

8 බොහෝ ජාතීන්ට අයිති සෙනඟ මේ නගරය පහු කරගෙන යද්දී එකිනෙකාගෙන් මෙහෙම අහයි. “මේ ශ්‍රේෂ්ඨ නගරයට යෙහෝවා දෙවියන් මෙහෙම කළේ ඇයි?”+ 9 එතකොට මිනිස්සු මෙහෙම උත්තර දෙයි. “එහෙම වුණේ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔවුන් කඩ කරපු නිසයි. ඔවුන් වෙනත් දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා ඒ දෙවිවරුන්ට නමස්කාර කරපු නිසයි.”’+

10 මිය ගිය රජ ගැන අඬා වැලපෙන්න එපා.

ඔහු ගැන ශෝක වෙන්න එපා.

ඒ වෙනුවට වහලෙක් විදිහට යන කෙනා ගැන අඬා වැලපෙන්න.

මොකද ඔහුට ආයේ ඔහුගේ උපන් දේශය දකින්න ලැබෙන්නේ නැහැ.

11 මේ දේශයෙන් අරන් ගිය යූදාවල රජ වුණ ෂල්ලුම්*+ ගැන ඒ කියන්නේ යොෂියාගෙන්+ පස්සේ රජකමට පත් වුණ ඔහුගේ පුතා ගැන යෙහෝවා කියන්නේ මේකයි. ‘ඔහු ආයේ මෙහෙට එන්නේ නැහැ. 12 මොකද වහලෙක් විදිහට ඔහුව අරන් ගිය දේශයේම ඔහු මැරෙනවා. ඔහු මේ දේශය ආයේ දකින්නේ නැහැ.’+

13 වංක විදිහට වැඩ කරලා තමන්ට මාලිගාවක් ගොඩනඟාගන්න කෙනා,

අසාධාරණකම් කරලා ඒකේ උඩුමහල් කාමර හදාගන්න කෙනා මොන තරම් දරුණු විපතක් අද්දකියිද!

ඔහු සේවකයන්ගෙන් නිකම් වැඩ ගන්නවා.

ඔවුන්ට දෙන්න ඕනෙ කුලිය ඔහු ගෙවන්නේ නැහැ.+

14 ඔහු මෙහෙම කියනවා. ‘මම විශාල උඩුමහල් කාමර තියෙන මන්දිරයක් හදාගන්නවා.

මම ඒකට ජනෙල් සවි කරනවා.

ඒකේ බිත්තිවලට දේවදාර ලී අල්ලලා

ඒවාට රතු සායම් ගානවා.’

15 කාටවත් දෙවෙනි නොවන විදිහට දේවදාර ලී පාවිච්චි කරලා මාලිගාව හදාගත්ත නිසා ඔබ දිගටම රජකම් කරයි කියලා හිතනවාද?

ඔබේ පියාටත් ඇති තරම් කෑම බීම තිබුණා.

ඒත් ඔහු නම් සාධාරණ විදිහට වැඩ කළා. හරි දේ කළා.+

ඔහු සාර්ථක වුණේ ඒ නිසයි.

16 අසරණ, දුප්පත් අය වෙනුවෙන් ඔහු යුක්තිය ඉටු කළා.

ඒ නිසා හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා.

‘මාව හොඳින් අඳුරගත්ත කෙනෙක් වැඩ කරන්න ඕනෙ එහෙම නෙමෙයිද’ කියලා යෙහෝවා අහනවා.

17 ‘ඒත් ඔබ හැම වෙලාවෙම බලන්නේ වංක විදිහට වාසි ප්‍රයෝජන ලබාගන්න. ඔබ හිතන්නෙම ඒ ගැනයි.

ඔබ බලන්නේ අහිංසකයන්ගේ ලේ හලන්නයි.

වංචාවෙන් සහ බලහත්කාරයෙන් දේවල් ලබාගන්නයි.’

18 “ඒ නිසා යොෂියාගේ පුත්, යූදාවල රජ වුණ යෙහෝයාකිම්+ ගැන යෙහෝවා කියන්නේ මේකයි.

‘ඔහු මැරුණාම කිසිම කෙනෙක්

“අනේ මගේ සහෝදරයා! අනේ මගේ සහෝදරී,

බලන්නකෝ වෙච්ච දේ” කියලා අඬා වැලපෙන්නේ නැහැ.

“අනේ අපේ ස්වාමියා! අනේ අපේ රජතුමා” කියලා කිසිම කෙනෙක් අඬන්නේ නැහැ.

19 ඔහු මැරුණාම කරන්නෙත් බූරුවෙක් මැරුණාම කරන දේමයි.+

ඔහුගේ මළ කඳ ඇදගෙන ගිහින්

යෙරුසලමේ දොරටුවලින් එළියට වීසි කරලා දානවා.’+

20 ලෙබනොන්වලට ගිහින් අඬා වැලපෙන්න.

බාෂාන්වල ඉඳන් කෑගහන්න.

අබරිම්වල+ ඉඳන් කෑ මොර ගහන්න.

මොකද දැන් ඔබේ පෙම්වතුන් හැමෝවම පොඩි කරලා දාලා.+

21 ඔබ බයක් සැකක් නැතුව ජීවත් වුණ කාලේදී මම ඔබට කතා කළා.

ඒත් ඔබ කිව්වා ‘මං කීකරු වෙන්නේ නැහැ’ කියලා.+

තරුණ කාලේ ඉඳන්ම ඔබ ජීවත් වුණේ එහෙමයි.

මොකද ඔබ මගේ හඬට සවන් දුන්නේ නැහැ.+

22 ඔබේ එඬේරුන් හුළඟකට ගහගෙන යනවා.+

ඔබේ පෙම්වතුන්ව වහල්කමට ගෙනියනවා.

ඔබ අද්දකින විපත් නිසා ඔබ ලැජ්ජාවටත් නින්දාවටත් පත් වෙනවා.

23 ලෙබනොන්වල ජීවත් වෙන ඔබට,+

දේවදාර ගස් අතරේ තමන්ගේ කැදැල්ල හදාගන්න ඔබට,+

දරුවෙක් බිහි කරද්දී දැනෙන වේදනාවට සමාන වේදනාවක් දැනෙයි.+

එතකොට ඔබ අඬන්නේ කොහොමද?”

24 “යෙහෝවා මෙහෙම කියනවා. ‘යෙහෝයාකිම්ගේ+ පුත්, යූදාවල රජ වුණ කොනියා*+ මගේ දකුණතේ පැලඳගෙන ඉන්න වටින මුද්දක්* වගේ වුණත් මම ඔහුව අයින් කරලා දානවා කියලා ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා කියනවා. 25 ඔහුව මරලා දාන්න හොයන අයගේ අතටත් ඔහු බයෙන් ඉන්න අයගේ අතටත් බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ* අතටත් කල්දිවරුන්ගේ අතටත් මම ඔහුව හසු කරලා දෙනවා.+ 26 මම ඔහුවත් ඔහුගේ අම්මාවත් මව්බිමෙන් වෙනත් දේශයකට පන්නලා දානවා. එහෙදී ඔහු මැරෙනවා. 27 ආපහු එන්න ආසාවෙන් බලාගෙන ඉන්න දේශයට ඔවුන්ට ආයේ කවදාවත් එන්න ලැබෙන්නේ නැහැ.+

28 කොනියා කියන තැනැත්තා වැඩකට නැති මැටි බඳුනක්ද?

කාටවත් ඕනෙ නැති බිඳුණු මැටි බඳුනක්ද?

ඔහුවත් ඔහුගෙන් පැවතෙන්නන්වත් පහතට ඇදලා දැම්මේ ඇයි?

ඔවුන් නොදන්න දේශයකට ඔවුන්ව වීසි කළේ ඇයි?’+

29 පොළොවේ* ජීවත් වෙන සියල්ලෙනි, යෙහෝවාට හොඳින් ඇහුම්කන් දෙන්න.

30 යෙහෝවා මෙහෙම කියනවා.

‘මේ මිනිසා දරුවන් නැති කෙනෙක් කියලත්

ජීවිත කාලේ පුරාම කිසිම සාර්ථකත්වයක් අද්දකින්නේ නැති කෙනෙක් කියලත් ලියාගන්න.

මොකද ඔහුගෙන් පැවතෙන කිසිම කෙනෙක්ට දාවිත්ගේ සිංහාසනයේ ඉඳගන්න ලැබෙන්නේ නැහැ.

ඔවුන්ට ආයේ යූදා දේශය පාලනය කරන්න ලැබෙන්නේ නැහැ.’”+

23 “මගේ තණබිමේ ඉන්න බැටළුවන්ව විනාශ කරන, උන්ව විසුරුවාහරින එඬේරු කොච්චර දරුණු විපතක් අද්දකියිද” කියලා යෙහෝවා කියනවා.+

2 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා තමන්ගේ සෙනඟව රැකබලා ගන්න පත් කරපු එඬේරුන්ට විරුද්ධව කියන්නේ මේකයි. “ඔබ මගේ බැටළුවන්ව විසුරුවාහැරියා. ඔබ ඔවුන්ව බලාගන්නවා වෙනුවට ඔවුන්ව ඒ මේ අත යවනවා.”+

“ඔබේ ඒ දුෂ්ට වැඩ නිසා මමත් ඔබ ගැන බලන්නේ නැහැ” කියලා යෙහෝවා කියනවා.

3 “විවිධ දේශවලට විසුරුවාහැරිය මගේ බැටළුවන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයව මම එකට එකතු කරනවා.+ මම ඔවුන්ව ආපහු ඔවුන්ගේ තණබිමට අරගෙන එනවා.+ ඔවුන් දරුවන් බිහි කරලා ගණනින් ගොඩක් වැඩි වෙයි.+ 4 මම ඔවුන්ව හොඳින් රැකබලා ගන්න එඬේරුන්ව පත් කරනවා.+ ඔවුන් ආයේ කලබල වෙන්නෙවත් බය වෙන්නෙවත් නැහැ. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් නැති වෙන්නේ නැහැ” කියලා යෙහෝවා කියනවා.

5 “බලන්න! මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ කෙනෙක්ව* නැඟිට්ටවන කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “ඔහු අනිවාර්යයෙන්ම රජකම් කරනවා.+ ඔහු අවබෝධයෙන් වැඩ කරන, දේශය පුරා යුක්තිය ඉටු කරන, ධර්මිෂ්ඨකමින් පාලනය කරන රජ කෙනෙක්.+ 6 ඔහු රජකම් කරන කාලේදී යූදාව බේරගන්නවා.+ ඊශ්‍රායෙල් සුරක්ෂිතව ජීවත් වෙනවා.+ ‘අපි ධර්මිෂ්ඨව ඉන්නේ යෙහෝවා නිසයි’ කියන නමින් ඔහුව හඳුන්වනවා.”+

7 යෙහෝවා මෙහෙම කියනවා. “‘ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනාපු යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා ඔවුන් තවත් දිවුරන්නේ නැති කාලයක් එනවා.+ 8 ඒ වෙනුවට ඔවුන් මෙහෙම දිවුරයි. ‘ඊශ්‍රායෙල් සෙනඟගෙන් පැවතෙන අයව උතුරු දේශයෙනුත් ඔවුන්ව විසුරුවාහැරිය අනිත් දේශවලිනුත් ආපහු ගෙනාව යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි.’ මොකද ඔවුන් තමන්ගෙම දේශයේ ජීවත් වෙයි.”+

9 මේ පණිවිඩය අනාගතවක්තෘවරුන්ටයි.

මගේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා.

මගේ ඇටකටු ගැහෙනවා.

යෙහෝවා නිසාත් ඔහුගේ ශුද්ධ වදන් නිසාත්

මම ඉන්නේ මත් වෙලා.

හරියට වයින් බීලා මත් වුණ කෙනෙක් වගෙයි.

10 අනාචාරයේ යෙදෙන අයගෙන්* දේශය පිරිලා.+

දේශයට ශාප කරලා තියෙන නිසා දේශය වැලපෙනවා.+

පාළුකරයේ තණබිම් වේළිලා ගිහින්.+

ඔවුන් වැඩ කරන්නේ දුෂ්ට විදිහටයි. තමන්ගේ බලය ඔවුන් අයුතු විදිහට පාවිච්චි කරනවා.

11 “අනාගතවක්තෘවරු වගේම පූජකයොත් හරිම දූෂිතයි.*+

මගේ ගෘහය ඇතුළෙත් ඔවුන් දුෂ්ට දේවල් කරනවා”+ කියලා යෙහෝවා කියනවා.

12 “ඒ නිසා ඔවුන්ගේ මාර්ගය ලිස්සනසුලු, අඳුරු මාර්ගයක් වෙනවා.+

ඔවුන්ව තල්ලු කරලා දානවා. ඔවුන් වැටිලා යනවා.

විනිශ්චය ලැබෙන අවුරුද්දේදී

මම ඔවුන් පිටට විපත්ති ගේනවා” කියලා යෙහෝවා කියනවා.

13 “සමාරියේ අනාගතවක්තෘවරු+ කරන පහත් දේවල් මම දැක්කා.

ඔවුන් බාල්ගේ නමින් අනාවැකි කියනවා.

ඔවුන් මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නොමඟ යවනවා.

14 යෙරුසලමේ අනාගතවක්තෘවරු කරන පිළිකුල්සහගත දේවල් මම දැක්කා.

ඔවුන් අනාචාරයේ යෙදෙනවා.+ ඔවුන්ගේ මුළු ජීවිතේම බොරුවක්.+

ඔවුන් දුෂ්ටයන්ට අනුබල දෙනවා.

ඒ නිසා කිසිම කෙනෙක් ඔවුන්ගේ දුෂ්ට මාර්ග අතහරින්නේ නැහැ.

මට ඔවුන් හැමෝවම පේන්නේ සොදොම්වල මිනිස්සු වගෙයි.+

නගරයේ ඉන්න සෙනඟ ගොමෝරාවේ වැසියන් වගෙයි.”+

15 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා අනාගතවක්තෘවරුන්ට විරුද්ධව මෙහෙම කියනවා.

“මම ඔවුන්ට තිත්ත පැල කන්න දෙනවා.

විෂ වතුර බොන්න දෙනවා.+

මොකද යෙරුසලමේ අනාගතවක්තෘවරු නිසා දේශය පුරාම ඉන්න අය දෙවියන්ට විරුද්ධව කැරලිගහනවා.”

16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි.

“ඔබට අනාවැකි කියන අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා.+

ඔවුන් ඔබව මුළා කරනවා.*

දර්ශන දැක්කා කියලා කිව්වත් ඔවුන් කියන්නේ හිතින් මවාගත්ත දේවල්+ මිසක්

යෙහෝවාගෙන් ලැබුණ දේවල් නෙමෙයි.+

17 මට අගෞරව කරන අයට ඔවුන් ආයේ ආයේ කියන්නේ

‘“ඔබට සාමයෙන්, සතුටින් ඉන්න පුළුවන්” කියලා යෙහෝවා කියනවා’ කියලයි.+

තමන්ගේ මුරණ්ඩු හිත කියන විදිහට වැඩ කරන හැමෝටම ඔවුන් කියන්නේ

‘ඔබට කරදරයක් වෙන්නේ නැහැ’ කියලයි.+

18 යෙහෝවාගේ වචනය අහන්නත් ඒක දකින්නත් පුළුවන් වුණේ කාටද?

ඒක අහන්නත් දකින්නත් ඔහුට කිට්ටුවෙන් ඉන්න අය අතරේ හිටියේ කවුද?

ඔහුගේ වචනය හිතට ගත්තෙත් ඒකට ඇහුම්කන් දුන්නෙත් කවුද?

19 බලන්න! යෙහෝවාගේ කේන්තිය සුළි කුණාටුවක් වගේ හමාගෙන එනවා.

ඒක සුළිසුළඟක් වගේ ඇවිත් දුෂ්ටයාගේ ඔළුවට කඩන් වැටෙනවා.+

20 යෙහෝවා කරන්න හිතපු දේ කරලා ඉවර වෙන කල්

ඔහුගේ කේන්තිය නිවිලා යන්නේ නැහැ.

අවසාන කාලේදී ඔබ ඒ ගැන හොඳින්ම තේරුම්ගනියි.

21 මම අනාගතවක්තෘවරුන්ව එව්වේ නැහැ. ඒත් ඔවුන් ගියා.

මම ඔවුන්ට කිසිම දෙයක් දැනුම් දුන්නේ නැහැ. ඒත් ඔවුන් අනාවැකි කිව්වා.+

22 මට කිට්ටුවෙන් ඉන්න අය අතරේ ඔවුන් හිටියා නම්

ඔවුන් මගේ සෙනඟට මගේ වචන කියයි.

සෙනඟ ගිය වැරදි මාර්ගයෙන් සහ දුෂ්ට වැඩවලින් ඉවත් වෙන්න උදව් කරයි.”+

23 “මාව දෙවියන් විදිහට සලකන්නේ මං ඔබ ළඟින් ඉද්දී විතරද? ඈතින් ඉද්දීත් මං දෙවියන් නෙමෙයිද” කියලා යෙහෝවා අහනවා.

24 “කිසිම මනුස්සයෙක්ට මගෙන් හැංගෙන්න පුළුවන්ද”+ කියලා යෙහෝවා අහනවා.

“ස්වර්ගයෙත් පොළොවෙත් තියෙන හැම දෙයක්ම මට පේන්නේ නැද්ද”+ කියලා යෙහෝවා අහනවා.

25 “අනාගතවක්තෘවරු ‘මම සිහිනයක් දැක්කා! මම සිහිනයක් දැක්කා’ කියලා මගේ නමින් කියන බොරු අනාවැකි මට ඇහුණා.+ 26 අනාගතවක්තෘවරු තව කොච්චර කාලයක් මේ විදිහට බොරු අනාවැකි කියන්න හිතාගෙන ඉන්නවාද? ඔවුන් අනාවැකි කියන්නේ ඔවුන්ගේ හිතේ තියෙන වංචනික අදහස්වලට අනුවයි.+ 27 මේ අනාගතවක්තෘවරුන් හදන්නේ ඔවුන් දැක්කයි කියලා කියන සිහින ගැන එකිනෙකාට කියලා මගේ නම මගේ සෙනඟට අමතක කරවන්න. හරියට ඔවුන්ගේ පියවරුන් බාල්ට නමස්කාර කරලා මගේ නම අමතක කළා වගේ.+ 28 සිහිනයක් දැක්ක අනාගතවක්තෘවරයාට පුළුවන් ඒ ගැන කියන්න. ඒත් මගේ පණිවිඩය ලැබුණ කෙනා ඒ ගැන අවංකව කියන්න ඕනේ.”

“ධාන්‍ය එක්ක බලද්දී පිදුරුවල වටිනාකමක් තියෙනවාද” කියලා යෙහෝවා අහනවා.

29 “මගේ වචනය ගින්නක් වගේ නෙමෙයිද”+ කියලා යෙහෝවා අහනවා. “ඒවා පර්වතයක් කුඩු කරන කුළු ගෙඩියක්* වගේ නෙමෙයිද?”+

30 යෙහෝවා මෙහෙම කියනවා. “අනිත් අනාගතවක්තෘවරුන්ගෙන් මගේ වචන හොරකම් කරලා ඒවා විකෘති කරලා කියන අනාගතවක්තෘවරුන්ට මම දඬුවම් කරනවා.”+

31 “‘දෙවියන් මෙහෙම කියනවා’ කියකිය තමන්ගේ අදහස් කියන අනාගතවක්තෘවරුන්ට මම දඬුවම් කරනවා” කියලා යෙහෝවා කියනවා.+

32 “බොරු සිහින කියන අනාගතවක්තෘවරුන්ට මම දඬුවම් කරනවා” කියලා යෙහෝවා කියනවා. “මොකද ඔවුන් තමන්ගේ බොරුවලින් සහ මහ ලොකුවට කියන කතාවලින් මගේ සෙනඟව නොමඟ යවනවා.”+

“මම ඔවුන්ව එව්වෙවත් අනාවැකි කියන්න කියලා අණ කළේවත් නැහැ. ඒ නිසා ඔවුන් කියන දේවලින් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා.

33 “‘යෙහෝවාගේ පණිවිඩය අපිට ලොකු බරක්’ කියලා මේ සෙනඟ හරි අනාගතවක්තෘවරයෙක් හරි පූජකයෙක් හරි ඔබට කිව්වොත් ඔවුන්ට මෙහෙම කියන්න. ‘“ලොකු බරක් වෙලා තියෙන්නේ ඔබයි! ඉතින් මම ඔබව අයින් කරලා දානවා”+ කියලා යෙහෝවා කියනවා.’ 34 අනාගතවක්තෘවරයෙක් හරි පූජකයෙක් හරි සෙනඟගෙන් කෙනෙක් හරි ‘යෙහෝවාගේ පණිවිඩය ලොකු බරක්’ කියලා කිව්වොත් මම ඒ කෙනාටත් ඔහුගේ පවුලේ අයටත් දඬුවම් කරනවා. 35 ඒ හැම කෙනෙක්ම තමන්ගේ අසල්වැසියාටයි, සහෝදරයාටයි මෙහෙම කියකිය ඉන්නවා. ‘යෙහෝවා දුන්න උත්තරේ මොකක්ද? යෙහෝවා කියලා තියෙන්නේ මොකක්ද?’ 36 ඒත් යෙහෝවාගේ පණිවිඩය ලොකු බරක් කියලා ආයේ කියන්න එපා. ජීවමාන අපේ දෙවියන්ගේ, ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ පණිවිඩය ඔබ වෙනස් කරලා ඔබේම අදහස් කියන නිසයි ඒක ඔබට ලොකු බරක් වෙලා තියෙන්නේ.

37 “ඔබ අනාගතවක්තෘගෙන් මෙහෙම අහන්න. ‘යෙහෝවා දුන්න උත්තරේ මොකක්ද? යෙහෝවා කියලා තියෙන්නේ මොකක්ද? 38 “යෙහෝවාගේ පණිවිඩය ලොකු බරක්” කියලා ඔබ දිගින් දිගටම කියනවා නම් යෙහෝවා මෙහෙම කියනවා. “‘යෙහෝවාගේ පණිවිඩය ලොකු බරක්’ කියලා කියන්න එපා කියලා මම කිව්වාට පස්සෙත් ඔබ ‘යෙහෝවාගේ පණිවිඩය ලොකු බරක්’ කියලා කියන නිසා 39 මම ඔබව අරගෙන මගේ ඉස්සරහින් අහකට වීසි කරනවා. මම ඔබව විතරක් නෙමෙයි ඔබටයි, ඔබේ මුතුන්මිත්තන්ටයි දුන්න නගරයත් අතහැරලා දානවා. 40 මම සදහටම ඔබව නින්දාවට පත් කරනවා. ඔබ අද්දකින ලැජ්ජාව කවදාවත් අමතක වෙන්නේ නැහැ.”’”+

24 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්,* යෙහෝයාකිම්ගේ+ පුතා වුණ යූදාවල රජකම් කරපු යෙකොනියාවත්*+ යූදාවල අධිපතීන්වත් විවිධ කර්මාන්ත කරපු අයවත් ලෝහවලින් වැඩ කරපු අයවත්* යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරගෙන ගියාට පස්සේ+ යෙහෝවා දෙවියන් මට දර්ශනයක් පෙන්නුවා. යෙහෝවා දෙවියන්ගේ මාලිගාව ඉස්සරහා අත්තික්කාවලින් පිරුණු කූඩ දෙකක් තියෙනවා මං දැක්කා. 2 එක කූඩයක හොඳ අත්තික්කා තිබුණා. ඒවා හරියට මුල් වාරයේ හැදෙන අත්තික්කා වගේ. අනිත් කූඩයේ කන්න බැරි තරමටම කුණු වුණ අත්තික්කා තිබුණා.

3 ඊටපස්සේ යෙහෝවා මගෙන් මෙහෙම ඇහුවා. “යෙරෙමියා, ඔයාට මොනවාද පේන්නේ?” ඉතින් මම මෙහෙම කිව්වා. “මට අත්තික්කා ගෙඩි පේනවා. හොඳ ගෙඩි නම් හොඳටම හොඳයි. ඒත් නරක් වුණ ඒවා කන්න බැරි තරමටම කුණු වෙලා.”+

4 යෙහෝවා මට මෙහෙම කිව්වා. 5 “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම යූදා දේශයෙන් කල්දිවරුන්ගේ දේශයට වහලුන් විදිහට යවපු අයව සලකන්නේ මේ හොඳ අත්තික්කා ගෙඩි වගෙයි. 6 මම ඔවුන්ව හොඳින් රැකබලා ගෙන ආපහු මේ දේශයට ගේනවා.+ ඔවුන්ව ගොඩනඟනවා, විනාශ කරලා දාන්නේ නැහැ. මම ඔවුන්ව හිටවනවා, උදුරලා දාන්නේ නැහැ.+ 7 මාව හොඳින් දැන හඳුන ගන්න කැමති හදවතක් මම ඔවුන්ට දෙනවා. මම යෙහෝවා කියලා දැනගන්න ඔවුන්ට පුළුවන් වෙයි.+ ඔවුන් මුළු හදවතින්ම මං ළඟට හැරිලා එන නිසා+ මං ඔවුන්ව මගේ සෙනඟ විදිහට පිළිගන්නවා. මම ඔවුන්ගේ දෙවියන් වෙනවා.+

8 “‘කන්න බැරි තරමටම කුණු වෙලා තියෙන අත්තික්කා ගෙඩි+ ගැන යෙහෝවා මෙහෙම කියනවා. “යූදාවල රජ වුණ ශෙදකියාවත්+ එයාගේ අධිපතීන්වත් යෙරුසලමේ වැසියන්ගෙන් මේ දේශයේ සහ ඊජිප්තු දේශයේ ඉතුරු වෙලා ඉන්න අයවත්+ මං සලකන්නේ ඒ අත්තික්කා ගෙඩි වගෙයි. 9 මම ඔවුන් පිටට ගේන විපත්තිය දැකලා පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+ මිනිස්සු ඔවුන්ට අපහාස කරයි. විපත්ති ගැන කතා කරද්දී ඔවුන්ට වුණ දේ ගැන කතා කරයි. මම ඔවුන්ව විසුරුවාහැරිය දේශවල ඉන්න මිනිස්සු+ ඔවුන්ට සමච්චල් කරයි, ශාප කරයි.+ 10 ඔවුන්ටත් ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් දුන්න දේශයෙන් ඔවුන් නැත්තටම නැති වෙලා යන කල් මම ඔවුන්ට කඩුවෙනුයි,+ සාගතයෙනුයි, වසංගතයෙනුයි*+ පහර දෙනවා.”’”

25 යොෂියාගේ පුත්, යූදාවල රජ වුණ යෙහෝයාකිම්+ පාලනය කරපු හතරවෙනි අවුරුද්දේදී යූදාවල සෙනඟ ගැන යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* පාලනය කරපු පළවෙනි අවුරුද්දයි. 2 අනාගතවක්තෘ යෙරෙමියා යූදාවල සෙනඟ සහ යෙරුසලමේ ඉන්න හැමෝම ගැන* කිව්ව පණිවිඩය මේකයි.

3 “ආමොන්ගේ පුත්, යූදාවල රජ වුණ යොෂියා රජකම් කරපු 13වෙනි අවුරුද්දේ+ ඉඳන් අද වෙන කල් ඒ කියන්නේ මේ අවුරුදු 23 පුරාම යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩ මට ලැබුණා. මම ආයේ ආයේ* ඒ පණිවිඩ ඔබට කිව්වත් ඔබ ඇහුම්කන් දුන්නේ නැහැ.+ 4 යෙහෝවා ඔහුගේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන්ව ඔබ ළඟට ආයේ ආයේ* එව්වත් ඔබ ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන් කියපු දේවල් ඔබ කනකටවත් ගත්තේ නැහැ.+ 5 ඒ අනාගතවක්තෘවරු මෙහෙම කිව්වා. ‘ඔබ කරන දුෂ්ට වැඩ අතහරින්න. ඔබ යන වැරදි මාර්ගවලින් හැරිලා ආපහු එන්න.+ එහෙම කළොත් යෙහෝවා අතීතයේදී ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් දුන්න දේශයේ තව දිගු කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන් වෙයි. 6 වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඔවුන් ඉස්සරහා වැඳ වැටිලා ඔවුන්ට සේවය කරන්න එපා. රූප හදාගෙන ඔහුව කේන්ති ගස්සන්න එපා. එහෙම කළොත් ඔහු ඔබ පිටට විපත්ති ගෙනෙයි.’

7 “‘ඒත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘ඔබ රූප හදාගෙන මාව කේන්ති ගැස්සුවා. ඒ නිසා මම ඔබ පිටට විපත්ති ගේනවා.’+

8 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘“ඔබ මට අකීකරු වුණ නිසා 9 මම උතුරේ ඉන්න හැම ගෝත්‍රයකටම එන්න කියනවා”+ කියලා යෙහෝවා කියනවා. “මගේ සේවකයා වන බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට* මම එන්න කියනවා.+ මම ඒ අයව මේ දේශයටත්+ මෙහේ ජීවත් වෙන අයටත් අවට ජාතීන්ටත් විරුද්ධව එවනවා.+ මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඔවුන්ට වෙන දේ දැකලා හැමෝම බය වෙනවා. ඔවුන් හැමෝගෙම අපහාසයට ලක් වෙනවා.* ඒක නටබුන් ගොඩක් වෙනවා. 10 සතුටින් කෑගහන හඬත් ප්‍රීති ඝෝෂා නඟන හඬත්+ මනාලයාගේ සහ මනාලියගේ හඬත්+ ඔවුන් අතරින් ආයේ ඇහෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඇඹරුම් ගලේ හඬත් පහනේ ආලෝකයත් මම ඔවුන් අතරින් නැති කරලා දානවා. 11 මේ මුළු දේශයම නටබුන් ගොඩක් වෙනවා. ඒක දකින හැමෝම බය වෙයි. මේ ජාතීන්ට අවුරුදු 70ක් බැබිලෝනියේ රජට සේවය කරන්න සිද්ධ වෙනවා.”’+

12 “‘ඒත් අවුරුදු 70 සම්පූර්ණ වුණාම+ මම බැබිලෝනියේ රජටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කරපු වරදට දඬුවම් කරනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘මම කල්දිවරුන්ගේ දේශය හැමදාටම පාළුවට ගිය තැනක් කරනවා.+ 13 මම ඒ දේශයට විරුද්ධව කියපු හැම දෙයක්ම ඒ විදිහටම ඉටු කරනවා. ඒ කියන්නේ යෙරෙමියා හැම ජාතියකටම විරුද්ධව අනාවැකි විදිහට කියපු, මේ ලියවිල්ලේ සඳහන් හැම දෙයක්ම මම ඒ විදිහටම ඉටු කරනවා. 14 හුඟක් ජාතීන් සහ බලවත් රජවරු+ ඔවුන්ව වහල්කමට ගන්නවා.+ ඔවුන්ගේ වැඩවලට අනුව, ඔවුන් තමන්ගෙම අතින් කරපු දේවල්වලට අනුව ඔවුන්ට ලැබෙන්න ඕනෙ දඬුවම මම දෙනවා.’”+

15 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මට මෙහෙම කිව්වා. “කේන්තිය කියන මේ වයින් කුසලානය මගේ අතින් අරගෙන මම ඔයාව යවන හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දෙන්න. 16 ඔවුන් ඒකෙන් බීලා වැනිවැනී යයි. පිස්සු හැදුණ කෙනෙක් වගේ හැසිරෙයි. ඔවුන්ට එහෙම වෙන්නේ මම ඔවුන් අතරට යවන කඩුව නිසයි.”+

17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+ 18 මම මුලින්ම යෙරුසලමේ සහ යූදා දේශයේ නගරවල වැසියන්ටයි,+ ඇගේ රජවරුන්ට සහ අධිපතීන්ටයි බොන්න දුන්නා. දෙවියන් ඔවුන්ව විනාශ කරන්න තීරණය කරලා තිබුණ නිසා ඔවුන්ට ඒකෙන් බොන්න සිද්ධ වුණා. ඔවුන්ට වෙන දේ දැකලා මිනිස්සු බය වෙනවා. මිනිස්සු ඔවුන්ට අපහාස කරනවා,* ශාප කරනවා.+ ඇත්තටම මේ වෙද්දී වෙලා තියෙන්නේ ඒ දේම තමයි. 19 ඊළඟට මම ඊජිප්තුවේ රජ වන පාරාවෝටත් ඔහුගේ සේවකයන්ටත් අධිපතීන්ටත් සෙනඟ හැමෝටමත්+ 20 ඔවුන් අතරේ ජීවත් වෙන විදේශිකයන් හැමෝටමත් ඒකෙන් බොන්න දුන්නා. ඌෂ් දේශයේ රජවරු හැමෝටමත් පිලිස්තිවරුන්ගේ දේශයේ ඉන්න රජවරු හැමෝටමත්+ අෂ්කෙලොන්,+ ගාසා සහ එක්‍රොන්වලටත් අෂ්දොද්වල ඉතුරු වෙලා ඉන්න අයටත් 21 ඒදොම්,+ මෝවබ්+ සහ අම්මොන්වරුන්ටත්+ ඒකෙන් බොන්න දුන්නා. 22 තීර්වල රජවරු හැමෝටමත් සීදොන්වල රජවරු හැමෝටමත්+ මුහුද මැද දූපතේ රජවරුන්ටත් 23 දෙදාන්,+ තේමා සහ බූෂ්වලටත් කම්මුල් දෙපැත්තේ තියෙන කෙස් කපාගත්ත හැමෝටමත්+ ඒකෙන් බොන්න දුන්නා. 24 අරාබිවරුන්ගේ රජවරු හැමෝටමත්+ පාළුකරයේ ජීවත් වෙන විවිධ ජාතීන්ගේ රජවරුන්ටත් 25 සිම්රීවල රජවරු හැමෝටමත් ඒලාම්වල රජවරු+ හැමෝටමත් මේදියවරුන්ගේ රජවරු හැමෝටමත්+ 26 දුරින් සහ ළඟින් ඉන්න උතුරේ රජවරු හැමෝටමත් ඒකෙන් බොන්න දුන්නා. එක් කෙනෙක්ගෙන් පස්සේ තවත් කෙනෙක්ට පිළිවෙළට ඒකෙන් බොන්න දුන්නා. පොළොවේ තියෙන අනිත් හැම රාජ්‍යයකටමත් ඒකෙන් බොන්න දුන්නා. අන්තිමට ඒකෙන් බොන්නේ ෂේෂක්වල* රජ.+

27 “ඔයා ඒ අයට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මත් වෙන කල්ම බීලා වමනේ දාන්න. බිම ඇදගෙන වැටෙන්න. ආයෙත් නැඟිටින්න එපා.+ මොකද මම ඔබ අතරට කඩුවක් එවනවා.”’ 28 ඔයාගේ අතේ තියෙන කුසලානයෙන් බොන්න අකමැති වුණොත් ඒ ජාතීන්ට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ මේකෙන් බොන්නම ඕනේ. 29 මම මගේ නම දරන නුවරින්ම විපත්ති ගේන එක පටන්ගන්නවා නම්+ ඔබට මගේ දඬුවමෙන් බේරෙන්න පුළුවන් කියලා හිතනවාද?”’+

“‘පොළොවේ ඉන්න හැමෝටම පහර දෙන්න මම කඩුවක් එවන නිසා ඔබට කොහොමටවත් මගේ දඬුවමෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ’ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.

30 “ඔයා මේ හැම අනාවැකියක්ම ඒ අයට කියන්න.

‘උස් තැනක ඉඳන් යෙහෝවා දෙවියන් සිංහයෙක් වගේ ගර්ජනා කරයි.

ඔහු ශුද්ධ වාසස්ථානයේ ඉඳන් නඟන හඬ හැමෝටම ඇහෙයි.

පොළොවේ තියෙන ඔහුගේ වාසස්ථානයට විරුද්ධව ඔහු හයියෙන් ගර්ජනා කරයි.

මිදි පාගන අය සතුටින් කෑගහනවා වගේ

පොළොවේ ජීවත් වෙන හැමෝවම පරාජය කරලා ඔහු සතුටින් ගී ගයයි.’

31 ‘පොළොවේ ඈත කෙළවර වෙන කල්ම ඝෝෂාවක් පැතිරිලා යයි.

යෙහෝවා ජාතීන්ට විරුද්ධව පැමිණිල්ලක් කරනවා.

ඔහු හැම මනුෂ්‍යයෙක්වම නඩු විභාගයකට කැඳවනවා.+

දුෂ්ටයන්ව කඩුවෙන් විනාශ කරන්න ඔහු තීන්දු කරනවා’ කියලා යෙහෝවා කියනවා.

32 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

‘බලන්න! මහ විපතක් එනවා. එක ජාතියක ඉඳන් තවත් ජාතියකට ඒක පැතිරිලා යනවා.+

මහ කුණාටුවක් මුදාහරිනවා. ඒක පොළොවේ ඈත කෙළවරේ ඉඳන් කඩාගෙන බිඳගෙන එනවා.+

33 “‘ඒ දවසේදී යෙහෝවාගේ අතින් මැරුම් කන අය පොළොවේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කල් වැටිලා ඉඳියි. කවුරුත් ඔවුන් ගැන වැලපෙන්නේ නැහැ. ඔවුන්ගේ මළ මිනී එකතු කරන්නෙවත් ඒවා වළලන්නෙවත් නැහැ. ඒවා ගොම වගේ පොළොවට පස් වෙලා යනවා.’

34 එඬේරුනි, අඬා වැලපෙන්න! හයියෙන් කෑගහන්න!

රැළේ ප්‍රධානියෙනි, බිම පෙරළෙන්න.

මොකද ඔබව මරලා දාන්නත් සීසීකඩ විසුරුවාහරින්නත් කාලේ ඇවිල්ලා.

වටින බඳුනක් බිම වැටිලා බිඳිලා යනවා වගේ ඔබත් බිඳිලා යයි.

35 එඬේරුන්ට පලා යන්න තැනක් නැහැ.

රැළේ ප්‍රධානීන්ට කිසිම ගැලවීමක් නැහැ.

36 අහන්න! ඒ හඬ එඬේරුන් වැලපෙන හඬයි.

රැළේ ප්‍රධානීන් අඬා වැලපෙන හඬයි.

මොකද යෙහෝවා ඔවුන්ගේ තණබිම් විනාශ කරනවා.

37 යෙහෝවාගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළුණ නිසා

නිවිහැනහිල්ලේ ජීවත් වුණ තැන් දැන් පාළුවට ගිහින්.

38 ගුහාවෙන් එළියට එන කේශර සිංහයෙක් වගේ ඔහු පිටතට ආවා.+

කිසිම දයාවක් පෙන්නන්නේ නැතුව කඩුවෙන් පහර දීපු නිසාත්

ඔහුගේ ඇවිළෙන කේන්තිය නිසාත්

ඔවුන්ගේ දේශයට වෙන දේ දකින හැමෝම හොඳටම බය වෙනවා.”

26 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම්+ යූදාවල රජකම් කරපු මුල් කාලේදී යෙහෝවා දෙවියන්ගෙන් මේ පණිවිඩය ලැබුණා. 2 “යෙහෝවා මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවට ගිහින් යූදා දේශයේ නගරවල ඉඳන් එන අයට කතා කරන්න. නමස්කාර කරන්න යෙහෝවා දෙවියන්ගේ ගෘහයට එන ඒ හැමෝටම* මං අණ කරන හැම දෙයක්ම කියන්න. ඒකෙන් එක වචනයක්වත් අඩු කරන්න එපා. 3 සමහරවිට මං කියන දේ අහලා ඔවුන් එක් එක් කෙනා තමන් කරන දුෂ්ට වැඩ නවත්තයි. ඔවුන් ඒවා නැවැත්තුවොත් ඔවුන් කරන දුෂ්ට වැඩ නිසා මං ඔවුන් පිටට විපත්ති ගේන්න ගත්ත තීරණය වෙනස් කරනවා.+ 4 ඔවුන්ට මේ දේ කියන්න. “යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබ මට සවන් දෙන්නේ නැත්නම් ඒ කියන්නේ මං ඔබට දුන්න නීතිය* ඔබ පිළිපදින්නේ නැත්නම් 5 ඔබ ගණන් ගත්තේ නැති වුණත් මං ඔබ ළඟට ආයේ ආයේ* එවන මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් කියන දේ අහන්නේ නැත්නම්+ 6 මං මේ ගෘහයට ෂීලෝවලට+ කරපු දේම කරනවා. මං මේ නගරය විනාශ කරනවා. පොළොවේ ඉන්න හැම ජාතියක්ම තවත් කෙනෙක්ට ශාප කරද්දී මේ නගරයට වුණ දේ කියලා ශාප කරයි.’”’”+

7 යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ඉඳන් යෙරෙමියා කියපු ඒ හැම දෙයක්ම පූජකයනුයි, අනාගතවක්තෘවරුනුයි, සෙනඟයි අහගෙන හිටියා.+ 8 යෙහෝවා සෙනඟට කියන්න කියලා අණ කරපු හැම දෙයක්ම යෙරෙමියා කිව්වාට පස්සේ පූජකයනුයි, අනාගතවක්තෘවරුනුයි, සෙනඟයි එයාව අල්ලගෙන මෙහෙම කිව්වා. “අපි උඹව මරනවා. 9 ‘ෂීලෝවලට වුණ දේම මේ ගෘහයටත් වෙනවා. මේ නගරේ විනාශ වෙනවා. මේකේ කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ’ කියලා උඹ යෙහෝවාගේ නමින් අනාවැකි කියන්නේ ඇයි?” එහෙම කියලා සෙනඟ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හිටපු යෙරෙමියාව වට කරගත්තා.

10 යූදාවල අධිපතීන්ට ඒ වචන ඇහුණාම එයාලා රජමාලිගාවේ ඉඳන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ආවා. එයාලා ඇවිත් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ අලුත් දොරටුව ළඟ* ඉඳගත්තා.+ 11 එතකොට පූජකයනුයි, අනාගතවක්තෘවරුනුයි අධිපතීන්ට සහ සෙනඟට මෙහෙම කිව්වා. “මේ මිනිහාට මරණ දණ්ඩනේ දෙන්න ඕනේ.+ ඔයාලට ඇහුණා නේද මේ නගරෙට විරුද්ධව මෙයා කියපු අනාවැකිය?”+

12 එතකොට යෙරෙමියා එතන හිටපු අධිපතීන්ටත් සෙනඟටත් මෙහෙම කිව්වා. “මේ ගෘහයටයි, මේ නගරෙටයි විරුද්ධව මං ඔයාලට කියපු අනාවැකිය කියන්න කියලා මාව එව්වේ යෙහෝවා.+ 13 ඉතින් දැන් ඔබේ ගතිපැවතුම් සහ ඔබ වැඩ කරන විදිහ වෙනස් කරගන්න. ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට කීකරු වෙන්න. එහෙම කළොත් ඔබ පිටට විපත්ති ගේන්න යෙහෝවා ගත්ත තීරණය ඔහු වෙනස් කරයි.+ 14 දැන් මං ඉන්නේ ඔයාලාගේ අතේ. ඔයාලට හොඳයි කියලා හිතෙන ඕනෙ දෙයක් මට කරන්න. 15 හැබැයි මේකත් මතක තියාගන්න. ඔයාලා මාව මැරුවොත් අහිංසක කෙනෙක්ගේ ලේ හලපු වරදට ඔයාලට වග කියන්න වෙනවා. මේ නගරෙටයි, නගරේ ඉන්න හැමෝටමයි ඒ ලේවලට වග කියන්න වෙනවා. ඇත්තටම මේ හැම දෙයක්ම ඔයාලට කියන්න කියලා මාව එව්වේ යෙහෝවා.”

16 එතකොට අධිපතීනුයි, සෙනඟයි පූජකයන්ට සහ අනාගතවක්තෘවරුන්ට මෙහෙම කිව්වා. “මේ මනුස්සයා මරණ දණ්ඩනය ලබන්න තරම් වරදක් කරලා නැහැ. මෙයා අපිට කතා කළේ අපේ දෙවි වන යෙහෝවාගේ නමින්.”

17 ඊටපස්සේ දේශයේ හිටපු වැඩිමහල්ලන්ගෙන් සමහරදෙනෙක් නැඟිටලා රැස් වෙලා හිටපු සෙනඟට මෙහෙම කිව්වා. 18 “යූදාවල රජ වුණ හෙසකියාගේ+ කාලේදී මොරෂෙත්වල කෙනෙක් වුණ මීකා+ යූදාවල සෙනඟට මේ වගේ අනාවැකියක් කිව්වා. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

“කෙතක් හානවා වගේ සියොන්ව හානවා.

යෙරුසලම නටබුන් ගොඩක් වෙනවා.+

දේවමාලිගාව තියෙන කන්ද කැලෑවක් මැද තියෙන උස්බිමක් වගේ වෙනවා.”’+

19 “යූදාවල රජ වුණ හෙසකියා හරි යූදා සෙනඟ හරි මීකාව මරලා දැම්මාද? ඒ වෙනුවට රජතුමා යෙහෝවාට ගරුබිය පෙන්නුවේ නැද්ද? දයාව පෙන්නන්න කියලා යෙහෝවාට කන්නලව් කළේ නැද්ද? ඒ නිසා සෙනඟ පිටට ගේනවා කියලා කියපු විපත්තිය ගේන්නේ නැතුව ඉන්න යෙහෝවා තීරණය කළා.+ ඒත් අපි දැන් හදන්නේ අපි පිටටම ලොකු විපතක් ගෙන්නගන්නයි.

20 “යෙහෝවාගේ නමින් අනාවැකි කියපු තවත් කෙනෙක් තමයි කිර්යත්යෙයාරීම්වල+ හිටපු ෂෙමායාගේ පුතා වුණ උරියාහ්. එයාත් යෙරෙමියා වගේ මේ නගරෙටයි, මේ දේශයටයි විරුද්ධව අනාවැකි කිව්වා. 21 යෙහෝයාකිම් රජටයි,+ යුද්දෙට දක්ෂ පුරුෂයන්ටයි, අධිපතීන්ටයි එයා කියපු දේවල් අහන්න ලැබුණාම රජ එයාව මරන්න හෙව්වා.+ උරියාහ් ඒ ගැන දැනගත්ත ගමන්ම හොඳටම බය වෙලා ඊජිප්තුවට පැනලා ගියා. 22 ඉතින් යෙහෝයාකිම් රජ අක්බොර්ගේ පුතා වුණ එල්නාතාන්ව+ තවත් කීපදෙනෙක් එක්ක ඊජිප්තුවට යැව්වා. 23 එයාලා ඊජිප්තුවේ හිටපු උරියාහ්ව අල්ලගෙන යෙහෝයාකිම් රජ ළඟට ගෙනාවා. රජ උරියාහ්ට කඩුවෙන් පහර දීලා එයාව මරලා+ එයාගේ මළ කඳ සාමාන්‍ය මිනිස්සුන්ව වළලන තැනට ගිහින් දැම්මා.”

24 ඒත් ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්+ යෙරෙමියාගේ උදව්වට ආපු නිසා යෙරෙමියාව මරන්න හදපු සෙනඟගේ අතට එයාව භාර දුන්නේ නැහැ.+

27 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරන්න පටන්ගත්ත කාලේදී යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් මේ පණිවිඩය ලැබුණා. 2 “යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘ඔයා වියගහකුයි, ඒකට පටියි හදාගෙන ඒක ඔයාගේ කරේ තියාගන්න. 3 යූදාවල රජ වන ශෙදකියාව හම්බ වෙන්න යෙරුසලමට ඇවිත් ඉන්න පණිවිඩකරුවන් අතේ ඒදොම්වල රජටත්+ මෝවබ්වල රජටත්+ අම්මොන්වරුන්ගේ රජටත්+ තීර්වල රජටත්+ සීදොන්වල රජටත්+ ඒ වගේ වියගස් යවන්න. 4 ඔවුන්ගේ ස්වාමිවරුන්ට මේ දේ කියන්න කියලා ඒ පණිවිඩකරුවන්ට කියන්න.

“‘“ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන මේ දේ ඔබේ ස්වාමිවරුන්ට කියන්න. 5 ‘මේ පොළොවත් පොළොවේ ජීවත් වෙන මනුෂ්‍යයන්වත් සතුන්වත් හැදුවේ මමයි. මගේ අත දික් කරලා මගේ මහත් බලයෙන් මම ඒවා හැදුවා. මං කැමති කෙනෙක්ට මම ඒවා භාර දෙනවා.*+ 6 මම මේ හැම දේශයක්ම මගේ සේවකයා සහ බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට+ භාර දුන්නා. මම වනසතුන්ව පවා ඔහුට යටත් කරලා දුන්නා. 7 ඔහුගේ රාජ්‍යය වැටිලා යන කල් හැම ජාතියක්ම ඔහුටයි, ඔහුගේ පුතාටයි, ඔහුගේ මුනුපුරාටයි සේවය කරනවා.+ ඊටපස්සේ ගොඩක් ජාතීන් සහ බලවත් රජවරු ඔහුව වහල්කමට ගනියි.’+

8 “‘“‘ජාතියක් හරි රාජ්‍යයක් හරි බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට සේවය කරන්නවත් ඔහුගේ වියගහට යටත් වෙන්නවත් කැමති නැත්නම් මම කඩුවෙන්,+ සාගතයෙන් සහ වසංගතවලින්* ඒ ජාතියට දඬුවම් කරනවා. බැබිලෝනියේ රජ අතින් ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන කල් මං එහෙම කරනවා’ කියලා යෙහෝවා කියනවා.

9 “‘“‘“බැබිලෝනියේ රජට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ” කියලා කියන ඔබේ අනාගතවක්තෘවරුන්ට, පේන කියන්නන්ට, සිහින දකින්නන්ට, මන්තර ගුරුකම් කරන්නන්ට සහ කට්ටඩියන්ට ඇහුම්කන් දෙන්න එපා. 10 මොකද ඔවුන් කියන්නේ බොරු අනාවැකි. ඔබ ඔවුන්ට ඇහුම්කන් දුන්නොත් ඔබේ දේශයෙන් ඈත තියෙන දේශයකට ඔබට යන්න වෙනවා. මම ඔබව සීසීකඩ විසුරුවාහරිනවා. ඔබ විනාශ වෙලා යනවා.

11 “‘“‘ඒත් ජාතියක් බැබිලෝනියේ රජගේ වියගහට යටත් වෙලා ඔහුට සේවය කළොත් මම ඒ ජාතියට තමන්ගේ දේශයේ දිගටම ඉන්න ඉඩහරිනවා. ඔවුන් වගා කරගෙන ඒ දේශයේ ජීවත් වෙයි’ කියලා යෙහෝවා කියනවා.”’”

12 මම යූදාවල රජ වුණ ශෙදකියාටත්+ මෙහෙම කිව්වා. “බැබිලෝනියේ රජගේ වියගහට යටත් වෙලා ඔහුටයි, ඔහුගේ සෙනඟටයි සේවය කරන්න. එහෙම කළොත් ඔබේ ජීවිතේ බේරගන්න පුළුවන්.+ 13 බැබිලෝනියේ රජට සේවය කරන්නේ නැති ඕනෙම ජාතියකට කඩුවෙන්,+ සාගතයෙන්,+ වසංගතවලින්+ පහර කන්න වෙනවා කියලා යෙහෝවා කිව්වා. ඉතින් ඔබත් ඔබේ සෙනඟත් ඒ විදිහට මැරුම් කන්න හදන්නේ ඇයි? 14 ‘බැබිලෝනියේ රජට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ’ කියලා කියන අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා.+ මොකද ඔවුන් ඔබට කියන්නේ බොරු අනාවැකි.+

15 “‘අනාවැකි කියන්න මම ඔවුන්ව එව්වේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘ඒත් ඔවුන් මගේ නමින් බොරු අනාවැකි කියනවා. ඔබ ඒවාට ඇහුම්කන් දුන්නොත් මම ඔබව සීසීකඩ විසුරුවාහරිනවා. ඔබත් ඔබට අනාවැකි කියන අනාගතවක්තෘවරුනුත් අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා.’”+

16 පූජකයන්ටයි, මුළු සෙනඟටයි මම මෙහෙම කිව්වා. “යෙහෝවා කියන්නේ මේකයි. ‘“යෙහෝවා දෙවියන්ගේ ගෘහයට අයිති භාණ්ඩ ළඟදීම බැබිලෝනියේ ඉඳන් ගේනවා”+ කියලා අනාවැකි කියන ඔබේ අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා. මොකද ඔවුන් කියන්නේ බොරු.+ 17 ඔවුන්ට ඇහුම්කන් දෙන්න එපා. ඒ වෙනුවට බැබිලෝනියේ රජට සේවය කරන්න. එහෙම කළොත් ඔබේ ජීවිත රැකගන්න පුළුවන්.+ මේ නගරය නටබුන් ගොඩක් වෙන්න ඉඩ දෙන්නේ ඇයි? 18 ඔවුන් ඇත්තටම යෙහෝවාගෙන් ලැබුණ වචනය කියන අනාගතවක්තෘවරුන් නම් යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙත් යූදාවල රජමාලිගාවෙත් යෙරුසලමෙත් ඉතුරු වෙලා තියෙන භාණ්ඩ බැබිලෝනියට ගෙනියන්න ඉඩ දෙන්න එපා කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට කන්නලව් කරන්න කියලා ඔවුන්ට කියන්න.’

19 “මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට දේවමාලිගාවේ කුලුනු,+ මුහුද* කියලා හඳුන්වපු විශාල භාජනය,+ කරත්ත+ සහ මේ නගරයේ ඉතුරු වෙලා තියෙන අනිත් භාණ්ඩ ගැන කියන්න දෙයක් තියෙනවා. 20 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්, යෙහෝයාකිම්ගේ පුතා වුණ යූදාවල රජකම් කරපු යෙකොනියාව, යූදාවල සහ යෙරුසලමේ හිටපු වංශවත් අය එක්ක යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට අරන් ගිය වෙලාවේ ඒවා අරන් ගියේ නැහැ.+ 21 යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙත් යූදාවල රජමාලිගාවෙත් යෙරුසලමෙත් ඉතුරු වෙලා තියෙන භාණ්ඩ ගැන ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. 22 ‘“ඒ හැම භාණ්ඩයක්ම බැබිලෝනියට ගෙනියනවා.+ මං ඒවා ආපහු ගේන කල් ඒවා බැබිලෝනියේම තියෙයි.” එහෙම කියන්නේ යෙහෝවායි. “ඊටපස්සේ මම ඒවා ආපහු මෙතනට ගේනවා.”’”+

28 ඒ අවුරුද්දේම ඒ කියන්නේ යූදාවල රජ වන ශෙදකියා+ පාලනය කරපු මුල් කාලේ තවත් දෙයක් වුණා. ඔහු පාලනය කරපු හතරවෙනි අවුරුද්දේ පස්වෙනි මාසේදී අස්සූර්ගේ පුතා සහ ගිබියොන්වල කෙනෙක්+ වුණ අනාගතවක්තෘ හනනියා, යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හිටපු පූජකයන් සහ සෙනඟ ඉස්සරහා මට මෙහෙම කිව්වා. 2 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. ‘බැබිලෝනියේ රජ ඔබ පිට පටවලා තියෙන වියගහ මම කඩලා දානවා.+ 3 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර් යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් බැබිලෝනියට අරගෙන ගිය හැම භාණ්ඩයක්ම අවුරුදු දෙකක් ඇතුළත මම ආපහු මෙහෙට ගේනවා.’”+ 4 “‘යෙහෝයාකිම්ගේ+ පුතා වුණ යූදාවල රජකම් කරපු යෙකොනියාවත්+ යූදා දේශයේ ඉඳන් බැබිලෝනියට අරන් ගිය හැමෝවමත් මම ආපහු මෙහෙට ගේනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘මොකද බැබිලෝනියේ රජ ඔබ පිට පටවලා තියෙන වියගහ මම කඩලා දානවා.’”

5 එතකොට අනාගතවක්තෘ යෙරෙමියා, යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හිටගෙන හිටපු පූජකයන් සහ සෙනඟ ඉස්සරහා අනාගතවක්තෘ හනනියාට කතා කළා. 6 අනාගතවක්තෘ යෙරෙමියා මෙහෙම කිව්වා. “ආමෙන්!* යෙහෝවා එහෙම කළොත් කොච්චර හොඳද! බැබිලෝනියට අරන් ගිය යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩත් වහලුන් විදිහට අරන් ගිය සෙනඟවත් ආපහු මෙහෙට ගෙනල්ලා ඔබ කියපු අනාවැකිය යෙහෝවා ඉටු කළොත් කොච්චර හොඳද! 7 ඒත් දැන් මං ඔබටයි, මේ මුළු සෙනඟටයි ඇහෙන්න කියන පණිවිඩයට කරුණාකරලා ඇහුම්කන් දෙන්න. 8 ඔබටයි, මටයි කලින් හිටපු අනාගතවක්තෘවරු ඒ කියන්නේ ඈත අතීතයේ හිටපු අනාගතවක්තෘවරු අනාවැකි කිව්වේ ගොඩක් දේශවලටත් බලවත් රාජ්‍යයන්වලටත් මුහුණ දෙන්න වෙන යුද්ධ, විපත්ති සහ වසංගත* ගැනයි. 9 ඒත් අනාගතවක්තෘවරයෙක් සාමය ගැන අනාවැකි කිව්වොත් ඔහු ඇත්තටම යෙහෝවා එව්ව කෙනෙක් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒක ඉටු වුණොත් විතරයි.”

10 එතකොටම අනාගතවක්තෘ හනනියා, යෙරෙමියාගේ කරේ තිබුණ වියගහ අරගෙන ඒක කඩලා දැම්මා.+ 11 ඊටපස්සේ හනනියා සෙනඟ ඉස්සරහා මෙහෙම කිව්වා. “යෙහෝවා මෙහෙම කියනවා. ‘මං මේ විදිහටම බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර් හැම ජාතියක් පිටම පටවලා තියෙන වියගහ අවුරුදු දෙකක් ඇතුළත කඩලා දානවා.’”+ ඊටපස්සේ අනාගතවක්තෘ යෙරෙමියා එතනින් යන්න ගියා.

12 අනාගතවක්තෘ හනනියා, යෙරෙමියාගේ කරේ තිබුණ වියගහ කඩලා දැම්මාට පස්සේ යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 13 “ගිහින් හනනියාට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ලීවලින් හදපු වියගහ ඔබ කඩලා දැම්මා.+ ඒත් ඒක වෙනුවට යකඩින් හදපු වියගහක් කරේ තියාගන්න ඔබට සිද්ධ වෙනවා.” 14 මොකද ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මේ හැම ජාතියකටම සිද්ධ වෙනවා බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට සේවය කරන්න. මොකද මම ඔවුන් පිට යකඩින් හදපු වියගහක් තියනවා. ඔවුන් අනිවාර්යයෙන්ම ඔහුට සේවය කරයි.+ වනසතුන්ව පවා මම ඔහුට යටත් කරලා දෙනවා.”’”+

15 ඊටපස්සේ අනාගතවක්තෘ යෙරෙමියා හනනියාට+ මෙහෙම කිව්වා. “හනනියා, කරුණාකරලා මේක හොඳට අහගන්න. යෙහෝවා ඔබව එව්වේ නැහැ. ඒත් ඔබ බොරුවක් විශ්වාස කරන්න මේ සෙනඟව පෙලඹුවා.+ 16 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘මම ඔබව පොළොවෙන් නැති කරලා දානවා. යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න සෙනඟව පොලඹවපු නිසා ඔබ මේ අවුරුද්දේ මැරෙනවා.’”+

17 ඒ අවුරුද්දේ හත්වෙනි මාසේදී අනාගතවක්තෘ හනනියා මැරුණා.

29 අනාගතවක්තෘ යෙරෙමියා යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට ලියුමක් යැව්වා. ඒ ලියුම යැව්වේ නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට අරන් ගිය සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ට වගේම එහෙට අරන් ගිය පූජකයන්ට, අනාගතවක්තෘවරුන්ට සහ මුළු සෙනඟටයි. 2 ඒ ලියුම යවද්දී යෙකොනියා රජවයි,+ මව් බිසවවයි,+ රජමාලිගාවේ නිලධාරීන්වයි, යූදාවල සහ යෙරුසලමේ අධිපතීන්වයි, විවිධ කර්මාන්ත කරපු අයවයි, ලෝහවලින් වැඩ කරපු අයවයි* යෙරුසලමෙන් අරන් ගිහින් තිබුණා.+ 3 යෙරෙමියා ඒ ලියුම යැව්වේ ෂාපාන්ගේ+ පුතා වුණ එලාසා සහ හිල්කියාගේ පුතා වුණ ගෙමරියා අතෙයි. යූදාවල රජ වුණ ශෙදකියා+ ඒ දෙන්නාව බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර් ළඟට යවපු වෙලාවේ තමයි යෙරෙමියා ඒක යැව්වේ. ඒ ලියුමේ මෙහෙම ලියලා තිබුණා.

4 “සෙනඟට දන්වන්න ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට පණිවිඩයක් තියෙනවා. මම යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට යවපු සෙනඟට කියන්නේ මේකයි. 5 ‘ගෙවල් ගොඩනඟලා ඒවාවල පදිංචි වෙන්න. ගෙවත්තේ වගා කරලා ඒකේ පලදාව කන්න. 6 විවාහ වෙලා දූපුතුන්ව හදාගන්න. ඔබේ පුතුන්ව විවාහ කරලා දෙන්න. ඔබේ දූවරුන්වත් විවාහ කරලා දෙන්න. එතකොට ඔවුන්ටත් දූපුතුන්ව හදාගන්න පුළුවන්. ඒ විදිහට දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. ඔබේ ගාණ අඩු වෙන්න ඉඩ දෙන්න එපා. 7 මම ඔබව වහලුන් විදිහට යවපු නගරයේ සාමය රැකෙන විදිහට ජීවත් වෙන්න. ඒ නගරය වෙනුවෙන් යෙහෝවා දෙවියන්ට කන්නලව් කරන්න. මොකද ඒ නගරයේ සාමය තිබුණොත් ඔබටත් සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි.+ 8 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ අතරේ ඉන්න අනාගතවක්තෘවරුන්ට සහ පේන කියන අයට ඔබව මුළා කරන්න ඉඩ දෙන්න එපා.+ ඔවුන් දකින සිහින ගැන කියද්දී ඒවාට ඇහුම්කන් දෙන්න එපා. 9 මොකද ‘මගේ නමින් ඔවුන් කියන්නේ බොරු අනාවැකි. මම ඔවුන්ව එව්වේ නැහැ.’+ එහෙම කියන්නේ යෙහෝවායි.”’”

10 “මොකද යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘බැබිලෝනියේ ඉන්න තියෙන අවුරුදු 70 සම්පූර්ණ වුණාම මම ඔබ වෙනුවෙන් පියවර ගන්නවා.+ ඔබව ආපහු ඔබේ මව්බිමට ගෙනල්ලා මම පොරොන්දු වුණ දේ ඉටු කරනවා.’+

11 “යෙහෝවා මෙහෙම කියනවා. ‘මං ඔබ වෙනුවෙන් කරන්න ඕනෙ මොකක්ද කියලා මම හොඳින්ම දන්නවා. මට ඕනෙ ඔබට සාමය ලබා දෙන්න මිසක් කරදර ගේන්න නෙමෙයි.+ මට ඕනෙ ඔබට හොඳ අනාගතයක්, ලස්සන බලාපොරොත්තුවක් දෙන්නයි.+ 12 ඔබ මට අඬගහයි. මං ළඟට ඇවිත් යාච්ඤා කරයි. එතකොට මම ඔබට ඇහුම්කන් දෙනවා.’+

13 “‘ඔබ මුළු හදවතින්ම මගේ මඟ පෙන්වීම් පතන නිසා+ ඔබ මාව හොයාගෙන ඇවිත් මට තවත් ළං වෙයි.+ 14 මට ළං වෙන්න මම ඔබට ඉඩ දෙනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘වහලුන් වෙලා ඉන්න ඔබව මම එකට එකතු කරගන්නවා. මම ඔබව විසුරුවාහැරිය හැම ජාතියක් අතරින්මත් හැම දේශයකින්මත් ඔබව එකට එකතු කරගන්නවා.+ වහලුන් විදිහට යන්න කලින් ඔබ හිටපු දේශයට මම ඔබව ආපහු අරගෙන එනවා’+ කියලා යෙහෝවා කියනවා.

15 “ඒත් ඔබ මෙහෙම කිව්වා. ‘බැබිලෝනියේදීත් අපි වෙනුවෙන් අනාවැකි කියන්න යෙහෝවා අනාගතවක්තෘවරුන්ව පත් කළා.’

16 “දාවිත්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්න රජටත්+ ඔබ එක්ක වහලුන් විදිහට ගියේ නැති ඔබේ සහෝදරයන් වන මේ නගරයේ ජීවත් වෙන හැමෝටමත් යෙහෝවා මෙහෙම කියනවා. 17 ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “මම කඩුවත් සාගතයත් වසංගතත්* ඔවුන්ට විරුද්ධව ගේනවා.+ මම ඔවුන්ව කෑමට ගන්න බැරි තරමට කුණු වුණ* අත්තික්කා ගෙඩි වගේ වෙන්න සලස්වනවා.”’+

18 “‘මම ඔවුන් පස්සේ එළවගෙන ගිහින් කඩුවෙන්,+ සාගතයෙන් සහ වසංගතවලින් ඔවුන්ට පහර දෙනවා. මම ඔවුන්ට කරන දේ දැකලා පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+ මම ඔවුන්ව විසුරුවාහරින දේශවල ඉන්න මිනිස්සු ඔවුන්ට ශාප කරයි. ඔවුන්ට වෙන දේ දැකලා පුදුම වෙයි.+ මිනිස්සු ඔවුන්ට අපහාස කරයි,* සමච්චල් කරයි.+ 19 ඔවුන්ට එහෙම වෙන්නේ මම ආයේ ආයේ* ඔවුන් ළඟට යවපු මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් කියපු දේ ඔවුන් ඇහුවේ නැති නිසයි’ කියලා යෙහෝවා කියනවා.+

“‘ඔබත් මට ඇහුම්කන් දුන්නේ නැහැ’+ කියලා යෙහෝවා කියනවා.

20 “ඉතින් යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට මම යවපු සෙනඟෙනි, දැන් යෙහෝවා වන මම කියන දේට ඇහුම්කන් දෙන්න. 21 මගේ නමින් ඔබට බොරු අනාවැකි කියන+ කොලායාගේ පුතා වන ආහබ් ගැනත් මයසේයාගේ පුතා වන ශෙදකියා ගැනත් ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. ‘මම ඔවුන් දෙන්නාව බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ* අතට භාර දෙනවා. ඔබේ ඇස් පනාපිටම ඔහු ඔවුන් දෙන්නාව මරලා දායි. 22 බැබිලෝනියේ වහලුන් විදිහට ඉන්න යූදා සෙනඟ කාට හරි ශාප කරද්දී ඒ දෙන්නාට වුණ දේ මතක් කරලා මෙහෙම කියයි. “බැබිලෝනියේ රජ උදුනේ තියලා පුච්චලා දාපු ශෙදකියාටයි, ආහබ්ටයි කරපු දේම යෙහෝවා ඔබටත් කරන්න ඕනේ!” 23 මොකද ඔවුන් ඊශ්‍රායෙල් දේශයේ පිළිකුල්සහගත විදිහට හැසිරුණා.+ ඔවුන් තමන්ගේ අසල්වැසියන්ගේ භාර්යාවන් එක්ක අනාචාරයේ යෙදෙනවා. මං කියන්න කියලා අණ කළේ නැති පණිවිඩ ඔවුන් මගේ නමින් කියනවා.+

“‘“ඔවුන් කරන දේවල් ගැන දන්නේ මමයි. මම ඒ දේවලට සාක්ෂිකරුවෙක්”+ කියලා යෙහෝවා කියනවා.’”

24 “ඔබ මේ පණිවිඩය නෙහෙලාම්වල ෂෙමායාට+ කියන්න. 25 ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මයසේයාගේ පුතා වන පූජක ශෙපනියාටත්+ අනිත් පූජකයන්ටත් යෙරුසලමේ ඉන්න සෙනඟ හැමෝටමත් ඔබ ඔබේ නමින් මෙහෙම ලියලා යැව්වා. 26 ‘යෙහෝවා දෙවියන් පූජක යෙහෝයාදා වෙනුවට ඔබව යෙහෝවා දෙවියන්ගේ ගෘහය භාරව ඉන්න පූජකයා විදිහට පත් කරලා තියෙනවා. අනාගතවක්තෘවරයෙක් වගේ හැසිරෙන ඕනෙම පිස්සෙක්ව අත්අඩංගුවට අරන් දඬුකඳේ* ගහන්න ඔබට අවසර දීලා තියෙනවා.+ 27 එහෙනම් ඔබ ඉදිරියේ අනාගතවක්තෘවරයෙක් වගේ හැසිරෙන+ අනාතොත්වල යෙරෙමියාට+ ඔබ කිසිම දඬුවමක් දෙන්නේ නැත්තේ ඇයි? 28 මිනිහා බැබිලෝනියේ ඉන්න අපිටත් මෙහෙම ලියලා එව්වා. “ඔබට තව ගොඩක් කල් වහලුන් විදිහට ඉන්න වෙනවා. ඒ නිසා ගෙවල් ගොඩනඟලා ඒවාවල පදිංචි වෙන්න. ගෙවත්තේ වගා කරලා ඒකේ පලදාව කන්න.+ . . . ”’”’”

29 ඒ ලියුම පූජක ශෙපනියා+ අනාගතවක්තෘ යෙරෙමියාට ඇහෙන්න කියෙව්වා. 30 එතකොට යෙහෝවාගෙන් මේ පණිවිඩය යෙරෙමියාට ලැබුණා. 31 “වහලුන් විදිහට ඉන්න හැමෝටම මේ පණිවිඩය යවන්න. ‘නෙහෙලාම්වල ෂෙමායා ගැන යෙහෝවා මෙහෙම කියනවා. “අනාවැකි කියන්න මම එව්වේ නැති වුණත් ෂෙමායා ඔබට අනාවැකි කිව්වා. බොරුවක් විශ්වාස කරන්න ඔබව පෙලඹුවා.+ එහෙම කරපු නිසා 32 ‘නෙහෙලාම්වල ෂෙමායාටත් ඔහුගෙන් පැවතෙන අයටත් දඬුවම් කරනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඔහුගෙන් පැවතෙන කිසිම කෙනෙක් මගේ සෙනඟ අතරේ ඉන්නේ නැහැ. මගේ සෙනඟ වෙනුවෙන් මම කරන කිසිම යහපත් දෙයක් ඔහුට දකින්න ලැබෙන්නේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘මොකද යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න ඔහු සෙනඟව පෙලඹුවා.’”’”

30 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 2 “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මං ඔයාට කියන හැම දෙයක්ම ලියවිල්ලක ලියාගන්න. 3 “බලන්න! වහලුන් විදිහට ඉන්න මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්වයි, යූදා සෙනඟවයි මම එකට එකතු කරගන්න කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්න දේශයට ඔවුන්ව ආපහු ගේනවා. ඔවුන් ඒ දේශය ආයෙත් අයිති කරගන්නවා”+ කියලා යෙහෝවා කියනවා.’”

4 යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ටයි, යූදා සෙනඟටයි කියපු දේවල් තමයි මේ.

 5 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

“බයෙන් කෑගහන හඬක් අපිට ඇහුණා.

භීතිය හැම තැනම පැතිරිලා. සාමය පේන මානෙකවත් නැහැ.

 6 පුරුෂයෙක්ට දරුවෙක්ව බිහි කරන්න පුළුවන්ද කියලා අහලා බලන්න.

එහෙමනම් ශක්තිමත් පුරුෂයන් හැමෝම දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේ

තුනටියට* අත තියාගෙන ඉන්නවා මට පේන්නේ ඇයි?+

හැමෝගෙම මුහුණු සුදුමැලි වෙලා තියෙන්නේ ඇයි?

 7 අනේ, ඒ දවස කොච්චර භයානක දවසක් වෙයිද!+

කවදාවත් ඒ වගේ දවසක් තිබිලා නැහැ.

ඒක යාකොබ්ට දුක් විඳින්න වෙන කාලයක්.

ඒත් ඔහුව ඒකෙන් බේරගන්නවා.”

8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඒ දවසේදී ඔබේ කර පිට තියලා තියෙන වියගහ මම කඩලා දානවා. ඒකේ පටි මම දෙකට කඩනවා. ඊටපස්සේ විදේශිකයන්* ආයේ ඔහුව* දාසකමට ගෙනියන්නේ නැහැ. 9 ඔවුන් තමන්ගේ දෙවි වන යෙහෝවාට සේවය කරයි. ඔවුන්ගේ රජ විදිහට මං පත් කරන දාවිත්ට ඔවුන් සේවය කරයි.”+

10 යෙහෝවා මෙහෙම කියනවා. “මගේ සේවකයා වන යාකොබ්, බය වෙන්න එපා.

ඊශ්‍රායෙල්, බයෙන් වෙවුලන්න එපා.+

මොකද දුර ඈත දේශයකට ගෙනියන ඔබව මම බේරගන්නවා.

වහලුන් විදිහට ජීවත් වෙන ඔබේ දරුවන්ව මම බේරගන්නවා.+

යාකොබ් ආපහු ඇවිත් කරදරයක් නැතුව සැනසිල්ලේ ජීවත් වෙයි.

කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”+

11 “ඔබව බේරගන්න මම ඔබ එක්කම ඉන්නවා” කියලා යෙහෝවා කියනවා.

“මම ඔබව විසුරුවාහැරිය දේශවල ඉන්න හැම ජාතියක්වම නැත්තටම නැති කරනවා.+

ඒත් මම ඔබව විනාශ කරන්නේ නැහැ.+

ඔබට දඬුවම් නොකර ඉන්නෙත් නැහැ

මම ඔබව සුදුසු ප්‍රමාණයට හික්මවනවා.”*+

12 යෙහෝවා මෙහෙම කියනවා.

“ගොඩ එන්න බැරි විදිහට ඔබ වැටිලා ගිහින්.+

ඔබේ තුවාලය සුව කරන්න බැහැ.

13 ඔබ වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ.

ඔබේ තුවාලය සුව කරන්න විදිහක් නැහැ.

ඔබට කිසිම සුවයක් නැහැ.

14 ඔබේ පෙම්වතුන්ට ඔබව අමතක වෙලා.+

ඔවුන් ආයේ ඔබව හොයාගෙන එන්නේ නැහැ.

මොකද සතුරෙක් පහර දෙනවා වගේ මම ඔබට පහර දුන්නා.+

කුරිරු කෙනෙක් වගේ මම ඔබට දඬුවම් කළා.

මම එහෙම කළේ ඔබ ගොඩක් වැරදි කරපු නිසයි. ඔබ හුඟක් පව්කාර දේවල් කරපු නිසයි.+

15 ඔබේ වැටීම ගැන ඔබ අඬා වැලපෙන්නේ මොකටද?

ඔබට දැනෙන වේදනාව නැති වෙන්නේ නැහැ.

මම මේ දේ ඔබට කළේ ඔබ ගොඩක් වැරදි කරපු නිසයි.+

ඔබ හුඟක් පව්කාර දේවල් කරපු නිසයි.

16 ඔබව විනාශ කරන අයව සතුරෙක් විනාශ කරලා දානවා.+

ඔබේ සතුරන් හැමෝවමත් වහල්කමට ගෙනියනවා.+

ඔබව කොල්ල කන අයවත් කොල්ල කනවා.

ඔබට අයිති දේවල් පැහැරගන්න අයව මම කොල්ලකරුවන්ගේ අතට භාර දෙනවා.”+

17 “පන්නලා දැම්ම තැනැත්තියක් විදිහට ඔබව සලකයි.

‘කවුරුත් හොයලා බලන්නේ නැති සියොන්’+ කියලා ඔබව හඳුන්වයි.

ඒත් මම ඔබව සුව කරනවා. ඔබේ තුවාල සනීප කරනවා”+ කියලා යෙහෝවා කියනවා.

18 යෙහෝවා මෙහෙම කියනවා.

“මම ආපහු යාකොබ්ගේ කූඩාරම්වලට ඇවිල්ලා වහලුන්ව එකට එකතු කරගන්නවා.+

ඔහු වාසය කරන තැන්වලට අනුකම්පාව පෙන්නනවා.

නගරය තිබුණ කන්ද මතම ඒක ආපහු ගොඩනඟනවා.+

ඒකේ බලකොටුව තිබුණ තැනම ආපහු ඉදි කරනවා.

19 ස්තුති ගී ගයන හඬත් සතුටින් හිනා වෙන හඬත් ඔවුන් අතරින් ඇහෙයි.+

මම ඔවුන්ව ගණනින් වැඩි කරනවා. ඔවුන්ගේ ගාණ අඩු වෙන්න දෙන්නේ නැහැ.+

මම ඔවුන්ව විශාල සෙනඟක් කරනවා.*

ඔවුන් කුඩා සෙනඟක් වෙන්නේ නැහැ.+

20 යාකොබ්ගේ පුතුන් කලින් වගේම සැපට ජීවත් වෙයි.

මං ඉස්සරහා ඔවුන් ශක්තිමත් සෙනඟක් වෙයි.+

ඔහුට පීඩා කරපු හැමෝටම මම දඬුවම් කරනවා.+

21 ඔහුගෙන්ම පැවතෙන කෙනෙක් ඔහුගේ උත්තමයා වෙනවා.

ඔහුගේ පාලකයා එන්නේ ඔහු අතරින්මයි.

මං ළඟට එන්න ඒ කෙනාට මම අවසර දෙනවා. ඒ කෙනා මං ළඟට එයි.”

“ඇත්තටම මගේ අවසරය නැතුව මං ළඟට එන්න ඉදිරිපත් වෙන්නේ කවුද” කියලා යෙහෝවා අහනවා.

22 “ඔබ මගේ සෙනඟ වෙනවා.+ මම ඔබේ දෙවියන් වෙනවා.”+

23 බලන්න! යෙහෝවාගේ කේන්තිය සුළි කුණාටුවක් වගේ හමාගෙන එනවා.+

ඒක සුළිසුළඟක් වගේ ඇවිත් දුෂ්ටයාගේ ඔළුවට කඩා වැටෙනවා.

24 යෙහෝවා කරන්න හිතපු දේ කරලා ඉවර වෙන කල්

ඇවිළෙන ඔහුගේ කේන්තිය නිවිලා යන්නේ නැහැ.+

අවසාන කාලේදී ඔබ ඒ ගැන තේරුම්ගනියි.+

31 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ඒ කාලේදී මම ඊශ්‍රායෙල්වරුන්ගේ හැම පවුලකටම දෙවියන් වෙනවා. මම ඔවුන්ව මගේ සෙනඟ විදිහට පිළිගන්නවා.”+

 2 යෙහෝවා මෙහෙම කියනවා.

“කඩු පහරින් බේරුණු සෙනඟට පාළුකරයේදී දෙවියන්ගේ කරුණාව ලැබුණා.

ඊශ්‍රායෙල් තමන්ට නිවිහැනහිල්ලේ ඉන්න පුළුවන් තැනට ගමන් කරමිනුයි හිටියේ.”

 3 දුර ඈත ඉඳන් යෙහෝවා මං ළඟට ඇවිත් මෙහෙම කිව්වා.

“මට ඔබ ගැන තියෙන්නේ සදා නොමියෙන ආදරයක්.

ඒ නිසයි මම ඔබට නොසැලෙන ආදරයක් පෙන්නලා ඔබව මං ළඟට ගත්තේ.*+

 4 මම ඔබව ආපහු ගොඩනඟනවා. ඔබ ආපහු ජාතියක් වෙනවා.+

ඊශ්‍රායෙල් දියණිය, ඔබ ආයෙත් ඔබේ රබන් අතට ගනියි.

ඔබ සතුටින් නටනට යයි.+

 5 ඔබ ආයෙත් සමාරියේ කඳුවල මිදිවතු වවයි.+

වගා කරන අය මිදිවතු වවලා ඒවාවල පලදාව රස විඳියි.+

 6 එෆ්‍රායිම් කඳුකරයේ ඉන්න මුරකරුවන් කෑගහලා මෙහෙම කියන දවසක් එනවා.

‘නැඟිටින්න! අපි සියොන්වලට යමු. අපේ දෙවි වන යෙහෝවා ළඟට යමු.’”+

 7 මොකද යෙහෝවා මෙහෙම කියනවා.

“සතුටින් යාකොබ්ට අඬගහන්න.

ඔබ හැම ජාතියකටම වඩා ඉදිරියෙන් ඉන්න නිසා සතුටින් කෑගහන්න.+

මේ ආරංචිය දසත පතුරුවන්න. දෙවියන්ට ප්‍රශංසා කරලා මෙහෙම කියන්න.

‘යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟව ගලවගන්න. ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වෙලා ඉන්න අයව බේරගන්න.’+

 8 මම ඔවුන්ව උතුරු දේශයේ ඉඳන් ආපහු අරගෙන එනවා.+

පොළොවේ දුර ඈත ප්‍රදේශවල ඉන්න ඔවුන්ව මම එකට එකතු කරනවා.+

ඔවුන් අතරේ අන්ධ අයත් කොර අයත්+

ගැබිනි මව්වරුනුත් ප්‍රසව වේදනාවෙන් ඉන්න මව්වරුනුත් ඉඳියි.

ඔවුන් හැමෝම විශාල සමූහයක් විදිහට මේ දේශයට හැරිලා එයි.+

 9 ඔවුන් අඬඅඬ ආපහු එයි.+

දයාව පෙන්නන්න කියලා කන්නලව් කරයි. මම ඔවුන්ට හරි මාර්ගය පෙන්නනවා.

මම ඔවුන්ව දිය පහරවල් ළඟට ගෙනියනවා.+

පය පැටලිලා වැටෙන්නේ නැති, සමතලා පාරක ගෙනියනවා.

මොකද ඊශ්‍රායෙල්ගේ පියා මමයි. එෆ්‍රායිම් මගේ කුලුඳුලායි.”+

10 ජාතීනි, යෙහෝවා කියන දේට සවන් දෙන්න.

දුර ඈත තියෙන දූපත්වලට ඒ ගැන දැනුම් දෙන්න.+

“ඊශ්‍රායෙල්ව විසුරුවාහැරපු තැනැත්තාම ඔහුව ආයෙත් එකතු කරයි.

ඒ තැනැත්තා එඬේරෙක් තමන්ගේ රැළ බලාගන්න විදිහට ඔහුව රැකබලා ගනියි.+

11 මොකද යෙහෝවා යාකොබ්ව මුදවගනියි.+

යාකොබ්ට වඩා බලවත් කෙනාගේ අතින් ඔහුව බේරගනියි.+

12 ඔවුන් ඇවිත් සියොන් කන්දේ ඉඳන් සතුටින් කෑගහයි.+

යෙහෝවාගේ යහපත්කම ගැන ඔවුන් ප්‍රීතියෙන් ඉපිල යයි.

ඔවුන්ට ලැබෙන ධාන්‍ය ගැනත් අලුත් වයින් ගැනත්+ තෙල් ගැනත් ඔවුන් සතුටු වෙයි.

එළු බැටළු සහ ගව රැළවල් ගණනින් වැඩි වෙන එක ගැන+ සතුටින් පිරිලා ඉතිරිලා යයි.

ඔවුන් හොඳට වතුර ලැබෙන උයනක් වගේ වෙයි.+

ඔවුන් ආයේ කවදාවත් මැලවිලා යන්නේ නැහැ.”+

13 “ඒ කාලේදී තරුණියන් සතුටින් නටයි.

තරුණයන් සහ මහලු අයත් ඔවුන්ට එකතු වෙයි.+

මම ඔවුන්ගේ දුක සතුටට පෙරළනවා.+

මම ඔවුන්ව සනසලා ශෝකය වෙනුවට ප්‍රීතිය ලබා දෙනවා.+

14 මම පූජකයන්ට රසවත් කෑම ඇති තරම් දෙනවා.

මම ලබා දෙන යහපත් දේවල් නිසා මගේ සෙනඟ තෘප්තියට පත් වෙනවා”+ කියලා යෙහෝවා කියනවා.

15 “යෙහෝවා මෙහෙම කියනවා.

‘අඬා වැලපෙන හඬක් රාමාවලින්+ ඇහෙනවා. ශෝකයෙන් විලාප දෙන හඬක් ඇහෙනවා.

ඒ රාකෙල් තම පුතුන්* ගැන අඬා වැලපෙන හඬයි.+

ඇයව සනසන්න උත්සාහ කළත් ඇය සැනසෙන්න කැමති වුණේ නැහැ.

මොකද ඇයට ඇගේ පුතුන් අහිමි වෙලා.’”+

16 යෙහෝවා මෙහෙම කියනවා.

“‘තවත් කඳුළු සලන්න එපා. දැන් අඬා වැලපෙන්න එපා.

ඔබ කරපු දේ වෙනුවෙන් මම ඔබට ආශීර්වාද කරනවා’ කියලා යෙහෝවා කියනවා.

‘සතුරන්ගේ දේශයේ ඉඳන් ඔවුන් අනිවාර්යයෙන්ම ආපහු එනවා.’+

17 ‘ඔබට බලාපොරොත්තුවක් තියෙනවා’+ කියලා යෙහෝවා කියනවා.

‘ඔබේ පුතුන් ඔවුන්ට අයිති දේශයට ආපහු එනවා.’”+

18 “එෆ්‍රායිම් දුක් වෙවී මෙහෙම කියනවා මට ඇහුණා.

‘මම හිටියේ පුරුදු පුහුණු නොකළ වහු පැටියෙක් වගෙයි.

ඔබ මගේ වැරදි පෙන්නලා දුන්නා. මම ඒකෙන් ඉගෙනගත්තා.

මාව ආපහු අරන් එන්න. මම හරිම ආසාවෙන් ඔබ ළඟට හැරිලා එනවා.

මොකද යෙහෝවා, ඔබයි මගේ දෙවියන්.

19 ඔබ ළඟට හැරිලා ආවාට පස්සේ මගේ වැරදි ගැන මම පසුතැවිලි වුණා.+

මගේ වැරදි මට තේරුම් කරලා දුන්නාට පස්සේ මට ලොකු දුකක් දැනුණා.*

තරුණ කාලේ මං කරපු වැරදි නිසා

මට දැනෙන්නේ ලොකු ලැජ්ජාවක්. මං නින්දාවට පත් වෙලා.’”+

20 “එෆ්‍රායිම් මං ප්‍රිය කරන පුතෙක් නෙමෙයිද? මං ගොඩක් ආදරේ කරන දරුවෙක් නෙමෙයිද?+

මම ඔහුට ආයේ ආයේ තරවටු කළත් මම ඔහුව අමතක කරලා දාන්නේ නැහැ.

ඔහු වෙනුවෙන් මගේ හිත උණු වෙනවා.*+

මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරනවා” කියලා යෙහෝවා කියනවා.+

21 “ඔබේ ප්‍රයෝජනය වෙනුවෙන් මං සලකුණු හිටවන්න.

මඟ පෙන්නන කණු හිටවන්න.+

ඔබ යන්න ඕනෙ මාර්ගයට හොඳ අවධානයක් දෙන්න.+

ඊශ්‍රායෙල් කන්‍යා දියණිය, ආපහු එන්න. ඔබට අයිති මේ නගරවලට ආපහු හැරිලා එන්න.

22 අවිශ්වාසවන්ත දියණිය, ඔබ තව කොච්චර කාලයක් ඒ මේ අත වැනිවැනී ඉන්නවාද?

මොකද යෙහෝවා පොළොවේ අලුත් දෙයක් නිර්මාණය කළා.

ඒ නිසා ස්ත්‍රියක් පුරුෂයෙක්ගේ හිත දිනාගන්න ලොකු උත්සාහයක් ගනියි.”

23 ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “වහලුන් විදිහට ඉන්න සෙනඟව මම එකට එකතු කළාම යූදා දේශයේදී සහ එහේ නගරවලදී ඔවුන් ආපහු මෙහෙම කියයි. ‘ධර්මිෂ්ඨකම හොයාගන්න පුළුවන් ස්ථානය+ වන ඔබට, ශුද්ධ කන්ද+ වන ඔබට යෙහෝවාගේ ආශීර්වාදය ලැබේවා!’ 24 යූදා නගරවල සෙනඟත් ගොවියොත් එඬේරුත් යූදා දේශයේ එකට ජීවත් වෙයි.+ 25 විඩාවට පත් වෙලා ඉන්න කෙනාව මම ශක්තිමත් කරනවා. මලානිකව ඉන්න හැමෝවම මම ප්‍රාණවත් කරනවා.”+

26 එතකොටම මට ඇහැරුණා. මම ඇස් ඇරලා වටපිට බැලුවා. මං හිටියේ සුව නින්දක කියලා මට තේරුණා.

27 “බලන්න! ඊශ්‍රායෙල් ජාතියත් යූදා ජාතියත් මම ගණනින් වැඩි කරන කාලයක් ඉදිරියේදී එනවා. ඔවුන්ට අයිති සතුන්ගේ ගාණත් මම වැඩි කරනවා” කියලා යෙහෝවා කියනවා.+

28 “මම ඔවුන් පිටට කරදර ගේන්නත් ඔවුන්ව කඩලා බිඳලා උදුරලා දාන්නත් විනාශ කරලා බිමට ඇදලා දාන්නත් බලාගෙන හිටියා.+ ඒ විදිහටම මම ඔවුන්ව ගොඩනඟන්නත් හිටවන්නත් බලාගෙන ඉන්නවා”+ කියලා යෙහෝවා කියනවා. 29 “‘අමු මිදි කෑවේ තාත්තලා. ඒත් හිරි වැටුණේ දරුවන්ගේ දත්’ කියලා ඒ කාලේදී ඔවුන් ආයේ කියන්නේ නැහැ.+ 30 ඒ කාලේදී කෙනෙක් මැරෙන්නේ ඒ කෙනා කරන වරද නිසයි. අමු මිදි කන කෙනාගේ දත් තමයි හිරි වැටෙන්නේ.”

31 යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! මම ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ එක්ක අලුත් ගිවිසුමක් ඇති කරගන්න කාලයක් ඉදිරියේදී එනවා.+ 32 ඒත් ඒක ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තුවෙන් පිටතට ගේන්න මම ඔවුන්ගේ අත අල්ලගත්ත දවසේදී ඔවුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම වගේ නෙමෙයි.+ ‘මම ඔවුන්ගේ එකම ස්වාමියා* වුණත් මං ඇති කරගත්ත ඒ ගිවිසුම ඔවුන් කඩ කළා’+ කියලා යෙහෝවා කියනවා.”

33 “ඒ කාලෙට පස්සේ මම ඊශ්‍රායෙල් සෙනඟ එක්ක මේ ගිවිසුම ඇති කරගන්නවා” කියලා යෙහෝවා කියනවා. “මම මගේ නීතිය ඔවුන්ගේ ඇතුළාන්තයටම දානවා.+ ඒක ඔවුන්ගේ හදවතේ ලියනවා.+ මම ඔවුන්ගේ දෙවියන් වෙනවා. ඔවුන් මගේ සෙනඟ වෙනවා.”+

34 “‘යෙහෝවාව අඳුරගන්න’+ කියලා කවුරුත් තමන්ගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් තවත් කියන්නේ නැහැ. මොකද පොඩිම කෙනාගේ ඉඳන් ලොකුම කෙනා වෙන කල්+ හැමෝම මාව හොඳින් අඳුරගෙන ඉන්නවා” කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන් කරපු වැරදිවලට සමාව දෙනවා. ඔවුන්ගේ පාප ආයේ මතක් කරන්නේ නැහැ.”+

35 යෙහෝවා කියන දේට සවන් දෙන්න.

දවල් කාලේදී ආලෝකය දෙන්න හිරු හැදුවේ ඔහුයි.

රාත්‍රිය ආලෝකවත් කරන්න හඳට සහ තරුවලට නීති දුන්නේ ඔහුයි.

මුහුද කලඹලා එහි රළ පහර දරුණු කරන්නේ ඔහුයි.

ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+ ඔහු මෙහෙම කියනවා.

36 “‘ඒ නීති හැමදාටම ක්‍රියාත්මක වෙනවා වගේ

ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන අය හැමදාමත් මං ඉස්සරහා ජාතියක් විදිහට ඉඳියි’ කියලා යෙහෝවා කියනවා.”+

37 යෙහෝවා කියන්නේ මෙහෙමයි. “‘කාට හරි අහස මැනලා බලන්නවත් පොළොවේ අත්තිවාරම් හොයාගන්නවත් පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් වුණොත් මම ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන අයවත් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කොච්චර වැරදි කරලා තිබුණත් මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්නේ නැහැ’ කියලා යෙහෝවා කියනවා.”+

38 “යෙහෝවා වෙනුවෙන් නගරය ආපහු ගොඩනඟන කාලයක් එනවා.+ හනානෙල්ගේ මුරකොටුවේ+ ඉඳන් කොනේ දොරටුව+ වෙන කල්ම ඒක ගොඩනඟනවා” කියලා යෙහෝවා කියනවා. 39 “ඒක මනින්න අදින ලණුව+ ගාරෙබ් හෙල දක්වාත් එතනින් ගෝයා දක්වාත් දිව යයි. 40 මළ කඳන් සහ අළු* දාන නිම්නයත්* කිද්‍රොන් නිම්නය+ වෙන කල් තියෙන කෙත්වතුත් නැඟෙනහිර පැත්තේ තියෙන අශ්ව දොරටුවේ+ කොන දක්වා මුළු ප්‍රදේශයත් යෙහෝවා ශුද්ධ ප්‍රදේශයක් විදිහට සලකනවා.+ ඒක ආයේ කවදාවත් උදුරලා දාන්නෙවත් කඩලා බිඳලා දාන්නෙවත් නැහැ.”

32 යූදාවල රජ වන ශෙදකියා පාලනය කරපු 10වෙනි අවුරුද්දේ ඒ කියන්නේ නෙබුකද්නෙෂර්* රජ පාලනය කරපු 18වෙනි අවුරුද්දේ+ යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා. 2 ඒ කාලේදී බැබිලෝනියේ රජගේ හමුදාව යෙරුසලම වටලගෙනයි හිටියේ. ඒ වෙද්දී අනාගතවක්තෘ යෙරෙමියාව යූදාවල රජමාලිගාවේ තිබුණ මුරකරුගේ මළුවේ රඳවලා තිබුණා.+ 3 යූදාවල රජ වන ශෙදකියා එයාව රඳවලා තිබ්බේ+ මෙහෙම කියලයි. “ඇයි ඔයා මේ වගේ අනාවැකි කියන්නේ? ඔයා කියනවා ‘යෙහෝවා කියන්නේ මේකයි. “මම මේ නගරය බැබිලෝනියේ රජගේ අතට භාර දෙනවා. ඔහු ඒක යටත් කරගන්නවා”+ කියලා. 4 “යූදාවල රජ වන ශෙදකියාට කල්දිවරුන්ගේ අතින් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඔහුව අනිවාර්යයෙන්ම බැබිලෝනියේ රජගේ අතට අල්ලලා දෙනවා. ඔහුට ඒ රජව මූණට මූණ හම්බ වෙලා කතා කරන්න වෙනවා.”’+ 5 ‘බැබිලෝනියේ රජ ශෙදකියාව බැබිලෝනියට අරන් යයි. මම ඔහු ගැන තීරණයක් ගන්න කල් එහෙට වෙලා ඉන්න ඔහුට සිද්ධ වෙනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඔබ කල්දිවරුන්ට විරුද්ධව කොච්චර සටන් කළත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ.’”+

6 යෙරෙමියා මෙහෙම කිව්වා. “යෙහෝවාගෙන් මට මේ පණිවිඩය ලැබුණා. 7 ‘යෙරෙමියා, ඔයාගේ තාත්තාගේ සහෝදරයා වන ෂල්ලුම්ගේ පුතා හනමෙල් ඔයා ළඟට ඇවිත් මෙහෙම කියයි. “අනාතොත්වල+ තියෙන මගේ ඉඩම සල්ලි දීලා බේරගන්න. මොකද ඒකට මුල්ම අයිතිය තියෙන්නේ ඔයාට.”’”+

8 යෙහෝවා කියපු විදිහටම මගේ තාත්තාගේ සහෝදරයාගේ පුතා හනමෙල් මුරකරුගේ මළුවේ හිටපු මං ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “බෙන්ජමින් දේශයේ අනාතොත්වල තියෙන මගේ ඉඩම සල්ලි දීලා ගන්න. ඒක උරුම කරගන්න අයිතිය තියෙන්නේ ඔයාටයි. ඔයාට තමයි පුළුවන් ඒ ඉඩම බේරගන්න. අනේ, ඒක ඔයා ගන්න.” එතකොට මට තේරුණා ඒක යෙහෝවාම කරන්න කියපු දෙයක් කියලා.

9 ඉතින් මම අනාතොත්වල තිබුණ ඉඩම මගේ තාත්තාගේ සහෝදරයාගේ පුතා වුණ හනමෙල්ගෙන් සල්ලි දීලා ගත්තා. මම එයාට රිදී ෂෙකෙල් 17ක්* කිරලා දුන්නා.+ 10 ඊටපස්සේ මම ඔප්පුවක් හදලා+ ඒක මුද්‍රා කළා. සාක්ෂිකරුවන්ට එන්න කියලා+ එයාලා ඉස්සරහා සල්ලි කිරලා දුන්නා. 11 ඉතින් නීතිරීතිවලට අනුව මම ගත්ත ඉඩමේ මුද්‍රා කරපු විකුණුම් ඔප්පුවයි, මුද්‍රා කරලා තිබුණේ නැති ඔප්පුවයි අරගෙන 12 විකුණුම් ඔප්පුව මං මසේයාගේ පුතා වුණ නෙරියාගේ පුතා+ බාරුක්ගේ+ අතට දුන්නා. මං ඒක දුන්නේ මගේ තාත්තාගේ සහෝදරයාගේ පුතා වුණ හනමෙල්, ඔප්පුවට අත්සන් කරපු සාක්ෂිකරුවන් සහ මුරකරුගේ මළුවේ ඉඳගෙන හිටපු යුදෙව්වන් හැමෝම ඉස්සරහයි.+

13 ඊටපස්සේ හැමෝම ඉස්සරහා මම බාරුක්ට මෙහෙම අණ කළා. 14 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මේ ලියවිලි ඒ කියන්නේ මුද්‍රා කරපු විකුණුම් ඔප්පුවයි, මුද්‍රා කරපු නැති එකයි අරගෙන ඒවා මැටි බඳුනකට දාන්න. එතකොට ඒවා සෑහෙන කාලයක් ආරක්ෂා වෙලා තියෙයි.’ 15 මොකද ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ගෙවල් දොරවල්, වතුපිටි, මිදිවතු සල්ලි දීලා ගන්න කාලයක් ආපහු මේ දේශයට එනවා.’”+

16 නෙරියාගේ පුතා වුණ බාරුක්ගේ අතට ඉඩමේ ඔප්පුව දුන්නාට පස්සේ මම යෙහෝවාට මෙහෙම යාච්ඤා කළා. 17 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ අත දිගහැරලා ඔබේ මහත් බලය පාවිච්චි කරලා අහසත් පොළොවත් හැදුවා.+ ඔබට කරන්න බැරි දෙයක් නැහැ. 18 පරම්පරා දහස් ගාණකට ඔබ නොසැලෙන ආදරයක් පෙන්නනවා. ඒත් පියවරුන්ගේ වැරදි නිසා දරුවන්ට ලැබෙන්න ඕනෙ ප්‍රතිඵල ඔබ නොදී ඉන්නෙත් නැහැ.+ සැබෑ දෙවියන් ඔබයි. ශ්‍රේෂ්ඨ, බලවත් තැනැත්තා ඔබයි. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා හඳුන්වන්නේ ඔබවයි. 19 ඔබ කරන්න අදහස් කරන දේවල් හරිම ශ්‍රේෂ්ඨයි. ඔබේ ක්‍රියාවන් බලවත්.+ ඔබ මිනිස්සු කරන හැම දෙයක්ම දිහා බලාගෙන ඉන්නවා.+ එහෙම කරන්නේ එක් එක් කෙනා ජීවත් වෙන විදිහට, වැඩ කරන විදිහට අනුව ප්‍රතිඵල දෙන්නයි.+ 20 ඊජිප්තු දේශයේදී ඔබ ආශ්චර්යයන් සහ පුදුම ක්‍රියා කළා. ඒවා අදටත් ප්‍රසිද්ධයි. ඒ දේවල් කරලා ඔබ ඔබේ නම ඊශ්‍රායෙල් දේශයෙත් හැම මනුෂ්‍යයෙක් අතරෙත් ප්‍රසිද්ධ කරලා තියෙනවා.+ අදටත් ඔබේ නම මිනිස්සු දන්නවා. 21 ඔබ ඔබේ අත දිගහැරලා ඔබේ මහත් බලය පාවිච්චි කරලා පුදුමසහගත ක්‍රියා, ආශ්චර්යයන් සහ හරිම භයානක දේවල් කරලා ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනාවා.+

22 “කාලයක් ගියාට පස්සේ ඔබ මේ සෙනඟට එයාලාගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ+ කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන මේ දේශය+ දුන්නා. 23 එයාලා මේ දේශයට ඇවිත් ඒක අයිති කරගත්තා. ඒත් එයාලා ඔබ කියපු දේවලට කීකරු වුණේවත් ඔබේ නීතිය පිළිපැද්දෙවත් නැහැ. ඔබ එයාලට කරන්න අණ කරපු කිසිම දෙයක් එයාලා කළේ නැහැ. මේ හැම විපතක්ම ඔබ සෙනඟ පිටට ගෙනාවේ ඒ නිසයි.+ 24 බලන්න! නගරය අල්ලගන්න මිනිස්සු ඒක වටේ බැම්මක් බැඳලා.+ කල්දිවරුන් මේ නගරයට විරුද්ධව සටන් කරනවා. කඩුවත්+ සාගතයත් වසංගතත්*+ නිසා එයාලා මේ නගරය අනිවාර්යයෙන්ම අල්ලගන්නවා. ඔබ කිව්ව විදිහටම ඒ හැම දෙයක්ම වුණා. 25 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මේ නගරය අනිවාර්යයෙන්ම කල්දිවරුන්ගේ අතට භාර දෙනවා කියලා තියෙද්දී ඔබ මට කිව්වා ‘සල්ලි දීලා ඉඩම ගන්න. ඒකට සාක්ෂිකරුවන්ව කැඳවන්න’ කියලා.”

26 එතකොට යෙහෝවා දෙවියන් යෙරෙමියාට මෙහෙම කිව්වා. 27 “මම යෙහෝවා. මුළු මිනිස් වර්ගයාගේම දෙවියන් මමයි. මට කරන්න බැරි කිසිම දෙයක් තියෙනවාද? 28 ඉතින් යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මම මේ නගරය කල්දිවරුන්ගේ අතටත් බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ* අතටත් භාර දෙනවා. ඔහු ඒක අල්ලගන්නවා.+ 29 මේ නගරයට විරුද්ධව සටන් කරන කල්දිවරු ඇවිත් ඒකට ගිනි තියලා ඒක සම්පූර්ණයෙන්ම අළු කරලා දානවා.+ මාව කේන්ති ගස්සන්න පැතලි වහල උඩ බාල්ට පූජාත් වෙනත් දෙවිවරුන්ට පාන පූජාත් ඔප්පු කරපු හැම ගෙයක්ම+ නගරයත් එක්ක පුච්චලා දානවා.’

30 “‘මොකද ඊශ්‍රායෙල්වල සහ යූදාවල සෙනඟ ඔවුන්ගේ තරුණ කාලේ ඉඳන්ම කළේ මම වැරදියි කියලා සලකන දේවල්.+ ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන් කරන වැඩවලින් දිගින් දිගටම මාව කේන්ති ගැස්සුවා කියලා’ යෙහෝවා කියනවා. 31 ‘මේ නගරය ගොඩනඟපු දවසේ ඉඳන් අද වෙන කල්ම එහේ වෙලා තියෙන්නේ මාව ගොඩක් කේන්ති ගස්සන දේවල්මයි.+ ඒ නිසා ඒක මගේ ඉස්සරහින් අයින් කරන්න ඕනේ.+ 32 මොකද ඊශ්‍රායෙල්වල සහ යූදාවල සෙනඟ නරක දේවල් ගොඩක් කළා. ඔවුන් හැමෝම ඒ කියන්නේ ඔවුන්ගේ රජවරුන්,+ අධිපතීන්,+ පූජකයන්, අනාගතවක්තෘවරුන්,+ යූදාවල පුරුෂයන් සහ යෙරුසලමේ ඉන්න අය ඒ දේවල් කරලා මාව කේන්ති ගැස්සුවා. 33 ඔවුන් මං දිහාවට හැරෙනවා වෙනුවට දිගටම මට පිටුපෑවා.+ මම ආයේ ආයේ* ඔවුන්ට උගන්නන්න උත්සාහ කළත් එක් කෙනෙක්වත් ඇහුම්කන් දීලා හික්මවීම් පිළිගත්තේ නැහැ.+ 34 ඔවුන් මගේ නම දරන ගෘහය අපවිත්‍ර කරන්න පිළිකුල්සහගත රූප ඒකේ තිබ්බා.+ 35 ඒ විතරක් නෙමෙයි ඔවුන් බෙන්හින්නොම් නිම්නයේ*+ බාල්ට පූජාසන* ගොඩනැඟුවා. එහෙම කළේ ඔවුන්ගේ දූදරුවන්ව ගින්නෙන් දවලා මෝලෙක්ට ඔප්පු කරන්න.+ ඒ වගේ දෙයක් කරන්න කියලා මම ඔවුන්ට අණ කළේ නැහැ.+ ඒ වගේ පිළිකුල් දෙයක් කරන්න කියනවා තියා ඒ වගේ අදහසක් මගේ හිතට ආවේවත් නැහැ. ඒකෙන් යූදා කොච්චර බරපතළ වරදකට වැටුණාද!’

36 “ඔබ කියනවා මේ නගරය කඩුව, සාගතය සහ වසංගත නිසා බැබිලෝනියේ රජ අල්ලගන්නවා කියලා. ඒත් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මේ නගරය ගැන කියන්නේ මේකයි. 37 ‘මම ලොකු කේන්තියකින්, කෝපයකින් ඔවුන්ව විසුරුවාහැරපු හැම දේශයකින්ම ඔවුන්ව ආපහු එකට එකතු කරගන්නවා.+ මම ඔවුන්ව ආපහු මේ දේශයට ගෙනල්ලා ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වෙන්න අවස්ථාව දෙනවා.+ 38 ඔවුන් මගේ සෙනඟ වෙනවා. මම ඔවුන්ගේ දෙවියන් වෙනවා.+ 39 මම ඔවුන්ට එක හිතක් දෙනවා.+ එක මාර්ගයක් පෙන්නනවා. එතකොට හැමදාටම මට ගරුබිය පෙන්නන්න ඔවුන්ට පුළුවන් වෙයි. මම එහෙම කරන්නේ ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතටයි.+ 40 මම හැමදාටම තියෙන ගිවිසුමක් ඔවුන් එක්ක ඇති කරගන්නවා.+ ඒ ගිවිසුමට එකඟව ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කරන එක මම කවදාවත් නතර කරන්නේ නැහැ.+ ඒ වගේම මං ගැන ගරුබියක් ඔවුන්ගේ හිත්වල මම ඇති කරනවා. එතකොට ඔවුන් මාව කවදාවත් අතහැරලා යන්නේ නැහැ.+ 41 මම හරිම සතුටින් ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කරනවා.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිරව පිහිටුවනවා.+ මං ඒ දේවල් කරන්නේ මගේ මුළු හදවතින්මයි, මුළු ශක්තියම යොදවලයි.’”*

42 “මොකද යෙහෝවා මෙහෙම කියනවා. ‘මම මේ සෙනඟ පිටට මේ හැම දරුණු විපතක්ම ගෙනාපු විදිහටම ඔවුන්ට පොරොන්දු වෙන හැම යහපත් දෙයක්මත් මම ලබා දෙනවා.+ 43 “කිසිම මිනිසෙක්වත් සතෙක්වත් නැතුව මේ දේශය පාළුවට ගිහින්. මේ දේශය දැන් කල්දිවරුන්ගේ අතට භාර දීලා” කියලා ඔබ කිව්වාට මේ දේශයේ වතුපිටි සල්ලි දීලා ගන්න කාලයක් ආයේ එනවා.’+

44 “‘මිනිස්සු සල්ලි දීලා වතුපිටි ගන්න, විකුණුම් ඔප්පු හදන, ඒවා මුද්‍රා කරන, සාක්ෂිකරුවන්ව කැඳවන කාලයක් එනවා.+ බෙන්ජමින් දේශයෙත් යෙරුසලම අවට තියෙන ප්‍රදේශවලත් යූදාවල නගරවලත්+ කඳුකරයේ තියෙන නගරවලත් පහත් බිම්වල+ සහ දකුණේ තියෙන නගරවලත් එහෙම කරන කාලයක් එනවා. මොකද වහලුන් විදිහට ඉන්න සෙනඟව මම ආපහු අරන් එනවා’+ කියලා යෙහෝවා කියනවා.”

33 මුරකරුගේ මළුවේ රඳවලා හිටිය යෙරෙමියාට දෙවෙනි පාරටත් යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා.+ දෙවියන් මෙහෙම කිව්වා. 2 “පොළොවේ සැදුම්කරු යෙහෝවායි. පොළොව හදලා ඒක ස්ථිරව පිහිටෙව්වේ ඔහුයි. ඔහුගේ නම යෙහෝවායි. යෙහෝවා මෙහෙම කියනවා. 3 ‘මට කතා කරන්න. මම ඔබට උත්තර දෙනවා. ඔබ දැනන් හිටියේ නැති, ඔබට තේරුම්ගන්න බැරි ශ්‍රේෂ්ඨ දේවල් ගැන මම හරිම කැමැත්තෙන් ඔබට කියලා දෙනවා.’”+

4 “මේ නගරයේ ගෙවල් සහ යූදාවල රජවරුන්ගේ මාලිගා කඩලා දාන්න වුණා. එහෙම කළේ නගරයට පහර දෙන්න සතුරන් හදපු බැම්මෙන් සහ කඩු පහරෙන් ආරක්ෂා වෙන්නයි. ඒ විදිහට කඩලා දාපු ගෙවල් ගැන ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට කියන්න දෙයක් තියෙනවා.+ 5 කල්දිවරුන්ට විරුද්ධව සටනට එන අය ගැනත් මගේ ඇවිළෙන කේන්තිය නිසා මැරුම් කන අයගේ මළ කඳන්වලින් පිරිලා යන මේ තැන් ගැනත් මට කියන්න දෙයක් තියෙනවා. ඔවුන්ගේ දුෂ්ටකම් නිසා මම මේ නගරය අතහැරියා. 6 මට කියන්න තියෙන්නේ මේකයි. ‘මම ඇයව සුව කරනවා. මම ඇයව ශක්තිමත් කරනවා.+ මම ඔවුන්ව සනීප කරලා සමාදානය සහ සත්‍යය කිසිම අඩුවක් නැතුව ඔවුන්ට ලබා දෙනවා.+ 7 වහලුන් විදිහට ඉන්න යූදා සහ ඊශ්‍රායෙල් සෙනඟව මම ආපහු ගේනවා.+ මම ඔවුන්ව ගොඩනඟනවා. ඔවුන් ආයෙත් කලින් හිටපු විදිහටම ඉඳියි.+ 8 ඔවුන් මට විරුද්ධව කරලා තියෙන හැම වරදක්ම මකලා දාලා මම ඔවුන්ව පිරිසිදු කරනවා.+ ඔවුන් මට විරුද්ධව කරපු වැරදිවලට මම ඔවුන්ට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා.+ 9 මම ඇය වෙනුවෙන් කරන යහපත් දේවල් ගැන පොළොවේ ඉන්න හැම ජාතියකටම අහන්න ලැබෙයි. ඇය නිසා ඔවුන් අතරේ මට ප්‍රසිද්ධියක්, සතුටක්, ප්‍රශංසාවක් සහ අලංකාරයක් ලැබෙයි.+ මම ඇය වෙනුවෙන් කරන යහපත් දේවල් නිසාත් ඇයට ලබා දෙන සමාදානය නිසාත්+ ඔවුන් බයෙන් වෙවුලයි.’”+

10 “යෙහෝවා මෙහෙම කියනවා. ‘කිසිම මිනිසෙක්වත් සතෙක්වත් නැතුව මේ දේශය පාළුවට ගිහින් කියලා ඔබ කියයි. ඒත් මේ දේශයෙන් ඒ කියන්නේ මිනිසුන්වත් සතුන්වත් නැතුව පාළුවට ගිය යූදාවල නගරවලින් සහ යෙරුසලමේ පාරවල්වලින් 11 සතුටින් කෑගහන හඬත් ප්‍රීති ඝෝෂා නඟන හඬත්+ මනාලයාගේ සහ මනාලියගේ හඬත් ආයෙත් ඇහෙයි. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට ස්තුති කරන්න. මොකද යෙහෝවා යහපත්.+ ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ”+ කියලා කියන අයගේ හඬත් ඇහෙයි.’

“‘ඔවුන් දෙවියන්ට ස්තුති කරන්න පූජා අරගෙන යෙහෝවා දෙවියන්ගේ මාලිගාවට එයි.+ මොකද මම වහලුන් විදිහට ඉන්න අයව ආපහු ගේනවා. ඔවුන් කලින් වගේම මේ දේශයේ ජීවත් වෙයි’ කියලා යෙහෝවා කියනවා.”

12 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘කිසිම මිනිසෙක්වත් සතෙක්වත් නැතුව පාළුවට ගිය මේ ස්ථානයේ වගේම හැම නගරයක් අවටම එඬේරුන්ට තමන්ගේ රැළ ගෙනියන්න තණබිම් තියෙයි.’+

13 “‘කඳුකරයේ තියෙන නගරවලත් පහත් බිම්වල සහ දකුණේ තියෙන නගරවලත් බෙන්ජමින් දේශයෙත් යෙරුසලම අවට තියෙන ප්‍රදේශවලත්+ යූදාවල නගරවලත්+ එඬේරු තමන්ගේ රැළේ බැටළුවන්ව ගණන් කරන කාලයක් ආයෙත් එනවා’ කියලා යෙහෝවා කියනවා.”

14 “යෙහෝවා මෙහෙම කියනවා. ‘ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන අයටත් යූදාගෙන් පැවතෙන අයටත් මම දුන්න පොරොන්දුව ඉටු කරන කාලය අනිවාර්යයෙන්ම එනවා.+ 15 ඒ දවස්වලදී දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ කෙනෙක්ව මම නැඟිට්ටවනවා.*+ ඔහු දේශය පුරා යුක්තිය සහ ධර්මිෂ්ඨකම පිහිටුවයි.+ 16 ඒ කාලේදී යූදාව බේරගන්නවා.+ ඊශ්‍රායෙල් සුරක්ෂිතව ජීවත් වෙනවා.+ ‘අපි ධර්මිෂ්ඨව ඉන්නේ යෙහෝවා නිසයි’ කියන නමින් ඇයව හඳුන්වනවා.’”+

17 “මොකද යෙහෝවා මෙහෙම කියනවා. ‘ඊශ්‍රායෙල් දේශයේ රජකම් කරන්න හැමදාමත් දාවිත්ගේ පෙළපතේ කෙනෙක් ඉඳියි.+ 18 මං ඉස්සරහා දවන පූජා ඔප්පු කරන්නත් ධාන්‍ය පූජා ගින්නෙන් දවලා ඔප්පු කරන්නත් අනිත් පූජා ඔප්පු කරන්නත් ලෙවී ගෝත්‍රයේ පූජකයෙක් හැමදාම ඉඳියි.’”

19 යෙහෝවාගෙන් යෙරෙමියාට ආයෙත් පණිවිඩයක් ලැබුණා. ඔහු මෙහෙම කිව්වා. 20 “යෙහෝවා මෙහෙම කියනවා. ‘රාත්‍රිය එක්කත් දවාල එක්කත් මං ඇති කරගෙන තියෙන ගිවිසුම කඩ කරලා නියම වෙලාවට දවාල සහ රාත්‍රිය එන එක වළක්වන්න ඔබට පුළුවන්ද?+ 21 එහෙම කරන්න ඔබට පුළුවන් වුණොත් විතරයි දාවිත්ගේ සිංහාසනයේ ඉඳගන්න ඔහුගේ පුතෙක් හැමදාම ඉන්නවා කියලා+ දාවිත් එක්ක මං ඇති කරගත්ත ගිවිසුම මං කඩ කරන්නේ.+ මගේ සේවකයන් වන ලෙවී ගෝත්‍රයේ පූජකයන් එක්ක මං ඇති කරගත්ත ගිවිසුම+ මං කඩ කරන්නේ. 22 අහසේ තරු ගණන් කරන්නවත් මුහුදු වෙරළේ වැලි මැනලා බලන්නවත් බැහැ වගේ මගේ සේවකයා වන දාවිත්ගෙන් පැවතෙන අයගේ ගාණත් මට සේවය කරන ලෙවීවරුන්ගේ ගාණත් කාටවත් ගණන් කරන්න බැරි වෙනවා. මම ඔවුන්ගේ ගාණ ඒ තරමටම වැඩි කරනවා.’”

23 යෙහෝවා ආයෙත් යෙරෙමියාට මෙහෙම කිව්වා. 24 “‘යෙහෝවා තෝරගත්ත පවුල් දෙක ඔහුම ප්‍රතික්ෂේප කරයි’ කියලා මේ සෙනඟ කියනවා ඔයාට ඇහුණේ නැද්ද? විරුද්ධවාදීන් මගේ සෙනඟට අගෞරව කරනවා. ඒ අය ආයෙත් ඔවුන්ව ජාතියක් විදිහට සලකන්නේ නැහැ.

25 “යෙහෝවා මෙහෙම කියනවා. ‘දවාල සහ රාත්‍රිය එක්ක මං ඇති කරගත්ත ගිවිසුමත්+ අහස සහ පොළොවට මං දුන්න නීතිත්+ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ වගේ 26 යාකොබ්ගේ පෙළපතත් මගේ සේවක දාවිත්ගේ පෙළපතත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා මං කියපු දේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගෙන් පැවතෙන අයව පාලනය කරන්න මම දාවිත්ගෙන් පැවතෙන අයව තෝරගන්නවා. වහලුන් විදිහට ඉන්න අයව මම ආයෙත් එකට එකතු කරනවා.+ මම ඔවුන්ට අනුකම්පාව පෙන්නනවා.’”+

34 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්,* ඔහුගේ මුළු හමුදාවත් ඔහු යටතේ තිබුණ පොළොවේ හැම රාජ්‍යයක්මත් ඒවාවල සෙනඟත් එක්ක යෙරුසලමට සහ ඒ අවට තිබුණ නගරවලට විරුද්ධව සටන් කරපු කාලේදී යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා.+

2 “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘යූදාවල රජ වන ශෙදකියා+ ළඟට ගිහින් මෙහෙම කියන්න. “යෙහෝවාගේ පණිවිඩය මේකයි. ‘මම මේ නගරය බැබිලෝනියේ රජගේ අතට භාර දෙනවා. ඔහු නගරයට ගිනි තියලා ඒක පුච්චලා දානවා.+ 3 ඔබට ඔහුගෙන් බේරෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඔබව අල්ලගෙන ඔහුගේ අතට භාර දෙනවා.+ ඔබට බැබිලෝනියේ රජව මූණට මූණ හම්බ වෙලා කතා කරන්න වෙනවා. ඔබව අනිවාර්යයෙන්ම බැබිලෝනියට අරගෙන යනවා.’+ 4 යූදා දේශය පාලනය කරන ශෙදකියා රජ්ජුරුවෙනි, යෙහෝවාගේ මේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න. ‘ඔබ ගැන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ කඩුවෙන් මැරුම් කන්නේ නැහැ. 5 ඔබ අද්දකින්නේ සාමාන්‍ය මරණයක්.+ ඔබේ පියවරුන් ඒ කියන්නේ ඔබට කලින් හිටපු රජවරු මැරුණාම සෙනඟ සුවඳ ද්‍රව්‍ය දවපු විදිහටම ඔබ වෙනුවෙනුත් සුවඳ ද්‍රව්‍ය දවනවා. ‘අනේ අපේ ස්වාමියා’ කියලා සෙනඟ ඔබ ගැන අඬා වැලපෙයි. ‘මම කියපු දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා’ කියලා යෙහෝවා කියනවා.”’”’”

6 අනාගතවක්තෘ යෙරෙමියා යෙරුසලමේදී ඒ හැම දෙයක්ම යූදාවල රජ වන ශෙදකියාට කිව්වා. 7 එයා ඒ දේවල් කිව්වේ බැබිලෝනියේ රජගේ හමුදාවන් යෙරුසලමටයි, යූදාවල ඉතුරු වෙලා තිබුණ+ ලාකිෂ්+ සහ අෂේකා+ කියන නගරවලටයි විරුද්ධව සටන් කරපු කාලේදී. යූදා දේශයේ පවුරුවලින් වට වෙලා තිබුණ නගර අතරින් ඉතුරු වෙලා තිබුණේ ඒ දෙක විතරයි.

8 යෙහෝවාගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක ලැබුණේ ශෙදකියා රජ වහලුන්ව නිදහස් කරනවා කියලා යෙරුසලමේ හිටපු සෙනඟ හැමෝම එක්ක ගිවිසුමක් ඇති කරගත්තාට පස්සෙයි.+ 9 ඒ ගිවිසුමට අනුව හැමෝම තමන්ගේ හෙබ්‍රෙව් ජාතික දාසයන්ව නිදහස් කරන්න ඕනේ. දාසයෙක් වුණත් දාසියක් වුණත් එයාලව නිදහස් කරලා යවන්න ඕනේ. කිසිම කෙනෙක්ට තවත් යුදෙව් ජාතිකයෙක්ව දාසයෙක් විදිහට තියාගන්න බැහැ. 10 ඉතින් අධිපතීන් හැමෝමයි, මුළු සෙනඟයි ඒකට කීකරු වුණා. තමන් ළඟ ඉන්න දාස දාසීන්ව නිදහස් කරනවා කියලත් එයාලව තවත් දාසයන් විදිහට තියාගන්නේ නැහැ කියලත් ඇති කරගත්ත ගිවිසුමට ඒ හැමෝම එකඟ වෙලයි තිබුණේ. එයාලා ඒකට කීකරු වෙලා දාසයන්ව නිදහස් කරලා යැව්වා. 11 ඒත් ඊටපස්සේ නිදහස් කරලා යවපු ඒ දාස දාසීන්ව එයාලා ආපහු ගෙන්නගෙන ඒ අයට දාසයන් විදිහට වැඩ කරන්න කියලා බල කළා. 12 එතකොට යෙරෙමියාට යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබුණා. යෙහෝවා එයාට මෙහෙම කිව්වා.

13 “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඊජිප්තුවේ වහලුන් වෙලා හිටපු ඔබේ මුතුන්මිත්තන්ව එහෙන් නිදහස් කරගෙන ආපු දවසේදී+ මම ඔවුන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ මම ඔවුන්ට මෙහෙම කිව්වා. 14 “ඔබ සල්ලි දීලා ගන්න ඔබේ හෙබ්‍රෙව් ජාතික සහෝදරයා අවුරුදු හයක් ඔබට සේවය කළාට පස්සේ හත්වෙනි අවුරුද්දේදී* ඔහුව නිදහස් කරලා යවන්න ඕනේ.”+ ඒත් ඔබේ මුතුන්මිත්තන් මට ඇහුම්කන් දුන්නෙවත් මට කීකරු වුණේවත් නැහැ. 15 හැබැයි මෑතකදී* ඔබ වෙනස් වුණා. ඔබේම ජාතියේ අයව නිදහස් කරලා යවලා මම හරියි කියලා සලකන දේ ඔබ කළා. මගේ නම දරන ගෘහයේදී මං ඉස්සරහා ඔබ ගිවිසුමකුත් ඇති කරගත්තා. 16 ඒත් ඊටපස්සේ ඔබ ආයෙත් වෙනස් වුණා. කැමති තැනකට ගිහින් ජීවත් වෙන්න කියලා නිදහස් කරලා යවපු ඔබේ දාස දාසීන්ව ඔබ ආපහු ගෙන්නගෙන ඔවුන්ට දාසයන් විදිහට වැඩ කරන්න කියලා බල කළා. එහෙම කරලා ඔබ මගේ නමට කළේ ලොකු අගෞරවයක්.’+

17 “ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘තමන්ගේ සහෝදරයාටත් අසල්වැසියාටත් ලැබෙන නිදහස ගැන නිවේදනය කරන්න කියලා මම අණ කළත් ඔබ ඒකට කීකරු වුණේ නැහැ.+ ඒ නිසා දැන් මම ඔබට ලැබෙන නිදහස ගැන නිවේදනය කරනවා’ කියලා යෙහෝවා කියනවා. ‘මම ඔබට කඩු පහරින්, සාගතයෙන් සහ වසංගතවලින්* මැරුම් කන්න ඉඩහරිනවා.+ ඒක තමයි ඔබට ලැබෙන නිදහස. මම ඔබට කරන දේ දැකලා පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+ 18 වස්සෙක්ව දෙපළු කරලා ඒ පළු දෙක මැදින් ගිහින් මාත් එක්ක ඇති කරගත්ත ගිවිසුම+ කඩ කරපු අයට මට කියන්න දෙයක් තියෙනවා. ඒ ගිවිසුමට ඇතුළත් වුණ දේවල් කඩ කරපු 19 යූදාවල සහ යෙරුසලමේ අධිපතීන්ව, රජමාලිගාවේ නිලධාරීන්ව, පූජකයන්ව සහ දේශයේ සෙනඟ හැමෝවම ඒ කියන්නේ දෙපළු කරපු වස්සා මැදින් ගිය ඒ හැමෝවම 20 මම ඔවුන්ගේ සතුරන් අතට භාර දෙනවා. ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතට භාර දෙනවා. ඔවුන්ගේ මළ මිනී කුරුල්ලන්ටත් වනසතුන්ටත් කෑම විදිහට දෙනවා.+ 21 යූදාවල රජ වන ශෙදකියාවයි, ඔහුගේ අධිපතීන්වයි ඔවුන්ගේ සතුරන්ගේ අතටත් ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතටත් මම භාර දෙනවා. නගරය වටලගෙන ඉඳලා දැන් අයින් වෙලා යන+ බැබිලෝනියේ රජගේ හමුදාවන් අතටත් ඔවුන්ව අල්ලලා දෙනවා.’+

22 “‘මම අණක් නිකුත් කරලා ඔවුන්ව ආපහු මේ නගරයට විරුද්ධව ගේනවා. ඔවුන් ඇවිත් මේ නගරයට විරුද්ධව සටන් කරලා ඒක අල්ලගනියි. ඔවුන් නගරයට ගිනි තියලා ඒක පුච්චලා දානවා.+ මම යූදාවල නගර මිනිස් පුළුටක් නැති පාළු තැනක් කරනවා’+ කියලා යෙහෝවා කියනවා.”

35 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම්+ යූදාවල රජකම් කරපු කාලේදී යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 2 “දැන් රේකාබ්වරුන්ගේ+ පවුලේ අයව හම්බ වෙන්න යන්න. එයාලා එක්ක කතා කරලා එයාලව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තියෙන කෑම කාමරයකට* එක්කගෙන එන්න. ඊටපස්සේ එයාලට බොන්න වයින් දෙන්න.”

3 ඉතින් මම හබෂ්ෂිනියාගේ පුතා වුණ යෙරෙමියාගේ පුතා යයෂනියාවයි, එයාගේ සහෝදරයන්වයි, එයාගේ පුතාලා හැමෝවමයි, රේකාබ්වරුන්ගේ පවුලේ හැමෝවමයි එක්කගෙන 4 යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගියා. මම එයාලව සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වුණ ඉග්දලියාගේ පුතා වුණ හානාන්ගේ පුතුන්ගේ කෑම කාමරයට එක්කගෙන ගියා. ඒක තිබුණේ දොරටු පාලකයෙක් වුණ ෂල්ලුම්ගේ පුතා වුණ මයසේයාගේ කෑම කාමරයට ඉහළින් තිබ්බ අධිපතීන්ගේ කෑම කාමරයට එහා පැත්තේ. 5 ඊටපස්සේ මම වයින් පුරවපු බඳුන් සහ කුසලාන රේකාබ්වරුන්ගේ පවුලේ අය ඉස්සරහින් තියලා “වයින් බොන්න” කියලා එයාලට කිව්වා.

6 ඒත් එයාලා මෙහෙම කිව්වා. “අපි වයින් බොන්නේ නැහැ. අපේ මුතුන්මිත්තා වුණ රේකාබ්ගේ පුතා යෙහොනාදාබ්*+ අපිට මේ වගේ අණක් දුන්නා. ‘ඔයාලවත් ඔයාලාගේ පුතාලාවත් කවදාවත් වයින් බොන්න එපා. 7 ගෙවල් හදන්නවත් බීජ වපුරන්නවත් මිදිවතු වවන්නවත් ඒවා අයිති කරගන්නවත් එපා. ඔයාලා දිගටම කූඩාරම්වල ජීවත් වෙන්න. එතකොට විදේශිකයන් විදිහට ඔයාලා ජීවත් වෙන දේශයේ ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලට පුළුවන් වෙයි.’ 8 ඉතින් අපි අපේ මුතුන්මිත්තා වුණ රේකාබ්ගේ පුතා යෙහොනාදාබ් අපිට අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම පිළිපදිනවා. ඒ නිසා අපිවත් අපේ භාර්යාවන්වත් අපේ දූපුතුන්වත් වයින් කටේවත් තියන්නේ නැහැ. 9 අපි ගෙවල් දොරවල් හදාගන්නේ නැහැ. අපිට මිදිවතුවත් කෙත්වතුවත් අයිති නැහැ. අපි බීජ වපුරන්නෙත් නැහැ. 10 අපි දිගටම කූඩාරම්වල ජීවත් වෙනවා. ඒ විදිහට අපි අපේ මුතුන්මිත්තා වුණ යෙහොනාදාබ්* අණ කරපු හැම දේකටම කීකරු වෙනවා. 11 ඒත් බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* දේශයට විරුද්ධව සටන් කරන්න ආවාම+ අපි මෙහෙම කතා වුණා. ‘කල්දිවරුන්ගෙයි, සිරියානුවන්ගෙයි හමුදාවෙන් බේරෙන්න අපි යෙරුසලමට යමු.’ ඉතින් දැන් අපි යෙරුසලමේ ජීවත් වෙනවා.”

12 එතකොට යෙහෝවා යෙරෙමියාට මෙහෙම කිව්වා. 13 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘යූදාවල වැසියන් ළඟටත් යෙරුසලමේ ඉන්න අය ළඟටත් ගිහින් මෙහෙම කියන්න. “මං කියන දේවලට කීකරු වෙන්න කියලා ඔබට දිගින් දිගටම මං කිව්වේ නැද්ද”+ කියලා යෙහෝවා අහනවා. 14 “රේකාබ්ගේ පුතා වුණ යෙහොනාදාබ් වයින් බොන්න එපා කියලා ඔහුගෙන් පැවතෙන අයට දුන්න අණ ඔවුන් ඒ විදිහටම පිළිපදිනවා. අද වෙන කල් වයින් උගුරක්වත් බොන්නේ නැතුව ඔවුන් ඔවුන්ගේ මුතුන්මිත්තාට කීකරු වෙනවා.+ ඒත් මම ඔබට ආයේ ආයේ* කියපු දේවලට ඔබ කීකරු වුණේ නැහැ.+ 15 මම දිගින් දිගටම මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔබ ළඟට එව්වා. ඔවුන්ව ආයේ ආයේ* එවලා+ ඔබට මෙහෙම කිව්වා. ‘ඔබ යන වැරදි මාර්ගවලින් හැරිලා ආපහු එන්න.+ හරි දේ කරන්න. වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඔවුන්ට සේවය කරන්න එපා. ඔබ කීකරු වුණොත් මං ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් දුන්න දේශයේ දිගටම ජීවත් වෙන්න ඔබට පුළුවන් වෙනවා.’+ ඒත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ. මං කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ. 16 රේකාබ්ගේ පුතා වුණ යෙහොනාදාබ්ගෙන් පැවතෙන අය ඔවුන්ගේ මුතුන්මිත්තා දුන්න අණට ඒ විදිහටම කීකරු වෙනවා.+ ඒත් මේ සෙනඟ මට ඇහුම්කන් දෙන්නේ නැහැ.”’”

17 “ඒ නිසා ස්වර්ගයේ සේනාවල දෙවියන්, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම යූදා දේශයටත් යෙරුසලමේ ඉන්න හැමෝටමත් විරුද්ධව ගේනවා කියලා කියපු හැම විපතක්ම මම අනිවාර්යයෙන්ම ඔවුන් පිටට ගේනවා.+ මොකද මම ඔවුන්ට කතා කළත් ඔවුන් මට ඇහුම්කන් දෙන්නේ නැහැ. මම දිගින් දිගටම ඔවුන්ට අඬගැහුවත් ඔවුන් මට කිසි උත්තරයක් දෙන්නේ නැහැ.’”+

18 යෙරෙමියා රේකාබ්වරුන්ගේ පවුලේ අයට මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබේ මුතුන්මිත්තා වුණ යෙහොනාදාබ් කියපු හැම දේකටම ඔබ ඒ විදිහටම කීකරු වුණා. ඔහු අණ කරපු විදිහට ඔබ හැම දෙයක්ම මේ වෙන කල් කරන නිසා 19 ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මේ දේ ඔබට කියනවා. “රේකාබ්ගේ පුතා වුණ යෙහොනාදාබ්ගෙන්* පැවතෙන කෙනෙක් මං ඉස්සරහා හැමදාම සේවය කරයි.”’”

36 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරපු හතරවෙනි අවුරුද්දේදී+ යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 2 “ලියවිල්ලක් අරගෙන ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟට විරුද්ධවත්+ හැම ජාතියකටම විරුද්ධවත්+ මං ඔයාට කියපු හැම දෙයක්ම ඒකේ ලියන්න. යොෂියාගේ කාලේදී මං ඔයාට මුලින්ම කතා කරපු දවසේ ඉඳලා මේ වෙන කල් කිව්ව හැම දෙයක්ම ඒකේ ලියන්න.+ 3 සමහරවිට යූදාවල සෙනඟ මම ඔවුන් පිටට ගේන්න අදහස් කරන විපත්ති ගැන අහලා ඔවුන් යන වැරදි මාර්ගවලින් හැරිලා එන්න පුළුවන්. ඔවුන් එහෙම කළොත් මම ඔවුන් කරපු වැරදිවලටත් ඔවුන්ගේ පව්වලටත් සමාව දෙනවා.”+

4 ඊටපස්සේ යෙරෙමියා නෙරියාගේ පුතා වුණ බාරුක්ට+ එන්න කියලා යෙහෝවා තමන්ට කියපු හැම දෙයක්ම එයාට කිව්වා. යෙරෙමියා කියද්දී බාරුක් ඒ හැම දෙයක්ම ලියවිල්ලේ ලිව්වා.+ 5 ඊටපස්සේ යෙරෙමියා බාරුක්ට මෙහෙම කිව්වා. “මට දැන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යන්න අවසර නැහැ. 6 ඒ නිසා ඔයාට තමයි යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යන්න වෙන්නේ. මං කියද්දී ඔයා ලියවිල්ලේ ලියාගත්ත යෙහෝවාගේ වචන එහෙට ගිහින් සෙනඟ නිරාහාරව ඉන්න දවසේදී එයාලට ඇහෙන්න කියවන්න. යූදාවල නගරවලින් එතනට එන හැමෝටම ඇහෙන්න ඒක කියවන්න. 7 ඒක අහලා දයාව පෙන්නන්න කියලා එයාලා යෙහෝවාට යාච්ඤා කළොත් ඔහු ඒ යාච්ඤාවලට ඇහුම්කන් දෙයි. සමහරවිට එයාලා යන වැරදි පාරෙන් එයාලා හැරිලා එයි. මොකද යෙහෝවා මේ සෙනඟ එක්ක ඉන්නේ ලොකු කේන්තියකින් කියලා ඔහු කියලා තියෙනවා.”

8 ඉතින් නෙරියාගේ පුතා වුණ බාරුක් අනාගතවක්තෘ යෙරෙමියා එයාට අණ කරපු හැම දෙයක්ම කළා. ලියවිල්ලේ ලියපු යෙහෝවාගේ වචන එයා හැමෝටම ඇහෙන්න යෙහෝවා දෙවියන්ගේ ගෘහයේදී කියෙව්වා.+

9 යොෂියාගේ පුතා සහ යූදාවල රජ වුණ යෙහෝයාකිම්+ පාලනය කරපු පස්වෙනි අවුරුද්දේ නමවෙනි මාසේදී යෙරුසලමේ සෙනඟටත් යූදා දේශයේ නගරවල ඉඳන් යෙරුසලමට ආව හැමෝටමත් යෙහෝවා ඉස්සරහා නිරාහාරව ඉන්න කියලා දැනුම් දුන්නා.+ 10 බාරුක් යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ඇවිල්ලා යෙරෙමියාගේ වචන ලියවිල්ලෙන් හැමෝටම ඇහෙන්න කියෙව්වා. එයා ඒක කියෙව්වේ පිටපත්කරුවෙක් වුණ ෂාපාන්ගේ+ පුතා වුණ ගෙමරියාගේ+ කෑම කාමරයේදී.* ඒක තිබුණේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ඉහළ මළුවේ අලුත් දොරටුවට ඇතුල් වෙන තැනට+ කිට්ටුවෙන්.

11 ලියවිල්ලේ තිබුණ යෙහෝවාගේ වචන ෂාපාන්ගේ පුතා වුණ ගෙමරියාගේ පුත් මිකායාට ඇහුණාම 12 එයා රජමාලිගාවේ තිබුණ ලේකම්ගේ කාමරයට ගියා. අධිපතීන්* හැමෝම එතන ඉඳගෙන හිටියා. ඒ කියන්නේ ලේකම් වුණ එලිෂාමා,+ ෂෙමායාගේ පුතා වුණ දෙලායා, අක්බොර්ගේ+ පුතා වුණ එල්නාතාන්,+ ෂාපාන්ගේ පුතා වුණ ගෙමරියා, හනනියාගේ පුතා වුණ ශෙදකියා සහ අනිත් අධිපතීන් හැමෝම එතන හිටියා. 13 බාරුක් සෙනඟට ඇහෙන්න ලියවිල්ලේ තිබුණ දේවල් කියවද්දී තමන්ට ඇහුණ හැම දෙයක්ම මිකායා ඒ අධිපතීන්ට කිව්වා.

14 එතකොට අධිපතීන් හැමෝම බාරුක්ව එක්කගෙන එන්න කියලා යෙහුදීව යැව්වා. යෙහුදී කියන්නේ කූෂිගේ පුතා වුණ ෂෙලෙමියාගේ පුතා වුණ නෙතනියාගේ පුතාට. බාරුක්ට මෙහෙම කියන්න කියලා අධිපතීන් යෙහුදීට කිව්වා. “සෙනඟට ඇහෙන්න ඔයා කියවපු ලියවිල්ලත් අරගෙන මෙහෙට එන්න.” ඉතින් නෙරියාගේ පුතා වුණ බාරුක් ඒ ලියවිල්ලත් අරගෙන අධිපතීන් හිටපු තැනට ගියා. 15 අධිපතීන් එයාට මෙහෙම කිව්වා. “මෙතන ඉඳගෙන අපිට ඇහෙන්න ඕක කියවන්න.” ඉතින් බාරුක් එයාලට ඇහෙන්න ඒක කියෙව්වා.

16 ඒ ලියවිල්ලේ තිබුණ දේවල් ඇහුව ගමන්ම එයාලා හොඳටම බය වෙලා මූණට මූණ බලාගත්තා. “අකුරක් නෑර මේ හැම දෙයක්ම අපි රජට කියන්න ඕනෙ” කියලා එයාලා බාරුක්ට කිව්වා. 17 ඊටපස්සේ එයාලා බාරුක්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට මේ දේවල් ලියන්න කිව්වේ කවුද? යෙරෙමියාද?” 18 එතකොට බාරුක් මෙහෙම උත්තර දුන්නා. “ඔව්, යෙරෙමියා කියද්දී මම මේ හැම දෙයක්ම තීන්තවලින් මේ ලියවිල්ලේ ලියාගත්තා.” 19 ඊටපස්සේ අධිපතීන් බාරුක්ට මෙහෙම කිව්වා. “දැන් ඉක්මනට ගිහින් හැංගෙන්න. ඔයායි, යෙරෙමියායි ඉන්නේ කොහෙද කියලා කාටවත් දැනගන්න තියන්න එපා.”+

20 ඊටපස්සේ එයාලා ඒ ලියවිල්ල ලේකම් වුණ එලිෂාමාගේ කාමරයේ තියලා රජව හම්බ වෙන්න ගියා. රජමාලිගාවේ මළුවේ හිටපු රජ ළඟට ගිහින් එයාලට අහන්න ලැබුණ හැම දෙයක්ම රජට කිව්වා.

21 ඉතින් රජ ඒ ලියවිල්ල අරගෙන එන්න කියලා යෙහුදීව යැව්වා.+ යෙහුදී ගිහින් ලේකම් වුණ එලිෂාමාගේ කාමරයේ තිබ්බ ලියවිල්ල අරගෙන ආවා. ඊටපස්සේ එයා රජටයි, රජ ඉස්සරහා හිටගෙන හිටපු අධිපතීන් හැමෝටමයි ඇහෙන්න ඒක කියෙව්වා. 22 මේ සිද්ධිය වුණේ නමවෙනි මාසේදී.* එතකොට රජ හිටියේ මාලිගාවේ ශීත කාලය ගත කරන්න හදලා තිබුණ කොටසේ. උණුසුම ලබාගන්න රජ ඉස්සරහා ගිනි දල්වපු භාජනයක් තිබුණා. 23 යෙහුදී ලියවිල්ලෙන් කොටස් තුන හතරක් කියෙව්වාට පස්සේ ලේකම්ගේ පිහියෙන් රජ ඒ කොටස ඉරලා භාජනයේ ඇවිළෙමින් තිබුණ ගින්නට වීසි කළා. ලියවිල්ලේ ඉතුරු කොටස්වලටත් එයා ඒ දේම කළා. ඒ විදිහට මුළු ලියවිල්ලම එයා පුච්චලා දැම්මා. 24 ලියවිල්ලේ තිබුණ දේවල් කියවද්දී අහගෙන හිටපු රජටවත් සේවකයන්ටවත් කිසිම බයක් දැනුණේ නැහැ. එයාලා ඇඳුම් ඉරාගත්තෙත් නැහැ. 25 එල්නාතානුයි,+ දෙලායායි,+ ගෙමරියායි+ ලියවිල්ල පුච්චන්න එපා කියලා බැගෑපත් වෙලා රජගෙන් ඉල්ලුවත් රජ ඒක ගාණකටවත් ගත්තේ නැහැ. 26 රජ, අනාගතවක්තෘ යෙරෙමියාවයි, ලේකම් වුණ බාරුක්වයි අල්ලගෙන එන්න කියලා රජගේ පුතා* වුණ යෙරාමෙයෙල්ටත් අෂ්‍රියෙල්ගේ පුතා වුණ සෙරායාටත් අබ්දෙයෙල්ගේ පුතා වුණ ෂෙලෙමියාටත් අණ කළා. ඒත් යෙහෝවා ඒ දෙන්නාව හංගලා තිබ්බා.+

27 යෙරෙමියා කියද්දී බාරුක් ලියාගත්ත ලියවිල්ල රජ පුච්චලා දැම්මාට පස්සේ යෙහෝවාගෙන් යෙරෙමියාට තවත් පණිවිඩයක් ලැබුණා.+ ඔහු මෙහෙම කිව්වා. 28 “තවත් ලියවිල්ලක් අරගෙන යූදාවල රජ වන යෙහෝයාකිම් පුච්චලා දැම්ම ලියවිල්ලේ+ තිබුණ හැම දෙයක්ම ඒ විදිහටම ඒකේ ලියන්න. 29 යූදාවල රජ වන යෙහෝයාකිම්ට විරුද්ධව මේ දේ කියන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා. “‘මොකටද මේ ලියවිල්ලේ “බැබිලෝනියේ රජ ඇවිත් මේ දේශය අනිවාර්යයෙන්ම විනාශ කරනවා. මෙහේ ඉන්න මිනිසුන්වයි, සතුන්වයි නැත්තටම නැති කරලා දානවා” කියලා ලිව්වේ?’ එහෙම කියලා ඔබ ඒක පුච්චලා දැම්මා.+ 30 ඒ නිසා යූදාවල රජ වන යෙහෝයාකිම්ට විරුද්ධව යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔහුගෙන් පැවතෙන කිසිම කෙනෙක් දාවිත්ගේ සිංහාසනයේ ඉඳගන්න ඉතුරු වෙන්නේ නැහැ.+ ඔහුගේ මළ කඳ දවාලේ අව්වට පිච්චි පිච්චි තියෙයි. රාත්‍රියේ සීතලට අහු වෙයි.+ 31 ඔහුටත් ඔහුගෙන් පැවතෙන අයටත් ඔහුගේ සේවකයන්ටත් ඔවුන්ගේ වරදට මට වග කියන්න වෙනවා. මම ඔවුන් පිටටත් යෙරුසලමේ සහ යූදාවල ඉන්න සෙනඟ පිටටත් ගේනවා කියලා කියපු හැම විපතක්ම අනිවාර්යයෙන්ම ගේනවා.+ මොකද ඔවුන් මට ඇහුම්කන් දුන්නේ නැහැ.’”’”+

32 ඉතින් යෙරෙමියා තවත් ලියවිල්ලක් අරගෙන ඒක නෙරියාගේ පුතා සහ ලේකම් වුණ බාරුක්ට දුන්නා.+ යූදාවල රජ වන යෙහෝයාකිම් පුච්චලා දාපු ලියවිල්ලේ ලියලා තිබුණ හැම දෙයක්ම යෙරෙමියා කියද්දී බාරුක් ඒකේ ලිව්වා.+ මුල් ලියවිල්ලේ තිබුණ දේවල්වලට අමතරව තවත් ගොඩක් දේවල් ඒකේ ලිව්වා.

37 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* යූදා දේශය පාලනය කරන්න යෙහෝයාකිම්ගේ පුතා වුණ කොනියා*+ වෙනුවට යොෂියාගේ පුතා වුණ ශෙදකියාව+ පත් කළා.+ 2 ඒත් ශෙදකියා රජවත් එයාගේ සේවකයොවත් දේශයේ සෙනඟවත් යෙහෝවා දෙවියන් අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් කියපු දේවලට ඇහුම්කන් දුන්නේ නැහැ.

3 ශෙදකියා රජ ෂෙලෙමියාගේ පුතා වුණ යෙහුකල්වයි,+ පූජක මයසේයාගේ පුතා වුණ ශෙපනියාවයි+ අනාගතවක්තෘ යෙරෙමියා ළඟට යැව්වා. යෙරෙමියාට මෙහෙම කියන්න කියලා රජ කිව්වා. “අනේ, අපේ දෙවි වන යෙහෝවාට අපි වෙනුවෙන් යාච්ඤා කරන්න.” 4 ඒ කාලේ යෙරෙමියාට නිදහසේ එහේ මෙහේ යන්න පුළුවන්කම තිබුණා. මොකද ඒ වෙද්දී එයාව හිරේට දාලා තිබුණේ නැහැ.+ 5 ඔය අතරේ පාරාවෝගේ හමුදාව ඊජිප්තුවේ ඉඳන්+ එනවා කියලා යෙරුසලම වටලගෙන හිටපු කල්දිවරුන්ට ආරංචි වුණා. ඒ නිසා කල්දිවරු යෙරුසලමෙන් ගියා.+ 6 එතකොට අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවාගෙන් මේ පණිවිඩය ලැබුණා. 7 “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මගෙන් තොරතුරු අහන්න කියලා ඔබව මං ළඟට එවපු යූදාවල රජට මේ දේ කියන්න. “ඔබේ උදව්වට එන පාරාවෝගේ හමුදාවට ආපහු ඔවුන්ගෙම දේශයට හැරිලා යන්න වෙනවා.+ 8 කල්දිවරු ආයෙත් ඇවිත් මේ නගරයට විරුද්ධව සටන් කරනවා. ඒක අල්ලගෙන ඒකට ගිනි තියනවා.”+ 9 යෙහෝවා මෙහෙමත් කියනවා. “‘කල්දිවරු ආයේ එන එකක් නැහැ’ කියකිය ඔබවම රවට්ටගන්න එපා. මොකද ඔවුන් අනිවාර්යයෙන්ම ආපහු එනවා. 10 ඔබට විරුද්ධව සටන් කරන කල්දිවරුන්ගේ මුළු හමුදාවටම ඔබ පහර දුන්නා කියලා හිතන්න. ඉතුරු වෙලා ඉන්න තුවාල වෙච්ච අය හරි කූඩාරම්වලින් නැඟිටලා ඇවිත් මේ නගරයට ගිනි තියලා ඒක විනාශ කරනවා.”’”+

11 පාරාවෝගේ හමුදාව එන නිසා කල්දිවරුන් යෙරුසලමෙන් ගියාට පස්සේ+ 12 යෙරෙමියා තමන්ගේ සෙනඟ අතරේ තිබුණ එයාට අයිති උරුමය ලබාගන්න යෙරුසලමේ ඉඳන් බෙන්ජමින් දේශයට+ යන්න පිටත් වුණා. 13 ඒත් යෙරෙමියා බෙන්ජමින් දොරටුව ළඟට ආවාම හනනියාගේ පුතා වුණ ෂෙලෙමියාගේ පුතා සහ මුරකරුවන්ගේ ප්‍රධානියා වුණ ඉරියා අනාගතවක්තෘ යෙරෙමියාව අල්ලගෙන මෙහෙම ඇහුවා. “ඔයා කල්දිවරුන්ට භාර වෙන්න නේද ඔය යන්නේ?” 14 එතකොට යෙරෙමියා මෙහෙම කිව්වා. “මං කල්දිවරුන්ට භාර වෙන්න නෙමෙයි යන්නේ.” ඒත් ඉරියා යෙරෙමියා කිව්ව දේ පිළිගත්තේ නැහැ. එයා යෙරෙමියාව අත්අඩංගුවට අරන් අධිපතීන් ළඟට අරගෙන ගියා. 15 අධිපතීන්ට යෙරෙමියා එක්ක හොඳටම කේන්ති ගිහින්+ එයාට හොඳටම ගහලා එයාව හිරේ දැම්මා.*+ එයාව දැම්මේ හිරගෙයක් විදිහට පාවිච්චි කරපු යෙහොනාතාන් කියන ලේකම්වරයාගේ ගෙදරට. 16 යෙරෙමියාව හිර කළේ පොළොව යට තිබුණ කුටියක. එයාට ගොඩක් දවස් ඒකේ ඉන්න වුණා.

17 ඊටපස්සේ ශෙදකියා රජ යෙරෙමියාව රජමාලිගාවට ගෙන්නගෙන කාටත් හොරෙන් එයාගෙන් ප්‍රශ්න කළා.+ රජ යෙරෙමියාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබුණාද?” එතකොට යෙරෙමියා මෙහෙම කිව්වා. “ඔව්, ඔබව බැබිලෝනියේ රජගේ අතට අනිවාර්යයෙන්ම අල්ලලා දෙනවා කියලා මට පණිවිඩයක් ලැබුණා.”+

18 යෙරෙමියා ශෙදකියා රජට මෙහෙමත් කිව්වා. “මම ඔබටයි, ඔබේ සේවකයන්ටයි, මේ සෙනඟටයි විරුද්ධව කරපු වරද මොකක්ද? මාව මෙහෙම හිර කරලා තියන්නේ ඇයි? 19 ‘බැබිලෝනියේ රජ ඔබටවත් මේ දේශයටවත් විරුද්ධව එන්නේ නැහැ’ කියලා අනාවැකි කියපු ඔබේ අනාගතවක්තෘවරුන් දැන් කෝ?+ 20 මගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, අනේ මම කියන දේට ඇහුම්කන් දෙන්න. මගේ ඉල්ලීම අහක දාන්න එපා. ලේකම් වන යෙහොනාතාන්ගේ ගෙදරට නම් මාව ආපහු යවන්න එපා.+ එහේ හිටියොත් මං මැරෙයි.”+ 21 ඉතින් ශෙදකියා රජ යෙරෙමියාව මුරකරුගේ මළුවේ රඳවලා තියන්න කියලා අණ කළා.+ යෙරෙමියාට රොටි හදන්නන්ගේ වීථියෙන් හැමදාම රොටියක් හම්බ වුණා.+ නගරයේ රොටි හදන එක නතර වෙන කල්ම+ එයාට රොටිය ගාණේ හම්බ වුණා. යෙරෙමියාව දිගටම මුරකරුගේ මළුවේ රඳවලා තිබ්බා.

38 යෙරෙමියා සෙනඟට කියපු දේවල් මත්තාන්ගේ පුතා වුණ ෂෙපටියාටයි, පෂ්හූර්ගේ පුතා වුණ ගෙදලියාටයි, ෂෙලෙමියාගේ පුතා වුණ යූකල්ටයි,+ මල්කියාගේ පුතා වුණ පෂ්හූර්ටයි+ ආරංචි වුණා. යෙරෙමියා සෙනඟට මෙහෙම කිව්වා. 2 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. ‘කෙනෙක් මේ නගරයට වෙලා හිටියොත් ඔහුට කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින්* මැරුම් කන්න වෙනවා.+ ඒත් කල්දිවරුන්ට යටත් වෙන කෙනාට දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතය වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා.’+ 3 යෙහෝවා මෙහෙම කියනවා. ‘මේ නගරය අනිවාර්යයෙන්ම බැබිලෝනියේ රජගේ හමුදාව අතට භාර දෙනවා. ඔහු මේ නගරය අල්ලගන්නවා.’”+

4 අධිපතීන් රජට මෙහෙම කිව්වා. “ඒ වගේ දේවල් කියලා එයා මේ නගරේ ඉතුරු වෙලා ඉන්න සෙබළු ටිකයි, මිනිස්සුන්වයි අධෛර්යය කරනවා. ඒ මනුස්සයාව මරලා දාන්න ඕනේ.+ එයාට ඕනෙ සෙනඟට හොඳක් කරන්න නෙමෙයි. එයා බලාගෙන ඉන්නේ සෙනඟ විනාශ වෙන කල්.” 5 ඉතින් ශෙදකියා රජ එයාලට මෙහෙම කිව්වා. “ඔබ කැමති දෙයක් එයාට කරන්න. ඔබට විරුද්ධ වෙන්න මට බැහැ.”

6 ඊටපස්සේ අධිපතීන් යෙරෙමියාව රජගේ පුතා* වුණ මල්කියාට අයිති ළිඳකට* දැම්මා. ඒ ළිඳ තිබුණේ මුරකරුගේ මළුවේ.+ එයාලා කඹවලින් යෙරෙමියාව ළිඳට බැස්සුවා. ඒ ළිඳේ වතුර තිබුණේ නැහැ. ඒකේ තිබුණේ මඩ විතරයි. ඉතින් යෙරෙමියා මඩේ එරෙන්න පටන්ගත්තා.

7 අධිපතීන් යෙරෙමියාට කරපු දේ ගැන රජමාලිගාවේ නිලධාරියෙක්* වුණ ඉතියෝපියානු ජාතික ඒබෙද්මෙලෙක්ට+ ආරංචි වුණා. ඒ වෙලාවේ රජ බෙන්ජමින් දොරටුව+ ළඟ වාඩි වෙලයි හිටියේ. 8 ඒබෙද්මෙලෙක් රජමාලිගාවෙන් එළියට ගිහින් රජව හම්බ වෙලා රජට මෙහෙම කිව්වා. 9 “මගේ ස්වාමීන් වන රජතුමනි, මේ කට්ටිය අනාගතවක්තෘ යෙරෙමියාට කරලා තියෙන්නේ හරිම දුෂ්ට දෙයක්. එයාලා යෙරෙමියාව ළිඳකට දාලා. සාගතේ නිසා එයා බඩගින්නේ මැරිලා යයි. මොකද නගරේ කොහෙවත් රොටි හොයාගන්න නැහැ.”+

10 එතකොට රජ ඉතියෝපියානු ජාතික ඒබෙද්මෙලෙක්ට මෙහෙම අණ කළා. “අනාගතවක්තෘ යෙරෙමියා මැරෙන්න කලින් මෙහේ ඉන්න මිනිස්සු 30දෙනෙක්ව අරගෙන ගිහින් එයාව ළිඳෙන් එළියට ගන්න.” 11 ඉතින් ඒබෙද්මෙලෙක් මිනිස්සුන්වත් අරගෙන රජමාලිගාවේ භාණ්ඩාගාරයට පහළින් තිබුණ කාමරයකට+ ගිහින් පරණ රෙදි කෑලි සහ වැරහැලි ටිකක් අරගත්තා. ඊටපස්සේ ඒවා කඹවලින් යෙරෙමියා හිටපු තැනට බැස්සුවා. 12 ඉතියෝපියානු ජාතික ඒබෙද්මෙලෙක් යෙරෙමියාට මෙහෙම කිව්වා. “කඹයට කැපෙන්නේ නැති වෙන්න ඔය රෙදි කෑලියි, වැරහැලියි ඔයාගේ කිහිලි යටින් තියාගන්න.” යෙරෙමියා එහෙම කළා. 13 ඊටපස්සේ එයාලා කඹවලින් ඇදලා යෙරෙමියාව ළිඳෙන් එළියට ගත්තා. යෙරෙමියාව දිගටම මුරකරුගේ මළුවේ රඳවලා තිබ්බා.+

14 ශෙදකියා රජ අනාගතවක්තෘ යෙරෙමියාව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තුන්වෙනි දොරටුව ළඟට ගෙන්නගත්තා. රජ යෙරෙමියාට මෙහෙම කිව්වා. “මට දෙයක් අහන්න තියෙනවා. කිසි දෙයක් හංගන්නේ නැතුව මට හැම දෙයක්ම කියන්න.” 15 එතකොට යෙරෙමියා ශෙදකියාට මෙහෙම කිව්වා. “මං හංගන්නේ නැතුව හැම දෙයක්ම ඔබට කිව්වොත් ඔබ අනිවාර්යයෙන්ම මාව මරලා දානවා. මං ඔබට උපදෙස් දුන්නත් ඔබ ඒක පිළිගන්නේ නැහැ.” 16 ඉතින් ශෙදකියා රජ යෙරෙමියාට රහසින් දිවුරලා මෙහෙම පොරොන්දු වුණා. “මං ඔයාව මරන්නේ නැහැ. ඔයාව මරන්න හොයන මේ මිනිස්සුන්ගේ අතට ඔයාව අල්ලලා දෙන්නෙත් නැහැ. අපිට ජීවිතේ දුන්න ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මං ඒක කියනවා.”

17 එතකොට යෙරෙමියා ශෙදකියාට මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල දෙවියන් වන ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබ බැබිලෝනියේ රජගේ අධිපතීන්ට යටත් වුණොත් ඔබේ ජීවිතය බේරෙයි. මේ නගරයට ගිනි තියලා ඒක පුච්චලා දාන්නෙත් නැහැ. ඔබත් ඔබේ පවුලේ අයත්* ආරක්ෂා වෙයි.+ 18 ඒත් ඔබ බැබිලෝනියේ රජගේ අධිපතීන්ට යටත් වුණේ නැත්නම් මේ නගරය කල්දිවරුන්ගේ අතට භාර දෙනවා. ඔවුන් මේ නගරයට ගිනි තියලා ඒක පුච්චලා දානවා.+ ඔබටත් ඔවුන්ගේ අතින් බේරෙන්න ලැබෙන්නේ නැහැ.’”+

19 එතකොට ශෙදකියා රජ යෙරෙමියාට මෙහෙම කිව්වා. “කල්දිවරුන්ට භාර වුණ යුදෙව්වන් නිසා මට බයක් දැනෙනවා. මාව එයාලාගේ අතට අල්ලලා දුන්නොත් එයාලා මට කුරිරු විදිහට සලකයි කියලා මට බයයි.” 20 ඒත් යෙරෙමියා ශෙදකියා රජට මෙහෙම කිව්වා. “ඔබව එයාලාගේ අතට අහු කරලා දෙන්නේ නැහැ. අනේ, යෙහෝවාගේ හඬට කීකරු වෙලා මං කියන දේ කරන්න. එහෙම කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඔබට දිගටම ජීවත් වෙන්න පුළුවන් වෙයි. 21 ඒත් ඔබ කල්දිවරුන්ට යටත් වෙන්නේ නැත්නම් වෙන දේ ගැන යෙහෝවා මට හෙළි කළා. 22 බලන්න! යූදාවල රජමාලිගාවේ ඉතුරු වෙලා ඉන්න ස්ත්‍රීන් හැමෝවම බැබිලෝනියේ රජගේ අධිපතීන් ඉස්සරහට ගෙනියනවා.+ ඔවුන් මෙහෙම කියයි.

‘ඔබ විශ්වාසය තියපු පුරුෂයන් ඔබව රැවැට්ටුවා. ඔවුන් ඔබට වඩා ශක්තිමත් කියලා පෙන්නුවා.+

ඔවුන් ඔබේ පාද මඩේ එරෙන්න සැලැස්සුවා.

දැන් ඔවුන් ඔබව අතහැරලා.’

23 ඔවුන් ඔබේ භාර්යාවන් සහ පුතුන් හැමෝවම කල්දිවරුන් ඉස්සරහට අරගෙන යනවා. ඔබට ඔවුන්ගේ අතින් බේරෙන්න ලැබෙන්නේ නැහැ. බැබිලෝනියේ රජ ඔබව අල්ලගන්නවා.+ ඔබ නිසා මේ නගරයට ගිනි තියලා ඒක අළු කරලා දානවා.”+

24 එතකොට ශෙදකියා යෙරෙමියාට මෙහෙම කිව්වා. “මේ දේවල් ගැන වෙන කාටවත් කියන්න එපා. කිව්වොත් ඔයාට මැරුම් කන්න වෙයි. 25 මම ඔයාත් එක්ක කතා කළා කියලා අධිපතීන්ට ආරංචි වෙලා එයාලා ඇවිත් ඔයාගෙන් මෙහෙම අහන්න පුළුවන්. ‘ඔයා රජතුමාට මොනවාද කිව්වේ? කිසිම දෙයක් අපෙන් හංගන්න එපා. අපි ඔයාව මරන්නේ නැහැ.+ රජතුමා ඔයාට මොනවාද කිව්වේ කියලා අපිට කියන්න.’ 26 එතකොට ඔයා එයාලට මෙහෙම කියන්න. ‘මම රජතුමාගෙන් ඉල්ලීමක් කළා. යෙහොනාතාන්ගේ ගෙදරට මාව ආපහු යවන්න එපා කියලා මං ඉල්ලුවා. මොකද එහෙට ගියොත් මං මැරෙයි.’”+

27 පස්සේ අධිපතීන් හැමෝම යෙරෙමියා ළඟට ඇවිල්ලා එයාගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. එතකොට රජ කියන්න කියලා අණ කරපු විදිහටම යෙරෙමියා හැම දෙයක්ම එයාලට කිව්වා. ඉතින් එයාලා ආයේ මුකුත් යෙරෙමියාගෙන් අහන්න ගියේ නැහැ. මොකද යෙරෙමියා එක්ක රජ කතා කරපු දේවල් ගැන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. 28 යෙරුසලම යටත් කරගත්ත දවස වෙන කල්ම යෙරෙමියාව මුරකරුගේ මළුවේ රඳවලා තිබ්බා.+ කල්දිවරු යෙරුසලම යටත් කරගද්දීත් යෙරෙමියා හිටියේ එතනයි.+

39 යූදාවල රජ වුණ ශෙදකියා පාලනය කරපු නමවෙනි අවුරුද්දේ දහවෙනි මාසේ බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* සහ එයාගේ මුළු හමුදාවම යෙරුසලමට ඇවිත් ඒක වැටලුවා.+

2 ශෙදකියා පාලනය කරපු 11වෙනි අවුරුද්දේ හතරවෙනි මාසේ නමවෙනි දවසේදී හමුදාව නගරයේ පවුර කඩලා දැම්මා.+ 3 බැබිලෝනියේ රජගේ අධිපතීන් හැමෝම නගරයට ඇතුල් වෙලා මැද දොරටුව ළඟ ඉඳගත්තා.+ ඒ කියන්නේ සම්ගර් කියන තනතුර දරන නේර්ගල්ෂරෙෂෙර්, රබ්සාරිස්* කියන තනතුර දරන නෙබෝසර්සෙකිම්, රබ්මග්* කියන තනතුර දරන නේර්ගල්ෂරෙෂෙර් සහ අනිත් අධිපතීන් හැමෝම ගිහින් දොරටුව ළඟ ඉඳගත්තා.

4 එයාලව දැකලා යූදාවල රජ වුණ ශෙදකියාත් සෙබළු හැමෝමත් පැනලා දිව්වා.+ රාත්‍රියේදී එයාලා රජගේ උයන හරහා ගිහින් තාප්ප දෙක අතරේ තිබුණ දොරටුවෙන් පිට වෙලා නගරයෙන් පැනලා ගියා. අරබා නිම්නයට යන පාරේ එයාලා දිගටම ගියා.+ 5 ඒත් කල්දිවරුන්ගේ හමුදාව එයාලා පස්සෙන් පන්නගෙන ගිහිල්ලා යෙරිකෝවට කිට්ටුවෙන් තියෙන පාළුකරයේදී ශෙදකියාව අල්ලගත්තා.+ ඊටපස්සේ කල්දිවරුන්ගේ හමුදාව හමාත් දේශයේ+ රිබ්ලාවල+ හිටපු බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* ළඟට එයාව අරගෙන ගියා. රජ එහෙදී ශෙදකියාට ලැබෙන්න ඕනෙ දඬුවම නියම කළා. 6 බැබිලෝනියේ රජ ශෙදකියාගේ පුතාලව එයා ඉස්සරහම රිබ්ලාවලදී මරලා දැම්මා. යූදාවල වංශවත් අයවත් මරලා දැම්මා.+ 7 ඊටපස්සේ බැබිලෝනියේ රජ ශෙදකියාගේ ඇස් අන්ධ කරලා එයාට තඹ විලංගු දාලා එයාව බැබිලෝනියට අරගෙන ගියා.+

8 කල්දිවරු රජමාලිගාවයි, සෙනඟගේ ගෙවල් දොරවලුයි ගිනි තියලා විනාශ කරලා දැම්මා.+ යෙරුසලමේ පවුරුත් කඩලා දැම්මා.+ 9 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ නගරයේ ඉතුරු වෙලා හිටපු හැමෝවමයි, එයාට යටත් වුණ අයවයි, නගරය අවට ඉතුරු වෙලා හිටපු අනිත් අයවයි වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියා.

10 ඒත් කිසිම දෙයක් නැති, දුප්පත්ම අයගෙන් සමහරදෙනෙක්ව ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් යූදා දේශයේ තියලා ගියා. ඒ අයට වගා කරන්න කියලා එදා එයා මිදිවතු සහ කෙත්වතු භාර දුන්නා.*+

11 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* යෙරෙමියා ගැන මේ වගේ අණක් ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්ට දුන්නා. 12 “එයාව ඔයාගේ භාරයට අරගෙන එයාව බලාගන්න. එයාට කරදරයක් කරන්න එපා. එයා ඉල්ලන ඕනෙම දෙයක් දෙන්න.”+

13 ඉතින් ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්, රබ්සාරිස් කියන තනතුර දරන නෙබුෂෂ්බාන්, රබ්මග් කියන තනතුර දරන නේර්ගල්ෂරෙෂෙර් සහ බැබිලෝනියේ රජගේ ප්‍රධානීන් හැමෝම මිනිස්සුන්ව යවලා 14 මුරකරුගේ මළුවේ රඳවලා හිටපු යෙරෙමියාව නිදහස් කළා.+ ඊටපස්සේ එයාලා යෙරෙමියාව ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්ගේ+ පුත් ගෙදලියාට+ භාර දුන්නා. එහෙම කළේ එයාට ගෙදලියාගේ ගෙදර ඉන්න පුළුවන් වෙන්නයි. ඉතින් යෙරෙමියා සෙනඟ අතරේ ජීවත් වුණා.

15 යෙරෙමියාව මුරකරුගේ මළුවේ රඳවලා හිටපු කාලේදී+ එයාට යෙහෝවාගෙන් මේ පණිවිඩය ලැබුණා. 16 “ගිහින් ඉතියෝපිය ජාතික ඒබෙද්මෙලෙක්ට+ මේ දේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මේ නගරයට යහපතක් කරනවා වෙනුවට විපත්ති ගේනවා කියලා මං කියපු දේ මං ඒ විදිහටම ඉටු කරනවා. ඒක වෙන දවසේදී ඔයා ඒක දකියි.”’

17 “‘ඒත් එදාට මම ඔයාව බේරගන්නවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඔයා බයෙන් ඉන්න මිනිස්සුන්ගේ අතට ඔයාව භාර දෙන්නේ නැහැ.’

18 “‘මම ඔයාට බේරෙන්න විදිහක් පෙන්නලා දෙනවා. ඔයා කඩුවෙන් මැරුම් කන්නේ නැහැ. ඔයා මං ගැන විශ්වාසය තිබ්බ නිසා+ ඔයාගේ ජීවිතය වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා’+ කියලා යෙහෝවා කියනවා.”

40 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ යෙරෙමියාව රාමාවලදී+ නිදහස් කළාට පස්සෙත් යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා. නෙබුෂරදාන් යෙරෙමියාගේ අත් දම්වැල්වලින් බැඳලා එයාව රාමාවලට අරන් ගිහින් තිබුණා. එයා හිටියේ යෙරුසලමේ සහ යූදාවල ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරන් යන්න හිටපු සෙනඟ අතරෙයි. 2 යෙරෙමියාව නිදහස් කරන්න කලින් ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා එයාට මෙහෙම කිව්වා. “මේ දේශයට වෙන්න යන විනාශය ගැන ඔබේ දෙවි වන යෙහෝවා කලින්ම කිව්වා. 3 කියපු විදිහටම යෙහෝවා දෙවියන් ඒ විනාශය ගෙනාවා. එහෙම කළේ මේ සෙනඟ යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැරදි කරපු නිසයි. ඔහු කියපු දේවලට අකීකරු වුණ නිසයි. මේ හැම දෙයක්ම ඔයාලට වුණේ ඒ නිසයි.+ 4 ඔයාගේ අත් බැඳලා තියෙන දම්වැල් ගලවලා දාලා මම අද ඔයාව නිදහස් කරනවා. ඔයා කැමති නම් මාත් එක්ක බැබිලෝනියට යන්න එන්න. මං ඔයාව බලාගන්නම්. ඒත් බැබිලෝනියට යන්න ඔයා කැමති නැත්තං මෙහේ ඉන්න. මේ දේශයේ කැමති තැනකට ගිහින් ජීවත් වෙන්න ඔයාට නිදහස තියෙනවා.”+

5 යෙරෙමියා ආපහු යන්න කලින් නෙබුෂරදාන් එයාට මෙහෙම කිව්වා. “යූදාවල නගර බලාගන්න බැබිලෝනියේ රජ ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්ගේ+ පුත් ගෙදලියාව+ පත් කරලා තියෙනවා. එයා ළඟට ගිහින් එයාත් එක්ක ජීවත් වෙන්න. එහේ ඉන්න සෙනඟ එක්ක ඉන්න ඔයාටත් පුළුවන්. එහෙම නැත්තං ඔයා කැමති ඕනෙම තැනකට යන්න.”

ඊටපස්සේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා යෙරෙමියාට කෑමයි, තෑග්ගකුයි දීලා එයාව නිදහස් කළා. 6 ඉතින් යෙරෙමියා මිෂ්පාවල හිටපු අහිකාම්ගේ පුතා වුණ ගෙදලියා ළඟට ගියා.+ දේශයේ ඉතුරු වෙලා හිටපු සෙනඟ අතරේ ජීවත් වුණ ගෙදලියා එක්ක යෙරෙමියාත් හිටියා.

7 තමන්ගේ සෙබළු එක්ක දේශය පුරාම හිටපු හමුදාවේ ප්‍රධානීන්ට ආරංචි වුණා බැබිලෝනියේ රජ යූදා දේශය බලාගන්න අහිකාම්ගේ පුත් ගෙදලියාව පත් කළා කියලා. බැබිලෝනියට අරගෙන යන්නේ නැතුව දේශයේ ඉතුරු කරලා ගිය දුප්පත් අය අතරේ හිටපු පුරුෂයන්ව, ස්ත්‍රීන්ව, දරුවන්ව බලාගන්නත් එයාව පත් කරලා තියෙනවා කියලා එයාලට ආරංචි වුණා.+ 8 ඉතින් එයාලා මිෂ්පාවල හිටපු ගෙදලියා ළඟට ආවා.+ නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල්,+ කාරියාගේ පුතාලා වුණ යෝහානාන්+ සහ යොනාතාන්, තන්හුමෙත්ගේ පුතා වුණ සෙරායා, නෙටොෆාවල කෙනෙක් වුණ ඒෆයිගේ පුතාලා, මයකාවල කෙනෙක්ගේ පුතෙක් වුණ යෙෂනියා+ සහ එයාලාගේ සෙබළු ගෙදලියා ළඟට ආවා. 9 එතකොට ෂාපාන්ගේ පුතා වුණ අහිකාම්ගේ පුත් ගෙදලියා එයාලයි, එයාලාගේ සෙබළුයි ඉස්සරහා දිවුරලා මෙහෙම කිව්වා. “කල්දිවරුන්ට සේවය කරන්න බය වෙන්න එපා. මේ දේශයේ ඉඳන් බැබිලෝනියේ රජට සේවය කරන්න. එහෙම කළොත් ඔයාලට කිසි කරදරයක් වෙන්නේ නැහැ.+ 10 මම මිෂ්පාවලම ඉන්නවා. එතකොට මට පුළුවන් මෙහෙට එන කල්දිවරුන් එක්ක ඔයාලා හැමෝම වෙනුවෙන් කතා කරන්න. ඒත් ඔයාලා, ඔයාලා අයිති කරගත්ත නගරවලට ගිහිල්ලා ජීවත් වෙන්න. වයින්, ගිම්හාන කාලේ හැදෙන පලතුරු, තෙල් ඔයාලාගේ බඳුන්වලට රැස් කරගන්න.”+

11 බැබිලෝනියේ රජ යූදා සෙනඟගෙන් කොටසක් ඉතුරු කරලා ගියා කියලත් එයාලව බලාගන්න ෂාපාන්ගේ පුතා වුණ අහිකාම්ගේ පුත් ගෙදලියාව පත් කළා කියලත් මෝවබ්වලයි, අම්මොන්වලයි, ඒදොම්වලයි, අනිත් හැම දේශයකමයි හිටපු යුදෙව්වන්ට ආරංචි වුණා. 12 ඉතින් එක එක දේශවලට විසිරිලා ගිහින් හිටපු යුදෙව්වන් ආපහු යූදා දේශයට එන්න පටන්ගත්තා. ඒ හැමෝම මිෂ්පාවල හිටපු ගෙදලියා ළඟට ආවා. එයාලා වයින් සහ ගිම්හාන කාලේ හැදෙන පලතුරු විශාල ප්‍රමාණයක් එකතු කරගත්තා.

13 කාරියාගේ පුතා වුණ යෝහානාන් සහ දේශය පුරා විසිරිලා හිටපු හමුදාවේ ප්‍රධානීන් මිෂ්පාවල හිටපු ගෙදලියා ළඟට ආවා. 14 එයාලා ගෙදලියාට මෙහෙම කිව්වා. “අම්මොන්වරුන්ගේ+ රජ වන බාලිස් ඔබව මරලා දාන්න නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්ව එව්වා කියලා ඔබ දන්නේ නැද්ද?”+ ඒත් අහිකාම්ගේ පුතා වුණ ගෙදලියා එයාලා කියපු දේ විශ්වාස කළේ නැහැ.

15 කාරියාගේ පුතා වුණ යෝහානාන් මිෂ්පාවලදී ගෙදලියාට රහසින් මෙහෙම කිව්වා. “නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල්ව මරලා දාන්න මට ඉඩ දෙන්න. මං ඒ ගැන කාටවත් දැනගන්න තියන්නේ නැහැ. අපි එයාව මැරුවේ නැත්නම් එයා ඔබව මරයි. එහෙම වුණොත් ඔබ ළඟට ඇවිත් ඉන්න යූදාවල සෙනඟ ආපහු විසිරිලා යයි. ඉතුරු වෙලා ඉන්න යුදෙව්වන්ව නැත්තටම නැති වෙලා යන්න ඉඩ දෙන්නේ කොහොමද?” 16 ඒත් අහිකාම්ගේ පුතා වුණ ගෙදලියා+ කාරියාගේ පුත් යෝහානාන්ට මෙහෙම කිව්වා. “ඔයා ඉෂ්මායෙල් ගැන කියන දේවල් බොරු. ඒ නිසා එයාව මරන්න එපා.”

41 හත්වෙනි මාසේදී එලිෂාමාගේ පුතා වුණ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්+ මිනිස්සු දහදෙනෙක් එක්ක මිෂ්පාවල හිටපු අහිකාම්ගේ පුතා වුණ ගෙදලියාව හම්බ වෙන්න ආවා.+ ඉෂ්මායෙල් කියන්නේ රජ පවුලට අයිති, රජගේ ප්‍රධාන නිලධාරියෙක්. ඒ හැමෝම මිෂ්පාවල එකට කෑම කෑවා. 2 කෑම කකා ඉද්දී නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් සහ එයා එක්ක ආව මිනිස්සු දහදෙනා නැඟිටලා ෂාපාන්ගේ පුතා වුණ අහිකාම්ගේ පුත් ගෙදලියාට කඩුවෙන් පහර දීලා එයාව මරලා දැම්මා. ඒ විදිහට බැබිලෝනියේ රජ දේශය බලාගන්න පත් කරපු කෙනාව ඉෂ්මායෙල් මරලා දැම්මා. 3 එයා ගෙදලියා එක්ක මිෂ්පාවල හිටපු යුදෙව්වන් හැමෝවමත් එහේ හිටපු කල්දිවරුන්ගේ සෙබළුන්වත් මරලා දැම්මා.

4 ඊළඟ දවස වෙන කල්ම ගෙදලියාව මරලා දාලා කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. එදා 5 ෂීකෙම්,+ ෂීලෝ+ සහ සමාරියේ+ ඉඳන් මිනිස්සු 80දෙනෙක් ආවා. එයාලා හිටියේ රැවුල් සම්පූර්ණයෙන්ම කපලා, ඇඳුම් ඉරාගෙන, ඇඟ කපාගෙන.+ එයාලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගෙනියන්න ධාන්‍ය පූජා සහ කට්ටකුමංජල්+ අරන් ඇවිත් තිබුණා. 6 එයාලව හම්බ වෙන්න නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් මිෂ්පාවල ඉඳන් අඬඅඬ ඇවිදගෙන ගියා. එයාලව මුණගැහුණාම එයා මෙහෙම කිව්වා. “අහිකාම්ගේ පුතා වුණ ගෙදලියා ඉන්න තැනට එන්න.” 7 ඒ අය නගරයට ඇතුල් වුණාට පස්සේ නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් සහ එයා එක්ක හිටපු මිනිස්සු ඒ අයව මරලා වතුර වළකට වීසි කළා.

8 ඒ අයගෙන් දහදෙනෙක් ඉෂ්මායෙල්ට මෙහෙම කිව්වා. “අනේ, අපිව මරන්න එපා. අපි තිරිඟුයි, බාර්ලියි, තෙලුයි, මීපැණියි ඉඩමක හංගලා තියෙනවා.” ඉතින් ඉෂ්මායෙල් ඒ අයව එයාලාගේ සහෝදරයන් එක්ක මරලා දැම්මේ නැහැ. 9 ඉෂ්මායෙල්, එයා මරපු හැමෝවම ලොකු වතුර වළකට වීසි කරලා දැම්මා. ඒ වළ හදලා තිබුණේ ආසා රජ. එයා ඒක හැදුවේ ඊශ්‍රායෙල්වල රජ වුණ බාෂා එක්ක සටන් කරපු කාලේදී.+ ඒ වළ තමයි නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් මළ කඳන්වලින් පිරෙව්වේ.

10 ඊටපස්සේ ඉෂ්මායෙල් මිෂ්පාවල ඉතුරු වෙලා හිටපු හැමෝවම+ ඒ කියන්නේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්, අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර දුන්න හැමෝවමයි,+ රාජ කුමාරිකාවන්වයි වහලුන් විදිහට අල්ලගත්තා. නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් ඒ හැමෝවම අරගෙන අම්මොන්වරුන්ගේ දේශයට යන්න පිටත් වුණා.+

11 නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් කරපු ඒ හැම දුෂ්ට වැඩක් ගැනම කාරියාගේ පුතා වුණ යෝහානාන්ටත්+ එයා එක්ක හිටපු හමුදාවේ ප්‍රධානීන්ටත් ආරංචි වුණා. 12 එතකොට එයාලා, එයාලත් එක්ක හිටපු පුරුෂයන් හැමෝවම එකතු කරගෙන නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල්ට විරුද්ධව සටන් කරන්න ගියා. එයාලා ගිබියොන්වල විශාල ජලාශය* ළඟදී ඉෂ්මායෙල්ව හොයාගත්තා.

13 ඉෂ්මායෙල් අරගෙන ගිය සෙනඟ කාරියාගේ පුතා වුණ යෝහානාන්වයි, එයා එක්ක හිටපු හමුදාවේ ප්‍රධානීන්වයි දැක්කාම ගොඩක් සතුටු වුණා. 14 මිෂ්පාවල ඉඳන් ඉෂ්මායෙල් වහලුන් විදිහට අල්ලගෙන ගිය+ ඒ සෙනඟ එයාගෙන් බේරිලා කාරියාගේ පුතා වුණ යෝහානාන් ළඟට ආවා. 15 ඒත් නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් සහ එයාත් එක්ක හිටපු මිනිස්සු අටදෙනෙක් යෝහානාන්ගෙන් බේරිලා අම්මොන්වරු ළඟට පැනලා ගියා.

16 නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් අහිකාම්ගේ පුතා වුණ ගෙදලියාව මැරුවාට පස්සේ+ මිෂ්පාවලින් අරගෙන ගිය සෙනඟව කාරියාගේ පුතා වුණ යෝහානාන් සහ එයා එක්ක හිටපු හමුදාවේ ප්‍රධානීන් ආපහු අරගෙන ආවා. යෝහානාන් සහ එයා එක්ක හිටපු කට්ටිය පුරුෂයන්වයි, සෙබළුන්වයි, ස්ත්‍රීන්වයි, දරුවන්වයි, රජගේ නිලධාරීන්වයි බේරගෙන ගිබියොන්වල ඉඳන් අරගෙන ආවා. 17 ඒ කට්ටිය බෙත්ලෙහෙම+ ළඟ තිබුණ කිම්හාම්ගේ නවාතැනේ නතර වුණා. එයාලා අදහස් කරගෙන හිටියේ ඊජිප්තුවට යන්නයි.+ 18 මොකද එයාලා හිටියේ කල්දිවරුන්ට බයෙන්. බැබිලෝනියේ රජ දේශය බලාගන්න පත් කරපු අහිකාම්ගේ පුතා වුණ ගෙදලියාව නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් මරලා දාපු නිසා ඒ කට්ටියට කල්දිවරුන් ගැන ලොකු බයක් දැනුණා.+

42 ඊටපස්සේ හමුදාවේ ප්‍රධානීන් හැමෝමයි, කාරියාගේ පුතා වුණ යෝහානානුයි,+ හෝෂායාගේ පුතා වුණ යෙෂනියායි, මුළු සෙනඟයි ඒ කියන්නේ ලොකු කුඩා හැමෝම 2 අනාගතවක්තෘ යෙරෙමියා ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අනේ, අපේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න. අපි හැමෝම වෙනුවෙන් ඔයාගේ දෙවි වන යෙහෝවාට යාච්ඤා කරන්න. ඔයාට පේනවානේ කලින් ලොකු සෙනඟක් හිටියාට දැන් ඉතුරු වෙලා ඉන්නේ ටිකදෙනායි කියලා.+ ඉතුරු වෙලා ඉන්න ටිකදෙනා වෙනුවෙන් යාච්ඤා කරන්න. 3 ඔයාගේ දෙවි යෙහෝවා අපි යන්න ඕනෙ පාර අපිට පෙන්නලා දෙයි. අපි කරන්න ඕනෙ මොනවාද කියලා අපිට කියයි.”

4 අනාගතවක්තෘ යෙරෙමියා එයාලට මෙහෙම කිව්වා. “හරි, ඔයාලා ඉල්ලපු විදිහටම මම ඔයාලාගේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්නම්. යෙහෝවා කියන හැම වචනයක්ම මං ඒ විදිහටම ඔයාලට කියන්නම්. කිසිම දෙයක් ඔයාලාගෙන් හංගන්නේ නැහැ.”

5 එයාලා යෙරෙමියාට මෙහෙම කිව්වා. “ඔයාගේ දෙවි යෙහෝවා ඔයා මාර්ගයෙන් අපිට කරන්න කියන දේ අපි කළේ නැත්තං යෙහෝවාම අපිට විරුද්ධව සාක්ෂි දෙයි. ඔහු විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවෙක්. 6 අපි වෙනුවෙන් දෙවියන්ගෙන් විමසන්න කියලා අපි ඔබෙන් ඉල්ලුවා. අපේ දෙවි යෙහෝවා කියන දේට අපි කැමති වුණත් නැතත් අපි ඔහුට කීකරු වෙනවා. අපේ දෙවි යෙහෝවාට කීකරු වුණොත් අපිට වරදින්නේ නැහැ.”

7 දවස් දහයකට පස්සේ යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. 8 ඉතින් යෙරෙමියා, කාරියාගේ පුතා වුණ යෝහානාන්ටයි, එයාත් එක්ක හිටපු හමුදාවේ ප්‍රධානීන් හැමෝටමයි, මුළු සෙනඟටයි ඒ කියන්නේ ලොකු කුඩා හැමෝටම එන්න කිව්වා.+ 9 යෙරෙමියා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා වෙනුවෙන් දෙවියන් ඉස්සරහා කන්නලව් කරන්න කියලා ඔයාලා මගෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීමට ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම උත්තර දෙනවා. 10 ‘ඔබ දිගටම මේ දේශයේ ජීවත් වුණොත් මම ඔබව ගොඩනඟනවා, ඔබව විනාශ කරලා දාන්නේ නැහැ. මම ඔබව හිටවනවා. ඔබව උදුරලා දාන්නේ නැහැ. මම ඔබ පිටට විපත්ති ගෙනාවත් ඒවා හැමදාටම තියෙන්න මං ඉඩ දෙන්නේ නැහැ.+ 11 ඔයාලා බයෙන් ඉන්න බැබිලෝනියේ රජට තවත් බය වෙන්න එපා.’+

“‘ඔහුට බය වෙන්න එපා’ කියලා යෙහෝවා කියනවා. ‘මොකද ඔහුගේ අතින් ඔබව බේරගන්නත් ඔබව ගලවගන්නත් මම ඔබ එක්කම ඉන්නවා. 12 මම ඔබට දයාව පෙන්නනවා.+ ඒ නිසා ඔහු ඔබට අනුකම්පා කරලා ආපහු ඔබේ දේශයට හැරිලා යන්න ඔබට ඉඩ දෙයි.

13 “‘ඒත් ඔබ කියන්න පුළුවන් “අපිට මේ දේශයේ ඉන්න බැහැ” කියලා. ඔබේ දෙවි වන යෙහෝවාගේ වචනයට අකීකරු වෙලා 14 ඔබ මෙහෙම කියන්න ඉඩ තියෙනවා. “අපි ඊජිප්තු දේශයට යනවා.+ එහෙදී අපිට යුද්ධ දකින්නවත් යුද්දෙට සෙනඟ රැස් කරන හොරණෑවේ හඬ අහන්නවත් කෑම නැතුව බඩගින්නේ ඉන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එහේ ජීවත් වෙනවා.” 15 යූදාවල ඉතුරු වෙලා ඉන්න සෙනඟෙනි, ඔබ එහෙම කිව්වොත් යෙහෝවා ඔබට මේ පණිවිඩය දෙනවා. ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ඊජිප්තුවට යන්න ඔබ ගත්ත තීරණය කොහොමටවත් වෙනස් නොකර, ජීවත් වෙන්න* එහෙට ගියොත් 16 ඔබ බයෙන් ඉන්න සතුරාම ඔබේ පස්සෙන් එළවගෙන ඇවිත් ඊජිප්තු දේශයේදී ඔබට කඩුවෙන් පහර දෙයි. සාගතයට බයෙන් ඔබ ඊජිප්තුවට පලා ගියත් එහෙදීත් ඒකට මූණ දෙන්න ඔබට සිද්ධ වෙයි. එහෙදී ඔබ මැරිලා යයි.+ 17 ඊජිප්තුවට ගිහින් එහේ ජීවත් වෙන්න හිතාගෙන ඉන්න හැමෝම කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින්* මැරුම් කනවා. මං ඔවුන් පිටට ගේන විපත්තිවලින් ඔවුන්ගෙන් කිසිම කෙනෙක් බේරෙන්නේ නැහැ.”’

18 “මොකද ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබ ඊජිප්තුවට ගියොත් යෙරුසලමේ සෙනඟට විරුද්ධව මම මගේ කේන්තිය පිට කරපු විදිහටම+ ඔබට විරුද්ධවත් මගේ කේන්තිය පිට කරනවා. ඔබට වෙන දේ දැකලා මිනිස්සු පුදුම වෙයි. ඔවුන් ඔබට ශාප කරයි, සමච්චල් කරයි, ඔබව පිළිකුල් කරයි.+ ඔබට ආයේ කවදාවත් මේ දේශය දකින්න ලැබෙන්නේ නැහැ.’

19 “යූදාවල ඉතුරු වෙලා ඉන්න සෙනඟෙනි, ඊජිප්තුවට යන්න එපා කියලා යෙහෝවා ඔයාලට කිව්වා. අද මම ඔයාලට ඒ ගැන අනතුරු ඇඟෙව්වා කියලා මතක තියාගන්න. 20 ඔයාලාගේ වරදට ඔයාලාගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා. මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවාගෙන් විමසන්න කියලා මාව ඔහු ළඟට යැව්වේ ඔයාලමයි. ඔයාලා මට මෙහෙම කිව්වා. ‘අපි වෙනුවෙන් අපේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්න. අපේ දෙවි යෙහෝවා කියන හැම දෙයක්ම අපිට කියන්න. අපි ඒ විදිහටම කරනවා.’+ 21 මං අද දෙවියන් කියපු හැම දෙයක්ම ඔයාලට කිව්වා. ඔයාලට කියන්න කියලා ඔහු මට කියපු කිසිම දෙයක් ඔයාලා කරන්නේ නැහැ. ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා කියන දේවලට ඇහුම්කන් දෙන්නෙත් නැහැ.+ 22 ඒ නිසා ඔයාලා ගිහින් ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න දේශයේදී ඔයාලට කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින් මැරුම් කන්න වෙනවා. ඒක ස්ථිරවම වෙනවා කියලා දැනගන්න.”+

43 යෙහෝවා දෙවියන් දන්වපු හැම දෙයක්ම යෙරෙමියා සෙනඟට කිව්වා. එයාලාගේ දෙවි වන යෙහෝවා කියපු හැම වචනයක්ම සෙනඟට කිව්වා. 2 එතකොට හෝෂායාගේ පුතා වුණ අෂරියායි, කාරියාගේ පුතා වුණ යෝහානානුයි,+ එතන හිටපු උද්ධච්ච මිනිස්සු හැමෝමයි යෙරෙමියාට මෙහෙම කිව්වා. “ඔයා ඔය කියන්නේ බොරු. ‘පදිංචි වෙන්න ඊජිප්තුවට යන්න එපා’ කියලා අපිට කියන්න අපේ දෙවි යෙහෝවා ඔයාව එව්වේ නැහැ. 3 අර නෙරියාගේ පුතා බාරුක්+ තමයි එහෙම කියන්න කියලා ඔයාව උසිගැන්නුවේ. එයාට ඕනෙ කල්දිවරුන්ගේ අතට අපිව අල්ලලා දීලා අපිව මරලා දාන්න. එහෙමත් නැත්තං වහලුන් විදිහට අපිව බැබිලෝනියට යවන්න.”+

4 යූදා දේශයේ දිගටම ඉන්න කියලා යෙහෝවා කියපු දේට කාරියාගේ පුතා වුණ යෝහානාන්වත් හමුදාවේ ප්‍රධානීන්වත් මුළු සෙනඟවත් කීකරු වුණේ නැහැ. 5 ඒ වෙනුවට කාරියාගේ පුතා වුණ යෝහානාන් සහ හමුදාවේ ප්‍රධානීන් යූදාවල ඉතුරු වෙලා හිටපු සෙනඟව අරගෙන යන්න පිටත් වුණා. විවිධ දේශවලට විසිරිලා ගිහින් හිටියත් ආපහු යූදා දේශයට ආපු යුදෙව්වන්ව තමයි ඒ විදිහට අරන් ගියේ.+ 6 පුරුෂයන්වත් ස්ත්‍රීන්වත් දරුවන්වත් රාජ කුමාරිකාවන්වත් ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්ගේ+ පුත් ගෙදලියාට+ භාර දීලා ගිය හැමෝවමත් එයාලා අරගෙන ගියා. අනාගතවක්තෘ යෙරෙමියාව සහ නෙරියාගේ පුතා වුණ බාරුක්වත් එයාලා අරගෙන ගියා. 7 යෙහෝවා කියපු දේට අකීකරු වුණ එයාලා ඊජිප්තු දේශයට ගියා. එයාලා තාහ්පනේස් වෙන කල්ම ගියා.+

8 තාහ්පනේස්වලදී යෙහෝවාගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඔහු මෙහෙම කිව්වා. 9 “ලොකු ගල් කීපයක් අරගෙන තාහ්පනේස්වල පාරාවෝගේ මාලිගාවට ඇතුල් වෙන දොරටුව ළඟට යන්න. ඒ දොරටුව ළඟ තියෙන වේදිකාවේ අතුරලා තියෙන ගඩොල් අතරේ ඒ ගල් තියලා බදාමවලින් ඒවා වහන්න. යුදෙව්වන් බලාගෙන ඉද්දීම ඒක කරන්න. 10 ඊටපස්සේ එයාලට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මම මගේ සේවකයාව, බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ව* කැඳවනවා.+ මං හංගපු මේ ගල් උඩ මම ඔහුගේ සිංහාසනය පිහිටුවනවා. ඔහු මෙතන තමන්ගේ රාජකීය කූඩාරම ගහගනියි.+ 11 ඔහු ඇවිත් ඊජිප්තුවට පහර දෙනවා.+ සමහරු මාරාන්තික වසංගතවලට ගොදුරු වෙනවා. තව සමහරුන්ව වහල්කමට ගෙනියනවා. තවත් සමහරු කඩුවෙන් මැරුම් කනවා.+ 12 ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට මම ගිනි තියනවා.+ ඔහු ඒවා පුච්චලා දාලා ඔවුන්ව වහලුන් විදිහට අරගෙන යයි. එඬේරෙක් හරිම ලේසියෙන් තමන්ගේ ඇඳුම දාගන්නවා වගේ ඔහු මුළු ඊජිප්තු දේශයම ලේසියෙන් යටත් කරගෙන කරදරයක් නැතුව* එතනින් පිටත් වෙලා යනවා. 13 ඔහු ඊජිප්තුවේ බෙත්ෂෙමෙෂ්වල* තියෙන කුලුනු* කෑලි කෑලිවලට කඩලා දානවා. ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට ඔහු ගිනි තියලා ඒවා පුච්චලා දානවා.”’”

44 ඊජිප්තුවේ+ මිග්දෝල්වල,+ තාහ්පනේස්වල,+ නොෆ්වල*+ සහ පත්‍රොස් දේශයේ+ හිටපු යුදෙව්වන් හැමෝටම කියන්න පණිවිඩයක් යෙරෙමියාට ලැබුණා. ඒ පණිවිඩය මේකයි. 2 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම යෙරුසලම පිටටත්+ යූදා දේශයේ හැම නගරයක් පිටටත් ගෙනාපු හැම විපතක්ම ඔබ දැක්කා. අද ඒවා මිනිස් පුළුටක් නැති නටබුන් ගොඩක් වෙලා.+ 3 එහෙම වුණේ ඔවුන් දුෂ්ට දේවල් කරලා මාව කේන්ති ගස්සපු නිසයි.+ ඔවුන් ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් දැනන් හිටියේ නැති වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළා.+ දිගින් දිගටම ඔවුන්ට පූජා ඔප්පු කළා. 4 මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් හැමෝවම මම දිගින් දිගටම ඔබ ළඟට එව්වා. මම ඔවුන්ව ආයේ ආයේ* එවලා මෙහෙම කිව්වා. “අනේ, මම පොඩ්ඩක්වත් කැමති නැති මේ පිළිකුල් දේ කරන්න එපා.”+ 5 ඒත් ඔවුන් මට ඇහුම්කන් දුන්නේ නැහැ. මම කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ. වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරන එක නවත්තලා ඔවුන් ගිය දුෂ්ට මාර්ගයෙන් හැරිලා ආවේ නැහැ.+ 6 ඉතින් මම මගේ කේන්තිය ඔවුන්ට විරුද්ධව පිට කළා. ඒක ගින්නක් වගේ ඇවිළිලා යූදාවල නගරයි, යෙරුසලමේ පාරවලුයි පුච්චලා දැම්මා. ඒවා පාළුවට ගිය නටබුන් ගොඩක් වුණා. අදටත් ඒවා තියෙන්නේ එහෙම්මමයි.’+

7 “ස්වර්ගයේ සේනාවල දෙවියන්, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා දැන් මෙහෙම කියනවා. ‘ඔබ ලොකු විපතක් ඔබ පිටට ගෙන්නගන්න හදන්නේ ඇයි? ඒකෙන් යූදාවල පුරුෂයනුයි, ස්ත්‍රීනුයි, දරුවනුයි, ළදරුවනුයි විනාශ වෙලා යයි. එතකොට කිසිම කෙනෙක් ඉතුරු වෙන එකක් නැහැ. 8 ඔබ පදිංචි වෙන්න ගිය ඊජිප්තු දේශයේදී ඔබ වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරනවා. මේ වගේ වැඩ කරලා ඔබ මාව කේන්ති ගස්සන්නේ ඇයි? ඒකෙන් වෙන්නේ ඔබ නැත්තටම නැති වෙලා යන එකයි. පොළොවේ ඉන්න හැම ජාතියක්ම අනිත් අයට ශාප කරද්දී ඔබට වෙන විපත ගැන මතක් කරයි. ඔවුන් ඔබට සමච්චල් කරයි.+ 9 ඔබේ මුතුන්මිත්තනුයි, යූදාවල රජවරුනුයි,+ ඔවුන්ගේ භාර්යාවනුයි+ කරපු දුෂ්ට වැඩ ඔබට මතක නැද්ද? ඒ විතරක් නෙමෙයි ඔබයි, ඔබේ භාර්යාවනුයි යූදා දේශයෙත් යෙරුසලමේ පාරවල්වලත් කරපු දුෂ්ටකම්+ දැන් මතක නැද්ද? 10 ඒත් අද වෙන කල් ඔවුන් මං ඉස්සරහා යටහත්පහත් වුණේ නැහැ.* ඔවුන් මට කිසිම ගෞරවයක්* පෙන්නුවේ නැහැ.+ ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් දුන්න මගේ නීතිවත් අණපනත්වත් ඔවුන් පිළිපැද්දේ නැහැ.’+

11 “ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබ පිටට විපත්ති ගෙනල්ලා යූදාවල හැමෝවම විනාශ කරලා දාන්න මම තීරණය කළා. 12 ඊජිප්තුවට ගිහින් එහේ පදිංචි වෙන්න තීරණය කරපු ඉතුරු වෙලා ඉන්න යුදෙව්වන්ව මම අල්ලගන්නවා. ඔවුන් හැමෝම ඊජිප්තු දේශයේදී විනාශ වෙනවා.+ ඔවුන් කඩුවෙනුත් සාගතයෙනුත් පහර කනවා. ලොකු කුඩා හැමෝම සාගතයෙන් සහ කඩුවෙන් මැරුම් කනවා. ඔවුන්ට වෙන දේ දැකලා මිනිස්සු පුදුම වෙනවා. මිනිස්සු ඔවුන්ට ශාප කරයි, සමච්චල් කරයි. ඔවුන්ව පිළිකුල් කරයි.+ 13 යෙරුසලමේ සෙනඟට මම කඩුවෙන්, සාගතයෙන්, වසංගතවලින්* පහර දීලා දඬුවම් කරපු විදිහටම ඊජිප්තුවේ පදිංචියට ගිය අයටත් මම දඬුවම් කරනවා.+ 14 ඉතුරු වෙලා ඉන්න යුදෙව්වන් පදිංචි වෙන්න ඊජිප්තු දේශයට ගියත් ඔවුන් බේරෙන්නේ නැහැ. ආයේ යූදා දේශයට එන්න ඔවුන්ගෙන් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. ආපහු ඇවිත් යූදා දේශයේ ජීවත් වෙන්න ඔවුන් ආසාවෙන් හිටියත් බේරෙන කීපදෙනෙක් ඇරෙන්න වෙන කාටවත් එන්න ලැබෙන්නේ නැහැ.’”

15 තමන්ගේ භාර්යාවන් වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරනවා කියලා දැනගෙන හිටපු පුරුෂයන් හැමෝමයි, එතන හිටගෙන හිටපු එයාලාගේ භාර්යාවනුයි ලොකු කණ්ඩායමක් විදිහට එකතු වුණා. ඒ හැමෝමයි, ඊජිප්තුවේ+ පත්‍රොස්වල+ ජීවත් වුණ සෙනඟ හැමෝමයි යෙරෙමියාට මෙහෙම කිව්වා. 16 “යෙහෝවාගේ නමින් ඔයා අපිට කියපු දේවල් අපි අහන්නේ නැහැ. 17 ඒ වෙනුවට අපි කියපු විදිහටම අපි අහස් දේවතාවියට* පූජා ඔප්පු කරනවා. ඇය වෙනුවෙන් පාන පූජා ඔප්පු කරනවා.+ අපේ මුතුන්මිත්තනුයි, රජවරුනුයි, අධිපතීනුයි යූදා දේශයේ නගරවලත් යෙරුසලමේ පාරවල්වලත් කරපු විදිහටම අපිත් කරනවා. මොකද ඒ කාලේ අපිට ඕන තරම් කන්න තිබුණා. කිසිම දේකින් අඩුවක් තිබුණේ නැහැ. කිසිම විපතකට මූණ දුන්නෙත් නැහැ. 18 ඒත් අහස් දේවතාවියට* පූජා ඔප්පු කරන එකයි, ඇය වෙනුවෙන් පාන පූජා ඔප්පු කරන එකයි නතර කරපු දවසේ ඉඳන් තමයි අපිට හැම දෙයක්ම නැති වුණේ. ඒකෙන් පස්සේ තමයි අපි කඩුවටයි, සාගතයටයි ගොදුරු වුණේ.”

19 එතන හිටපු ස්ත්‍රීන් මෙහෙම කිව්වා. “අපි පුරුෂයන්ගේ අවසරයෙන් තමයි අහස් දේවතාවියට* පූජා ඔප්පු කළේ, ඇය වෙනුවෙන් පාන පූජා ඔප්පු කළේ. ඇගේ රූපයට සමාන රොටි හදලා ඒවා ඔප්පු කළෙත් පුරුෂයන්ගේ අවසරයෙන්.”

20 එතකොට යෙරෙමියා සෙනඟ හැමෝටම ඒ කියන්නේ පුරුෂයන්ටයි, එයාලාගේ භාර්යාවන්ටයි, එයාට කතා කරපු අනිත් හැමෝටමයි මෙහෙම කිව්වා. 21 “ඔයාලයි, ඔයාලාගේ මුතුන්මිත්තනුයි, රජවරුනුයි, අධිපතීනුයි, දේශයේ සෙනඟයි යූදා දේශයේ නගරවලත් යෙරුසලමේ පාරවල්වලත් ඔප්පු කරපු පූජා+ යෙහෝවාට මතකයි. ඒවා ඔහුට අමතක නැහැ. 22 ඔයාලා කරපු ඒ දුෂ්ට, පිළිකුල්සහගත දේවල් යෙහෝවාට තවත් ඉවසගෙන ඉන්න බැරි වුණා. ඔයාලාගේ දේශය කිසිම කෙනෙක් නැති, පාළු තැනක් වුණේ ඒ නිසයි. ඒකට වුණ දේ දැකලා අදටත් මිනිස්සු පුදුම වෙනවා. අනිත් අයට ශාප කරද්දී ඒකට වුණ දේ ගැන මිනිස්සු මතක් කරනවා.+ 23 ඔයාලා යෙහෝවාගේ හඬට ඇහුම්කන් දුන්නෙවත් ඔහුගේ නීති, අණපනත්, සිහිගැන්වීම්වලට කීකරු වුණේවත් නැහැ. ඒ විදිහට ඔයාලා යෙහෝවාට විරුද්ධව වැරදි කළා. ඔයාලා කියපු ඔය පූජා ඔප්පු කළා. ඒ නිසයි අද වෙන කල් ඔයාලා මේ විපත්ති අද්දකින්නේ.”+

24 ස්ත්‍රීන් ඇතුළුව එතන හිටපු හැමෝටම යෙරෙමියා මෙහෙමත් කිව්වා. “ඊජිප්තුවේ ඉන්න යුදෙව්වරුනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. 25 ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබත් ඔබේ භාර්යාවනුත් කියපු දේ ඒ විදිහටම කළා. ඔබ මෙහෙම කිව්වා. “අහස් දේවතාවියට* පූජායි, ඇය වෙනුවෙන් පාන පූජායි ඔප්පු කරනවා කියලා අපි වුණ භාරය අපි ඒ විදිහටම ඉටු කරනවා.”+ ඔබ අතරේ ඉන්න ස්ත්‍රීන් භාර වුණ විදිහටම ඒවා අනිවාර්යයෙන්ම ඉටු කරයි.’

26 “ඉතින් ඊජිප්තුවේ ජීවත් වෙන යුදෙව්වරුනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා. “‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා ඊජිප්තුවේ ඉන්න යුදෙව්වන් දිවුරනවා.+ ඒත් ආයේ කවදාවත් මගේ නම පාවිච්චි කරලා ඔවුන්ට එහෙම කරන්න ලැබෙන්නේ නැහැ+ කියලා මම මගේ ශ්‍රේෂ්ඨ නාමයෙන් දිවුරලා කියනවා. 27 මම බලාගෙන ඉන්නේ ඔවුන්ට යහපතක් කරන්න නෙමෙයි. ඔවුන් පිටට විපත්තියක් ගේන්නයි.+ ඊජිප්තුවේ ජීවත් වෙන යුදෙව්වන් හැමෝම නැත්තටම නැති වෙලා යන කල් කඩුවෙන් සහ සාගතයෙන් පහර කනවා.+ 28 කඩුවෙන් බේරිලා ඊජිප්තුවේ ඉඳන් යූදා දේශයට ආපහු යන්නේ ටිකදෙනෙක් විතරයි.+ පදිංචි වෙන්න ඊජිප්තුවට ගිය යුදෙව්වන් අතරින් ඉතුරු වුණ අය එදාට දැනගනියි ඉටු වුණේ කාගේ වචනයද කියලා. මගේ වචනයද ඔවුන්ගේ වචනයද කියලා.”’”

29 “‘මම මේ දේශයේදී ඔබට දඬුවම් කරනවා කියලා දැනගන්න මම ඔබට ලකුණක් දෙනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඔබ පිටට විපත්ති ගේනවාමයි කියලා මම කියපු දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා එතකොට ඔබ තේරුම්ගනියි. 30 යෙහෝවා මෙහෙම කියනවා. ‘මම යූදාවල රජකම් කරන ශෙදකියාව ඔහුව මරලා දාන්න හොයපු ඔහුගේ සතුරා වුණ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්ගේ* අතට භාර දුන්නා. ඒ විදිහටම මම ඊජිප්තුවේ රජ වන හොප්රා කියන පාරාවෝව ඔහුගේ සතුරන්ගේ අතටත් ඔහුව මරලා දාන්න හොයන අයගේ අතටත් භාර දෙනවා.’”+

45 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරපු හතරවෙනි අවුරුද්දේදී+ නෙරියාගේ පුතා වුණ බාරුක් අනාගතවක්තෘ යෙරෙමියා කියපු දේවල් ලියවිල්ලක ලිව්වා.+ ඒ කාලේදීම යෙරෙමියා බාරුක්ට+ මේ පණිවිඩය දුන්නා.

2 “බාරුක්, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. 3 ‘ඔයා කියනවා “අනේ, මට වෙච්ච දේ! යෙහෝවා මගේ දුක තවත් වැඩි කළා. මට සැනසිල්ලේ ඉන්නවත් තැනක් නැහැ. මේ ජීවිතේ දැන් මට ඇති වෙලා” කියලා.’

4 “දැන් බාරුක්ට මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔයාට කියන්නේ මෙහෙමයි. “මං ගොඩනඟපු දේවල් මං කඩලා දානවා. හිටවපු දේවල් උදුරලා දානවා. ඒක මං මේ මුළු දේශයටම කරනවා.+ 5 ඒත් ඔයා හිතන්නේ ඔයාගේ දියුණුව ගැන විතරයි.* ඔයා ගොඩක් දේවල් පස්සේ යනවා. ඒක නවත්තන්න.”’

“‘මොකද මම ළඟදීම ලොකු විනාශයක් ගේනවා. හැම කෙනෙක්ටම ඒකට මුහුණ දෙන්න වෙනවා.+ හැබැයි ඔයා කොහේ ගියත් මං ඔයාගේ ජීවිතේ වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා’+ කියලා යෙහෝවා කියනවා.”

46 ජාතීන් ගැන යෙහෝවා දෙවියන්ගෙන් අනාගතවක්තෘ යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා.+ 2 මුලින්ම ලැබුණේ යුප්‍රටීස් ගඟ ළඟ හිටපු ඊජිප්තුවේ+ රජ වුණ පාරාවෝ නෙකෝගේ+ හමුදාව ගැන පණිවිඩයයි. යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරපු හතරවෙනි අවුරුද්දේදී+ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්* කර්කෙමිෂ්වලදී ඊජිප්තුවේ රජව පරාජය කළා. ඔහුගේ හමුදාව ගැන ලැබුණ පණිවිඩය තමයි මේ.

 3 “ඔබේ කුඩා පලිස්* සහ විශාල පලිස් සූදානම් කරගන්න.

ඒවා අරගෙන සටනට යන්න.

 4 අසරුවෙනි, අශ්වයන්ව සූදානම් කරගෙන උන් පිට නැඟලා යන්න.

යුද්ධයට පෙළ ගැහෙන්න. හිස්වැසුම් පැලඳගන්න.

හෙල්ලයේ තුඩ හොඳින් උල් කරගෙන යුද ඇඳුම් ඇඳගන්න.

 5 ‘ඔවුන් බයෙන් වෙවුලන හැටි මට පේනවා. ඒ ඇයි?

ඔවුන් පසුබහිනවා. ඔවුන්ගේ යුධ දක්ෂයෝ පරාජයට පත් වෙලා.

ඔවුන් බයේ පැනලා දිව්වා. ඔවුන්ගේ යුධ දක්ෂයෝ පස්ස නොබලා පැනලා දිව්වා.

භීතිය හැම තැනම පැතිරිලා’ කියලා යෙහෝවා කියනවා.

 6 ‘වේගවත්ම අයටවත් පලා යන්න බැහැ. යුධ දක්ෂයන්ටවත් බේරෙන්න බැහැ.

උතුරු දෙසින් ඇති යුප්‍රටීස් ගංඉවුරේදී,

ඔවුන් හැමෝම වැටිලා ගියා.’+

 7 දෙගොඩ තලා යන ජල කඳක් වගේ,

පිටාර ගලන නයිල් ගංගාව වගේ මේ එන්නේ කවුද?

 8 නයිල් ගඟ වගේ එන්නේ ඊජිප්තුවරුනුයි.+

දෙගොඩ තලා යන ජල කඳක් වගේ එන්නේ ඔවුනුයි.

‘මම ගිහින් මුළු පොළොවම යටත් කරගන්නවා.

නගරයත් ඒකේ වැසියන්වත් විනාශ කරනවා’ කියලා ඔවුන් කියනවා.

 9 අසරුවෙනි, යුද්ධයට යන්න.

අශ්ව රථ සේනාවෙනි, ඔබේ රථ වේගයෙන් පදවන්න.

යුධ දක්ෂයෙනි, ඉදිරියට යන්න.

පලිස් හොඳින් හසුරුවන කූෂ් සහ පූට් ජාතිකයෙනි,+ ඉදිරියට යන්න.

දක්ෂ විදිහට දුන්න නමලා විදින්න සූදානමින් ඉන්න ලූදිම්වරුනි,+ ඉදිරියට යන්න.+

10 “ඒ දවස අයිති ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාටයි. ඒ දවස ඔහුගේ සතුරන්ට දඬුවම් කරන දවසයි. කඩුව තෘප්තියට පත් වෙන කල් ඔවුන්ව ගිලලා දානවා. පිපාසය නිවෙන කල් ඔවුන්ගේ ලේ බොනවා. මොකද ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා, උතුරු දේශයේ යුප්‍රටීස් ගඟ+ ළඟ පූජාවක් සූදානම් කරලා තියෙනවා.

11 කන්‍යා දියණිය වන ඊජිප්තුව,

බෝල්සම් තෛලය ලබාගන්න ගිලියද්වලට යන්න.+

ඔබ සුවය ලබාගන්න කොච්චර උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ.

මොකද ඔබට කිසිම සුවයක් ලැබෙන්නේ නැහැ.+

12 ඔබට අත් වුණ නින්දාව ගැන ජාතීන්ට ආරංචි වෙලා.+

ඔබේ වැලපීමේ හඬ දේශය පුරාම පැතිරිලා.

යුධ දක්ෂයෝ එකිනෙකාගේ ඇඟේ හැප්පිලා,

එකට ඇදගෙන වැටෙනවා.”

13 ඊජිප්තු දේශයට පහර දෙන්න එන බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* ගැන අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා මේ පණිවිඩය දුන්නා.+

14 “මේ ගැන ඊජිප්තුවේදී ප්‍රකාශ කරන්න. මිග්දෝල්වලදී දැනුම් දෙන්න.+

නොෆ්වලදීත්* තාහ්පනේස්වලදීත්+ මේ ගැන කියන්න.

‘පෙළ ගැහිලා යුද්දෙට සූදානම් වෙන්න.

මොකද ඔබ වටේ තියෙන හැම දෙයක්ම කඩුව ගිලලා දානවා.

15 දිය පහරකට ගහගෙන යනවා වගේ ඔබේ ශක්තිමත් පුරුෂයෝ ගහගෙන ගියේ ඇයි?

ඒකට විරුද්ධව ඉන්න ඔවුන්ට බැරි වුණා.

මොකද යෙහෝවා ඔවුන්ව තල්ලු කරලා දැම්මා.

16 ඔවුන්ගෙන් ලොකු පිරිසක් වැටිලා යනවා.

ඔවුන් මෙහෙම කතා වෙයි.

“නැඟිටින්න! දරුණු කඩු පහරින් බේරිලා,

අපි අපේ සෙනඟ ළඟටත් අපේ දේශයටත් පැනලා යමු.”’

17 එහෙදී ඔවුන් මෙහෙම කිව්වා.

‘ඊජිප්තුවේ රජ වන පාරාවෝ බොරුවට කියවනවා විතරයි.

ඔහු අවස්ථාවෙන්* ප්‍රයෝජන ගත්තේ නැහැ.’+

18 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා හඳුන්වන රජාණන් මෙහෙම කියනවා. ‘ඔහු* අනිවාර්යයෙන්ම එනවා කියලා ජීවමාන දෙවි වන මම කියනවා.

කඳු අතරේ තියෙන තාබෝර්+ කන්ද වගේ ඔහුගේ පැමිණීම හැමෝම දකිනවා.

මුහුද ළඟ තියෙන කර්මෙල්+ කන්ද වගේ ඒක හැමෝම දකිනවා.

19 ඊජිප්තුවේ ජීවත් වෙන දියණිය,

බඩු මලු බැඳගෙන වහල්කමට යන්න ලෑස්ති වෙන්න.

මොකද නොෆ්* නගරයට වෙන දේ දැක්කාම හැමෝම බය වෙනවා.

ඒකට ගිනි තියලා දානවා.* ඒකේ කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+

20 ඊජිප්තුව හොඳ පෙනුමක් තියෙන වැස්සියක් වගෙයි.

ඒත් උතුරු දෙසින් එන ගඩු මැස්සන්ගෙන් ඇය පහර කනවා.

21 ඇය අතරේ ඉන්න කුලියට ගත්ත සෙබළුනුත් තර කරපු වස්සන් වගෙයි.

ඒත් ඔවුන් හැමෝම පසුබැහැලා පලා ගියා.

විරුද්ධව ඉන්න තරම් ශක්තියක් ඔවුන්ට නැහැ.+

මොකද ඔවුන් විනාශ වෙන දවස ඇවිල්ලා.

ඔවුන්ට විනිශ්චය ලැබෙන දවස ඇවිල්ලා.’

22 ‘ඇගේ කටහඬ හරියට සර්පයෙක් ලිස්සලා යද්දී නැඟෙන හඬ වගෙයි.

මොකද සතුරන්, ගස් කපලා දාන මිනිස්සු වගේ

පොරෝ අරගෙන ඇය පස්සෙන් එනවා.

23 ඔවුන් ඇගේ වනාන්තර කපලා දානවා. ඒවාට ඇතුල් වෙන්න බැහැ කියලා පෙනුණත් ඔවුන් ඒවා කපලා දානවා’ කියලා යෙහෝවා කියනවා.

‘ඔවුන්ගේ ගාණ පළඟැටියන්ගේ ගාණටත් වඩා වැඩියි. කාටවත් ඔවුන්ව ගණන් කරන්න බැහැ.

24 ඊජිප්තු දියණියව ලැජ්ජාවට පත් කරනවා.

උතුරෙන් එන සෙනඟ අතට ඇයව භාර දෙනවා.’+

25 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘නෝ* නගරයේ+ දෙවියා වන ආමොන්ටත්+ පාරාවෝටත් ඊජිප්තුවටත් ඇගේ දෙවිවරුන්ටත්+ ඇගේ රජවරුන්ටත් පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටමත් දඬුවම් කරන්න මම දැන් පියවර ගන්නවා.’+

26 “‘ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතටත් බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ*+ අතටත් ඔහුගේ සේවකයන්ගේ අතටත් මම ඔවුන්ව භාර දෙනවා. ඒත් කාලයක් ගියාම කලින් වගේම සෙනඟ ආපහු ඊජිප්තුවේ ජීවත් වෙනවා’ කියලා යෙහෝවා කියනවා.+

27 ‘ඒත් මගේ සේවකයා වන යාකොබ්, බය වෙන්න එපා.

ඊශ්‍රායෙල්, බයෙන් වෙවුලන්න එපා.+

මොකද දුර ඈත දේශයකට ගෙනියන ඔබව මම බේරගන්නවා.

වහලුන් විදිහට ඉන්න ඔබේ දරුවන්ව මම ගලවගන්නවා.+

යාකොබ් ආපහු ඇවිත් කරදරයක් නැතුව සැනසිල්ලේ ජීවත් වෙනවා.

කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.+

28 ඉතින් මගේ සේවකයා වන යාකොබ්, බය වෙන්න එපා’ කියලා යෙහෝවා කියනවා. ‘මොකද මම ඔබ එක්කම ඉන්නවා.

මම ඔබව විසුරුවාහැරිය දේශවල ඉන්න හැම ජාතියක්ම නැත්තටම නැති කරනවා.+

ඒත් මම ඔබව විනාශ කරන්නේ නැහැ.+

ඔබට දඬුවම් නොකර ඉන්නෙත් නැහැ.

මම ඔබව සුදුසු ප්‍රමාණයට හික්මවනවා.’”*+

47 පාරාවෝ ගාසා නගරය පරාජය කරන්න කලින් පිලිස්තිවරු+ ගැන අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් මේ පණිවිඩය ලැබුණා. 2 යෙහෝවා මෙහෙම කියනවා.

“බලන්න! උතුරෙන් ජල ධාරාවක් එනවා.

ඔවුන් හරියට වේගයෙන් ගලාගෙන එන ජල පහරක් වගෙයි.

ඔවුන් දේශයත් දේශයේ ඇති හැම දෙයක්මත් යට කරලා දායි.

නගරයත් එහි වැසියන්වත් යට කරලා දායි.

පුරුෂයෝ අඬා වැලපෙයි.

දේශයේ ඉන්න හැමෝම විලාප තියයි.

 3 සතුරු සේනාවේ අශ්වයන් දුවන භයානක ශබ්දයත්

යුධ රථවලින් නැඟෙන හඬත්

ඒවාවල රෝද කැරකෙන හඬත් ඇහුණාම

තාත්තලා තමන්ගේ දරුවන්ව බේරගන්නවත් ආපහු හැරිලා එන්නේ නැහැ.

මොකද ඔවුන්ගේ අත් ඒ තරමටම දුර්වල වෙනවා.

 4 පිලිස්තිවරුන්ව විනාශ කරන දවස එනවා.+

ඒ දවසේදී තීර්+ සහ සීදොන්වලට+ උදව් කරන්න ඉතුරු වෙලා ඉන්න අයව නැති කරලා දානවා.

මොකද යෙහෝවා පිලිස්තිවරුන්ව විනාශ කරනවා.

කප්තෝර්*+ දූපතේ ඉඳන් ආව අයගෙන් ඉතුරු වෙලා ඉන්න ඒ අයව විනාශ කරනවා.

 5 හිස බූ ගාන්න වෙන කාලයක්* ගාසාවලට එනවා.

අෂ්කෙලොන් නිහඬ වෙනවා.+

ඔවුන්ගේ තැනිතලාවේ ඉතුරු වෙලා ඉන්න සෙනඟෙනි,

ඔබ තව කොච්චර කාලයක් ඔබේ ඇඟ කපාගන්නවාද?+

 6 යෙහෝවා දෙවියන්ගේ කඩුව,+

ඔබ නිහඬ වෙන්නේ කවදාද?

ආපහු ඔබේ කොපුවට යන්න.

නිහඬ වෙලා විවේක ගන්න.

 7 යෙහෝවා අණක් දීලා තියෙද්දී,

කඩුව නිහඬව ඉන්නේ කොහොමද?

අෂ්කෙලොන්වලටත් මුහුදුබඩ ප්‍රදේශයටත් පහර දෙන්න+

ඔහු කඩුවට අණ කරලයි තියෙන්නේ.”

48 ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෝවබ්+ ගැන මෙහෙම කියනවා.

“නෙබෝවලට+ වුණ විපත කොච්චර දරුණුද! ඇයව විනාශ කරලා.

කිර්යතායිම්+ ලැජ්ජාවට පත් කරලා, ඒක අල්ලගත්තා.

බලකොටුව ලැජ්ජාවට පත් කරලා, ඒක කෑලි කෑලිවලට කඩලා දාලා.+

 2 ඔවුන් මෝවබ් ගැන තවත් වර්ණනා කරන්නේ නැහැ.

හෙෂ්බොන්වලදී+ ඔවුන් ඇයව විනාශ කරන්න කුමන්ත්‍රණය කළා.

‘එන්න, අපි ඇයව විනාශ කරමු. ඒ ජාතිය නැත්තටම නැති කරමු’ කියලා කුමන්ත්‍රණය කළා.

මද්මෙන්, ඔබත් නිහඬ වෙන්න.

මොකද කඩුව ඔබ පස්සෙන් එළවගෙන එනවා.

 3 හෝරනායිම්වලින් අඬා වැලපෙන හඬක් ඇහෙනවා.+

මොකද ඔවුන් පිටට විනාශයකුත් මහ විපතකුත් ආවා.

 4 මෝවබ් විනාශ වෙලා ගියා.

ඇගේ කුඩා දරුවන් කෑගහලා අඬනවා.

 5 ලූහිත්වලට නැඟගෙන යන පාර දිගේ සෙනඟ අඬඅඬ යනවා.

හෝරනායිම්වල ඉඳන් බැහැගෙන යන අය සිද්ධ වුණ විපත ගැන වැලපෙන හඬ ඔවුන්ට ඇහෙනවා.+

 6 ඔබේ ජීවිතය බේරගන්න පලා දුවන්න.

පාළුකරයේ තියෙන ජුනිපර් ගහක් වගේ වෙන්න.

 7 ඔබ ඔබේම සාර්ථකත්වය සහ ධන සම්පත් ගැන විශ්වාසය තිබ්බා.

ඒ නිසා ඔබව යටත් කරගන්නවා.

කෙමොෂ්+ වහල්කමට යනවා.

ඔහුගේ පූජකයන් සහ අධිපතීන් එක්කම ඔහු වහල්කමට යනවා.

 8 විනාශ කරන්නා හැම නගරයකටම කඩා පනියි.

කිසිම නගරයකට ඔහුගෙන් බේරෙන්න බැහැ.+

යෙහෝවා කියපු විදිහටම නිම්නය* විනාශ වෙලා යනවා.

තැනිතලාව* සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා.

 9 මෝවබ්ට පාර පෙන්නන්න මං සලකුණක් හිටවන්න.

මොකද ඇය විනාශ වෙද්දී ඇය පලා දුවයි.

ඇගේ නගරවලට වෙන දේ දැකලා මිනිස්සු පුදුම වෙයි.

ඒවා කිසිම කෙනෙක් නැති නටබුන් ගොඩක් වෙයි.+

10 යෙහෝවා භාර දුන්න වැඩේ හරියට නොකරන කෙනාට ශාප වේවා!

ලේ හලන්න කඩුව පාවිච්චි නොකරන කෙනාට ශාප වේවා!

11 මෝවබ්වරු තරුණ කාලේ ඉඳන් නිවිහැනහිල්ලේ ජීවත් වුණා.

ඔවුන් හරියට මණ්ඩි බහින කල් තියලා තියෙන වයින් වගේ.

ඔවුන්ව භාජනයකින් භාජනයකට වක් කළේ නැහැ.

ඔවුන් කවදාවත් වහල්කමට ගිහින් නැහැ.

ඔවුන්ගේ රසය වැඩි වුණේවත්

සුවඳ වෙනස් වුණේවත් නැත්තේ ඒ නිසයි.

12 “‘බලන්න! ඔවුන්ව පෙරළලා දාන්න මම මිනිස්සුන්ව එවනවා. ඒ කාලය එනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඒ මිනිස්සු ඇවිත් ඔවුන්ව පෙරළලා දාලා ඔවුන්ගේ භාජන හිස් කරයි. ඔවුන්ගේ විශාල බඳුන් කෑලි කෑලිවලට කඩලා දායි. 13 කෙමොෂ් නිසා මෝවබ්වරු ලැජ්ජාවට පත් වෙයි. බෙතෙල් ගැන ලොකු විශ්වාසයකින් හිටපු ඊශ්‍රායෙල්වරු ඒ ගැන ලැජ්ජාවට පත් වුණ විදිහටම ඔවුනුත් ලැජ්ජාවට පත් වෙයි.+

14 “අපි යුද්ධයට ලෑස්ති පිට ඉන්න දක්ෂ සෙබළු”+ කියලා ඔබ කටක් ඇරලා කියන්නේ කොහොමද?’

15 ‘මෝවබ්ව විනාශ කරලා,

ඇගේ නගර යටත් කරගෙන,+

ඇයට හිටපු හොඳම තරුණයන්වත් මරලා දාලා’+ කියලා

ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා හඳුන්වන රජාණන් කියනවා.+

16 මෝවබ්වරුන්ගේ විනාශය අත ළඟයි.

ඔවුන් ළඟදීම වැටිලා යනවා.+

17 ඔවුන් දිනාගෙන තියෙන නම ගැන දන්න,

ඔවුන් අවට ඉන්න හැමෝම ඔවුන්ට අනුකම්පා කරයි.

‘අලංකාර සැරයටිය, ශක්තිමත් දණ්ඩ කැඩිලා ගිය විදිහ බලන්න’ කියලා ඔවුන්ට කියන්න.

18 දීබොන්වල+ ජීවත් වෙන දියණිය, ඔබේ තේජවත් තත්වය අතහැරලා පහතට බහින්න.

පිපාසයෙන් ඉඳගෙන ඉන්න.*

මොකද මෝවබ්ව විනාශ කරන්නා ඔබට විරුද්ධව ඇවිත් ඉන්නවා.

ඔහු ඔබේ බලකොටු විනාශ කරලා දානවා.+

19 අරෝයේර්වල+ ජීවත් වෙන සෙනඟෙනි, පාර ළඟට ගිහින් බලාගෙන ඉන්න.

පලා දුවන පුරුෂයන්ගෙනුයි, බේරිලා යන ස්ත්‍රීන්ගෙනුයි ‘මොකද වුණේ’ කියලා අහන්න.

20 මෝවබ්ව ලැජ්ජාවට පත් කරලා. ඇය බයෙන් වෙවුලනවා.

අඬා වැලපෙන්න. කෑගහලා අඬන්න.

මෝවබ් විනාශ වුණා කියලා ආනොන්වලදී+ ප්‍රකාශ කරන්න.

21 “දෙවියන් තැනිතලාව* පිටට තීන්දුව දීලා.+ ඔහු හෝලොන්, යහෂ්,+ මෙෆයත්,+ 22 දීබොන්,+ නෙබෝ,+ බෙත්දිබ්ලාතායිම්, 23 කිර්යතායිම්,+ බෙත්ගමුල්, බෙත්මෙයොන්,+ 24 කෙරියොත්,+ බොෂ්රා සහ ළඟපාත වගේම දුර ඈත තියෙන මෝවබ් දේශයේ හැම නගරයක් පිටටම තීන්දුව දීලා.

25 ‘මෝවබ්ගේ බලය* බිඳලා දාලා,

ඔහුගේ අත කඩලා දාලා’ කියලා යෙහෝවා කියනවා.

26 ‘වෙරි වෙන කල් ඔහුට බොන්න දෙන්න.+ මොකද ඔහු යෙහෝවාටත් වඩා ඉහළින් යන්න හැදුවා.+

මෝවබ් තමන්ගේ වමනේ උඩ වැටිලා දඟලනවා.

ඔහු හැමෝගෙම නින්දාවට ලක් වෙලා.

27 ඔබ ඊශ්‍රායෙල්ව නින්දාවට පත් කළේ නැද්ද?+

ඔහු දිහා බලලා ඔබ සමච්චලේට හිස වැනුවෙත් ඔහුට විරුද්ධව කතා කළෙත්

ඔහු හොරකම් කරනවා ඔබ දැක්ක නිසාද?

28 මෝවබ්වල සෙනඟෙනි, නගර අතහැරලා ගිහින් පර්වතවල ජීවත් වෙන්න.

පර්වත විවරවල කැදැල්ල හදාගෙන ඉන්න කොබෙයියෙක් වගේ ජීවත් වෙන්න.’”

29 “මෝවබ්ගේ ආඩම්බරකම ගැන අපි අහලා තියෙනවා.

ඔහු හරිම උඩඟුයි, අහංකාරයි, උද්ධච්චයි. ඔහු හිටියේ ඔළුව උදුම්මගෙන.”+

30 “‘ඔහුට කේන්ති යන විදිහ මම දන්නවා’ කියලා යෙහෝවා කියනවා.

‘ඒත් ඔහු දොඩවපු දේවල්වල කිසිම තේරුමක් නැහැ.

මහ ලොකුවට කියෙව්වත් ඔවුන් කිසිම දෙයක් කරන්නේ නැහැ.

31 මම මෝවබ් ගැන වැලපෙන්නේ ඒ නිසයි.

මම මුළු මෝවබ් දේශය ගැනම අඬා වැලපෙනවා.

කිර්හෙරෙස්වල පුරුෂයන් ගැන දුක් වෙනවා.+

32 සිබ්මාවල+ මිදිවැල, මම ඔබ ගැන අඬා වැලපෙනවා.

යාසෙර්+ ගැන අඬා වැලපුණාට වඩා වැඩියෙන් මම ඔබ ගැන අඬා වැලපෙනවා.

සරුවට වැඩුණු ඔබේ අතු මුහුදෙන් එතෙරට විහිදිලා ගියා.

මුහුද දක්වාත් යාසෙර් දක්වාත් ඒවා විහිදිලා ගියා.

විනාශ කරන්නා ඇවිත්,

ගිම්හාන කාලේ හැදෙන පලතුරුත් මිදි පලදාවත් විනාශ කළා.+

33 පලතුරු උයනෙන් ඇහෙන ප්‍රීති ඝෝෂා හඬ නැති වෙලා ගිහින්.

මෝවබ් දේශයෙන් ඇහෙන සතුටු වෙන හඬ නැති වෙලා ගිහින්.+

මිදි පාගන යන්ත්‍රයෙන් වයින් එන එක මම නතර කළා.

කිසිම කෙනෙක් ප්‍රීති ඝෝෂා නඟමින් මිදි පාගන්නේ නැහැ.

ඝෝෂා නැඟුවත් ඒක ප්‍රීති ඝෝෂාවක් නෙමෙයි.’”+

34 “‘හෙෂ්බොන්වලින්+ වැලපෙන හඬක් ඇහෙනවා. ඒක එලෙයාලෙ+ දක්වා ඇහෙනවා.

ඔවුන් කෑගහන හඬ යහෂ්+ දක්වාම විහිදිලා යනවා.

ෂොවර් ඉඳන් හෝරනායිම්+ වෙන කලුත් එග්ලත්ෂෙලීෂියා දක්වාත් ඒ හඬ විහිදිලා යනවා.

නිම්රිම්වල දිය පහරවල් පවා හිඳිලා යනවා.+

35 පූජනීය ස්ථානවලදී* ඔප්පු කරන්න පූජා අරන් එන අයවත්

තමන්ගේ දෙවියාට පූජා ඔප්පු කරන අයවත්

මම මෝවබ් දේශයෙන් නැති කරලා දානවා’ කියලා යෙහෝවා කියනවා.

36 ‘දුක්මුසු හඬක් නඟන බටනළාවක්* වගේ මගේ හදවත මෝවබ් වෙනුවෙනුත්+

කිර්හෙරෙස්වල පුරුෂයන් වෙනුවෙනුත් වැලපෙනවා.

මොකද ඔහු හම්බ කරපු හැම වස්තුවක්ම විනාශ වෙනවා.

37 හැමෝම ඉන්නේ තමන්ගේ හිස් බූ ගාගෙන,+

රැවුල් කපාගෙන.

හැමෝගෙම අත්වල කැපුම් පාරවල්.+

හැමෝම ඉන්නේ ඉණ වටේ ගෝණි රෙදි ඇඳගෙන.’”+

38 “‘මෝවබ් දේශයේ ගෙවල්වල හැම වහලෙකින්ම,

ඇගේ හැම හන්දියකින්ම

ඇහෙන්නේ අඬා වැලපෙන හඬ විතරයි.

මොකද වීසි කරලා දාපු බඳුනක් වගේ

මම මෝවබ්ව කඩලා දැම්මා’ කියලා යෙහෝවා කියනවා.

39 ‘ඇය බය වෙලා ඉන්න විදිහ බලන්න! අඬා වැලපෙන්න.

මෝවබ් ලැජ්ජාවෙන් හැරිලා යන විදිහ බලන්න!

මෝවබ් හැමෝගෙම නින්දාවට ලක් වෙලා.

මෝවබ්ට වෙන දේ දැකලා වටේ ඉන්න අය බයෙන් වෙවුලනවා.’”

40 “මොකද යෙහෝවා මෙහෙම කියනවා.

‘පියාපත් විහිදුවලා ගොදුර අල්ලගන්න වේගයෙන් පහළට එන රාජාලියෙක් වගේ+

සතුරා මෝවබ්ව අල්ලගන්න එනවා.+

41 ඇගේ නගර සතුරා අල්ලගනියි.

ඇගේ බලකොටු යටත් කරගනියි.

ඒ දවසේදී මෝවබ්වල ඉන්න යුධ දක්ෂයන්

දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේ අසරණ වෙනවා.’”

42 “‘මෝවබ් ජාතිය සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා.+

මොකද ඔහු යෙහෝවාටත් වඩා ඉහළින් යන්න හැදුවා.+

43 මෝවබ්වල ජීවත් වෙන ඔබව වෙළාගන්න භීතිය බලාගෙන ඉන්නවා.

ඔබව අහු කරගන්න බොරු වළකුත් උගුලකුත් තියෙනවා’ කියලා යෙහෝවා කියනවා.

44 ‘බයෙන් පැනලා දුවන කෙනා වළකට වැටෙයි.

වළෙන් ගොඩ එන කෙනා උගුලකට අහු වෙයි.’

‘මොකද මෝවබ්ට දඬුවම් කරන අවුරුද්ද මම ගේනවා’ කියලා යෙහෝවා කියනවා.

45 ‘රැකවරණය හොයාගෙන හෙෂ්බොන්වලට එන අය අසරණ වෙනවා.

මොකද හෙෂ්බොන්වලින් ගින්නක් ඇවිළෙනවා.

සීහොන්වලින්ම ගිනිදැල්ලක් නඟිනවා.+

ඒ ගින්න මෝවබ්ගේ හිසත්

කලහාකාරී පුතුන්ගේ හිස්කබලත් පුච්චලා දානවා.’+

46 ‘මෝවබ්වරුනි, ඔබට මුහුණ දෙන්න වෙන්නේ මොන තරම් දරුණු විපතකටද!

කෙමොෂ්ගේ සෙනඟ+ නැත්තටම නැති වෙලා ගිහින්.

මොකද ඔබේ පුතුන්ව වහලුන් විදිහට අරන් ගිහින්.

ඔබේ දූවරුන්ව ඔබේ දේශයෙන් අරන් ගිහින්.+

47 ඒත් මම අවසාන කාලේදී* වහලුන් විදිහට ඉන්න මෝවබ්වරුන්ව ආපහු එකට එකතු කරනවා’ කියලා යෙහෝවා කියනවා.

‘මෝවබ්ට දුන්න තීන්දුව මෙතනින් අවසන් වෙනවා.’”+

49 අම්මොන්වරු+ ගැන යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

“ඊශ්‍රායෙල්ට පුතුන් නැද්ද?

ඔහුට උරුමක්කාරයෙක් නැද්ද?

එහෙමනම් ගාද්ට අයිති දේශය මල්කාම්+ අල්ලගෙන තියෙන්නේ ඇයි?+

ඔහුගේ සෙනඟ ඊශ්‍රායෙල්ට අයිති නගරවල ජීවත් වෙන්නේ ඇයි?”

 2 “යෙහෝවා කියනවා ‘ඒ නිසා දැන් බලන්න!

මම අම්මොන්වරුන්ට+ අයිති රබ්බාවලට+ විරුද්ධව යුද හඬක්* ඇහෙන්න සලස්වන කාලයක් එනවා’ කියලා.

‘ඇය පාළුවට ගිය නටබුන් ගොඩක් වෙනවා.

ඇයට අයිති නගරවලට ගිනි තියලා දානවා.’

‘තමන්ගෙන් ඔවුන් උදුරගත්ත ප්‍රදේශ ඊශ්‍රායෙල් ආපහු අයිති කරගන්නවා’+ කියලා යෙහෝවා කියනවා.

 3 ‘අනේ හෙෂ්බොන්, අඬා වැලපෙන්න. මොකද ආයි නගරය විනාශ කරලා.

රබ්බා අවට තියෙන කුඩා නගර, ඔබත් හයියෙන් කෑගහන්න.

ගෝණි රෙදි ඇඳගන්න.

බැටළු ගාල් අතරේ ඒ මේ අත දුවදුව වැලපෙන්න.

මොකද මල්කාම්ව වහල්කමට ගෙනියනවා.

ඔහුගේ පූජකයන් සහ අධිපතීන් එක්ක ඔහු වහල්කමට යනවා.+

 4 තමන්ගේ වස්තුව ගැන විශ්වාසය තියන අවිශ්වාසවන්ත දියණිය,

“මට විරුද්ධව එන්නේ කවුද” කියලා ඔබ අහනවා.

ඔබේ නිම්න* ගැන ඔබ ආඩම්බරයෙන් කතා කරන්නේ ඇයි?

ඔබේ සරුසාර තැනිතලාව ගැන පුරසාරම් දොඩන්නේ ඇයි?’”

 5 “‘මම ඔබ පිටට හරිම භයානක දෙයක් ගේනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.

‘මම ඒක ගේන්නේ ඔබ අවට ඉන්න අය මාර්ගයෙන්.

ඔබව හැම පැත්තකටම විසුරුවාහරිනවා.

පලා යන අය ඔබේ සෙනඟව කිසිම කෙනෙක් එකට එකතු කරගන්නේ නැහැ.’”

 6 “‘ඒත් ඊටපස්සේ වහල්කමට ගිය අම්මොන්වරුන්ව මම එකට එකතු කරනවා’ කියලා යෙහෝවා කියනවා.”

7 ඒදොම් ගැන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

“තේමාන්වල ප්‍රඥාවන්ත කවුරුත් ඉතුරු වෙලා නැද්ද?+

අවබෝධයෙන් වැඩ කරන අයට හොඳ උපදෙස් දෙන්න හැකියාවක් දැන් නැද්ද?

ඔවුන්ගේ ප්‍රඥාවෙන් දැන් කිසිම වැඩක් තියෙනවාද?

 8 දෙදාන්වල වැසියෙනි,+ පසුබහින්න! පලා දුවන්න!

ගැඹුරු තැන්වලට බැහැලා ගිහින් ඒවාවල ජීවත් වෙන්න.

මොකද ඒසව්ට දඬුවම් කරන කාලය ආවාම

මම ඔහු පිටට විපත්ති ගේනවා.

 9 මිදි නෙළන අය ඔබේ මිදිවත්තට ආවොත්

අනිත් අය වෙනුවෙන් අස්වැන්නෙන් ටිකක් ඉතුරු කරලා යන්නේ නැද්ද?

හොරු මහ රෑ ඔබේ නිවසට කඩා පැන්නොත්

අරන් යන්නේ ඔවුන්ට අවශ්‍ය දේ විතරයි.+

10 ඒත් මම ඒසව්ට අයිති හැම දෙයක්ම වනසලා දානවා.

ඔහුට හැංගෙන්න බැරි වෙන විදිහට

හැංගෙන්න තියෙන හැම තැනක්ම මම හෙළි කරනවා.

ඔහුගේ දරුවන්වයි, සහෝදරයන්වයි, අසල්වාසීන්වයි විනාශ කරලා දානවා.+

ඔහුත් විනාශ වෙලා යනවා.+

11 ඔබ අතරේ ඉන්න පියා නැති දරුවන්ව මට භාර දෙන්න.

මම ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරනවා.

ඔබ අතරේ ඉන්න වැන්දඹුවන් මං ගැන විශ්වාසය තියයි.”

12 මොකද යෙහෝවා මෙහෙම කියනවා. “මගේ කුසලානයෙන් බොන්න තීන්දු කරලා නැති අයටත් ඒකෙන් බොන්න වෙනවා. එහෙමනම් ඔබට කිසිම දඬුවමක් නැතුව බේරෙන්න පුළුවන් කියලා හිතනවාද? ඔබට දඬුවම් නොකර ඉන්නේ නැහැ. ඔබට ඒ කුසලානයෙන් බොන්නම වෙනවා.”+

13 යෙහෝවා මෙහෙම කියනවා. “බොෂ්රාවලට වෙන දේ දැකලා හැමෝම පුදුම වෙනවා.+ ඒක නින්දාවට පත් වෙනවා, විනාශ වෙනවා, ශාපයට ලක් වෙනවා. ඇගේ නගර හැමදාටම නටබුන් ගොඩක් වෙනවා+ කියලා මම මං ගැනම දිවුරලා කියනවා.”

14 යෙහෝවාගෙන් මට පණිවිඩයක් ලැබුණා.

ජාතීන්ට ඒ ගැන දන්වන්න පණිවිඩකරුවෙක්ව යවලා තියෙනවා. ඔහු මෙහෙම කියනවා.

“ඔබ හැමෝම එකතු වෙලා ඇයට විරුද්ධව එන්න.

යුද්ධයට සූදානම් වෙන්න.”+

15 “බලන්න! ජාතීන් අතරේ මම ඔබව සුළු ජාතියක් කළා.

මිනිස්සු ඔබව හෙළා දැක්කා.+

16 පර්වතවල ආරක්ෂිතව ඉන්න ඔබ,

කඳු මුදුන්වල ජීවත් වෙන ඔබ රැවටුණා.

එහෙම වුණේ අනිත් අය ඔබට බයෙන් හිටපු නිසයි.

ඔබේ උඩඟු හිත නිසයි.

ඔබ රාජාලියෙක් වගේ ඉහළින්ම තියෙන තැනක ඔබේ කැදැල්ල හදාගත්තත්

මම ඔබව පහතට ඇදලා දානවා” කියලා යෙහෝවා කියනවා.

17 “හැමෝම පුදුම වෙන දෙයක් ඒදොම්වලට වෙනවා.+ ඇයව පහු කරගෙන යන හැමෝම පුදුමයෙන් බලලා ඇයට වෙලා තියෙන විපත් ගැන කියලා අපහාස කරයි.* 18 සොදොම් සහ ගොමෝරාවත් ඒ අවට තිබුණ කුඩා නගරත් විනාශ වුණ විදිහටම+ ඒදොම් විනාශ වෙනවා. කිසිම කෙනෙක් එහේ ජීවත් වෙන්නෙවත් පදිංචි වෙන්නෙවත් නැහැ”+ කියලා යෙහෝවා කියනවා.

19 “බලන්න! යොර්දාන් ගඟ දිගේ තියෙන ගන කැලෑවේ ඉඳන් සිංහයෙක් කඩා පනිනවා වගේ කෙනෙක් ආරක්ෂිත තණබිම්වලට පහර දෙන්න කඩා පනිනවා.+ එක මොහොතකින් ඔහුට ඇයව අතහැරලා පලා යන්න මම සලස්වනවා. මම තෝරගත්ත කෙනාව ඇයව පාලනය කරන්න පත් කරනවා. මොකද මට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මං කරන දේ ගැන ප්‍රශ්න කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මට විරුද්ධව ඉන්න පුළුවන් එඬේරෙක් ඉන්නවාද?+ 20 දැන් ඇහුම්කන් දෙන්න. ඒදොම්වලට විරුද්ධව යෙහෝවා ගත්ත තීරණයටත් තේමාන්වල මිනිස්සුන්ට විරුද්ධව ඔහු කරන්න අදහස් කරන දේටත් ඇහුම්කන් දෙන්න.+

ඔවුන් කරපු දේවල් නිසා ඔහු ඔවුන්ගේ දේශය පාළු කරනවා.

රැළේ ඉන්න බැටළු පැටවුන්ව අනිවාර්යයෙන්ම ඇදගෙන යනවා.+

21 ඔවුන් වැටෙන ශබ්දයට පොළොව දෙදරුම් කනවා.

කෑගහන ශබ්දයක් ඇහෙනවා.

ඒ ශබ්දය රතු මුහුද වෙන කල්ම විහිදිලා යනවා.+

22 බලන්න! රාජාලියෙක් වගේ ඔහු ඉහළට නැඟලා වේගයෙන් පහතට එනවා.+

ඔහු පියාපත් විහිදුවලා වේගයෙන් ඇවිත් බොෂ්රාව අල්ලගන්නවා.+

ඒ දවසේදී ඒදොම්වල ඉන්න යුධ දක්ෂයන්

දරුවෙක් බිහි කරන්න ඉන්න ස්ත්‍රියක් වගේ අසරණ වෙනවා.”

23 දමස්කය ගැන පණිවිඩය මේකයි.+

“හමාත්+ සහ අර්පාද් ලැජ්ජාවට පත් කරලා.

මොකද ඔවුන්ට නරක ආරංචියක් අහන්න ලැබුණා.

දැනෙන බය නිසා ඔවුන්ගේ හිත් දිය වෙලා යනවා.

සෙනඟ හරියට කැලඹුණු මුහුද වගෙයි. ඔවුන්ව සන්සුන් කරන්න බැහැ.

24 දමස්කයේ ධෛර්යය නැති වෙලා ගිහින්.

ඇයට පලා යන්න ඕනෙ වුණත් ඇය බයෙන් ගල්ගැහිලා.

දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේ

ඇය ඉන්නේ දුකෙන්, වේදනාවෙන් මිරිකිලා.

25 ප්‍රශංසාව ලබපු,

ප්‍රීතියෙන් පිරිලා තිබුණ නගරය අතහැරලා ගියේ නැත්තේ ඇයි?

26 ඇගේ තරුණයෝ මැරුම් කාලා මංසන්ධිවල වැටිලා ඉඳියි.

ඒ දවසේදී සෙබළු හැමෝම විනාශ වෙනවා” කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.

27 “මම දමස්කයේ පවුරට ගිනි තියනවා.

ඒ ගින්නෙන් බෙන්හාදද්ගේ බලකොටු පිච්චිලා යනවා.”+

28 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* පහර දුන්න කේදාර් සහ හාෂොර්වල රාජ්‍යයන් ගැන යෙහෝවාගේ පණිවිඩය මේකයි.

“දැන් නැඟිටින්න! කේදාර්වලට+ යන්න.

නැඟෙනහිර දිශාවේ පුතුන්ව විනාශ කරන්න.

29 ඔවුන්ගේ කූඩාරමුත් ඔවුන්ට අයිති රැළවලුත්

කූඩාරම් රෙදිත් ඔවුන්ට අයිති හැම දෙයක්මත් අරන් යයි.

ඔවුන්ට අයිති ඔටුවන්වත් පැහැරගනියි.

‘භීතිය හැම තැනම පැතිරිලා’ කියලා සෙනඟ කෑගහලා ඔවුන්ට කියයි.”

30 “දුර ඈතකට පලා දුවන්න!

හාෂොර්වල සෙනඟෙනි, ගැඹුරු තැන්වලට බැහැලා ගිහින් ඒවාවල ජීවත් වෙන්න” කියලා යෙහෝවා කියනවා.

“මොකද බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* ඔබට විරුද්ධව කුමන්ත්‍රණයක් කරලා තියෙනවා.

ඔබට පහර දෙන්න සැලැස්මක් යොදලා තියෙනවා.”

31 “නැඟිටින්න! සමාදානයෙන්, සුරක්ෂිතව ජීවත් වෙන ජාතියට විරුද්ධව යන්න” කියලා යෙහෝවා කියනවා.

“ඔවුන් දොරගුලු දාලා නැහැ.

ඔවුන් ජීවත් වෙන්නේ හැමෝගෙන්ම වෙන් වුණ තැනකයි.

32 ඔවුන්ගේ ඔටුවන්ව පැහැරගෙන යයි.

ගණන් කරන්න බැරි තරමට ඔවුන්ට ඉන්න එළු බැටළු රැළවල් කොල්ල කයි.

මම ඔවුන්ව හැම අතටම* විසුරුවාහරිනවා.

කම්මුල් දෙපැත්තේ තියෙන කෙස් කපාගත්ත අයව විසුරුවාහරිනවා.+

මම හැම දිශාවකින්ම ඔවුන් පිටට විපත්ති ගේනවා” කියලා යෙහෝවා කියනවා.

33 “හාෂොර් හිවලුන් ලගින තැනක් වෙයි.

ඒක හැමදාටම පාළුවට ගිහින් තියෙයි.

කිසිම කෙනෙක් එහේ ජීවත් වෙන්නේ නැහැ.

කිසිම මිනිසෙක් එහේ පදිංචි වෙන්නේ නැහැ.”

34 යූදාවල රජ වුණ ශෙදකියා+ පාලනය කරපු මුල් කාලේදී යෙහෝවා දෙවියන්ගෙන් අනාගතවක්තෘ යෙරෙමියාට ඒලාම්+ ගැන මේ පණිවිඩය ලැබුණා. 35 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒලාම්වල ශක්තිය වුණ දුන්න මම කඩලා දානවා.+ 36 පොළොවේ හතර කොනේ ඉඳන් මම ඒලාම් පිටට හුළං හතරක් හමන්න සලස්වනවා. ඒ හුළංවලින් මම ඔවුන්ව සීසීකඩ* විසුරුවාහරිනවා. ඒලාම්වලින් විසිරිලා යන අය හැම ජාතියක් අතරටම විසිරිලා යනවා.’”

37 “මම ඒලාම්වරුන්ගේ හිත්වල ඔවුන්ගේ සතුරන් ගැනත් ඔවුන්ව මරලා දාන්න හොයන අය ගැනත් බයක් ඇති කරනවා. ඇවිළෙන කේන්තියකින් මම ඔවුන් පිටට විපත්ති ගේනවා” කියලා යෙහෝවා කියනවා. “ඔවුන් නැත්තටම නැති වෙලා යන කල් ඔවුන් පස්සේ එළවගෙන යන්න මම කඩුවක් එවනවා.”

38 “මම මගේ සිංහාසනය ඒලාම්වල+ පිහිටුවලා එහේ රජවත් අධිපතීන්වත් විනාශ කරලා දානවා” කියලා යෙහෝවා කියනවා.

39 “ඒත් මම අවසාන කාලේදී* වහලුන් විදිහට ඉන්න ඒලාම්වරුන්ව ආපහු එකට එකතු කරනවා” කියලා යෙහෝවා කියනවා.

50 අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවියන් බැබිලෝනිය ගැන පණිවිඩයක් දුන්නා.+ කල්දිවරුන්ගේ දේශය ගැන ඔහු කිව්වේ මේකයි.

 2 “ජාතීන් අතරේ මේ ගැන දැනුම් දෙන්න. ඔවුන්ට මේ ගැන ප්‍රකාශ කරන්න.

සංඥාවක් විදිහට කණුවක් හිටවලා මේ ගැන ප්‍රකාශ කරන්න.

කිසිම දෙයක් හංගන්නේ නැතුව මෙහෙම කියන්න.

‘බැබිලෝනිය යටත් කරගත්තා.+

බෙල්ව ලැජ්ජාවට පත් කරලා.+

මෙරොදක් බයේ වෙවුලනවා.

ඇගේ රූප නින්දාවට පත් කරලා.

ඇගේ පිළිකුල් රූප* බයෙන් ගැහෙනවා.’

 3 මොකද ඇයට විරුද්ධව උතුරෙන් ජාතියක් ඇවිල්ලා.+

ඒ ජාතිය ඇගේ දේශයට කරන දේ දැකලා අනිත් අය පුදුම වෙයි.

කිසිම කෙනෙක් එහේ ජීවත් වෙන්නේ නැහැ.

මිනිස්සු සහ සත්තු දේශය අතහැරලා පලා ගිහින්.

ඔවුන් හැමෝම යන්න ගිහින්.”

4 “ඒ දවස්වලදී ඊශ්‍රායෙල් සෙනඟයි, යුදෙව්වනුයි එක කණ්ඩායමක් විදිහට එයි”+ කියලා යෙහෝවා කියනවා. “ඔවුන් අඬඅඬ එයි.+ ඔවුන් එකට එකතු වෙලා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් පතයි.+ 5 ඔවුන් සියොන්වලට යන මාර්ගය ගැන අහයි. එහෙට යන්න අදිටන් කරගෙන ඉන්න ඔවුන්+ මෙහෙම කියයි. ‘එන්න, අමතක නොවන සදාකාලික ගිවිසුමක් මාර්ගයෙන් අපි ආයෙත් යෙහෝවාගේ සෙනඟ වෙමු.’+ 6 මගේ සෙනඟ හරියට මංමුළා වුණ බැටළු රැළක් වගේ.+ ඔවුන්ගෙම එඬේරු ඔවුන්ව නොමඟ යැව්වා.+ ඒ එඬේරු මඟ පෙන්නුවේ ඔවුන්ට කඳුවලට යන්නයි. කන්දෙන් කන්දට යන්නයි. ඔවුන්ගේ සුරක්ෂිත නිවහන ඔවුන්ට අමතක වෙලා ගියා. 7 සතුරන්ට ඔවුන්ව අහු වුණාම ඔවුන්ව ගිලලා දැම්මා.+ සතුරෝ මෙහෙම කිව්වා. ‘ඔවුන් යෙහෝවාට විරුද්ධව වැරදි කළා. ඒ නිසා අපි කරන්නේ වරදක් නෙමෙයි. මොකද ඔවුන් ධර්මිෂ්ඨකමේ උල්පත සහ ඔවුන්ගේ පියවරුන් බලාපොරොත්තු තියපු යෙහෝවාට විරුද්ධව වැරදි කළා.’”

 8 “බැබිලෝනියෙන් පලා යන්න.

රැළේ ඉදිරියෙන්ම යන සතුන් වගේ

කල්දිවරුන්ගේ දේශයෙන් එළියට යන්න.+

 9 මම උතුරු දේශයෙන් බලවත් ජාතීන් සමූහයක් කැඳවනවා.

මම ඔවුන්ව බැබිලෝනියට විරුද්ධව ගේනවා.+

ඔවුන් හොඳින් පෙළ ගැහිලා ඇයට විරුද්ධව එයි.

ඔවුන් ඇයව යටත් කරගන්නවා.

ඔවුන්ගේ ඊතල යුධ දක්ෂයන්ගේ ඊතල වගෙයි.

ඉලක්කය වරදින්නේ නැහැ.

ඒ ඊගස් දෙමාපියන්ගෙන් දරුවන්ව උදුරගන්නවා.+

10 කල්දියාව කොල්ල කනවා.+

ඇයව කොල්ල කන හැමෝම තෘප්තියට පත් වෙයි”+ කියලා යෙහෝවා කියනවා.

11 “මොකද ඔබ මගේ උරුමය කොල්ල කද්දී සතුටු වුණා.+

ප්‍රීතියෙන් ඉපිල ගියා.+

හරියට තණ නිල්ල පාගපාග ඉන්න වැස්සියක් වගෙත්

හඬ නඟමින් ඉන්න අශ්වයන් වගෙත් ඔබ සතුටු වුණා.

12 ඔබේ මවව ලැජ්ජාවට පත් කළා.+

ඔබව බිහි කරපු කෙනාගේ බලාපොරොත්තු සුන් වුණා.

බලන්න! ඇය ජාතීන් අතරේ සුළුම කෙනා වෙලා.

දිය පොදක් නැති පාළුකරයක් වෙලා. කාන්තාරයක් වෙලා.+

13 යෙහෝවාගේ කේන්තිය නිසා ඇය පාළුවට යනවා.+

ඇයව සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා.+

බැබිලෝනිය පහු කරගෙන යන හැමෝම ඇය දිහා පුදුමයෙන් බලනවා.

ඇයට වුණ විපත ගැන කියලා ඔවුන් ඇයට අපහාස කරනවා.*+

14 දුන්න නමලා විදින්න සූදානමින් ඉන්න සියල්ලෙනි,

බැබිලෝනියට විරුද්ධව හැම පැත්තකින්ම පෙළ ගැහිලා සටනට එන්න.

ඊතලවලින් ඇයට විදින්න. එකක්වත් ඉතුරු කරගන්න එපා.+

මොකද ඇය වැරදි කළේ යෙහෝවාට විරුද්ධවයි.+

15 ඇයව වට කරලා ඇයට විරුද්ධව යුධ ඝෝෂා නඟන්න.

ඇය යටත් වුණා.

ඇගේ කුලුනු කඩන් වැටුණා. ඇගේ පවුරු බිඳලා දැම්මා.+

මොකද ඒක තමයි යෙහෝවාගෙන් ඇයට ලැබෙන දඬුවම.+

ඇගෙන් පළිගන්න.

ඇය කරපු විදිහටම ඇයටත් කරන්න.+

16 බැබිලෝනියෙන් බීජ වපුරන්නාවයි,

දෑකැත්තෙන් අස්වැන්න නෙළන්නාවයි විනාශ කරලා දාන්න.+

දරුණු කඩු පහරින් බේරෙන්න හැමෝම තමන්ගේ සෙනඟ ළඟටත්

තමන්ගේ දේශයටත් පලා යයි.+

17 “ඊශ්‍රායෙල් සෙනඟ මංමුළා වුණ බැටළුවන් වගෙයි.+ සිංහයෝ ඔවුන්ව විසුරුවාහැරියා.+ මුලින්ම ඇසිරියාවේ රජ ඔවුන්ව ගොදුරු කරගත්තා.+ ඊටපස්සේ බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* ඔවුන්ගේ ඇටකටු හපලා හපලා දැම්මා.+ 18 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම ඇසිරියාවේ රජට දඬුවම් කරපු විදිහටම බැබිලෝනියේ රජටත් ඔහුගේ දේශයටත් දඬුවම් කරනවා.+ 19 මම ඊශ්‍රායෙල්ව ආපහු ඔහුගේ තණබිමට ගේනවා.+ ඔහු කර්මෙල්වලත් බාෂාන්වලත් හිතේ හැටියට තණ කයි.+ එෆ්‍රායිම්+ සහ ගිලියද්+ කඳුකරයේ ඔහු තෘප්තිමත්ව ඉඳියි.’”

20 “ඒ දවස්වලදී ඊශ්‍රායෙල්ගේ වරද ගැන හෙව්වත්

කාටවත් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙයි” කියලා යෙහෝවා කියනවා.

“යූදා කරපු වැරදිත් හොයාගන්න බැරි වෙයි.

මොකද මං ජීවත් වෙන්න ඉඩ දීපු අයට මම සමාව දෙනවා.”+

21 “මෙරතායිම් දේශයටත් පෙකොඩ්වල+ සෙනඟටත් විරුද්ධව යන්න.

ඔවුන්ව සමූල ඝාතනය කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න” කියලා යෙහෝවා කියනවා.

“මම ඔබට අණ කරන හැම දෙයක්ම කරන්න.

22 යුධ ඝෝෂාවේ හඬ දේශය පුරාම පැතිරිලා.

මහා විනාශයක හඬ දේශයෙන් ඇහෙනවා.

23 මුළු පොළොවටම පහර දුන්න කුළු ගෙඩිය* කැඩිලා, කුඩු වෙලා ගිය හැටි බලන්න!+

බැබිලෝනියට වුණ දේ දකින ජාතීන් බය වෙන හැටි බලන්න!+

24 බැබිලෝනිය, මම ඔබට උගුලක් ඇටෙව්වා.

ඔබ නොදැනුවත්වම ඒ උගුලට අහු වුණා.

ඔබව හොයාගෙන අල්ලගත්තා.+

මොකද ඔබ විරුද්ධ වුණේ යෙහෝවාටයි.

25 යෙහෝවා ඔහුගේ ආයුධ ගබඩාව විවෘත කළා.

ඔහුගේ කේන්තිය පෙන්නන්න පාවිච්චි කරන ආයුධ ඔහු එළියට ගන්නවා.+

මොකද ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට

කල්දිවරුන්ගේ දේශයේදී කරන්න දෙයක් තියෙනවා.

26 දුර ඈත ඉඳන් ඇයට විරුද්ධව එන්න.+

ඇගේ ධාන්‍ය ගබඩා අරින්න.+

ඇයට තියෙන වටින දේවල් ධාන්‍ය ගොඩක් වගේ ගොඩගහන්න.

ඇයව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න.+

ඇයට අයිති කිසිම කෙනෙක්ව ඉතුරු නොකරන්න.

27 ඇගේ තරුණ වස්සන්ව ඝාතනය කරන්න.+

ඔවුන්ව මරලා දාන්න.

ඔවුන්ට වෙන්නේ මොන තරම් දරුණු දෙයක්ද! මොකද ඔවුන්ව විනිශ්චය කරන දවස ඇවිල්ලා.

ඔවුන්ට දඬුවම් කරන දවස ඇවිල්ලා.

28 ඒ ඇහෙන්නේ පලා යන අයගේ හඬයි.

බැබිලෝනියෙන් බේරිලා යන අයගේ හඬයි.

ඔවුන් යන්නේ අපේ දෙවි වන යෙහෝවා බැබිලෝනියට දුන්න දඬුවම ගැන සියොන්වලදී ප්‍රකාශ කරන්නයි.

ඔහුගේ මාලිගාවට කරපු දේට ඔහු දුන්න දඬුවම ගැන කියන්නයි.+

29 බැබිලෝනියට පහර දෙන්න දුනුවායන්ව කැඳවන්න.

දුන්න නමලා විදින්න සූදානමින් ඉන්න අයව කැඳවන්න.+

හැම පැත්තෙන්ම ඇයව වට කරන්න. කිසිම කෙනෙක්ට බේරෙන්න දෙන්න එපා.

ඇය කරපු දේවලට අනුව ඇයට දඬුවම් කරන්න.+

ඇය අනිත් අයට කරපු විදිහටම ඇයටත් කරන්න.+

මොකද ඇය යෙහෝවාට විරුද්ධව හරිම උඩඟු විදිහට වැඩ කළා.

ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාණන්ට විරුද්ධව වැඩ කළා.+

30 ඇගේ තරුණයෝ මැරුම් කාලා මංසන්ධිවල වැටිලා ඉඳියි.+

ඒ දවසේදී ඇගේ සෙබළු විනාශ වෙලා යනවා”* කියලා යෙහෝවා කියනවා.

31 “හිතුවක්කාර තැනැත්තිය,+ මම ඔබට විරුද්ධව සටන් කරනවා”+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.

“මම ඔබට දඬුවම් කරන දවස එනවා. ඔබ මට වග කියන්න වෙන දවස අනිවාර්යයෙන්ම එනවා.

32 හිතුවක්කාර තැනැත්තිය, ඔබේ පය පැටලිලා ඔබ වැටිලා යනවා.

ඔබට අත දෙන්න කවුරුත් නැහැ.+

මම ඔබේ නගරවලට ගිනි තියනවා.

ඒ ගින්නෙන් ඔබ වටේ තියෙන හැම දෙයක්ම පිච්චිලා යනවා.”

33 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

“ඊශ්‍රායෙල් සහ යූදා හිරිහැර විඳිනවා.

ඔවුන්ව වහල්කමට අරන් ගිය හැමෝම ඔවුන්ව තියාගත්තා.+

නිදහස් කරන්න කැමති වුණේ නැහැ.+

34 ඒත් ඔවුන්ගේ මිදුම්කරු හරිම බලවත්.+

ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+

ඔහුගේ සෙනඟගේ නඩුවට ඔහු පෙනී ඉන්නවා.+

එහෙම කරන්නේ දේශයට සාමය උදා කරන්නයි.+

බැබිලෝනියේ සෙනඟව නොසන්සුන් කරන්නයි.”+

35 “කල්දිවරුන්ට පහර දෙන්න කඩුවක් ලෑස්ති කරලා තියෙනවා” කියලා යෙහෝවා කියනවා.

“බැබිලෝනියේ සෙනඟටත් ඇගේ අධිපතීන්ටත් බුද්ධිමතුන්ටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.+

36 හිස් වචන දොඩවන අයට* පහර දෙන්නත් කඩුවක් ලෑස්ති කරලා තියෙනවා. ඔවුන් මෝඩයන් කියලා වැඩ කරන විදිහෙන් පෙනෙයි.

ඇගේ යුධ දක්ෂයන්ට පහර දෙන්නත් කඩුවක් තියෙනවා. ඔවුන් බයෙන් වෙවුලයි.+

37 ඔවුන්ගේ අශ්වයන්ටත් යුධ රථවලටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.

ඇය අතරේ ඉන්න විවිධ ජාතීන්ට අයිති අයටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.

ඔවුන් දුර්වල වුණ ස්ත්‍රීන් වගේ වෙයි.+

ඇගේ වස්තුවලට පහර දෙන්නත් කඩුවක් තියෙනවා. ඔවුන් ඒ වස්තු කොල්ල කයි.+

38 ඇගේ ජල ධාරා විනාශ වෙනවා. ඒවා හිඳිලා යයි.+

මොකද ඒක පිළිකුල් රූපවලින් පිරුණු දේශයක්.+

ඔවුන් දකින භයානක දර්ශන නිසා ඔවුන් සිහිවිකල් වුණ අය වගේ හැසිරෙනවා.

39 ඒ නිසා ඇය පැස්බරුන් වාසය කරන තැනක් වෙයි.

කාන්තාරවල ගැවසෙන සතුන් උඩු බුරන සතුන් එක්ක එතන එකට ලගියි.+

ඇය සදහටම මනුෂ්‍ය වාසයක් නැති තැනක් වෙයි.

පරම්පරාවෙන් පරම්පරාවට ඇය පාළු තැනක් වෙයි.”+

40 “සොදොම් සහ ගොමෝරාවත් ඒ අවට තිබුණ කුඩා නගරත් දෙවියන් විනාශ කරපු විදිහටම+ බැබිලෝනිය විනාශ කරනවා.+ කිසිම කෙනෙක් එහේ ජීවත් වෙන්නෙවත් පදිංචි වෙන්නෙවත් නැහැ”+ කියලා යෙහෝවා කියනවා.

41 බලන්න! උතුරෙන් සෙනඟක් එනවා.

පොළොවේ ඈත කෙළවරින්+

බලවත් ජාතියක්ව සහ ශ්‍රේෂ්ඨ රජවරුන්ව නැඟිට්ටවනවා.+

42 ඔවුන් දුනු සහ හෙල්ල අතට ගනියි.+

ඔවුන් කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැති, කුරිරු සෙනඟක්.+

අශ්වයන් පිට නැඟී එන ඔවුන්ගේ හඬ

මුහුදේ ඝෝෂාව වගෙයි.+

බැබිලෝනි දියණියනි, ඔවුන් එකා වගේ ඔබට විරුද්ධව පෙළ

ගැහෙයි.+

43 බැබිලෝනියේ රජට ඔවුන් ගැන ආරංචි වුණා.+

ඔහුගේ අත් පණ නැතුව ගියා.+

භීතිය ඔහුව වෙළාගත්තා.

දරුවෙක් බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාවට සමාන වේදනාවක් ඔහුට දැනුණා.

44 “බලන්න! යොර්දාන් ගඟ දිගේ තියෙන ගන කැලෑවේ ඉඳන් සිංහයෙක් කඩා පනිනවා වගේ කෙනෙක් ආරක්ෂිත තණබිම්වලට පහර දෙන්න කඩා පනිනවා. එක මොහොතකින් ඔවුන්ට ඇයව අතහැරලා පලා යන්න මම සලස්වනවා. මම තෝරගත්ත කෙනාව ඇයව පාලනය කරන්න පත් කරනවා.+ මොකද මට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මං කරන දේ ප්‍රශ්න කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මට විරුද්ධව ඉන්න පුළුවන් එඬේරෙක් ඉන්නවාද?+ 45 දැන් ඇහුම්කන් දෙන්න. බැබිලෝනියට විරුද්ධව යෙහෝවා ගත්ත තීරණයටත්+ කල්දිවරුන්ගේ දේශයට විරුද්ධව ඔහු කරන්න අදහස් කරන දේටත් ඇහුම්කන් දෙන්න.

ඔවුන් කරපු දේවල් නිසා ඔහු ඔවුන්ගේ දේශය පාළු කරනවා.

රැළේ ඉන්න බැටළු පැටවුන්ව අනිවාර්යයෙන්ම ඇදගෙන යනවා.+

46 බැබිලෝනිය වැටෙන ශබ්දයට පොළොව දෙදරුම් කනවා.

හයියෙන් කෑගහන හඬක් හැම ජාතියක් අතරටම විහිදිලා යනවා.”+

51 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

“මම බැබිලෝනියටත් ලෙබ්කේමායිවල* සෙනඟටත් විරුද්ධව

දරුණු හුළඟක් ගේනවා.+

 2 ධාන්‍ය පොළන අයව මම බැබිලෝනියට යවනවා.

ඔවුන් ඇයව පොළලා ඇගේ දේශය පාළු කරනවා.

විපත්ති ගේන දවසේදී ඔවුන් හැම පැත්තකින්ම ඇයට විරුද්ධව එනවා.+

 3 දුනුවායන්ට දුන්න නමලා විදින්න ඉඩ දෙන්න එපා.

සෙබළුන්ට යුද ඇඳුමෙන් සැරසෙන්න ඉඩ දෙන්න එපා.

ඇගේ තරුණයන්ට කිසිම අනුකම්පාවක් පෙන්නන්න එපා.+

ඇගේ මුළු හමුදාවම විනාශ කරන්න.

 4 ඔවුන් මැරුම් කාලා කල්දිවරුන්ගේ දේශයේ වැටිලා ඉඳියි.

දරුණු විදිහට පහර කාලා ඇගේ පාරවල්වල වැටිලා ඉඳියි.+

 5 ඊශ්‍රායෙල් සහ යූදා වැන්දඹුවක් වෙලා නැහැ. ඔවුන්ගේ දෙවියන් ඒ කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔවුන්ව අතහැරලා නැහැ.+

ඒත් ඔවුන්ගේ දේශය* ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාණන් සලකන්නේ පාපයෙන් පිරුණු තැනක් විදිහටයි.

 6 බැබිලෝනියෙන් පලා යන්න.

ජීවිතේ බේරගන්න පලා යන්න.+

ඇගේ වැරදි නිසා විනාශ වෙන්න එපා.

මොකද යෙහෝවා ඇයට දඬුවම් කරන කාලය ඇවිල්ලා.

ඇය කරපු දේවල්වලට හරියන දඬුවම ඔහු ඇයට දෙනවා.+

 7 බැබිලෝනිය හිටියේ යෙහෝවාගේ අතේ තියෙන රන් කුසලානයක් වගෙයි.

ඇය මුළු පොළොවම මත් කළා.

ඇගේ වයින්වලින් ජාතීන් බිව්වා.+

ජාතීන්ගේ සිහිය විකල් වුණේ ඒ නිසයි.+

 8 එක මොහොතකින් බැබිලෝනිය වැටිලා විනාශ වෙලා ගියා.+

ඇය ගැන වැලපෙන්න.+

ඇගේ වේදනාව නැති කරන්න බෝල්සම් තෛලය ගෙන්නගන්න. සමහරවිට ඒකෙන් ඇයට සුවයක් ලැබෙයි.”

 9 “අපි බැබිලෝනිය සුව කරන්න හැදුවා. ඒත් ඇයව සුව කරන්න බැහැ.

ඇයව අතහැරලා අපි ආපහු අපේ දේශවලට යමු.+

මොකද ඇගේ වැරදි අහස උසට නැඟලා.

වලාකුළු ළඟටම ඉහළට නැඟලා.+

10 යෙහෝවා අපි වෙනුවෙන් යුක්තිය ඉටු කරලා දුන්නා.+

එන්න, අපේ දෙවි වන යෙහෝවා කරපු දේවල් ගැන අපි සියොන්වලදී කතා කරමු.”+

11 “ඊතල තියුණු කරගන්න.+ පලිස් අතට ගන්න.*

යෙහෝවා දෙවියන් යුද්දෙට යන්න මේදිය රජවරුන්ගේ හිත් පෙලඹුවා.+

මොකද ඔහු අදහස් කරගෙන ඉන්නේ බැබිලෝනිය විනාශ කරන්නයි.

ඒක තමයි යෙහෝවා දෙන දඬුවම. ඔහුගේ මාලිගාවට කරපු දේට ඔහු දෙන දඬුවම.

12 බැබිලෝනියේ පවුරුවලට පහර දෙන්න සංඥාවක් දෙන්න.*+

ආරක්ෂාව තව වැඩි කරන්න. මුරකරුවන්ව රඳවන්න.

මඟ රැකගෙන ඉන්න අයව ඒ ඒ තැන්වලට යවන්න.

මොකද යෙහෝවා දෙයක් සැලසුම් කරලා තියෙනවා.

බැබිලෝනියේ සෙනඟට විරුද්ධව කරනවා කියලා පොරොන්දු වුණ දේ ඔහු අනිවාර්යයෙන්ම කරනවා.”+

13 “ජල ධාරා මත ඉඳගෙන ඉන්න,+ යස ඉසුරෙන් පොහොසත් ස්ත්‍රිය,+

ඔබේ අවසානය ඇවිත්.

ඔබ ලාභ උපයපු කාලය දැන් ඉවරයි.+

14 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා තමන් ගැනම දිවුරලා මෙහෙම කියනවා.

‘පළඟැටි රංචුවක් වගේ විශාල සමූහයකින් මම ඔබව පුරවනවා.

ඔවුන් ඔබව පරාජය කරලා ජය ඝෝෂා නඟයි.’+

15 තම බලයෙන් මේ පොළොව හැදුවේ ඔහුයි.

තම ප්‍රඥාවෙන් සරුසාර භූමිය ස්ථිරව පිහිටෙව්වේ ඔහුයි.+

තම නුවණින් අහස්තලය දිගහැරියේ ඔහුයි.+

16 ඔහු හඬ නඟද්දී අහසේ ජලය කැලඹෙයි.

ඔහු පොළොවේ හතර කොනෙන්ම වලාකුළු* ඉහළට නඟින්න සලස්වනවා.

ඔහු වැස්සත් එක්ක අකුණු සැර එවනවා.*

ඔහුගේ ගබඩාවලින් හුළං හමා එන්න සලස්වනවා.+

17 හැම කෙනෙක්ම වැඩ කරන්නේ දැනුම් තේරුම් නැති මෝඩයන් වගේ.

තමන් හදන රූප නිසා කම්මල්කරුවන් හැමෝවම ලැජ්ජාවට පත් කරනවා.+

මොකද ඔහු හදන රූප* නිකම්ම නිකම් බොරුවක්.

ඒ රූපවලට කිසි ජීවයක් නැහැ.+

18 ඒවා මායාවක් විතරයි,*+ හරිම මෝඩ වැඩ.

විනිශ්චය කරන දවසේදී ඒවා නැත්තටම නැති වෙලා යනවා.

19 ඒත් යාකොබ්ගේ උරුමය වන තැනැත්තා ඒ රූප වගේ නෙමෙයි.

හැම දෙයක්ම හැදුවේ ඔහුයි.

ඔහුගේ උරුමයට සැරයටියක් වෙන්නෙත් ඔහුයි.*+

ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.”+

20 “මම ඔබව සලකන්නේ යුද්දේදී පාවිච්චි කරන මුගුරක්, ආයුධයක් වගෙයි.

මම ඔබ මාර්ගයෙන් ජාතීන්ව කුඩු කරනවා.

රාජ්‍යයන් විනාශ කරනවා.

21 ඔබ මාර්ගයෙන් මම අශ්වයන්වත් අසරුවන්වත් පොඩි කරලා දානවා.

යුධ රථත් ඒවා පදවන අයවත් කුඩු කරලා දානවා.

22 ස්ත්‍රීන් සහ පුරුෂයන්වත්

දරුවන් සහ මහලු අයවත්

තරුණයන් සහ තරුණියන්වත් මම ඔබ මාර්ගයෙන් නැති කරලා දානවා.

23 එඬේරුන් සහ ඔවුන්ගේ රැළවලුත්

ගොවියන් සහ හාන්න පාවිච්චි කරන සතුනුත්

ආණ්ඩුකාරයන් සහ නිලධාරීන්වත් මම ඔබ මාර්ගයෙන් පොඩි කරලා දානවා.

24 සියොන්වලදී ඔබ ඉස්සරහා ඔවුන් කරපු හැම දුෂ්ට දේකටම ලැබෙන්න ඕනෙ දඬුවම

මම බැබිලෝනියටත් කල්දියාවේ සෙනඟටත් දෙනවා”+ කියලා යෙහෝවා කියනවා.

25 “මුළු පොළොවම නාස්ති කරපු විනාශකාරී කන්ද,+

මම ඔබට විරුද්ධව පියවර ගන්නවා”+ කියලා යෙහෝවා කියනවා.

“ඔබට විරුද්ධව මම මගේ අත දිගහැරලා කඳු පර්වතවල ඉන්න ඔබව පෙරළලා දානවා.

මම ඔබව පිච්චිලා ගිය කන්දක් කරනවා.”

26 “ප්‍රධාන ගල විදිහටවත් මුල් ගල විදිහටවත් තියන්න කිසිම කෙනෙක් ඔබෙන් ගලක් ගෙනියන්නේ නැහැ.

මොකද ඔබ හැමදාටම පාළුවට යනවා”+ කියලා යෙහෝවා කියනවා.

27 “සංඥාවක් විදිහට දේශයේ කණුවක් හිටවන්න.+

ජාතීන් අතරේ හොරණෑවක් පිඹින්න.

ඇයට විරුද්ධව සටනට යන්න ජාතීන්ව තෝරගන්න.

ඇයට විරුද්ධව අරරත්,+ මින්නි සහ අෂ්කෙනස්+ කියන රාජ්‍යයන් කැඳවන්න.

ඇයට විරුද්ධව යුද්ධයට යන්න හමුදා නිලධාරියෙක්ව පත් කරන්න.

රොත්ත පිටින් එන පළඟැටියන් වගේ අශ්වයන්ව එවන්න.

28 ඇයට පහර දෙන්න ජාතීන්ව තෝරගන්න.

මේදියාවේ රජවරුන්වත්+ ආණ්ඩුකාරයන්වත් නිලධාරීන් හැමෝවමත්

ඔවුන් යටතේ තියෙන හැම දේශයක්මත් ඇයට විරුද්ධව යවන්න.

29 හැමෝම පුදුම වෙන විදිහට බැබිලෝනිය කිසිම මිනිසෙක් නැති තැනක් කරන්න යෙහෝවා තීරණය කරලා තියෙනවා.

ඒ තීරණය ඔහු අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා.

ඒ නිසා පොළොව දෙදරුම් කයි. ඒක හෙල්ලිලා යයි.+

30 බැබිලෝනියේ යුධ දක්ෂයන් සටන අතහැරලා දාලා.

ඔවුන් බලකොටුවලට වෙලා ඉඳගෙන ඉන්නවා.

ඔවුන්ගේ ශක්තිය නැති වෙලා.+

ඔවුන් ස්ත්‍රීන් වගේ වෙලා.+

ඇගේ නිවහනට ගිනි තියලා.

ඇගේ දොරටුවලට දාන පොලු කඩලා දාලා.+

31 පණිවිඩකරුවන් පිට පණිවිඩකරුවන් එනවා.

වාර්තාකරුවන් එක් කෙනා පිට එක් කෙනා දුවගෙන එනවා.

ඔවුන් එන්නේ නගරය හැම පැත්තෙන්ම අල්ලගෙන කියලා බැබිලෝනියේ රජට දන්වන්නයි.+

32 සතුරන් තොටුපොළවල් අල්ලගෙන කියලා දන්වන්නයි.+

පැපිරස් බෝට්ටුවලට ගිනි තියලා කියලා දන්වන්නයි.

සෙබළු බයෙන් වෙවුලනවා කියලා දන්වන්නයි.”

33 ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා.

“බැබිලෝනි දියණිය හරියට කමතක් වගෙයි.

ඇයව පාගලාම දාන්න කාලය ඇවිත්.

ළඟදීම ඇගේ අස්වැන්න නෙළන කාලය එනවා.”

34 “බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* මාව ගිලලා දැම්මා.+

ඔහු මාව වියවුලට පත් කළා.

බඳුනක් හිස් කරලා පැත්තකින් තියනවා වගේ ඔහු මාව පැත්තකින් තිබ්බා.

විශාල සර්පයෙක් වගේ ඔහු මාව ගිලලා දැම්මා.+

මගේ වටින දේවලින් ඔහු බඩ පුරවගත්තා.

ඔහු මාව වීසි කරලා දැම්මා.*

35 ‘බැබිලෝනිය මට කරපු දරුණු දේවල් ඇය පිටටත් ගේන්න’ කියලා සියොන් දියණිය කියනවා.+

‘මගේ ලේ හලපු වරදට කල්දියාවේ සෙනඟට දඬුවම් කරන්න’ කියලා යෙරුසලම කියනවා.”

36 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා.

“මම ඔබේ නඩුවට පෙනී ඉන්නවා.+

මම ඔබ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් කරනවා.+

මම ඇගේ මුහුද වේළිලා යන්නත් දිය උල්පත් හිඳිලා යන්නත් සලස්වනවා.+

37 බැබිලෝනිය නටබුන් ගොඩක් වෙනවා.+

හිවලුන් ලගින තැනක් වෙනවා.+

පාළුවට යන ඇයව දැකලා හැමෝම පුදුම වෙනවා.

ඇය හැමෝගෙම අපහාසයට ලක් වෙනවා.*+

38 ඔවුන් හැමෝම තරුණ සිංහයන් වගේ ගර්ජනා කරනවා.

සිංහ පැටව් වගේ ගොරවනවා.”

39 “ඔවුන් ආශාවන්ගෙන් මත් වෙලා ඉද්දී මම උත්සවයක් සූදානම් කරලා ඔවුන්ව මත් කරවනවා.

එහෙම කරන්නේ ඔවුන්ට ඇති වෙන කල් සතුටු වෙන්න ඉඩ දෙන්නයි.+

ඊටපස්සේ ඔවුන් සදාකාල නින්දකට වැටෙයි.

ඒ නින්දෙන් ඔවුන් ආයේ අවදි වෙන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා.

40 “බැටළු පැටවුන්ව වගේ මම ඔවුන්ව මරන්න ගෙනියනවා.

එළුවන් එක්ක ගෙනියන බැටළුවන් වගේ මම ඔවුන්ව මරන්න ගෙනියනවා.”

41 “ෂේෂක්ව* අල්ලගත්ත හැටි බලන්න!+

මුළු පොළොවම වර්ණනා කරපු කෙනාව අල්ලගත්ත විදිහ බලන්න!+

බැබිලෝනියට වුණ දේ දැකලා ජාතීන් බය වෙන විදිහ බලන්න!

42 මුහුද ඇවිත් බැබිලෝනිය යට කරලා දැම්මා.

රළ පහරින් ඇය සම්පූර්ණයෙන්ම වැහිලා ගියා.

43 ඇගේ නගරවලට වෙලා තියෙන දේ දැකලා මිනිස්සු පුදුම වෙනවා. ඒවා දිය පොදක් නැති කාන්තාරයක් වෙලා.

ඒවා කිසිම කෙනෙක් පහු කරගෙන යන්නෙවත් කිසිම කෙනෙක් ජීවත් වෙන්නෙවත් නැති දේශයක් වෙලා.+

44 බැබිලෝනියේ ඉන්න බෙල්ට+ මම දඬුවම් කරනවා.

ඔහු ගිලලා දාපු දේවල් මම ඔහුගේ කටින් එළියට ඇදලා ගන්නවා.+

ජාතීන් ඔහු ළඟට තවත් ඇදිලා එන්නේ නැහැ.

බැබිලෝනියේ පවුර කඩාගෙන වැටෙනවා.+

45 මගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත් වෙලා පිටතට එන්න!+

ගින්නක් වගේ ඇවිළිලා තියෙන යෙහෝවාගේ කේන්තියෙන්+ ඔබේ ජීවිතය බේරගන්න පලා දුවන්න.+

46 දේශයේදී අහන්න ලැබෙන ආරංචිය නිසා හිතේ ශක්තිය නැති කරගන්නවත් බය වෙන්නවත් එපා.

දේශයේ වෙන දරුණු දේවල් ගැනත් එක පාලකයෙක් තව පාලකයෙක්ට විරුද්ධ වෙන විදිහ ගැනත්

එක අවුරුද්දකදී ඔබට ආරංචි වෙයි.

ඊළඟ අවුරුද්දෙත් ඒවා ගැන අහන්න ලැබෙයි.

47 ඒ නිසා බලන්න!

මම බැබිලෝනියේ තියෙන රූප විනාශ කරන කාලය එනවා.

ඇගේ මුළු දේශයම ලැජ්ජාවට පත් කරනවා.

මැරුම් කන ඇගේ සෙනඟ ඇය තුළම වැටිලා ඉඳියි.+

48 අහසත් පොළොවත් ඒවාවල තියෙන හැම දෙයක්මත්

බැබිලෝනිය ගැන සතුටින් කෑගහයි.+

මොකද විනාශ කරන්නන් උතුරේ ඉඳන් ඇය ළඟට එනවා”+ කියලා යෙහෝවා කියනවා.

49 “බැබිලෝනිවරු ඊශ්‍රායෙල්වරුන්ව මරලා දැම්මා.+

පොළොවේ හැම පැත්තකින්ම ආපු අයවත් බැබිලෝනියේදී මරලා දැම්මා.

50 කඩුවෙන් බේරුණු ඔබ හැමෝම, දිගටම දුවන්න. නවතින්නේ නැතුව දුවන්න.+

දුර ඈත ඉන්න ඔබ, යෙහෝවාව සිහි කරන්න.

යෙරුසලම ඔබේ මතකයට නඟාගන්න.”+

51 “අපිට කරපු නින්දා අපිට ඇහුණා. ඒ නිසා අපි ලැජ්ජාවට පත් වුණා.

යෙහෝවාගේ ගෘහයේ ශුද්ධස්ථානවලට විදේශිකයන්* පහර දුන්න නිසා

අපි අවමානයට ලක් වුණා.”+

52 “ඒ නිසා බලන්න!

මම බැබිලෝනියේ තියෙන රූප විනාශ කරන කාලය එනවා” කියලා යෙහෝවා කියනවා.

“ඇගේ දේශය පුරාම තුවාල වුණ අය කෙඳිරිගායි.”+

53 “බැබිලෝනිය අහසටම නැග්ගත්+

උසට තියෙන ඇගේ බලකොටු ශක්තිමත් කරගත්තත්

විනාශ කරන්නන්ව මම ඇයට විරුද්ධව එවනවා”+ කියලා යෙහෝවා කියනවා.

54 “ඇහුම්කන් දෙන්න! බැබිලෝනියෙන් කෑගහන හඬක් ඇහෙනවා.+

කල්දිවරුන්ගේ දේශයෙන් මහා විනාශයක හඬක් ඇහෙනවා.+

55 මොකද යෙහෝවා බැබිලෝනිය විනාශ කරනවා.

ඇගේ බලවත් හඬ ඔහු නිහඬ කරනවා.

ඇගේ සතුරන් මුහුදේ රළ පහර වගේ ඝෝෂා කරයි.

ඔවුන්ගේ හඬ හැමෝටම ඇහෙයි.

56 විනාශ කරන්නා බැබිලෝනියට විරුද්ධව එනවා.+

ඇගේ යුධ දක්ෂයන්ව අල්ලගන්නවා.+

ඔවුන්ගේ දුනු කෑලිවලට කඩලා දානවා.

මොකද යෙහෝවා ලැබෙන්න ඕනෙ දඬුවම ලබා දෙන දෙවි කෙනෙක්.+

ඔහු අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+

57 මම ඇගේ අධිපතීන්ටත් බුද්ධිමතුන්ටත් බොන්න දෙනවා.+

ඇගේ ආණ්ඩුකාරයන්ටත් නිලධාරීන්ටත් යුධ දක්ෂයන්ටත් මත් වෙන කල් බොන්න දෙනවා.

ඔවුන් සදාකාල නින්දකට වැටෙයි.

ඒ නින්දෙන් ඔවුන් ආයේ අවදි වෙන්නේ නැහැ.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන නමින් හඳුන්වන රජාණන්.

58 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

“බැබිලෝනියේ පවුර කොච්චර පළල් වුණත් ඒක සම්පූර්ණයෙන්ම කඩලා දානවා.+

ඇගේ දොරටු කොච්චර උසට තිබුණත් ඒවාට ගිනි තියනවා.

මිනිස්සු නිකරුණේ වෙහෙසෙනවා.

ජාතීන් කොච්චර වෙහෙසුණත් ඔවුන්ගේ වෙහෙස ගින්නෙන් පිච්චිලා යනවා.”+

59 යූදාවල රජ වුණ ශෙදකියා පාලනය කරපු හතරවෙනි අවුරුද්දේදී රජත් එක්ක බැබිලෝනියට ගිය සෙරායාට අනාගතවක්තෘ යෙරෙමියා මඟ පෙන්වීම් ටිකක් දුන්නා. සෙරායා කියන්නේ මසේයාගේ පුතා වුණ නෙරියාගේ පුතා.+ සෙරායා තමයි රජගේ ඉඳුම් හිටුම් භාරව හිටපු නිලධාරියා. 60 බැබිලෝනිය පිටට එන හැම විපතක් ගැනම යෙරෙමියා එක ලියවිල්ලක ලිව්වා. බැබිලෝනියට විරුද්ධව කියපු හැම දෙයක්ම එයා ලිව්වා. 61 යෙරෙමියා සෙරායාට මෙහෙම කිව්වා. “ඔයා බැබිලෝනියට ගියාම, ඒක පේන තැනකට ආවාම මේකේ තියෙන දේවල් හඬ නඟලා කියවන්න. 62 ඊටපස්සේ මෙහෙම කියන්න. ‘යෙහෝවා දෙවියනි, මේ නගරය විනාශ වෙනවා කියලා ඔබ කිව්වා. ඒක හැමදාටම කිසි මනුස්සයෙක්වත් සතෙක්වත් නැති පාළු තැනක් වෙනවා කියලා ඔබ කිව්වා.’+ 63 ඔයා මේ ලියවිල්ලේ තියෙන දේවල් කියවලා ඉවර වුණාම ඒකට ගලක් බැඳලා ඒක යුප්‍රටීස් ගඟ මැදට වීසි කරන්න. 64 ඊටපස්සේ මෙහෙම කියන්න. ‘බැබිලෝනිය ගිලෙන්නෙත් මේ විදිහටම තමයි. මම ඇය පිටට ගේන විපත්තිය නිසා ඇය ආයේ කවදාවත් උඩට මතු වෙන්නේ නැහැ.+ ඇගේ සෙනඟ වෙහෙසට පත් වෙයි.’”+

මේ වෙන කල් සඳහන් වුණේ යෙරෙමියා කියපු දේවල්.

52 ශෙදකියා+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 21යි. එයා යෙරුසලමේ ඉඳලා අවුරුදු 11ක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම හමුතල්.+ එයා ලිබ්නාවල කෙනෙක් වුණ යෙරෙමියාගේ දුව. 2 ශෙදකියා යෙහෝයාකිම් වගේම යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ 3 මේ හැම දෙයක්ම යෙරුසලමේ සහ යූදා දේශයේ සිද්ධ වුණේ යෙහෝවා එයාලා එක්ක කේන්තියෙන් හිටපු නිසයි. අන්තිමේදී ඔහු එයාලව අයින්ම කරලා දැම්මා.+ ඒ කාලේදී ශෙදකියා බැබිලෝනියේ රජට විරුද්ධව කැරලිගැහුවා.+ 4 ශෙදකියා පාලනය කරපු නමවෙනි අවුරුද්දේ දහවෙනි මාසේ දහවෙනිදා බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්* එයාගේ මුළු හමුදාවත් එක්ක යෙරුසලමට විරුද්ධව සටන් කරන්න ආවා. එයාලා යෙරුසලමට විරුද්ධව සටන් කරන්න කඳවුරු බැඳගෙන නගරය වටලන්න ඒක වටේට පවුරක් ගොඩනැඟුවා.+ 5 ශෙදකියා පාලනය කරපු 11වෙනි අවුරුද්ද වෙන කල්ම බැබිලෝනියේ හමුදාව යෙරුසලම වටලගෙන හිටියා.

6 හතරවෙනි මාසේ නමවෙනිදා+ වෙද්දී සාගතය කොච්චර දරුණු වුණාද කියනවා නම් දේශයේ හිටපු මිනිස්සුන්ට කන්න කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.+ 7 කල්දිවරු නගරයේ පවුර කඩාගෙන ඇතුළට ආවා. ඒකට කලින් එදා රෑම නගරයේ හිටපු සෙබළු හැමෝම රජගේ උයන ළඟ, තාප්ප දෙක අතරේ තිබුණ දොරටුවෙන් පැනලා ගියා. ඒ වෙද්දී කල්දිවරු නගරය වටලගෙනයි හිටියේ. එයාලා අරබා නිම්නයට යන පාරෙන් පැනලා ගියා.+ 8 ඒත් කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියා පස්සේ එළවගෙන ගිහිල්ලා යෙරිකෝවට කිට්ටුවෙන් තියෙන පාළුකරයේදී එයාව අල්ලගත්තා.+ ශෙදකියාගේ හමුදාව එයාව අතහැරලා දාලා ඒ මේ අත දිව්වා. 9 කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියාව අල්ලගෙන හමාත් දේශයේ රිබ්ලාවල හිටපු බැබිලෝනියේ රජ ළඟට එයාව අරගෙන ගියා. එහෙදී රජ එයාට දෙන්න ඕනෙ දඬුවම තීරණය කළා. 10 බැබිලෝනියේ රජ ශෙදකියා ඉස්සරහම එයාගේ පුතාලව මරලා දැම්මා. යූදාවල අධිපතීන් හැමෝවමත් රිබ්ලාවලදී මරලා දැම්මා. 11 ඊටපස්සේ බැබිලෝනියේ රජ ශෙදකියාගේ ඇස් අන්ධ කරලා+ එයාට තඹ විලංගු දාලා එයාව බැබිලෝනියට අරන් ගියා. ශෙදකියා මැරෙන කල්ම එයාව හිර කරලා තිබ්බා.

12 පස්වෙනි මාසේ දහවෙනිදා ඒ කියන්නේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්* පාලනය කරපු 19වෙනි අවුරුද්දේ බැබිලෝනියේ රජගේ සේවකයෙක් සහ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් යෙරුසලමට ආවා.+ 13 එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයටයි, රජමාලිගාවටයි, යෙරුසලමේ තිබුණ හැම ගේකටමයි ගිනි තියලා විනාශ කළා.+ ලොකු ගෙවල් ඔක්කොටමත් ගිනි තිබ්බා. 14 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා එක්ක හිටපු කල්දිවරුන්ගේ මුළු හමුදාවම එකතු වෙලා යෙරුසලම වටේ තිබුණ පවුර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා.+

15 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් සෙනඟ අතරේ හිටපු දුප්පත් අයගෙන් සමහරදෙනෙක්වයි, නගරයේ ඉතුරු වෙලා හිටපු සෙනඟවයි වහලුන් විදිහට අරගෙන ගියා. බැබිලෝනියේ රජට යටත් වුණ අය වගේම ඉතුරු වෙලා හිටපු දක්ෂ කර්මාන්තකරුවන්වත් එයා අරගෙන ගියා.+ 16 ඒත් ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් දේශයේ හිටපු දුප්පත්ම මිනිස්සුන්ගෙන් සමහරදෙනෙක්ව දේශයේ නවත්තලා ගියා. එයා එයාලට අණ කළා මිදිවතුවලයි, කෙත්වතුවලයි වැඩ කරන්න කියලා.+

17 කල්දිවරු යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ තඹ කුලුනුයි,+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ කරත්තයි,+ මුහුද කියලා හඳුන්වපු ලොකු තඹ භාජනෙයි+ කෑලිවලට කපලා ඒවාවල තිබුණ ඔක්කොම තඹ බැබිලෝනියට අරන් ගියා.+ 18 අළු දාන්න තිබුණ භාජන, පහන් තිර නිවලා දාන්න පාවිච්චි කරපු උපකරණ, සවල්, බඳුන්,+ කුසලාන+ සහ ගෘහයේ පාවිච්චි කරන්න තිබුණ අනිත් හැම තඹ භාජනයක්මත් එයාලා අරන් ගියා. 19 පිරිසිදු රත්තරන්වලිනුයි, රිදීවලිනුයි හදලා තිබුණ බේසම්,+ ගිනි අඟුරු දාන භාජන, බඳුන්, අළු දාන භාජන, පහන් රුක්,+ කුසලාන සහ භාජන ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා අරගෙන ගියා.+ 20 යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් සලමොන් රජ හදපු කුලුනු දෙකෙයි, මුහුද කියලා හඳුන්වපු ලොකු භාජනෙයි, ඒක පිට උඩ තියාගෙන හිටපු තඹ ගොනුන් 12දෙනාගෙයි,+ කරත්තවලයි මනින්න බැරි තරම් තඹ ප්‍රමාණයක් තිබුණා.

21 ඒ එක කුලුනක උස රියන්* 18යි. ඒවාවල වටප්‍රමාණය මැන්නාම ඒක රියන් 12යි.+ ඒකේ ගනකම ඇඟිලි* හතරයි. කුලුන මැද තිබුණේ හිස් කුහරයක්. 22 කුලුන මුදුනේ තිබුණ වැඩ දාපු කොටස තඹවලින් හදලා තිබුණා. ඒ එක කොටසක උස රියන් පහයි.+ ඒ කොටස සරසපු දැල සහ ඒකේ තිබුණ දෙළුම් ගෙඩිත් තඹවලින් හදලා තිබුණා. අනිත් කුලුනත් ඒකේ තිබුණ දෙළුම් ගෙඩිත් හදලා තිබුණේ ඒ විදිහටමයි. 23 ඒ දැල වටේ දෙළුම් ගෙඩි 100ක් එල්ලලා තිබුණා. ඒවායින් පෙනුණේ දෙළුම් ගෙඩි 96යි.+

24 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා නායක පූජක සෙරායාවත්+ එයාගේ උදව්වට හිටපු පූජක ශෙපනියාවත්+ දොරටු පාලකයන් තුන්දෙනාවත් අරන් ගියා.+ 25 සෙබළුන්ට අණ දුන්න රජගේ නිලධාරියෙක්වත්, රජට කිට්ටුවෙන් හිටපු හත්දෙනෙක්වත් නගරයේදී එයා අල්ලගත්තා. හමුදාවට සෙනඟව බඳවගත්ත හමුදාපතිගේ ලේකම්වත් නගරයේ ඉතුරු වෙලා හිටපු සාමාන්‍ය මිනිස්සු 60දෙනෙක්වත් එයා අල්ලගත්තා. 26 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් එයාලව රිබ්ලාවල හිටපු බැබිලෝනියේ රජ ළඟට අරගෙන ගියා. 27 බැබිලෝනියේ රජ එයාලව හමාත් දේශයේ රිබ්ලාවලදී මරලා දැම්මා.+ ඒ විදිහට යූදාවල මිනිස්සුන්ව එයාලාගේ දේශයෙන් අයින්ම කරලා දැම්මා.+

28 පහළින් තියෙන්නේ නෙබුකද්නෙෂර්* වහලුන් විදිහට අරන් ගිය අය ගැනයි. ඔහු පාලනය කරපු හත්වෙනි අවුරුද්දේ යුදෙව්වන් 3,023දෙනෙක්ව අරගෙන ගියා.+

29 නෙබුකද්නෙෂර්ගේ* 18වෙනි අවුරුද්දේ+ මිනිස්සු 832දෙනෙක්ව යෙරුසලමෙන් අරගෙන ගියා.

30 නෙබුකද්නෙෂර්ගේ* 23වෙනි අවුරුද්දේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් යුදෙව්වන් 745දෙනෙක්ව වහලුන් විදිහට අරන් ගියා.+

වහලුන් විදිහට අරන් ගිය අයගේ මුළු ගාණ 4,600යි.

31 යූදාවල රජකම් කරපු යෙහෝයාකින්+ බැබිලෝනියේ වහලෙක් විදිහට හිටපු 37වෙනි අවුරුද්දේ 12වෙනි මාසේ 25වෙනිදා බැබිලෝනියේ රජ වුණ එවිල්මෙරොදක් යෙහෝයාකින්ව හිරෙන් නිදහස් කළා. ඒ අවුරුද්දේ තමයි එවිල්මෙරොදක් රජකමට පත් වුණේ.+ 32 එවිල්මෙරොදක් යෙහෝයාකින්ට කරුණාව පෙන්නලා බැබිලෝනියේ හිරකරුවන් විදිහට හිටපු අනිත් රජවරුන්ට වඩා එයාට ගෞරවයෙන් සැලකුවා. 33 ඉතින් යෙහෝයාකින් හිරකරුවෙක් විදිහට ඇඳන් හිටපු ඇඳුම් අයින් කරලා අලුත් ඇඳුම් ඇන්දා. එදා ඉඳන් එයා කෑම කෑවේ රජගේ මේසයෙන්. එයා මැරෙන කල්ම ඒ අවස්ථාව එයාට ලැබුණා. 34 එයා ජීවත් වුණ හැම දවසකම ඒ කියන්නේ එයා මැරෙන කල්ම බැබිලෝනියේ රජගේ කෑමවලින් පංගුවක් එයාට ලැබුණා.

තේරුම, “යෙහෝවා උසස් කරයි” වෙන්න පුළුවන්.

හෝ, “මම ඔයාව තෝරගත්තා.”

මූ.අ., “අවදි වෙන කෙනෙක්.”

හැළිය යට තියෙන ගින්දර හොඳට අවුළන්න ඒකට පිඹිනවා කියන අදහස මුල් භාෂාවේ තියෙනවා.

හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”

මූ.අ., “ඉඟටිය තදින් බැඳගන්න.”

හෝ, “නොසැලෙන ආදරේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.

මූ.අ., “යෙහෝවා කොහෙද?”

සමහරවිට මේවා පර්වත හාරලා හදාගන්න ඇති.

හෝ, “මෙම්ෆිස්.”

ඒ කියන්නේ නයිල් ගඟේ අතු ගංගාවක්.

හෝ, “ආප්ප සෝඩාවලින්.”

හෝ, “වෙනත් දෙවිවරුන්ට.”

මනාලියක් පලඳින වැඩ දාපු පටි.

මෙතන කතා කරන්නේ යෙරුසලම ගැනයි.

මූ.අ., “අරාබි ජාතිකයෙක්.”

මූ.අ., “ඔබේ නළල.”

මෙතන කතා කරන්නේ ඊශ්‍රායෙල් ගැන වෙන්න පුළුවන්.

හෝ, “වෙනත් දෙවිවරුන්.”

හෝ සමහරවිට, “ස්වාමිපුරුෂයා.”

ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුතුන්ට වෙන් කරලා තියෙන උරුමය.

හෝ, “දෙවියා.”

ඒ කියන්නේ යෙහෝවා.

මූ.අ., “හදවතේ චර්මාග්‍රය අයින් කරගන්න.”

හෝ, “පපුවට ගහගන්න.”

මූ.අ., “අපේ බෙල්ලට කඩුව තියලා තියෙද්දී.”

කාව්‍යමය විදිහට මෙතන සෙනඟව දියණියක් විදිහට හඳුන්වන්නේ අනුකම්පාව පෙන්නන්නයි.

ඒ කියන්නේ නගරයකට පහර දෙන්න සුදුසු වෙලාව එන කල් බලාගෙන ඉන්න අය.

මූ.අ., “මගේ බඩවැල්.”

හෝ සමහරවිට, “පහර දෙන අයගේ හඬ.”

හෝ, “හරිම නුවණක්කාරයි.”

හෝ, “මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ.”

හෝ, “කලු අඳුන් ගාගෙන.” ඒ කියන්නේ අයිෂැඩෝ වගේ දෙයක්.

මූ.අ., “ඔවුන්ගේ මූණු පර්වතයකටත් වඩා දැඩි කරගත්තා.”

හෝ සමහරවිට, “ඔහු ඇත්තටම නැහැ.”

මූ.අ., “හදවතක් නැති, මෝඩ සෙනඟෙනි.”

මූ.අ., “නියමිත සති.”

හෝ, “පිරිහිලා ඉන්න මගේ සෙනඟට.”

හෝ, “මඟ පෙන්වීම්.”

ඒ කියන්නේ යෙරෙමියාව.

දේවමාලිගාවට අයිති හැම ගොඩනැඟිල්ලක්ම මේකට ඇතුළත් වෙනවා.

හෝ, “පියා නැති දරුවාටවත්.”

හෝ, “සදාකාලයෙන් සදාකාලයටම.”

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

ඒ කියන්නේ යෙරෙමියා.

සැබෑ නමස්කාරයෙන් අයින් වුණ ඊශ්‍රායෙල්වරු නමස්කාර කරපු දේවතාවියක්. ඒ දේවතාවිය දරුපල දෙනවා කියලා එයාලා විශ්වාස කළා.

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

හෝ, “කැප කරපු.”

හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නයේ.” “පැහැදිලි කිරීමක්” යටතේ තියෙන “ගෙහෙන්නාව” බලන්න.

මූ.අ., “උස් තැන්.”

හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නය.” “පැහැදිලි කිරීමක්” යටතේ තියෙන “ගෙහෙන්නාව” බලන්න.

හෝ සමහරවිට, “කොකා.”

හෝ, “සංක්‍රමණය වෙන කාලය.”

හෝ, “මඟ පෙන්වීම්.”

හෝ, “ලේකම්වරු.”

හෝ, “පෑන.”

හෝ, “පිරිහිලා ඉන්න මගේ සෙනඟට.”

හෝ, “සුවයක් ලබා දෙන බාම් එකක්.”

හෝ, “වෛද්‍යවරයෙක්.”

හෝ, “මඟ පෙන්වීම්.”

හෝ, “ජාතීන්ගේ චාරිත්‍ර මායාවක් විතරයි.”

හෝ, “මඟ පෙන්වීම්වලින් කිසිම වැඩක් නැහැ.”

11වෙනි පදය මුලින් ලියලා තිබුණේ ඇරමයික භාෂාවෙන්.

හෝ, “ජල වාෂ්ප.”

හෝ සමහරවිට, “වැස්ස ලබා දෙන්න ඔහු අහසේ කවුළු හදනවා.”

හෝ, “ලෝහ උණු කරලා හදන රූප.”

හෝ, “ඒවාවලින් කිසිම වැඩක් නැහැ.”

හෝ, “මගේ තුවාලය.”

මිනිසෙක්ට ඒ හැකියාව නැහැ කියන අදහසත් ඒකට ඇතුළත්.

පේන විදිහට මේක කියන්නේ යෙරෙමියාට.

හෝ, “එසේම වේවා!”

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”

හෝ, “දෙවියා.”

ඒ කියන්නේ යෙරෙමියා.

ඒ කියන්නේ යූදා.

ඒ කියන්නේ දේවමාලිගාවේ ඔප්පු කරන පූජාවලට.

හෝ, “ඇතුළාන්ත හැඟීම්.” මූ.අ., “වකුගඩු.”

මූ.අ., “ඔවුන්ව.”

හෝ, “ඇතුළාන්ත හැඟීම්.” මූ.අ., “වකුගඩු.”

හෝ සමහරවිට, “ඒක වැලපෙනවා.”

හෝ, “නගර වටලලා.”

හෝ, “ඉතියෝපියානු.”

හෝ, “වැදගත්කමින් අඩු අයව.”

හෝ, “දිය අගල්.”

හෝ, “ලෙඩ රෝගවලින්.”

හෝ, “රූපයකටවත්.”

හෝ සමහරවිට, “විනිශ්චයන් හතරක්.”

හෝ සමහරවිට, “පස්සෙන් පස්සට ගියා.”

මූ.අ., “ඇගේ හිරු දවාලේදීම බැහැලා ගියා.”

හෝ, “මොකද ඔබ මට කියන්න දීලා තියෙන්නේ විනිශ්චය පණිවිඩයක්.”

හෝ, “රැවටිලිකාර.”

මූ.අ., “මගේ කට වෙනවා.”

පේන විදිහට දෙවියන්ව අතහැරපු ඊශ්‍රායෙල්වරු මැරුණ අය වෙනුවෙන් වැලපෙද්දී කරපු බොරු චාරිත්‍ර.

මූ.අ., “උරුම කරගත්තේ තනිකරම බොරු දේවලුයි.”

“පැහැදිලි කිරීමක්” බලන්න.

මූ.අ., “උස් තැන්.”

හෝ සමහරවිට, “මගේ කේන්තිය නිසා ඔබ ගින්නක් වගේ ඇවිළෙනවා.”

හෝ, “බලවන්තයාට.”

හෝ, “බලවන්තයාට.”

හෝ සමහරවිට, “හිතේ තත්වය සුව කරන්න බැහැ.”

හෝ, “ඇතුළාන්ත හැඟීම්.” මූ.අ., “වකුගඩු.”

හෝ, “පාට්රිජ්.”

මූ.අ., “මගෙන්.” පේන විදිහට මෙතන කතා කරන්නේ යෙහෝවා ගැනයි.

හෝ, “දෙපාරක් විනාශ කරලා දාන්න.”

මූ.අ., “සෙනඟගේ පුතාලාගේ දොරටුව.”

හෝ, “දකුණෙන්.”

හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”

හෝ, “හරියට හදලා නැති.”

හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහයි.”

හෝ, “මඟ පෙන්වීම් අපිට දෙන්න.”

හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නයට.”

මූ.අ., “උස් තැන්.”

හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නය.”

හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහන්න.”

හෝ, “ඇතුළාන්ත හැඟීම්.” මූ.අ., “වකුගඩු.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ සමහරවිට, “මේ මිනිස්සුන්ව.”

හෝ, “රෝගයකින්.”

මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ, “ඔහුගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙයි.”

හෝ, “තැනිතලාවේ.”

හෝ, “අම්මා තාත්තා නැති දරුවෙක්ටවත්.”

යෙහෝයහාෂ් කියලත් හඳුන්වනවා.

යෙහෝයාකින් සහ යෙකොනියා කියලත් හඳුන්වනවා.

මූ.අ., “මුද්‍රා තියන මුද්දක්.”

මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ, “දේශයේ.”

මූ.අ., “අංකුරයක්.”

හෝ, “දෙවියන්ට අවිශ්වාසවන්ත වුණ අයගෙන්.”

හෝ, “දෙවියන්ව අතහැරලා.”

හෝ, “ඔවුන් ඔබට බොරු බලාපොරොත්තු දෙනවා.”

ඒ කියන්නේ විශාල මිටියක්.

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

යෙහෝයාකින් සහ කොනියා කියලත් හඳුන්වනවා.

හෝ සමහරවිට, “පවුරු හදපු අයවත්.”

හෝ, “රෝගයකිනුයි.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ, “යූදාවල සෙනඟට සහ යෙරුසලමේ ඉන්න හැමෝටම.”

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

මූ.අ., “නෙබුකද්රෙෂර්ට.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ, “නින්දාවක් විදිහට ඔවුන්ට විසිල් ගහයි.”

හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහනවා.”

පේන විදිහට මේක බාබෙල් (බැබිලෝනිය) කියන නම හංගලා ලියන විදිහක්.

හෝ, “හැමෝම ගැන.”

හෝ, “මඟ පෙන්වීම්.”

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

මූ.අ., “අලුත් දොරටුවට ඇතුල් වෙන තැන.”

මූ.අ., “මට සුදුසුයි කියලා හිතෙන ඕනෙම කෙනෙක්ට මං ඒවා දෙනවා.”

හෝ, “ලෙඩ රෝගවලින්.”

ඒ කියන්නේ දේවමාලිගාවේ තිබුණ ලොකු තඹ භාජනේ.

හෝ, “එසේම වේවා!”

හෝ, “ලෙඩ රෝග.”

හෝ සමහරවිට, “පවුරු හදපු අයවයි.”

හෝ, “ලෙඩ රෝගත්.”

හෝ සමහරවිට, “පැළුණ.”

හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහයි.”

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.

මුල් භාෂාවේ මෙතන වචන දෙකක් තියෙනවා. එකකින් කකුල්වලට දාන දඬුකඳත් අනිත් වචනයෙන් අත්වලට සහ බෙල්ලට දාන දඬුකඳත් අදහස් කරනවා.

හෝ, “බඩට.”

හෝ, “නාඳුනන අය.”

හෝ, “ඔවුන්ව.”

හෝ, “නිවැරදි කරනවා.”

හෝ සමහරවිට, “ගෞරවය දිනාගත්ත සෙනඟක් කරනවා.”

හෝ, “ඒ නිසයි මම ඔබට දිගටම නොසැලෙන ආදරයක් පෙන්නන්නේ.”

හෝ, “දරුවන්.”

හෝ, “මං මගේ කළවයට ගහගත්තා.”

මූ.අ., “මගේ බඩවැල් කැලතෙනවා.”

හෝ සමහරවිට, “ස්වාමිපුරුෂයා.”

හෝ, “තෙල් මිශ්‍ර අළු.” ඒ කියන්නේ සත්ව පූජාවල තෙල් මිශ්‍ර වුණ අළු.

හෝ, “තැනිතලාවත්.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ සමහරවිට, “රන් ෂෙකෙල් හතකුත් රිදී ෂෙකෙල් දහයකුත් කිරලා දුන්නා.” ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

හෝ, “ලෙඩ රෝගත්.”

මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නයේ.” “පැහැදිලි කිරීමක්” යටතේ තියෙන “ගෙහෙන්නාව” බලන්න.

මූ.අ., “උස් තැන්.”

හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හෝ, “නොසැලෙන ආදරේ.”

මූ.අ., “ඒ දවස්වලදී දාවිත් වෙනුවෙන් ධර්මිෂ්ඨ අංකුරයක් හටගන්න සලස්වනවා.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

මූ.අ., “හත්වෙනි අවුරුද්ද අවසානයේදී.”

මූ.අ., “අද.”

හෝ, “ලෙඩ රෝගවලින්.”

හෝ, “කාමරයකට.”

මූ.අ., “යෝනාදබ්.” යෙහොනාදාබ් කියන නම කෙටියෙන් කියන විදිහක්.

මූ.අ., “යෝනාදබ්.” යෙහොනාදාබ් කියන නම කෙටියෙන් කියන විදිහක්.

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

මූ.අ., “යෝනාදබ්.” යෙහොනාදාබ් කියන නම කෙටියෙන් කියන විදිහක්.

හෝ, “කාමරයේදී.”

හෝ, “රජගේ නිලධාරීන්.”

නොවැම්බර් මැද ඉඳලා දෙසැම්බර් මැද වෙන කල් කාලය. උප. B15 බලන්න.

සමහරවිට රජ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්.

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

යෙහෝයාකින් සහ යෙකොනියා කියලත් හඳුන්වනවා.

මූ.අ., “දම්වැල්වලින් බඳින ගෙදරට දැම්මා.”

හෝ, “ලෙඩ රෝගවලින්.”

සමහරවිට රජ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්.

ඒ කියන්නේ වතුර එකතු කරලා තියාගන්න හාරපු වළක්.

මූ.අ., “නපුංසකයෙක්.”

මූ.අ., “ඔබේ නිවසේ අයත්.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හෙබ්‍රෙව් වචන වෙනස් විදිහකට බෙදුවොත් මේ කොටස සඳහන් වෙන්නේ මෙහෙමයි. “නේර්ගල්ෂරෙෂෙර්, සම්ගර්නෙබෝ, සර්සෙකිම්, රබ්සාරිස්.”

හෝ, “මායාකාරයන්ගේ ප්‍රධානියා (ජ්‍යෝතිශ්ශස්ත්‍රඥයා).”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ සමහරවිට, “වැඩ කරන්න නියම කළා.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ සමහරවිට, “විශාල පොකුණ.”

හෝ, “ටික කාලයක් ඉන්න.”

හෝ, “ලෙඩ රෝගවලින්.”

මූ.අ., “නෙබුකද්රෙෂර්ව.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ, “සමාදානයෙන්.”

හෝ, “හිරුගේ දේවාලයේ.” ඒ කියන්නේ හෙලියෝපොලිස්.

හෝ, “ගල් කුලුනු.”

හෝ, “මෙම්ෆිස්වල.”

මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

හෝ, “දුක් වුණේ නැහැ.”

මූ.අ., “ගරුබියක්.”

හෝ, “ලෙඩ රෝගවලින්.”

සැබෑ නමස්කාරයෙන් අයින් වුණ ඊශ්‍රායෙල්වරු නමස්කාර කරපු දේවතාවියක්. ඒ දේවතාවිය දරුපල දෙනවා කියලා එයාලා විශ්වාස කළා.

සැබෑ නමස්කාරයෙන් අයින් වුණ ඊශ්‍රායෙල්වරු නමස්කාර කරපු දේවතාවියක්. ඒ දේවතාවිය දරුපල දෙනවා කියලා එයාලා විශ්වාස කළා.

සැබෑ නමස්කාරයෙන් අයින් වුණ ඊශ්‍රායෙල්වරු නමස්කාර කරපු දේවතාවියක්. ඒ දේවතාවිය දරුපල දෙනවා කියලා එයාලා විශ්වාස කළා.

සැබෑ නමස්කාරයෙන් අයින් වුණ ඊශ්‍රායෙල්වරු නමස්කාර කරපු දේවතාවියක්. ඒ දේවතාවිය දරුපල දෙනවා කියලා එයාලා විශ්වාස කළා.

මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ, “ඔයා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

දුනුවායන් පාවිච්චි කරපු එකක්.

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ, “මෙම්ෆිස්වලදීත්.”

හෝ, “පියවර ගන්න තිබුණ වෙලාවෙන්.”

ඒ කියන්නේ ඊජිප්තුව පරාජය කරන කෙනා.

හෝ, “මෙම්ෆිස්.”

හෝ සමහරවිට, “ඒක පාළු තැනක් වෙනවා.”

ඒ කියන්නේ තීබ්ස්.

මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ, “නිවැරදි කරනවා.”

ඒ කියන්නේ ක්‍රීට්.

ඒ කියන්නේ ලැජ්ජාවත් දුකත් නිසා හිස බූ ගාගන්න කාලයක්.

හෝ, “තැනිතලාව.”

හෝ, “සානුව.”

හෝ සමහරවිට, “වියළි බිමක ඉඳගන්න.”

හෝ, “සානුව.”

මූ.අ., “අඟ.”

මූ.අ., “උස් තැන්වලදී.”

ඒ කියන්නේ මළ ගෙයක පිඹින බටනළාවක්.

ඒ කියන්නේ මෝවබ්වලින් බේරෙන අයව ආපහු එකතු කරන කාලේදී.

හෝ සමහරවිට, “පහර දෙන අයගේ හඬක්.”

හෝ, “තැනිතලාවන්.”

හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහයි.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ, “හුළං හමන හැම දිශාවකටම.”

හෝ, “ඒ හුළං හමපු දිශා හතරට.”

ඒ කියන්නේ ඒලාම්වලින් බේරෙන අයව ආපහු එකතු කරන කාලේදී.

හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා

හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහනවා.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

ඒ කියන්නේ විශාල මිටියක්.

මූ.අ., “සෙබළුන්ව නිහඬ කරනවා.”

හෝ, “බොරු අනාගතවක්තෘවරුන්ට.”

පේන විදිහට මේක කල්දියාව කියන නම හංගලා ලියන විදිහක්.

ඒ කියන්නේ කල්දිවරුන්ගේ දේශය.

හෝ සමහරවිට, “ඊකොපු පුරවගන්න.”

හෝ, “සංඥාවක් විදිහට කණුවක් හිටවන්න.”

හෝ, “ජල වාෂ්ප.”

හෝ සමහරවිට, “වැස්ස ලබා දෙන්න ඔහු අහසේ කවුළු හදනවා.”

හෝ, “ලෝහ උණු කරලා හදන රූප.”

හෝ, “ඒවාවලින් කිසිම වැඩක් නැහැ.”

හෝ සමහරවිට, “ඔහුගේ උරුමයේ සැරයටිය හැදුවෙත් ඔහුයි.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හෝ, “වතුර ගහලා හෝදලා ඇරියා.”

හෝ, “නින්දාවක් විදිහට ඇයට විසිල් ගහනවා.”

පේන විදිහට මේක බාබෙල් (බැබිලෝනිය) කියන නම හංගලා ලියන විදිහක්.

හෝ, “නාඳුනන අය.”

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). උප. B14 බලන්න.

එක ඇඟිල්ලක පළල සෙ.මී. 1.85ක් (අඟල් 0.73ක්). උප. B14 බලන්න.

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.

මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න